Sunday, August 30, 2015

වැද්දන්ගෙන් ප්‍රවේසම් වෙනු


ලංකාවේ ආදි වාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මදක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදි වාසීන් සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. කොලොම්බස් අයියා ඇමරිකාව හොයා ගන්නා විට එහි රතු ඉන්දියානුවෝ සිටියහ. කොලොම්බස් මිනිසුන් ජීවත්වන රටක් හොයාගෙන උදම් අනා ලෝකයට දෙඩවීමෙන් පසුව මෙච්චරකල් එහි සිටි මිනිස්සු ආදි වාසීන් වූහ. කොලොම්බස් ලා නවීන ජනයා වූහ. නමුත් සියැටල් වැනි ගහකොල සතා සීපාවාට ආදරය කරන මිනිස්සු එක්ක බලද්දී කොලොම්බස් නොදියුණු ම්ලේච්ච ගෝත්‍රික වාදියෙකි.

පසුකාලීනව සියැටල්ලා සහ ඔහුගේ ජනයා ඇමරිකන් ඉංග්‍රීසි කතා කලහ. ඔවුන් ආදි වාසීන් වුවත් නවීනත්වයට හැඩගැසුනහ.

ඕස්ට්‍රේලියාවේද ඇබොරිජියන් වරු සිටී. ඔවුන්ද සාමාන්‍ය ඉංග්‍රීසි බස කතා කරයි. චාලීස් කන්ට්‍රි යනු ඇබොරිජියන් වරුන් ගැන ඇති සිනමා සිත්තමකි. මෙහි සිටින චාලිද හොඳින් ඉංග්‍රීසි වලට හුරුවී ඇත.
ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන් ලා මෙන් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජියන්ස් ලා මෙන් ඉතින් ලංකාවේ සිටින ආදිවාසීන් වැද්දාහ් යන නමින් ඉංග්‍රීසියෙන් අමතති. ඉංග්‍රීසියෙන් මොන මගුල වුනත් අපි ඔවුන් වැද්දෝ  යන ආදර නාමයෙන් අමතමු.

මේ වැද්දන්ගේ අවුල ඔවුන්ගේ භාෂාව අපිට ටිකක් දිරවාගත නොහැකිවීමයි. වසර 25කට පමන ප්‍රථම සුනිල් පෙරේරා ගැයූ ඔජායේ ගීතයෙන් වැදි බස්වහර ගැන යම් අවබෝධයක් නාගරිකයන් තුල විය. ඉන්පසු රැල්ලට තැනුනු වැදි ජනයා රඟන නාට්‍යය හා ගීත වලින් වැදි ජනයාට හානියක් වූවා මිස ඔවුන්ගේ භාෂාව අප අතර ප්‍රචලිත වීමක් සිදුවුනේ නැත.

කැකුලී, පොජ්ජ, මන්ද කරනවා, කොටා බානවා, ඇන්න යනවා, හදි කරනවා වැනි වචන පමණක් භාවිතා කර අපි වැද්දන් සමග කතා කරන්නට පටන් ගත් නමුත් ඒවා වැද්දන්ටත් ඔවුන් කියන දේ අපිටත් තේරුම් කරගැනීමට නොහැකිවිය.

මා මේ කියන්නේ අනිත් රටවල “වැද්දන්ට“ මෙන් අපේ වැද්දෝ සිංහල ඉගනගතයුතුය කියන එක නොවේය. නමුත් සිංහල මිනිසුන් එක්ක කතා කර අදහස් දැනගැනීමට මොඩර්න් වැද්දෝ සිංහල ඉගන ගෙන සිටිති. එහෙම බැරි වැද්දන් සමග කතා කරන්නට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් සිටිය යුතුය.

මේ විහිළු කතාව මට මතක හැටියට තිබ්බේ මහින්ද අබේසුන්දර මහතාගේ මහින්දගේ ආගිය කතා තීරු ලිපියකය. දඹානේ ඉස්කෝලෙකට අළුතෙන් පත්වී ආ ගුරුවරයෙක් පත්වීමට බාරගැනීමට පැමිණි දින රෑ විය. අන්තිම බසයෙන් බැස්ස පසු යන්න එළියක් නැති හන්දා ළග ඇති පැලකට ගිහින් කතා කලහම වැද්දෙක් මතු වුනාලු. ඉතින් මේ ගුරුවරයා දන්න කියන වැදි බාසාවෙන් කියල එලියක් ඉල්ලුවලු. ටිකක් වෙලා ගියාට පස්සෙ වැද්දට තේරුනාලු මේ ගුරුතුමා කිවුව එක. වැද්දා තමන්ගෙ දුවට කතා කලාලු.

“චූටි දූ මේ සර්ට යන්න ටෝච් එකක් ගෙනත් දෙන්න“

අපි පොෂ් වෙන්න වෙන්න වැද්දන් ඔවුන්ව මාකට් කරගැනීම ආරම්භ කලෝය. අපි කොළඹින් ගොස් දඹාන බලන විට ඔවුහු දුන්නෙන් ඊතලයක් මුදාහැරීමට මුදලක් අයකලෝය. පොටෝ ගැනීමට මුදල් අයකලෝය. දැන්නම් සෙල්පි වලට කොහොමද දන්නේ නැත.

මීට වසර කිහිපයකකට කලින් එක්තරා පලාතක (මෙව්වා හරියටම කියන්න බැරි හේතු තිබේ) තිබූ මියුසික් ෆෙස්ටිවල් එකකට වැදි ජනයා නියෝජනය කරමින් පිරිසක් සහභාගීවූහ. ඕවුහු ඒ සදහා අංගයක් ඉදිරිපත් කලෝය. ඊට අමතරව ඔවුන්ගෙන් අංගයක් අවශ්‍ය වූ නිසා සංවිධායක කෙනෙක් වූ මගේ මිත්‍රයෙක් භාෂා පරිවර්තකයෙකුගේ සහයෝගය ඇතුව ඔවුන්ගේ නායකයාට කතා කොට කිරිකොරහ නටන්නට පුළුවන් දැයි ඇසීය. ඔවුන් ඒ සදහා 6500/- (ඒ කාලයේ හැටියට) ඉල්ලූහ. විශාල මුදලක් බැවින් හෙට්ටු කිරීම් කේවල් කිරීම් බොහොමයක් සිදුවිය.

අවසානයේ මගේ මිත්‍රයා එය 3500/- කට කල හැකිදැයි විමසීය.

මෙතෙක් වෙලා භාෂා පරිවර්තකයෙක් සමග වැඩකල ආදි වාසියාට මළ පැන පැහැදිලි සිංහලෙන් මගේ මිත්‍රයාට බැන තිබේ

“ මේ මහත්තයා ඩීල් නම් ඩීල්. මේවා මෙහෙම කරන්න බෑ 5000 අඩුව මේ වැඩේ කෙරෙන්න නෑ“

ඒ ඔහුගේ අවසන් තීරණයයි. ඔය ටික කලින් කිව්වා නම්  ට්‍රාන්ස්ලේටර්ට ගෙවන ගාන නොගෙවා ඉන්න තිබ්බා.


ඔබත් මීලග වැදි හමුවේදී ප්‍රෙව්සම් වන්න :D

Thursday, July 16, 2015

බී එම් ඩබ්ලිව් “ළඳ“


මේ දවස්වල ඉඳලා හිටලා වහින හන්දා රස්නේ නැත. චාටර් ඡන්දයක් නිසා දේශපාලන කරලිය රත්වී ඇත. ඒ හැමටම වඩා දැන් රටේ ජනතාවට කතා කිරීමට මාතෘකාවක් ඇත. ඒ අර පොලිසියට සිංහයෙක් වගේ සද්දෙ දා අන්තිමේදී මී පැටියෙක් වගේ පොලිස් ජීප් එකේ ගිය බී එම් ඩබ්ලිව් “ළඳ“යි. ලංකාවේ කාලෙන් කාලෙට රැලි බිහිවේ. එහෙම රැල්ලක් හැදෙන්නේ නැත්තම් අර අජිත් මුතුකුමාරණගේ සින්දු වගේ බලෙන් හදන්න උත්සාහකරයි.

වාරියපොල (නංගී/අක්කා/කෑල්ල/වීර කාන්තාව/බ්ලා බ්ලා බ්ලා)ට පසුව ආ රත්නපුරේ බට්ටි (කෑල්ල/ අහින්සකාවිය/ බඩුව/ එක්සෙට්‍රා) මෙන්ම මේ දවස්වල හිට් වී ඇත්තේ බී එම් ඩබ්ලිව් (ඇන්ටි/ ළඳයි). සියල්ලෝම ගැහැණුය.  නමුත් වාරියපොළ/ රත්නපුර සිද්ධි දෙකේම සිටියේත් ගැහැණු නමුත් මාළබේ සිද්ධියේදී ආමන්ත්‍රනයේ වෙනසක් සිදුවී ඇත. ඒ වෙනසට හේතුව බී එම් ඩබ්ලිව් රථය විය හැකිය. අහින්සක (ද දන්නෙ නැති) කොල්ලෙක්ට එලව එලවා පහර දුන් වාරියපොල ගෑණු ලමයාට හා පොළිසියේ රාලහාමි මහත්තයෙක්ගෙන් අම්බානක ගුටිකෑ බට්ටිට වඩා චාටර් (කොල්ලන්ගේ බාසාව) විදිහට පොළිසියට කතා කල මේ ළඳ ගැන විශේෂ කැක්කුමක් ඇයි යන්න ප්‍රශ්නය තවමත් මට ඇත.

මේ අපි ජීවත්වන සිරි ලංකාවයි.

පොලිසිය නිවැරදි නොවිය හැක. බොහෝ විට කාන්තාව වැරදි විය හැකිය. දැනට ඇති කටකතා අනුව එය එසේ වාගේය.ළමයාට අසනීප නම් කළයුතුව තිබූ හොඳම දෙය විනාඩි 10ක් පොලිසිය සමග බැන ගැනීම නොව දඩකොලේ රැගෙන ගොස් ළමයාට බේත් අරන් දීමයි. දෙමව්පියන්ට තමන්ගේ ළමයින්ට වඩා තමන්ගේ ලොකුකම් ලොකුවිය නොහැක.

හැමෝටම ඇති ප්‍රශ්නය ඒ නෝනා වැරැද්දකට දඩකොළයක් ලියූ පොලිසියට එහෙම බණිනවානම් ගෙදර මහත්තයාට කොහොම බනිනවා ඇත්ද යන්නයි. ඒ බැණුමෙන් බේරෙන්න (ඇතැම්විට නීති උපදෙස් පිට) මහත්තයා පොලිසියට ගොස් නෝනාට මානසික ආබාධයක් ඇතැයි කීමෙන් තවත් ප්‍රශ්නය දුරදිග හැටි හැමෝම දක්න්න ඇති. මානසික ආබාධ ඇති අයට වාහන එලවන්න හොඳ නැත්තම් බොහෝ පුද්ගලික බස් රථ රියදුරන්ට තම බලපත්‍රය අහිමි වනු ඇත.

දැන් නැවතත් මාතෘකාවට එමු.

පොලිසියේ නිළධාරීන්ට අනුව ඔවුන්ට වඩා කවුරුත් නීතිය දන්නේ නැත. (ඇතැම්විට එය ඇත්තකි) නමුත් බොහෝ නිළධාරීන් හේතුවක් නැතුව නවත්තන්නේ නැත. හැම රාළහාමිම ජරාව කන්නේද නැත. මේ කියන හැම තැනකදීම පොලිසියේ වැරැද්දක් නැති තැනක්ද නැත.

අපේ අය හුඟක් වෙලාවට කියනනේ පොළිසිය සද්ද දාන්නේ බයිසිකල්වල සහ ත්‍රීවිල් අයට පමනක් කියාය. එහෙත් නිතියේ මකුළු දැලෙන් පලායන කුරුමිණියෝ වගේ අනිත් බී එම් ඩබ්ලිව් ගියද මේ තරුණ ලැජ්ජාශිලී රාලහාමිලා දෙන්නා මේ රථය නවතා ඇත. ඇතැම්විට බී එම් ඩබ්ලිව් කියා දැනගත්තේ නැවැත්තුවට පස්සේ විය හැකිය. (ඒත් උන් දෙදෙනා එය නැවැත්වීමද අතිමහත් වීරක්‍රීයාවකි.) අවසානයේ වැරැද්දක් තිබූ නිසා දඩ කොළයක් ද ලිව්වෝය. බී එම් ඩබ්ලිව් එකකින් ආ ළඳකට දඩකොළයක් ලිව්වත් එය මාර වීර ක්‍රියාවකි.

කරන වැරැද්ද වාහනය මත යැපෙන්නේ නැති නමුත් ලංකාවේ එසේ නොවන්නේ කලාතුරකිනි.

මීට අවුරුදු පහකට හයකට විතර කලින් බොරලැස්ගමුව හන්දියේ රෑ 8ට විතර වෙච්ච සිද්ධියක් මට අද වගේ මතකය.

එදාද මෙදා මෙන් වැරදියට පාරේ ඉස්සර කළ බී එම් ඩබ්ලිව් රථයක් හන්දියේදී රාළහාමි නැවැත්තුවේය. වෙනසකට තිබ්බේ එදා කාර් එකේ හිටියේ කලිසමක් ඇඳගත් මහත්මයෙකි. රාළහාමි අවුරුදු 30ක විතර කොල්ලෙකි. වෙන්නේ කුමක්දැයි බැලීමට අපිද නතර වුනෙමු. රාළහාමි ඔහුට කතා කොට ඔහුගෙන් ලයිසන් එක ඉල්ලා දඩ කොළයක් ලිව්වේය. අද මේ “ළඳ“ මෙන්ම අර මහත්තයාද වාහනයෙන් බැස රාළහාමිට පාට් දමන්නට පටන් ගත්තේය. සත පහකටවත් ගනන් නොගත් රාළහාමි දිගටම දඩ කොළය ලිව්වේය. මහත්තයා දිගටම බැන්නේය.

“තමුසෙ මතක තියාගන්නවා මට පුළුවන් හෙට තමුසෙව කිලිනොච්චියට මාරුකරන්න. මම ඒක කරනවා“ කියමින් වහසි බස් දෙඩුවේය.

දඩ කොළය ලියූ රාළහාමි මහත්තයාට දඩ කොළය අතට දී සිනාසී

“මහත්තයා මාව කිලිනොච්චි මාරු කලත් මාරු කරන්නෙ පොලිසියකටනෙ. තැපැල් කන්තෝරුවකට නෙමෙයිනෙ. මම බැඳල නෑ. මට හෙට ඕනෙම පොලිසියකට රිපෝට් කරන්න පුළුවන්. කරුණාකරල දඩකොලේ ගෙවලා හෙට පොලිසියට ඇවිත් ලයිසන් එක අරන් යන්න. බැරි නම් උසාවි දවසට එන්න“

කියලා කීවේය. අවසනදී මහත්තයා වටේ සිටි කොල්ලන්ගේ හූ සංග්‍රහයකට මැදිව රෙදි නැතුව එතනින් වාෂ්ප විය. අපිට ඕනෑ එහෙව් පොලිසියක්ය.

මේ රාළහාමිලා දෙදෙනාද කිසිම අවුලක් නැතුව තමන්ට බුරා පනින “ළඳ“ට හොඳින් කතා කලේය. කුණු හරපෙන් බැන්නේ නැත.

දැන් පොලිසිය බොහෝවිට වැරැද්දක් නැතුව දඩකොළ ලියන්නේ නැත. මානව හිමිකම් හා නීතිය ගැන සාමාන්‍ය ජනයා දැනුවත් බැවින් පොලිසිය තමන්ගේ ආරක්ෂාව ඔවුන් තමන් විසින්ම සලසා ගනු ලබයි.
අනික සමාජ ජාල හරහා හැමදේම ප්‍රචාරය වේ. ඉහත හැම සිද්ධියක්ම ප්‍රචලිත වූයේ සමාජ ජාල හරහාය. දඩ සෙල්ෆිය ලෝක ප්‍රසිද්ධවුයේ ද ඒ නිසාය.

ඇතැම් නිළධාරීන් දඩ කොළ ලියන්නේ නැතිව අවවාද කොට පිටත් කරන අවස්ථා එමට ඇත. මේ ළගදී මටත් එහෙම සිද්ධියක් සිද්ධවුනි.

පාරේ බස් රථයක් නවත්තා තිබූ නමුත් යාමට ඉඩක් නොමැති තැන මම කිහිපවරක් හෝන් ගසා බස්රථයට ඉස්සර කලෙමි. මා කැපුවේ තනි ඉර බව මම දැක්කේ නැතත් ඉස්සරහ සිටි පොලිසියේ ඇත්තෝ එය දුටුවහ. මා පසුපස රථයේ සිටි මල්ලීද මා අනුගමනය කල අතර දෙදෙනාම රාළහාමිලා දෙන්නා නතර කලහ.
එක රාළහාමි කෙනෙක් මගෙන් “මොකද මහත්තයෝ වුනේ“ කියලා ඇහුවහම මම “දැක්කෙ නෑ රාලහාමි“ කීවා මතකය.

“මොනවද දැක්කෙ නැත්තෙ“ කියල ඇහුවහම “රාලහාමිව“ කියල උත්තරත් මම දුන්නෙමි.

“ඔව් ඉතින් මාව දැක්කනම් එහෙම දාන්නෙ නෑනෙ“ කියා සිනාසී මල්ලි දෙසට හැරී “මොකද කලේ“ කියා ඇසුවේය.

“අයියා දැම්මා ඉතින් මාත් දැම්ම“ කියල ඌත් කටට ආපු දේ පොලිසියට පතබෑවේය.

අවසානයේ රාලහාමි සිනාසී මල්ලීට අවවාද කොට අපිට යන්නට දුන්හ. මල්ලිට දුන් අවවාදය වූයේ “අයියා යන පාරෙම යන්න එපා. සමහර වෙලාවට අමාරුවෙ වැටෙන්න පුළුවන්“

මාගේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහතෙකුටද එලෙසම අවවාදයක් දී තිබුනේ තරමක් වයසක රාළහාමි කෙනෙකි. දවසක් හදිසියේ ද්විත්ව ඉරි කපා වාහනය හැරවීමේ වරදට ඔහුව නැවැත්තු රාලහාමි දඩකොලේ ලියන්නට පෙර ගුරුතුමාගෙන් වැඩ කරන්නේ කොහෙද කියලා අසා ඇත. ** විශ්ව විද්‍යාලයේ කියල කිව්වට පස්සෙ රාලහාමි කියා ඇත්තේ එක දෙයක් පමණි.

“මහත්තයෝ ඔයා වගේ හොඳ නරක කියල දෙන අයත් මෙහෙම වැරදි කරනකොට අපි කොහොමද නීතිය කරන්නෙ“

ගුරුතුමා කිව්වේ ඒ වැරැද්ද ආයි කවදාවත් වෙන එකක් නැති බවයි.

අපි වාහනේට නැග්ගහම සීට් බෙල්ට් දමන්නේ අපේ ආරක්ෂාවට නොව පොලිසියෙන් බේරීමටය. හෙල්මට් දමන්නේ පොලිසියට බයේ මිසක් ඔළුව බේරාගැනීමට නොවේ.

පොලිසිය නොහිටියා නම් අපි අර හින්දි හරි දෙමළ චිත්‍රපටිවල වගේ හෙල්මට් නැතුව කෙල්ලත් දාගෙන බයිසිකල් වල යා හැකිය. පොලිසිය නැත්තම් මෙහේ සුරපුරකි.

ඡායාරූපය Hiru News

Thursday, June 25, 2015

සාරිය


අද වෙනස්ම මාතෘකාවක් කතා කරන්න හිතුවෙ. සාරිය කියන්නෙ සිංහල ඇඳුමක් කියල  මේ ලින්ක් එකේ තියනවා. ඇත්තටම සාරිය කියන්නෙ සිංහල ඇඳුමක් නෙමෙයි. මේ ඇඳුමත් අපිට ඉන්දියාවෙන් ලැබුන දෙයක්. සාරියේම තවත් වර්ශන් එකක් වෙච්චි ඔසරිය නම් අඳින්නෙ සිංහල අපේ රටේ විතරයි.

සාරිය කියන එක සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ ගලවන්න බැරි වෙන්න. ඉස්සරම ළමයෙක් ඉපදිලා ඒ ළමයට නිදාගන්න අම්මල කරන්නෙ සාරියක් බාල්කෙක ගැටගහල ඒක පැද්දෙන තොටිල්ලක් කරල ලමයා නිදිකරවන එක. (සමාවෙන්න ඕනෙ. මම මේ කතා කරන්නෙ අනූව දශකයට කලින්. දැන් වුනත් ගම් වල මේ දේවල් වෙනවා). ඊට පස්සෙ තමයි ළමයි ඉස්කෝලෙ යන්නෙ. සාරිය කියන ඇඳුම ඉතාම සුවිශේෂී ඇඳුමක් හැටියට කුඩා කාලෙ ඉදන්ම ඔළුවට යන තැනක් තමයි ඉස්කෝලෙ කියන්නෙ. ඒ වගේම සාරියට විශාල ගරුත්වයක් ඒ කාලෙ ඉස්කෝලෙදි ළමයින්ට ඇතිවුනා. (ඒ කාලෙ කිව්වෙ දැන් කාලෙ ඉන්න බහුතරයක් සෙක්සි ටීචර් ල හන්දා). එහෙම ලමයි තමයි බස් එකකදි හරි සාරියක් ඇඳගත්ත කෙනෙකුට සීට් එකක් හරි දුන්නෙ. වෙන එකක් තියා පොඩි ලමයි සෙල්ලම් කරන කොට සෙල්ලම් ඉස්කෝල දැම්මහම ඒ ඉස්කෝලෙ ඉස්කෝලයක් වෙන්නෙ සාරි ඇඳගත්ත ටීච කෙනෙක් ආවට පස්සෙ විතරයි. පස්සෙ සාරිය කාර්යාල වලටත් ඇන්දා. බහුතරයක් රජයේ ආයතන වල අදටත් අඳින්නෙ සාරි. ඒ වගේම බොහොමයක් බැංකු වගේ තැන් පුද්ගලික අංශයෙ සමහර ආයතන අදටත් සාරිය අඳිනවා. මෙවගේ තැන්වලට සාරියක් ඇන්දහම හරිම සුවි‍ශේෂයි.


එතනින් පස්සෙ ජීවිතයේ එන හැම විශේෂ අවස්ථාවක සාරිය කියන ඇඳුමට මාර තැනක් තියනවා.විශ්ව විද්‍යාලයට ගිහින් තමන්ගෙ බැච් පොටෝ එක ගන්නෙත් සුදු සාරියක් ඇඳගෙන. මෙච්චර කාලයක් තමන්ගෙ බැච් එකේ යක්කු, හඩ්ඩියෝ හැලපියෝ වගේ ආදරණීය නම් වලින් හඳුන්වපු කෙල්ලන් කොල්ලන්ට දිව්‍යාංගනාවියෝ වගේ පේන පළවෙනි දවස තමයි බැච් පොටෝ එක ගන්න දවස. මෙ තත්ත්වය තවත් හුඟක් දරුණු වෙන්නෙ උපාධි ප්‍රදානෝත්සවය වෙලාවෙ. කාලෙත් එක්ක ලස්සන වෙච්ච ළමයි තව මේකප් දාගෙන දිළිසෙන සාරි ඇඳගෙන ඕකට ආවහම තමයි සමහර කොල්ලන්ට අපරාදෙ කියල හිතෙන්නෙ. යහමින සල්ලි තියන කෙල්ලෝ ඉන්දියාවෙ යනවා ග්‍රැජුවේෂන් එකට සාරි ගේන්න. ඊට පස්සෙ ඉතින් රස්සාවක් හොයාගන්න ඉන්ටර්විව් යනකොටත් සාරි අඳින්න වෙනවා. දැන් කාලෙ නම් මේක අත්‍යාවශ්‍ය නැතිවුනත් රජයේ රස්සාවකට යන්න සම්මුඛ පරීක්ෂනයෙදි විශේෂයෙන්ම බලන දෙයක් තමයි සාරිය.


ඊටත් පස්සෙ තමන්ගෙ දුවට මගුලක් හොයන්න මහන්සි වෙන දෙමව්පියො කපුවට දෙන්නෙ දුව සාරියක් ඇඳගෙන ඉන්න පොටෝ එකක්. ඊට පස්සෙ කපුවා මගුලක් හොයාගෙන ඒක බලන්න එන දවසටත් අම්මලා තාත්තල දුවව සාලෙට එක්ක ගෙන එන්නෙත් සාරියක් අන්දවාගෙන. දෙපැත්ත කැමති වෙලා මගුල ගන්න කලින් මගුල් සාරියට දාස් ගනන් වියදම් කරන්නත් ඒ අයට වෙනවා. මගුල් ගෙදර පෝරුව උඩ ඉන්නකොටත් තැලි පිළි අන්දන වෙලාවෙ ඉතින් ඇඟට දාන්නෙත් සාරියක්ම තමයි. ට්‍රෙන්ඩ් එක ටිකක් විතර වෙනස් වුනාට අදටත් සිංහල දෙමල මගුල්වලදී තාමත් මුල් තැන තියෙන්නෙ සාරියට තමයි.


බැන්දට පස්සෙ තියන හැම විශේෂ කටයුත්තකදිත් සාරිය වැදගත් වෙනවා. රස්සාවට යන්න - මගුල් වගේ තැන් වලට යන්න - ළමයින්ගෙ ඉස්කෝලෙ ගුරු දෙගුරු සමිතියට යන්න - පන්සලේ පිංකම් වලට යන්න - සිල්ගන්න වගේ එකී මෙකී නොකී හැම අවස්ථාවටම සාරිය වැදගත්.


මෑත කාලෙක ට්‍රෙන්ඩ් එකක් තිබ්බා සාරියක් බාල්කෙක එල්ලලා අනිත් අගට තද වෙන ගැටයක් ගහල බෙල්ලට දාගෙන මැරෙන. ඒ කියන්නෙ ජීවිතය අවසාන කරගන්න හිතුනොත් එකටත් සාරිය ඕනෙ වෙනවා. (මේ ප්‍රශ්න ගොඩක් එන්නෙත් සාරියක් හන්දම තමයි). පස්සෙ අවමගුලෙ පෙට්ටියෙ තියන්න අන්දන්නෙත් සාරියක්. බලන්න මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සාරියෙ තියන බැඳීම.


මම මුලිනුත් කිව්වා සාරිය අඳින්නෙ අපේ රටේ විතරක් නෙමෙයි කියල. ඉන්දියාව නේපාලය වගේ හැම රටේමත් සාරි අඳිනවා. අනික සාරිය ජාත්‍යන්තර ඇදුමක්. හැම රටේම සාරි තියනවා. හුඟක් අය කැමැත්තෙන් අඳිනවා. ලංකාවට එන හුඟක විදේශික කාන්තාවන් සාරියක් පටලවා ගන්න ඉන්නෙ හරිම කැමැත්තෙන්.
මම මෙහෙම කිව්වට සාරිය විශ්වීය ඇඳුමක්. මේ ලෝකෙ අය විතරක් නෙමෙයි සාරි අඳින්නෙ. නිකමට බලන්න සරස්වතී දේවී, පත්තිනි දේවී ධන ලක්ෂ්මිය අන්ජනම් දේවිය. මේ අය ඔක්කොම අඳින්නෙ සාරි. ඒ වගේම කාලි යක්ෂණී වගේ එකී මෙකී නොකී සියළුම දෙවියන් හා යක්ෂයනියන් අඳින්නෙත් සාරිය. දේව සභාව සහතික කරල තියෙන්නෙ සාරිය තමයි. ඒ විතරක් නම් තව කමක් නෑ. ටිකක් රෑ වෙලා පාරෙ යනකොට අර ළමයෙක් අරං එන ලස්සන නංගි ඇඳන් එන්නෙත් සුදු සාරියක් තමයි.


තවත් අපේ පුරාණ කතා ගොඩක සාරිය හම්බ වෙනවා. රාවණා රජ්ජුරුවො සීතාව ‍හොයන්න ගියහමත් සීතා ඉඳලා තියෙන්නෙ සාරියක් ඇඳගෙන. ඉතින් සාරියෙ ඉතිහාසෙ ගැන තවත් කතා කරල වැඩක් නෑ.
දැන් සාරියත් එක්ක වර්තමානෙට එමු. සාරිය කියන්නෙ අමුතුම ජාතියෙ ඇඳුමක්. සාරිය කියන්නෙ යාර හයක් දිග රෙදිකෑල්ලක් විතරක්ම නෙමෙයි. කාන්තාවකගෙ ශරීරයේ හැඩය හොඳටම පේන ඇඳුමක්.  සාමාන්‍ය ඇඳුමක් මහන්න රෙදි යාර හයක් යන්නෙ නෑ. ඒත් සාරියකට රෙදි යාර හයක් විතර ඕනෙ වෙනවා. ඒ  කියන්නෙ සාරියක් ඇන්දහම ගැහැණියකගෙ ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න ඕනෙ. ඒත් එහෙම වෙන්නෙත් නෑ. ටයිඩ් ජීන්ස් ලෙගින්ස් වගේ මොන ඇඟට ඇලිච්ච ඇඳුම් තිබ්බත් සාරියකින් තරම් ශෘංගාරාත්මක රසයක් ඒ එක ඇඳුමකින් වත් පේන්නෙ නෑ. ඒකට මට හිතෙන හේතු තියනවා. අපේ රටවල් වල ගැහැණු අය දහ දෙනෙක් ගත්තොත් ඒකෙන් නව දෙනෙක්ම වෙල් මේන්ටේන් ෆිගර් ඇති අය නෙමෙයි. එක්කො ටයර් තියනවා නැත්තම් කකුල් බකලයි නැත්තම් තඩි බඩවල් තියනවා නැත්තම් ස්කින් කලර් එක මෙව්ව වෙලා එහෙමත් නැත්තම් රිටක් වගේ. මේ මොන විදිහට ආවත් හොඳම ඇඳුම සාරිය තමයි. මොකද ඇඟේ සෑහෙන්න කොටසක් ඉතාමත්ම පොදු ආකාරයෙන් හැඩයක් ඇතුව වැහෙන හොඳම ආකාරය සාරිය වෙන හන්දා. ඒ කියන්නෙ බැරල් එකකට සාරියක් ඇන්දුවත් මෝල් ගහකට සාරියක් ඇන්දුවත් හොඳට තියෙන්න ඕනෙ.
ඒ වගේම තමන්ගෙ අවුල් වෙච්ච තැන් වැහෙන්න සාරිය අඳින්නත් පුළුවන්. තඩි බඩක් තියන ගෑණු කෙනෙක්ට පුළුවන් තමන්ගෙ බඩ වැහෙන්න සාරිය අඳින්න. නැත්තම් සාරි පොටින් හරි වහගන්න. පිට කචල් වගේ හිතෙනවා නම් පුළුවන් පිට වැහෙන හැට්ටයක් අඳින්න.


මේ සංසිද්ධියෙම අනිත් පැත්තත් පුළුවන් කරන්න. ඒකියන්නෙ තමන්ට ලස්සන ඇඟක් තියනවා නම් බඩක් එහෙම නැත්තම් සාරිය බඩට පහලින් අඳින්න පුළුවන්. තමන්ට ලස්සන ඉඟක් (හිප් එකක්) තියනවා නම් සාරිය ඒ හරියෙනුත් අඳින අය ඉන්නවා. තවත් අය පපුව ඉලක්ක කරලත් හැට්ට මහනවා. පෙන්නන්න පිටක් තියනවා නම් ආයි මුකුත් නෑ මුළු හැට්ටෙටම පිටක් නෑ කියල හිතෙන තරමට හැට්ටෙ මහලා තව පොඩි සමනලයෙක්ගෙ පච්චයක් ගහනවා හයිලයිට් වෙන්න.


බලන අයට සාරි එපා වෙන්නෙ මේ සිද්ධි දෙක පටලගෙන සාරි අඳින නැන්දලා හන්දයි. කොහොමත් ශරීරයෙ අවුල් තැන් හුඟක් සාරියෙන් වැහෙන හන්දා පොදුවේ සාරිය කියන්නෙ ඉතාම වැදගත් ඇඳුමක් ගැහැණු අයට.
ඉස්සර මගුල් සාරියක්වුනත් මැහැව්වෙ ඉතාමත්ම ලස්සන විදිහට. මනාලියගෙ හැඩතල කැපිල පේන්න මිසක් මනාලියගෙ ඇඟ පේන්න නෙමෙයි. මොකද සාරිය කියන්නෙ වැදගත් ඇඳුමක් කියල පොඩි කාලෙ ඉඳන් ඔළුවෙ තියන දෙයක් හන්දා. ඒත් දැන්නම් මගුල් සාරිය මහන්නෙ මධුසමයට යන්න කරදර නොවෙන්න. ටික ටික ඒකෙ වැදගත් කම නැතිවේගෙන යන්නෙ. ඉස්සර මගුල් සාරිය ඇන්දෙ කැන්ඩියන් හරි ඉන්ඩියන් හරි විදිහට විතරයි. ඒත් දැන් ලෝකයේ ගෝලාකාර බව අඩුවෙලා හන්දා ඉන්ටනැෂනල් විදිහට මගුල් සාරි අඳිනවා. ගුජරාටි මරාටි ඇෆ්ගනිස්ථාන් ඇෆ්රිකන් වගේ සිස්ටම් වලට.


මේ මොනවා කිව්වත් ලංකාවෙ කාන්තාවන් සාරිය ගැන දක්වන ආකල්ප විවිධාකාරයි. සාරිය කියන්නෙ ඩෙනිමක් ටී ෂර්ට් එකක් අඳිනවා වගේ ඇඳුමක් නෙමෙයි. අඳින්න වෙලා යනවා. ඒ වගේම මූලික පිරිවැය ඉහලයි. පාරෙ රුපියල් 1000ට සාරි දෙකක් දුන්නත් ඒවා හොඳ සාරි නෙමෙයි. ඉස්සර ඔෆිස් අඳින සාරියක් 1500ට ගන්න පුළුවන්. මගුල් ගෙදරක අඳින සාරියක් 3500-5000 විතර වෙද්දි මගුල් සාරියත් 10000-25000 ක් විතර වුනා. දැන් ඔෆිස් අඳින සාරි කියල ජාතියක් නෑ. හැම එක්කෙනාම ඔෆිස් අඳින්නෙ මගුල් ගේකට අඳින සාරි වගේ ඒවා. මගුල් ගෙදර අඳින්න 10000-15000ක් විතර කුඩු වෙනවා. එහෙම වුනහම මගුල් සාරියක් මිලියනයක් විතර වෙන වෙලාවල් තියනවා.


අමාරුවෙන් සාරියක් ගත්තහම ඒක ගත්ත ගමන් අඳින්න බෑ. ඒකට හැට්ට (ජැකට්) මහන්න ඕනෙ. හැට්ටයක් මහන්න ලයිනින් ඕන. හැට්ටෙ මහන්න තව 1000ක් 1500ක් යනවා. තව ඉතින් සාරි කටු හෑන්ඩ් බෑග් ආදී එකී මෙකී නොකී හුඟක් දේවල් මේකට ඇතුලත් කරන්න ඕනෙ.


ඔක්කොම කරල ගත්තත් එකපාර සාරිය අඳින්න බෑ. සාරිය නවලා කටු ගහල රැලි තියලා සාරිය මදින්න ඕනෙ. හැට්ටයත් යට සායත් ඒ ගමන්ම මදින්න ඕනෙ. පුරුදු කාරයෙක්ට සාරිය විනාඩි 10න් ඇඳගන්න පුළුවන් වුනත් පුරුදු වෙන කෙනෙක්ට ඒකට පැයක් විතර යනවා. කොහොම ඇන්දත් රැලි ගානට එනකන් සාරිය සුසර (ටියුන්) කරන්න ඕනෙ. තරුණ ගෑණු ලමයින්ට සාරිය අඳින්න සැලොන් යන්න ඕනෙ. ඒකට තවත් අමතර ගානක් වියදම් වෙනවා.


සාරියක් ඇන්දහම ටිකක් උස අඩියක් තියන සෙරෙප්පුවක් දැම්මොත් මහ අමුතු ලස්සනක් තියනවා. අළුතෙන්ම ඒකත් ගන්න වෙන වෙලාවල් එන හන්ද වියදම තවත් සැර වෙනවා. සාරිය සම්පූර්ණ වෙන්න වලල්ලක් මාලයක් කරාබු දෙකක් වගේ ආයිත්තමක් ඕනෙ වෙනවා. එකටම තව පොඩි මේකප් එකක් දැම්මහම නම් සාරිය සම්පූර්ණයි. මේ විදිහට සාරියක් අන්දල ගත්තහම ඒ ගෑනු ලමයාගෙ අගය තවත් දාස් ගානකින් වැඩි වෙනවා.


සාරියක් ඇඳගෙන හරියට සැලකිල්ලෙන් ගියෙ නැත්තම් අනතුරු වෙනවා වැඩියි.මේකත් ඇන්දහම අර නිලමේ ඇඳුම ඇන්දා වගේ මහන්සි දැනෙනවා කියල ඇඳපු අය කියනවා. හැබැයි සාරි අඳින අය නිලමේ ඇඳුම් අඳින්නෙ නෑ. නිලමෙ ඇඳුම් අඳින අය සාරි අඳින්නෙ නෑ.


මේ වගේ හේතු හන්දා අද කාලෙ ගෑණු ලමයි සාරි අඳින එකෙන් ටික ටික ඈත් වෙන්න පටන් අරන්. ඒත් තාමත් ලංකාවෙ පිරිමි හුඟක් දෙනෙක් ගෑණු සාරි අඳිනවට කැමතියි.


ජීවිතේ ඉස් ඉස්සෙල්ලම සරම ඇන්ද පිරිමි ලමයාත් ඉස් ඉස්සෙල්ලම සාරි ඇන්ද ගෑණු ලමයාත් ටක් ගාල හොයා ගන්න පුළුවන්. මොකද හරිම පරිස්සමෙන් ඇවිදින හන්දා.


සාරි අඳින 100ක් ගත්තොත් 95ක්ම සාරිය අඳින්නෙ අඳින්න ඕනෙ හන්ද මිසක් කැමැත්තකින් නෙමෙයි. ඒ අයගෙනුත් හරි විදිහට සාරි අඳින්නෙ කීයෙන් කී දෙනාද? නාභිය නොපෙනෙන්න, පපුව පිට ඉන වැඩිපුර නොපෙනෙන්න සාරිය ඇඳල මලක් වගේ හිනාවකින් මූන සරස ගත්ත ගෑණු අය හම්බවෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.


පිරිමි දන්නවැයැ සාරි අඳින්න තියන අමාරුව කියල ඕනෙ ගෑනු කෙනෙකුට කියන්න පුළුවන්. ඒකත් ඉතින් ඇත්ත. මම කියන්න හැදුවෙ අමාරුවෙන් කරන දේ ලස්සනට කරපුවහම ඒකෙ අගේ වැඩි වෙනවා කියන එක.
නිකන් කට කහනවට කියපු කියමනක් තිබ්බා සාරි බලන්න ඕනෙ නම් හවස 5ට විතර බත්තරමුල්ලටයි මොඩ් කෙල්ලො බලන්න ඕනෙ නම් හවස 5ට විතර බම්බලපිටියටයි යන්න කියල. ඉස්සර සොෆ්ට්වෙයා කොම්පැනිවල වැඩ කරන කොට සාරියක් ඇන්ද කෙල්ලෙක් මගුල් ගෙදරකවත් දකින්නෙ නෑ. ඒ තරම්  අපිට සාරියක් දුර්ලබ දර්ශනයක් වුනා. දැන් වැඩකරන තැන සාරි ඇඳපු අය ඕනෙ තරම්. හරි ලස්සනට සාරියක් ඇඳපු කවුරුහරි ඉන්නව නම් කැමති අය හොරෙන් බලනවා. හැබැයි ටයිඩ් ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි ඇඳගෙන ගෑණු කෙනෙක් ආවොත් හැමෝම බලනවා. රාජ්‍ය ආයතනවල ඒ තරම් සාරිය කොමන්.

Sunday, May 10, 2015

අපි වෙසක් බලන්නට ගියෙමු


2559 වැනි බුද්ධ ජයන්තිය, අවුරුදු ඉවර වෙනවාත් සමගම අපේ ගෙවල් තුලට ගොඩ වදින ලදී. බොහෝ අවුරුදු උත්සව වල කොට්ටා පොරය, ලිස්සන ගහ නැගීම වැනි තරඟ පවත්වන ලද්දේ වෙසක් තොරන වලට සිටවූ පුවක් කොට උඩ සිටය. කඹ ඇද්දේ තොරණ බැඳීමට ගෙන ආ ලණු වලිනි.

කොහාගේ නිමක් නැති කෑ ගැසීමෙන් ඔද්දල් වූ සිත් ඇතිව සිටි බොහෝ දෙනා මෙවර වෙසක් සඳ මෝදුවන හැටි බලා සිටින්නට රොක් (Rock) වී සිටියහ. හිත් ඔද්දල් වීමට තිබූ අවුළ කොහාගේ කෑ ගැසීම නොව අවුරුදු කෑම මේසයට වාඩිවී හුස්මක් කටක් ගැනීමට වෙලාවක් නැතුව පහුවදාම වැඩට යන්නට සිදුවීමයි. තමන් අතේ නිවාඩු ඇති ආණ්ඩුවේ රාජකාරි කරන බොහෝ පින්වත්හු ඉතිරි දවස් තුනම නිවාඩු දමා දවස් 10ක නිවාඩුවක් ගෙන 20 වෙනිදා වැඩට පැමිණි අතර ඒ උත්තමයන්ගේ පඩි ගෙවීම පිණිස තම සේවක අර්ථසාධක අරමුදල උගසට තබන පුද්ගලික අංශයේ වැඩකරන පවු කාරයන් අවුරුදු විකාරයෙන්ම 15 වැඩට පැමිණියහ.

වෙසක් සඳ උදාවත්ම දින හතරක නිවාඩුව උදාවන තුරු බලා සිටියෝ ඕව්හුමය. බුදු උපත, බුදුවීම හා බුදු පිරිණිවන් පෑම යන කරුණු වලට වඩා ලොකු බුද්ධාලම්බන ප්‍රීතියක් දින හතරක නිවාඩුකාලයක් ලැබුන සියල්ලෝම ලබාගත්හ.

ඇතැම්හු අනුන්ගේ මුදලින් දන්සැල් දී පින් රැස් කරගත් අතර, තව සමහරු දන්සැල් වලට මුදල් හා ද්‍රව්‍යමය ආහාර දී පින් රැස් කරගත්හ. මේ අල්ල පනල්ලේ දන්සැල් වල පෝලිම් වල සිට කා බී පින් රැස්කරගත් සමහරුන් අතර අතපය විසිකරගැනීම් බහින්බස් වීම් ආදී දේ කරගෙන පින් අඩු කරගත් අයත් සිටියහ. තවත් සමහරක් අය අනිත් අයට වඩා ලොකු දන්සැල් දී ලොකු පින් රැස් කරගැනීමටත් උත්සාහ කලහ. මේ අනීවාරතේ බුදු හාමුදුරුවෝ කලින්ම පිරිනිවන් පෑම ගැන පහන් සිතක් ඇතිවූයේ උන්වහන්සේ සිටියේ නම් මේ විප්‍රකාර දැක උන්වහන්සේගේ පිරිණිවන ඉක්මන් වන බැවිනි.

හය වෙනිදා දුක් සිතින් වැඩට ගිය නමුත් එදින කොලඹ වෙසක් සිරි නැරඹීමට හැකි නිසා පහන් සිත් ඇතිව මම වැඩ කලෙමි. මාත් සමග වෙසක් බලන්න කාර්යාලයේ තවත් පිරිසක් එකතුවූ අතර, ඒ අතර මගේ ලොක්කා, මාස කිහිපයක් තිස්සේ මා සමග වැඩ කරන චීන මිතුරා ඇතුලු කාර්යාල මිතුරන් කිහිප දෙනෙක්ද විය.

හවස් වරුවේ හදිසියකට කාර්යාලයෙන් එලියට ගිය මට පාරෙන් එහා පැත්තේ මහා සුප් දන්සැල අද හවස 6 සිට පැවැත්වෙන බව දැක්වෙන පුවරුවක් දැක්කෙමි. එය පාරෙන් එහාපැත්තේ කාර්යාලයක සේවක මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි. ඒ වෙලාවේ හවස 4 විතර වූ බැවින් ඒ පැත්තට හිස පොවා බැලීමේදී දාඩිය දාගෙන හොටු පෙරාගෙන සුප් හැඳිගාන තරුණයන් මෙන්ම මැනිං මාකට් එකෙන් එලවලු ගෙනාපු අත් කරත්තයක්ද දුටුවෙමි.

හවස 6.30 ට විතර කට්ටියම වෙසක් බැලීම සඳහා කාර්යාලයෙන් එලියට බැස්සෙමු. මුලින්ම තිබූ සුප් දන්සැල මඟ හැර ගංගාරාමයේ වෙසක් බලන්නට ටුක් ටුකයක ගියෙමු.

තුන් සක් රියෙන් බට කල්හී එදින විවෘත කරන ආරාධිතයා ගංගාරාමයේ විදුලි පහන් දල්වන ලදී. අහෝ බලන් අසිරිය. ගස් පුරා - බස් පුරා - බේරේ වැව පුරා දැල්වෙන විදුලි බුබුළු මට සිහිගැන්වූයේ තුසිතයේ අසිරියයි. එවැනි මෙව්වා එකක් බැලීමට මා ඇතුළු පිරිස පින්  කර තිබී ඇත.

ඉන්පසු පිළිවෙලින් වෙසක් පහන් කූඩු නැරඹූයෙමු. මෙහිදී චීන මිතුරාගේ මග පෙන්වන්නා ලෙස නිතරඟයෙන් මා පත්වී තිබුණි. පළමුවැනි කූඩුව තනා තිබුනේ ඉරටු වලිනි. දෙවැන්න පොල්කොල වලිනි. තුන් වැන්න පොල් කටු වලිනි. ඊලඟ එක පොල් කුඩු වලිනි. මේ ආකාරයෙන් පොල් ගහේ කොටස් වලින් තැනූ කූඩු ගැන චීනාට පැවසූයෙමි. ඉරටු වලට ඉංග්‍රීසියෙන් කියන නම නොදන්නා නිසා හිර වුන වෙලාවල් තිබූ නමුත් ඒ අපහසු තාවයට දිගටම මුහුණ දීමට සිදුවූයේ එතැන් පටන් බොහෝ කූඩු ඉරටුවලින් තනා තිබූ බැවිනි.

මාස කීපයක් ලංකාවේ සිටි චීනාට ලංකාව ගැන තරමක අවබෝධයක් තිබුනි. ඔහු නුවර දළදා මාලිගාවටද ගොස් තිබුණි. එමනිසා දලදා මාලිගාවේ පත්තිරිප්පුවේ ආකාරය දැක්වෙන ඉරටුවලින් තැනූ කූඩුවක් මම ඔහුට පෙන්වූ අතර ඔහු එවැන්නක් නුවරදී නොදුටු බව එක හෙලාම මා සමග කීවේය.

චීනාද මා මෙන් කුඩා භාන්ඩ (වරදවා තේරුම් නොගන්නේ නම් මැනවී - Miniature) වලට ආසාවක් දක්වන්නෙකි. ඔහු දුටු කුඩා වෙසක් කූඩුවක් මට පෙන්වූ විට මම ගොස් එය ඔහුට තෑග්ගක් ලෙස අරන් දුන්නෙමි. (මෙවැනි දේවල් වලට අනිත් උන් කියන්නේ එක දා ගැනීම - ගොට්ට ඇල්ලීම වැනි දෑය). මද වේලාවකට පසු එය ඔහු මට ආපසු තෑගි කලේ එය Made in China නිසාය. මම මම කපාගත් වලේ බැස පස් වලින් මමම වසාගතිමි.

ඉන්පසු සියළු දෙනාම වෙසක් තොරණ නැරඹුයෙමු. බේරේ වැව මැද්දේ තිබූ තොරණ පෙනෙන නමුත් පාරට එහි ජාතකය නොපෙනුනි. කෙසේ නමුත් චීනාට ජාතක කතා 3ක් කඩ්ඩෙන් කියා දුන්නෙමි.

ඉන්පසු දිගු පෝලිම් වල සිට මහා කඩල දන්සැලක්, මහා ඔසුපැන් දන්සැලක් හා මහා අයිස්ක්‍රීම් දන්සැලක් වැඳගතිමු. මේ මහා දන්සැල් ගැන මම බොහෝ අලංකෘත විස්තර චීනා සමග පැවසීමි. (ඒවා කුමක්දැයි මගෙන් අසන්නට එපාය. මන්ද ඒවා මම ඔහුට කියා දුන්නේ ඉංග්‍රීසියෙන් බැවිනි)

“ලංකාවෙ හොඳ බ්‍රෑන්ඩ් එකක් නේද “මහා“ කියන්නෙ“

එක් වරම මා මිත්‍ර චීනා මගෙන් ඇසුවේය. මම හොල්මන් වීමි.

“නෑ මේ හැම එකම මහා මහා කියල තියෙන්නෙ. මම හිතුවෙ මහා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් කියල.“ 
චීන මිතුරා කට කොනකින් සිනා වෙමින් මට කීවේය. ලංකාව ගැන ඒ තරම් පෘථුල අවබෝධයක් ඔහු සතු විය.

අපි තවත් කූඩු නැරඹුවෙමු. හැමදාම දකින එල්ලෙන කූඩු කැරකෙන කූඩු වලට අමතරව මෙවර ඇවිදින කූඩුද ගංගාරාමයේ දුටිමු. බොහෝ ඇවිදින කූඩු සරසා තිබුනේ ස්කිනියක්, ස්කිනිය අස්සෙන් පෙනෙන සමනලයාගේ ටැටූ එකක් කොට කලිසමක් කොට සායක් හෝ ඉහලට පළන ලද දිග සායකිනි. වාසනාවට කූඩු බලන්නට පැමිනි විදේශිකයන් එසේ පැමින සිටියේ නැත. ඉඳින් අපි ඇවිදින කූඩු බලාද සන්තෝස වීමු.

වෙසක් බලන ගමනාන්තයට ලං වන විට තවත් ජනතාව රැස් කකා සිටින කූඩුවක් වෙතට අපි පියමං කලෙමු. ඒ මහා මැගී දන්සැලයි. කට්ටියටම පෝලිමේ සිටිය නොහැකි නිසා චීනා, ලොක්කා ආදී ජනතාව පසෙකින් තබා මම දන්සැල් පෝලිමේ සිටියෙමි. වෙනදා තරම් ලොකු නැති මැගී කෝප්ප පහක් මා ඉදිරියේ තැබූ මැගී කුටියේ කොලුවා පන්සීයයි යැයි කීවේය. රැවටුන තරම් මේ හින්ද මං කිය හැරී යාමට නොහැක. මං ගේන මැගී කෑමට ලොක්කා ඇතුලු හතරක් බලං හිඳී. පස්සේ වෙනදාට අසූවට කන මැගී කෝප්පට සීයක් දී මැගී අරන් ආවෙමි. ලොක්කාට මැගී දන්සැලෙන් මැගී එක පුජා කොට මේ ආත්මයේ මගේ පඩි වැඩිකර දෙන මෙන් ප්‍රාර්ථනා කලෙමි.

මැගී කා අවසන් වූ පසු සියල්ලෝම සතුටින් විසිර ගියහ. ගෙදර යාමට සිදුවූ මට මේවන විට ගෙදර කෑම නැති බව මතක් විය. පසුව වටපිට බැලීමේදී “චිකන්“ ෆ්‍රයිඩ් රයිස් කඩයක් දුටුවෙමි. එයද වෙසක් බැලීම පිණිසම සෑදු කඩයක් බව තේරුණු පසු මගේ හද නිවී පහන් විය.


රුපියල් සීයක් දී “චිකන්“ ෆ්‍රයිඩ් රයිස් එකක් කෑ මම නිවන් ගිය කුකුලන්ට පින් දී නැවත ගෙදර ආවෙමි.

Sunday, April 05, 2015

මගේ සියවෙනි පෝස්ට් එක - අපි කොයිබටද?

මේ මෙම ලියන සියවෙනි පෝස්ට් එක. මට හම්බවෙන කාලය කළමණාකරනය කරගෙන ලියන හන්ද හෙමින් ලියන්නෙ. මේ පෝස්ට් 100ට හිනා යන කතා, හිනා නොයන කතා, වැදගැම්මක් නැති කතා, හිතන්න තියන කතා, ඇත්ත කතා, මඩ කතා, අත්දැකීම් ඔක්කොම තියනවා. ඒ අස්සේ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති මෙලෝ රහක් නැති පෝස්ටුත් නැතුවම නෙමෙයි.

මම ඉපදුනේ අසූව දශකයෙ මුලම. ලංකාව සිංගප්පූරුවක් වෙන්න අඩිතාලම දැම්ම විවෘත ආර්ථිකේ හඳුන්වලා දුන්න මුලම කාලෙ.ඒකත් එක්ක ගොඩක් අළුත් දේවල් අතපතගාන්න හම්බවුනා. ඒත් අපේ කාලෙ විද්‍යුත් යුගයක් නෙමෙයි. රූපවාහිනියවුනත් අපිට හුඟක් අළුත් දේවල්. මේ තත්ත්වෙ 1990න් පස්සෙ හුඟක් වෙනස් වෙනවා. ළමයින්ට ඉලෙක්ට්‍රොනික මෙවලම් හම්බවෙනවා. අද මගේ මේ පෝසට් එක වෙන් වෙන්නෙ මේ වෙනස්වීම ගැන මට දැනෙන කරුණු කියන්න.

මගෙ සීයයි තාත්තයි දෙන්නම ගනන් හදන්න පාවිච්චි කලේ පැන්සලකුයි කොලේකුයි. එහෙම ගනන් හදල පුරුදු වෙලා එයාලට මනෝමෙන් ගනණනක උත්තරය දෙන එක හුඟක් ඉහල අගයක තිබුනා. අපේ කාලෙත් අපි කොලෙන් ගනන් හදන්න පුරුදුවුනත් පහුකාලෙ ආපු කැල්කියුලේටරේ හන්දා තාත්තලගෙ තරම් අයි කිව් එකක් අපිට තිබ්බෙ නෑ. අපෙන් පස්සෙ පරම්පරාව (මම මෙහෙම විශේෂයෙන් කියන්නෙ 90න් පස්සෙ ඉපදිච්ච බහුතරය ගැන) පාවිච්චිකරන්නෙ කැල්කියුලේටර් විතරයි. එතකොට මනෝමෙ තාක්ෂනේ පැත්තට බර වෙනවා. නිවැරදි තාවය 100% වුනාට හිතාමතා වැඩ කරන්න ටිකක් අමාරුවෙනවා.

මෙතනින් එහාට මගෙ සීයාගෙ කාලෙ ගැන කතා කරන එක වැඩක් නෑ කියල හිතෙනවා. ඒ කාලෙ තාක්ෂනේ කියල දෙයක් තිබ්බෙ නැති හන්දා. ඒක හන්දා තාත්තගෙන් පස්සෙ පරම්පරාව ගැන කියන්නම්.

මගෙ තාත්තගෙ කාලෙ තාත්තල රටේ ලෝකෙ වෙන දේවල් ගැන දැනගත්තෙ රේඩියෝ එකේ කියන ප්‍රවෘත්තිවලින් එහෙමත් නැත්තම් පත්තර වලින්.  පස්සෙ කාලෙ වෙනකොට ටීවි එකෙනුත් ඒවා බලන්න පටන් ගත්තා. අපේ කාලෙත් මේ හැම දෙයක්ම තිබ්බා. අපිත් එ විදිහටම “නිවුස්“ ඇහැව්වා. මට අදටත් මතකයි විජය කුමාරතුංගට වෙඩි තිබ්බ වෙලාවෙ, ප්‍රේමකීර්ති මරපු වෙලාවෙ නිවුස් වලට කියනකොට අහල පහල මිනිස්සු ඇවිත් ඒවා ටීවි එකේ පෙන්නන කම් බලන් හිටපු හැටි. අපේ තරුණකාලෙ වෙනකොට අපිට ඉන්ටනෙට් හම්බවුනා. දැන් තියන අධිවේගෙ නෙමෙයි. 56kbps මොඩම් එකක් ගහල ඒකෙන් 30kbps වේගයක් වත් ඇවිත් 10 kb විතර ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් වෙන්න 3-4 පාරක් ඩිස්කනෙක්ට් වෙලා විනාඩි 5කින් ඒ දේ කරගන්න පුළුවන් කාලයක්. දැන් ලමයින්ට මේ කියන දේවල් තේරෙනවද මන්දා. දැන් හැම දේම ඉන්ටනෙට් නිවුස් වලින් තියන හන්දා අළුත් පරපුර හරිම අප්ඩේට්. ඒත් පත්තරයක් ගත්තහම මුල ඉඳන් අගටම පත්තරේ කියවපු පරම්පරාව අපි වෙන්න ඕනෙ. පත්තරේ තියන කෙටිකතාව කවි පිටුව චිත්‍රකතාව කියවපු අන්තිම පරපුරෙන් බිහිවෙච්ච අංකුර කවියො කෙටිකතා ලියපු අය නොවෙන්න මේ අළුත් පරම්පරාවෙන් බිහිවෙච්ච කවියො කතා කාරයො අතේ ඇඟිලි ගානට ඉන්නෙ.

කතාවක් කියවන්න කවියක් විඳින්න විතරක් නෙමෙයි සින්දුවක් රසවිඳින්න වත් අළුත් පරම්පරාවට ඉඩක් නෑ. හැමදේම රැල්ලට වෙනකොට මිනිස්සුන්ගෙ අදහස් මොට වෙනවා. ශාස්ත්‍රීය සංගීතය කියනදේ ගැන අළුත් පරම්පරාව දන්න ප්‍රමාණය හරිම අඩුයි. මහගමසේකරව දන්නවද කියල අහපුවහම එයාගෙ සයිට් එක මොකක්ද කියල අහපු පොඩි එකෙක්ටත් මම කාලයක් ඉගැන්නුවා.

ඒකාලෙ අපි චිත්‍ර ඇන්දා. ඒ ඇන්දෙ චිත්‍රෙපාත් වල. එම් එස් පේන්ට් වල වත් පොටෝෂොප් වලවත් නෙමෙයි. අපි අකුරු ලිව්වෙ මුලින් වැලිපිල්ලෙ. ඊලඟට ඩබල් රූල් පොත්වල. ඉස්සර නම් අපිටත් අකුරු හැඩයට ලියන්න පුළුවන්. ඒත අද කී බෝඩ් ටයිප් කරන හන්දා හරිම අමාරුයි. මුතුවගේ අකුරු ලියාගන්න බැරිවුනත් තාම මොකක් කරල හරි චිත්‍රයක් ඇඳගන්න පුළුවන්. පස්සෙ පරම්පරාවල අයට ඒ හැමදේම අමාරුයි. ඒක හන්දා ඒවා වර්ක්ෂොප් දාල උගන්නන්න වෙලා

අපි අපේ දෙමව්පියන් එක්ක තියන සම්බන්ධය අපෙන් පස්සෙ පරම්පරාවල මම දකින්නෙ හුඟක් අඩුවෙන්. දැන්කාලෙ ලමයිනට අම්මල තාත්තල ඕනෙ වෙන්නෙ පන්තියන්න සල්ලි ඉල්ලගන්න විතරයි. සමහර ලමයි සල්ලි දුන්නොත් ඉගනගන්නවා කියලත් කියනවා. ඒ තරම් ඒ සම්බන්ධය “බිස්නස්“ එකක් වෙලා.
ඉස්සරට සාපේක්ෂව ලමයින්ගෙ කලා හැකියාවන් මොට වෙලා. පොඩි ළමයින්ට තියන රියැලිටි තරඟවලින් කලාත්මක හැකියාවෙන් පිරිච්ච දරුවො හදන්න පුළුවන් කියන අයත් ඉන්නවා. එත් තරඟයක් හන්දා ලමයි අතර තරඟය වැඩි වෙලා ඉරිසියාව වෛරය වගේ දේවල් ඇතිවෙන එක නවත්තන්න බෑ

මම මේ පෝස්ට් එක ලියන්නේ අපේ පරම්පරාවෙ තමයි අන්තිමටම පොරවල් ඉන්නෙ කියන එක කියන්න නෙමෙයි. ඒත් දැන් තියෙන්නෙ සල්ලි හොයන්න හැල්මේ දුවන සංස්කෘතියක්. මේ සංස්කෘතියත් එක්ක මිනිස්සුන්ගෙ සිතුවිලි ගොඩක් ආත්මාර්තකාමී වෙලා. මිනිස්සු (විශේෂයෙන් දැන් කාලෙ ලමයි) සමාජයත් එක්ක තියන සහසම්බන්දෙ අඩුවෙලා. යාන්ත්‍රිකව හිතන්න පුරුදු වෙලා. අපේ කාලවලත් විදුහල්පති තුමාට පිනා කිවුව අය හිටියා. ඒත් අද බහුතරේ කියන්නෙ එහෙම. අපි වැඩිහිටියන්ට ගෞරවයෙන් කතාකලාට අද ඒක ඌ මූ අරූ වගේ විශේෂන වලට බැහැල.

මේක ගොඩක් දිග වෙන්න තියන පෝස්ට් එකක්. කියවන එක නීරස වෙන්න පුළුවන් හන්දා මම තවමත් අත් දකින පොඩි කතාවක් කියල නවතින්නම්.

අපි හැමදාම කලේ අපිට පට්ට සංස්කෘතියක් තිබ්බා, අපි විජයගෙන් පැවතගෙන එන්නෙ, ඉස්සර අපේ රජවරු රුවන්වැලි සෑය හැදුවා වගේ කතා කිය කිය වංශෙ කබල් ගෑව මිසක් ඒක පවත්වාගෙන යන එක නෙමෙයි. ඒ කාලෙ සීගිරියෙ චිත්‍ර අඳින කාලෙ යුරෝපෙ හරි ජනාවාසයක් වත් තිබ්බද දන්නෙ නෑ. අපිට වැරදුනේ සුද්දා ඇවිත් අපේ ඔක්කොම හූරන් ගිය හන්දා කියල සුද්දා පිටින් දාල බේරෙන්න අපි තාමත් හිතනවා.

මගෙ ඥාතියො දෙන්නෙක්ගෙ එකම වයස් කාන්ඩෙ දරුවො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නෙ ලංකාවෙ. අනිත් එක්කෙනා ඉන්නෙ ස්විට්සර්ලන්තෙ. නිදහස් අධ්‍යාපනය නැතත් ඉගනීම කියන දේට ස්විට්සර්ලන්තෙ හුඟක් පහසුකම් තියනවා.

ලමයි දෙන්නටම ඉන්ටර්නෙට් භාවිතය ගැන හොඳ දැනුමක් තියනවා. හැබැයි ස්විට්සර්ලන්තෙ දෙමාපියන්ට තමන්ගෙ ලමය මොනවද කරන්නෙ කියල ඕනෙම වෙලාවක බලන්න පුළුවන්. ලංකාවෙ එහෙම අමාරුයි. ස්විට්සර්ලන්තෙ ලමයට මොනවද බලන්න හොඳ දේවල් කියල දෙමාපියන්ට තීරණය කරන්න පුළුවන්.
ස්විට්සර්ලන්තෙ ලමයාට තාක්ෂනික දැනුම ලංකාවට සාපේක්ෂව අඩුයි. ඒත් අයි පෑඩ් එකක් කොහොමද වැඩ කරන්නෙ කියල තේරුම් ගන්න පුළුවන්. ඒක ගැන එයාට වැඩි වගක් නෑ. මොකද ජීවිතේට අත්‍යාවශය දෙයක් නොවෙන හන්දා. හැබැයි ලංකාවෙ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්. එයාට අයිපෑඩ් නෙමෙයි ඕනෑම ටැබි එකක් වැඩ කරන්න පුළුවන්. කෑලි ගලවන්න බැටරි දාන්න ඕනෙ එකක්. ගනන් හදන්න සින්දු අහන්න ගේම්ස් ගහන්න ටැබ් නැතුවම බෑ.

ස්විට්සර්ලන්තෙ දරුවා ඉස්කෝලෙ යන්නෙ කකුලෙන් තල්ලු කරන් යන රෝලර් එකේ. අපේ ලමයින්ට වෑන් එක ඕනෙ. නැත්තම් කාර් එක ඕනෙ. (මම වැරැද්දක් දකින්නෙ නෑ. ලංකාවෙ සිද්ධවෙන අනිත් දේවල් නිසා මේවා මෙහෙම වෙන්න ඕනෙ)

ස්විට්සර්ලන්තෙ දරුවට අමතර පන්ති නෑ.ඒ වෙනුවට එයා කරන්නෙ චෙස් ඉගන ගන්න යනවා. නැත්තම් ෆුට් බෝල් හරි පිහිනුම් පන්තිවලට යනවා.

ස්විට්සර්ලන්තෙ පොඩි එකා කාටූන් බලනවා. හැබැයි ඒ ඩෝරා වගේ ලමයින්ගෙ දැනුම වැඩිකරන ඒවා. ලංකාවෙ දරුවා බලන්නෙ බෙන් ටෙන් සුපර් මෑන් වගේ යුධමය මානසිකත්වයක් තියන ඒවා.

අපේ ලමයාට අකුරු ලියන්න චිත්‍ර අඳිනවා වගේ කලාත්මක වැඩ කරන්න අමාරුයි. කරනවා නම් ඒකය ගයිඩ් එකක් ඕනෙ. හැබැයි අනිත් දරුවගෙ ක්‍රියේටිව් පැත්ත හරිම වැඩියි. ආත්ම ප්‍රකාශනය හැටියට චිත්‍රය භාවිතා කරනවා විතරක් නෙමෙයි ඒකෙ සියුම් තැන් හුඟක් වැඩියි. අනික බැරොක් මියුසික් වගේ දේවල් වලට ඒ ලමයට තියන දැනුම කියල නිමකරන්න බෑ.

කවද හරි අනාගතේ දවසක ඒ ලමයි ඉගනගෙන තමන්ගෙ හැකියාවන් දියුණු කරගෙන මොලය වෙහෙසවලා නිර්මානාත්මක හැකියාවෙන් හුඟක් නිර්මාන කරයි. ඒ නිර්මාන වල පේටන්ට් අයිතිය තියාගනී. ඒ රටවල පුරවැසිභාවය ලබාගෙන ඒ රටවලටම සේවය කරයි.

අපේ ලමයි ඒ ලමයි හදන නිර්මාන පාවිච්චියට ගනියි. ඉස්සර තිබ්බ දේවල් ගැන කියවයි. නිර්මාණාත්මක දෙයක් ගැන හිතන්නවත් බැරිවෙයි.

වෙනසක් සිදුවිය යුතු නමුත් වෙනස සිදුවිය තැන තීරණය කිරීම ඔබට බාරයි.



ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...