Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Tuesday, October 17, 2017

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා


පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බූරුවා වගේ අන්වර්ත නාම වලින් බැනුම් අහලත් ඉවරයි. අම්ම තාත්තා බැන්න හන්දා සියදිවි නසාගත්ත ලමයෙකුත් ඒ අතර ඉන්නවා. තමන්ගෙ ලමයට හොඳ ඉස්කෝලයක් නැති වෙච්ච හන්දා තාමත් දුකින් ඉන්න අම්මල තාත්තලත් ඒ අතර ඇති.

මම අද කතා කරන්නෙ ශිෂ්‍යත්වෙ ගැන.

මේකට අම්මලගෙ විභාගෙ කියල කියන්නෙ අනාදිමත් කාලෙක ඉඳන්. හේතුව තමයි ළමයින්ට වඩා මේ විභාගෙට ලෑස්තිවෙන්නෙ අම්මලා. තමන්ගෙ ළමයා හොඳ ඉස්කෝලෙකට යවා ගන්න තියන එකම විදහ තමයි මේ විභාගය.

කෙටියෙන් කියනවා නං මේ විභාගෙ තියෙන හොඳ කම තමයි දක්ෂ දරුවෙක්ට තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හොඳ පහසුකම් තියන “ජනප්‍රිය පාසලක්“ ලැබෙන එක.

තියන නරකම දේ තමයි පොඩි ළමයින්ට දරා ගන්න බැරි තරම් වැඩ ගොඩක් තියන, පොඩි ලමයින්ට තමන්ගෙ ළමාවිය කියන්නෙ මොකක්ද කියල අමතක කරවල පන්ති යන එක. සෙල්ලමක් කරන්න දන්නෙ නැති, ප්ලාස්ටික් සෙල්ලම්බඩු ගැන දන්න කොළපතක් පදින්න, ටයර් එකක් පදින්න දන්නෙ නැති ළමයි ඕනෙ තරම් අපි අතර ඉන්නවා

මේකට කරන්න තියෙන්නෙ ලංකාවෙ හැම පාසලක්ම එක වගේ දියුණු කරල “ජනප්‍රිය පාසලක්“ කරන එක. ඒ වගේම කවදාවත් වෙන්නෙ නැති එකත් ඒකම තමයි. ඒක හන්දා හැමදාමත් මේ අම්මලාගෙ විභාගෙ ඒ විදිහටම තියෙයි.  මොකද අම්මලාට ඕනෙ තමන්ගෙ පුතා කොළඹ රෝයල් එකට හරි කොළඹ ආනන්දෙට හරි දාන්න. එකම නම තිබ්බත් පොලොන්නරුවෙ හරි හොරණ රෝයල් වත් කොට්ටාවෙ ආනන්දෙට වත් ඒ අය කැමති නැත්තෙ ඒකයි. (මෙතන කිසිම ඉස්කෝලයක් පහත් කිරීමක් නැති බව සලකන්න)

අපේ පොඩි කාලෙ ශිෂ්‍යත්වෙට තිබ්බෙ ගනනුයි සිංහලයි විතරයි. ඒත් දැන් ළමයින්ට ඊට වඩා දේවල් ඉගන ගන්න තියනවා. කමත් භාෂාව, ගස් වැල් ගැන, කවි, සීපද, ආදි වාසීන්, සිංහල ජනක්‍රීඩා, පරිසරය වගේ දේවල් දැන් ලමයි ඉගන ගන්න ඕනෙ. මේකෙ එක අතකින් හරිම  හොඳ දෙයක්. ඕනැම ලමයෙක් තමන්ගෙ සංස්කෘතිය ඉගන ගන්න ඕනෙ. මේ විභාගෙන් ඒක කවර් කරනවා.

ඒත් මේ ළමයින්ගෙන් 90%ක් මේ දේවල් ඉගන ගන්නෙ තියරි විතරයි. කමත් භාෂාව ඉගනගත්තට කමතක් දැකල නෑ. ගස් වැල් ගැන ඉගන ගන්නවා. ගහේ තියන ප්‍රයෝජන ගිරව් වගේ කටපාඩමින් කියන්න පුළුවන්. ඒත් ගහකොළක ඇත්ත වටිනාකම දන්නෙ නෑ. අනික මේ දේවල් උගන්නන්නෙ තරඟ විභාගයකට විතරයි. එතනින් එහා ඒ දැනුම කවදාවත් ප්‍රයෝජන වත් වෙන්නෙ නෑ.

මගෙ ඥාතියෙක්ගෙ දියනියක් මීට අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්ව විභාගෙට වාඩිවුනා. ඒ දවස්වල එලියට බහින්නෙත් අඩුවෙන්. වැඩිපුරම ඉන්නෙ පන්තිවල. වැරදිලාහරි එලියට බැස්සොත් අම්මා ඇවිත් පාඩම් කියල දෙනවා. දුව අර ගහ මොකක්ද? ඒ ගහේ ප්‍රයෝජන මොනවද?  මේ කෘමියා මොකාද? උගෙන් ගොවියන්ට තියන ප්‍රයෝජන මොනවද?. ළමයිත් රොකට් එක වගේ. ගින්දර වගේ උත්තර දෙනවා.

මෑතකදිත් ඒ දුව මට හම්බවුනා. එදා ඒ අම්මා පෙන්නුවෙ වෙරළු ගහක්. මම නිකමට වෙරළු ගහක් පෙන්නල ඒ ගහ මොකක්ද ඇහැව්වා. ඒ ළමයා කල්පනා කරල කල්පනා කරල දන්නෙ නෑ කිව්වා. ඉතින් පරිසරය වගේ දේවල් තියරි වලින් ඉගැන්වුවහම තියන අවුල තමයි මේ.

අඩුම තරමේ මේ දේවල් 8 පන්තියෙදි වත් උගන්නනව නං ටිකක් හරි මතක තියෙයි. අවුරුදු 10ක් වගේ පොඩි එකෙකුට මේ තරං දේවල් දැම්මට ඔළුවට වැඩක් තියෙයිද?

මේ ළමයින්ට මීට වඩා පරිසර හිතකාමී විදිහකට උගන්නනව නං තවත් හොඳයි. ඒ කියන්නේ ඒ ඒ අදාල පරිසරයට ගිහිල්ලා එහෙම. ඒත් ඉතින් එහෙම වුනොත් හවස ශිෂ්‍යත්ව පන්තිය මිස් වෙනවා. අපේ ගම, මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරෙ වගේ තැන් තියනවා ටිකක් මේ වගේ දේවල් තියන. ඒත් කවදාවත් අර ඔරිජිනල් ටේස්ට් එක ඒවායෙන් ගන්න වෙන්නෙ නෑ.

මේ කිව්වෙ ජීවිතේට ක්‍රියාත්මක වෙන්නෙ නැති ගොන් හිතලුවක් විතරයි.

ශිෂ්‍යත්වය කියන්නෙ තරඟ විභාගයක්. ඉතින් දිනන්නෙ ඉහලින්ම ඉන්න කට්ටිය විතරයි. ශිෂ්‍යත්වෙට ලකුණු දෙන්නෙ 200න්. එක පේපර් එකකට 100ක්. මේ ගමන ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ 164යි. එතකොට එක පේපර් එකකට සාමාන්‍යය 82යි. නිකං හිතන්න උසස් පෙල සාමාන්‍ය පෙල විතරක් A එකක් ගන්න ළමයෙක් ගන්න ඕනෙ 75යි. එතකොට ශිෂ්‍යත්වය කියන විභාගෙ සමත් වෙන්න උසස්පෙල A එකකට වඩා ලකුණු සාමාන්‍යක් තියෙන්න ඕනෙ. ලකුණු 150ක් තියන ළමයා ශිෂ්‍යත්වෙ අසමත්. එහෙම ළමයෙක් මෝඩයෙක් හරකෙක් කියල දෙමව්පියො හංවඩු ගහනවා. ඒත් ඇත්තටම ඒ ළමයා අසමත්ද?

තීරණය ඔබට බාරයි.

හැම අවුරුද්දකම ශිෂ්‍යත්වෙ ප්‍රතිපල ආවහම මාධ්‍ය ඉස්සරහට විභාගෙ පළවෙනියො එනවා. ඇවිත් මෙහෙම කියනවා.

“ මම හැමදාම එදා දෙන පාඩම් එදාම පාඩම් කලා. අමතර පන්ති ගියා. ගුරුවරු උදව් කලා, දෙමව්පියො උදව්කලා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා“

එහෙමත් විභාග පාස්වෙන්න පුළුවන්. ඒත් මම හිතන්නෙ නියම හරිම ජයග්‍රිහකයෙක් වෙන්නෙ මේවගේ කතාවක් කරන ළමයෙක්.

“මම හැමදාම ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ මම පෝතක බාලදක්ෂ කලා, පරිසර කමිටුවෙ හිටියා. ඉස්කෝලෙ හුඟක් බාහිර වැඩවලට සහභාගීවුනා. සමස්ත ලංකා 11න් පහල ක්‍රීඩා තරඟවලට සහභාගී වුනා. හවස් වරුවෙ මම අයියලා එක්ක ගමේ ඇවිද්දා. ගම ගැන, කුඹුරු නියර ගැන ගස් ගැන හුඟක් පරිසරය ගැන මම ඉගනගත්තෙ අයියලත් එක්ක ගමේ ඇවිදල. මගේ අම්මල තාත්තල මට තමන්ටම ඉගන ගන්න කියල ලොකු නිදහසක් දීල තිබ්බා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම රටට වැඩදායී කෙනෙක් වෙනවා“

කළබල වෙන්න එපා. නිකං ලිව්ව කතාවක් විතරයි. ඒ වගේ ළමයින්ට කියන්නෙ රස්තියාදුකාරයො කියල. පොඩිකාලෙ ඉඳං රස්තියාදුගහන එවුන් කවද්ද විභාග පාස්කලේ කියල ඉස්කොලෙ ඉන්න හැම අම්ම තාත්තම කතාවෙයි.

ඇත්තටම නිකං හිතට ආවට ලියපු කතාවක් විතරයි. සමහරවිට කවදහරි මමත් ළමයෙක්ව ශිෂ්‍යත්ව පංති අරං යනවා ඔයාලට හම්බවෙයි. එදාට ළඟ ඉන්න කෙනාට මාව පෙන්නල අන්න අර ශිෂ්‍යත්වෙ ගැන ලොකු කතා කියපු එකා තමුන්ගෙ ළමයා අරං පන්තියනවා කියන්න එපා.


රැල්ලට අපි ඔක්කොම ගසාගෙන ගිහින් ඉවරයි.

Wednesday, January 25, 2017

සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම ගැහැණියක් ඇත, ඒ ගැන ගැහැනුන් කියන දේ.



ඉවානා
ඒ කාලෙ කොච්චර ලස්සනද? සීත කාලෙට හිම වැටෙනවා. වසන්ත කාලෙට ගස්වල මල් පිපිල සුවඳ හමනවා. ග්‍රීස්ම කාලෙට හරිම රස්නෙයි. කොච්චර රස්නෙ වුනත් හැමදාමත් මං සන්තෝසෙන් හිටියා.

පොඩි කාලෙ පුරාම මම කලේ හිම මත ලිස්සායාම. මම ඒකට හුඟක් දක්ෂයෙක් වුනා. මගෙ තාත්තාත් ඒකට මට උදව් කලා

මගේ තරුණ කාලෙ. චෙක් රටේ ඉපදිච්ච මං පොඩිකාලෙම ඇමරිකාවට ආවෙ හොඳ ජීවිතයක් ගෙවන්න දාහක් හීන මවාගෙන. නාඹර තරුණ කාලෙ ගෙදරට වෙලා ඉන්නකොට දකින හැමෝම කිව්වෙ චෙක් රටේ කෙල්ලො හරිම ලස්සනයි කියලා. ඒක මම ඇහැව්වෙ එකපාරක් දෙපාරක් නෙමෙයි. එකම දේ ආයි ආයි ඇහෙනකොට මටත් හිතුනා ඒක ඇත්තක් කියල. මමත් ඒක විස්වාස කලා. පස්සෙ කාලෙක ප්‍රොයිඩ් මහත්තයා ලියපු පොතක් කියවනකොට මම දැක්ක එහෙම හිතෙන එකට කියන්නෙ වර්ණපාල තියරිය කියල.

ටික කාලයක් යනකොට මටම හිතුනා මම ලස්සන ඇති කියලා. මම ටිකක් විලාසිතා නිරූපනය පැත්තට බර වුනා. චෙරි ගෙඩියක් වගේ ලස්සනට හිටපු මටත් ඕනෙ නම් එක රැයින් ජනප්‍රිය නිරූපිකාවක් වෙන්න තිබ්බා ප්ලේ බෝයි වගේ සඟරාවක කවරෙක හිටිය නම්. ඒත් මම කවදාවත් එහෙම කලේ නෑ. මට කවදාහරි දිදුලන අනාගතයක් තියනවා කියල දවසක් හම්බවෙච්ච ජිප්සි ආන්ටි කෙනෙක් අත බලලා කිව්වා. ඉතිං මොකටද?

මෙහෙම ඉන්නකොට තමයි මට හැත්තෑ ගනන් වල මුල ඇල්ෆ්‍රඩ් හම්බ වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් හරි හැඩකාරයා. එත් මගෙ හිත එච්චර කැමැත්තක් තිබ්බෙත් නෑ. කොහොම වුනත් අපි බැන්දා. හුඟක් ගැහැට මැද්දෙන් ගෙවපු අපේ ජීවිතේ අවුරුදු දෙකක් යනකොට අපි ලිහාගත්තා.

මේ විදිහට මම ටික කාලයක් ආයෙත් තනියෙන් හිටියා. මම සහබාගීවෙච්ච මොඩ්ලින් ෂෝ එකක් බලන්න ආපු ඩොනල්ඩ් මාව දැකල කරපු විවාහ යෝජනාව මම එකහිතින් පිළිගත්තා. මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් හිටියා.

එයා හන්දා, එයාගෙ සල්ලි හන්දා මම එයාගෙම බලපෑමටම සමාජ ක්‍රියාකාරිනියක් වුනා. ගෙදර වැඩකරන ගමන් සමාජෙටත් මොනව හරි වෙන්න ඕනෙ කියල මමත් හිතුවා.  ඩොනල්ඩ් හරිම නාස්තිකාරයා. මම එයා නාස්ති කරන සල්ලි ඉතුරු කරන්න පෙළඹෙව්වා. එයා නිතරම ඒ ගැන මට ප්‍රශංසා කලා. මම බලන් ඉන්දැද්දි එයාගෙ ව්‍යාපාර දෙගුණ තෙගුණ වුනා. හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

කාලෙත් එක්ක අපට ළමයි ලැබුනා. ව්‍යාපාර ගැන බලන්න තිබ්බා. සමාජ සත්කාරක වැඩ තිබ්බා. මං වයසට ගියා. අන්තිමට මට ඩොනල්ඩ් මග හැරුනා. අවුරුදු පහළවකට විතර පස්සෙ අපි වෙන්වුනා. ඒත් එයා අද ඉන්න තත්ත්වෙන් ඉන්නෙ මං හන්දා.

මර්ලා මේපල්ස්
මං ඉපදුනේ ජෝර්ජියාවෙ. පොඩි කාලෙ ඉඳන්ම මට ලස්සන රූපයක් තිබ්බා. අල්ලපු ගෙදර එලිසබත් නැන්දා හැම වෙලාවෙම කිව්වෙ මේ කෙල්ලට නං තියෙන්නෙ මහරැජිනට වගේ ලස්සන රූපයක් කියලා. අපේ තාත්තගෙ අය්යා පිලිප් මහප්පා කිව්වෙත් ලෝරා බලන්න මේ කෙල්ල කවද හරි  නිලියක් වෙනවා කියලා. ලෝරා කිව්වෙ මගෙ අම්මා.

හැමෝම පොඩි කාලෙ ඉඳන් මේ නිලි පිස්සුව ඔළුවට දාල තිබ්බ හන්දා හැම වෙලාවෙම  හිත වැඩ කලේ ඒ දිහාවට. අන්තිමට මම දිනුවා. මට මැක්සිමම් ඕවර්ඩ්‍රයිව් ෆිල්ම් එකේ රඟපාන්න හම්බ වුනා. එතන ඉඳන් මම නිලිකමට වැඩ කලා. ඊට පස්සෙ මට හොඳ කලක් ආවා. 1991 දි පොඩි වැඩි වැඩකට අතගැහැව්වෙ අමතර ගානක් හොයා ගන්නම නෙමෙයි. මගෙ දක්ෂතාවය කොහොමද බලන්න. ඒ වැඩෙත් හරි ගියා. මම රෙස්ලින් තරඟ වල නිවේදිකාවක් වුනා.

දවසක් එයා (ඩොනල්ඩ්) රෙස්ලින් තරඟයක් බලන්න ආවා. ටිකක් වෙලා යනකොටයි තේරුනේ එයා රෙස්ලින් නෙමෙයි බලන්නෙ මං දිහා කියලා. ඩොනල්ඩ් සල්ලිකාරයා. වයසත් ටිකක් වැඩියි. ඒ වෙනකොටත් එයා බැඳලා ඩිවෝස් වෙලා හිටියෙ. ඩිවෝස් වෙන්න හේතු හැටියට එයා කිව්වෙ ඒ ගෑනි එක්ක ඉන්න බෑ. එයා ගැන හොයනවා වෙනුවට සමාජ සත්කාර කොර කොර ඉන්නවා කියල.

සල්ලි බාගෙත් මැරෙන්න තියනවනං ගෙදරට වෙලා මනුස්සයව බලාගන්නෙ නැතුව පිස්සු නටන ගෑනුත් ඉන්නවනෙ කියල මම හිත හදාගත්තා. ඒ වෙනකොට ඩොන් (මම ආදරේට කියන්නෙ එහෙමයි) නැත්තටම නැතිවෙලා හිටියෙ. ව්‍යාපාර පාඩු වෙලා. එයාට සහයට කෙනෙක් ඕනෙම වෙලාව. එයා මගෙන් ඇහැව්වා. මම කැමතිවුනා. අපි බැන්දා.

මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් හිටියා.

ඩොන් මට හොඳට සැලකුවා. මමත් එයාට හොඳින් සැලකුවා. ඒ වෙනකොටත් මම රඟපානවා. ටී වී ෂෝස් කරනවා. ඒ හැම එකටම එයා එනවා. මං හන්දා එයාගෙ ජනප්‍රියතාවෙ වැඩිවෙනවා කියල එයා කීප සැරයක් මාත් එක්ක කියල තියනවා. මාත් ඒක දන්නවා. මනුස්සයට සල්ලි තිබ්බට එයාගෙ ජනප්‍රියතාවෙ එහෙම පිටින්ම නැතිවෙලා ගිහින් තිබ්බෙ. මගෙ ටීවී පර්සනැලිටි එක හන්දා ඩොන් තව තවත් ජනප්‍රිය වුනා.

ඩොනල්ඩ් හරිම නාස්තිකාරයා. මම එයා නාස්ති කරන සල්ලි ඉතුරු කරන්න පෙළඹෙව්වා. එයා නිතරම ඒ ගැන මට ප්‍රශංසා කලා. මම බලන් ඉන්දැද්දි එයාගෙ ව්‍යාපාර දෙගුණ තෙගුණ වුනා. හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

කාලෙත් එක්ක අපට ළමයි ලැබුනා. ව්‍යාපාර ගැන බලන්න තිබ්බා. දිගටම මට ටීවී වල වැඩ තිබ්බා. මං වයසට ගියා. අන්තිමට මට ඩොනල්ඩ් මග හැරුනා. අවුරුදු හයකට විතර පස්සෙ අපි වෙන්වුනා. ඒත් එයා අද ඉන්න තත්ත්වෙන් ඉන්නෙ මං හන්දා.

මෙලනියා
මම ඉපදුනේ හැදුනෙ වැඩුනෙ ස්ලෝවෙනියාවෙ. හැමදාමත් ස්ලෝවෙනියන් කෙල්ලන්ට තිබ්බෙ කඩා හැලෙන ලස්සනක්. පොඩි කාලෙ ඉඳන්ම ඒ ලස්සන මගෙත් තිබ්බා. මගෙ පළවෙනි වෙළඳ දැන්වීමට ඉන්නකොට මට වයස දාසයයි මාසයයි. මං අවුරුදු පහේ ඉඳං මොඩලින් කලා. කොහොම හරි 18 වෙනකොට මම ඉතාලියෙ මොඩලින් ඒජන්සි එකක් එක්ක ගිවිසුමක් අත්සන් කලා. ස්ලෝවෙනියාවෙ කෙල්ලන්ගෙ ලස්සන පෙන්නල මුළු ලෝකෙම වශී කරන්න මට වුවමනාවක් තිබ්බා. මේ ඒජන්සි එකේ වැඩකරන කාලෙ මට නිව්යෝක් වල වැඩ වගේකට එහෙ ඉන්න වුනා. මට දිගටම වැඩකරන්න වුනේ ඇමරිකාවෙ සඟරා එක්ක. ජීකිව්, වැනිටි ෆෙයා, වෝග් වගේ සඟරා වලට මම නිරූපිකාවක් විදිහට පෙනී හිටියා. මෙහෙම ටික කාලයක් යනකොට වොග් සඟරාවෙ පිටු වැඩි හරියක් මගෙ පින්තූර වලින් පිරුනා. වෝග් සඟරාවෙ අයිතිකාර මහත්තයා ඩොනල්ඩ් මගෙන් ඇහැව්වා ඇමරිකාව හරි ලස්සන රටක්. ඉතින් ඇයි ඔයා මෙහෙ නවතින්නෙ නැත්තෙ කියල. ඒ වගේ ලොක්කෙක් කිව්වහම නොකරත් බෑ. ඉතිං මං ඇමරිකාවෙ වැඩකරන්න වීසා අරගෙන ඩොනල්ඩ් ගෙ මොඩලින් ඒජන්සියෙ වැඩකරන්න පටන් ගත්තා.

ඩොනල්ඩ් හුඟක් මගෙ වැඩ ගැන හොයල බැලුවා. ඒ මනුස්සයගෙ වයස එක්ක බැලුවම මගෙ තාත්තා වගේ. ඒත් පස්සෙ පස්සෙ මට තේරුනා අපි අතර තියෙන්නෙ තාත්ත කෙනෙක්ගෙයි දුවෙක්ගෙයි අතර තියන සම්බන්ධයක් නෙමෙයි කියල.

ඩොනල්ඩ් හන්දා මට 2001 ග්‍රීන් කාඩ් හම්බවුනා. ඩොනල්ඩ් මට පිස්සු වැටිලයි හිටියෙ. ඒ වෙනකොට එයා කසාද දෙකකින් වෙන්වෙලා හිටියෙ. ඒවට හේතු ගොඩක් එයා මට කිව්වා. මට තේරිච්ච විදිහට එයා ගොඩක් එයා ගැන වදවෙනවාට කැමතියි. කලින් දෙන්නම එයාලගෙ වැඩ විතරයි බලල තිබ්බෙ. ඉතින් මේ මනුස්සයට එපා වෙන එක අහන්නත් දෙයක්යැ.

ඩොනල්ඩ්ට උතුරන්න සල්ලි තිබ්බා. ඒත් එයා තවත් සල්ලි හොයන්න මහන්සිවුනා. මමත් එයාට උදව්කලා. ඩොනල්ඩ් මට විවාහ යෝජනාවක් ගෙනාවා. එතකොට මට 34. ඩොනල්ඩ් ට 58. අපි දෙන්නා ඒ වෙනකොට අපි දෙන්නට ආදරේ කලා. වයස නං කන්නයැ. ඕන තරං සත්‍ය ප්‍රේම බෘංගරාජයො ඉන්නෙ. අනික මං තරුණයි. වයසට ගියහම එච්චර පේන්නෙ නෑ. මට හිතුනෙම එහෙම. අන්තිමට අපි බැන්දා. 2006 එයා හන්දා මට සිටිසන් හම්බවුනා.

මටම ගැලපෙන කෙනා මට හම්බවුනා. දෙවියන් වහන්සේ අපි දෙන්නව මුනගැස්වුවා. අපි දෙන්නා නිසා අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා.  ඩොනල්ඩ් ඒ කාලෙත් සල්ලිකාරයා. හැබැයි මං හම්බවුනාට පස්සෙ ඒ සල්ලි තව දහ පාලොස් ගුණේකින් වැඩි වුනා කියල එයා නිතරම එයාගෙ යාළුවො එක්ක පාරම් බෑවා. එයාටම ගැලපෙන යාළුවො ටික. ඒ අය හැම වෙලාවෙම කිව්වෙ ඔය දෙන්නා හරියට මැච් වෙනවා කියලා. ඉතිං අපි සන්තෝසෙන් තවමත් ඉන්නවා.

අපි එකතු වෙලා වැඩ කලා. ඔබාමා ජනාධිපති වුනාට පස්සෙ ඔබාමගේ පවුලගෙ ලොකු  කතා මට අහන්න දකින්න ලැබුනා. මිෂෙල් මං තරන් ලස්සන නෑ. ඒත් මිෂෙල්ට තියන බලය ලබාගන්න මට කොච්චර සල්ලි තිබ්බත් බෑ නේද කියල හිතුනා. මට ක්ලියෝපැට්‍රා මතක් වුනා. මම මගේ හිතේ තියන දේ වෙන විදිහකට ඩොනල්ඩ්ට කිව්වා. ඩොනල්ඩ් ඔයා ඇමරිකාවෙ ඊලඟ ජනාධිපතිවෙන්න. එතකොට ඔයාට කරන්න බැරි දෙයක් නෑ.

ඔව් දෙවියනේ. පුදුමෙකට වගේ එයා ඒක පිළිගත්තා. එයා ඒකට වැඩකලා. එයාට ජනාධිපතිවෙන්න පුලුවන් වුනා. එදා මං තරං සන්තෝස වෙච්ච කෙනෙක් මුළු ලෝකෙවත් නැතුව ඇති. එයාට ජනාධිපතිවෙන්න එයාගෙ ආර්යාවගෙ ලස්සන කොච්චර බලපෑවද? එයාට විරුද්ධව ගෑනු කතා කොච්චර තිබ්බද? ඒවට අපි අතර අඩදඹර තිබ්බා තමයි. ඒත් මේ වෙලාවෙදි මම ඒක ආයුධයක් කරගත්තා.

මං නොහිටින්න අද ඩොනල්ඩ් තාමත් නිකම්ම නිකං ඩොනල්ඩ්. . හැම සාර්ථක මනුස්සයෙක් පිටිපස්සෙම සාර්ථකත්වයට පාර පෙන්නපු ගැහැනියක් ඉන්නවා කියලා කියන කතාව මං ආයි ඔප්පු කලා.

ඩොනල්ඩ්.
පොඩිකාලෙ ඉඳං මට පීනන්න තරං සල්ලි තිබ්බා. දුකක් අඩුපාඩුවක් තිබ්බෙ නෑ. තාත්තගෙ ව්‍යාපාර බාරගන්නකොට මට කිසිම අහේනියක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ඉඳලම මට ලස්සන ගෑනියෙක් පේන්න බෑ. දැන් හැත්තෑවක් වෙලා තාම එහෙමමයි. මට සල්ලි පැටව් ගස්සන්න මහන්සි වෙන්න වුවමනාවක් තිබ්බෙ නෑ. ඒවා ඔක්කොම ව්‍යාපාරෙ සේවකයො කලා. ඒ අය මහන්සිවෙලා වැඩ කරලා මගේ වත්කම් වැඩි කරල දුන්නා. මම ගෑණු තුන් දෙනෙක් කසාද බැන්දා. බඳින දවස්වල උන් ඉටි රූප. පස්සෙ දියවෙලා වැක්කෙරිලා යනකොට මම අතෑරල දැම්මා. මගෙ සල්ලි හන්දා දික්කසාද වලින් පස්සෙ උන් ලොකු ලොකු බිස්නස් පටන් ගත්තා. ඒව නං මට මිසිසිපි ගඟට දාපු ඕට්ස් ඇටයක් වගේ.

පස්සෙ මේ සල්ලි විතරක් තිබිලා හරියන්නෙ නෑ කියල දැනුනා. ධනය තියනවනම් බලය තියෙන්න ඕනෙ කියල පරණ පුස්කොල පොතක තියනවා කියල මං ගාව වැඩකරන ලංකාවෙ ඩයල් එකක් කිව්වා. ඉතිං මම සල්ලි වියදං කරල ජනාධිපතිකම මිලදී ගත්තා.


මගේ කතාව එච්චරයි.

Thursday, May 05, 2016

නිවසේ සිට අවුරුදු කුමාරිලා නැරඹුවෙමි


මේ පෝස්ට් එක ලියන්න හිටියෙ අවුරුද්ද ඉවරවෙච්ච ගමන්. අනේ අපිට කොයින්ද ඉතිං ඒකට ඉස්පාසුවක්. වෙසක් පෝයට කලින් දවසෙත් මහා බක්මහ උළෙලවල් තියන එකේ මං හිතුවා මේ පෝස්ට් එක ලියන්න එච්චරම පරක්කු නෑ කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එක

සුබ අළුත් අවුරුද්දක් වේවා!!

අළුත් අවුරුද්දේ නිවාඩු ටිකක් තිබ්බ හන්දා යාන්තම් කාලෙකට පස්සෙ ටී වී එක බලන්න පුළුවන් වුනා. හැම චැනල් එකේම ජයටම අවුරුදු විකුණනවා. ඒ අස්සෙ අවුරුදු උත්සව වැහි වැහැලා. කළාකරුවන්ගේ දේශපාලඥයන්ගේ හැමෝගෙම ඒවා. මොකේ මොන ජාතියෙ ඒවා තිබ්බත් ඉතිං හිතයන්නෙ අවුරුදු කුමාරි තෝරන එකට තමයි. ඉතිං මේ චැනල්වල තිබ්බ අවුරුදු කුමාරි තරඟ ගැන මම දැකපු දේවල් ටිකක් තමයි ලියන්න හදන්නෙ.

එක චැනල් එකක අවුරුදු කුමාරි වේදිකාවට එනවා. එන්නෙ රෙද්ද හැට්ටෙ ඇඳලා. බොහෝම විනීතව. රෙද්ද හැට්ටෙ පුරුදු නෑ කියල හොඳටම තේරෙනවා. ඔන්න එයා ඇවිත් තමාව අඳුන්වල දෙනවා.

“මම ස්ටෙෆ්නි ඩි සිල්වා. මම ආවෙ මවුන්ට් ලැවීනියාවල ඉඳන්“

හරීම ස්වීට් වොයිස් එක. ඉතිං ඔක්කොම ඉංගිරිස් වෙච්ච කොට රෙද්ද හැට්ටෙ සෙට් වෙන්නෙ කොහොමද? පස්සෙ තමයි ඉතිං දැක්කෙ ඉතුරු ටික ඇවිදං යනකොට හීනියට ටයිට් ජීන්ස් එකකුත් ඇඳං හිටියා කියලා.
මේ වගේ අය ඕනෙ තරම් ඒ චැනල් එකේ හිටියා.

ඉස්සර අවුරුදු කුමාරි තෝරනකොට කියන්නෙ පංචකල්‍යාණිය තෝරනවා කියලා. ඒකියන්නෙ

1. දන්ත කළ්‍යාණය. ( දත් ටික ලස්සනට පිළිවෙලට තිබීම )
2. ඡවි කළ්‍යාණය (සම පැහැපත් වීම. සමේ ලප කැළැල්    නොතිබීම )
3. කේශ කළ්‍යාණය (කොණ්ඩය නිරෝගීව , ප්‍රමාණවත් තරමට දිගට තිබීම )
4. මාංශ කළ්‍යාණය (ඇඟපත පිරිපුන්ව තිබීම. වෙනත් වචන වලින් කීවොත් කටු ගොඩක්    නොවීම )
5. වයඃ කළ්‍යාණය (කොපමණ වයසට ගියත් ලාබාල පෙනුම තිබීම )

හැබැයි දැන් මේ එකක් වත් නැති අයත් එනවා. මොකද හැම දේම වෙනස් කරගන්න එක හරිම ලේසියි. දන්ත කළ්‍යාණය දත් දොස්තර කෙනෙක් ගාවට ගියහම හදා ගන්න පුළුවන්. මොකද මේ වගේ තරඟ වල දත් ඔක්කොම නිවැරදිව තියනවද දත් පණුවො කාලද කියලා බලන්නෙ නෑ. ඉතිං පොඩ්ඩක් තරඟෙට කළින් සුද්ධ කරගත්තහම ඇති.

තරඟෙ මොනව වුනත් ඉතිං ඡවි කල්‍යානය තමයි ගෑණු ලමයින්ට වැදගත්. ඉස්සර කිව්වෙ පැහැපත් සමක් කියල. ලප කැලැල්නම් ඉතින් කොහොමත් මේකප් එකෙන් වැහෙනවානෙ. ඉතිං ඒකත් ගොඩ.

කේෂ කල්‍යානය ලස්සනට තියෙන්න ඕනෙ. ඒත් ඉස්සර දිගගගගගග කොණ්ඩ තිබ්බ ගෑණු ලමයි හිටියා. දැන් හිටපු අය ඔක්කොම වගේ ස්ට්‍රේට් රිලැක්ස් කරල ලේයර් කරල ටින්ට් කරපු අය. ඔළුවෙ මලක් ගහල පැද්දි පැද්දි එනකොට ඉතිං අනිත් අය හිතං ඉන්නෙ ඒක තමයි කේෂ කල්‍යානෙ කියල.

පිරිපුන් ඇඟක් නම් ඉතින් හැමෝටම වගේ තිබ්බා. ඒ අස්සෙ කෙට්ටු ලමයි මහත ලමයි හිටියෙ නැතුවමත් නෙමෙයි. රෙද්ද හැට්ටෙ කියන්නෙ සාපේක්ෂව ඇඟ වැහෙන ඇඳුමක්. ඉතිං වැඩි හරියක් පේන්නෙ නෑ. එත් ඉතිං මොනව කලත් ආපු හැම ළමයටම වාගේ සාපේක්ෂව ලොකු බඩක් තිබ්බා.

අවුරුදු කුමාරි තරගෙට එන්න කියන්නෙ 18-27 වගේ වයස් වල අයට. ඉතිං වයං කල්‍යාෙනත් අවුලක් නෑ. ඒ අස්සෙත් ඇන්ටිලා වගේ තරුණ ළමයි නොහිටියාම නෙමෙයි.

මේ තරඟ වල තීරනය කරන්නේ මාරම අයය. එක චැනල් එකක නිළියක්ද නළුවෙක් ද දොස්තර කෙනෙක්ද සිටියහ. තවත් එකක සූප වේදී මහතෙකි. මෝස්තර නිරූපිකාවකි. අඩුපාඩුවට සමාගම් අධ්‍යක්ෂක කෙනෙක්ද සිටියහ. සූප වේදී මහතා අවුරුදු කුමාරියන් තෝරන්නට ආවේ ඇයිදැයි මට අදටත් ප්‍රෙහේලිකාවකි.

දැන් ආයි මාතෘකාවට එමු.

තවත් එක චැනල් එකකට කැරකුවෙමි. ඒ වන විට යුවතියන් වේදිකාවට පැමිණෙමින් සිටියහ. නිවේදකයන්ට අනුව ඔවුන් ඇඳ  සිටියේ මොලේ කචල් වෙන වර්ණයන්ගේ ඇඳුම්ය.

කාලි මෑනියන්ගේ ශාන්තිය විදහාලන අළු පාට, ජම්බු ගහක වහපු පලා කොට්ටෝරුවෙකුගේ හොටයේ රතුපාට, මධ්‍යම රාත්‍රියේ උදාවූ හිරුගේ කහපාට වැනි වර්ණයන්ගෙන් යුතු ඇඳුම් ඔවුන් ඇඳගෙන විත් තිබුනි. වෙලාවට එහෙම වර්ණ දැක්කේ එදාම බැවින් මම කට ඇරගෙන එය නැරඹීමි.

බලා සිටිය නොහැකි තැන මම තවත් චැනල් එකකට මාරු කලෙමි. එහිද හදිසියේ සංවිධානය කල අවුරුදු උත්සවයකි. නිරූපිකාවන් (හුටා සොරි අවුරුදු කුමාරියන්) පැමිණෙන ආකාරය දුටු විට මගේ මතකයට ආවේ වෙසක් එකට සාදන දෙපැත්තට කැරකෙන වෙසක් කූඩුවකි. අවුරුදු කුමාරිගේ ඉනෙන් උඩ කොටස වාමාවර්තව කැරකෙන විට ඉනෙන් පහළ කොටස දක්ෂිනාවර්තව කැරකේ. ඉංගිරීසියෙන් කියන කැට් වෝක් වගේ දෙයක් ඔවුන් නිරූපනය කලහ. බොහෝ අවුරුදු කුමාරියෝ දිවයිනේ දුෂ්කර පලාත්වලින් පැමින සිටිය නිසාත් උත්සවය හදිසියේ සංවිධානය කල නිසාත් ඔවුන්ට කැට් වෝක් ඉගැන්වීමට වෙලාවක් නොතිබෙන්නට ඇත.

ඊලග චැනල් එකේ අවුරුදු කුමාරි තෝරන්නට ඔවුන් අළුත් අංගයක් ඉදිරිපත්කොට තිබුනි. ඒ ඔවුන්ගේ බුද්ධිය විචාරීමට ඔවුන් අංගයක් ඇතුලත් කර තිබීමයි. පංචතන්ත්‍රය ලීවේ කවුද? කළා වැව ඉදිකලේ කවුද? වැනි බරසාර ප්‍රශ්න මම ඔවුන්ගෙන් බලා පොරොත්තු වුනෙම්.

“ඔබට නිළියක් වීමට ලැබුනොත් ඔබ වන්නේ හොඳම නිලියද? ජනප්‍රිය නිලියද?“
මට තරු විසිවුනේය. මෙන්න ප්‍රශ්න.

ඇය හොඳම නිලිය යන්න පිළිතුර ලබාදී එය නිවැරදි කරගත්තාය.
ඊලග ප්‍රශ්නය තවත් රසවත්ය.

“ඔබට ලෝකයේ ධනවත්ම පුද්ගලයා  ඔබට මුණ ගැසුනොත් ඔබ ඔහුගෙන් ඉල්ලන්නේ කුමක්ද?“

අනේ මට හම්බවුනා නම් අහන්නේ එයාට ළමයි නැත්තං, (ඉන්නවානම් බරක් නැත්තං) මාව දරුකමට හදාගන්න කියල. එත් මේ සුරූපිණියට ප්‍රශ්නය තේරුම් ගත නොහැකිව මාර ප්‍රශ්නයක් විය.

තවත් ඒ චැනල් එකකට මාරු කලෙමි. එහිද ප්‍රශ්න විචාරාත්මක මෙව්වා එකකි. එහි අසන්නේ ජනප්‍රිය සාමාන්‍ය දැනීමේ ප්‍රශනය.

“ලංකාවට නිදහස ලැබුනේ කවදාද?“
“ලංකාවේ අගනුවර කුමක්ද?“
හැබැයි අවුරුදු කුමාරියෝ සියළු දෙනා ඒ ප්‍රශ්න වලට උත්තර දන්නවාය. සමහර විට උත්තර කලින් දෙන්නට ඇත. කිසිම ත්‍රිල් එකක් නැති තැන මම වෙන චැනල් එකකට දැමුවෙමි.

ඒකේ අවුරුදු කුමාරවරුද තෝරනවාය. සියළුම අවුරුදු කුමාරයෝ එකම උසින් එකම ඡවි වර්ණයෙන් එකම ජාතියේ සරම් කමිස ඇඳ එක මවකගේ දරුවන් විලස සිටියහ. ඇතැම්හු රැවුල් වවා විච්චූර්ණ කර සිටියහ. තවත් සමහරුන්ට රැවුල වත් තිබ්බේ නැත. ඔවුන් සියළුම දෙනා ජිමි යන සිරා කොල්ලෝ ටිකක් වූහ. එකම කට් එක සැමටම තිබූ අතර වෙනසක් තිබුනේ ඇඳපු සරමේ පාටින් පමණි.

ෆ්ලැට් බඩවල් සහ අයෝමය හස්තයන්ගෙන් යුතු ඔවුන්ව මම දැක්කේ තෑගි බෙදන අවස්ථාවේය. තෝරන ලද හැම අවුරුදු කුමාරිටම පංච කල්‍යාණය නොමැතිවූ අතර තෝරපු වුන්‍ට වඩා හොඳ එවුන් නොතේරුණු ගොඩේ විය.


අන්තිමට තඩි බඩවල් ඇති අවුරුදු කුමාරියන් සහ ලෑලි බඩවල් (සික්ස් පැක්) ඇති අවුරුදු කුමාරවරුන් තෑගි දිනන ලදී. 

පින්තූරය ලබාගත්තේ මෙතැනිනි

Thursday, March 17, 2016

ඩාර්ලි පාර යනු මහදවල් මංකොල්ල කන්නන්ගෙන් පිරුණු පාරකි.


“බලන්න සේර් මේ බීඩිම මෙහෙම ගැහැව්වහම කොච්චර ලස්සනද කියලා“
“හරි දැං ඇයි ඕක මට කියන්නෙ. මට ඕක වැඩක් නෑ. මට ආපු වැඩේ කරල දෙන්න“
“වාහනේකට ඕනෙ හන්දනෙ සේර් අපි කියන්නෙ. මෙව්ව දැම්මහම වාහනේ ආරක්සා වෙනවා. මේ බලන්න දැනුත් මේ දොර අයින හීරිලා,
“ඔය බීඩිමේ අඩිය කීයද?“
“ගාන වැඩක් නෑනෙ සේර්. වාහනේ ආරස්සාවනෙ වැදගත්වෙන්නෙ“
කතාව ඇරඹෙන්නේ මේ ආකාරයටය. නමුත් කතාවේ මූලාරම්භය මෙය නොවේ. මූලාරම්භය කොළඔ ඩාලි පාරේ වාහනයක් අයින් කර නැවතීමෙන් ආරම්භවේ. බොහෝ දෙනා අළුත් වාහනයක් හෝ පරන වාහනයක් ගත් විට වාහනයකට කුමක් හෝ අමතර යමක්‍ ගැනීමට යන්නේ කොළඹ ඩාලි පාර නොහොත් ටී බී ජයා මාවතටයි.

ඩාර්ලි පාරේ වාහනයකට අවශ්‍ය සෑම සුරුකුත්තමක්ම ඇත. ඔබට අවශ්‍යය වන්නේ සීට් කවරයක් නම් මේ ලෝකේ සාදා ඇති හැම වාහනයකම සීට් කවර එහි ඇති ඕනෑම කඩයකින් මිලට ගත හැකිය. වාහනයට අවශ්‍ය කරන ටින්ටඩ්, මඩ කවර, වීල් කවර, හුඩ් මේ ඕනෑම දෙයක් මෙහි ඇති කඩවල ඇත.

මේ පාරේ බිස්නස් මොඩල් දෙකක් තිබේ. ඒ කඩ තුල සහ කඩයෙන් පිටතය. මෙහි සාමාන්‍ය බිස්නස් මොඩලය අපට කඩයට ගොස් මිලදී ගන්නා බඩුවල ගනන් කතා කරගෙන අවශ්‍ය නම් බොහෝ විට කඩය ඉදිරිපස වාහනය නවත්වා ඒ වෙලාවෙම සවිකරගෙන (සවිකරන්නාට රුපියල් සියයක දෙසීයක සන්තෝසමක් ලබාදී) පැමිණිය හැකිය.

නමුත් මා කතා කරන්න යන මාතෘකාව ඇත්තේ අනිත් බිස්නස් මොඩලයේය. (මෙහි සඳහන් සියළු කරණු මගේත් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගේත් අත්දැකීම් මත පමණක්  ලියැවී ඇත).

ඔබ පළමු මොඩලයේ පාරිභෝගිකයෙක් විය හැකිය. නමුත් පහත සඳහන් කිසියම් කරුණක් නිසා ඔබට අවශ්‍යය කාරණාව ඉටුකරගත නොහැකි වුවහොත් බොහෝවිට දෙවන බිස්නස් මොඩලයේ තැරැව්කරුවෙකුට ඔබ හසුවීමේ අවදානමක් ඇතිවේ.

- ඔබ ගිය වෙළඳ සැලේ ඔබට අවශ්‍යම කරන සේවාව නොමැතිවී ඔබ නැවත හැරී එනවිට
- ඔබ පාරේ වාහනය නවතා ඒ වෙළඳ සැලට යන අතරතුර
- ඔබ ඩාර්ලි පාරේ සෙමෙන් වාහනය පදවන විට
- ඔබ වාහනයේ වීදුරුව පහත් කොට පාරේ කිසිවෙකුගෙන් යමක් විමසන විට
- ඔබ වෙළඳ සැලට ගොස් අවශ්‍යය සේවාව පිළිබඳ කතා කොට එම වෙළඳ සල අසලට වාහනය ගෙන ඒමට යන අවස්ථාවේදී
- ඩාර්ලි පාරේ කඩ වසා ඇති නිවාඩු දිනයකදී (පෝය ඉරිදා)
- කෙටියෙන් කියනවානම් ඔබ සිටින්නේ ඩාර්ලි පාරේ නම් ඕනෑම මොහොතකදී මෙම තැරැව් කරුවෙකුට හසුවිය හැකිය.

එම අවස්ථාවේදී මුලින්ම ඔහු විසින් ඔබේ අවශ්‍යයතාවය විමසනු ලබයි. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යයවන්නේ වාහනය ටින්ටඩ් කරගැනීමට යයි සිතමු. ඔබ පැමිණියේ කඩයක් තුල සිටනම් ඔහු ඔබගෙන් පොරොන්දුවූ මුදල විමසයි. නැතිනම් ඔහු ඔබට ටින්ටඩ් සම්බන්ධයෙන් විස්තරයක් කියයි. කඩයේ මුදලට අඩුවෙන් වැඩය කරන හැටි  කතාකරයි. වැදගත්ම කරුණ වන්නේ ඔබ කැමතිවුවත් අකමැති වුවත් අවසානයේ ඔහු ඔබගේ වාහනයට නගී. ඉන්පසු ඔබට යාමට සිදුවන්නේ බොහෝවිට දේවානම්පියතිස්ස මාවත පැත්තටය. එහි දවසේ ඕනෑම වෙලාවක මේ ආකාරයෙන් “මංකොල්ලකෑමට“ බඳුන්වූ වාහන දක්නට ඇත.

වාහනය නැවැත්තුව පසුව තවත් ගෝලයන් දෙදෙනෙකු පමණ උදව්වට පැමිනේ.

“මෙන්න මේ සේර් මම කියපු හන්දා අපේ ලේන් එකට ආවා. මේ සේර්ගෙ වැඩේ හරියටම කරල දෙන්න ඕනෙ“
ඒ ගෝලයන් දෙදෙනාට සේවාදායකයා හඳුන්වා දෙන අයුරුය. ඉන්පසුව ඔවුන් බීඩිමක් ගෙනෙයි.
“මේ සේර්ට අළුත්ම බීඩිමක් දාපල්ලා“
“මට බීඩිං එපා ටින්ටඩ් කරන්නයි මම ආවෙ“ ඒ ඔබේ හඬ විය හැකිය.
“බලන්න සේර් මේක දැම්මහම කොච්චර ලස්සනද කියලා. වාහනේට ආරක්ෂාවත් තියනවා“
ඔවුන් මෙලෙස ආරම්භකරන්නේ ඔබට අවශ්‍ය ටින්ටඩ් එක නොවිය හැක. වාහනේට කිසිත් අවශ්‍යය නොමැති දෙයකින් ඔබේ වාහනය “ලස්සන“ කිරීම ඔවුන් අරඹති.

ඇතැම්විට ඔබ එයට කැමති වනු ඇත.

“දැන් මේකෙ අඩියක් කීයද?“
“ගාන වැඩක් නෑනෙ සර් වැඩේනෙ ඕනෙ. කොහොමත් සර්ට කරන්න පුළුවන් අඩුවෙන්ම මම කරන්නම්“
ඒ ඔවුන්ය. ඇතැම් විට ඔබ එයට අකමැතිව එපා කියා රන්ඩු කර එල්ලපු බීඩිම ගලවනු ඇත. නමුත් ඉන්පසු ඔබේ වාහනයේ දොරවල් වේගයෙන් ඇර අසල බිත්ති, කණුවල වැදී සීරෙන ඒවාට ඔවුන් වග නොකියනු ඇත. ඒවාට

“මේක ගැහැව්වනම් මෙහෙම වෙන්නෙ නෑනෙ. සර් ගැහැව්වෙ නෑ. අපිට කරන්න දෙයක් නෑ“ වැනි උත්තරයක් ලැබෙනු ඇත.
බීඩින් ගසා අවසානයේදී ඔවුන් ඔබේ වාහනයේ බැජ් ගලවා පෙන්වනු ඇත.

“මේ බලන්න සේර් බැජ් නිකං ගැලවෙනවා. මේවට රිවට් ගහන්න ඕනෙ“ 
කියමින් පොප් රිවට් සමග ඩ්‍ර්ල් එකක් ගෙනෙනු ඇත. ඔබ එපා කියන්නත් කලින් ඔබේ වාහනයේ සියළුම බැජ්වලට පොප් රිවට් වැදෙනු ඇත. (පොප් රිවට් ගැසුවාට පසු වාහනයේ බොඩිය හිල්වෙන එක, වතුර ලීක් වෙන එක වැනි දේවලට හෝ තුවාල වෙන සෙන්සර් එකකට වත් ඔවුන් වග නොකියන ඇත)

ඔබ ආවේ වාහනය ටින්ටඩ් කරන්නය. දැන් බීඩිං ගසා බැජ් රිවට් කර ඇත. තවත් අටමගලක් පටලවන්න කලින් ඔබ ඒක කිව යුතුය. නමුත් ඔබ ප්‍රමාද වූවා වැඩිවිය හැකිය. වාහනයේ තවත් බුරුල් වූ තැනකට 3එම් ටේප් ගසා

“බලන්න සේර් දැං මේක ගැලවෙන්නෙත් නෑ“ කියනු ඇත.
දැන් ඔවුන් වාහනය ටින්ටඩ් කරන්න සූදානම් කරනු ඇත. වෙළද සැලේ ඔවුන් ඒ සඳහා රුපියල් 5000ක් කිව්වේ යයි සිතන්න. මොවුන් ඔබට පොරොන්දුවෙන්නේ 4000කට පමණ විය හැක. ඉන්පසු ඔවුන් ඔබෙන් විමසා ටින්ටඩ් කරන කොළ උස්සාගෙන එයි. ඔබ එක කොලයක් තෝරයි. ඉන්පසු මද වේලාවකට පසු ඔවුන් තවත් කොළයක් ඔසවාගෙන එති.

“සේර් කලින් ගෙනාපු කොලේ හරි නෑ. ඒක චයිනීස් කොළයක් මේක තමයි ඔරිජිනල් තායිවාන් කොලේ. පාට පිච්චෙන්න නෑ. ගැරන්ටියක් දෙන්න පුළුවන්. අරකට ගැරන්ටි නෑ. මේක දාමු නේද සේර්“

ඔබ වාහනයට බාල බඩුදැමීමට කැමති නැත. ඔබ ඒ සඳහා හා කියයි. මිලද විමසයි.

“කොලේනම් ටිකක් මිලයි සර්. මේ හොඳ කොලේ දාල සේර්ට 6000කට කරල දෙන්නම්“
වෙළද සැලෙන් ගත්තත් 5000ට කරන්නේ බාල කොලයෙන් යයි සිතා ඔබ හිත හදා ගනී.

“කොල්ලනේ මේ සේර්ට හොඳට වැඩේ කරන්න ඕනෙ. කෝ ඔය හීට් ගන් එක ගෙනෙන්“
ඔවුන් කොළ හොඳින් හීට් කොට වැඩේ ලස්සනට කරති. ඒ අතර තුර තවත් වාහනයේ වෙනස්කම් වලට රුකුල් දෙති.

“සේර් මේකට මඩ්ගාඩ් ගහන්න. අපි ගාව තියනවා ඔරිජිනල් මඩ්ගාඩ්“ ආදී වශයෙන් ඔවුන් විවිධ විච්චූර්න ගැන පාරම්බාති.

වාහනයේ පිටිපස්සෙ දොර ඔවුන් ටින්ට් නොකරති. බොහෝවිට අර කියූ ගානට පිටිපස්සේ දොර අයිති නොවේ. ඒ සඳහා අමතරගානක් වැයවේ.

දැන් තවදුරටත් ඔවුන්ට ඔබව සූරා කෑමට අවශ්‍ය නොවේ. ඉතින් හෙමින් හෙමින් මුදල් ගැන ඔවුන් කියවති.

“අතේ සල්ලි නැතිවුනාට කමක් නෑ සේර් මම කොල්ලෙක් එවන්නම් සේර් එක්ක බැංකුවෙන් සල්ලි අරන් දෙන්න. අපිත් එදා වේල හොයන් කන මිනිස්සුනෙ සේර්. අපිටත් දරුපවුල් ඉන්නවා. අපි ගැනත් බලන්න. අපි මිනිස්සු හූරං කන්නෙ නෑ සේර්. අපිට මිනිස්සුන්ගෙ දුක තේරෙනවා“ 
ආදී වශයෙන් බොහෝ මැසිවිලි කියවති.
දැන් වැඩේ අවසන්ය. දැන් අවසන් මිල ගනන් එකතු වෙන තැනය. මෙච්චර වෙලා අඩියට නොකියූ ගනන් කියන වෙලාවය.

“සේර් බීඩිමට මම අනිත් අයට කියන්නෙ 185 සේර්ට 175ට කරන්නම්“
“මීටරේද?“
“නෑ සේර් අඩිය“
ඉන්පසු මීටර් ගාන මනිති. වැඩි කරති. එකතු කරති. (සැලකිය යුතුයි - මේ ගනන් නිවාඩු දිනවලට වෙනස්වේ.) අන්තිමට දේවානම්පියතිස්ස මාවතට හැරෙන තැන කඩෙන් අඩිය 30-50 අතර ගනනකට කරගතහැකි බීඩිම කඩේ වසා ඇති දිනට දේවානම්පියතිස්ස මාවතෙන් 175ට කරගත හැකිය.

ඉන්පසු පොප් රිවට් සඳහා ගනන් සාදනු ලබයි. සාමාන්‍ය කඩයෙන් රුපියල් 10-20ත් අතර ගසා ගත හැකි පොප් රිවට් එකක් ඉස්තරම් විදිහට රුපියල් 50කට කරගත හැකිය. ඇතැම් විට මේ සඳහා ඩ්‍රිල් එකට සහ රිවට් මැෂින් එකට වෙන වෙනම ගෙවන්නට සිදුවේ.

ඔවුන් ඇලවූ 3 එම් ටේප් එකේ කැබැල්ලට අඩියක් 175-200ක් තරම් ඉහල ගනනක් ඔබට ගෙවීමට සිදුවේ. ටේප් එකේ අඩි 4ක පමන කැබැල්ලකින් ඔබට මුලු ටේප් එකක්ම ගැනීමට හැකියාවඇත.

ටින්ට් කරන්න 6000ක් වන අතර (ඉස්තරම් කොළයෙන්) මෙයට හීට් ගන් එකේ කුලිය වන 1500 අදාල නොවේ.

දැන් අතේ මුදල් නැතිබව ඔවුන් දනී. ඔබගේ වාහනට නැග ඔවුන් සමග ඔබ ඒ ටී එම් එකකට යා යුතුය. ඔවුන්ට ලොකු ගානක් දුන්පසු වැඩ කරපු තුන්දෙනාගේ සන්තෝසම හැටියට තවත් 1500ක් 2000ක් ඔවුන් ඔබගෙන් මංකොල්ල කති.

වැරදිලාවත් මේ කිසිම තැනකින් ඔබට ඔන් ඇපෘවල් බිලක්වත් නොලැබෙන ඇත. ගැරන්ටි ලබාගැනීමට අදහස් කරන ඔබට තවත් හිතන්න අවස්ථාවකි.

ඔබ අත මුදල් නැතිවුවහොත් ඒ සඳහා සිදුකලයුතු වත් පිළිවෙත් ද ඔවුන් හොඳින් දනී.

ඔබ ඔවුනට සාප කරනු ඇත. දේවානම් පියතිස්ස පාරට ආ දන්නා කිසිම කෙනෙකු සන්තෝසයෙන් පිටවී ගිය වගක් අසන්නට නැත.

දන්නා බොහෝ දෙනෙකුගේ අත්දැකීම් ඔස්සේ අනාගතයේ ඩාර්ලි පාරේ පියමන්නට සිතා සිටින ඔබට කෙරෙන දැනුවත් කිරීමකි.


මෙය ඩාර්ලි පාරේ වෙළද සැල් හිමියන් විසින් මුදල් ගෙවා සම්පාදනය කල පෝස්ටුවක් නොවන බව කරුනාවෙන් සැලකුව මනාය

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...