Tuesday, June 11, 2013

ගුරුතුමානෙනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!


වරෙක මම මගේ කැමරාවට තවත් ලෙන්සයක් ගැනීමට රට වටා සෙව්වෙමි. ලෙන්ස් වර්ග බොහොමයක් තිබුනද මගේ අවශ්‍යයතාවට හරියන්නේ කුමක්දැයි තෝරාගැනීමට නොහැකිව ලතැවුනි. බොහෝදෙනා එම ලෙන්ස් වල විවිධ ගුණාගුණ කීහ. ගනන් සදා කියුහ. මමද අන්තර්ජාලයේ ඒ ගැන සෙව්වෙමි. එහෙත් තවමත් මා අතරමං වී ඇත. එකල මගේ මුහුණු පොතේ සිටි මිතුරන් අතර ඉන්ද්‍රනාථ තේනුවරයන්ද සිටියහ. එකල මා ඔහු දැන සිටියේ ඡායාරූපකරනයේ සහ පොටෝෂොප් මෘදුකාංගයේ හසල දැනුමක් ඇති යෝධයෙක් ලෙසය. මෙවන් කෙනෙක්ගෙන් මගේ ලෙන්ස් ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකියයි මට සිතුන නමුත් මෙවැනි කෙනෙක් මාවැනි ආධුනිකයෙක් හට උපකාර කරයි යැයි මට සිතුනේ නැත. නමුත් දුර ඇති ඉලක්කයකට ඊයක් යවන අටියෙන් මුහුණු පොතෙන් මගේ ප්‍රශ්නය පණිවිඩයක් ලෙස යැවීමි.
පැයකට පමණ පසු මා පුදුමයට පත්කරමින් ඔහු මට පිළිතුරක් එවා තිබුනි.

ලෙන්ස් ගැන ටයිප් කරනවාට වඩා කටින් කියන එක ලේසියි. ඒක හන්දා මේ නොම්මරේට කොල් එකක් දෙන්න

මම හැරෙන තැපෑලෙන් දුරකතන ඇමතුමක් ගතිමි. ජීවිතේට දැකලා නැතිවුවද මම ඔහුට සර් කියූවේ මා වැනි ආධුනිකයෙකුට එවැනි පිළිතුරක් එවීමත් මා මවිත කරන්නක් වූ නිසාය.

ඔහු මා ඇමතුවේ මල්ලී කියාය. කාච ගැන බොහෝ දේ කියාදුන් ඔහු ඒ ගැන ඔහුගේ අත්දැකීම් කිසිදු අහංකාර කමකින් තොරව මා හා බෙදා ගත්තේය. අවසනදී ඔහු මෙසේ පැවසීය.

මල්ලී, හුඟක් අයට ගනන් හදල පෙන්නන්න පුළුවන්. කරන විදිහ කියන්න පුළුවන්. ඒත් වැඩේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒක ගැන අවබෝධයක් තියන මිනිස්සුන්ට විතරයි. ඔයා බය නැතුව ඒ ලෙන්ස් එක ගන්න. මමත් ඒක පාවිච්චි කරල තියනවා. තියරි වලට වඩා මිනිස්සු ප්‍රැක්ට්කල් වෙන්න ඕනෙ.

ඉදින් මම ඒ ලෙන්ස් එක ගතිමි. අදටත් මා බොහෝ කැමති  ඡායාරූප වැඩි හරියක් අරගෙන ඇත්තේ ඒ කාචයෙනි.

ඉන්පසු නැවත වරක් මට තේනුවරයන් මුණ ගැසුනි. ඒ බොරලැස්ගමුව හන්දියේ අබාන්ස් උඩුමහලේ ඒ මහතාගේ පන්තියේ දීය. ඒ මීට වසර  දෙකහමාරකට තුනකට පමණ පෙරය. මම ඔහු දුටු මුල් අවස්ථාව එයවිය. ශරිරයෙන් කුඩා නමුත් දැනුමෙන් ඔහු පරිපූර්ණ බව මට කෙටි කලකින්ම වැටහි ගීයේය.

එතනට යාමට මට සිදුවූයේ එතුමාගේ අළුත් ඡායාරූපකරණය පිළිබඳ පන්තියේ ආරම්භයයි. එයට බොහෝ දුර බැහැරින් ළමුන් පැමිණියහ. ඡායාරූපකරණය ගැන උණක් ඇතිවූ කාලයේ මම ඡායාරූපකරණය ගැන හැදෑරීමි. නමුත් ඒ බොහෝ දේ න්‍යයායික කරුණුවිය. ඒවා ප්‍රායෝගිකව හසුරවන්නේ කෙසේදැයි මට තිබු දැනුම අල්ප විය. ඒ දැනුම වැඩිකරගැනීමට තේනුවරයන්ගේ පන්තියේ  පළමු දවසම මට ඇතිවිය. එතැන් පටන් දිගටම මම ඔහුගේ ගෝලයෙකුවීමි. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු නොවුනද වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩකිරීමට ඔහුගෙන් මා බොහෝ දැනුමක් ලබා ගතිමි. අපට ඇතිවන හැම ප්‍රශ්නයටම ඔහු තුල විසදුමක් විය.

සමුහයක් ලෙස අපි අපේ පන්ති නිමා කලෙමු. අධික රාජකාරීවැඩ සහ පුද්ගලික ප්‍රශ්න හමුවේ ඉන්පසු මට තේනුවරයන් මුණ ගැසීමට හැකිවූයේ පන්තියේ ඇගයීම බාරදීමට යාමේදී පමණි. ඉන්ඉක්බිති තේනුවරයෝ සහතික පත්‍රය ලබාගන්නැයි කෙටි පණිවුඩයක් මගින් දන්වන ලදී. නමුත් එම අවස්ථාවටද සහභාගීවිමට මට නොහැකිවිය.

ඉන්පසු මට ආදරණිය ගුරුතුමා මුණගැසුනේ එතුමාගේ පොතක් දොරට වැඩුමකදීය. ඒ මහවැලි කේන්ද්‍රෙය්දීය. ඒ සදහා කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ලබාගැනීමට මම වාසනාවන්ත වීමි. එම දොරට වැඩුමේදී තේනුවරයන් එතුමාගේ ගුරුතුමාට ගුරු ගෞරව දක්වන ලදී. දොරට වැඩුම අවසානයේදී ඒ පොතේ එතුමාගේ සමරු සටහනක් ලබාගැනීමට මම පෝලිමට සිටියෙමි.

 අචිර සෙටිෆිකට් එක ගත්තෙ නෑ නේද? ඒක තියනවා අරන් යන්න.
මගේ හිත පත්තු වී යනවා සේ මට දැනුනි. මට අමතක වුවත් ගුරුතුමාට මාගැන අමතක වී නැතිවා සේය. මම හැකි ඉක්මනින් එතුමා හමුවට ගොස් එතුමාගෙන් එය ලබාගතිමි. නැවතත් තේනුවරයන් සමග නිදහසේ කතා කලෙමි. සර් මට බොහෝ දේ පවසන ලදී. ඒ අදහස් තුල බොහෝ පිළියම් විය. ඇතැම් දේ ගැන හිතේ බර අඩුවී ගිය සෙයක් දැනුනි.

ගුරුවරයෙකු හැටියට එතුමා මට බොහෝ දේ කියා දුන්නේය. තවමත් මම බොහෝ දේ  ඉගන ගනිමි. මිතුරෙක් හැටියටද එසේමය. ගුරුවරයෙක් මිතුරෙකුවන්නේ කලාතුරකිනි. එසේම වටිනා ගුරුවරයෙක් හැටියට තවත් බොහෝදේ එතුමාගැන පැවසිය හැකිය. පැවසිය යුතුය. සටහන දිගවැඩිවන බැවින් එතුමා මට දැනුනු අවස්ථා කිහිපයක් මෙලෙස සටහන් කලෙමි.


මේ නිරහංකාර මිනිසාගේ උපන්දිනය වෙනුවෙන් මේ කුඩා සටහන තබමි. තේනුවරයානෙනි. ඔබට සුබ උපන්දිනයක් වේවා!. චිරාත් කාලයක් වැජඹේවා!

2 comments:

The Modern Patriot said...

ජීවිත කාලය තුළ මිනිසුන්ට සුන්දර මිනිසුන් මුණ ගැසිය හැක්කේ අතලොස්සකි. ඒ අතලොස්ස අතරින් සුවිශේෂී සුන්දර මිනිසුන් ලෙස අපට හදුනාගත හැක්කේ ඉතා සීමිත පිරිසකි.

ඉන්ද්‍රනාථ තේනුවර නම් වූ හදවතින් වයසට යෑම නතර වූ ආදරණීය ගුරුවරයාගෙන් මම චිත්‍ර කලාව, ඡායාරූපකරණය හෝ මෙතෙක් ඉගෙන නොගත්තෙමි. නමුත් ජීවිතය පිළිබද ඔහු අපහට කියාදුන් පාඩම් ප්‍රමාණය, දුන් ආදර්ශ ප්‍රමාණය නම් අති මහත්ය.

ප්‍රවීන ඡායාරූපශිල්පියෙකු, ගත් කතුවරයෙකු, චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව අව්‍යාජ සමාජ ක්‍රියාකාරිකයෙකු, අති දක්ෂ ගුරුවරයෙකු ලෙස පමණක් නොව, කළණ මිතුරෙකු, ආදරණීය පියෙකු, සැමියෙකු ලෙස තම සමාජ භූමිකාව පුළුල් පරාසයකට විහිදන ඉන්ද්‍රනාථ තේනුවර නම් සුන්දර මිනිසා අද තම ජන්ම දිනය සමරයි.

ඉන්ද්‍රනාථ තේනුවර නම් සුවිශේෂී සුන්දර මිනිසාට නිරෝගිමත් සුබ උපන් දිනයක් සමග දීර්ඝායුෂ පතමි.

sAm (සෑම්) said...

ශිෂ්‍යෙයකුගෙන් හොදක් අසන්නාවූ ගුරුවරු අද අල්පය.

මේ සටහනින් ගුරුතුමාගේ මෙන්ම ශිෂ්‍යාගේද මට්ටම් පෙන්වා දෙන්නේය.

ජය වේවා !

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...