අචිර‍‍ගේ දිනසටහන්

Tuesday, June 11, 2013

ගුරුතුමානෙනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!


වරෙක මම මගේ කැමරාවට තවත් ලෙන්සයක් ගැනීමට රට වටා සෙව්වෙමි. ලෙන්ස් වර්ග බොහොමයක් තිබුනද මගේ අවශ්‍යයතාවට හරියන්නේ කුමක්දැයි තෝරාගැනීමට නොහැකිව ලතැවුනි. බොහෝදෙනා එම ලෙන්ස් වල විවිධ ගුණාගුණ කීහ. ගනන් සදා කියුහ. මමද අන්තර්ජාලයේ ඒ ගැන සෙව්වෙමි. එහෙත් තවමත් මා අතරමං වී ඇත. එකල මගේ මුහුණු පොතේ සිටි මිතුරන් අතර ඉන්ද්‍රනාථ තේනුවරයන්ද සිටියහ. එකල මා ඔහු දැන සිටියේ ඡායාරූපකරනයේ සහ පොටෝෂොප් මෘදුකාංගයේ හසල දැනුමක් ඇති යෝධයෙක් ලෙසය. මෙවන් කෙනෙක්ගෙන් මගේ ලෙන්ස් ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකියයි මට සිතුන නමුත් මෙවැනි කෙනෙක් මාවැනි ආධුනිකයෙක් හට උපකාර කරයි යැයි මට සිතුනේ නැත. නමුත් දුර ඇති ඉලක්කයකට ඊයක් යවන අටියෙන් මුහුණු පොතෙන් මගේ ප්‍රශ්නය පණිවිඩයක් ලෙස යැවීමි.
පැයකට පමණ පසු මා පුදුමයට පත්කරමින් ඔහු මට පිළිතුරක් එවා තිබුනි.

ලෙන්ස් ගැන ටයිප් කරනවාට වඩා කටින් කියන එක ලේසියි. ඒක හන්දා මේ නොම්මරේට කොල් එකක් දෙන්න

මම හැරෙන තැපෑලෙන් දුරකතන ඇමතුමක් ගතිමි. ජීවිතේට දැකලා නැතිවුවද මම ඔහුට සර් කියූවේ මා වැනි ආධුනිකයෙකුට එවැනි පිළිතුරක් එවීමත් මා මවිත කරන්නක් වූ නිසාය.

ඔහු මා ඇමතුවේ මල්ලී කියාය. කාච ගැන බොහෝ දේ කියාදුන් ඔහු ඒ ගැන ඔහුගේ අත්දැකීම් කිසිදු අහංකාර කමකින් තොරව මා හා බෙදා ගත්තේය. අවසනදී ඔහු මෙසේ පැවසීය.

මල්ලී, හුඟක් අයට ගනන් හදල පෙන්නන්න පුළුවන්. කරන විදිහ කියන්න පුළුවන්. ඒත් වැඩේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒක ගැන අවබෝධයක් තියන මිනිස්සුන්ට විතරයි. ඔයා බය නැතුව ඒ ලෙන්ස් එක ගන්න. මමත් ඒක පාවිච්චි කරල තියනවා. තියරි වලට වඩා මිනිස්සු ප්‍රැක්ට්කල් වෙන්න ඕනෙ.

ඉදින් මම ඒ ලෙන්ස් එක ගතිමි. අදටත් මා බොහෝ කැමති  ඡායාරූප වැඩි හරියක් අරගෙන ඇත්තේ ඒ කාචයෙනි.

ඉන්පසු නැවත වරක් මට තේනුවරයන් මුණ ගැසුනි. ඒ බොරලැස්ගමුව හන්දියේ අබාන්ස් උඩුමහලේ ඒ මහතාගේ පන්තියේ දීය. ඒ මීට වසර  දෙකහමාරකට තුනකට පමණ පෙරය. මම ඔහු දුටු මුල් අවස්ථාව එයවිය. ශරිරයෙන් කුඩා නමුත් දැනුමෙන් ඔහු පරිපූර්ණ බව මට කෙටි කලකින්ම වැටහි ගීයේය.

එතනට යාමට මට සිදුවූයේ එතුමාගේ අළුත් ඡායාරූපකරණය පිළිබඳ පන්තියේ ආරම්භයයි. එයට බොහෝ දුර බැහැරින් ළමුන් පැමිණියහ. ඡායාරූපකරණය ගැන උණක් ඇතිවූ කාලයේ මම ඡායාරූපකරණය ගැන හැදෑරීමි. නමුත් ඒ බොහෝ දේ න්‍යයායික කරුණුවිය. ඒවා ප්‍රායෝගිකව හසුරවන්නේ කෙසේදැයි මට තිබු දැනුම අල්ප විය. ඒ දැනුම වැඩිකරගැනීමට තේනුවරයන්ගේ පන්තියේ  පළමු දවසම මට ඇතිවිය. එතැන් පටන් දිගටම මම ඔහුගේ ගෝලයෙකුවීමි. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු නොවුනද වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩකිරීමට ඔහුගෙන් මා බොහෝ දැනුමක් ලබා ගතිමි. අපට ඇතිවන හැම ප්‍රශ්නයටම ඔහු තුල විසදුමක් විය.

සමුහයක් ලෙස අපි අපේ පන්ති නිමා කලෙමු. අධික රාජකාරීවැඩ සහ පුද්ගලික ප්‍රශ්න හමුවේ ඉන්පසු මට තේනුවරයන් මුණ ගැසීමට හැකිවූයේ පන්තියේ ඇගයීම බාරදීමට යාමේදී පමණි. ඉන්ඉක්බිති තේනුවරයෝ සහතික පත්‍රය ලබාගන්නැයි කෙටි පණිවුඩයක් මගින් දන්වන ලදී. නමුත් එම අවස්ථාවටද සහභාගීවිමට මට නොහැකිවිය.

ඉන්පසු මට ආදරණිය ගුරුතුමා මුණගැසුනේ එතුමාගේ පොතක් දොරට වැඩුමකදීය. ඒ මහවැලි කේන්ද්‍රෙය්දීය. ඒ සදහා කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ලබාගැනීමට මම වාසනාවන්ත වීමි. එම දොරට වැඩුමේදී තේනුවරයන් එතුමාගේ ගුරුතුමාට ගුරු ගෞරව දක්වන ලදී. දොරට වැඩුම අවසානයේදී ඒ පොතේ එතුමාගේ සමරු සටහනක් ලබාගැනීමට මම පෝලිමට සිටියෙමි.

 අචිර සෙටිෆිකට් එක ගත්තෙ නෑ නේද? ඒක තියනවා අරන් යන්න.
මගේ හිත පත්තු වී යනවා සේ මට දැනුනි. මට අමතක වුවත් ගුරුතුමාට මාගැන අමතක වී නැතිවා සේය. මම හැකි ඉක්මනින් එතුමා හමුවට ගොස් එතුමාගෙන් එය ලබාගතිමි. නැවතත් තේනුවරයන් සමග නිදහසේ කතා කලෙමි. සර් මට බොහෝ දේ පවසන ලදී. ඒ අදහස් තුල බොහෝ පිළියම් විය. ඇතැම් දේ ගැන හිතේ බර අඩුවී ගිය සෙයක් දැනුනි.

ගුරුවරයෙකු හැටියට එතුමා මට බොහෝ දේ කියා දුන්නේය. තවමත් මම බොහෝ දේ  ඉගන ගනිමි. මිතුරෙක් හැටියටද එසේමය. ගුරුවරයෙක් මිතුරෙකුවන්නේ කලාතුරකිනි. එසේම වටිනා ගුරුවරයෙක් හැටියට තවත් බොහෝදේ එතුමාගැන පැවසිය හැකිය. පැවසිය යුතුය. සටහන දිගවැඩිවන බැවින් එතුමා මට දැනුනු අවස්ථා කිහිපයක් මෙලෙස සටහන් කලෙමි.


මේ නිරහංකාර මිනිසාගේ උපන්දිනය වෙනුවෙන් මේ කුඩා සටහන තබමි. තේනුවරයානෙනි. ඔබට සුබ උපන්දිනයක් වේවා!. චිරාත් කාලයක් වැජඹේවා!

Labels: , ,

Thursday, June 06, 2013

නාමල් අයියා චීනයට යාමට හේතුව

එදා විවේකයෙන් ගෙදර සිටි දවසක් විය. පත්තරයත් අතට අරගෙන බැලීමට සැරසෙන විට රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති විකාශය වීමට පටන් ගැනුනි. ඒ අල්ල පනල්ලේම අල්ලපු ගෙදර පොඩි එකා අපේ ගෙදරට කඩා පාත් විය. මම ඉතින් ඌත් සමග ප්‍රවෘත්ති බැලීමි.

ජනාධිපති තුමාගේ චීන සංචාරය ප්‍රවෘත්ති මාතෘකාව විය.  ජනාධිපති පුත් නාමල් අයියාද චීනෙ ගිය බව එහි දැක්විනි. අල්ලපු ගෙදර පොඩි එකා ගේමට බැස්සේ එතනදීය.

“ මාමෙ කවුද මහින්ද මාමා එක්ක අර ඉන්නෙ“
“ඒ නාමල් අයියනෙ පුතේ“
“නාමල් අයිය කවුද?“
“ඒ මහින්ද මාමාගෙ පුතානෙ“
“එයා මොකටද චීනෙ ගියෙ“
මට දෙන්න උත්තර නැත. මම වැඩේ ගොඩින් බේරා ගැනීමට මාන බැලුවෙමි.
“ඒ අය රාජතාන්ත්‍රිකයොනෙ පුතේ“
“ඒ මොක්කුද මාමෙ?“
දීපල්ලකො උත්තර.
“රාජ තාන්ත්‍රිකයො කියන්නෙ පුතේ රට නියෝජනය කරන අය“
“ඉතින් නාමල් අයියා මොකටද රට නියෝජනය කරන්නෙ“
“එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ“
“නෑ මාමා වැරදියි“
පොඩි එකාගේ ස්වරයෙන් මම ගල් ගැසී ගියෙමි.
“ඇයි පුතේ වැරදි“
“එහෙනං මං මාමාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පස්සේ මාමාටම තේරෙයි“
කොල්ලා කතා කීමේ යන්ත්‍රයක් බැවින් උගෙන් කතාවක් අහගන්න මමත් ලෑස්ති වීමි.
“හා එහෙනං මාමා කියමු බලන්න අර මහින්ද මාමත් එක්ක ඉන්න ගෑණු කෙනා කවුද?“
ඔහු ජනාධිපති ආර්යයාව පෙන්වමින් අසයි.
“ඒ පුතේ ජනාධිපති ආර්යයාවනෙ“
“එතකොට නාමල් අයියා කියන්නෙ එයාගෙ පුතෙක්නෙ“
“ඔව්“
“නාමල් අයියාට සහෝදරයො කී දෙනෙක් ඉන්නවද?“
“දෙන්නයි“
“දැන් කෝ ඒ අය“
“එක්කෙනෙක් නාවික හමුදාවෙ, අනිත් එක්කෙනා අභ්‍යවකාශෙ“
“දැන් මහින්ද මාමායි ශිරන්ති නැන්දයි චීනෙ එන්න හදනකොට ගෙදර තනියම කවුද ඉන්නෙ“
“නාමල් අයියා“
“හරි අම්මෙක් තාත්තෙක් ගමනක් යනකොට එහෙම ලමයෙක් ගෙදර දාල යනවද මාමෙ“
මට ආයෙත් කට උත්තර නැත.
“ඒකත් හැබෑව පුතේ. එහෙනං ඒක වෙන්න ඇති නාමල් අයියව එකකං යන්න ඇත්තෙ“

අනේ මන්දා දැන් හැදෙන එවුන්. මට තාම මෝල් වගේය. මෙය මාගේ චිත්ත සන්තානය ආ කතාවක් නොව අල්ලපු ගෙදර පොඩි එකා විසින්ම කියපු කතාවකි. ඕං මං කියන්නේ බොරුනම් පාරක් පනින වෙලාවක කහ ඉරක් උඩදී සුදු වෑන් එකකට යටවී මිය යනු ඒකාන්තය. එවිට පාර අයිනේ හිටපු එකෙක් “දම්සාරී“ කියා කෑ ගසනු ඇත. අනේ මන්දා මොනව ලියනවද කියල.  සමාවෙන්න... 

Labels: , ,