Monday, November 19, 2012

අයං රේසිං කාර් කාලෝ - (මේ රේසිං කාර් සමයයි)


අතීත කතා වස්තුව

මගේ ආතා (සීයා) මෙලොව ඉපදී සුළු කාලයකින් පළවෙනි ලෝක යුද්ධය ඇරඹිනි. සන්නිවේදන තාක්ෂණයේ ඇති නොදියුණු බව නිසාම ඔවුන් යුද්ධය ගැන දැනගත්තේ පසුව යයි මම අනුමාන කරමි. නමුත් ය‍ටත් විජිත වාදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ඉක්මනින් යුද්ධය ගැන ලාංකිකයන් දැනගන්නට ඇත. ලෝකයේ අනික් දේවල් ගැන මද දැනීමක් තිබුණු මගේ ආතාගේ උපන් දිනයවත් ආතාගේ තාත්තා හරි හැටි දැන නොසිටින්නට ඇත. එහෙයින් ආතාට ලැබුණු උපන්දින තෑගි ගැන වඩා හොඳ අදහසක් මෙය කියවන ඔබට ගත හැකිය.

මගේ තාත්තා මෙලොව ඉපදීමය වසර කිහිපයකට කලින් දෙවැනි ලෝක යුද්ධය නිමවී තිබුණි. තාත්තාට ඒ ගැන මතකයක් නැති අතර ඒ ගැන මගේ ආතලා හොඳින්ම දන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇතිවූ ආර්ථික අහේනියත් ඉන් ලංකාවට බෝම්බ දැමීමත් නිසාය. ආතාටද දරුවන් හත් දෙනෙක් සිටි නිසා බඩපිස්සා වූ තාත්තාගේ උපන්දිනය මතක නොසිටින්නට ඇත. ආතාගේ අතෙහි දැවටෙමින් සිටි සමයේදී මා දැනගත් දෙයක් වූයේ ආතාගේ මතකයේ බොහෝ දුරට ඇත්තේ තම දරුවන්ගේ උපන් වර්ෂය පමණක් බවයි. ඉඳින් අපේ තාත්තාගේ උපන්දිනයටත් ලැබුණු තෑගි ගැන පෙර සේම අදහසක් ඔබට ජනිත වනු ඇත.

වර්තමාන කතා වස්තුව
පළමු ඊලාම් යුද්ධය ඇරඹිමට මද කලකට පෙර මම මෙලොව උපත ලද්දෙමි. ලෝකයේ තාක්ෂණික දියුණුවක්ද ඇතිවී තිබූ අතර ජේ ආර් සීයාගේ විවෘත ආර්ථික මෙව්වා එක හමුවේ අපේ රට සුරපුරයක් වීම ආරම්භ වී තිබුණි. තාත්තලාගේ කාගේ තිබුණු, තාත්තලාට ආතලගෙන් උපන් දින තෑගි වලට නොලැබුණු තාත්තලා සාදාගත් කොස් කොල තොප්පි, කුරුම්බැට්ටි මැෂින්, බට තුවක්කු වෙනුවට කැප්, සෙල්ලම් කාර්, සෙල්ලම් තුවක්කු එලිබැස තිබූ යුගයක, ඇතැම් එවැනි සෙල්ලම් බඩු උපන් දින තෑගි ලෙස තාත්තාගෙන් ලැබීමට මම වාසනා ලදිමි. මතක ඇති කාලෙක මම කටින් නොයිල්ලුව නමුදු තාත්තා මට අරන් දුන් සෙල්ලම් කාර් දෙකතුනක් සහ ජිරාෆියෙක් අදටත් මා පරිස්සම් කරන්නේ මැණිකක් රකිනා නයෙකු මෙනි.

දැන් ලංකාවේ යුද්ධයක් නැත. (තිබ්බා දැයි මතකද නැත). තොරතුරු තාක්ෂණය කෙළ පැමිණි යුගයකි. අපේ රටේ ජනාධිපති නොව ඇමරිකා ජනාධිපති පත් කිරීමද අපිට සජීවීම නැරඹිය හැකිය. පිටරට වාහනයක් සාදා නිම කල විට ලංකාවේ සිට එය ගෙන්වා ගත හැකිය. එය පැමිණෙන නැව සාගරයේ ඇති තැන නිච්චියටම කියන්න දැන් තාක්ෂණය දියුණුය.

අනාගත කතා වස්තුව
තවමත් මම තාත්තා කෙනෙකු නොවෙමි. එසේ වුවත් මට දරුවාගේ උපන්දිනය අමතක වීමට හේතුවක් නොමැත. මන්ද යත් ෆේස්බුක් එකෙන් හෝ ස්මාර්ට් පෝන් එකෙන් එන රිමයින්ඩර් එකකින් එය මට දන්වනු ඇත.

මගේ දරුවා පිය නගන්නේ අමුතු ලෝකයකටය. ලැජ්ජාව, බය, මිතුරු දම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, ඉතිරිකිරීම, අනාගත දැක්ම, අධ්‍යාපනය වැනිදෑ ඒ අමුතු ලෝකයේ සොයා ගැනීමට අපහසු වනු ඇත.මා ඉගනගන්නා සමයේ මම සයන්ටිෆික් කැල්කියුලේටරයක් භාවිතා කලේ (ඒකත් ඉල්ලගෙන)විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේ වුවත් මගේ දරුවා ලැප්ටොප් එකක් (ඒ කාලෙට එහෙම එව්වා තියේද දන්නේ නැත) ඉල්ලනු ඇත්තේ මොන්ටිසෝරියේ මැද භාගයේදී විය හැක. (ඇතැම්විට ඊටත් කලින් වනු ඇත). මා ජංගම දුරකතයක් භාවිතා කලේ නොකරාම බැරි අවස්ථාවක ගෙදරට කතා කිරීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අග භාගයේ වුවත් මගේ ලමයා අයි ෆෝන් එකක් හෝ අයි පෑඩ් එකක් මගෙන් ඉල්ලනු ඇත්තේ පාසල් යාම ඇරඹීමත් සමගමය.

මා උපයන ධනය මගේ දරුවා සඳහා මදිවනු ඇත. මම මරුටියක් ගත්තේ ලීසින් එකක් දමා තවත් බොහෝ ජංජාල සිදුකර අවසානයේ දීය. නමුත් මගේ ලමයාගේ කාලය වන විට මරුටි ලංකාවෙන් අතුගෑවී ගොස් ඇත. තිබෙන බදු සහන සමග මගේ දරුවා රේසින් කාර් එකක් ඉල්ලන්නේ තම 16 වෙනි උපන් දිනයට පෙම්වතිය බැලීමට යාමට විය හැකිය. ඒ ඉල්ලීම් ලබා නොදුන හොත් මට විරුද්ධව උසාවි යාමට ඔහු පසු බට නොවනු  ඇත. ඇතැම් විට ඔහු එම රේසිං කාරය ඉල්ලනු ඇත්තේ තම පෙම්වතියටද විය හැකිය. එවිට මගේ ආතා මිය යනතුරුත් දෑසින් නොදැකි, මගේ තාත්තා රූපවාහිනියෙන් දැකි, කුඩා කල මම කෙළිබඩුවක් ලෙස සෙල්ලම් කල රේසින් කාරයක් මගේ දරුවාට ඇත්තටම අරන් ‍දෙන්නට වෙනු ඇත.

බුදුන් වහන්සේ පැවසුවේ "අප්පමාදෝ අමත පදං" යනුවෙනි. එනම් අප්‍රමාදව කුසල් රැස් කරන්න යනුවෙනි. මවිසින් දැන්ම තියා අප්‍රමාදීව මුදල් රැස් කල යුතුවන්නේ නූපන් දරුවාගේ  අනාගතයේ ඇතිවිය හැකි "අහිංසක" ආසාවල් වෙනුවෙනි.

මගේ උපන්දිනයකට මම තාත්තාගෙන් ලැබුණු ප්ලාස්ටික් කාරය තවමත් සුරතල් කරමින් සිටිමි.

9 comments:

ඉෂාන් said...

සහතික ඇත්ත සහෝ.මට හිතෙන්නේ ඒ දේ වෙන්න වැඩි කාලයක් ගතවෙන එකක් නෑ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

රසවත් ලියවිල්ලක් , අනාගතය ගැන මම බලන්නේ සුභවාදීව (ලංකාවේ නොවේ )

Achira said...

ස්තුතියි ඉෂාන්/බුවා දෙදෙනාටම

කෝරලේ මහත්තයා said...

සහතික ඇත්ත කතාව. නියමයි සහෝ

මුදියන්සේ said...

ඕකට වැඩි කල් නෑ,
දැන් 6 වසර කොල්ලන්ට දෙන්නෙත් අන්තර්ජාලයෙන් හොයන්න ඕනි පැවරුම්

මේ මචන් කොමෙන්ට් කරන විදිහ වෙනස් කරන්න

Achira said...

@කෝරලේ මහත්තයා - ස්තුතියි සහෝදරයා

@මුදියන්සේ - ඒක නම් ඇත්ත. පොඩි උන්ගෙ පොතක් ගත්තොත් එාහම අපිත් හොල්මන් වෙනවා.
"මේ මචන් කොමෙන්ට් කරන විදිහ වෙනස් කරන්න" මොනවද වෙනස් කරන්න ඕනෙ?

SilentSahan said...

ඒ උනාට මචන් ලැම්බෝගිනියක 130 විතර යද්දී
එන එක ගන්න බැහැ පොලොන්නරුව හම්බන්තොට
වව්නියාව හොරොවිපතාන වගේ පැති වල කාලකන්නින්ට
එදිනෙද වේල හදාගන්න ක්‍රමයක් වැඩපිළිවෙලක්
හදල දුන්නත් ...
( මන් කිව්වා දේ තේරෙනවනේ ...?)

හොදම හොද ලිපියක් , එත් වැඩේ තියෙන්නේ අධිරාජ්‍ය වාදී
බටහිර ගැති ප්‍රතිගාමී ලක්ෂණ පෙන්නුම් කරනවා ...
අන්න එහෙම කිව්වොත් කියපන් මූණටම
" යකෝ ඔතොකොට රේසින් කාර් ගේන්නේ දේශීය චින්තනයෙන්ද " කියාලා ...

Sanjaya සිතුවිලි said...

සහතික ඇත්ත සහෝදරය....ඕකට තව වැඩි කාලයක් යන එකක් නැහැ...

The Modern Patriot said...

නියමයි අචිර අය්යේ . ඔන්න ලිංක් එක මම ඉස්සුවා.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...