ඉස්සර අපි උසස්පෙල කරන කාලෙ අපිත් එක්ක වල බැස්ස යාළුවො ඕනෙ තරම් හිටියා. හැබැයි වලේ හිටපු ගොඩ දෙනෙක් වලෙන් ගොඩ ඇවිත් ගොඩම ගියා. වල බැස්ස කාලෙ වගේම වලෙන් ගොඩආපු කාලෙත් හරිම සුන්දරයි.ආයි ඒවගේ කාළයක් එන එකක් නෑ ජීවිතේටම.
මේ කාලෙ ඇවිත් එක්ක හිටපු යාළුවෙක් ගැන තමයි මේ කියන්න යන්නෙ. අපිට වගේ නෙමෙයි මිනිහට තිබුනා කෙල්ලෙකුට වගේ ලස්සන රූපයක්. ඇත්තටම ලස්සන කොල්ලා. ඒ ලස්සන හින්දම විසේකාර කෙල්ලන්ගෙන් මිනිහට තිබ්බෙ මාර ඉල්ලුමක්. ඒත් යාළුකමකට වඩා එතනින් එහා යමක් ගැන අදහසක් මිත්‍රයට තිබ්බෙ නෑ. ඒක හන්ද පුදුමයක් වගේම ඉරිසියාවක් අපිට ඇතිවෙලා තිබ්බා.
අපි වල බහින වෙලාවට වලට සෙට්වුන මගේ යාළුවා කොහොම හරි වලෙන් ගොඩ ගිහින් විශ්ව විද්‍යාල ගතවුනා.
ආයෙත් මට මේ චරිතය මුණ ගැහෙන්නෙ උසස් පෙළින් අවුරුදු දෙකකට විතර පස්සෙ බස් එකකදි අහම්බෙන්. පරන යාළුකම් මතක් කරගෙන “කොහොමද මචං?” කියල සුපුරුදු විදිහටම මම කතා කළත් යාළුවගෙ ස්වරයේ පොඩි ආඩම්බර ගතියක් ගැබ්වෙලා තිබ්බා. “උඹ දැන් මොකද ජොබ් එකක් කරනවද” කියල කියල ඇහැවිවෙ මට වැඩිදුර ඉගන ගන්න ලැබෙන්න නැතිවෙන්න ඇති කියල හිතාගෙන වෙන්න ඕනෙ. මම SLIIT එකේ Degree එකක් කරනවා කියල මම කිව්වහම මගේ මිත්‍රයාගේ පළවෙනි impression එක වුනේ “ ආහ් ඒක මේ ඒ ලෙවල් නැතුවත් කරන්න පුළුවන් නේද?” කියන එක. ඒක එහෙම නෙමෙයි කියල කීප විටක් තේරුම් කරන්න මම උත්සාහ කලත් මගේ මිත්‍රයාගේ විශ්ව විද්‍යාල මාන්නය විසින් තේරුම් ගැනීම වලක්වනු ලැබුවා. ඒ කතාව තව වචන කීපයකට පමණක් සීමා වුනා.
ඊට පස්සෙ මට මිත්‍රයාව ආයෙත් මුණ ගැහෙන්නෙ තවත් අවුරුදු හයකට විතර පස්සෙ මම වැඩකරන ආයතනයෙ මීට දවස් කීපයකට කලින්. සම්මුඛ පරීක්ෂණයකට ආපු මිත්‍රයා වැරදි තට්ටුවකින් සෝපානයෙන් බැහැල නිවැරදි තැන හොයාගන්න ඇවිත් මගෙන් ඉස්සෙල්ලම ඇහැවිවෙ HR එක කොහෙද කියල. අවුරුදු ගනනාවකට පස්සෙ වුනත් හුරු පුරුදු මූනත් එක්කම හැම දේම මතකයට ආවා.
“කුමුදු !!”
මම මිතුරාගේ නමින්ම ඇමතුවා. කුමුදු මගේ මුණ දිහා බලන් හිටියා. ඒ කාලෙට වඩා මේ කාලෙ මගෙ වෙනසකට තිබ්බෙ චුට්ටක් විතර මහත් වෙලා රැවුල වැවිලයි විතරයි. අන්තිමේදි කුමුදු මාව අදුර ගත්තා. කුමුදුට මගෙ නම මතක නෑ. මම නම කියල කතා කරන කොට ඉස්සර එකට හිටපු මට මචං කියනවා ඇරෙන්න වෙන මුකුත් කියාගන්න බැරුව ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන බිම බලාගන්නවා ඇරෙන්න එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. හැබැයි අර ඉස්සර තිබ්බ කැම්පස් උණ හොද වෙලා වගේ. මම ආපු කාරණාව මොකක්ද කියල අහල ඉක්මනට අදාල තැනට ඔහුව පිටත් කලා. කුමුදුටත් මාව මග ඇරලා යන්න ගොඩක් වුවමනාව තිබ්බා.