අචිර‍‍ගේ දිනසටහන්

Wednesday, July 29, 2009

ලාංකිකයන් ප්‍රවෘත්ති වලින් යාවත්කාලීන නොවන්නේ ඇයි?

රටක සිටින රට වැසියන් රට තුල සිදුවෙමින් පවතින දේවල් පිළිබද අවබෝධයකින් පසුවීම අනිවාර්යයයෙන්ම සිදුවිය යුත්තකි. එසේ සිදුවන පුවත් දැන ගැනීමට රටවැසියාට යුතුකමක් මෙන්ම අයිතිවාසිකමක් ද ඇත. එම තොරතුරු දැනගැනීම උදෙසා මිනිසා විවිධ මාධ්‍යය අනුගමනය කරයි. ජනමාධ්‍ය ඉන් පවතින එක් සාර්ථක ආකාරයකි. නමුත් සියළුම ජනමාධ්‍ය ගත්කල රූපවාහිනී මාධ්‍ය සියල්ලන්ටම ඉක්මනින් මිනිසාට පුවත් දන්වයි. CNN, BBC වැනි රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේ මෙම තොරතුරු පිපාසාවෙන් පෙළෙන ජනතාව උදෙසා වේගවත් ලෙස සන්නිවේදන ප්‍රවාහයකටයි.

වරක් දුපතක වසර ගණනාවක් අතරමං වූ ‍මිනිසෙක් තමා බේරා ගැනීමට පැමිණි නැවේ සිටියවුන්ගෙන් ඇසුවේ මොනවද අළුත් විස්තර ?”. එයින් ම මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ පිපාසාව මොනවට පැහැදිලි වේ.

රූපවාහිනී මාධ්‍යය ජනප්‍රිය වීමත් සමගම එතෙක් ගුවන් විදුලියට තිබූ ඒකාධිකාරයද බිද වැටෙන්නට වුනි. එම තත්ත්වය මදක් හෝ සමනයකට පත්වූයේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ආරම්භ වීමත් සමගයි. නමුත් එයටද රූපවාහිනියට තරගයක් දීමට නොහැකිවිය. පසුව ජනතාව රූපවාහිනිය වටා රොක්වන්නට වූහ.

කාලය මෙසේ ගමන් කරනවිට මිනිසා රටව‍ට තොරතුරු වලින් මෙන්ම ලොව වටා තොරතුරු වලින් පෝෂණය වීමට පටන්ගැනුනි. ඕනෑම දෙයක් ඕනැවට වඩා ඕනෑම නැත යන සංකල්පය මත තවත් කාලයකදී මහජනයා රූපවාහිනිය ඉදිරියෙන් ඉවත්වීමට පටන්ගැනුනි. මූලික හේතු කාරණාව වූයේ බොළද හරසුන් නාට්‍යය, එක දිගට පැරදෙන ක්‍රිකට් තරග සහ ලවක් දෙවක් නැති භාෂා මැරිල්ලෙන් පෝෂිතවූ ්‍රවෘත්තියි.

ඒ ගමන් කල මග වෙනස් කිරීමට යුධ පුවත් කරනයට හැකියාවක් ලැබුණි. එහිදී යුධ පිටියේ එදිනෙදා සිදුවූ සිදුවීම් නැරඹිමට දිනපතා ප්‍රේක්ෂකයෝ රූපවාහිනිය වටා රොක් වූහ. නැවතත් රූපවාහිනිය ජනාකීර්ණ වූහ.

දැන් යුධ පුවත් අවසානය. ප්‍රවෘත්ති වලට පෙන්වීමට දෙයක් තිබේදැයි නොදනිමි. තවම මිනිසා රූපවාහිනියෙන් ඉවත්වී නොමැත. නමුත් පුවත්වලින් යාවත්කාලීන වන්නේද නැත. ආසන්නතම හේතුවක් යයි සැක කලහැකි සිදුවීම් කිහිපයක් අසල්වැසි නිවාස කිහිපයකින් මට සොයාගත හැකිවිය. රාත්‍රි ප්‍රවෘත්ති වේලාවේදී එම නිවෙස්වලට ගොඩවුන මට දැකගැනීමට හැකිවූයේ එක නිවසක බලන්නේ පබාය, තවකක හින්දි වලය හඩකැවු එකක්ය. යුද්ධය වාර්ථාකිරීමට පෙර රටේ පැවති මට්ටමටම රට පත්වී ඇත. සමහරවිට ප්‍රවෘත්ති නීරස නිසා බලනව‍ා විය හැකිය.නමුත් මට හිතෙන‍්නේ නාට්‍ය එකම තැන පල්වී ඊටත්වඩා නීරස වී ඇති බවය. (මම කියන්නේ මම නාට්‍ය බලන්නේ නැතිනිසා බලන්න එපා කියලා නෙමෙයි)

රටක් දියුණුවීමට රටේ සිටින්නන්ගේ ආකල්ප වර්ධනය මෙන්ම රටේ තොරතුරු පිළිබද දැනුමද අත්‍යාවශ්‍යය.

Labels: , ,

Sunday, July 26, 2009

හැමවිටම ඉහල ඉඩ ඇත

මේ දවස් වල රතු පාටයි කළු පාටයි කළවමේ ගහපු පෝස්ටරයක් තියනවා තාප්පවල. තවත් එකක් කළුපාටින් ගහලා. පාට දෙකෙන් ගහල තියන එකේ තියෙන්නෙ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබා දෙන්න කියලා. ඒකෙම අනිත් පෝස්ටර් එක තමයි රැකියා ලබාදෙන්න නියමිත ක්‍රමවේදයක් හදන්න කියලා. තනි පාට පෝස්ටර් එකෙන් කියන්නෙ කැලණිය සරසවිය විවෘත කරන්න කියල. ( හැබැයි මේ එක පෝස්ටරයක් වත් මම මේ කියන සුමට භාෂාවෙන් නෙමෙයි තිබ්බෙ. කරපියව්, ලබාදියව් වගේ ආදරණිය වචන වලින් ). ඕනෑම රටක රැකියා විරහිත පිරිසක් ඉන්නවා. මම කියන්නෙ හන්දිවල කඩවල බෝක්කු උඩ අනිවාර්යෙන්ම කට්ටිය ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. නමුත් එහෙම ඉන්නෙ රටක ජීවනාලිය වගේ ඉන්න තරුණ උගත් පිරිස නම් එතන පොඩි ගැටළුවක් තියනවා.

්‍රී ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක්. ඒක අපි විතරක් නෙමෙයි අපේ තාත්තල ඉගන ගන්න කාලෙත් එහෙමම තමයි. ඉතින් මේ දියුණු වෙමින් පවතින රටේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය. ඒ නිදහස් ්‍යාපනයේ කොතනකවත් නිදහස් අධ්‍යාපනය ලබන සිසුවන් සදහා ආණ්ඩුවේ රැකියා පිරිනැමේ කියල වගන්තියක් ලියවිලා නෑ. ළමයි කියන ජාතිය ඉගන ගන්නවනම් ඉගනගන්න ඕනෙ. තමන්ට අදාල නැති දේශපාලන අරගල කරන්න නැතුව.

දැන් හොදම උදාහරනය තමයි දෙවැනි පෝස්ටරය. කැලණිය සරසවිය විවෘත කරව්. කැළණිය වහන්න වුනේ ඇයි. ශිෂ්‍ය අරගල. ලංකාවෙ අනෙකුත් විශ්ව විද්‍යාල එක්ක සසදනකොට ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, රුහුණ වගේ විශ්ව විද්‍යාල ඇරල තියන ප්‍රමාණෙට වඩා වහල තියන කාළය වැඩියි. හුගක් වෙලාවට හේතුව වෙන්නෙ ශිෂ්‍යයය අරගල, ශිෂ්‍යය අයිතිවාසිකම් වගේ දේවල්. උසස් පෙළට ගිරව් වගේ පාඩම් කරල නිදහසේ හිතන්න චින්තනයක් නැතිවෙලා ජීවිතේ එක තැන පල්වෙන බව දැනුනහම කරන්න දෙයක් නැතිවුනහම තමයි අරගල කරන්න වෙලා තියෙන්නෙ. ( ඒ සදහා මිඩංගු කිරිමට කාළයද ඇති කරම් තිබේ) මෙයින් මා අදහස් කරන්නේ මා ශිෂ්‍යය අරගල වලට අකමැති බව හෝ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙන උපාධිධාරීන් වැඩකට නැති පිරිසක් ලෙස හංවඩු ගැසීම නොවේ.

මම උසස් පෙළ කරපු අවුරුද්දෙ ම‍ගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා. මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා. අද මගේ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ තෙවන වසර සිසුවියක්. ලබන අවුරුද්දෙ ඇය ඇගේ කලා උපාධිය නිම කරල රැකියා විරහිත උපාධිධාරීන්ගෙ ගොඩට එකතුවෙන කොට (අඩුම තරමෙ ගුරුවරියක් හැටියටවත් රැකියාවක් ලැබුනොත්...) මගේ මිතුරා ඒ අවුරුද්දෙම තමන්ගෙ ආචාර්ය උපාධිය නිම කරල ලංකාවෙ තියන බහුජාතික සමාගමක සියළු පහසුකම් යටතේ ඉලක්කම් හයක (ඉස්සර තමයි පහ) පඩියකට රැකියාවක් හම්බ‍වෙලා ජීවිතේ සාර්ථක කරගනියි. එකම අවුරුද්දෙ උසස්පෙළ කරපු දෙන්නෙක්ගෙ වෙනස තමයි ඒ. මෙහෙම වෙන්න හේතුව තමයි මොරටුව සිසුන් ඉක්මනින් තමන්ගෙ අධ්‍යයන කටයුතු කලටවෙලාවට ඉටු කිරීමයි. ලංකාවෙ ඉන්න දක්ෂම සිසුන් ඉන්නෙ මොරටුවෙ බව පොදුවේ පිළිගැනීමයි. ඔවුන් තම කාලය යොදවන්නෙ අධ්‍යාපන කටයුතු හොදින් කරන්නයි. දේශපාලනය කියන දේ ඔවුන් දකින්න කැමති දෙයක් නෙමෙයි. ඒ නිසා මොරටුවෙ ශිෂ්‍ය‍ය අරගල දේශපාලන අරගල අඩුයි. මගේ මතකෙ හැටියට ඔවුන් අරගලයක් කලේ මෑතදි එක වතාවයි. ඒ අර එන්.ඩී.ටී ප්‍රශ්නෙට. ඒකත් ඉතින් සාධාරනයි තමයි.

ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි කැළණිය, ජ’පුර, රුහුණ වගේ විශ්ව විද්‍යාල වල තියෙන්නෙ. විශේෂයෙන් කලා පීඨ වල වැඩ කෙරෙන්නෙ දේශපාලනයත් එක්කයි. අරගල වැඩිවෙන කොට පාලනාධිකාරිය විශ්ව විද්‍යාලය වහල දානවා. දින සති මාස ගිහින් නැවත විවෘත කරනවා.අවුරුදු තුනෙන් හතරෙන් ගන්න තියන උපාධිය අවුරුදු පහ හය සමහරවිට හත අටත් ඇදෙනවා. ඊට පස්සෙ අවුරුදු තුනෙන් හතරෙන් උපාධි ගන්න අයට වෛර කරනවා.

සමාජයත් එක්ක ගැටිලා (දේශපාලන වශයෙන් ‍විතරක් නෙමෙයි. වෘත්තීමය වශයෙන් දැනුමත් අත්‍යාවශ්‍යයි) යාවත්කාලීන වෙන අයට රස්සා හම්බවෙනවා. අනිත් අය රැකියා විරහිත උපාධිධාරීන් හැටියට ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා. මගේ දැණුමේ හැටියට ඒක ආණ්ඩුවෙ වැරැද්දක් නෙමෙයි. තමන් සතුව නිපුනතාවයක් තියනවානම් ඔවුන් අනිවාර්යයයෙන් තමන්ට අදාල හොද රැකියවක් සොයා ගන්නවා. හොදම උදාහරණෙ තමයි මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවෙන ඉංජිනේරු පීඨ සිසුන්. කවදාවත් අපිට රැකියා ලබාදියව් කියල බෝඩ් උස්සගෙන ඉන්නවා මම දැකල නෑ. අද ඔය කෑ ගහන පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් තමන්ම රැකියා සොයාගන්නවා විනා (දක්ෂතාවය මත) අරගල හෝ උද්ගෝෂණ මගින් ඒ දේවල් ලබාගන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ විදිහට ප්‍රශ්නෙ විසදුනොත් ඔබට රැකියාවක් වගේම පොඩිකාලෙ ඉදන් නිදහස් අධ්‍යාපනය ලබා දීල විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ මහපොලත් දීල නේවාසික පහසුකමුත් දීපු ආණ්ඩුවට බණින්න ඕනෙත් නෑ.

මම දන්නෙ නෑ දේශපාලනය කොච්චර දුරට සාධාරනද කියල. (මොකද මම දේශපාලනය කරපු / කරන හෝ කරන්න බලාපෙරොත්තු වෙන කෙනෙක් නෙමෙයි). මේ ලිපියෙ වැරදි ඇති. දන්න සහෝදරයෙක් හරි සහෝදරියක් හරි මා වැරදි නම් නිවැරදි කරත්වා. මම කියන්නෙ මට හිතුන දේ. මොකද ලිපියෙ මාතෘකාව වෙච්ච හැමවිටම ඉහල ඉඩ ඇත කියන ඉංග්‍රීසි කියමන මේ හැම දෙයක්ම විස්තර කරන නිසයි. කවදාවත් දුක් වෙන්න එපා. සුදුස්සෙක් වුනොත් හැමවිටම ඔබට ඉහල ඉඩ ඇත.

Labels: , ,

Saturday, July 25, 2009

කොළඹ මහජන පුස්තකාලයේ පොත් ප්‍රදර්ශනය

වසරේ කියවීමේ මාසය සැප්තැම්බර් වලට යෙදී තිබුනත් මේ දවස් වල කොළඹ මහජන පුස්තකාලයේ තවත් සාර්ථක පොත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ මහජන පුස්තකාලයට වසර 125 ක් පිරීම නිමිත්තෙන්. සාමාන්‍යයයෙන් මහජන පුස්තකාලය සැලකෙන්නෙ නිල නොළත් සරසවියක් හැටියටයි. ඒ තරම් ඉගන ගන්න අයට ඒක වටිනවා. සාහිත්‍යය මාසය පැත්තකින් තියල මේ පවත්වන ප්‍රදර්ශනයට සෑහෙන්න තරම් පිරිසක් පැමිනෙනවා. කියවන්න වහ වැටුන අයට ආර්ථික ප්‍රශ්න, උද්ධමනය වගේ දේවල් අදාල නෑ. ඇවිත් ඉන්න සෙනග දිහා බැලුවහම ඒ බව පේනවා. පොත් ප්‍රකාශකයෝ විස්සක් තිහක් විතර තමන්ගෙ ප්‍රදර්ශන කුටි පවත්වාගෙන යනවා. ඊටත් අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ කුටියකුත් පුස්තකාල ඉතිහාසය එවායින් සිද්ධවෙන සේවාවන් විස්තරකරන කුටිත් එහි අඩංගුයි. උසස් අධ්‍යාපන වරම් ගැන පැවසෙන කුටි කිහිපයකුත් මේ ප්‍රදර්ශනයේ තියන‍වා. තෝරා බලන්න තරමි පොත් කන්දරාවක් ‍තියන මේ පොත් ප්‍රදර්ශනයෙ 10% සිට 50% දක්වා වට්ටමුත් ලබාදෙනවා. මේකෙ තවත් විශේෂයක් තියනවා. ඒ පරණ පොත්පත් අඩුම මිළට (සමහර ඒවා බාග මිළට - Half Price සමහර ඒවා පිටු ගානට) ගන්න පුළුවන්. සැප්තැම්බර් මාසෙ තියන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙත් මේ දේ සිද්ධ වෙනවා. කොහොම වුනත් කියවීමේ පිපාසෙන් පෙලෙන්නන්ට තමන්ගෙ අතේ මිටේ තියන හැටියට ඒ ආසාව ඉෂ්ඨ කරගන්න ඒක ලොකු අවස්ථාවක්. කාලයක් තිබ්බා ලංකාවෙ අය පොත පතින් බැහැර වෙච්ච කාළයක්. නමුත් දැන් එහෙම නෑ කියල හිතෙන්නෙ මේ වගේ පොත් ප්‍රදර්ශනයක් දැක්කහමයි. මගේ මතකේ හැටියට මේ මාසෙ 31 වෙනකන් මේ ප්‍රදර්ශනේ පැවැත්වෙනවා. ඉඩක් ලැබුනොත්, අතේ මිටේ කීයක් හරි තිබ්බෙ නැතත් ගොඩ වෙන්න අමතක කරන්න එපා.

Labels: ,

Saturday, July 11, 2009

බස් කතා බස්

ඊයෙ හ‍වස 177 බස් එකක නැග්ගෙ වැඩ ඇරිලා ගෙදර යන්න කියල. මුළදි හීනි නින්දක ආවත් රාජගිරිය හරියෙදි එක පාරට ඇහැරුනේ බස් එක ඇතුලෙ ගැහැණු කෙනෙක් කෑගහන ශබ්දයක් ඇහිල. ඊටත් අමතරව බස් එක කඩුවෙලට එනකොට වෙච්ච තවත් සිද්ධි කිහිපයකට මම සවන් දුන්නා. අපේ රටේ වෙන සමහර දේවල් වල නොපෙනෙන පැත්තක් ඒ තුල මම දැක්කා. ඒකයි ලියන්න හිතුවෙ.

“වනචරයා! කෙල්ලෙකුට තියා ගෑනියෙකුටවත් මුන වගේ එවුන් එක්ක බස් වල යන්න පුළුවන්ද? බහිනවා බස් එකෙන්” රාජගිරිය හරියෙදි මාව නින්දෙන් ඇහැරවන්න සිද්ධ වෙච්ච කෑගැහිල්ල තමයි ඒ. වයස 35ක් විතර වෙච්ච මැදිවියේ නෝනා කෙනෙක් තමයි එහෙම කෑගැහැව්වෙ. මුළු බස් එකම බැලුවෙ චූදිතයා දිහා නෙමෙයි. කවුද මේ කෑගහපු නෝනා කියල. මුළු බස් එකම තමන් දිහා බලපු බව තේරුම් ගත්ත නෝනා තවත් මොන මොනවද කියල කෑ ගහනවා. ඒ නෝනව දැක්කහම වුනේ මොකක්ද කියල බස් එකේ හිටපු අයට හොදටම තේරුම් ගියෙ සෙනග පිරිල හිටිය බස් එකේ නෝනා ඇදගෙන හිටපු ඇදුමත්, රාජගිරියෙන් බහින්න දොර ළගට ආපු පස්සෙ චූදිතයා වෙච්ච අවුරුදු 60 ක විතර හම් බෑග් එකක් ගත්ත මහත්තයත් දැක්කහම. ඒ මනුස්සයා දැනුවත්ව කිසිම වරදක් කලේ නැති බව කාටත් තේරුනා. මොකද ඒ නෝනා ඇදන් හිටපු සාය තව අඩියක් වත් දිග වුනා නම් සෙනග අස්සෙන් තෙරපිලා බස් එකෙන් බහින්න ආපු අර මහත්තයගෙ බෑග් එක කෑගහපු නෝනාගෙ දෙපා අතරින් නොගෑවෙන්න තිබ්බා. තමන්ගෙ දුවෙක් වගේ හිටපු ඒ නෝනගෙ කෑගැහිල්ලෙන් ඒ මහත්තය අන්දමන්ද වුනා කියල අපි හැමෝම දැක්ක. පවු. තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ පේන්නෙ නැති මේවාගෙ උදවිය හන්ද ලැජ්ජාව විදින්නෙ අහක ඉන්න අහිංසක අය. (හැබැයි මම ඒකෙන් කියන්නෙ ඔක්කොම පිරිමි හොදයි කියල නෙමෙයි)

බස් එක ඔය විදිහට බත්තරමුල්ල හරියට ආවා. ඒ හරියෙ හැම තැනම බැනර් වගයකුයි පෝස්ටර් වගයකුයි ගහල. රටේ වීරයෙක් වෙච්ච මේජර් ජගත් ඩයස් මහත්තය‍ට ගමෙන් උපහාර පිදීමේ උත්සවයක් ගැන කියල. අවුරුදු 30 ක් රටට පිළිලයක් වෙලා තිබ්බ යුද්ධෙ ඉවර කරන්න නායකත්වය දුන්න ඒ වගේ වීරයන් හැමදාම උපහාර ලැබිය යුතු මිනිසුන්. බස් එකේ වාඩිවෙලා ආපු ගොඩදෙනෙක් ඒ පෝස්ටර් බැනර් දැක්ක. ගොඩ දෙනෙක් ඒක දැකල පහන් සිත් ඇතිකරගන්න ඇති. එත් මගෙ ලග හිටපු මනුස්සයා මගෙන් අහපි කවුද ජගත් ඩයස් කියන්නෙ කියල. මට පොලව පලාගෙන යන්න හිතුනා. ප්‍රභාකරන් කියපු දේ හරි. සිංහලයාට ඕනම දෙයක් මතක තියෙන්නෙ සති දෙකක් විතරයි කියන එක ආයෙත් ඔප්පු වුනා.

මාලඹේ හරියෙදි සෙනග ටික දෙනෙක් බස් එකෙන් බැහැල ගියහම ඉස්සරහ සීට් එකේ එක ආසනයක් ඉතුරු වුනා. යටි රැවුල තරමක් සුදු උස මහත මහත්තයෙක්. ඌරාපොළ හේමාලෝක හාමුදුරුවන් පරිවර්තනය කරපු පොතක් අරගෙන තමයි ඒ මහත්තයා වාඩිවුනේ. එතකොටම ‍මාලබේ හන්දියෙන් නැග්ගා වයස 40 ක් විතර‍ වෙච්ච කලිසමක් ඇදගත්තු අම්ම කෙනෙකුයි ඉස්කෝලෙ ඇදුමක් ඇදගත්තු දුවෙකුයි. පස්සෙ බලනකොට අර දුවට කලින් ඉස්කෝලෙ (ඉස්කෝලෙ මොකක්ද කියල කතා බහේදි කියවුනත් ඒක මෙතනදි කියන එ‍ක හරි මදි) සිංහල කියාදුන්න ගුරුවරයා තමයි අර මහත්තයා. දැන් ඒ ළමයා කොළඹ ලොකු ඉස්කෝලෙකට තමයි යන්නෙ. ඒ ගුරු දෙගුරු කතා බහේදි ගුරුවරයා ළමයාගේ අළුත් තත්ත්වය ගැන අම්මාගෙන් ඇහුවා. එතකොට ඒ අම්මා (සොරි වෙන්න ඕනෙ ඒ අම්මා නෙමෙයි මමී) කිව්වා “Sir Science තමයි මෙයාට ටිකක් අමාරු, මම ඒකට මෙයාව Science Classes දෙකකට දැම්මා. දැන් අළුතෙන් Syllabus එකට add කරපු history ටිකක් අමාරුයි. Sunday classes තියන හන්දා Sunday school යවන්නත් බෑ. ඒක හන්ද Buddhism වලටත් Tution දෙන්න වෙනවා. Sir දන්න කවුරුත් Sir කෙනෙක් නැද්ද Buddhism වලට Tution දෙන”. අනේ මන්ද ඒ ගුරුවරය වචනයක් වත් කිව්වෙ නෑ. කියල වැඩක් නෑ කියල හිතුනද එහෙම නැත්තම් රටකට ගිය කළ කියල හිතුනද දන්නෙ නෑ. ඒත් වෙනසක් නොපෙන්වා ගුරුවරයා මෙහෙම ඇහැව්වා. “ දුව අද මොනවද පන්ති ?”. ආයෙත් අර මමි පැනල උත්තර දුන්නා. “Sir අද මෙයාට Elocution Classes”

සාමාන්‍යයෙන් හවස 7න් පස්සෙ 177 පාරෙ බස් කඩුවෙල හන්දියෙන් හරවලා ගෙදර යනවා මිසක් බස් නැවතුම්පොළට යන සිරිතක් නෑ. ගියොත් ඉතින් එහෙමත් එකක් තමයි. හැමදාම විජයන්ති හෝල් එක පහුවෙන කොටම කොන්දොස්තර (අයියා / මල්ලී) කෑගහනවා ස්ටෑන්ඩ් යන්නෑ මෙතනින් බහින්න කියල. ( සමහරු ඒක කියන්නෙත් නෑ. ) ඉතින් ඊයෙත් කොන්දොස්තර එහෙමම කෑ ගැහැව්වා. මමත් ඉතින් ඉස්සරහ දොරෙන් බහින්න ගියා. එක පාරටම ඩ්‍රයිවර් මහත්තයා (මම මහත්තයා කිව්වෙ හේතුවක් ඇතුව) කියපි “ස්ටෑන්ඩ් යනවා බහින්න එපා බහින්න එපා” කියල. ඒකට කේන්තිගිය කොන්දොස්තර අහනවා “ඇයි යකෝ අද ගෙදර යන්නෙ නැද්ද?” කියල. එතකොට ඩ්‍රයිවර් මහත්තයා කියනවා “මම මේ ආමි එකේ මල්ලිව දැක්කෙ අන්තිම මොහොතෙ. එයාගෙ කකුලක් නෑ. මේ මනුස්සයා මෙච්චර දුරක් පයින් යවන්නෙ කොහොමද?” කියල කිහිලි කරු දෙකකින් යන හමුදාවෙ හිටපු සහෝදරයෙක්ව පෙන්නුවා. කොන්දොස්තර මහත්තයත් ඒ දේ තේරුම් අරගෙන ස්ටෑන්ඩ් යන අයට ආයෙත් නගින්න කිව්වා. සමහරු නැග්ගා. ස්ටෑන්ඩ් එකට ගිහින් ආමි එකේ සහෝදරයව බස්සලා ඊලගට යන බස් එකේ නග්ගන්න තරම් කොන්දොස්තර මහත්තයා කාරුනික වුනා.

177 බස් එකේ විස්තරේ ඔන්න ඔහොමයි.

Labels: ,