Wednesday, January 25, 2017

සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ඇත, ඒ ගැන ගැහැනුන් කියන දේ.



ඉවානා
ඒ කාලෙ කොච්චර ලස්සනද? සීත කාලෙට හිම වැටෙනවා. වසන්ත කාලෙට ගස්වල මල් පිපිල සුවඳ හමනවා. ග්‍රීස්ම කාලෙට හරිම රස්නෙයි. කොච්චර රස්නෙ වුනත් හැමදාමත් මං සන්තෝසෙන් හිටියා.

පොඩි කාලෙ පුරාම මම කලේ හිම මත ලිස්සායාම. මම ඒකට හුඟක් දක්ෂයෙක් වුනා. මගෙ තාත්තාත් ඒකට මට උදව් කලා

මගේ තරුණ කාලෙ. චෙක් රටේ ඉපදිච්ච මං පොඩිකාලෙම ඇමරිකාවට ආවෙ හොඳ ජීවිතයක් ගෙවන්න දාහක් හීන මවාගෙන. නාඹර තරුණ කාලෙ ගෙදරට වෙලා ඉන්නකොට දකින හැමෝම කිව්වෙ චෙක් රටේ කෙල්ලො හරිම ලස්සනයි කියලා. ඒක මම ඇහැව්වෙ එකපාරක් දෙපාරක් නෙමෙයි. එකම දේ ආයි ආයි ඇහෙනකොට මටත් හිතුනා ඒක ඇත්තක් කියල. මමත් ඒක විස්වාස කලා. පස්සෙ කාලෙක ප්‍රොයිඩ් මහත්තයා ලියපු පොතක් කියවනකොට මම දැක්ක එහෙම හිතෙන එකට කියන්නෙ වර්ණපාල තියරිය කියල.

ටික කාලයක් යනකොට මටම හිතුනා මම ලස්සන ඇති කියලා. මම ටිකක් විලාසිතා නිරූපනය පැත්තට බර වුනා. චෙරි ගෙඩියක් වගේ ලස්සනට හිටපු මටත් ඕනෙ නම් එක රැයින් ජනප්‍රිය නිරූපිකාවක් වෙන්න තිබ්බා ප්ලේ බෝයි වගේ සඟරාවක කවරෙක හිටිය නම්. ඒත් මම කවදාවත් එහෙම කලේ නෑ. මට කවදාහරි දිදුලන අනාගතයක් තියනවා කියල දවසක් හම්බවෙච්ච ජිප්සි ආන්ටි කෙනෙක් අත බලලා කිව්වා. ඉතිං මොකටද?

මෙහෙම ඉන්නකොට තමයි මට හැත්තෑ ගනන් වල මුල ඇල්ෆ්‍රඩ් හම්බ වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් හරි හැඩකාරයා. එත් මගෙ හිත එච්චර කැමැත්තක් තිබ්බෙත් නෑ. කොහොම වුනත් අපි බැන්දා. හුඟක් ගැහැට මැද්දෙන් ගෙවපු අපේ ජීවිතේ අවුරුදු දෙකක් යනකොට අපි ලිහාගත්තා.

මේ විදිහට මම ටික කාලයක් ආයෙත් තනියෙන් හිටියා. මම සහබාගීවෙච්ච මොඩ්ලින් ෂෝ එකක් බලන්න ආපු ඩොනල්ඩ් මාව දැකල කරපු විවාහ යෝජනාව මම එකහිතින් පිළිගත්තා. මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් හිටියා.

එයා හන්දා, එයාගෙ සල්ලි හන්දා මම එයාගෙම බලපෑමටම සමාජ ක්‍රියාකාරිනියක් වුනා. ගෙදර වැඩකරන ගමන් සමාජෙටත් මොනව හරි වෙන්න ඕනෙ කියල මමත් හිතුවා.  ඩොනල්ඩ් හරිම නාස්තිකාරයා. මම එයා නාස්ති කරන සල්ලි ඉතුරු කරන්න පෙළඹෙව්වා. එයා නිතරම ඒ ගැන මට ප්‍රශංසා කලා. මම බලන් ඉන්දැද්දි එයාගෙ ව්‍යාපාර දෙගුණ තෙගුණ වුනා. හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

කාලෙත් එක්ක අපට ළමයි ලැබුනා. ව්‍යාපාර ගැන බලන්න තිබ්බා. සමාජ සත්කාරක වැඩ තිබ්බා. මං වයසට ගියා. අන්තිමට මට ඩොනල්ඩ් මග හැරුනා. අවුරුදු පහළවකට විතර පස්සෙ අපි වෙන්වුනා. ඒත් එයා අද ඉන්න තත්ත්වෙන් ඉන්නෙ මං හන්දා.

මර්ලා මේපල්ස්
මං ඉපදුනේ ජෝර්ජියාවෙ. පොඩි කාලෙ ඉඳන්ම මට ලස්සන රූපයක් තිබ්බා. අල්ලපු ගෙදර එලිසබත් නැන්දා හැම වෙලාවෙම කිව්වෙ මේ කෙල්ලට නං තියෙන්නෙ මහරැජිනට වගේ ලස්සන රූපයක් කියලා. අපේ තාත්තගෙ අය්යා පිලිප් මහප්පා කිව්වෙත් ලෝරා බලන්න මේ කෙල්ල කවද හරි  නිලියක් වෙනවා කියලා. ලෝරා කිව්වෙ මගෙ අම්මා.

හැමෝම පොඩි කාලෙ ඉඳන් මේ නිලි පිස්සුව ඔළුවට දාල තිබ්බ හන්දා හැම වෙලාවෙම  හිත වැඩ කලේ ඒ දිහාවට. අන්තිමට මම දිනුවා. මට මැක්සිමම් ඕවර්ඩ්‍රයිව් ෆිල්ම් එකේ රඟපාන්න හම්බ වුනා. එතන ඉඳන් මම නිලිකමට වැඩ කලා. ඊට පස්සෙ මට හොඳ කලක් ආවා. 1991 දි පොඩි වැඩි වැඩකට අතගැහැව්වෙ අමතර ගානක් හොයා ගන්නම නෙමෙයි. මගෙ දක්ෂතාවය කොහොමද බලන්න. ඒ වැඩෙත් හරි ගියා. මම රෙස්ලින් තරඟ වල නිවේදිකාවක් වුනා.

දවසක් එයා (ඩොනල්ඩ්) රෙස්ලින් තරඟයක් බලන්න ආවා. ටිකක් වෙලා යනකොටයි තේරුනේ එයා රෙස්ලින් නෙමෙයි බලන්නෙ මං දිහා කියලා. ඩොනල්ඩ් සල්ලිකාරයා. වයසත් ටිකක් වැඩියි. ඒ වෙනකොටත් එයා බැඳලා ඩිවෝස් වෙලා හිටියෙ. ඩිවෝස් වෙන්න හේතු හැටියට එයා කිව්වෙ ඒ ගෑනි එක්ක ඉන්න බෑ. එයා ගැන හොයනවා වෙනුවට සමාජ සත්කාර කොර කොර ඉන්නවා කියල.

සල්ලි බාගෙත් මැරෙන්න තියනවනං ගෙදරට වෙලා මනුස්සයව බලාගන්නෙ නැතුව පිස්සු නටන ගෑනුත් ඉන්නවනෙ කියල මම හිත හදාගත්තා. ඒ වෙනකොට ඩොන් (මම ආදරේට කියන්නෙ එහෙමයි) නැත්තටම නැතිවෙලා හිටියෙ. ව්‍යාපාර පාඩු වෙලා. එයාට සහයට කෙනෙක් ඕනෙම වෙලාව. එයා මගෙන් ඇහැව්වා. මම කැමතිවුනා. අපි බැන්දා.

මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් හිටියා.

ඩොන් මට හොඳට සැලකුවා. මමත් එයාට හොඳින් සැලකුවා. ඒ වෙනකොටත් මම රඟපානවා. ටී වී ෂෝස් කරනවා. ඒ හැම එකටම එයා එනවා. මං හන්දා එයාගෙ ජනප්‍රියතාවෙ වැඩිවෙනවා කියල එයා කීප සැරයක් මාත් එක්ක කියල තියනවා. මාත් ඒක දන්නවා. මනුස්සයට සල්ලි තිබ්බට එයාගෙ ජනප්‍රියතාවෙ එහෙම පිටින්ම නැතිවෙලා ගිහින් තිබ්බෙ. මගෙ ටීවී පර්සනැලිටි එක හන්දා ඩොන් තව තවත් ජනප්‍රිය වුනා.

ඩොනල්ඩ් හරිම නාස්තිකාරයා. මම එයා නාස්ති කරන සල්ලි ඉතුරු කරන්න පෙළඹෙව්වා. එයා නිතරම ඒ ගැන මට ප්‍රශංසා කලා. මම බලන් ඉන්දැද්දි එයාගෙ ව්‍යාපාර දෙගුණ තෙගුණ වුනා. හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

කාලෙත් එක්ක අපට ළමයි ලැබුනා. ව්‍යාපාර ගැන බලන්න තිබ්බා. දිගටම මට ටීවී වල වැඩ තිබ්බා. මං වයසට ගියා. අන්තිමට මට ඩොනල්ඩ් මග හැරුනා. අවුරුදු හයකට විතර පස්සෙ අපි වෙන්වුනා. ඒත් එයා අද ඉන්න තත්ත්වෙන් ඉන්නෙ මං හන්දා.

මෙලනියා
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ ස්ලෝවෙනියාවෙ. හැමදාමත් ස්ලෝවෙනියන් කෙල්ලන්ට තිබ්බෙ කඩා හැලෙන ලස්සනක්. පොඩි කාලෙ ඉඳන්ම ඒ ලස්සන මගෙත් තිබ්බා. මගෙ පළවෙනි වෙළඳ දැන්වීමට ඉන්නකොට මට වයස දාසයයි මාසයයි. මං අවුරුදු පහේ ඉඳං මොඩලින් කලා. කොහොම හරි 18 වෙනකොට මම ඉතාලියෙ මොඩලින් ඒජන්සි එකක් එක්ක ගිවිසුමක් අත්සන් කලා. ස්ලෝවෙනියාවෙ කෙල්ලන්ගෙ ලස්සන පෙන්නල මුළු ලෝකෙම වශී කරන්න මට වුවමනාවක් තිබ්බා. මේ ඒජන්සි එකේ වැඩකරන කාලෙ මට නිව්යෝක් වල වැඩ වගේකට එහෙ ඉන්න වුනා. මට දිගටම වැඩකරන්න වුනේ ඇමරිකාවෙ සඟරා එක්ක. ජීකිව්, වැනිටි ෆෙයා, වෝග් වගේ සඟරා වලට මම නිරූපිකාවක් විදිහට පෙනී හිටියා. මෙහෙම ටික කාලයක් යනකොට වොග් සඟරාවෙ පිටු වැඩි හරියක් මගෙ පින්තූර වලින් පිරුනා. වෝග් සඟරාවෙ අයිතිකාර මහත්තයා ඩොනල්ඩ් මගෙන් ඇහැව්වා ඇමරිකාව හරි ලස්සන රටක්. ඉතින් ඇයි ඔයා මෙහෙ නවතින්නෙ නැත්තෙ කියල. ඒ වගේ ලොක්කෙක් කිව්වහම නොකරත් බෑ. ඉතිං මං ඇමරිකාවෙ වැඩකරන්න වීසා අරගෙන ඩොනල්ඩ් ගෙ මොඩලින් ඒජන්සියෙ වැඩකරන්න පටන් ගත්තා.

ඩොනල්ඩ් හුඟක් මගෙ වැඩ ගැන හොයල බැලුවා. ඒ මනුස්සයගෙ වයස එක්ක බැලුවම මගෙ තාත්තා වගේ. ඒත් පස්සෙ පස්සෙ මට තේරුනා අපි අතර තියෙන්නෙ තාත්ත කෙනෙක්ගෙයි දුවෙක්ගෙයි අතර තියන සම්බන්ධයක් නෙමෙයි කියල.

ඩොනල්ඩ් හන්දා මට 2001 ග්‍රීන් කාඩ් හම්බවුනා. ඩොනල්ඩ් මට පිස්සු වැටිලයි හිටියෙ. ඒ වෙනකොට එයා කසාද දෙකකින් වෙන්වෙලා හිටියෙ. ඒවට හේතු ගොඩක් එයා මට කිව්වා. මට තේරිච්ච විදිහට එයා ගොඩක් එයා ගැන වදවෙනවාට කැමතියි. කලින් දෙන්නම එයාලගෙ වැඩ විතරයි බලල තිබ්බෙ. ඉතින් මේ මනුස්සයට එපා වෙන එක අහන්නත් දෙයක්යැ.

ඩොනල්ඩ්ට උතුරන්න සල්ලි තිබ්බා. ඒත් එයා තවත් සල්ලි හොයන්න මහන්සිවුනා. මමත් එයාට උදව්කලා. ඩොනල්ඩ් මට විවාහ යෝජනාවක් ගෙනාවා. එතකොට මට 34. ඩොනල්ඩ් ට 58. අපි දෙන්නා ඒ වෙනකොට අපි දෙන්නට ආදරේ කලා. වයස නං කන්නයැ. ඕන තරං සත්‍ය ප්‍රේම බෘංගරාජයො ඉන්නෙ. අනික මං තරුණයි. වයසට ගියහම එච්චර පේන්නෙ නෑ. මට හිතුනෙම එහෙම. අන්තිමට අපි බැන්දා. 2006 එයා හන්දා මට සිටිසන් හම්බවුනා.

මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් තවමත් ඉන්නවා.

අපි එකතු වෙලා වැඩ කලා. ඔබාමා ජනාධිපති වුනාට පස්සෙ ඔබාමගේ පවුලගෙ ලොකු  කතා මට අහන්න දකින්න ලැබුනා. මිෂෙල් මං තරන් ලස්සන නෑ. ඒත් මිෂෙල්ට තියන බලය ලබාගන්න මට කොච්චර සල්ලි තිබ්බත් බෑ නේද කියල හිතුනා. මට ක්ලියෝපැට්‍රා මතක් වුනා. මම මගේ හිතේ තියන දේ වෙන විදිහකට ඩොනල්ඩ්ට කිව්වා. ඩොනල්ඩ් ඔයා ඇමරිකාවෙ ඊලඟ ජනාධිපතිවෙන්න. එතකොට ඔයාට කරන්න බැරි දෙයක් නෑ.

ඔව් දෙවියනේ. පුදුමෙකට වගේ එයා ඒක පිළිගත්තා. එයා ඒකට වැඩකලා. එයාට ජනාධිපතිවෙන්න පුලුවන් වුනා. එදා මං තරං සන්තෝස වෙච්ච කෙනෙක් මුළු ලෝකෙවත් නැතුව ඇති. එයාට ජනාධිපතිවෙන්න එයාගෙ ආර්යාවගෙ ලස්සන කොච්චර බලපෑවද? එයාට විරුද්ධව ගෑනු කතා කොච්චර තිබ්බද? ඒවට අපි අතර අඩදඹර තිබ්බා තමයි. ඒත් මේ වෙලාවෙදි මම ඒක ආයුධයක් කරගත්තා.

මං නොහිටින්න අද ඩොනල්ඩ් තාමත් නිකම්ම නිකං ඩොනල්ඩ්. . හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

ඩොනල්ඩ්.
පොඩිකාලෙ ඉඳං මට පීනන්න තරං සල්ලි තිබ්බා. දුකක් අඩුපාඩුවක් තිබ්බෙ නෑ. තාත්තගෙ ව්‍යාපාර බාරගන්නකොට මට කිසිම අහේනියක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ඉඳලම මට ලස්සන ගෑනියෙක් පේන්න බෑ. දැන් හැත්තෑවක් වෙලා තාම එහෙමමයි. මට සල්ලි පැටව් ගස්සන්න මහන්සි වෙන්න වුවමනාවක් තිබ්බෙ නෑ. ඒවා ඔක්කොම ව්‍යාපාරෙ සේවකයො කලා. ඒ අය මහන්සිවෙලා වැඩ කරලා මගේ වත්කම් වැඩි කරල දුන්නා. මම ගෑණු තුන් දෙනෙක් කසාද බැන්දා. බඳින දවස්වල උන් ඉටි රූප. පස්සෙ දියවෙලා වැක්කෙරිලා යනකොට මම අතෑරල දැම්මා. මගෙ සල්ලි හන්දා දික්කසාද වලින් පස්සෙ උන් ලොකු ලොකු බිස්නස් පටන් ගත්තා. ඒව නං මට මිසිසිපි ගඟට දාපු ඕට්ස් ඇටයක් වගේ.

පස්සෙ මේ සල්ලි විතරක් තිබිලා හරියන්නෙ නෑ කියල දැනුනා. ධනය තියනවනම් බලය තියෙන්න ඕනෙ කියල පරණ පුස්කොල පොතක තියනවා කියල මං ගාව වැඩකරන ලංකාවෙ ඩයල් එකක් කිව්වා. ඉතිං මම සල්ලි වියදං කරල ජනාධිපතිකම මිලදී ගත්තා.


මගේ කතාව එච්චරයි.

1 comment:

Chutte said...

🤣🤣🤣

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...