ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවමින් සිටිමි. බොහෝවිට
සතියේ දින හතේම වැඩය. කුඩා ඉස්පාසුවක් ලැබුණුවිට කොන්ඩය කපා ගැනීමට බාබර් සාප්පුවට
ගියෙමි. ඒ අන්තිම වරට කොණ්ඩය කපා මාස 5කට පසුවය. මා යනවිට තවත් 4 දෙනෙක් පෝලිමේය.
තවත් මාස 5කට පසුව පැමිණෙන්නටවත් හැකිවේදැයි නොදන්නා නිසා පෝලිමේ පස්වෙනියාට
එක්වූයෙමි. කරන්නට වැඩක් නැති නිසා එතන තිබූ පත්තර කියවන්නට වීමි. මදක් පරණ නමුත්
මට අළුත් තොරතුරු එහි අඩංගු විය.
තවත් දෙදෙනෙකු පෝලිමේ සිටී. දැන් ඉතිරිව ඇත්තේ
කාන්තා පත්තරයකි. එයත් කියවීමට පටන් ගත්තෙමි. මුල පිටුව “චංගුමී“ ගේ වෛවර්න පින්තූරයකින්
පුරවා ඇත. දැන් දැකලා ඇති නිසා දෙවන
පිටුවට හැරවීමි.
“පුංචි ඔබට පෙරපාසල් යනවිට චංගුමී ලෙස හැඩවෙන්න මේ මෝස්තර අම්මාට කියා මසා ගන්න“ ඒ පතරොම් සියල්ල පෙර පාසල් ලමුන්ට සහ ඹවුන්ගේ අම්මලාටය. මම වෙන පිටුවක් පෙරලීමි.
“තරුණ යුවතියකට සුජාත දියණියගෙන් ගත හැකි පාඩම්“
ලංකාවේ වියත් (ද කොහෙද) ලේඛිකාවක් (ලු) ලියනලද
ලිපියකි. එයද මට නොවන බැවින් තවත් පිටුවක් පෙරලීමි.
“චංගුමීගේ ආහාර වට්ටෝරු“ අනේ මන්දාය.
ආහාර වට්ටෝරු බලා අන්තිම හරියේ පිටුවක් පෙරලීමි.
“පසුගිය සතියේ අභීත දියණී කතාව නවකතාවක් ලෙස“.
අඩුවට තිබුණේ ඒක පමණි. පෝලිමේ මට කලින් හිටපු කෙනාට හදිස්සියේ ගෙදරින් කෝල් එකක් ආ නිසා ඊලඟට මම කොණ්ඩය කපා පරිස්සමින් ගෙදර ආවෙමි.
සතියේ දවසක ටිකක් කලින් ගෙදර ආවෙමි. යකෙක් කන්න
බඩගිනි බැවින් කෑම එක බෙදාගෙන සාලයට ආවේ රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීමටයි. රසට
අනා පළමු කට කෑවා පමණි.
“ඔයාගෙ වැසිකිලිය සෝදන්නෙ ඕකෙන්ද?“
“ඔව් ඒකෙන් පිරිසිදු වෙනවා ඔයාගෙ එකට වඩා“
“හා එහෙනං අම්මප කියන්න“ (වැරදුනා)
ඇය වැසිකිලිය සුද්ද කරයි. අනෙක් ගැහැණිය එය ඔප්පු
කරන්න කියයි. වැසිකිලිය සුද්ද කල ගැහැනිය එක පාරක් ෆ්ලෂ් කර එය අතගා පෙන්වයි.
“නොදකිං විතරක් ගෙදර කන වෙලාවට පෙන්නන ඒවා“
බඩගින්න දැඩි නිසාම තවත් කටවල් දෙක තුනක් කා අත
සෝදා ගතිමි.
4 comments:
මරු පෝස්ට් එක ලංකාවටම ගැලපෙන විදිහ
තමුන්ගේ වැරැද්ද මොකද කන වෙලාවට ටීවී බලන්න ගියේ :P
ඒකත් අැත්ත තමයි
කතාව ඇත්ත. මිනිස්සු තමන්ට පෙනෙන දේ පස්සෙන් රැල්ලට යනව. හැබැයි ඉතින් ඉස්සර ඔෂින් කතාව යනකොට කවුරුවත් ඔෂින් වගේ අඳින්න ගියෙ නැහැ. ඔතන තියෙන්නෙ පොඩි පහේ අනුකරනයකින් තෘප්තියක් ලැබීම. එක්කෙනෙක් මොනව හරි කලාම අනික් අය ඔක්කොම ඒක පස්සෙන් දුවනනව. හොඳ වෙලාවට මේ කාලෙ ටාර්සන් කතාව පෙන්නුවෙ නැත්තෙ. මොකද ටාර්සන්ගෙ ස්ටයිල් කරන්න උනොත් එහෙම...
Post a Comment