Friday, November 23, 2012

ස්ලිට් එකේ අළුත් නංගිලා මල්ලිලා වෙත ලියන වග නම්...


තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය ව‍සරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුදුසු කාලය බව මට වැටහුනේ සුදාරක මල්ලීගේ ට්වීට් කිහිපයක් දැකීමෙනි. මගේ මේ ලිපියේ අරමුණ ආයතනය විවේචනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු අපි කෙටියෙන් ස්ලිට් කියා හඳුන්වන ආයතනයයි. මේ ආයතනය හා මගේ බැදීම ආරම්භවන්නේ මා පාසල් ශිෂ්‍යයයෙක්ව සිටිනා සමයේ‍දී මේ ආයතනයට මුල් ගල් තැබුණු දා පටන්ය. මම පාසල් ගියේ ස්ලිට් එක ඉදිරියෙනි. මෙතන හැදෙන්නේ කුමක් දැයි නොදනිතත් මොනවාහෝ අමුතු දෙයක් සිදුවන බව නම් දැනී තිබුණි. අවසානයේදී මේ සෑදෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයක් බව මම දැනගතිමි.

ලංකාවේ කාලයෙන් කාලයට රැලි පැමිණේ. අපි සාමාන්‍ය පෙළ කල සමයේ අපිට තිබුණේ ඉංග්ලිෂ් කෝස් රැල්ල සහ කොම්පියුටර් කෝස් රැල්ලයි. මේ රැලි වලට හසුනොවී උඩුගම් බලා පිහිණුවෝ වෙත්නම් ඒ අතේ ඇඟිලිවලටත් වඩා අඩු පිරිසකි. එසේ ගිය කෝස් වලට සහ ඉසිපතනයේ එවකට විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ පාසල් පරිඝනක විද්‍යාගාර සංකල්පයට  පිං සිදුවන්නට පරිඝනකයක් හැසිරවීමට මම දැනගෙන සිටියෙමි. රැකියාවන් වලදිද මෙවැනි රැලි බොහොමයක් ලංකාවේ විය. සිංහලෙන් ජොබ් ට්‍රෙන්ඩ් එක කියා තේරෙන බාසාවෙන් කියන්නේ එයයි. අයි ටී ජොබ් රැල්ල - එච් ආර් ජොබ් රැල්ල - සප්ලයි චේන් ජොබ් රැල්ල තුල අදටත් තම නම කැත නොකර තියාගත් රැල්ල වන්නේ අයි ටී රැල්ලයි.

තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගීමත් සමගම මට එහි පළමු ශිෂ්‍යය කණ්ඩායමට ඇතුලත් වීමේ ආසාවක් පැන නැගුනි. තරමක් අසීරු අභි‍යෝගතා පරීක්ෂණයකට පසු මම එහි යාමට තෝරාගැනුනි. නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් එම ආසාව දෙවන ශිෂ්‍යය කණ්ඩායම දක්වා පහලට ගියේය. මගේ පියා මහාලොකු සල්ලි කාරයෙක් නොවුනත් ඔහු ඒ සඳහා කෙසේ හො මට මුදල් සපයා දුන්නේය.

අපි මාලඹේට දෙවැනි බැච් එක වීමු. අපේ සීනියර් බැච් එකේ හිටියේද අපි වැනිම අය විය. බොහෝ සල්ලිකාරයන්, ලොකු ලොක්කන්ගේ ඇමති මැති ගොල්ලන්ගේද පුතාලා දුවලා අපේ බැච්වල විය. කොළඹාසන්නයේ නොව හද්දා පිටිසර ගම් වලින් පැමිණියෝ අයි ටී ආරම්භ කළහ. උසස් පෙළ ගණිත විශයය මේ සඳහා පිටිවහලක් වූ නමුත් අනිවාර්යය නොවූ බැවින් අනෙකුත් විශයය ධාරාවන් කළ අයත් මෙයට පැමිණ සිටියහ.

ඉතාමත් ඉක්මණින් විශයය නිර්දේශ වෙනස් කිරීම, ගැලපෙන රටාවට අනුව ඒවා පවත්වාගෙන යාම මෙහි තිබූ සුවිශේෂම සිද්ධිය විය. ආරම්භයේ පටන්ම ඒ සඳහා නිදර්ශක සැපයූවෝ වූයේ අපිත් අපේ සීනියර් බැච් එකත්ය. ලැබ් රැට්ස්ලා වීම දරාගත නොහැකිවූ තැන ඇතැමුන් මෙම විශයය පථයෙන් ඈත් විය. වාසනාවකට මෙන් අපේ බැච් එකෙන් පසුව එවැනි නිදර්ශක සැපයීමක් නොවුනි. ඒ හේතුව නිසා අපෙන් පසුව එක්වුන බැච් වලට අපට වඩා හොඳ දැනුමක් විය. එම නිසා එකල ලංකාවේ කල හැකිව තිබූ ‍අනෙක් අයි ටී ඩිග්රිය වූ බිට් එකට වඩා සැතපුම් ගණනක් අපි ඉදිරියෙන් සිටියෙමු.

රැල්ලට අසුව පිස්සු කෙලින්නන් එහි සිටියේ අද ඊයෙක නොවේ. එකලද එවැනි පුද්ගලයෝ දෙමාපියන්ගේ මුදල් භක්ෂණය කරමින් සිටියහ. එහෙත් ඉන් බොහොමයක් අය අවසානයේ මහන්සිවී වැඩකර ගොඩගිය අතර ඉතාමත් සුළු පිරිසක් අතරමග නැවතුනි. ඒ නැවතුනේ දෙමාපියන්ගේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කාලය කා දැමීම උදෙසාම මෙහි පැමිණි අයයි. දැන් වැඩිපුර ඇත්තේ එවැනි අයයි.රැල්ලට අසුව විනාශ මුඛයට ගිය ගැහැණු දරුවන් බොහොමයක් ඈත ගම් වලින් කොළොම් තොට පැමිණියෝ වෙති. ඕව්හු ගමට වඩා නගරයේ ඇති අරුමෝසම් වලට වශීවූවෝ වෙති. ඒ මාතෘකාව ඇතියයි හැ‍ඟේ.

අපිත් අපේ සීනියර් බැච් එකේ අයත් අතර තිබ්බේ බොක්කේ ෆිට් එකකි. ඒ නිසා අපිට රැග් තිබ්බේ නැත. රැග් අවශ්‍යය වුයේද නැත. සුළු සිද්ධියක් ඇරෙන්නට එවැනි දේ වාර්තාවූයේද නැත. ‍හැබැයි ඉතින් කෙල්ලෝ නිසා ඇතිවූ වලිද නැතිව නොවේ. අදටත් අපේ සීනියර් එකෙක් ඉන්න තැනක අපිට බය නැතුව හලෝ මචං යයි ඇමතිය හැකිය. කොච්චර ෆිට් එකක් තිබ්බත් උන් අපේ සීනියර් උන් හන්දා අපේ හිතේ ගෞරවයක් නිතරම තිබුණි. අවාසනාවට අපේ බැච් වලින් පසු එකී සුහදතාවය බැහැර වීමට පටන් ගැනුනි. ඒ නිසා අපේ ජූනියර් බැච් වල බොහෝ දෙනාට අපට එළියේදී මුහුණ දීමට අපහසුතාවයක් තිබේ.

අපිට මහා ශිෂ්‍යය සංගම් තිබුනේ නැත. තිබ්බේ  හැම බැච් එකක්ම නියෝජනය වන පරිදි සාදාගත් පොඩි ඇළුමිනි සොසයිටියක් පමණි. අවශ්‍යය ක්‍රීඩා පහසුකම් ලබාගැනීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න කතා කිරීම, ඇනුවල් ට්‍රිප් එක, ගෙට් එක, පැදුර ඕගනයිස් කිරීම එහිදි සිදුවිනි. (දැන් නම් පැදුරක් තියනවාදැයි නොදනිමි.)

අපිට තිබ්බේ එක ගොඩනැගිල්ලක් පමණි. එක ඩිග්‍රියක් පමණි. අපට හොඳ දේශකයන් සිටියහ. නුවන් සර්, කෝලිය සර්, ප්‍රදාහිනි මැඩම්, චන්ද්‍රිකා මැඩම් වැනි ගුරුවරු අදටක් අප අතර ජනප්‍රිය අය වෙති. එකල වයසින් මුහුකුරා නොගිය අපි ඇතැම් විට ඔවුන්ගේ අවවාදයන් තුට්ටුවකට වත් මායිම් නොකලද කෙලවූ පසුව අපි ඒවා පිළිපැද්දෙමු. සමහර දේවල් අදටත් අපට ප්‍රයෝජනයට ගනිමු. පාරකදී ගුරුවරු දුටුවිට ගොස් කතා කරන්නෙමු.

අපිට බොහෝ පහසුකම් තිබුනේ නැත. පිට්ටනියේ ක්‍රිකට් ගැසීමට බැරි නම් අපි පා‍රේ ක්‍රිකට් ගැසුවෙමු. බේස්මන්ට් එකට කැරම් බෝඩ් ආවේ අපි අවුට් වීමට ආසන්න කාලයේය. අපිට හැටහුටාමාරක් ක්‍රීඩා තිබුනේ නැත. ඒවාට එවැනි පහසුකම් තිබුනේද නැත. අපි ඒවා ඉල්ලමින් පස්සෙන් නොගියෙමු. හැබැයි හැකි හැම දෙයක්ම ආයතනය අපිට ලබා දුන්නේය. අපිට හොඳ රගර් කණ්ඩායමක් තිබුණි. නවාස් අයියා සිටි කණ්ඩායම එකල බොහෝ ජයග්‍රහන ආයතනයට සපයා දුනි.

ඒ දවස් වල එන් අයි බී එම් එක ඇරුනහම මෙවැනි ආයතන තිබ්බෙ මේක විතරයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය  සම්බන්ධයෙන් ඉතාම හොඳ තරඟයක් දෙන්න මේ ආයතනයට හැකිවුනා. ටීවී එකේ පැය විසිහතරෙම ඇඩ් දාන්නෙ නැතුව ළමයි ගන්න දවස් වලට පත්තරේ දාන එක ඇඩ් එකකින් ළමයි දාහක් විතර ගන්න ස්ලිට් එකට හැකිවුනා. වෙළද පල ඒකාධිකාරය කියන කාරණේ මෙතනට අදාල නෑ. ඒත් මේ තත්ත්වය යටතෙදි හිටපු ළමයි එලියෙදි මුහුණ දුන්න සිද්ධි ගොඩක් තියනවා. මෙතන තියෙන්නෙ මම එහෙම පෞද්ගලිකව මුහුණ දුන්න එකක්. ඒ වගේ හුඟක් දෙනෙක් මුල කාලෙ අපි දිහා බැලුවෙ එහෙමයි. මම ඉස්සර වැඩකරපු නම් දරාපු ආයතකයක කළමනාකාර පුහුණුවන්නන් (සිංහලෙන් මැනේජ්මන්ට් ට්‍රේනීස්) ගන්න වෙලාවෙ ඒ ගොල්ලො කියපු දෙයක් තමයි ස්ලිට් ඩිග්‍රිය අපි සලකන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ මමත් ස්ලිට් එකේ ඉගනගන්න කොල්ලෙක්. ඉතින් මටත් ඒ ගැන තර්ක කරන්න අයිතියක් තිබ්බ හන්ද මම ඒ වෙලාවෙ කතා කලා. ඊට පස්සෙ ඒ අය ඒ දේ පිළිගත්තා. මේ වගේ දේවල් ඒ කාලෙ ඕන තරම් වුනා. (දැනුවත්ව).

ඒ දවස් වලත් ලංකාවෙ අයි ටී කරපු අය අතරෙ පොරවල් වෙලා හිටියෙ මොරටු විශ්ව විද්‍යාලය. තොරතුරු තාක්ෂණ ලොවේ පිළිගත් ආයතන හැම එකම වගේ තමන්ගෙ රැකියා විතරක් නෙමෙයි සීමාවාසික පුහුණුවට (සිංහලෙන් ඉන්ටර්න්) මොරටුවෙන් කට්ටිය තෝරාගෙන පස්සෙ කොළඹ ආදි විශ්ව විද්‍යාලවල සිසුන්ට පසුව ස්ලිට් එකේ අයගෙන් තමන්ගෙ අඩු පුටු පුරවගන්න. ඒකෙ වැරැද්දක් නෑ. මොකද ස්ලිට් එක ගැන හුගක් දෙනෙක් දන්නෙ නැති හන්දා. පස්සෙ ඒ අඩු පුටු පුරවන්න ගත්ත ස්ලිට් එකේ වැඩ්ඩො හන්ද ස්ලිට් එක ගැන තිබ්බ හුගක් අදහස් වෙනස් වුනා කියන්න පුළුවන්. අදටත් ඒ ආයතන වල ඒ අවස්ථා හුඟක් හම්බ වෙන්නෙ මුලින් ගිහින් නම හදාගත්ත අය හන්දා තමයි.

ස්ලිට් එකෙන් එලියට එන හැමෝම වැඩ්ඩො නෙමෙයි. ඒක කියන්නම ඕනෙ. එක එක මට්ටම් වල අය ඉන්නවා. හුඟක් අය මොරටුවෙ අයත් එක්ක සංසන්දනය කරන්න යනවා. (හැබැයි මොරටුවට වඩා වැඩකාරයෝ ඉන්නවා. ඒක ඔප්පු කරලත් තියනවා). මොරටුවෙ ඉන්නෙ උසස් පෙලින් ඉහලම ලකුණු ගත්ත අය. ඒත් එහෙම නොවුනා කියල ස්ලිට් එකෙත් වෙනසක් නෑ. මොරටුවෙන් 50ක් විතර එලියට එනකොට ස්ලිට් එකෙන් 600ක් විතර එනවා. ඉතින් එලියේ හොඳ තරඟයක් තියනවා. ඒ හන්දා හුඟක් අයට රස්සාවල් නැති වෙනවා. ස්ලිට් එක ගැන කවුරුත් නොදන්න කාලෙ සමහර උපාධිධාරීන්ට මොන්ටිසෝරි වල උගන්නනන්න වුනේ ඒකයි. ඒත් අද තත්ත්වෙ සෑහෙන්න වෙනස්. අපෙන් පස්සෙ සමහර බැච් වල සමහර අයට නෙට්වර්ක් ඩිග්‍රිය තියා‍ගෙන කිව් ඒ හැටියට වැඩකරන්නත් වුනා.

අපි ඉස්සර හිටිය වගේ සරල සුන්දර වටපිටාවක් දැන් නෑ.ඉස්සර අපි කවදාවත් කොට කලිසම් ඇඳගෙන හවසක වත් ඕක ඇතුලට ආවෙ නෑ. ඉගන ගත්ත තැන පූජනීයත්වයෙන් තියාගත්තා.   අපිට තිබ්බ එකම බිල්ඩිං එක‍වෙනුවට දැන් හුඟක් බිල්ඩිං සහ පහසුකම් තියනවා. අපිට තිබ්බ එකම ඩිග්‍රිය වෙනුවට හුඟක් තේරීම් තියනවා. ( එස් බී ඇමතිතුමාට අනුව නංගිලාට නම් තවත් තේරීම් තියනවා) අපිට රට යන්න වුනොත් ඒ දවස් වල තිබ්බෙ කර්ටින් එක විතරයි. ඒත් අද හුඟක් රටවල් එක්ක ස්ලිට් එක අත්වැල් බැඳන් ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කාලෙ ස්ලිට් එක ඇතුලෙ පොලිටික්ස් තිබ්බෙ නෑ. (දැන් කොහොමද දන්නෙ නෑ) අපිට ලැබ් වල හොඳ මැෂින් තිබ්බා. ඒවායෙන් උපරිම වැඩකලා. ඒ දවස් වල අපිට වෙන්කරල තිබ්බෙ මෙගාබයිට් 2ක් විතර පොඩි ඉඩක්. (දැන් ඇහුවහම නම් හිනා යනවත් ඇති).

අන්තිම වශයෙන් කියන්න ඕනෙ. මම මේ ලිපිය ලිව්වෙ මගේ අත්දැකීම් එක්ක. හැමෝගෙම අත්දැකීම් එක වගේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. සමහරු මට කෑගහයි මොරටුව උන් එක්ක තියන තරහ පිරිමහ ගන්න මම මේක ලිව්ව කියල. මට මොරටු උන් එක්ක කිසි තරහක් නෑ. මම අදටත් මොරටු උන් එක්ක වැඩකරනවා. මගේ ලිපියේ අරමුණ එදා සහ අද ගැන අදහසක් (මට හිතුන) ඉදිරිපත් කරන එක විතරයි. මේ ලිපියෙ තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. ඒත් දිගවැඩි හන්දා ලියන්නෙ නෑ.

කොහොමත් ගිය වැ‍ඩේ කරගන්න එක තමන්ගෙ වැඩක්. විසිකරන්න සල්ලි තියනවනම් කිසි ප්‍රශ්නයක් නෑ. 

Monday, November 19, 2012

අයං රේසිං කාර් කාලෝ - (මේ රේසිං කාර් සමයයි)


අතීත කතා වස්තුව

මගේ ආතා (සීයා) මෙලොව ඉපදී සුළු කාලයකින් පළවෙනි ලෝක යුද්ධය ඇරඹිනි. සන්නිවේදන තාක්ෂණයේ ඇති නොදියුණු බව නිසාම ඔවුන් යුද්ධය ගැන දැනගත්තේ පසුව යයි මම අනුමාන කරමි. නමුත් ය‍ටත් විජිත වාදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ඉක්මනින් යුද්ධය ගැන ලාංකිකයන් දැනගන්නට ඇත. ලෝකයේ අනික් දේවල් ගැන මද දැනීමක් තිබුණු මගේ ආතාගේ උපන් දිනයවත් ආතාගේ තාත්තා හරි හැටි දැන නොසිටින්නට ඇත. එහෙයින් ආතාට ලැබුණු උපන්දින තෑගි ගැන වඩා හොඳ අදහසක් මෙය කියවන ඔබට ගත හැකිය.

මගේ තාත්තා මෙලොව ඉපදීමය වසර කිහිපයකට කලින් දෙවැනි ලෝක යුද්ධය නිමවී තිබුණි. තාත්තාට ඒ ගැන මතකයක් නැති අතර ඒ ගැන මගේ ආතලා හොඳින්ම දන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇතිවූ ආර්ථික අහේනියත් ඉන් ලංකාවට බෝම්බ දැමීමත් නිසාය. ආතාටද දරුවන් හත් දෙනෙක් සිටි නිසා බඩපිස්සා වූ තාත්තාගේ උපන්දිනය මතක නොසිටින්නට ඇත. ආතාගේ අතෙහි දැවටෙමින් සිටි සමයේදී මා දැනගත් දෙයක් වූයේ ආතාගේ මතකයේ බොහෝ දුරට ඇත්තේ තම දරුවන්ගේ උපන් වර්ෂය පමණක් බවයි. ඉඳින් අපේ තාත්තාගේ උපන්දිනයටත් ලැබුණු තෑගි ගැන පෙර සේම අදහසක් ඔබට ජනිත වනු ඇත.

වර්තමාන කතා වස්තුව
පළමු ඊලාම් යුද්ධය ඇරඹිමට මද කලකට පෙර මම මෙලොව උපත ලද්දෙමි. ලෝකයේ තාක්ෂණික දියුණුවක්ද ඇතිවී තිබූ අතර ජේ ආර් සීයාගේ විවෘත ආර්ථික මෙව්වා එක හමුවේ අපේ රට සුරපුරයක් වීම ආරම්භ වී තිබුණි. තාත්තලාගේ කාගේ තිබුණු, තාත්තලාට ආතලගෙන් උපන් දින තෑගි වලට නොලැබුණු තාත්තලා සාදාගත් කොස් කොල තොප්පි, කුරුම්බැට්ටි මැෂින්, බට තුවක්කු වෙනුවට කැප්, සෙල්ලම් කාර්, සෙල්ලම් තුවක්කු එලිබැස තිබූ යුගයක, ඇතැම් එවැනි සෙල්ලම් බඩු උපන් දින තෑගි ලෙස තාත්තාගෙන් ලැබීමට මම වාසනා ලදිමි. මතක ඇති කාලෙක මම කටින් නොයිල්ලුව නමුදු තාත්තා මට අරන් දුන් සෙල්ලම් කාර් දෙකතුනක් සහ ජිරාෆියෙක් අදටත් මා පරිස්සම් කරන්නේ මැණිකක් රකිනා නයෙකු මෙනි.

දැන් ලංකාවේ යුද්ධයක් නැත. (තිබ්බා දැයි මතකද නැත). තොරතුරු තාක්ෂණය කෙළ පැමිණි යුගයකි. අපේ රටේ ජනාධිපති නොව ඇමරිකා ජනාධිපති පත් කිරීමද අපිට සජීවීම නැරඹිය හැකිය. පිටරට වාහනයක් සාදා නිම කල විට ලංකාවේ සිට එය ගෙන්වා ගත හැකිය. එය පැමිණෙන නැව සාගරයේ ඇති තැන නිච්චියටම කියන්න දැන් තාක්ෂණය දියුණුය.

අනාගත කතා වස්තුව
තවමත් මම තාත්තා කෙනෙකු නොවෙමි. එසේ වුවත් මට දරුවාගේ උපන්දිනය අමතක වීමට හේතුවක් නොමැත. මන්ද යත් ෆේස්බුක් එකෙන් හෝ ස්මාර්ට් පෝන් එකෙන් එන රිමයින්ඩර් එකකින් එය මට දන්වනු ඇත.

මගේ දරුවා පිය නගන්නේ අමුතු ලෝකයකටය. ලැජ්ජාව, බය, මිතුරු දම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, ඉතිරිකිරීම, අනාගත දැක්ම, අධ්‍යාපනය වැනිදෑ ඒ අමුතු ලෝකයේ සොයා ගැනීමට අපහසු වනු ඇත.මා ඉගනගන්නා සමයේ මම සයන්ටිෆික් කැල්කියුලේටරයක් භාවිතා කලේ (ඒකත් ඉල්ලගෙන)විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේ වුවත් මගේ දරුවා ලැප්ටොප් එකක් (ඒ කාලෙට එහෙම එව්වා තියේද දන්නේ නැත) ඉල්ලනු ඇත්තේ මොන්ටිසෝරියේ මැද භාගයේදී විය හැක. (ඇතැම්විට ඊටත් කලින් වනු ඇත). මා ජංගම දුරකතයක් භාවිතා කලේ නොකරාම බැරි අවස්ථාවක ගෙදරට කතා කිරීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අග භාගයේ වුවත් මගේ ලමයා අයි ෆෝන් එකක් හෝ අයි පෑඩ් එකක් මගෙන් ඉල්ලනු ඇත්තේ පාසල් යාම ඇරඹීමත් සමගමය.

මා උපයන ධනය මගේ දරුවා සඳහා මදිවනු ඇත. මම මරුටියක් ගත්තේ ලීසින් එකක් දමා තවත් බොහෝ ජංජාල සිදුකර අවසානයේ දීය. නමුත් මගේ ලමයාගේ කාලය වන විට මරුටි ලංකාවෙන් අතුගෑවී ගොස් ඇත. තිබෙන බදු සහන සමග මගේ දරුවා රේසින් කාර් එකක් ඉල්ලන්නේ තම 16 වෙනි උපන් දිනයට පෙම්වතිය බැලීමට යාමට විය හැකිය. ඒ ඉල්ලීම් ලබා නොදුන හොත් මට විරුද්ධව උසාවි යාමට ඔහු පසු බට නොවනු  ඇත. ඇතැම් විට ඔහු එම රේසිං කාරය ඉල්ලනු ඇත්තේ තම පෙම්වතියටද විය හැකිය. එවිට මගේ ආතා මිය යනතුරුත් දෑසින් නොදැකි, මගේ තාත්තා රූපවාහිනියෙන් දැකි, කුඩා කල මම කෙළිබඩුවක් ලෙස සෙල්ලම් කල රේසින් කාරයක් මගේ දරුවාට ඇත්තටම අරන් ‍දෙන්නට වෙනු ඇත.

බුදුන් වහන්සේ පැවසුවේ "අප්පමාදෝ අමත පදං" යනුවෙනි. එනම් අප්‍රමාදව කුසල් රැස් කරන්න යනුවෙනි. මවිසින් දැන්ම තියා අප්‍රමාදීව මුදල් රැස් කල යුතුවන්නේ නූපන් දරුවාගේ  අනාගතයේ ඇතිවිය හැකි "අහිංසක" ආසාවල් වෙනුවෙනි.

මගේ උපන්දිනයකට මම තාත්තාගෙන් ලැබුණු ප්ලාස්ටික් කාරය තවමත් සුරතල් කරමින් සිටිමි.

Tuesday, November 13, 2012

ආයෙත් ඒ සුන්දර ට්‍රැෆික් රාලහාමිලා ගැන කියන වග නම්


කාලෙකට පස්සෙ ඊයෙ මල්ලිලා දෙන්න එක්ක කතා කරන්න සෙට් වුනා. ගෙදර එන්න පරක්කු වෙච්ච හන්ද මාතෘකාව වුනේ ට්‍රැෆික් එක.
"දැන් නම් ඉතින් ට්‍රැෆික් අඩු වෙන්න ඕනෙ. මොකද ට්‍රැෆික් ලයිට් එක ගාව හිටපු රාලහාමිල අයින් කරල"
එක මල්ලි කෙනෙක් කිව්වා.
"ට්‍රැෆික්  ලයිට් ගාව විතරක් නෙමෙයි ඉතුරු තැන් වල ඉන්න එවුන් ටිකත් අයින් කරන්න ඕනෙ ට්‍රැෆික්  හරියන්න"
ඒ අනිත් මල්ලි.
"ට්‍රැෆික් ලයිට් හදල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ ඉන්න මහාචාර්ය වරු එකතුවෙලා. අවුරුදු ගානක පරීක්ෂණ කරල. ඉතින් ඒ මිනිස්සු හදපුවා යට ඉඳන් අට පාස් රාලහාමිලා වාහන යවනවා"
ආයෙත් මල්ලි.

ඉතින් ඔන්න ආයෙත් පොලිස් කතා ඇදෙන්න පටන් ගත්තා. නිකන් පොලිස් නෙමෙයි ට්‍රැෆික් පොලිස්. ඉතින් මේ ඒ දෙක තුනක්.

දවසක් එක මල්ලි කෙනෙක්ගෙ ඔෆිස් එකේ ලොක්කෙක් වාහනේ එලවගෙන යන ගමන් කෝල් එකකට උත්තර දෙන්න පටන් අරන්. (වැඩේ වැරදියි තමයි) ඉතින් රාලහාමි කෙනෙක් දැකල නවත්තල. වාහනෙන් බැහැපු ලොක්කා රාලහාමි ගාවට ගිහින් මෙහෙම කිව්වලු.
"අනේ සර් වැරදි වැ‍ඩේ තමයි සර්. පොඩි හදිස්සි කෝල් එකක් ආවා සර්"
රාළහාමි බොහොම බැරෑරුම් කමට බලලා කිව්වලු
"මහත්තයා කතා කරන්න දන්නවා ඒක හන්දා යන්න" කියල.

තවත් දවසක් මල්ලිගෙ යාළුවෙක්  බයිසිකලේක යනකොට රාලහාමි කෙනෙක් නවත්තල ලයිෂන් එක ඉල්ලලා. යාළුවා නහයෙන් අඬනවලු.
"අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි"
රාළහාමිත් ගේම අතාරින්නෙ නැහැල්ලු.
"දෙනව ලයිසන් එක. මට නහයෙන් අඬ අඬ ඉන්න බෑ"
යාළුව කියන්නෙ එකම දෙයයි.
 "අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි. බෑ රාලහාමි ලයිසන් එක දෙන්න බෑ රාලහාමි"
මේ හෙට්ටු කෙරිල්ල හත් අට වතාවක් වුනාලු. අන්තිමට යාළුවගෙ කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන රාලහාමි "යනව යන්න" කියල යාළුවව එළව ගත්තලු. හැබැයි ඒ යාළුවට දෙන්න ලයිසන් එකක් තිබ්බෙ නෑ කියල රාළහාමි දන්නව නම්....

ළඟදි වෙච්ච සිද්ධියක් මම කලින් පෝස්ට් දෙක තුනක දාල තියනවා. අයියගෙ මගුල් දවසෙ වෙච්ච සිද්ධිය මෙතනිනුත්, වාහන ටින්ටඩ් කරපු සිද්ධිය මෙතනිනුත් අළුත්ම සිද්ධිය මෙතනිනුත් බලාගන්න.

මේ ශ්‍රී ලංකා පොලිසියයි. පොලිසිය මට නඩු දායිද දන්නෙ නෑ. මට නඩු දාල හරි පොලිසිය හැදෙනව නම්..

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...