අචිර‍‍ගේ දිනසටහන්

Wednesday, May 19, 2010

ප්‍රේමයේ අතුරු ඵල


මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙන‍වා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි.

ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා.

මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි.

අවුරුදු දෙකක් ගෙවිල ගිහින් ‍උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ.

(මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ)

ඡායාරූපය මෙම යොමුවෙනි

Labels: ,

Thursday, May 13, 2010

ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ ඉරණම


මා මතු සදහන් තරනුයේ මා දන්නා හිත‍වතෙකු පිළිබද කතන්දරයයි. වර්තමාන සමාජය හා බලන කල ඔහු කළුත් නැති සුදුත් නැති අළු චරිතයකි. කිසියමු වු දෙයක අනන්තයට නොගිය හෙතෙම හැමදේම මධ්‍යස්ථව ඉවසයි.

විවාහකයෙකු වූ හෙතෙම විවාහයට වසර ගණනාවකට පෙර සිටම නිර්මාංශ පුද්ගලයෙකි. කිසිදා මත්පැන් නොබිව් ඔහු දුම්පානයද සූදුවද අතහැර ජීවත්වූවෙකි. අඩුම තරමේ උත්සව අවස්ථාවකදී වත්බියර් පානයෙන් වුවද බැහැරවූ ආදර්ශමත් චරිතයක් විය.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. විවාහයෙන් පසුවද හිතවතා ‍ප්‍රතිපත්ති රැක්කේය. ටික කලෙක පටන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ශරිරයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ශරීරය ක්ෂය විය. නිතරම අසනීප විය. සාමාන්‍ය බෙහෙත් සහ පරීක්ෂන වලින් සුවයක් නොවීය. අවසානයේදී සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරිනි. ඔහුගේ නියම තත්ත්වය අනාවරණය විය.

අද ඔහු දියවැඩියා රෝගියෙකි. කොලෙස්ටරෝල් අධිකව අඩංගුය. තවත් එකි මෙකී රෝග ගණනාවකට ඔහු හිමිකම් කියයි.

එකල ඹහුට මත්පැනට ඇරයුම් කල මිතුරෝඔහුට සරදම් කරති. මාංශ භක්ෂකයෝද එසේමය. ලෝ දහම සමානයයි කියුවත් මෙවැනි අසමානතා ලෝ දහම තුල ඇත. රැකි ප්‍රතිපත්ති කුමටදැයි අද හෙතෙම සිතයි.

ඡායාරූපය ලබා ගත්තේ මෙම යොමුවෙනි.

Labels: , , ,

Wednesday, May 05, 2010

මල්ලිගේ කතා

මම පවුලේ එකම ලමයා. මට ඉතින් සහෝදර සහෝදරියො කවුරුත් නෑ. පොඩිකාලෙ ඉදන් මගෙ තනියට හිටියෙ මහප්පගෙ පොඩි එකා තමයි. අල්ලපු ගෙදර ඉන්න හන්ද මට කවදාවත් පාළුවක් දැනුනෙ නෑ. දැන් මිනිහා ගජ ඉලන්දාරියා. දැනුත් මල්ලිගෙ කතා හන්ද පාළුවක් නෑ. මේවා මල්ලිටයි මල්ලිගෙ සෙට් එකේ ඉන්න අයටයි වෙච්ච දේවල්. මම මේ දේවල් ලියන්න හිතාගෙන හිටියෙ බ්ලොග් මැරතන් එකට. නොදැනුවත්ව වෙච්ච වැරැද්දට මට අන්තර්ජාලෙට ඇතුල් වෙන්න බැරි වෙච්ච හන්දා මැරතන් එකට එන්න බැරිවුනා. දැන් ඒ කතා ටික එක එක වෙනසකටත් එක්ක ලියන්නම්. හිනා යයිද නම් මම දන්නෙ නෑ. හිනා යන ගතියක් තියන හන්ද පොඩි පොඩි කතා ටිකක් ලියන්නම්.මේක තමයි පළවෙනි කතාව.

මල්ලිත් මල්ලිගෙ යාළුවො සෙට් එකත් වැඩිපුර ඉන්නෙ පන්සලේ. පන්සලේ මොකක් හරි වැඩක් තියනවනම් කොල්ලො ටික මැරීගෙන වැඩ. ඕක හන්දම ගමේ පන්සලේ පොඩි හාමුදුරුවොත් මේ කට්ටිය එක්ක හරි හිතවත්. ඒකට තවත් හේතුවක් තිබුනා. ඒ පොඩිහාමුදුරුවොත් බොහොම තරුණ කෙනෙක් වීම. ඉතින් මේ සුහදත්වය දිගටම පැවතුනා. ඔන්න දවසක පන්සලේ උත්සවයක් තිබ්බා. කට්ටිය ගජරාමෙට වැඩ. පොඩි හාමුදුරුවොත් ඉතින් ඇවිත් උදව්වුනා. ටික වෙලාවකින් හාමුදුරුවො මේ ගොල්ලන්ට තේ එකක් බොන්න පන්සලට කතා කලා. කට්ටියට ඒකට වත් ඉස්පාසුවක් නෑ. හාමුදුරුවන්ගෙ ඇවිටිල්ලත් වැඩියි. ඉතින් එතන හිටපු මල්ලිගෙ යාළුවෙක් හාමුදුරුවන්ට “හාමුදුරුවො යන්න අපි වඩින්නම්” කියල කිව්වා. ඉතින් කතාව එතනින් ඉවරයි.

Labels: