Sunday, January 22, 2012

දුව වෙත ආදරයෙන් ලියමි


මගේ ආදරණිය දුවේ,
අදින් තුන් මසකට පෙර ඔබ අප කැදැල්ලට වඩිනවා යයි ඇසූ කල්හිම මා පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ ම‍ගේ ජීවිතයේ කවත් එක් වැදගත් කඩඉමක් ඔබ නිසා පසු කරන වග දැනුනු නිසාය. නමුත් දස මසක් තැබූ බලාපොරොත්තු සුන්වී ගියේ ඔබ මා තුරුලට පැමිණේයයි සිතාහුන් දිනයට පෙරදා අපෙන් සමුගත් මොහොතේදීය. ජීවිතය සහ බලාපොරොත්තු කෙතරම් අවිනිශ්චිතදැයි ඔබ මට කියා දුන්නෙහිය. ජීව්තය ගැන සිතා නොසැලී සිටීමට අවැසි ශක්තිය ලබාදුන්නේ ඔබය. නමුත් මේ ලොව ප්‍රීතිමත්ම සහ ආදරණියම පියා වීමේ ගෞරවය ඔබ විසින් මට අහිමි කලත් ඒ ගැන අබමල් රේණුවක් වත් තරහක් ඔබ ගැන මා තුල නැත. බොහෝ දෙනෙක්ට ඔබ අමතක වූවත් අම්මාත් මමත් තවමත් ඔබ ගැන දෙදෙනාට හොරෙන් වැලපෙන්නෙමු.

දුවේ,
කිසිදා ඔබව නුදුටු නුඹේ අම්මාටත් ම‍ගේ අම්මාටත් නුඹව සිහිනෙන් පෙනෙද්දී දෑසින් නුඹේ වත දුටු මට සිහිනෙන් නැතත් සැම විටම නු‍ඹව මැවි පෙනෙයි. නුඹව වළ දැමූ ඒ පාළු සුසානය පසුකරයන හැම මොහොතකම වාහනයේ ඇක්සලේටරය බුරුල් වී නැවත තද වෙන්නේ නුඹ නැති දුක නැවත ඇතිවීම වළක්වන්නටය.

දුවේ
නුඹ සිටියානම් මම දැන් තුන් මසක් වයසැති පියෙකි. නුඹේ මව ඇගේ ප්‍රසූති නිවාඩු අවසන් වී දුකින් වැඩට යාමට සැරසෙනු ඇත. අවාසනාවට දැන් ඒ කිසිවක් සිදු නොවේ.

දුවේ
මේ නුඹ ගැන ලියනා අවසාන වතාවයි. නැවතත් මෙවැනි අකල් වියෝවක් කිසිදා නුඔට නොලැබේවා!
මීට
නුඹේ තාත්තා

5 comments:

ඊ මේල් කවිකාරි said...

හිත හදාගන්න මල්ලි. ඔබ දෙපල තාම තරුණයි. ජීවිතය ගලා යායුතුයි.

න දී said...

ටෙම්ප්ලේ එක නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි අකුරුවල පාට ටිකක් අඩුකරා නම් හොදයි වගේ.:)

න දී said...

අලුත් අමුත්තෙක් ඉක්මනින් ඔයාලත් එක්ක එකතුවෙයි දුක් වෙන්න එපා.ජීවිතේ කියන්නෙ ඇතිවීම් පැවතිම් නැතිවීම් වල එකතුවක්.හිත හදාගන්න බලන්න.

~chAmi~ said...

අද ඇතිතරම් අඩන්න අයියා... හෙට ඔයාලට හිනාව අරන් පැටියෙක් ඒවි... ජීවිතේ එහෙමයි...

ඉන්දික උපශාන්ත said...

ජීවිතේ කියන්නෙ ලැබීම් වගේම නැතිවීම් වලින් පිරිච්ච එකක්. (වනේ තීන එකා තමයි වේදනාව දන්නෙ, අපිට පුළුවන් පණ්ඩිතකතා ටිකක් හිත හැදෙන්න කියන්න විතරයි.)
පොඩි එකාට ජාති ජාතිත් එවන් අකල් මරණයක් නොවේවා, ඔබ දෙපලටත් එවන් දුකක් යළි නො ඒවා!