Monday, September 24, 2012

ලංකාවේ ආගන්තුක සත්කාරය සහ බිස්කට්


ටික කාලෙකට කලින් ලබපු අත්දැකීමක්. ළගදි ඇදිච්ච කතාවක් හන්දා මතක් වුනේ.

රූපවාහිනියෙ බිස්ක‍ට් ගැන වෙළද දැන්වීමක් ගියා. එතන හිටපු කෙනෙක් කිව්වෙ ලංකාවෙ තරම් බිස්කට් විකුණන රටක් තව නැතුව ඇති කියල. ඒවගේම තව කෙනෙක් කිව්වා ලංකාවෙ තරම් රස බිස්කට් වෙන කොහෙවත් නැතුව ඇති කියල.

ඉතින් මේකට තමයි මගෙ අත්දැකීම සම්බන්ධ වෙන්නෙ.

ඇයි ලංකාවෙ බිස්කට් මෙච්චර ජනප්‍රිය. හැම මනුස්සයම කන හන්දද? ඇයි බිස්කට් වැඩිපුර පාවිච්චි වෙන්නෙ.

නෑදෑ ගෙදරකට අරන් යන්න.

නෑදෑ ගෙදර ගියහම‍ තේ බොන වෙලාවක නම් අපිට හම්බවෙන්නෙ මොනවද? ඒ වෙලාවට අහන්නෙ මොකක්ද? තේකක් බොනවද? නැත්තම් කූල් එකක් බොනවද? ඒ තේක හම්බවෙන්නෙ එක්කො බිස්කට් එකක් එක්ක. නැත්තම් කේක් කෑල්ලක් එක්ක.

ඉතින් ඔය ආගන්තුක සත්කාරෙ හම්බවෙන්නෙ ලංකාවෙන් විතරයි.
ලංකාවට එන හුඟක් විදේශිකයෝ හරිම කැමතියි අපේ රටේ ආගන්තුක සත්කාරෙට.

ලංකාවෙ හුගක් දෙනාට ඒකෙ තේරුමක් අගයක් නෑ. ඒකෙ අගේ තේරෙන්නෙ ආගන්තුක සත්කාර නොදන්නා රටකට ගිහින් අපහසුතාවය‍ට පත්වෙන වෙලාවට.

මම ටික කාලෙකට කලින් රාජකාරි කටයුත්තකට අපේ අල්ලපු රටට ගියා. ඒකෙදි මට වැඩකරන්න වුනේ මුළු රටම පිලිගත්ත රොකට් සයින්ස් වලින් වැඩ කරන කෙනෙක් එක්ක. වයසින් නම් මගෙ තාත්තගෙ වයසෙ විතර ඇති. ඉතින් දවසක් මම එයාගෙ ගෙදර ගියා. (යන්න වෙච්ච හන්දා) .

ගෙදර ගියහම වාඩිවෙන්න කියල කියන්නවත් ආගන්තුක සත්කාරයක් එතුමා දැනගෙන හිටියෙ නෑ. අපි නම් ගෙදරට කෙනෙක් ආවහම ඉස්සෙලම කියන්නෙ වාඩිවෙන්න කියලනෙ.

ඉතින් පැය දෙකක් විතර අපි වැඩකලා. නමුත් පොඩි බීම එකක්වත් නෑ. මම ඇහැව්වා වතුර ටිකක් ඕනෙ බොන්න කියල. මට හම්බවෙච්ච උත්තරේ තමයි මුළුතැන්ගෙට යන පාර පෙන්නලා එතන ඇති බොන්න කියපු එක. අපි තමයි වීදුරුවකට වතුර පුරවලා පීරිසියක තියලා අමුත්තන්ට සංග්‍රහ කරන්නේ.

එහෙම දවස් ගානක් අපි එකට වැඩ කරනකොට සුහදත්වයක් ඇතිවුනා. කොහොම හරි දවසක් මම දවල්ට කන වෙලාවෙ ඒ ගෙදර හිටියා. ඒ වෙලාවෙ මට ලැබිච්ච උපදේශය තමයි පාරෙන් එහා පැත්තෙ තියන කෑම කඩයට ගිහින් කෑම කන්න කියන එක. මම කිව්වා මම ඔබත් එක්ක කෑම ගන්න කැමතියි කියල.

ඒවෙලාවෙ කිව්වෙත් ඒක එච්චර අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබට අවශ්‍යය නම් කෑම එකක් අරන් එන්න කියන එක විතරයි.

එතුමා ආගන්තුක සත්කාරය කියන දේ ඉගන ගත්තෙ ඊට හය මාසෙකට විතර පස්සෙ ලංකාවට ආපු වෙලාවෙ. අපි ඒ මිනිස්සුන්ට අපිට පුළුවන් විදිහට සැලකුවා. අන්තිමට ඇහැව්වෙ ඇයි මෙහෙම සංග්‍රහ කරන්නෙ කියල විතරයි.

මට කියන්න ඉතුරුවෙලා තිබ්බෙ ඒ අපේ හැටි කියල විතරයි.

අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන මීටත් වඩා දිග සටහනක් තැබීම අවශ්‍යය නෑ කියල මට හිතෙනවා.

Thursday, September 13, 2012

කේ ෆෝ කැරට්

කාර්යාලෙ වාඩි වෙලා වැඩ කර කර ඉන්නකොට ළඟපාත ඉන්න යාළුවෙකුට දුරකතන ඇමතුමක් ආවා.
" හලෝ... යේස් ස්පීකිං"
දැන් එහාපැත්තෙ කෙනා නමක් අහනවා.
"යේස් යේස් හිස් නේම් ඉස් කනකරත්න"
එහාපැත්තෙන් ඉන්න සුද්දා (සුද්දද දන්නෙ නෑ. කඩ්ඩ වනන හන්දා සුද්දා වෙන්න ඇති කියල හිතුනා) ඒක ලියන්නෙ කොහොමද අහනවා.
"යේස් යේස් කනකරත්න. රයිට් ඉට් ඩවුන්. කනකරත්න."
සුද්දට තේරෙන්නෙ නැද්ද ඇහෙන්නෙ නැද්ද දන්නෙ නෑ. අපේ මිනිහ ආයි උත්තර දෙනවා.
"කනකරත්න යේස් යේස් කේ ෆෝ කැරට්"
 

Thursday, August 16, 2012

මා ඇසූ බණ - මට හිතුන දේ

ඊයෙ පාන්දර ගෙදර රූපවාහිනිය දාල. හාමුදුරුවන් වහන්සේ කෙනෙක් බණ කියනවා. ඉස්සරහ ඉඳන් අහන්න තරම් ඉස්පාසුවක් නැති හන්ද වැඩවලට යන එන ගමන් බණ ටික ඇහැව්වා.

හාමුදුරුවො කිව්වෙ දීඝායූ කුමාරයාගෙ කතාව. පොඩිකාලෙ අහල තිබ්බවුනත් ආයි අහන්න තරම් ලස්සනට හාමුදුරුවො බණ ටික කිව්වා. බණ ගැන ටිකක් හිතන්න වෙලාවක් ආවෙ උදේට කෑම කන අතරෙ.

ඒ බණ වලදි දැන් කාලෙ වෙන දේවලුත් මට හිතුනා. ඉතින් ලියන්න හිතුනෙ ඒවා.

දීඝායූ කුමාරයගෙ දෙමව්පියන් වධකයා රත්මල්මාලා දාලා මරණයට එක්ක යන මොහොතෙ දීඝායූ කුමාරයා ඔවුන් ඉදිරියට එනවා. මේ දේ දැක්ක කුමාරයගෙ තාත්තා තමන්ගෙ පුතාට අනර්ථයක් වෙයි කියල හිතල අර හැමෝම අහල තියන කතාව කියනවා.
"පුත දීඝායු! දුර බලන්න ලඟ නොබලන්න"
මෙන්න මේ කතාව ඇහෙනවා ලංකාවෙ ඉන්න ඇඩ්වර්ටයිසිං ඒජන්සියක ඉන්න, ආගම දහම, වටපිටාව, වගේ දේවල් දන්නෙ නැති "ක්‍රියේටිව් ඩිරෙක්ටර්" කෙනෙක්ට. (තරහ වෙන්න එපා එහෙම කිව්වට. හැම  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ම එහෙම නෙමෙයි. ඒත් සමහරු නම් ගන්න දෙයක් නෑ.)

ඉතින් මිනිහට අළුතෙන්ම ඇවිත් තියන ප්‍රොජෙක්ට් එක තමයි ඇස් කන්නාඩි වෙළඳ දැන්වීමක්. ඉතින් මිනිහා වැඩට බහිනවා.
දීඝායු ඔප්ටීෂන්ස්. - ඔබට පෙනෙන්නේ දුරද නැත්තම් ලඟද? තවත් දුර බැලීමට ඔබ ලතැවිය යුතු නොවේ.
දැන් දීඝායු කුමාරයා ඉතාමත් අමාරුවෙන් රජ වාසලේ රැකියාවක් හොයාගෙන රජතුමාගෙ විස්වාසවන්තම සේවකයා වෙනවා. ඔන්න දවසක් දෙන්නම කැලේ ගිහින් අතරමං වෙනවා. රජතුමාට මහන්සියට නින්ද යනවා. මේ වෙලාවෙ දීඝායු කුමාරයට පරණ කෝන්තර මතක් වෙනවා. රජතුමාගෙ මගුල් කඩුව (කැපෙන්නෙ නැති හන්ද මගුල් කඩුව කිව්වා නෙමෙයි ඔන්න. රජතුමාගෙ කඩුවට කියන්නෙ මගුල් කඩුව, රජතුමාගෙ ඇතා මගුල් ඇතා, රජතුමාගෙ අස්සයා මගුල් අස්සයා, රජතුමාගෙ මරණය - මළ මගුල) තියෙන්නෙ කුමාරය ගාව. කුමාරය කීප පාරක් රජතුමා ගෙ හිස සිඳින්න හදනවා. ඒත් මතකයට එන්නෙ තමන්ගෙ තාත්තා අවසානයට කියපු වචන ටික. ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට ගිහින් කුමාරයට රජකම දෙනවා. ඒ කතාව ඉවර වෙන්නෙ එහෙමයි. ඒත් මේකාලෙ අවසානය පොඩ්ඩක් වෙනස්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට එක්ක ගෙන යනවා. ගියපු ගමන් කරන්නෙ කුමාරයගෙ හිස ගසා දාලා කුමාරයාට පරලොව රජකම අරන් දෙන එක.

එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට යන අතරතුරදි "සුදු" අශ්ව රථයක් ඇවිත් දීඝායු කුමාරයා පැහැරගෙන යන්නත් පුළුවන්.

මේ ඉවර වෙන්න පුළුවන් තවත් විදිහක්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා.

ඒ කතාවෙ මෙහෙම අවසානයක් තියෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා ඒ කුමාරය කිව්වා රජතුමනි වැරැද්ද මගේ. ඒක හන්ද එකපාර මා මරන්න කියල. ඉතින් වැරදි කරපු මිනිස්සු දඬුවම් විඳින්න ඕනෙ. ඒක හන්ද මම ගස් බැන්ද ෂ් ෂ්... වැරදුනා ඒක හන්ද මම කුමාරයව මැරුව කියල.

කල්පනා කරල බලනකොට මෙහෙම අවසානයක් තියෙන්නත් බැරි නෑ.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා මම ඒ වෙලාවෙ නිදාගෙන හිටියෙ. මට මුකුත් මතක නෑ ඕයි!

Wednesday, July 18, 2012

මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?

ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච තවත් පොඩි කතාවක් ලියන්න හිතුනා. මේක බාලිකා විද්‍යාලවලට ගිය අයට හොඳට තේරෙයි. (ඇරෙන වෙලාවට ලඟට යන අයට නෙමෙයි). පිරිමි ඉස්කෝල වලට යන අයට එච්චර විශේෂයක් වෙන එකක් නෑ. මිශ්‍ර පාසැල් වලට ගිය අයට කොහොම තේරෙයි ද දන්නෙ නෑ.

මේක වුනේ අපේ ඉස්කොලෙ උසස් පෙළ කරන දවස් වල. මේක තනිකරම කොල්ලො හිටපු ඉස්කෝලයක් හන්ද ගැහැණු ලමයි ගැන ඉතින් අපි දන්නෙ නෑ.

අපිට උසස්පෙළ උගන්නපු ගුරුවරු හරිම කැපවීමෙන් ඉගැන්නුවා. (අපේ කැපවීමක් තිබ්බෙ නැතිවුනාට) අපිට ශුද්ධ ගණිතය ඉගැන්නුවෙ හර්ෂණී මිස්. ටිකක් හෙමින් කතා කලත් මිස් හරි හොඳයි. මිස්ට හිටියෙ පොඩි දුවෙක්. දවසක් මිස් දුවව ඉස්කෝලෙ ඇරිල එක්කගෙන ආවා. (දුව ගියෙ විශාකා එකට. එක වස‍රට ඇතුලත් වුනේ ඒ අවුරුද්දෙ.) ඉතින් මිස් උගන්නන ගන්න කොට පන්තියෙ උන්ට හරි ප්‍රශ්න.

"මිස් මේ මිස්ගෙම දුවද?"
"ඔව් මගේ තමයි"
"ඒක තමයි. නංගී මිස් වගේමයි"
"මිස් ගෙ දුව මිස් වගේ වෙන්නෙ නැතුව උඹලගෙ නංගි වගේ වෙන්න කියලද කියන්නෙ"
පන්තියෙන් සිනා....
"මිස් දුව මේ අවුරුද්දෙද ඉස්කෝලෙ ගියෙ"
"ඔව් මේ අවුරුද්දෙ තමයි ඉස්කෝලෙ දැම්මෙ"
"කොහොමද මිස් විශාකා එකට දැම්මෙ"
"සල්ලි දුන්නද?"
"ලමයි අපි  පාඩම කරමුද?"
"මිස් සල්ලි දුන්නෙ නැත්තම් කොහොමද ඉස්කෝලෙට දැම්මෙ"
පන්තියෙ ඉන්න රොබට් ට මාරම ප්‍රශ්නයක් තමයි ඉස්කෝලෙට දාපු විදිහ. රොබා බැරිම තැන මිස්ගෙන් මෙහෙම ඇහැව්වා.
"මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?"
මිස් ඇත්තටම ගිහින් තියෙන්න විශාකා වුනාට මිස් මේ ප්‍රශ්නෙන් ටිකක් අන්ද මන්ද වුනා.
"පුතා විශාකා එකේ ඕ බී ඒ එකක් නෑ. ඒකෙ තියෙන්නෙ ඕ ජී ඒ එකක්"
දන්න කාලෙ ඉඳන් කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල වලට ගියහම මෙහෙම දේවල් වෙනවා.

Tuesday, July 17, 2012

පාලිත ලොක්කට Wish කරපු හැටි


මේක සිද්දවුනේ මම කලින් වැඩ කරපු තැන. මේ සිද්ධිය වුන එක්කෙනාගෙ නියම නම කියන්න නම් බෑ. අපි එයාට පාලිත කියමු. පාලිත වැඩකලේ ඒ ආයතනයේ ලීගල් ඔෆිසර් හැටියට. පාලිත  අවුරුදු 45ක් විතර තරුණ කොල්ලෙක්. මොකද මිනිහා බැඳලා නෑ. (සිකුරු හතේ ෆිල්ම් එකේ හැටියට මිනිහා කොල්ලෙක්). අනික හැම වෙලාවෙම ඉන්නෙ "අම්මි" එක්ක. ඒතරම් පොඩි කොල්ලා.

පාලිත හරි ආසයි ලොක්කට ගොට්ට අල්ලන්න. වැඩ කරන වෙලාවට ඒතරම් යටහත් පහත් සේවකයෙක් හොයාගන්නත් නැති තරම්. ලොක්ක ගාවට යන්නෙ දෙකට තුනට නැමිලා.

පාලිතගෙ පොඩි පුරුද්දක් තිබ්බා වැඩට එන්නෙ විනාඩි 10ක් විතර පරක්කුවෙලා. විධායක ශ්‍රේණියෙ හන්ද එච්චර ප්‍රශ්නයකුත් නෑ.

අනික පාලිත එයාට වඩා පහල මට්ටමේ සේවකයන්ට සැලකුවේ හි‍ට්ලර් වගේ ආදරෙන්. පොටෝ කොපියක් ඔනෙ නම් ඒක පො‍ටෝ එකකම කොපියක් එන්න ඕනෙ. මැෂින් එකෙන් එලියට එන්න කලින් ඒක එයාගෙ අතේ තියෙන්න ඕනෙ. ඔය වගේ බ්‍රහ්ම නීති හන්ද සුළු සේවකයො ඔක්කොම හරි ආදරෙයි පාලිතට.

ඉතින් දැන් තමයි කතාව කියන්න යන්නෙ.

අපේ ලොක්කට ලොකු උසස් වීමක් හම්බවුනා. ඒක අපි දන්නෙ උදේ ආවහම. ඉතින් හැමෝම පේලියට ගිහින් ලොක්කට විෂ් කරන්න ගත්තා. පාලිත එන්නෙ විනාඩි 10 ක් පරක්කු වෙලානෙ. ඉතින් අන්තිම දෙතුන් දෙනා තමයි විෂ් කර කර හිටියෙ.

හැමෝම ලොක්කට විෂ් කරන වෙලාවෙ මිනිහ විතරක් විෂ් නොකර ඉන්න එක හරි ප්‍රශ්නයක්. ඉතින් ෂේප් එකේ පියන්ට කතා කලා.

"මොකද අයිසේ ලොක්කට හැමෝම විෂ් කරන්නෙ?"
මේ වෙලාවෙ තමයි පියන් අයියට ගණ දෙවි නුවන පහල වුනේ. මිනිහා ගත්ත කටටම කිව්වා
"ඇයි සර් දන්නෙ නැද්ද? අද බොස් ගෙ උපන් දිනේනෙ"
පාලිතට දැන් හරි. මිනිහ කලිසම ෂර්ට් එක එහෙම හදා ගෙන  විෂ් කරන්න යන්න හදනකොටම ලොක්කත් වීදුරු කාමරෙන් එලියට ආවා. අපේ මිනිහ පැන්න ගමන් අතට අත දීලා කියපි
"Many Happy returns of the day Mr.Perera"
ඔන්න ඉතින් ලොක්කා තුෂ්ණීම්භූත වෙලා බලන් ඉන්නවා. පාලිතටත් ටිකක් අප්සෙට් වගේ. අපේ සෙට් එකත් පැත්තකට වෙලා අතින් කට වහගෙන හිනාවෙවී බලන් ඉන්නවා.
"Why Mr. Perera?"
පොර ආයෙත් අහනවා. ඉතින් ලොක්ක උත්තර දුන්නා.
"No Palitha, today is not my birthday. Any way thanks for your wishes"
ඊට පස්සෙ ලොක්ක යන්න ගිය ගමන ගියා. පාලිතත් පාඩමක් ඉගන ගත්තා මං හිතන්නෙ. අපිත් ෆුල් ෆන් එකක් ගත්තා රතු වෙච්ච පාලිත‍‍ගෙ මූණ බලලා.

Friday, June 15, 2012

තවත් පොටෝ කතාවක්

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල. මේ දෙන්නට යන්න වෑන් එකකුත් හම්බවුනා. ඉතින් මේ දෙන්නා ගිහින් එනකොට රෑ වුනා. මගදි පොලිසියෙන් වාහනේ නැවැත්තුවා.

"කොහෙද තමුන්ල දෙන්න යන්නෙ?"
රාලහාමි ඇහැව්වා.
"මිනීමැරුමක් සම්බන්ධ වැඩකට ගියා රාළහාමි"
රිපෝටර් ඇත්තම කිව්වා. පොළිසියට දැන් තරමක් අවුල්. කොයිකටත් කියල මේ දෙන්නගෙ ලට්ට ලොට්ට එක්ක වාහනෙන් බැස්සුවා. ඊට පස්සෙ රාළහාමි කෙනෙක් වාහනේ පරික්ෂා කරන්න පටන් ගත්තා. වෑන් එක ඉස්සරහ මොනවද පොදියක්.
"මේ වාහනේ ඉස්සරහ තියන පාර්සලේ මොකක්ද?"
රාලහාමි ඇහැව්වා. එතකොට තමයි ඡායාරූප ශිල්පියට මතක් වුනේ කැමරා එකේ ෆ්ලෑෂ් ගන් එක ඉස්සරහ තිබ්බ කියල. ඔය ෆ්ලෑෂ් ගන් එකට කෙටියෙන් ගන් එක කියලත් කියනවනෙ. ඉතින් ඡායාරූප ශිල්පියා ඒ ගමන්ම රිපෝටර්ට කිව්වා
"මචං ඔය ගන් එක ගනින්. මට ඒක ගන්න අමතක වුනා"
කියල. ඊට පස්සෙ ඇහුනෙ දුවන සද්දයක්. ඒ රාළහාමිල බය වෙච්ච පාර.
 
 

Wednesday, June 13, 2012

අපේ සිංහල දැනුම


අපි හරියට සුද්දො වගේ. ඒත් ඉතින් නමට විතරයි. සමහර විට අපි කරන කියන දේවල් අපිම දන්නෙ නෑ. ඒකට ඉතින් කරන්න දෙයකුත් නෑ. පහුගිය දවසක අපේ මේ සුද්දො වෙන්න හදන සිංහල අය හන්දා වෙච්ච දෙයක් හන්ද පෝස්ට් එකක් දාන්න හිතුනා. එතකොට තව මම අහපු සිද්ධියකුත් මතක් වුනා. ඒකත් දාන්න කියල හිතුවා. මේවා දාන්නෙ ඉතින් හිනායන්න නෙමෙයි. අපේ භාෂා ප්‍රවීනතාවය ගැන අපිටම හිනාවෙන්න. ඔන්න පළවෙනි සිද්ධිය. මේක මට වෙච්ච එකක් නෙමෙයි. මම අහපු එකක්.

ස්ථානය - ළදරු පාසලක් (සිංහලෙන් කියනවනම් මොන්ටිසෝරියක්)
වේලාව - සිඟිත්තන් සෙට් එකක් තරුණ ගුරුතුමී එක්ක ළමා ගීයක් ගායනා කරන අවස්ථාව

"චුට්ටන් බට්ටිච්චා - දංගෙඩියක් දැක්කා - චූටි හොටෙන් ඇන්නා ....."
පොඩි එකෙක්ට ප්‍රශ්නයක්.
"ටීච, දංගෙඩිය කියන්නෙ මොකක්ද?"
ටීචර් ටක් ගාල උත්තර දුන්නා.
"දංගෙඩිය කියන්නෙ පුතා රජකාලෙ රාජ ද්‍රෝහින්ගෙ හිස ගසා දාන්න පාවිච්චි කරපු ලී කුට්ටිය"

දැන් දෙවනි කතාව.

හදිස්සි ඡායාරූප ගැනීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයකට ගිය වෙලාවෙ සිද්දවෙච්ච දෙයක්. ආයතනයෙ උත්සවය තියෙන්නෙ පහුවෙනිදා. මම එතනට ගියෙ විස්තර දැනගන්න. එතන හිටියෙ අවුරුදු 45-50ක් වෙච්ච (නාකි ඒත් තරුණ වෙන්න හදන) ලේකම්වරියක්. ඉතින් මේ ගෑනි (ආහ් වැරදුනා) මේ මහත්මිය, නංගි, කෙල්ල ඕනෙ එකක් හිතාගන්න. මට හෙ‍ට එන්න පාස් එකක් දෙන්න මගෙ විස්තර අහගත්තා. ඊට පස්සෙ තොල් උල්කරල සුද්දියෙක් වගේ සිංහලෙන් මගෙන් අහනවා
"මිස්ටර් ලියනගේ, ඔයාත් එක්ක සපෝර්ට් එකට තව කවුරුහරි එනවද?"
මටත් ඉතින්  තනියම යන්න මොකකද වගේනෙ. ඉතින් මම කිව්වා
"ඔව් මිස්, බොහෝවිට එයි"
එතකොට මේ ඇන්ටි මගෙන් අහපි,
"අනේ මිස්ටර් ලියනගේ එහෙනම් මට මිස්ටර් බොහෝවිට ගෙ සම්පූර්ණ නම දෙන්න" 
 
 

Tuesday, May 29, 2012

ප්‍රේමයේ තරම

මේක මේ පොඩි කතාවක්. සමහරු අහලත් ඇති. ඊයෙ මොකක් හරි දේකදි මතක් වෙච්ච හන්ද දන්නෙ නැති අය වෙනුවෙන් ලියල දාන්න හිතුවා.

ඔන්න එක ටවුමක ඉස්කෝලෙක 11 වසරෙ විතර ලමයෙක් ඒ ඉස්කෝලෙම තවත් ගෑණු ළමයෙක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා. ඒ කියන්නෙ අර මෙව්ව සම්බන්ධයක්.

පටන් ගෙන ටික දවසක් යනකොට මේක ගුරුවරුන් අතරටත් ගියා. ඉස්කෝලෙ විදුහල්පති තුමාගෙ කණටත් මේක යන්න වැඩි දවසක් ගියෙ නෑ.

ඉස්කෝලෙ විනය තියාගන්නත් එපායැ. ඉතින් විදුහල්පති තුමා මේ ලමයව තමන්ගෙ කාමරයට කැ‍‍ඳෙව්වා. ඊට පස්සෙ ප්‍රශ්න කලා. ලමයා කියනවා එහෙම දෙයක් නෑමයි කියල.

එහෙනම් උඹල දෙන්න අතරෙ තියෙන්නෙ කොයි වගේ දුරදිග ගිය සම්බන්ධයක්ද? විදුහල්පති තුමා ඇහැව්වා.

මේ වෙලාවෙ දහයෙ පන්තියෙ පද්මා මිස් ආවා නාමලේඛනේ තියන්න විදුහල්පති කාමරයට.

කොල්ලට ඕනෙ වුනේ තමන්ගෙ සම්බන්දෙ යාළුකමක් සහෝදර කමක් කියල කියන්න. ඉතින් මූ විදුහල්පති තුමාට මෙහෙම කිව්වා.

"සර් ඒක හරියට සර්රුයි මේ පද්මා මිසුයි අතර තියන සම්බන්ධය වගේ එකක්"

"මොනව බොල තෝ ඒ තරම් වනචරයෙක්ද? කියල විදුහල්පති තුමා අර ලමයාට වේවැලෙන් ගහගෙන ‍ගහගෙන ගියාලු.

මොරාල් ඔෆ් ද ස්ටෝරි - උදාහරණ දීමට පෙර උදාහරණ සම්බන්ධ වටපිටාව හොඳින් හොයා බලන්න

Monday, May 07, 2012

වෙසක් සැරසිලි + බණ + RGB සහ තවත් කතා

පසුගිය සතියෙ වෙච්ච දේවල් සහ තවත් ටිකක් ලියන්නයි හදන්නෙ. ගිය ගමන පෝස්ට් එකෙන් පස්සෙ ඊට අදාල ලමයා ඒක කියවලා නෝක්කඩු ටිකක් කිව්වා. ඕවා පෝස්ට් වල දානවද කියල අහලා. අනේ මන්දා ඉතින් ඕවා.

ඒක කමක් නෑ ඉතින්. මේ ගමන ලියන්න යන පෝස්ට් එක පහුගිය ටිකේ වෙච්ච දේවල් සහ තවත් එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච ඒවත් එකක් ලියන්න යන්නෙ. හැබැයි මේවාගෙ ටිකක් තාක්ෂණික කතා තියෙන්නෙ. සිංහලෙන් ටෙක්නිකල් කියන්නෙ. නොතේරුනොත් තරහ වෙන්න එපා.  

වෙසක් උත්සවයට බණක් කියන්න කියලා කාර්යාලයේ සගයො ටික සූදානම් වුනා. ඉතින් කාර්යාලය සරසන්න ඉතින් කට්ටියම කතාවෙලා සල්ලි එකතු කරල එක්කෙනෙක්ව යැව්වා කඩේට සව්කොළ ගේන්න. ඉතින් ටික වෙලාවකින් සව්කොල ගොඩකුත් අරන් අපේ මිත්‍රයා ආවා. 

ඉතින් මේ සැරසිල්ලට අපි මුලින් හිතාගත්තෙ බෞද්ධ කොඩිය. ඉතින් ඒකට ගැලපෙන පාට අරන් මිත්‍රයා ආවා. 
සරසන්න පටන් ගත්තා.

"කෝ කොළ පාට ගෙනත් නෑනෙ"
අපි නොහිතපු ප්‍රශ්නයක් මතුවුනා. 
"කොළ පාට කොහෙද බෞද්ධ කොඩියෙ?" 
" ඇයි මොකද නැත්තෙ"
ඔන්න දැන් අපේ  බෞද්ධයන්ගෙ විවාදයක් මතුවේගෙන එනවා.
"කොළ පාට තියෙන්න ඕනෙ.  RGB (Red Green Blue) නැතුව කොහොමද අනිත් පාට තියෙන්නෙ"
අපේ බෞද්ධයො හුඟක් පරිගණක එක්ක කළවම් වෙලා ආගමික දේවල් හිතන්නෙත් ඒ විදිහට. පස්සෙ එලියෙ එල්ලල තිබ්බ  බෞද්ධ කොඩියක් පෙන්නල තමයි  RGB තිබ්බට කොළ පාට ඒකෙ නෑ කියල ඔප්පු කලේ.

දැන් දෙවෙනි කතාව. 

කාර්යාලෙ වැඩකරනවා සුද්දෙක්. කාලයක් තිස්සෙ වැඩ කරන හන්දා සිංහල එහෙන් මෙහෙන් පුළුවන්. ඒත් සමහර දේවල් තේරුම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. සුද්දා කරන්නෙ Cloud Computing. ඕක ඉතින් සිංහලෙන් හිතුවොත් කියන්න වෙන්නෙ වළාකුළු ආශ්‍රිත පරිගණක කරණය කියල. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි ඔන්න. 

ඉතින් දැන් හාමුදුරුවො බණ කියනවා. කට්ටිය එක්ක සුද්දා බණ අහණවා. හාමුදුරුවො බුද්ධ චරිතයෙ කතාවත් අරගෙන මෙහෙන කියනවා.

"එකල්හි අ‍ප බුදුරජානන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටින විට වලාකුලක් උඩ ඉඳගෙන දෙවියෙක් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා"
සුද්දා වලාකුල ගැන අහල තියෙනවා. ටිකක් සිංහල පුළුවන් හන්දා. සුද්දා මගෙන් අහනවා
"What he says?"
මම උට දන්න ඉංග්‍රීසියෙන් කිව්වා
"When Load Buddha Stays at Dewram Viharaya, One Angel Came to see him on Cloud"
කියල. සුද්දට මාර සතුටුයි. ඉතින් සුද්ද මට කියනවා,
"See men, in the Ancient time also the Cloud is in there. We are also using the same technology now. I don't know about the company who invent cloud at that time"

තේරුනාද මන්ද. කමක් නෑ. දැන් ඔන්න තුන් වෙනි කතාව.

හාමුදුරුවො දිගටම බණ කියනවා. දවස පුරාම වැඩකරමින් හිටපු අපේ සහෝදර වරු ටික වැඩ කරන ගමන්ම තමයි බණ අහන්න ආවෙ. හුඟක් අයට ඇඟටත් අමාරුයි. ඉතින් බුද්ධ චරිතයෙ බණ වලින් පස්සෙ හාමුදුරුවො පටන් ගත්තෙ ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන කියන්න. දීර්ඝ බණක් හන්දා අපේ අය නිදි කිරා වැටෙනවා. ඒත් සුද්දා කෙළන් ඉඳන් තේරෙන මිනිහා වගේ බණ අහනවා. දැන් හාමුදුරුවො ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන මෙහෙම කියනවා.
"පින්වත් හැම දෙනාම දන්නවා ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන. සම්මා දිට්ඨි..... සම්මා සංකප්ප.......සම්මා වාචා......"
ඉතින් සුද්දට ඕව තේරෙන එකක් යැ. ඒත් සුද්ද වටපිට බලල හයියෙන් මෙහෙම කියනවා.
"සාදු..Some Are Sleeping"
මමත් කොරවුනා මූ මොනවද මේ කියන්නෙ කියල. සුද්දා හිතල තියෙන්නෙ හාමුදුරුවො සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට සම්මා කියල කියන්නෙ Some Are කියල.

මම දන්නෙ නෑ ඕන් ඕවා. මම කියන්නෙ බෞද්ධයො හැටියට අපි මීට වඩා අදහන ආගම ගැන සැලකිල්ලක් දක්වන්න ඕනෙ කියල විතරයි. 
 
 
 
 

Thursday, May 03, 2012

බෙලිහුල්ඔය‍ට කොච්චර දුරද?


මේ ලඟදි දවසක හදිස්සි වැඩකට සබරගමුව විශ්ව විද්‍යාලෙ ලඟ වැඩකට යන්න මට ආරාධනාවක් ආවා. ඔය විශ්ව විද්‍යාලෙ තියෙන්නෙ බෙලිහුල් ඔය හරියෙ කියල මම දැනගෙන හිටියත් කොච්චර දුරක් මෙහෙ ඉඳන් තියනවද කියල දන්නෙ නෑ. ඉතින් ඔන්න කල්පනා කරනකොට මට මතක් වුනා ඉස්සර කැම්පස් ගෑණු ලමයෙක් ඔය කිට්ටුව ඉන්නවා කියල. ඉතින් ඔන්න ලේසියට චැ‍ට් එකෙන් විස්තර ටිකක් දැනගන්න කතා කලා.

මම - හායි
ළමයා - හායි
මම - ඔයා ඉන්නෙ සබරගමුවෙ කැම්පස් එක හරියෙ නේද?
ළමයා - ඔව්
මම - එහෙට කොළඹ ඉඳන් කොච්චර දුරද?
ළමයා - ම්ම්ම්ම්.... කොළඹ ඉඳන් පැය හතරක විතර දුර

!@$%^&*%^&

මම - අපි නම් දුර මනින්නෙ කිලෝ මීටර් වලින්. මම ඇහැව්වෙ කිලෝමීටර් කීයක් තියනවද කියල.
ළමයා - ඒක නම් හරියටම දන්නෙ නෑ. කාගෙන් හරි අහල කියන්නම්.

ටිකකින්

මම - ඔයාලගේ ගෙදර තියෙන්නෙ ඒ ලඟ කිව්ව නේද?
ළමයා - ඔව්. කැම්පස් එක පැත්තෙ ආවොත් එන්න ගෙදර.
මම - හා. ඉක්මනට වැඩ ඉවර වුනොත් එන්නම්. කැම්පස් එකේ ඉඳන් ගෙදරට කොච්චර දුරද?
ළමයා - රුපියල් 12ක දුර.
මම - !@$%^&*%^&  හා

Wednesday, April 25, 2012

පන්ති මාරුකරපු හැටි



මේකත් ඉතින් ඉස්කෝලෙ යන කා‍ලෙ කතාවක්. කලිනුත් අපේ විදුහල්පති තුමා ගැන මෙලෝ රහක් නැති කතාවක් කිව්වා මතක ඇති. මේත් ඒවගේ කතාවක්. මේක වුනේ අපි 12 පන්තියෙ ඉඳන් 13 පන්තියට යනකොට. 12 ඉන්නකොට අපි හිටියෙ ඉස්කෝලෙ ලස්සනම හරියෙ. එක තට්ටුවක ගොඩනැගිල්ලක. ඉස්සරහ තිබ්බෙ හරිතාගාර. ඒ දවස්වල ඒ හරියෙ ඉස්කෝලෙක හරිතාගාරයක් තිබ්බෙ අපේ ඉස්කෝලෙ විතරයි. ඉතින් අහල පහල ඉස්කෝලවල (ගෑණු) ළමයි එහෙම එනවා මේවා බලන්න. ඉතින් ඕක තමයි ඒ පන්තියට ළමයි ඔක්කොම කැමති.

ඉතින් 13 පන්තියට යන දවස ආවා. අපි ඔක්කොම හිතාගෙන හිටියෙ අපි දිගටම හිටපු පන්තියෙම ඉන්නවා කියල. පන්ති භාර ගුරුතුමී කිව්වා තට්ටු 2ක් උස එහා පැත්තෙ ගොඩනැගිල්ලකට අපේ 13 පන්තිය මාරු කලා කියල. අපේ ඔක්කොම සිහින බිඳවැටුනෙ ඊට පස්සෙ. ඒකට ගියහම කිසිම දෙයක් පේන්නෙ නෑ විතරක් නෙමෙයි විදුහල්පතිතුමාගෙ නිල නිවස තිබ්බෙත් ඒ ගොඩනැගිල්ලෙ.

කට්ටියම එකතුවෙලා පන්තිභාර ගුරුතුමියට කිව්වා අපිට මෙතන හොඳයි. යන්න එන්න ලේසියි කියල. මිස් කිව්වා ඕවා මට කියල වැඩක් නෑ මේවා ප්‍රින්සිපල් සර්ගෙ තීරන ගිහින් එයාට කියන්න කියල.
අපේ පැතුම් තවත් සුන්වෙන තැනට ආවා. කරන්න දෙයක් තිබුනෙ නෑ. කට්ටිම කතාවුනා ප්‍රින්සිපල් සර්ට කතා කරන්න. ඉතින් කියල කතාවෙලා තීරණය කලා චතුරත් මදූෂත් කතා කරනවා, අපි පස්සෙන් ගිහින් බලන් ඉන්නවා කියල.

ඉතින් මුළු පන්තියම ගියා විදුහල්පති තුමාගෙ කාමරේ ගාවට. සර් කොහෙද යන්න එලියට බහින ගමන්. කට්ටියව දැක්කහම ගමන පොඩ්ඩක් නතර කලා.

“ඇයි?”
චතුරත් ඇඟටයි හිතටයි හයිය අරන් කතා කරන්න පටන් ගත්තා.

“සර් අර 12 පන්තියෙ අය ඔක්කොම 13 පන්තියෙ උඩතට්ටුව‍ට යන්න ඕනෙද?”
හදිස්සියට චතුරට කියවුනේ එහෙමයි.

“ඔව් ඇයි ප්‍රශ්නයක් තියනවද?”
“නෑ සර්!”
ඒ මදූෂ.
“කවුරු හරි තමුසෙලාට යන්න එපා කිවුවද?”
“නෑ සර්!”
“එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ. අද ඉන්ටවල් එකට කලින් පන්තියට යනවා. මම යනවා”
කියපු ප්‍රින්සිපල් සර් යන්න ගියා. අපි 13 වසරට අපිට දුන්න පන්තියට ගියා. සිම්පල් ප්ලෑන්. එච්චරයි.

Friday, April 20, 2012

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ


මේක මට වෙච්ච වෙච්ච දෙයක් ටික කාලෙකට කලින්. නොදන්න කමටයි පුරුද්දට එන හැම මැසේජ් එකටම ok කියල ප්‍රෙස් කරන හන්දයි තමා මේ ඔක්කොම.

හැමෝම අහල ඇති දමිත් අසංක ගායනා කරන ඔය සින්දුව. මේ ඔය සින්දුව ආපු මුල් කාලෙ. දවසක් බස් එකක යනකොට ඔය සින්දුව මට ඇහුනා. (බස් වල යන හුගක් සින්දු අහන ඒවා නෙමෙයි ඇහෙන ඒවා) ටිකක් හොඳ හන්දා මම සින්දුවෙ ඉතුරු ටික ඇහැව්වා. සින්දුව සෑහෙන්න හිතට අල්ලපු හන්ද ගෙදර ආපු ගමන්ම අන්තර්ජංජාලෙ දමාගෙන හෙව්වා. කොහෙවත් තිබ්බෙ නෑ. ඉතින් ඒ ආසාව එදාට ඉවරවුනා.

දවස් කීපයක ඇවෑමෙන් ආයි සින්දුව මතකෙට ආවා. එදා හිටියෙ කාර්යාලෙ. ගූගල් දෙයියන්ට කතාකරල පොඩ්ඩක් හොයල බැලුවා. ඔන්න තියනවා. ගිහින් බැලුවහම ලංකාවෙ ජංගම දුරකතන  ෙස්වා  ෙවබ් අඩවියක තියනවා සින්දුව. ෙපාඩ්ඩක් ඒහා ෙමහා ෙවලා බැළුවහම  ෙමන්න තියනවා Download Icon ඒකක්. දැන් ඉතින් වැෙඩ් හරි. හැමදාමත් පුරුද්දට කරනවා වගේ එබුවා Download එක.

එතකොට කියනවා ඒකට ඒ ජංගම දුරකතන  ෙස්වා ජාලයේ දුරකතන අංකයක් ඇතුල් කරන්න කියල. ඉතින් මුළු කාර්යාලෙම ඒ ජංගම දුරකතන  ෙස්වාව පාවිච්චි ‍කලේ එකෙක් විතරයි.  (ඒත් මහ ගෙදරට සිග්නල් නෑ කියල). නම නම් කියන්න බෑ අයියෝ. ඉතින් ඌ ගාවට ගිහින් මගෙ අවශ්‍යතාවය කියල නොම්මරේ ඉල්ලගෙන ඇතුලත් කලා. ඒත් ඉතින් Download ලින්ක් එකක් හම්බවුනේ නෑ. ආයෙත් ඒ දේම කලා. කිසිම විදිහකින් මට ඕනෙ සින්දුව හම්බවුනේ නෑ. පස්සෙ මම වැඩේ අතහැරල දැම්මා.

පැය කාලකට විතර පස්සෙ රා බිපු නාලාගිරි වගේ යාළුව කඩාගෙන බිඳගෙන මගෙ පැත්තට එනවා.

උඹ මොකද්ද බං කරපු කැත වැඩේ?
කියල යාළුවා මට බැනගෙන බැනගෙන ගියා. මම අන්දුන් කුන්දුන් වෙලා අහගෙන හිටියා. පස්සෙ හෙමින් මම ඇහැව්වා මොකකද වුනේ කියල. එතකොටයි මට වැඩේ තේරුනේ. ඒ සින්දුව යාළුවගෙ රින්ගින් ටෝන් එකට සෙට් වෙලා. රුපියල් අසූවකුත් කැපිල. ඒ අස්සෙ යාළුවගෙ පවුලයි නැන්දම්මයි කතා කරල.

යාළුවට පවුල බැනල මොනවද මේ දාගෙන ඉන්න සින්දු? දැන් කාගෙ ආදරේද හීනයක් වෙලා තියෙන්නෙ කියල.

ඕන් ඔහොමයි නැති ප්‍රශ්න ඇතිවුනේ. ඒක විසඳුවෙ යාළුවට ගිය වියදම වෙන රුපියල් 80ත් දීල එයාගෙ නෝන මහත්තයට කතා කරල වෙච්ච විජ්ජුම්බරෙත් පැහැදිලි කලාට පස්සෙයි.

මගෙ ජීවිතේ පළවෙනි පාරට සල්ලිත් දීල සින්දුවක් ඇහැව්වෙ එදා තමයි ඔන්න.

Friday, February 24, 2012

මනුෂ්‍යත්වයෙන් යුතු අපේ විදුහල්පති තුමා


පොඩි වෙනසකුත් එක්ක මේ ගමන ‍පෝස්ට් එකක්  ලියන්න හිතුනා. පහුගිය කාලෙම ඉස්කෝලෙ ආදි ශිෂ්‍යය සංගමේ වැඩවලට ගියා. එතකොට අවුරුදු ගනන් පරන යාළුවො ආයි හම්බවුනා. එතකොට පරණ සිද්ධි ආයි ඇදිල ඇවිත් රසකතා ගොඩයි. මේ කතාවත් එහෙම එකක්. මේ කතාවෙ කතා නායකයා විදුහල්පතිතුමා.
ඔන්න අ‍පි උසස්පෙල කරන කාලෙ (අයියල කාලෙ) තිබ්බා ගුරු දෙගුරු රැස්වීමක්. මේකට හැමෝගෙම දෙමව්පියෝ එන්න ඕනෙ. අයියල කියල නෑ ඉතින්. කොහොම කොහොමහරි ඉතින් රැස්වීම තිබ්බා සිකුරාදා දවසක. සඳුද උදේම විදුහල්පතිතුමා එනව පන්තියක් පන්තියක් ගානෙ දෙමව්පියෝ ආවෙ නැති උසස් පෙළ ළමයි හොයාගෙන. 

විදුහල්පති තුමා හරි සැරයි. උසස්පෙළ අයියල වුනත් ඉතින් පණ බයයි එයාට. මොකද පොඩ්ඩ බැරි වෙනකොට සනීපෙට පිට පැලෙන්න හම්බවෙන නිසා. 

ඔන්න පන්තියෙන් පන්තියට ඇවිත් දෙමව්පියො ආපු නැති  ළමයි ටික එළියට අරන් ගිහින් කාර්යාලෙ ඉස්සරහ හිටවල තියල ආපු නැති හේතු අහගෙන ගියා. . මේ අස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න පන්තිවල ඉතුරුවුන අපිටිකත් එළියට පැන්නා. සාධාරණ හේතු කියපු අය ආයි පන්ත් වලට පිටත් කරල අනිත් අය‍ට ඉන්න කියල විදුහල්පති තුමා ඔරලෝසුව එහෙම ගැලෙව්වා ඉතින් දැන් වෙන දේ කට්ටියටම පැහැදිලියි. ඊට පස්සෙ හම්බවෙන්න ඕනෙ ටික ලබා දීල උසස් පෙළ ළමයි ටික ඉස්කෝලෙ ඉස්සරහට එක්ක ගියා. ඉස්කෝල මිදුලෙ අවුව තියන තැනක් බලලා තණකොළ ගොල්ලෙ දණ ගහන්න කියපි.
දැන් ඔක්කොම කට්ටියව පාරට පේනවා. දිග කලිසම් ඇඳගෙන උසස් පෙළ අයියල දහ පාලොස් දෙනෙක් ඉස්කෝලෙ පාර දිගට අව්වෙ. 

කට්ටියට ලැජ්ජාවෙ බෑ. දන්න කියන අය කීදෙනෙක්ද? එකෙක් එක්කවත් කතා කරන්නෙ නෑ කියල අපිටත් සද්දයක් දැම්මා ප්‍රින්සිපල්. 

ඔහොම ඉන්ටවල් එක වෙනකන් කට්ටිය දණ ගහගෙන. ඉන්ටවල් එකෙන් පස්සෙ ප්‍රින්සිපල් එනවා ඔය කිට්ටුවට. ඇවිත් ශිෂ්‍යය නායකයෙකුට කතා කලා. දැන් හැමෝම හිතන් ඉන්නෙ මේ කියන්නෙ නැගිටල යන්න කියන්න වෙන්න ඇති කියල බොහොම සන්තෝසෙන් හිටියා. ටික වෙලාවකින් ශිෂ්‍ය නායකයා වතුර බෝතලේකුත් අරන් එනවා. ඇවිත් හැමෝටම වතුර වීදුරුව ගානෙ දීල ගියා.
දණ ගහගෙන හිටපු අය ඉස්කෝලෙ ඉවරවෙනකන්ම දණ ගහගෙන හිටියා. ප්‍රින්සිපල් ඇවිත් කියල තියෙන්නෙ අව්වෙ දණ ගහගෙන ඉන්න කට්ටියට වතුර ටිකක් දෙන්න කියල. අපේ සර්ගෙ මණුස්සකම එහෙමයි.

Sunday, January 22, 2012

දුව වෙත ආදරයෙන් ලියමි


මගේ ආදරණිය දුවේ,
අදින් තුන් මසකට පෙර ඔබ අප කැදැල්ලට වඩිනවා යයි ඇසූ කල්හිම මා පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ ම‍ගේ ජීවිතයේ කවත් එක් වැදගත් කඩඉමක් ඔබ නිසා පසු කරන වග දැනුනු නිසාය. නමුත් දස මසක් තැබූ බලාපොරොත්තු සුන්වී ගියේ ඔබ මා තුරුලට පැමිණේයයි සිතාහුන් දිනයට පෙරදා අපෙන් සමුගත් මොහොතේදීය. ජීවිතය සහ බලාපොරොත්තු කෙතරම් අවිනිශ්චිතදැයි ඔබ මට කියා දුන්නෙහිය. ජීව්තය ගැන සිතා නොසැලී සිටීමට අවැසි ශක්තිය ලබාදුන්නේ ඔබය. නමුත් මේ ලොව ප්‍රීතිමත්ම සහ ආදරණියම පියා වීමේ ගෞරවය ඔබ විසින් මට අහිමි කලත් ඒ ගැන අබමල් රේණුවක් වත් තරහක් ඔබ ගැන මා තුල නැත. බොහෝ දෙනෙක්ට ඔබ අමතක වූවත් අම්මාත් මමත් තවමත් ඔබ ගැන දෙදෙනාට හොරෙන් වැලපෙන්නෙමු.

දුවේ,
කිසිදා ඔබව නුදුටු නුඹේ අම්මාටත් ම‍ගේ අම්මාටත් නුඹව සිහිනෙන් පෙනෙද්දී දෑසින් නුඹේ වත දුටු මට සිහිනෙන් නැතත් සැම විටම නු‍ඹව මැවි පෙනෙයි. නුඹව වළ දැමූ ඒ පාළු සුසානය පසුකරයන හැම මොහොතකම වාහනයේ ඇක්සලේටරය බුරුල් වී නැවත තද වෙන්නේ නුඹ නැති දුක නැවත ඇතිවීම වළක්වන්නටය.

දුවේ
නුඹ සිටියානම් මම දැන් තුන් මසක් වයසැති පියෙකි. නුඹේ මව ඇගේ ප්‍රසූති නිවාඩු අවසන් වී දුකින් වැඩට යාමට සැරසෙනු ඇත. අවාසනාවට දැන් ඒ කිසිවක් සිදු නොවේ.

දුවේ
මේ නුඹ ගැන ලියනා අවසාන වතාවයි. නැවතත් මෙවැනි අකල් වියෝවක් කිසිදා නුඔට නොලැබේවා!
මීට
නුඹේ තාත්තා

Saturday, November 12, 2011

පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලි


ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.
මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි.
"ඇතුලෙ දියේ ගිලිච්ච එකක් කපනවා මාර සැරයි" 
ඔහු පිළිතුරු දුන්නේය.
නැවතත් ඔහු මිනී කාමරය වෙත ගියේය.

විනාඩි දහයක් පමන ගතවිනි. මම තවමත් එතැනය.ඔහු යලිත් දොර ඇර එලියට පැමිණියේය. මම නැවතත් මලානික සිනහවක් පෑවෙමි. මෙවර ඇයි කියා ඇසුවේ ඔහුය.

"අර පොඩි බබාගේ බොඩි එක කපන්න ගත්තද? " 

මම විමසීමි. මදක් වෙනස් මුහුනක් මවාගත් ඔහු
"දැන් ගත්තේ ඒක තමයි ඇයි?"

කියා නැවතත් මගෙන් විමසීය.


"මම බබාගෙ තාත්තා. කපන්න කලින් මට බබා බලන්න පුළුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මම දොස්තර මහත්තයාගෙන් අහල එන්නම්" 

කියු ඔහු දොර වසා නැවතත් මගේ දෑස් මානයෙන් නො‍පෙනී ගියේයෙ. මද වේලාවකට පසු ඔහු පැමිණියේ බලාපොරොත්තු සහිත මූණක් දල්වාගෙනය.

"ඔයාට විතරක් දොස්තර මහත්තයා එන්න කිව්වා"

මම ඔහු සමග පසු පසින් ගියෙමි. ජීවිතයේ පළමු වරට මිනී කාමරයක් නැත්තම් මෝචරියක් මැද්දෙන් ජීවිතයේ පළමු වතාවට ගමන් කරන්නේ පොඩි බබෙක්ගේ මිනියක් කපනවා බැලීමටයි. ඒ දරුවා මගේ ලෙයින් මසින් සෑදුනු අයෙකු වීම තවත් දරාගත හැකිද?

මම පශ්චාත් මරණ පරික්ෂණ කුටියට පැමිණියෙමි. විශාල මේසයක එක් කොනක නිරුවත් මළ සිරුරක බඩවැල් බොකු එලියට අදිමින් සිටින රෝහල් සේවකයන් දෙදෙනෙකි. ඒ මේසයේම කොනක කුඩා ඉඩක රෙදිකඩක එතූ මගේ කිරිකැටියා නිසොල්මන්ව සිටී.

දොස්තර මහත්තයා හැගීම් තොරවූ මුහුණකින් මා දෙස බලා සිටී.

"මේ ඉන්නෙ බබා"

ඔහු යන්තම් පැවසුවා මට මතකය. අනේ රෝස පාට අත පය. එක වරම මගේ මතකය මාස හත අටකට දිව ගියේය. පළමු ස්කෑන් පරීක්ෂණයේදී දොස්තර මහතා ඡායාරූපයක් පෙන්වා

"මේ දරුවාගේ තියෙන්නෙ තාත්තගෙ නහයමයි" 

පැවසූවා විගසින් මතකයට පැමිණියේය. ඔව්. ඒ නහයම තමයි. මේ මගේ කිරි කැටියාම තමයි සිතා ඒ මුදු මුහුණ ස්පර්ශ කලෙමි. ඊට කළින් දොස්තර ක්‍රියාත්මක වී මගේ අත අල්ලා ගත්තේය.

"බබාව අල්ලන්න එපා"

ඔහු කියයි. මේ මගේ ලමයා. එයා එපා කියන්නෙ කොහොමද?

"මම එහෙනම් බබාගෙ පොටෝ එකක් ගන්නද?"

වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවුනත් මට සිතුවිල්ලක් පැන නැගුනි.

"එපා පස්සෙ ඔයාටම දුකක් වේවි"

දොස්තර යලිත් පැවසීය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "

තවත් ගොඩක‍් දේවල් දොස්තර කිව්වද ‍කොහෙද?

තවත් එතන සිටීම පලක් නැති බැවින් මම පැත්තකට වූවෙමි.


"ඔයා දැන් බබාව බැලුවනෙ. දැන් එළියට යන්න. තාත්තල ලග ඉන්නකොට බබාලව කපන්නෙ නෑ"

දොස්තරගේ කරුණාවන්ත වදන් හමුවේ දිගු සුසුමක් හෙලා මෘත ශරීරාගාරයෙන් එළියට ආවෙමි.

Monday, October 10, 2011

අදත් පොලිසියෙන් කරදර

සල්ලි තියනවට ගත්තෙ නැතත් හදිස්සි වුවමනාවකට පාවිච්චියට ගන්න කියල ගත්ත වාහනේ ටින්ට් කරපු එක ගලවන්න වෙච්ච කතාව මම මීට අවුරුදු එකහමාරකට විතර කලින් කිව්ව මතක ඇති. නැත්තම් වෙලාවක් තිබ්බොත් මේ සබැඳියෙන් කියවන්න. ඊට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් මම වාහනේ වීදුරු අඳුරු කලා. ඒ දන්න කීපදෙනෙක් ගෙන් අහලා, කළාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියල බලන්න. ඒ නීතිය ලිහිල් වෙලා කියල තව දන්න අය කිව්වා.  ඉතින් මම කොයිකටත් කියල ආයෙත් ටින්‍ට් කලා. ඉස්සරහ වීදුරු නම් පොඩ්ඩක් වෙන්න තමයි කලේ.
ඉතින් අද හදිස්සියෙම මම ගමනක් යන්න කියල හිතල කන්තෝරුවෙන් එලියට බැස්ස වාහනේ නැගල. අතුරු පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දානකොටම රාළහාමි කෙනෙක් අත දැම්මා. වාහනේ හරවන්න කලින් සිග්නලුත් දැම්මා. ආසන පටිත් දාගෙන ඉන්නෙ.
"ඇයි රාළහාමි"
මම ඇහැව්වා.
"මහත්තයා වාහනේ බළපත්‍රය දෙන්න"
"ඇයි රාළහාමි" මම බලපත්‍රය දෙන ගමන් ආයෙත් ඇහැව්වා.
"මහත්තයට වාහන වීදුරු අදුරුකරන්න බලපත්‍රයක් නෑනෙ. මම දඩකොළයක් ලියන්නෙ නෑ. ඉස්සරහ විදුරුවල ටින්ට් එක ගලවල පොලිසියට ඇවිත් පෙන්නල ලයිසන් එක අරන් යන්න"
රාළහාමි එක හුස්මට කියාගෙන යන ගමන් කොළයත් ලියන්න පටන් ගත්තා.

මම රාළහාමි එක්ක ටිකක් වාද කලා. එහෙම කරන්න බෑ නේද ඒ නීතිය ලිහිලි කරල නේද කියල.
රාළහාමි කිව්වා
"මහත්තයො අපිට ඉහලින් නීතිය දන්නෙ කවුද?" කියලා
මට ඉතින් කටවහගන්න වෙච්ච හන්ද එහෙම හිතල පැත්තකට වෙන කොටම වීදුරු ඔක්කොම තද කළු කරපු ඉන්ටකූලර් රථයක් පාර අයිනෙ හිටපු මාවයි රාළහාමිවයි පහුකරගෙන ගියා. මම රාළහාමි ගෙන් ඇහැව්වා
"ඇයි රාළහාමි ඒක වාහනයක් නෙමෙයිද? කියල.
පිළිවෙලකට වැඩකරන රාළහාමි සරළ පිළිතුරක් මට දුන්නා.
"පොඩ්ඩක් ඉන්න එක වැඩක් ඉවර වෙනකන්"
ඉතින් රාළහාමි එයාගෙ පොඩි වැඩේ ඉවර කරල ලයිසන් එක සාක්කුවෙ දාගෙන ලියපු කොලේ මගේ අතේ තිබ්බා.
ඒකත් අරන් මගෙ හිතේ තිබ්බ තව දේවල් ටිකකුත් රාළහාමිගෙ මූණට කියල එන්න පුළුවන් හැකියාවක් තිබ්බ හන්ද මම ඒවායෙන් ටිකක් කියල එන්න හැරුණා. රාළහාමි ඒ දේවල් කිව්වෙ එයාට නෙමෙයි වගේ හිටියා.

හැමදාම තැලෙන්නෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් අපිවගේ පොඩි අයට තමයි.

Tuesday, September 27, 2011

මම ඒ බෝයිව දන්නවා


මේ සිද්දිය වුනේ අපේ කන්තෝරුවෙ ටික කාලෙකට කලින්. ළගදි සිද්ධිය ආයි මතක් වුන හන්ද ලියන්න හිතුනා. සිද්දිය වුනේ ලි‍ෆ්ට් එක ඇතුලෙ. අපේ කන්තෝරුවෙ ඉන්නවා අන්තෝනියෝ (නියම නම නෙමෙයි) කියල කෙනෙක්. එයාගෙ වැඩ රාජකාරි තියෙන්නෙ කන්තෝරුවෙ නඩත්තු වැඩත් එක්ක. මේ මනුස්සයා වයස 50 ක් විතර වුනාට 40ක විතර පෙනුම තියෙන්නෙ. ඒ වගේම කරමලෙත් ටිකක් විතර තියනවා.  ගෑණු පරාණයක් පේන්න ටිකක් අමාරුයි.

ඉතින් කන්තෝරුවට දවසක් ආවා අළුත් ගෑණු ලමයෙක් වැඩට. හරිම හැඩකාර දැරිවි. ඉස්කෝලෙන් අස්වෙච්ච ගමන්ද කොහෙද. වයස 20ක් විතර වුනාට 25ක විතර පෙනුම තියෙනවා. ආපු පළවෙනි දවසෙම මේ ළමයා දවල්ට කාල පල්ලෙහාට එන්න කියල ලිෆ්ට් එක ගාවට ඇවිත් ඉන්න කොට අන්තෝනියොත් කොහොම හරි පහලට යන්න ආවා. ලිෆ්ට් එක ළග ඉදන් ඉතින් ඒ ළම‍යගෙ පුද්ගලික විස්තර ටිකකුත් ඇහැව්වා. ගෙවල් කොහෙද මොන සෙක්ෂන් එකේද වැඩ කරන්නෙ අදද ආවෙ වගේ ප්‍රශ්න.

ඊට පස්සෙ ලිෆ්ට් එක ආවා. කට්ටියම ලිෆ්ට් එකට නැග්ගා.

අන්තෝනියෝ තවත් ප්‍රශ්නයක් අර ළමයගෙන් අහනවා.

"අර උදේ පහල ඔයත් එක්ක කතා කර කර හිටපු බෝයිව මම දන්නවා"

අර ළමයගෙ මූනෙ ප්‍රශ්නාර්ථයක්.

"අර පහල ග්ලාස් ඩෝ එක ගාව හිටියෙ"

දැන් හරි.

"ආ.... ඔයා කොහොමද දන්නෙ" ලමයත් ප්‍රශ්නයක් ඇහැව්වා.

"එයා ***** කොලේජ් එකේනෙ. අපේ පන්තියෙ හිටියෙ. මගෙ හොද යාළුවා"

"හානේ ඇත්තද? ඒ මගෙ තාත්තා"

කතාව එතනින් ඉවරවුනාද දන්නෙ නෑ. මොකද හිනාව තද කරගෙන ඉන්න බැරුව අපි ඊළග තට්ටුවෙන් බැස්සා.

Friday, September 09, 2011

ග්‍රීස් යකෙක්


වේලාව උදේ වරුවේ වැඩට යන්න පරක්කු වෙලා වාහනයෙන් ට්‍රැපික් අස්සෙන් රිංග රිංගා යන වෙලාව. ඔහොම යනකොට ජරාස් ගාල වාහනේ ඉස්සරහින් සද්දයක් ආවා. මොකක් හරි අකරතැබ්බයක්. වාහනේ කැඩිලා. අහල පහල දෙතුන් දෙනෙක් එක්කහු කරගෙන වාහනේ ලග තිබ්බ හදන තැනකට තල්ලු කලා. 

ඊට පස්සෙ හෙමින් හෙමින් කෑලි ගලවලා අඩුපාඩු ලිස්ට් එක බාස් උන්නැහේ දුන්නා. මමත් ඉතින් ලිස්ට් එක අරගෙන කිට්ටුවම තිබ්බ අමතරකොටස් කඩේට ගිහින් බර ගානක් වියදම් කරල ගත්තා. අරන් පයින්ම ගාටල ගරාජ් එකේ බාසුන්නැහේට දුන්නා. 

ටික වෙලාවකින් බාසුන්නැහැ කියපි මහත්තයෝ එක දෙයක් අමතක වුනා නෙව. මං ඇහැව්වා මොනවද කියල. මේක හයි කරන්න ග්‍රීස් ඕනෙ. ගිහින් අරන් එන්න. බාසුන්නැහැ උත්තර දුන්නා. මම ඉතින් ග්‍රීස් ගන්න පුළුවන් කඩයක් බාසුන්නැහැගෙන් අහගෙන ගියා. යනකොට ඒ කඩේ වහල. ඉතින් ඒ හරියෙ ත්‍රීවිල් වලින් අහ අහා ග්‍රීස් ගන්න පුළුවන් කඩයක් හෙව්වා. අන්තිම වෙනකොට ඇවිදලම මාව දාඩියෙන් පෙගිලා. අන්තිමේදි ග්‍රීස් කඩේ හම්බවුනා.

මම ඉතින් මුදලාලිගෙන් ගිය හදිස්සියෙම ග්‍රීස් ඉල්ලුවා. දාඩිය පෙරාගෙන ඉන්න මං දිහා මුදලාලි අමුතු බැල්මක් දැම්මා. මොකෝ මහත්තයො මහන්සි පාට?

කලින් ගිය කඩේ වහල මුදලාලි. ඉතින් මගෙ වැඩේට ග්‍රීස්ම ඕනෙ හන්දා කඩේ හොයාගෙන ආවා. මම කිව්වා.
ඊට පස්සෙ මුදලාලි කොච්චර ග්‍රීස් ඕනෙද කියල ඇහැව්වහම මම ඕන ප්‍රමාණෙත් කිව්වා.

මිනිහ ග්‍රීස් ටික ඔතන ගමන් මගෙ නම ගම විස්තරත් අහනවා. මොකටද කියලත් ඇහැවිවා. මම කිව්වා වාහනේ කැඩිල කියල. එතකොට වාහනේ විස්තරත් ඇහැව්වා.

ඉතින් සල්ලිත් ගෙවල ග්‍රීස් අරන් කඩෙන් එලියට බහින කොටම පොලිස් ජිප් එකක් ඇවිත් නවත්තල තුවක්කු දික් කරල මේ තියෙන්නෙ බඩුත් එක්කම කියල මාව අල්ලගෙන පොලිසියට අරන් ගිහින්  කූඩුවට දැම්මා. 

මම බල බල හිටපු හීනෙ ඉවරවුනේ උසාවියෙදි ගරාජ් එකේ බාසුන්නැහැ සාක්කි දීල  මාව බේරගත්ත එකෙන් පස්සෙ. හැබැයි ග්‍රීස් ගන්න තුන්ඩුවක් නිකුත් කලේ නෑ කියල බාසුන්නැහේට රුපියල් ලක්ෂයක ශරිර ඇප තියන්න වුනා.

උසාවියෙදි විනිශ්චයකාරයා මට කිව්වෙ දොස්තරගෙන් තුන්ඩුවක් නැතුව බේත් ගැනීමත්, අවසර පත්‍රයක් නැතුව තුවක්කුවක් ලග තබා ගැනීමත්, ප්‍රවේශ පත්‍රයක් නැතුව ප්‍රයිවෙට් බස්වල යාමත්, අවසරලත් ගරාජ් හිමියෙක්ගේ බලපත්‍රයක් නැතුව ග්‍රීස් ඉල්ලීමත් දඩුවම් ලැබිය හැකි වැරැද්දක් බවයි. එහෙම කියල පළවෙනි වතාව හන්දා දැඩි ලෙස අවවාද කරල මාව නිදහස් කලා.

හීනෙ ඉවර වුනත් ඇග‍ට දාඩිය දාපු ටික නිවෙන්න සෑහෙන වෙලාවක් ගියා.

Wednesday, August 17, 2011

ඇසල පෙරහැර ගැන කියපු කතා

මේ ගමනත් ඇසල පෙරහැර බොහොම උත්කර්ශවත් විදිහට ඉවර වුනා.ඇසල පෙරහැර කියන්නෙ ආසියාවෙ තියන ලොකුම සංස්කෘතික සන්දර්ශණය. ලංකාවෙ පවත්වන ලොකුම කළා මංගල්‍යය. මම මීට කලින් කවදාවත් ඒක සියැසින් දැකල තිබ්බෙ නෑ. හැමදාම බැළුවෙ රූපවාහිනියෙන්. ඒත් මේ ගමන වාසනාවක් තිබිල පෙරහැර බලන්න අවස්ථාවක් හම්බවුනා. පෙරහැර අතරතුරදි එක එක්කෙනා අහපු කියපු කතා ටිකක් ලියන්නයි හදන්නෙ.

ඉස්සෙල්ලම අපිත් එක්ක ගිය කෙනෙක් කිව්වා පහුගිය පාරවල් වලට වඩා මේ ගමන දළදා මාලිගාවෙ ආලෝක සැරසිලි මදි කියලා. ඒක ටිකක් පැහැදිලිව පෙනුනා තවත් විදේශිකයෙක් කියපු දේවල් එක්ක. ඔහුත් එක්ක කතාවට වැටුනෙ පෙරහැර ගැන ඔහුගෙ අදහස් දැනගන්නත් එක්ක. ඔහු ස්විස් ජාතිකයෙක්. දළදා පෙරහැරට පුදුම විදිහට ආදරය කරන්නෙ. එක පාරක් ලංකාවට අහම්බෙන් ආපු වෙලාවක ඇසළ පෙරහැර දැකලා. ඊට පස්සෙ ඒකට වහ වැටිලා හැම පාරම එන්න පටන් අරන්. මේ ඔහුගෙ පස් වෙනි වතාව කිව්වා. ඔහු කියන්නෙ ඡායාරූපයක් ගන්න තරම් වත් ඒ එලිය මදි කියලා. හැබැයි බෑ කියල නිකන් හිටියෙ නෑ. පුළුවන් විදිහට ඔහු ඡායාරූප ගත්තා.

ඊට පස්සෙ හම්බවුනේ ඕස්ට්‍රේලියානු යුවතියක්. මේ ඇගෙත් දෙවෙනි වතාව. ඇය කිව්වෙ මේවා විදේශිකයන්ට අගයවුනාට ලංකාවෙ අයට එච්චර වටින්නෙ නෑ කියල.

ඉන්දියාවෙන් ආපු මාධ්‍යවේදිනියක් එක්කත් කතා බහ කරන්න අවස්ථාවක් හම්බවුනා. ඇය ඒ අවස්ථාව වෙනකොට පුදුමයෙන්  ඇලලිලයි හිටියෙ.

පෙරහැර බලන්න ලක්ෂ ගානක් සෙනග ඇවිත් හිටියා. අපි උදේ යන කොටත් මිනිස්සු ඉටි රෙදි දාගෙන පාර අයිනෙ ඉන්නවා. වැස්සක් ‍එනකොට කුඩයක් ඉහල ගන්නවා විතරයි. අයින්‍ වෙන්නෙ නෑ. හිටපු තැන නැතිවෙයි කියල. පුළුවන් අය පුටු තියල රුපියල් දෙ‍දාහෙ ඉදන් දහදාහ විතරවෙනකන් වියදම් කරල පෙරහැර බලනවා. බැරි අහිංසක මිනිස්සු ඉටිරෙදි දාල බිම වාඩි වෙලා වැස්සට තෙමි තෙමි පෙරහැර බලනවා. ඒ අය නිසා තදබදය වැඩිවුනා. ඒත් දුප්පත් කමනෙ.

පෙරහැරේ අලි ඇත්තු අසූ ගානක් ගියාලු. පුංචිම අලි පැටියගෙ ඉදන් කරඩුව ගෙනියන ඇතා දක්වාම තමන්ගෙ රාජකාරිය ඉෂ්ට කලා. හැබැයි පෙරහැරේ තිබ්බ උද්යෝගය හොදින්ම ති‍බ්බෙ කරඩුව ගෙන යනකන් විතරක් වග මටත් දැනුනා.

පෙරහැරට අළුත් අංග එකතු කරල කියල කළින් බලලා තියන අය කිව්වා. හැබැයි ඒ අංග හන්දා පෙරහැරේ අගය අඩුවෙලා කියලත් කිව්වා. ඉස්සර පෙරහැරේ ගැහැණු නැටුම් කණ්ඩායම් තිබ්බෙ නැහැල්ලු. (ඇත්තද දන්නෙ නෑ) හැබැයි මේ ගමන පෙරහැරේ ඒ අංග තිබ්බා. එකම නැටුම තැන් කිහිපයකමත් තිබ්බා. බලපු හුගක් අයට ඒක ටිකක් අකමැති අත්දැකීමක් වුනා.

තවත් එක නැටුමක් අතරතුරදි මගේ එහා පැත්තෙ හි‍ටපු කෙනා තට්ටුවක් දාල ඇහැව්වා ඔය නටන්නෙ වන්නමකට නෙමෙයි නේද කියල. මමත් පොඩ්ඩක් අහල බැළුවා. හොදට දන්න සින්දුවක්. සුරේන්ද්‍ර පෙරේරගෙ "වැහි පබළු සැලී"... මෙහෙම යනකොට ලංකාවේ දේශිය නර්තනය කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ කියල එතන හිටපු එක්කෙනෙක් කිව්වා.

තව නටපු හුගක් නැටුම් කණ්ඩායම් වලට නරබන්නන්ගෙ ප්‍රසාදයක් තිබ්බෙ නෑ. ඒත් සමස්ථයක් විදිහට පෙරහැර සාර්ථකයි කියල හුග දෙනෙක් කිව්වා. ඒ වගේම ආයෙත් ඒ දේවල් වෙන එකක් නෑ කියලත් ඒ අය හිතනවා.

අපේ සංස්කෘතික උරුමයන් අපි රැක ගන්න ඕනෙ.

Tuesday, August 16, 2011

නුපන් දරුවාගේ හැගීම්


නිදියහනේ මම ඒ මේ අත පෙරලෙමින් සිටියෙමි. සත් මස් ගැබිනි මා බිරිද නිසොල්මනේ නිදිසුව විදිමින් පසුවන්නීය. කාර්යාල වේලාවෙන් පසුව කාර්යාලය එහිම තබා ගෙදර පැමිණියද සිත තවමත් ඒ තුල සැරිසරයි. නින්ද මා කෙරේ එනු නොපෙනේ. 

එක්වරම මා බිරිද මා අත අල්ලා ගති. ඉන් පසුව මා අත ඇගේ කුස පැත්තකින් තබා නිශ්ශබ්ද වුවාය. සියුම් සෙලවීම් රැසක් අවසානයේදී මෘදු පාපහරක් කුසයෙන් නික්මුනි. 

මෙතෙක් කල් බලා සිටි මොහොතක් දැන් එලඹී තිබේ. නුපන් මා සිගිත්තා ඔහුගේ (සමහරවිට ඇයගේ) චලනයන් මගින් මගේ සිත පාලනය කිරීමට පටන් ගෙන ඇත. අනාගත පියෙකු වීමේ උණුසුම දැන් තියා දැනේ. මසිත සතුටින් පිරී ඇත.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...