Showing posts with label සංවාදයට විවෘතයි. Show all posts
Showing posts with label සංවාදයට විවෘතයි. Show all posts

Tuesday, October 17, 2017

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා


පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බූරුවා වගේ අන්වර්ත නාම වලින් බැනුම් අහලත් ඉවරයි. අම්ම තාත්තා බැන්න හන්දා සියදිවි නසාගත්ත ලමයෙකුත් ඒ අතර ඉන්නවා. තමන්ගෙ ලමයට හොඳ ඉස්කෝලයක් නැති වෙච්ච හන්දා තාමත් දුකින් ඉන්න අම්මල තාත්තලත් ඒ අතර ඇති.

මම අද කතා කරන්නෙ ශිෂ්‍යත්වෙ ගැන.

මේකට අම්මලගෙ විභාගෙ කියල කියන්නෙ අනාදිමත් කාලෙක ඉඳන්. හේතුව තමයි ළමයින්ට වඩා මේ විභාගෙට ලෑස්තිවෙන්නෙ අම්මලා. තමන්ගෙ ළමයා හොඳ ඉස්කෝලෙකට යවා ගන්න තියන එකම විදහ තමයි මේ විභාගය.

කෙටියෙන් කියනවා නං මේ විභාගෙ තියෙන හොඳ කම තමයි දක්ෂ දරුවෙක්ට තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හොඳ පහසුකම් තියන “ජනප්‍රිය පාසලක්“ ලැබෙන එක.

තියන නරකම දේ තමයි පොඩි ළමයින්ට දරා ගන්න බැරි තරම් වැඩ ගොඩක් තියන, පොඩි ලමයින්ට තමන්ගෙ ළමාවිය කියන්නෙ මොකක්ද කියල අමතක කරවල පන්ති යන එක. සෙල්ලමක් කරන්න දන්නෙ නැති, ප්ලාස්ටික් සෙල්ලම්බඩු ගැන දන්න කොළපතක් පදින්න, ටයර් එකක් පදින්න දන්නෙ නැති ළමයි ඕනෙ තරම් අපි අතර ඉන්නවා

මේකට කරන්න තියෙන්නෙ ලංකාවෙ හැම පාසලක්ම එක වගේ දියුණු කරල “ජනප්‍රිය පාසලක්“ කරන එක. ඒ වගේම කවදාවත් වෙන්නෙ නැති එකත් ඒකම තමයි. ඒක හන්දා හැමදාමත් මේ අම්මලාගෙ විභාගෙ ඒ විදිහටම තියෙයි.  මොකද අම්මලාට ඕනෙ තමන්ගෙ පුතා කොළඹ රෝයල් එකට හරි කොළඹ ආනන්දෙට හරි දාන්න. එකම නම තිබ්බත් පොලොන්නරුවෙ හරි හොරණ රෝයල් වත් කොට්ටාවෙ ආනන්දෙට වත් ඒ අය කැමති නැත්තෙ ඒකයි. (මෙතන කිසිම ඉස්කෝලයක් පහත් කිරීමක් නැති බව සලකන්න)

අපේ පොඩි කාලෙ ශිෂ්‍යත්වෙට තිබ්බෙ ගනනුයි සිංහලයි විතරයි. ඒත් දැන් ළමයින්ට ඊට වඩා දේවල් ඉගන ගන්න තියනවා. කමත් භාෂාව, ගස් වැල් ගැන, කවි, සීපද, ආදි වාසීන්, සිංහල ජනක්‍රීඩා, පරිසරය වගේ දේවල් දැන් ලමයි ඉගන ගන්න ඕනෙ. මේකෙ එක අතකින් හරිම  හොඳ දෙයක්. ඕනැම ලමයෙක් තමන්ගෙ සංස්කෘතිය ඉගන ගන්න ඕනෙ. මේ විභාගෙන් ඒක කවර් කරනවා.

ඒත් මේ ළමයින්ගෙන් 90%ක් මේ දේවල් ඉගන ගන්නෙ තියරි විතරයි. කමත් භාෂාව ඉගනගත්තට කමතක් දැකල නෑ. ගස් වැල් ගැන ඉගන ගන්නවා. ගහේ තියන ප්‍රයෝජන ගිරව් වගේ කටපාඩමින් කියන්න පුළුවන්. ඒත් ගහකොළක ඇත්ත වටිනාකම දන්නෙ නෑ. අනික මේ දේවල් උගන්නන්නෙ තරඟ විභාගයකට විතරයි. එතනින් එහා ඒ දැනුම කවදාවත් ප්‍රයෝජන වත් වෙන්නෙ නෑ.

මගෙ ඥාතියෙක්ගෙ දියනියක් මීට අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්ව විභාගෙට වාඩිවුනා. ඒ දවස්වල එලියට බහින්නෙත් අඩුවෙන්. වැඩිපුරම ඉන්නෙ පන්තිවල. වැරදිලාහරි එලියට බැස්සොත් අම්මා ඇවිත් පාඩම් කියල දෙනවා. දුව අර ගහ මොකක්ද? ඒ ගහේ ප්‍රයෝජන මොනවද?  මේ කෘමියා මොකාද? උගෙන් ගොවියන්ට තියන ප්‍රයෝජන මොනවද?. ළමයිත් රොකට් එක වගේ. ගින්දර වගේ උත්තර දෙනවා.

මෑතකදිත් ඒ දුව මට හම්බවුනා. එදා ඒ අම්මා පෙන්නුවෙ වෙරළු ගහක්. මම නිකමට වෙරළු ගහක් පෙන්නල ඒ ගහ මොකක්ද ඇහැව්වා. ඒ ළමයා කල්පනා කරල කල්පනා කරල දන්නෙ නෑ කිව්වා. ඉතින් පරිසරය වගේ දේවල් තියරි වලින් ඉගැන්වුවහම තියන අවුල තමයි මේ.

අඩුම තරමේ මේ දේවල් 8 පන්තියෙදි වත් උගන්නනව නං ටිකක් හරි මතක තියෙයි. අවුරුදු 10ක් වගේ පොඩි එකෙකුට මේ තරං දේවල් දැම්මට ඔළුවට වැඩක් තියෙයිද?

මේ ළමයින්ට මීට වඩා පරිසර හිතකාමී විදිහකට උගන්නනව නං තවත් හොඳයි. ඒ කියන්නේ ඒ ඒ අදාල පරිසරයට ගිහිල්ලා එහෙම. ඒත් ඉතින් එහෙම වුනොත් හවස ශිෂ්‍යත්ව පන්තිය මිස් වෙනවා. අපේ ගම, මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරෙ වගේ තැන් තියනවා ටිකක් මේ වගේ දේවල් තියන. ඒත් කවදාවත් අර ඔරිජිනල් ටේස්ට් එක ඒවායෙන් ගන්න වෙන්නෙ නෑ.

මේ කිව්වෙ ජීවිතේට ක්‍රියාත්මක වෙන්නෙ නැති ගොන් හිතලුවක් විතරයි.

ශිෂ්‍යත්වය කියන්නෙ තරඟ විභාගයක්. ඉතින් දිනන්නෙ ඉහලින්ම ඉන්න කට්ටිය විතරයි. ශිෂ්‍යත්වෙට ලකුණු දෙන්නෙ 200න්. එක පේපර් එකකට 100ක්. මේ ගමන ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ 164යි. එතකොට එක පේපර් එකකට සාමාන්‍යය 82යි. නිකං හිතන්න උසස් පෙල සාමාන්‍ය පෙල විතරක් A එකක් ගන්න ළමයෙක් ගන්න ඕනෙ 75යි. එතකොට ශිෂ්‍යත්වය කියන විභාගෙ සමත් වෙන්න උසස්පෙල A එකකට වඩා ලකුණු සාමාන්‍යක් තියෙන්න ඕනෙ. ලකුණු 150ක් තියන ළමයා ශිෂ්‍යත්වෙ අසමත්. එහෙම ළමයෙක් මෝඩයෙක් හරකෙක් කියල දෙමව්පියො හංවඩු ගහනවා. ඒත් ඇත්තටම ඒ ළමයා අසමත්ද?

තීරණය ඔබට බාරයි.

හැම අවුරුද්දකම ශිෂ්‍යත්වෙ ප්‍රතිපල ආවහම මාධ්‍ය ඉස්සරහට විභාගෙ පළවෙනියො එනවා. ඇවිත් මෙහෙම කියනවා.

“ මම හැමදාම එදා දෙන පාඩම් එදාම පාඩම් කලා. අමතර පන්ති ගියා. ගුරුවරු උදව් කලා, දෙමව්පියො උදව්කලා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා“

එහෙමත් විභාග පාස්වෙන්න පුළුවන්. ඒත් මම හිතන්නෙ නියම හරිම ජයග්‍රිහකයෙක් වෙන්නෙ මේවගේ කතාවක් කරන ළමයෙක්.

“මම හැමදාම ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ මම පෝතක බාලදක්ෂ කලා, පරිසර කමිටුවෙ හිටියා. ඉස්කෝලෙ හුඟක් බාහිර වැඩවලට සහභාගීවුනා. සමස්ත ලංකා 11න් පහල ක්‍රීඩා තරඟවලට සහභාගී වුනා. හවස් වරුවෙ මම අයියලා එක්ක ගමේ ඇවිද්දා. ගම ගැන, කුඹුරු නියර ගැන ගස් ගැන හුඟක් පරිසරය ගැන මම ඉගනගත්තෙ අයියලත් එක්ක ගමේ ඇවිදල. මගේ අම්මල තාත්තල මට තමන්ටම ඉගන ගන්න කියල ලොකු නිදහසක් දීල තිබ්බා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම රටට වැඩදායී කෙනෙක් වෙනවා“

කළබල වෙන්න එපා. නිකං ලිව්ව කතාවක් විතරයි. ඒ වගේ ළමයින්ට කියන්නෙ රස්තියාදුකාරයො කියල. පොඩිකාලෙ ඉඳං රස්තියාදුගහන එවුන් කවද්ද විභාග පාස්කලේ කියල ඉස්කොලෙ ඉන්න හැම අම්ම තාත්තම කතාවෙයි.

ඇත්තටම නිකං හිතට ආවට ලියපු කතාවක් විතරයි. සමහරවිට කවදහරි මමත් ළමයෙක්ව ශිෂ්‍යත්ව පංති අරං යනවා ඔයාලට හම්බවෙයි. එදාට ළඟ ඉන්න කෙනාට මාව පෙන්නල අන්න අර ශිෂ්‍යත්වෙ ගැන ලොකු කතා කියපු එකා තමුන්ගෙ ළමයා අරං පන්තියනවා කියන්න එපා.


රැල්ලට අපි ඔක්කොම ගසාගෙන ගිහින් ඉවරයි.

Wednesday, July 26, 2017

පොලිතින් තහනම මගේ ඇසින්

සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් ලන්ච් ෂීට්, ෂොපින් උර වගේම රෙජිෆෝම් පෙට්ටිත් තහනම් කරල. ඉතාමත්ම හොඳ දෙයක්. කොච්චර හොඳ දෙයක් වුනත් හැම එකකම පොඩි පරහක් හිටිනවා.

ඕනෑම ආණ්ඩුවකට කිසියම් දෙයක් තහනම් කරන්න එක රැයකින් පුළුවන්. ඒත් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ විකල්ප දෙන එක. දැන් මේ ප්‍රශ්නෙදි වුනත් තහනම ගෙනාවට ඒ වෙනුවට විකල්පයක් තවමත් නෑ.

ශොපින් උර වෙනුවට අපිට පුළුවන් රෙදි බෑග් පාවිච්චි කරන්න. ඒක තවත් ඉතාම පරිසර හිතකාමී අදහසක්. ලස්සන පාට පාට රෙදි බෑග් ගත්ත අය පාර පුරා ෂොපින් යනවා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මේකෙන් තවත් පිරිසකට ස්වයං රැකියා බිහිවෙනවා. බෑග් හදන අයට විතරක්ම නෙමෙයි ඩිසයින් කරන අයටත්. සුපිරි වෙළඳ සැල් නම් මේ ක්‍රමය මුල ඉඳළම පාවිච්චි කලා. අළුත් විදිහට එයාලා ඒ බෑග් නැවත පාවිච්චි කරනවා නම් පොයින්ට්ස් එකතු කරන්නත් උත්සාහ කලා. මේ මගින් පොලිතීන් බෑග් පරිහරනය යම්තාක් දුරකට අඩුවුනා. ඒත් පොළකට එහෙම යනවනම් ටිකක් ලොකු බෑග් අරන් යන්න ඕනෙ. පොළක් ගත්තොත් ලොකු මල්ලක එලවළු දාගෙන එන්න ලොකු මුදලක් ඕනෙ. දැන් තියන සාමාන්‍ය පවුලකට සතියකට කන්න ගේන්න පොඩි ෂොපින් උරයක් ඇති. ඒත් එයාලත් කවදහරි පුරුදු වෙයි කල් පවතින රෙදි බෑග් එකකට.

නමුත් මෙතනදි මට එන ගැටළුව තමයි මෙච්චරකල් ෂොපින් උර හදපු විකුණපු අයගෙ රස්සාවල් වලට මොකද වෙන්නෙ. ඒ කර්මාන්තශාලා වහල දාන්න වෙනවද? ඒ කර්මාන්ත ශාලා වලින් වෙන ව්‍යුත්පන්න හදන්න පුළුවන්ද? ෂොපින් උර කර්මාන්තය කියන්නෙත් ලොකු Supply Chain එකක්. මේ දාමයෙ එක තැනක් බිඳෙනවා කියන්නෙ මුළු දාමයම බිඳෙනවා කියන එක. ෂොපින් උර හදන්න ඕනෙ අමුද්‍රව්‍ය ගේන්න කට්ටියක් ඉන්නවා. පිරිපහදු කරන්න කට්ටියක් ඉන්නවා. හදන්න කට්ටියක් ඉන්නවා. බෙදාහරින්න කට්ටියක් ඉන්නවා. තව පාවිච්චි කරපු උර ප්‍රතිචක්‍රී කරනය කරන කට්ටියකුත් ඉන්නවා.  ගමේ සිල්ලර කඩේ තියෙන්නෙත් ෂොපින් උර. කර්මාන්ත ශාලාවෙ ඉඳන් ගමේ සිල්ලර කඩේට ෂොපින් උර එන තැනට එනකං කී දෙනෙක් ජීවත් වෙනවද? කඩදාසි උර එහෙමත් නැත්තම් රෙදි බෑග් හදල මේ දාමයෙ ඉන්න අයට ජීවත් වෙන්න පුළුවන්ද?

හවසට ගන්න කොත්තුවක් ගෙදරට ගේන්න රෙජිෆෝම් පෙට්ටි ඕනෙම නෑ. ඒක හන්දා වතුර  රැදෙනවා. මදුරුවො බෝවෙන්න පුළුවන්. රෙජිෆෝම් පුච්චන කොට පිටවෙන වායුව විෂ සහිතයි කියල මම කියවපු ලිපියක තිබ්බා. ඉතිං අපිට රෙජිෆෝම් භාවිතය ලේසියෙන් නැතිකරන්න පුළුවන්. ඒත් මම උඩ කතා කරපු ප්‍රශ්නය එහෙම්මම රෙජිෆෝම් වලටත් බලපානවා.

අන්තිමට අපි එමු ලන්ච් ෂීට්. කොච්චර නෑ බෑ කිව්වත් මේක නම් එදිනෙදා ජීවිතේට නැතිවම බැරිවෙනවා. මොකද හැමෝම බත් බෙදාගෙන වැඩට ගේන්න විදිහක් තියෙන්න ඕනෙ. ප්ලාස්ටික් කෑම පෙට්ටිය මේකට හොඳ ආදේශකයක්. නැවත භාවිතයත් පහසු හන්දා මේක ජනප්‍රිය වෙයි. ඒත් කෑම පෙට්ටියකට බෑග් එකක් ඇතුලෙ ලොකු ඉඩක් යනවා. පොඩි හෑන්ඩ් බෑග් එකක් ඇතුලෙ පර්ස් එකකුයි කුඩෙයි මේකප් සෙට් එකයි අරකය් මේකයි ඔක්කොම දාගෙන යන ගැහැනු කෙනෙකුට කෑම පෙට්ටියකුත් දාන්න ඉඩක් තියෙයි කියල හිතන්න අමාරුයි. පිරිමි අපි හුඟක් වෙලාවට බත් එක බැඳගෙන අරන් එන්නෙ අතේ. ඉතිං ඒක කෑම පෙට්ටියක් වුනොත් දැන්ම ඉඳන්ම විකල්පයක් හොයන්න වෙනවා.

ලන්ච් ෂීට් එකට හොඳම විකල්පෙ තමයි කෙසෙල් කොලේ. එහෙමත් නැත්තම් නෙළුම් කොලේ. හබරල කොලේ කියලත් අවුලක්ම නෑ. පරිසර හිතකාමී දේවල්. නමුත් හොයන්න හරිම අමාරුයි. කොළඹ අවට ඉන්න හුඟක් අය ජීවත් වෙන්නෙ තට්ටු ගෙවල් වල. ඉතිං කොහොමද කෙහෙල් ගස් වවන්නෙ. මේකට තමයි විසඳුමක් ඕනෙ.

අපේ තාත්තලා කියපු කතාවක් මට මතක් වෙනවා. මං හිතන්නෙ මේව සිද්ධවුනේ සමගි පෙරමුණු ආණ්ඩුකාලෙ. ඒ කාලෙ නීතියක් තිබිල තියනවා පොලොස් විකුනන්න බැරි. පොලොස් වික්කොත් පොලිසියෙන් අල්ලනවා. හේතුව පොලොස් වල අවසාන ප්‍රතිපලේ කොස්. කොස් තම්බනකොට හුඟක් දෙනාගෙ බඩ පිරෙනවා. ඒක හන්දා පොලොස් කාලෙ කැඩුවොත් ඒ දේ සිද්ධවෙන්නෙ නෑ. ඒක හන්දා ඒක තහනම් කියලා. ඒ වගේම කුරුම්බා වලටත් ඒ නීතියම තිබිල තියනවා. අවසාන පළය වෙන පොල් වෙනකං ඒවා තියන්න ඕනෙ වෑවර බීලා පොල් වෙන්න තියන ඒවා කලින් විනාස කරන්න ඔට්ටු නෑ වගේ.

මට හිතෙන්නෙ මේ ෂොපින් බෑග් නීතියත් එක්ක කෙසෙල් ගස් වලට මේවගේම අළුත් අගයක් උදාකරයි. කෙසෙල් ගසේ අවසාන ඵලය වෙන්නෙ කෙසෙල් කැන නෙමෙයි කෙසෙල් කොලේ. කැන් සඳහා නොව අතු සඳහා කෙසෙල් වවයි. ඕනෙ නං කෙහෙල් අතු විනාශ කරන කට්ටියට විරුද්දව නඩු දායි. තෛපොන්ගල් වගේ උත්සව වලට කෙසෙල් ගස් පිටින් හිටවන එකට අතුරු තහනම් නියෝග දායි. අන්තිමට නිකං පරඬැල් වෙලා යන කෙහෙල් කොලේට අපමණ අගයක් ලැබෙයි.

නෑ මං නිකං විහිළුවට කිව්වෙ.

ඉස්සර විහිළු කතාවක් තිබ්බා සිරිකොතේ තිබ්බ කෙහෙල් මලක් ඉදිලා ඒක කපනවා පෙන්නන්න රනිල් මහත්තයව එක්කං ගියපු කතාවක්. කෙහෙල් කැන කපන්න ආපු මිනිහා ඉස්සෙල්ලම ගහේ කඳට පිහි පාරක් ගහල පාත් කරල කැන කපපුවම රනිල් මහත්තයා කිව්වලු අපරාදෙ ගහ කැපුවෙ තිබ්බනං තව කැනක් හැදෙනවනෙ කියල. මෙව්වා තනිකරම මඩ ගහන්න හදපු විහිළු කතා. හැබැයි කෙහෙල් කොල සීන් එක නැගල ගියොත් වඳ පීදෙන්න හරි ආයි කෙහෙල් ගස් වවන්න පුළුවන්.

මීට වඩා කෑම ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් අවශ්‍යය වෙයි ඉස්සරහට. මොකද රුපියල් සීයක් එකසිය පනහක් දීල කන බත් එකට කවුරුවත් කෙහෙල් කොලේට විතරක් තව රුපියල් 20ක් 30ක් වියදම් කරන්න මිනිස්සු සූදානම් වෙන එකක් නෑ.

ඕනෑම දෙයකට සූදානම් වෙන්න කාලයක් ඕනෙ (මේ දීල තියෙන්නෙ ඒ මාස දෙක. කැමතිනං කෙහෙල් ගස් හිටවගන්න කියන්න එපා). ඒ වගේම මිනිස්සු ඒකට මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නත් කල් යන්න ඕනෙ. උදාහරණයක් විදිහට පාරවල් අයිනෙ කුණු දැම්ම එක. ඒක එක කාලයකදි අවම වුනා. මොකද හැම තැනම ලස්සනට තිබ්බ හන්දා. ඒ ආකල්පෙ දිගටම තිබ්බනං අපිට සිංගප්පූරුව වගේ ක්ලීන් එකට කොළඹ තියන්න තිබ්බා. ඒත් අපිරිසිදු තැන් වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ ආකල්පත් ඒවගේම වෙනස් වෙලා තැන තැන කුණු දාන්න පටන් ගන්නවා.

කෙසෙල් කොලේ බත් රහයි කියල මිනිස්සු දන්නවා. ඒකම මාකටින් පොයින්ට් එකක් කරගන්න පුළුවන්. හැබැයි කෙසෙල් කොලේ එකම පොයින්ට් එක විය යුතු නෑ. ලඟදි ලිපියක දැක්කා කෙසෙල් කොළයක් දවස් ගානක් තියාගන්න හදන්න පුළුවන් කියල නව නිර්මානයක් කල කෙනෙක්.

මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනෙ. ඒ වගේම මෙතන ලොකු වෙළදපලක් තියනවා. පොඩ්ඩක් හිතන කෙනෙක්ට හොඳ අවස්ථාවක් වෙයි.


මේක දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි. දේශපාලන වශයෙන් බලන්නත් එපා. මෙතන තියෙන්නෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක ගැන කතා කරන එක විතරයි. 

Monday, July 10, 2017

මාකටින් ෆේල්ද? සර්විස් ෆේල් ද?


අනාදිමත් කාලයකින් පෝස්ට් එකක් ලිව්වෙ නෑ. ඒක හන්දා මේ ලියනවත් නෙමයි. නිකං ආවට ගියාට පෝස්ට් ලියන්නත් බෑ. ලිව්වට කියවන සෙට් එකත් අඩුයි දැන්.

අද කියන්න යන්නෙ ගෙදර වෙච්ච සිද්ධියක්. ප්‍රධාන චරිත තාත්තයි මමයි.

ගෙදර දැනට තියෙන්නෙ ඩයලොග් ටී වී පරණ කනෙක්ෂන් එකක්. මේකෙ ප්‍රෝගෑම් රෙකෝඩ් කරන්නවත් රිවයින්ඩ් කරල බලන්නවත් බෑ. සමහර වැඩසටහන් නිදිමරාගෙන බලන්නත් බෑ. ඉතිං හරිම ප්‍රශ්නෙ. ඉස්සර වගේ නෙමෙයි. මමත් ගෙදර එනකොට රෑ වෙනවා. ඉතිං රටේ තොටේ වෙන්නෙ මොනවද කියල දැන ගන්න නිවුස් බලන්න විදිහක්වත් නෑ.

මේ අව් අස්සෙ තමයි අපේ තාත්තට SLT පියෝ ටීවී එකෙන් කොල් එකක් එන්නෙ. පහල නැන්දලගෙන් තමයි නොම්මරේ හොයාගෙන තියෙන්නෙ. කතා කරපු කෙනා තාත්තට කියල තියෙන්නෙ ඒ කනෙක්ෂන් එකේ රිවයින්ඩ් ටීවී තියනවා, රෙකෝඩින් තියනවා. කනෙක්ෂන් ෆී එකත් දෙපාරකට ගෙවන්න පුළුවන්. හැබැයි දැන් අපි ඉන්න පැකේජ් එකට වඩා රුපියල් 200ක් වැඩියි.

ඒ අතරෙ ඩයලොග් එකෙන් තාත්තට SMS එකක් එවලා එක දවසක් ඇතුලත රිවයින්ඩ් ටීවී ගන්න පුළුවන් රුපියල් 99කට. දවස් දෙකකට 199යි කියල.

අමතර 199ක්. කමක් නෑ ඕනෙ එකක්. එහෙම හිතාගෙන තාත්තත් එක්ක කතා කලා තාත්තගෙ තීරනේ මොකක්ද බලන්න.

මේ තියෙන්නෙ තාත්තගෙ අවසාන නිගමනය.


තාත්තා කියනවා හම්බවෙන චැනල් ගානත් එකමයි. SLT එකේ පැකේජ් එක වැඩියි, හැබැයි රිවයින්ඩ් ටී වී දවස් දෙකකට ගත්තොත් ඩයලොග් එකත් ඒ ගානට එනවා. මෙච්චර කාලෙකට ඩයලොග් ටීවී කැඩිලා නෑ. හැබැයි පොඩි අකුණක් ගැහැව්වත් නැන්දලගෙ පියෝ ටීවී එක කැඩෙනවා. ඒක කැඩුනහම හදන්න සුමානයක් විතර යනවා. ඒකටත් කොල් 2-3ක් දෙන්න ඕනෙ. අපිට ඩයලොග් ටීවී පේන්නෙ නැත්තෙ වැස්සක් එන වෙලාවට විතරයි. ටීවී කනෙක්ෂන් නැතුව සුමානයක් ඉන්නවට වඩා වැස්ස වෙලාවට විනාඩි 5-10ක් ටීවි නැතුව ඉන්න එක සැපයි. ඒක හන්දා අපි ඩයලොග් ටීවි එකට රිවයින්ඩ් ෆැසිලිටි එක අරං ඉම්මු.

Thursday, October 20, 2016

කළු බදාදා - මොකද වුනේ


එක්ටා ගිවිසුමට විරුද්ධව ඒකාබද්ධ වෘතිය වේදියන් වරෙක පාරට බැස්සෝය. දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන පැවැත්වූහ. දේශපාලනික වශයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ස්ථාවරයේ තවමත් වෙනසක් නැත.

එතුමාගේ ස්ථාවරයෙන් අපට කමක් නැත.

ආණ්ඩුවට ඡන්දේ දුන්න මිනිස්සු පවා එක්ටා වලට විරුද්ධය. ඉඳින් ඊලඟ ඡන්දය තීරණාත්මකය.

ඒවාද අපට කමක් නැත. මේ ජනවාරි මාසයේ මම එක්ටා එක සම්බන්ධයෙන් තැබූ සටහනකි.

තවමත් වෘතිකයන්ගේ විරෝධය එලෙසමය. ගිවිසුම අත්සන් කිරීමට ඇත්තේ තවත් දවස් ගනනකි. ඊයේ දිනයේ බොහොමයක් වෘතිකයන් ෆේස් බුක්වල (සහ අනෙකුත් සමාජ ජාල වල) තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක සහ කවර් ෆොටෝ එක කළු පැහැයෙන් දමා කළු බදාදා ලෙස විරෝධයක් පැවැත්වූහ. මමද එම විරෝධතාවයට එක් වූයෙමි. මේ ඒ විරෝධය ගැන මගේ අදහසයි.

කෙටියෙන්ම පවසනවානම් මට හැඟෙන ආකාරයට මේ විරෝධය තරමක් අසාර්ථකය. ඒකට හේතු බොහොමයකි

තොරතුරු තාක්ෂන වේදීන් අතර අසමගිය මින් එකකි. එකම කාර්යාලයේ වැඩකරන විවිධ අදහස් ඇත්තවුන් මෙය බොහෝවිට “ පර්සනල් “ ගනිති. අරූ දැම්ම හන්දා මම දාන්නේ නැත.

තවත් පසුගාමී අදහස් බොහොමයක් මුහුණු පොත හරහා මම දැක්කෙමි.

තවත් අය මේක අපිට ආදාල නෑනේ යන ලේබලයෙන් සිටියහ. තමන්ට දැනෙන්නනම් තමන්ට කෙළවෙන්නම ඕනෑය. අනිත් අයගේ වෘත්තීන්ට මේවා අදාලවනවිට පෙරහැර ගොස් අහවරය

තවත් අය එක්ටා එකේ ඇති කරුණු විමසති. එක්ටා එකේ ඇති අන්තර්ගතය නොදැන විරුද්ධවීමට නොහැකියයි පවසති. මට දැනෙන විට අන්තර්ගතය දැනගන්නාවිට ගිවිසුම අත්සන් කොට හමාරය. අන්තර්ගතය වසන් වන්නේ ඇයිද යන්න තවමත් මට ප්‍රශනයකි.

තවත් සමහරු දැන් ප්‍රොෆයිල් එක මාරු කලහම මොකද වුනේ යයි විමසති. ඇත්ත තමාය. මුකුත් වෙලා නැතිය. ප්‍රොෆයිල් පික්චර් එකක් මාරු කල පමනින් රාජතාන්ත්‍රික ගිවිසුමක් අවලංගු නොවේ. පැරීසියට ISIS ගහපු වෙලාවේ ප්‍රේ ෆෝ පැරිස් යයි ප්‍රොෆයිල් පික්චර් මාරු කරපු අය ලංකාවට හොඳක් වේ යයි හීනෙන් වත් නොසිතන ගිවිසුමකට විරුද්දව ප්‍රොෆයිල් පික්චර්ස් මාරු නොකලහ. ඇත්තටම පැරීසියට ගහපු වෙලාවෙ ප්‍රොෆයිල් එක මාරු කලහම මොකද වුනේ?

ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතැම්විට කළු පටි බැඳගෙන ක්‍රීඩා කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීලාද සමහර විට එසේය. ඉතින් පටියක් බැන්දා කියල මොකද වෙන්නෙ කියලා කවුරුත් අසන්නේ නැතිය.

FB එකේ අය තරමක් දැනුවත් වී සිටියහ. නමුත් ටුවිටරේ එවැන්නක් මා දුටුවේ නැත. සාපේක්ෂව බොහෝ දෙනෙක් මේ ගැන නොදැන සිටි බව නම් මට පුද්ගලිකව හැඟුනි.


මෙය ඉතා සාමකාමී, නිවාඩු දැමිය යුතු නැති, අතින් වියදම් නොවන, කාළය ඉතුරුවුන විරෝධතාවයකි. මෙවැනි විරෝධතාවයකටවත් සහයෝගය නොදක්වන වෘත්තිකයින් ගැන කවරකතාද?

Wednesday, October 05, 2016

බුක් ෆෙයා - මගේ ඇසින්


දස ලක්ෂයක් දෙනා නැරඹූ (නැරඹූ කියන්නෙ ඉතිං බලන්න ආපු කියන එක තමයි) මහා බුක් ෆෙයා එකට මමත් දවසක් ගියෙමි.  එහි ගොස් සිදුවූ රස්තියාදු ඇතුළු තවත් මට හිතෙන දේ වාර්තාවක් මෙන් සටහන් කරමි.ටිකක් පරණ සිදුවීම් වුවත් අමාරුවෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.
කියවීම සිතීම විචෑරීම ඔබට බාරය.
  • -          මෙවර බුක් ෆෙයා එක සැනකෙලියක් මෙන් විය. පසුගිය වසර ගනනක් එක දිගටම ගිය නිසා මෙවරද මම ඒ දෙසට ගියෙමි
  • -          වෙනදාට බී එම් අයි සී එච් එක ඇතුලේ වාහන ගාල් කළ හැකි නමුත් මෙවර ගාල් කල යුත්තේ එලියේය. උදේම ගිය නිසා යන්තම් පාර අයිනක වාහනය නවතා ගත හැකි විය. පහුවෙලා පැමිනුන අය කොහේ නවතාගත්තාදැයි මම නොදනිමි
  • -          මෙවර ටිකට් එකක් වෙනුවට දුන්නේ බුක් මාක් එකක් බැවින් වැඩේ හොඳ යයි  මට සිතුනි. එය බුක් මාක් එකක් බැවින්ද ටිකට් එකක් බැවින්ද මිනිස්සු එය විසි කරපු බවක් මම දැක්කේ නැත.
  • -          ටිකට් එකක් නමුත් අතර මගදී ටික්කෝ නැති නිසා ටිකට් නැතුවද ඇතුල් විය හැකිව තිබුණි. උදාහරණයක් ලෙස තුන්වන ගේට්ටුවෙන් ඇතුල් වන ඕනෑම කෙනෙකුට ටිකට් පතක් නොමැතිව ප්‍රදර්ශනයට ඇතුල්වීමේ හැකියාව තිබුනි.
  • -          මාතෘකාව පොත් ප්‍රදර්ශනය නමුත් ඒ හා සමාන ප්‍රමානයක් තේ කඩ, මැගී කඩ, හෝටල්, හොට් ඩෝග් කඩ තිබුණි. පොත් ගන්න ආ බොහොමයක් ඒ කඩ වල ගිමන් හරිමින් සිටියහ. පොෂ් ඈයෝ පොත් නොගෙන මැගී කෑහ, කෝක් බිව්වහ.
  • -          ටිකට් පතක මිල රුපියල් විස්සක් නිසා (ජෝන් ඇමති තුමාට අනුව) අනවශ්‍ය අය බොහොමයක් දවස ගෙවා ගැනීමට මෙහි රස්තියාදු වීමට පැමිණියහ. එය ඇත්තට පොත් ගන්න ආ අයට ඉමහත් වදයක් විය.
  • -          මෝටර් ෂෝ විවාහ වැනි ප්‍රදර්ශන වලට කාලය කා දමනන්නන් පැමිණේ. නමුත් ටිකට් එකක් 100-150ත් අතර වන නිසා එයිනුත් සමහරක් පැමිණෙන්නේ නැත. පොත් ප්‍රදර්ශනයේද ටිකට් පතක් 150ක් 200ක් කලහොත් එයට පැමිණෙන්නේද අවශ්‍යම අය පමණක් විය හැකිය. තවත් අවශ්‍ය නම් එම ටිකට් පතෙන් රුපියල් 150ක පොත් ලබාගැනීමට හැකියාව ලබාදිය යුතුය.
  • -          ප්‍රදර්ශනයේ නිල බැංකු කරුවූයේ සම්පත් බැංකුවයි. නමුත් එහි ඇති ඒ ටී එම් යන්ත්‍රය ඇතැම් තැන් හීදි ලංකා පේ සේවාව අත්හිටුවා තිබුනි.
  • -          ඉන්පසු එකම විකල්පය වූ ලංකා බැංකුවද වරුවක් තිස්සේ ඒ ටී එම් යන්ත්‍රයට මුදල් දමමින් දිගු පෝලිම් ඇති කර තිබුණි.
  • -          මෙවර බොහෝ කුටි වල කාඩ් මගින් ගණුදෙනු කල හැකිවූ බැවින් ඒ ටී එම් විකල්පය වෙනුවට කුඩා අවස්ථාවක් තිබුණි.
  • -          බොහෝ කුටි 20%ක හෝ වැඩි වට්ටම් ලබා දී තිබුණි. එය ඉතාම හොඳ දෙයකි.
  • -          ඇතුල් වන විටම ස්වර්ණ පුස්ථක වල අවසන් වටයට නිර්දේශිත පොත් පත්වල නම් ගසා තිබුණි. නමුත් ප්‍රකාශකයා සඳහන් නොවූ නිසා පොත් සොයා යාමේදී අපහසුතාවය මෙහිදී නොකියාම බැරිය.
  • -          පැය දෙක තුනක් කරක් ගැසූ නමුත් අවශ්‍ය ඇතැම් පොත් සොයාගත නොහැකිවූ නිසාත් පොත් කර ගසා සිටීමත් අපහසු වූ නිසාත්, නැවත පසුදා පැමිණෙන්නැයි සිතා බී එම් අයි සී එච් එකෙන් එලියට බැස්සෙමි.
  • -          මා සමගම එලියට බට බොහෝ තරුණ ළමයි පොත් ප්‍රදර්ශනයට පැමින රංචු ගැසී අඩුම තරමේ රුපියල් විස්සට තිබූ අබලි පොතක් වත් නොගෙන කෑ ගසමින් එළියට ආහ.
  • -          පසුදාත් යාමට අවශ්‍යතාවය තිබුනත් එදින අනුභව කල කට්ට මතක් වී සිතමින් සිටින විට එකවරම ගණ දෙවියන් වැඩම කළහ.
  • -          අන්තර් ජාලයට ගොස් සරසවි පොත් හල, විජිත යාපා පොත් හළ ගුණසේන ගොඩගේ වැනි පොත් හල් වල වෙබ් පිටු වලට ගියෙමි. එහි ගොස් අවශ්‍ය පොත් වල කතෘ සමග නම් ලියාගතිමි.
  • -       පසුදා උදයම මම ළගම ඇති නුගේගොඩ සරසවියට ගියෙමි. උදේම නිසා කවුරුත් නැත. නිවිහැනහිල්ලේ වාහනය නවතා ඇතුල් වනවිටම ස්වර්ණ පුස්තක සියළුම පොත් දොර ලග කබඩ් එකේ විය. ඉන්නා සේවිකාවන්ගේ උදව්ගෙන ඉතා ඉක්මනින් (විනාඩි 20ක් විතර ඇතුලත) ගැනීමට අවශ්‍ය සියළුම පොත් එකම වහලක් යටින් 20%ක වට්ටමකට ලබාගතිමි.
  • -          ලබන අවුරුද්දේත් හිරවී තදවී මහන්සිවී පොත් ගැනීමට අවශ්‍යයයි සිතුනහොත් පමණක් මම බී එම් අයි සී එච් යමි.

Friday, June 10, 2016

ඉගනගත්ත දේවල් ටිකක්


පහුගිය ටිකේ වැඩ අතරේ පොඩි විවේකයක් ලැබුනා. ඉතිං ඉන්න ගමං කියවන්න තේරුම් ගන්න වෙලාවක් හම්බවුනා. මේ දවස් වල වැඩයෙම කියෙව්වෙ ජීවිතේට වටින දේවල්. මම මේ කියන හුඟක් දේවල් හැමෝම අහල තියන දේවල්. හැබැයි කවුරුත් කරන්නෙ නෑ. ඉතිං මම හිතුවෙ ඇයි ඒවා කරන්න බැරි කියලා. එක එක්කෙනාට ඒ දේවල් දැනෙන විදිහ වෙනස්.

අනික ලෝකෙ පොරවල් වෙච්ච හැමෝම තම තමන්ගෙ ස්ටයිල් වලට හැදුන අය. ඒ අයට හරිගියාට පස්සෙ එයාල කරපු දේවල් කියනවා. මිනිස්සු ඉතිං ඒ කියපුව හදල පෝස්ට් හදනවා. ඒ පෝස්ට් කියවල අපේ අය ගොඩ යන්න හදනවා. එත් ඉතිං එක එක අයට ඒවා ගැලපෙන්නෙ අඩුවෙන්. තව සමහර ඒකාලෙ කරපුවා ප්‍රායෝගික නෑ වගේ.

දැන් උදාහරනෙකට කියනවානම් වොරන් බුෆේ මහත්තයා කියනවා ණය පත් පාවිච්චි කරන්න එපා කියලා. ඒකට පුරුදු වෙන්න එපාලු. වර්ථමානෙ ණය පතක් නැතුව ජීවත්වෙන්න අමාරුයි. මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් තියන යුගය. එයා ලෝකෙ දෙවනි පෝසතා. ඉතිං එයාට ඕනෙ නැතුව ඇති. ඒත් ඉතිං අපි එච්චර පෝසත් නැති හන්දා අපිට ඒක ගැලපෙන්නෙ නෑ.

දැන් මං කියන්න යන්නෙ මගෙ හිතට වැදිච්ච කරන්න පුළුවන් කියල හිතිච්ච ඒවා දෙක තුනක්.

පළවෙනි එක - අපි කොච්චර නෑ කිව්වත් ඉස්ඉස්සෙල්ලාම මනුස්සයෙක් මනින්නෙ ඇඳුමෙන්. ඉතිං කවදාවත් ඇඳුමකට වියදම් කරන එක වියදමක් වෙන්නෙ නෑ කියන එක. කවුරුත් කැමතියි ප්‍රියමනාපව ඉන්න. ඉතිං ඇඳුම කියන්නෙ එහෙම ඉන්න පුලුවන් එක විදිහක්. අනික විශේෂයෙන්ම සපත්තු දෙක. ඕනෙම කෙනෙක්ගෙ දැක්ක ගමන් ඇහැයන්නෙ එතනට කියල කියවපු එක තැනක තිබ්බා.

දෙවනි එක - වොරන් බුෆේ කියල තියනවා මෙහෙම කතාවක්. හැබැයි ඊට කලින් බුදුහාමුදුරුවොත් කියල තියනවා කියල යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් කිව්වා. ඒ තමයි “වියදම් කරල ඉතුරුවෙන ටිකෙන් ඉතුරු කරන්න එපා. ඉතුරුකරල ඉතුරුවෙන ටිකෙන් වියදම් කරන්න“ කියලා. තේරෙන සිංහලෙන් කියනවානම් ඔයාගෙ පඩිය 10000 නම් එකෙන් 8000 ක් වියදම් කරල ඉතුරු 2000 ඉතුරු කරන්න ඉන්න එපා. ඉස්සෙල්ල 2000 ඉතුරු කරලා අර 8000 පස්සෙ වියදම් කරන්න කියන එක. මුලින් 2000 ඉතුරු කලොත් යන්තම් ඒක ඉතුරුවෙයි. මොකද වියදම් කරන්න යනකොට අපිට 8000ට සීමා වෙන්න බැරිවුනොත් ඉතුරු කරන්න 2000ක් නැතිවෙනවා.

අන්තිම එක තමයි - හම්බවෙන පුංචිම විවේක කාලෙත් යමක් ඉගන ගන්න යොදවන්න කියන එක. නැත්තම් මේ දේවල් මටත් තේරුම් ගන්න වෙන්නෙ නෑ.


හැමෝටම පොඩි දෙයක්. එත් තේරුම් ගත්තද මන්දා.

Sunday, January 31, 2016

සීපා - ඉන්දියානුවෙකුගේ ඇසින්


මම සුන්දරරාජ් මෝහන් වෙමි. මම ඉපදුනේත් හැදීවැඩුනේත් දැන් ජීවත්වන්නේත් ඉන්දියාවේය. අනාගතය කුමක්වේවිදැයි අපි කාටවත් කිව නොහැකිය. නමුත් අතීතය හා වර්තමානය දන්නා නිසා ඒ ගැන මදක් පවසමි. මා ඉපදුනේ ඉන්දියාවේ කේරලේ ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලකට දාවය. මගේ පියා ගුරුවරයෙකුවූ අතර මව ගෘහනියක වී නිවසේ වැඩකටයුතු කලාය. මගේ පියා ගුරුවරයෙකුවූ බැවින් මමදකුඩාකල සිටම ඒ පරිසරයේ හැදීවැඩෙමින් අධ්‍යාපන කටයුතු කලෙමි. නිදහස් අධ්‍යාපනයක් නොමැති ඉන්දියාවේ බොහෝවිට අප ඉගනගතයුතු වුයේ මුදල් වියදම් කරගෙන නිසා මම පියා වියදම් කළ මුදලට හැකි පමණ ඉගන ගතිමි. අවසානයේ බැංගලෝර් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලදිමි. දෙමාපියන් ජීවිත කාලයක් ඉතිරිකල මුදල් මම සකසුරුවම් ලෙස වියදම් කරගෙන විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශයයයෙන් මාගේ උසස් අධ්‍යාපනය කලෙමි.

ඉන්දියාව ඔබ සිතනා තරම් දියුණු රටක් නොවේ. අපි ඉගන ගන්නා සමයේ අපට ඉන්ටනෙට් තිබුනේ නැත. පාවිච්චි කිරීමට අළුත් විශයානුබද්ධ කරුණු ඇති පෙළපොත් තිබුනේ නැත. තාත්තාගේ මුදල් මම බොහොම අරපිරිමැස්මෙන් භාවිතා කල නිසා මම කෑම අඩුවෙන් ගතිමි. සන්තකයටම තිබු ඩෙනිමි කලිසම් දෙකත් කමිස දෙක තුනත් මමම සෝදා ගත් නිසා ලොන්ඩරියට වියදම් කලයුතු මුදලත් මට ඉතිරිවිය. මගේ දහඩිය ගඳ මට ප්‍රශ්නයක් නොවුනද අනිත් අයද මා මෙන්ම මධ්‍යම පාන්තිකයන් බැවින් මගේ ක්‍රමයම අනුගමනය කළ නිසා ඔවුන්ගේ දහඩිය ගඳද මට හොඳින් හුරුවිය.

තෙවසරක් අවසානයේ මම බැංගලෝර් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කලෙමි. ඉන්පසු මගේ හිස මත බොහෝ බර පැටවී තිබුණි. මගේ දෙමාපියන් පෝෂණය කලයුත්තේ මවිසිනි. මෙතෙක් කලක් ඔවුන් මගේ සියළු පිරිවැය දැරූ නමුත් දැන් මා ඔවුන්ගේ පිරිවැය දැරිය යුතු සමය පැමිණ තිබේ.

ඉන්දියාවේ බොහොමයක් ඇමරිකානු සමාගම් වල උප සමාගම් තිබේ. සිලිකන් වැලි එකද අපට ඇති මහඟු සම්පතකි. අප විශ්ව විද්‍යාලයේ ඉහල පන්තියේ සාමාර්ථ ලබාගත් බොහොමයක් දෙනා ඒ ආයතන වල වැඩ ආරම්භ කළහ. තවත් වියදම් කිරීමට සල්ලි ඇති පිරිස් ඇමරිකාව සිංගප්පූරුව ඕස්ට්‍රේලියාව ආදී රටවලට සංක්‍රමණය වූහ. මට ඇත්තේ පහල සාමාර්ථයක් වුවත් මමත් ඒ හැම එකකටම ඉල්ලුම්පත් දැමුවෙමි. බොහෝ අයදුම් පත්වලට කිසිම ප්‍රතිචාරයක් නොලැබුනු අතර සම්මුඛ පරීක්ෂන සඳහා කතා කල බොහෝ ආයතන වලට ඇතුලත්වීමට මගේ දැනුම මදිවිය. නැවතත් තාත්තාගෙන් මුදල් ඉල්ලාගෙන තුන්මසක් මුළුල්ලේ සම්මුඛ පරීක්ෂණ වලට මගේ කාළය යෙදවීමි. සම්මුඛ පරීක්ෂණ සියයක් පමණ අවසානයේ දී කිසිවෙකු මට රැකියාවක් ලබා දුන්නේ නැත. බොහෝ ආයතන වල පිරවීමට තරම් පුරප්පාඩු නැතිබව මම වටහා ගතිමි.

අවසානයේ මා මෙන්ම අසරණවූ මගේ විශ්ව විද්‍යාලයේ මිතුරන් හතරදෙනෙක් සමග මම ඩේටුඩේසොෆ්ට් මෘදුකාංග ආයතනය පිහිටවූයෙමි. එවිට අපේ ජීවිත වල පරමාදර්ශී චරිත වූයේ බිල්ගේට්ස් සහ ස්ටීව් ජොබ්ස්ය. ඔවුන්ද අපියන මගම ගත් නිසා අපට මෙලෙසින්ම ගොඩයාගත හැකි යයි සිතුවිල්ලක් පහල වී තිබුණි.

හරිහමන් කාර්යාලයක් නොතිබුණු අප ආයතනය ආරම්භ කලේ මිතුරෙකුගේ බෝඩිම තුළ දීය. ඉන්පසු අප මුහුණ දුන් ප්‍රධාන කාරණාව වූයේ සේවාදායකයින් සොයාගැනීමයි. මසකට පමණ පසු තවත් මිතුරෙකුගේ පියෙකුගේ මාර්ගයෙන් කුඩා කඩයක බිල් මුද්‍රනය කරන මෘදුකාංගයක් සෑදීමට ඇනවුමක් ලැබුණි. ඒ ඉන්දියානු රුපියල් දසදහසකටය. එදා අපි කෙතරම් ප්‍රීති වීදැයි අදවනතුරුත් අපි නොදනිමු. මසක් තුල ඉවර කිරීමට භාරගත් ඒ ඇනවුම අවසානයේ මාස දෙකකට පසු අවසන් කර භාර දීමට යාමේදී, අප මුහුණ පෑ ඉරණමටම මුහුණ දුන් තරුණයන්  පිරිසක් එක්ව ආරම්භකල එව්රිඩේසොෆ්ට් ආයතනය එම ඇනවුමම ඉන්දියානු රුපියල් අටදහසකට නිමකර අපට කලින් බාරදී තිබුණි.

ගිවිසුම් ගැන කිසිම අවබෝධයක් නැති අපි එම ඇනවුම මාසයක් ඇතුලත භාරදුන්නා නම් එව්රිඩේසොෆ්ට් ලාට වැඩය ලබා නොදෙන බව කඩයේ අයිතිකාරයා අපත් සමග පැවසුවා මතකය. මෘදුකාංග ඉඩ්ලි හදනවා මෙන් පහසු නැති බව අප පැවසූවිට එය එව්රිඩේසොෆ්ට් ලා කලේ කෙසේදැයි කඩ අයිතිකාරයා පැවසූවිට අපට දීමට උත්තර තිබුනේ නැත.

කෙසේ නමුත් ඒ කඩයේ අයිතිකාරයාගේ මිතුරෙකුගේ කඩයට අපගේ මෘදුකාංගය ඇතුලත් කල හැකිවිය. ඒ ඉන්දියානු රුපියල් හත්දහස් පන්සියයකටය. මසකට පසුව එම මෘදුකාංගයේ වෙනසක් සිදුකල යුතුයයි සේවාදායකයා පැවසූවිට අප එයට ඉන්දියානු රුපියල් හාරදහසක් ඉල්ලුවෙමු. අවසානයේ ඒ වෙළදාම අවසන්වූයේ අපගේ මෘදුකාංගය එම ආයතනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය.

පසුව නැවතත් අපට සේවා දායකයෙකු මුණ ගැසිනි. ඉන්දියානු රුපියල් නවදහසකට අලෙවිවූ ඒ මෘදුකාංගයේ ලාබ බෙදාගැනීමෙන් පසු ආයතනයේ සියළු දෙනා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ත උදෙසා වැඩකළහ. සේවා දායකයා තුන්මසක් ඇවෑමෙන් තමාගේ පළමුවෙනස්කම ඉල්ලනවිට ඩේටුඩේසොෆ්ට් ආයතනය ඈවර කොට මාස දෙකක් විය.

බොහෝ දෙනා පවසන පරිදි මේ ඉන්දියානු මෘදුකාංග නිෂ්පාදනයේ කඩා වැටීමේ සාධකයි. මෙවැනි කුඩුකේඩුකම් මෙන්ම අපගේ දුර්ගුණ නිසාම බොහෝ රටවල් ඉන්දියානුවෝ වැඩකට නැති අය යයි කොන් කළහ. නමුත් ජනගහනය වැඩි නිසාත් ඕනෑම අඩුපඩියකට වැඩ කිරීමට හැකි නිසාත් හැම රටකම ඉන්දියානු ජනගහනය සීග්‍රයෙන් වැඩිවිය.

 මේ මාගේ අතීත කතාවයි. දැන්වර්තමානයට පැමිණෙමු.

ඉන්දියාව විශාල රාජ්‍යයක් බව මම දැන සිටියෙමි. ශ්‍රීලංකාව ගැන මා හොදින්ම දන්නේ ඔවුන් ක්‍රිකට් ගසනා බැවිනි. ඔවුන් අපට හොදින්ම දැනෙන්නේ ඉන්දියාවට එරෙහිය ජයක් වාර්තා කලවිටය. තෙන්දුල්කාර්ලාට අපි සදා ආදරේ අතර ජයසූරියලාට අපි සදා වෛර කරන්නෙමු. මොනවා වුවත් අයි පී එල් ඇතිවිට මේ සියළු දෙනාම ඉන්දියාවට යටය.

තවත් මා දන්නේ අපේ රාමා හනුමන් දෙවියන් සමග ගොස් රාවනා සිරකරගෙන සිටි සීතාව නැවත ගෙන ආ බවයි.

ඉන්දියානුවන් බොහෝමයක් පවසන පරිදි ලංකාව යනු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයකි. අපේ විජය කුමාරයා ලංකාවේ ජනාවාස ඇතිකල බව අදටත් ලාංකිකයන් විස්වාස කරති. අපි අදහන්නේ නැතත් ඉන්දියාවේ නිර්මාණයක් වූ බුද්ධාගමද ඔවුන් අදහති. ඔවුන් අදටත් කරන කියනා බොහෝ දෑ එහෙට රැගෙන ගියේ ඉන්දියාවෙන් බව ඔවුන් පවසති.

මෙහේ චිත්‍රපටි නළු නිලියෝ මෙහෙටත් වඩා ප්‍රසිද්ධ ලංකාවේය. මෙහෙ නාට්‍යයක හාල් චරිතයකටවත් ගන්නේ නැති නිළියන් ලංකාවේ බොහෝ ජනප්‍රියය. ඉන්දියාවෙන් මෙපිට සංගීත ප්‍රසංගයක ගී නොකී ගායකයෝ තමන්ගේ ඉන්ටනැෂනල් ලෙවල් එක පෙන්නන්නේ ලංකාවේය. අපි නොබලන නාට්‍යය බොහොමයක් ලංකාවේ හඩකවා පෙන්නනවා යයි මගේ මිතුරෙකු පැවසුවා මට මතකය.

පුවත්පතක ලංකාව ගැන තිබූ තීරු ලිපියක අඩංගුව තිබුනේ ලංකාව ඉන්දියාව තමන්ගේ ලොකු අයියා ලෙස සළකනවා කියාය. ඉතින් ලොකු අයියා කියන ඕනෙ එකක් මල්ලී කරන්න සූදානම් විය යුතුය.

ඉතින් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බව මේවායින් හොදින් ඔප්පු වෙනවාය.

මේ ලඟදී නැවතත් සීපා නැමති වෙළඳ ගිවිසුම එරට කරළියට ආවේ ලංකාවේ දේශපාලන පෙරළියක් සමගය. ලංකාවේ නායකයෝ නැවතත් ඉන්දියාව සමග සම්බන්ධතා පවත්වන්නට පටන් ගත්තෝය. මුලින් කිසි දෙයක් අපට විස්වාසයක් නැතත් පසුව ලොකු අයියාගේ ඉල්ලීම් මල්ලි පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙන බව පත්තර වලින් මම දුටුවෙමි.

සීපා ගිවිසුමෙන් පළමුවෙන්ම රටවල් අතර හුවමාරුවීමට යන්නේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් බව දැනගත් මම බොහෝ සතුටු වීමි. ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉතා ඉහල මට්ටමක පවතින බවත් එය එරට දළ දේශීය නිෂ්පාදනයේ පස්වන තැන ගන්නාබවත් මම දැන සිටියෙමි.

අපගේ කුඩුකේඩුකම් දන්නා බොහෝ ලාංකික පරිගණක ඉන්ජිනේරුවෝ මේ ගිවිසුම අවලංගු කරන්නයයැයි ඉල්ලා සිටින බව මේ ගැන උනන්දුවෙන් සිටිනා මම සොයාගතිමි. ගිවිසුම බලාත්මක වුවහොත් අපට ලංකාවට ගොස් රැකියා කළ හැකිය. අපේ සල්ලි තියන ආයෝජකයන්ට එහේ මෘදුකාංග “වැඩපලවල්“ දමා අපට රැකියාව දීමට හැකිය. අපට ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇතුල්වීමට වීසා අවශ්‍යය නොවේ. ඉන්පසු ලංකාව අපට ඉන්දියානු ප්‍රාන්තයක් වෙනු ඇත.

මේ ලගඳී ලංකාවේ ඇමතිවරයෙන් කියා තිබුනේ ඇමරිකාව සමග තරඟයක් දීම සඳහා ඉන්දියාවෙන් ලංකාවට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන්වන බවයි. තමන්ගේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පස්වන තැන ගන්නා වෘත්තිකයන් මේ තරම් පහත් කොට සළකන ඇමතිවරුන් සිටින රටක අපට හැකි තරම් පිණුම් ගැසිය හැක.

අනෙක ලංකාවය ඇමරිකාවට තරඟයන් දීමට අවශ්‍යය වුවත් අපට එහෙම වුවමනාවක් නැත. මන්ද යත් මුළු ඇමරිකාවේ ඇති බොහොමයක් මෘදුකාංග ආයතන වල මුල් පුටුව හොබවන්නේ ඉන්දියානුවෙක් නිසාය. සුන්දර් පිචායි යනු ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහු ඉන්දියානුවෙකි. සත්‍යා නඩල්ලා යනු මයික්‍රෝසොෆ්ට් ආයතයයේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුද ඉන්දියානුවෙකි. ශාන්තානු නාරායන් යනු ඇඩෝබි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාය. ඔහුත් ඉන්දියානුවෙකි. ඉන්දියානු තොරතුරු තාක්ෂණ රැකියා විරහිත භාවයට පිළියම් ලබාදීමට මොවුනට හැකිය. නමුත් ඔවුන් ඉන්දියානුවන් බැවින් ඉන්දියානු මිනිසුන් හොඳින් හඳුනයි. එමනිසා ඉන්දියානුවන්ට එම ආයතන වල රැකියා නොලැබෙන්නේය.

ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙකු ගැන නැති හැඟිමක් ලංකාවේ ඇමතිවරයෙකුට තිබේ. එක්පසකට වාසිවන විදිහේ ඩීල් දැමිය නොහැක කියා එම ඇමතිවරයාම කියන තැනකදී එය මට නොතේරේ. මන්දයත් මෙම ගිවිසුමෙන් ලංකාවට වාසිවන තැනක් කොහේවත් මම නොදුටු නිසාය. ඇත්තෙනම මෙය ඉන්දියාව තවත් ඔසවා තබන ගිවිසුමකි.

ලෝකයේ බොහෝ රටවල මුල් පෙලේ මෘදුකාංග සමාගම් ලාභාපේක්ෂාවෙන් තමන්ගේ මෘදුකාංග සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ ඉන්දියාවේය. ඒ අඩුමිල ශ්‍රමිකයන් එහෙන් සොයාගත හැකි නිසාය. නමුත් ඔවුන් තත්ත්වයෙන් උසස් මෘදුකාංග නිපදවයි නම් ඔවුන් තෝරා ගන්නේ ශ්‍රීලංකාවයි. ඉන්දියානු ශ්‍රමය ලාබ නමුත් තත්වයද ලාබ බව මුළු ලෝකයම දනී.

මුළු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 99.5%ක්ම විරුද්ධවුවද ලංකාවේ අගමැති තුමාත් මෙය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එය ඔවුන්ගේ ඉන්දියානු ගැති භාවයද අපේ අගමැතිතුමාගේ බළපෑම් කිරීමේ හැකියාවද යන්න දන්නේ භගවාන් පමණි.

ඒ අතර ඇතැම් ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් මේ පිළිබඳ කැමැත්තද පළකරති. ඒ ඉන්දියාවට ගොස් වැඩිපඩියකට තමන්ගේ සේවය සළසා දිය හැකි නිසාය. එවැනි දවල් හීන දකින එකත් සුන්දරය. මන්ද යත් එසේ පුළුවන් නම් අපේ රටේ රැකියා කරන්නේ අපි වන බැවිනි. ලංකාව යනු ඕනෑම කුණු ගොඩක් හිසේ තබාගෙන පිළිගන්නා රටක් බව මම අසා තිබේ. එසේ නම් අපට ලංකාවට ගොස් එරට ආයතන වල විධායක ශ්‍රේණියේ රැකියා කරමින් ලාංකිකයන් පාළනය කළ හැකිය.

සීපා බලාත්මක වුවහොත් මොඩිට තව බොහෝකාලයක් අපගේ අගමැති විය හැකිය. එය අපගේ ජයග්‍රහනයයි.
ලංකාවට පින් සිදුවන්නට දැන් අපට අළුත් බලාපොරොත්තු ඇත. තවත් මාස කිහිපයකින් අපි නුඹලා වැඩකරන ආයතනයේදී ඔබට ඉහලින් මුන ගැසෙන්නම්.


එතකන් “නමස්තේ“ 

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...