Wednesday, July 18, 2012

මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?

ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච තවත් පොඩි කතාවක් ලියන්න හිතුනා. මේක බාලිකා විද්‍යාලවලට ගිය අයට හොඳට තේරෙයි. (ඇරෙන වෙලාවට ලඟට යන අයට නෙමෙයි). පිරිමි ඉස්කෝල වලට යන අයට එච්චර විශේෂයක් වෙන එකක් නෑ. මිශ්‍ර පාසැල් වලට ගිය අයට කොහොම තේරෙයි ද දන්නෙ නෑ.

මේක වුනේ අපේ ඉස්කොලෙ උසස් පෙළ කරන දවස් වල. මේක තනිකරම කොල්ලො හිටපු ඉස්කෝලයක් හන්ද ගැහැණු ලමයි ගැන ඉතින් අපි දන්නෙ නෑ.

අපිට උසස්පෙළ උගන්නපු ගුරුවරු හරිම කැපවීමෙන් ඉගැන්නුවා. (අපේ කැපවීමක් තිබ්බෙ නැතිවුනාට) අපිට ශුද්ධ ගණිතය ඉගැන්නුවෙ හර්ෂණී මිස්. ටිකක් හෙමින් කතා කලත් මිස් හරි හොඳයි. මිස්ට හිටියෙ පොඩි දුවෙක්. දවසක් මිස් දුවව ඉස්කෝලෙ ඇරිල එක්කගෙන ආවා. (දුව ගියෙ විශාකා එකට. එක වස‍රට ඇතුලත් වුනේ ඒ අවුරුද්දෙ.) ඉතින් මිස් උගන්නන ගන්න කොට පන්තියෙ උන්ට හරි ප්‍රශ්න.

"මිස් මේ මිස්ගෙම දුවද?"
"ඔව් මගේ තමයි"
"ඒක තමයි. නංගී මිස් වගේමයි"
"මිස් ගෙ දුව මිස් වගේ වෙන්නෙ නැතුව උඹලගෙ නංගි වගේ වෙන්න කියලද කියන්නෙ"
පන්තියෙන් සිනා....
"මිස් දුව මේ අවුරුද්දෙද ඉස්කෝලෙ ගියෙ"
"ඔව් මේ අවුරුද්දෙ තමයි ඉස්කෝලෙ දැම්මෙ"
"කොහොමද මිස් විශාකා එකට දැම්මෙ"
"සල්ලි දුන්නද?"
"ලමයි අපි  පාඩම කරමුද?"
"මිස් සල්ලි දුන්නෙ නැත්තම් කොහොමද ඉස්කෝලෙට දැම්මෙ"
පන්තියෙ ඉන්න රොබට් ට මාරම ප්‍රශ්නයක් තමයි ඉස්කෝලෙට දාපු විදිහ. රොබා බැරිම තැන මිස්ගෙන් මෙහෙම ඇහැව්වා.
"මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?"
මිස් ඇත්තටම ගිහින් තියෙන්න විශාකා වුනාට මිස් මේ ප්‍රශ්නෙන් ටිකක් අන්ද මන්ද වුනා.
"පුතා විශාකා එකේ ඕ බී ඒ එකක් නෑ. ඒකෙ තියෙන්නෙ ඕ ජී ඒ එකක්"
දන්න කාලෙ ඉඳන් කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල වලට ගියහම මෙහෙම දේවල් වෙනවා.

Tuesday, July 17, 2012

පාලිත ලොක්කට Wish කරපු හැටි


මේක සිද්දවුනේ මම කලින් වැඩ කරපු තැන. මේ සිද්ධිය වුන එක්කෙනාගෙ නියම නම කියන්න නම් බෑ. අපි එයාට පාලිත කියමු. පාලිත වැඩකලේ ඒ ආයතනයේ ලීගල් ඔෆිසර් හැටියට. පාලිත  අවුරුදු 45ක් විතර තරුණ කොල්ලෙක්. මොකද මිනිහා බැඳලා නෑ. (සිකුරු හතේ ෆිල්ම් එකේ හැටියට මිනිහා කොල්ලෙක්). අනික හැම වෙලාවෙම ඉන්නෙ "අම්මි" එක්ක. ඒතරම් පොඩි කොල්ලා.

පාලිත හරි ආසයි ලොක්කට ගොට්ට අල්ලන්න. වැඩ කරන වෙලාවට ඒතරම් යටහත් පහත් සේවකයෙක් හොයාගන්නත් නැති තරම්. ලොක්ක ගාවට යන්නෙ දෙකට තුනට නැමිලා.

පාලිතගෙ පොඩි පුරුද්දක් තිබ්බා වැඩට එන්නෙ විනාඩි 10ක් විතර පරක්කුවෙලා. විධායක ශ්‍රේණියෙ හන්ද එච්චර ප්‍රශ්නයකුත් නෑ.

අනික පාලිත එයාට වඩා පහල මට්ටමේ සේවකයන්ට සැලකුවේ හි‍ට්ලර් වගේ ආදරෙන්. පොටෝ කොපියක් ඔනෙ නම් ඒක පො‍ටෝ එකකම කොපියක් එන්න ඕනෙ. මැෂින් එකෙන් එලියට එන්න කලින් ඒක එයාගෙ අතේ තියෙන්න ඕනෙ. ඔය වගේ බ්‍රහ්ම නීති හන්ද සුළු සේවකයො ඔක්කොම හරි ආදරෙයි පාලිතට.

ඉතින් දැන් තමයි කතාව කියන්න යන්නෙ.

අපේ ලොක්කට ලොකු උසස් වීමක් හම්බවුනා. ඒක අපි දන්නෙ උදේ ආවහම. ඉතින් හැමෝම පේලියට ගිහින් ලොක්කට විෂ් කරන්න ගත්තා. පාලිත එන්නෙ විනාඩි 10 ක් පරක්කු වෙලානෙ. ඉතින් අන්තිම දෙතුන් දෙනා තමයි විෂ් කර කර හිටියෙ.

හැමෝම ලොක්කට විෂ් කරන වෙලාවෙ මිනිහ විතරක් විෂ් නොකර ඉන්න එක හරි ප්‍රශ්නයක්. ඉතින් ෂේප් එකේ පියන්ට කතා කලා.

"මොකද අයිසේ ලොක්කට හැමෝම විෂ් කරන්නෙ?"
මේ වෙලාවෙ තමයි පියන් අයියට ගණ දෙවි නුවන පහල වුනේ. මිනිහා ගත්ත කටටම කිව්වා
"ඇයි සර් දන්නෙ නැද්ද? අද බොස් ගෙ උපන් දිනේනෙ"
පාලිතට දැන් හරි. මිනිහ කලිසම ෂර්ට් එක එහෙම හදා ගෙන  විෂ් කරන්න යන්න හදනකොටම ලොක්කත් වීදුරු කාමරෙන් එලියට ආවා. අපේ මිනිහ පැන්න ගමන් අතට අත දීලා කියපි
"Many Happy returns of the day Mr.Perera"
ඔන්න ඉතින් ලොක්කා තුෂ්ණීම්භූත වෙලා බලන් ඉන්නවා. පාලිතටත් ටිකක් අප්සෙට් වගේ. අපේ සෙට් එකත් පැත්තකට වෙලා අතින් කට වහගෙන හිනාවෙවී බලන් ඉන්නවා.
"Why Mr. Perera?"
පොර ආයෙත් අහනවා. ඉතින් ලොක්ක උත්තර දුන්නා.
"No Palitha, today is not my birthday. Any way thanks for your wishes"
ඊට පස්සෙ ලොක්ක යන්න ගිය ගමන ගියා. පාලිතත් පාඩමක් ඉගන ගත්තා මං හිතන්නෙ. අපිත් ෆුල් ෆන් එකක් ගත්තා රතු වෙච්ච පාලිත‍‍ගෙ මූණ බලලා.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...