අචිර‍‍ගේ දිනසටහන්

Tuesday, October 17, 2017

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා


පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බූරුවා වගේ අන්වර්ත නාම වලින් බැනුම් අහලත් ඉවරයි. අම්ම තාත්තා බැන්න හන්දා සියදිවි නසාගත්ත ලමයෙකුත් ඒ අතර ඉන්නවා. තමන්ගෙ ලමයට හොඳ ඉස්කෝලයක් නැති වෙච්ච හන්දා තාමත් දුකින් ඉන්න අම්මල තාත්තලත් ඒ අතර ඇති.

මම අද කතා කරන්නෙ ශිෂ්‍යත්වෙ ගැන.

මේකට අම්මලගෙ විභාගෙ කියල කියන්නෙ අනාදිමත් කාලෙක ඉඳන්. හේතුව තමයි ළමයින්ට වඩා මේ විභාගෙට ලෑස්තිවෙන්නෙ අම්මලා. තමන්ගෙ ළමයා හොඳ ඉස්කෝලෙකට යවා ගන්න තියන එකම විදහ තමයි මේ විභාගය.

කෙටියෙන් කියනවා නං මේ විභාගෙ තියෙන හොඳ කම තමයි දක්ෂ දරුවෙක්ට තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හොඳ පහසුකම් තියන “ජනප්‍රිය පාසලක්“ ලැබෙන එක.

තියන නරකම දේ තමයි පොඩි ළමයින්ට දරා ගන්න බැරි තරම් වැඩ ගොඩක් තියන, පොඩි ලමයින්ට තමන්ගෙ ළමාවිය කියන්නෙ මොකක්ද කියල අමතක කරවල පන්ති යන එක. සෙල්ලමක් කරන්න දන්නෙ නැති, ප්ලාස්ටික් සෙල්ලම්බඩු ගැන දන්න කොළපතක් පදින්න, ටයර් එකක් පදින්න දන්නෙ නැති ළමයි ඕනෙ තරම් අපි අතර ඉන්නවා

මේකට කරන්න තියෙන්නෙ ලංකාවෙ හැම පාසලක්ම එක වගේ දියුණු කරල “ජනප්‍රිය පාසලක්“ කරන එක. ඒ වගේම කවදාවත් වෙන්නෙ නැති එකත් ඒකම තමයි. ඒක හන්දා හැමදාමත් මේ අම්මලාගෙ විභාගෙ ඒ විදිහටම තියෙයි.  මොකද අම්මලාට ඕනෙ තමන්ගෙ පුතා කොළඹ රෝයල් එකට හරි කොළඹ ආනන්දෙට හරි දාන්න. එකම නම තිබ්බත් පොලොන්නරුවෙ හරි හොරණ රෝයල් වත් කොට්ටාවෙ ආනන්දෙට වත් ඒ අය කැමති නැත්තෙ ඒකයි. (මෙතන කිසිම ඉස්කෝලයක් පහත් කිරීමක් නැති බව සලකන්න)

අපේ පොඩි කාලෙ ශිෂ්‍යත්වෙට තිබ්බෙ ගනනුයි සිංහලයි විතරයි. ඒත් දැන් ළමයින්ට ඊට වඩා දේවල් ඉගන ගන්න තියනවා. කමත් භාෂාව, ගස් වැල් ගැන, කවි, සීපද, ආදි වාසීන්, සිංහල ජනක්‍රීඩා, පරිසරය වගේ දේවල් දැන් ලමයි ඉගන ගන්න ඕනෙ. මේකෙ එක අතකින් හරිම  හොඳ දෙයක්. ඕනැම ලමයෙක් තමන්ගෙ සංස්කෘතිය ඉගන ගන්න ඕනෙ. මේ විභාගෙන් ඒක කවර් කරනවා.

ඒත් මේ ළමයින්ගෙන් 90%ක් මේ දේවල් ඉගන ගන්නෙ තියරි විතරයි. කමත් භාෂාව ඉගනගත්තට කමතක් දැකල නෑ. ගස් වැල් ගැන ඉගන ගන්නවා. ගහේ තියන ප්‍රයෝජන ගිරව් වගේ කටපාඩමින් කියන්න පුළුවන්. ඒත් ගහකොළක ඇත්ත වටිනාකම දන්නෙ නෑ. අනික මේ දේවල් උගන්නන්නෙ තරඟ විභාගයකට විතරයි. එතනින් එහා ඒ දැනුම කවදාවත් ප්‍රයෝජන වත් වෙන්නෙ නෑ.

මගෙ ඥාතියෙක්ගෙ දියනියක් මීට අවුරුදු දෙකකට කලින් ශිෂ්‍යත්ව විභාගෙට වාඩිවුනා. ඒ දවස්වල එලියට බහින්නෙත් අඩුවෙන්. වැඩිපුරම ඉන්නෙ පන්තිවල. වැරදිලාහරි එලියට බැස්සොත් අම්මා ඇවිත් පාඩම් කියල දෙනවා. දුව අර ගහ මොකක්ද? ඒ ගහේ ප්‍රයෝජන මොනවද?  මේ කෘමියා මොකාද? උගෙන් ගොවියන්ට තියන ප්‍රයෝජන මොනවද?. ළමයිත් රොකට් එක වගේ. ගින්දර වගේ උත්තර දෙනවා.

මෑතකදිත් ඒ දුව මට හම්බවුනා. එදා ඒ අම්මා පෙන්නුවෙ වෙරළු ගහක්. මම නිකමට වෙරළු ගහක් පෙන්නල ඒ ගහ මොකක්ද ඇහැව්වා. ඒ ළමයා කල්පනා කරල කල්පනා කරල දන්නෙ නෑ කිව්වා. ඉතින් පරිසරය වගේ දේවල් තියරි වලින් ඉගැන්වුවහම තියන අවුල තමයි මේ.

අඩුම තරමේ මේ දේවල් 8 පන්තියෙදි වත් උගන්නනව නං ටිකක් හරි මතක තියෙයි. අවුරුදු 10ක් වගේ පොඩි එකෙකුට මේ තරං දේවල් දැම්මට ඔළුවට වැඩක් තියෙයිද?

මේ ළමයින්ට මීට වඩා පරිසර හිතකාමී විදිහකට උගන්නනව නං තවත් හොඳයි. ඒ කියන්නේ ඒ ඒ අදාල පරිසරයට ගිහිල්ලා එහෙම. ඒත් ඉතින් එහෙම වුනොත් හවස ශිෂ්‍යත්ව පන්තිය මිස් වෙනවා. අපේ ගම, මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරෙ වගේ තැන් තියනවා ටිකක් මේ වගේ දේවල් තියන. ඒත් කවදාවත් අර ඔරිජිනල් ටේස්ට් එක ඒවායෙන් ගන්න වෙන්නෙ නෑ.

මේ කිව්වෙ ජීවිතේට ක්‍රියාත්මක වෙන්නෙ නැති ගොන් හිතලුවක් විතරයි.

ශිෂ්‍යත්වය කියන්නෙ තරඟ විභාගයක්. ඉතින් දිනන්නෙ ඉහලින්ම ඉන්න කට්ටිය විතරයි. ශිෂ්‍යත්වෙට ලකුණු දෙන්නෙ 200න්. එක පේපර් එකකට 100ක්. මේ ගමන ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ 164යි. එතකොට එක පේපර් එකකට සාමාන්‍යය 82යි. නිකං හිතන්න උසස් පෙල සාමාන්‍ය පෙල විතරක් A එකක් ගන්න ළමයෙක් ගන්න ඕනෙ 75යි. එතකොට ශිෂ්‍යත්වය කියන විභාගෙ සමත් වෙන්න උසස්පෙල A එකකට වඩා ලකුණු සාමාන්‍යක් තියෙන්න ඕනෙ. ලකුණු 150ක් තියන ළමයා ශිෂ්‍යත්වෙ අසමත්. එහෙම ළමයෙක් මෝඩයෙක් හරකෙක් කියල දෙමව්පියො හංවඩු ගහනවා. ඒත් ඇත්තටම ඒ ළමයා අසමත්ද?

තීරණය ඔබට බාරයි.

හැම අවුරුද්දකම ශිෂ්‍යත්වෙ ප්‍රතිපල ආවහම මාධ්‍ය ඉස්සරහට විභාගෙ පළවෙනියො එනවා. ඇවිත් මෙහෙම කියනවා.

“ මම හැමදාම එදා දෙන පාඩම් එදාම පාඩම් කලා. අමතර පන්ති ගියා. ගුරුවරු උදව් කලා, දෙමව්පියො උදව්කලා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා“

එහෙමත් විභාග පාස්වෙන්න පුළුවන්. ඒත් මම හිතන්නෙ නියම හරිම ජයග්‍රිහකයෙක් වෙන්නෙ මේවගේ කතාවක් කරන ළමයෙක්.

“මම හැමදාම ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ මම පෝතක බාලදක්ෂ කලා, පරිසර කමිටුවෙ හිටියා. ඉස්කෝලෙ හුඟක් බාහිර වැඩවලට සහභාගීවුනා. සමස්ත ලංකා 11න් පහල ක්‍රීඩා තරඟවලට සහභාගී වුනා. හවස් වරුවෙ මම අයියලා එක්ක ගමේ ඇවිද්දා. ගම ගැන, කුඹුරු නියර ගැන ගස් ගැන හුඟක් පරිසරය ගැන මම ඉගනගත්තෙ අයියලත් එක්ක ගමේ ඇවිදල. මගේ අම්මල තාත්තල මට තමන්ටම ඉගන ගන්න කියල ලොකු නිදහසක් දීල තිබ්බා. මට හරිම සතුටුයි විභාගෙ ඉහලින් පාස්වෙච්ච එකට. මම ලොකු වුනහම රටට වැඩදායී කෙනෙක් වෙනවා“

කළබල වෙන්න එපා. නිකං ලිව්ව කතාවක් විතරයි. ඒ වගේ ළමයින්ට කියන්නෙ රස්තියාදුකාරයො කියල. පොඩිකාලෙ ඉඳං රස්තියාදුගහන එවුන් කවද්ද විභාග පාස්කලේ කියල ඉස්කොලෙ ඉන්න හැම අම්ම තාත්තම කතාවෙයි.

ඇත්තටම නිකං හිතට ආවට ලියපු කතාවක් විතරයි. සමහරවිට කවදහරි මමත් ළමයෙක්ව ශිෂ්‍යත්ව පංති අරං යනවා ඔයාලට හම්බවෙයි. එදාට ළඟ ඉන්න කෙනාට මාව පෙන්නල අන්න අර ශිෂ්‍යත්වෙ ගැන ලොකු කතා කියපු එකා තමුන්ගෙ ළමයා අරං පන්තියනවා කියන්න එපා.


රැල්ලට අපි ඔක්කොම ගසාගෙන ගිහින් ඉවරයි.

Labels: , , , , ,

1 Comments:

  • මේ කතාවේදී අපි හැමෝම අසරණ වෙයි නේද? කතාවට ලිවීමට හොඳ මාතෘකාවක් උනාට ප්‍රයෝගිකව අතිශය අමාරු වැඩක්

    By Blogger ලිඛිතා, at 7:09 PM  

Post a Comment

Links to this post:

Create a Link

<< Home