මම මේ ලියන්න යන්නෙ පහුගිය දවස් වල සිද්ධ වෙච්ච දේවල් ටිකක්. සිදුවීම්. හිනා යන දේවල් මුකුත් නෑ. කලින්ම කිව්වා ඔන්න.
පළමු සිදුවීම
මගේ ඥාති සහෝදරයෙක්ගෙ මංගල්‍යය උත්සවය පැවැත්වුනේ වෙසක් දවසට කලින් දවසෙ. ඉතින් වෙසක් පෝය දවසෙ අපි ඒ ගෙදරට ගියා උදව්වෙන්න කියල. වෙසක් දවස හන්ද දන්සැල් වැහි වැහැල. ඉතින් කට්ටියටම ඕනෙ වුනා දවල්ට දන්සැලකින් කන්න. උදේ දහයට විතර නැන්දා ඇවිත් කිව්වා ගෙවල් ලග ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් තියන කතාවක්. ඔන්න ඊට පස්සෙ බත් කන්න හිටපු අපිට දැන් ෆ්‍රයිඩ් රයිස් ඕනෙ වෙලා. දැන් බලන් ඉන්නෙ රතිඤ්ඤා පත්තු කරනකන් පෝලිමට යන්න. දොලහ වෙනකොටත් රත්ඤ්ඤා පත්තු වුනේ නෑ. ඒ වුනාට බඩගින්න නම් පත්තුවෙලා තියනවා. මල්ලි ඉතින් ඉන්න බැරිම තැන බයිසිකලෙත් අරන් ගිහින් බලල ආවා. අයියෝ පස්සෙ බලනකොට දන්සැල හෙට. පස්සෙ සනාගෙ ත්‍රී විල් එකේ නැගල ගියා කිලෝමීටර් දහයක් විතර. ෆ්‍රයිඩ් රයිස් තියා බත් වත් නෑ. පස්සෙ පාන් එක්ක සීනි සම්බෝල දන්සැල් දෙකකටයි නුඩ්ල්ස් දන්සැල් එකකටයි, බෙලිමල් සිසිල් බීම දන්සැල් දෙක තුනකටයි ගිහින් බඩගින්න අඩුකරගත්තා. ආපහු එන්න එනකොට ගෙදරට කිලෝමීටර් දෙකක් විතර තියෙද්දී ත්‍රීවීල් එකේ පෙට්‍රල් ඉවර වුනා. ඒ කිලෝමීටර් දෙකත් තල්ලු කරගෙන ෂෙඩ් එකක් ගාවට එනකොට ආයි බඩගිනියි. ගෙදර ගිහින් ආයිත් නැනදගෙන් බත් පිගානක් ඉල්ලගෙන කෑවා.
දෙවන සිදුවීම
මගේ ඥාති සහෝදරය මධුසමය ගත කරල දවස් දෙකකට පස්සෙ ආයෙත් කොළඹ ආවා. ඇවිත් එදා රෑ නැවතුනේ ගාළු මුවදොර හෝටලයෙ. හවස 7ට විතර මගින් මාව වාහනේට දාගත්ත ආයි ඒක ගෙදර ගේන්න ඕනෙ හන්ද. තවත් අඩුම කුඩුම ටිකක් අරන් අපි වෙසක් ට්‍රැපික් එක අස්සෙ යන්තම් කොම්පඤ්ඤවීදියට එනකොට රෑ 10ට කිට්ටුයි. කොම්පඤ්ඤවීදියෙන් කෙලින්ම අපේ අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන් වුනත් එතන තිබුණ වෙසක් තොරණ හන්ද පොලිස් රාළහාමිල ඒ පාර වහල තිබ්බා. ඉතින් ආයෙත් හරවගෙන කොල්ලුපිටියට ගිහින් තදබදය අස්සෙ ගාළු මුවදොර වට රවුමට එනකොට රෑ 12.05. හෝටලය පැත්තට හරවනකොටම එතන හිටපු රාලහාමි කියපි ඒ පැත්තට හරවන්න බෑ කියල. මම කිව්වා රාලහාමිට අපිට යන්න ඕනෙ හෝටලයට කියල. රාලහාමි බෑම කියනවා. මම ඇහැව්වා එහෙනම් හෝටලයට යන්න වෙන පාරක් තියනවද කියල. වෙන පාරකුත් නැහැල්ලු. ඊට පස්සෙ රාලහාමි අහපි මොකටද හෝටලේට යන්නෙ කියල. මගේ හැටි දන්න හන්ද අයියා පැනල උත්තර දුන්නා හෙට මගෙ හෝම් කමින් එක ඒකටයි යන්නෙ කියල. හා එහෙනම් යන්න කියල රාලහාමි කිව්වා.
තුන්වෙනි සිදුවීම
මට තියෙන්නෙ පොඩි මරුටියක්. ඉන්ධන පිරිමැසුම් හන්දයි ගත්තෙ. වායුසමීකරණයෙ කාර්යක්ෂමතාවය වර්ධනය වෙන්න කියල හිතල වාහනේ වීදුරු ටිකක් අදුරු (ටින්ට්) කලා. ඔන්න පහු වෙනිද අයියගෙ හෝම් කමින් (මං හිතන්නෙ සිංහලෙනුත් හෝම් කමින් තමයි) යනකොට තවත් රාලහාමි කෙනෙක් වාහනේ නැවැත්තුවා. නවත්තල කියනවා මහත්තය ඔය ටින්ට් එක ගලවන්න. නැත්තම් 5000ක් දඩ ගහනවා කියල. මම ඇහැව්වා ඒ ඇයි කියල. පස්සෙ බලනකොට එහෙම නීතියක් දාලා. ඔක්කොම ඉතින් අපිට තමයි. අපරාදෙ. පස්සෙ මම ටින්ට් එක ගැලෙව්වා.
හතරවෙනි සිදුවීම
මම වාහනේ අරන් යන්තම් මාස 5යි. ගන්න පුළුවන් කමකට නෙමෙයි. ලීසිං වල ගනන් අඩුවෙච්ච හන්දයි ගත්තෙ. ආණ්ඩුවෙන් හුගක් බදු අඩුවුනා. දැන් මගෙ වාහනේ විකුණන්න එහෙම බෑ. මොකද තව ටික දවසකින් මම ගත්ත පාවිච්චි කරපු කාර් එකට වඩා අඩුවට අළුත් එකක් ගන්න පුළුවන්. දැන් ඉතින් ගත්ත එක පාවිච්චි කරනවා ඇරෙන්න මාරුකරන්න අදහසක් නෑ.
තව ඔය වාගේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුනා. කියල වැඩක් නෑ අප්පා. ඒක හන්ද කියන්නෙ නෑ.
1 comment:
ලංකාවේ ජීවත් වෙද්දී ලැබෙන අත්දැකීම් නම් කියලා වැඩක් නැහැ. උපරිමයි
Post a Comment