Monday, October 14, 2013

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී හිතන්න යමක්...


එදිනෙදා ජීවිතයේ මුදල් ගණුදෙනු වලට ඉතාම පහසුවක් වෙලා තියන එක හේතුවක් තමයි ණය පත. අපි සිංහලෙන් ලේසියට “ක්‍රෙඩිට් කාඩ්“ කියල කියන එක ගැන තමයි මම කතා කරන්නේ. අපි වගේ තුන්වෙනි ලෝකෙ දියුණු වෙමින් පවතින රටවල් වල මේක සුලබ දෙයක් වුනාට හුගක් බටහිර රටවල් වල මිනිස්සු මේවා පාවිච්චි කරන්නේම නැති තරම්. වොරන් බුෆේ තරුණයන්ට දෙන්න කියල දීපු උපදෙස් වලත් මේ ගැන කියල තියනවා. ඒත් මුලින්ම කියන්න ඕනෙ ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ යකෙක් නෙමෙයි කියන එක. ඒකත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ දෙයක්.

ක්‍රෙඩිට් කාඩ් වලට මිනිස්සු ඇදිල යන්න හේතු ගොඩක් තියනවා. ආරක්ෂාව සහ පහසුව ඉන් ප්‍රධානයි.

ඉතින් මම මේ කතා කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට අපි සැලකිය යුතු කරුණු ටිකක් ගැනයි. හුඟක් දෙනා දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් අළුතින් ගන්න අයට උදව්වක් වෙන්නත් හිතාගෙන තමයි මම මේ  පෝස්ට් එක සෑහෙන කාලෙකට පස්සෙ ලියන්නෙ.

ඉස්සෙල්ලම මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියහම මට වෙච්ච අතීත සිදුවීමක් එක්කම මම කතාව පටන් ගන්නම්.

ඒකාලෙ මම වැඩකලේ ලංකාවෙ ප්‍රසිද්ධ බැංකුවක මානව සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුවෙ. (තේරෙන සිංහලෙන් කියන්නෙ එච්. ආර් ඩිපාර්ට්මන්ට්). මේ මම කියන්නෙ 2005 විතර සිද්ධියක්. නමුත් ඒ කාලෙ දැන් තරම් ක්‍රෙඩිටි කාඩ්වලට ප්‍රසිද්ධ නෑ.බැංකුවෙ වැඩ කලත් මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හය මාසයක් වැඩකරන්න වුනා. ඉතින් අවසානයේ මම කාඩ් සෙන්ටර් එකේ ඉන්න මගෙ යාළුවෙකුට කියල කාඩ් එකක් හදාගත්තා. නමුත් මේ කාඩ් එක එන්නෙ මගෙ කළමනාකාරතුමිය හරහා. ඒක මම දැනගෙන හිටියෙ නෑ. කාඩ් එක ආවට පස්සෙ කාඩ් එක මට දෙන්න කලින් කළමනාකාරතුමිය පැය බාගෙක විතර දේශනයක් දීල ඒ කොන්දේසිවලට එකඟ වුනාට පස්සෙ තමයි මට කාඩ් එක හම්බවුනේ.

ඒ කියා දුන්න දේවල් අදටත් මම පිළිපදිනවා. ඒක අතඇරිච්ච වෙලාවල් වල මම සෑහෙන්න දුක් විඳල තියනවා. ඒ කියා දුන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගන්නම්.

මුලින්ම කියන්න ඕනෙ බැංකුවකින් අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ අපිට තියන ආදරේට නොවෙන බව. කාඩ් එකක් දෙනකොට අපිට හිතෙනවා ණයට දෙන විදිහට බැංකුවට ආදායමක් නෑනෙ කියලා. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකකින් තරම් බැංකුවට ලාබ එන්නෙ නෑ වෙන කොහෙන්වත් (මම හිතන්නෙ) . සාමාන්‍යය බැංකු ණයක් ගන්න ගියොත් බැංකුවෙන් අපිට හම්බ වෙන්නෙ සාමාන්‍යයෙන් 20% කට අඩු පොලී අනුපාතයක්. ඒත්  ක්‍රෙඩිට් කාඩ් එකක වාර්ෂික අනුපාතය 24%ක් විතර වෙනවා. (ඉස්සර මේක තිබ්බෙ 28%ට. පස්සෙ අඩුවුනා) ඒත් මාකටිං පැත්තෙන් පෙන්නන්නෙ මාසෙට 2%ක් තරම් අඩු මුදලක් කියල. මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට අහුවෙන තැනක් මේක. මාසෙට 2% ගානෙ අවුරුද්දට 24% බව මතක තියාගන්න.

බැංකුවකින් කෙනෙක්ට ආවට ගියාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ නෑ. දෙන්න කලින් පස්මහ බැළුම් බලනවා. මාස 3 පඩි වාර්තා, බැංකු ප්‍රකාශන, නිවැරදි ලිපිනයන්, රෙකමදාරු කරන්න තවත් අය ආදී වශයෙන්. හේතුව තමයි මේ ණය ගෙවන්න පුළුවන්ද කියල බලන එක. (ඇපේට කිසිම දෙයක් ලඟ තියා ගන්නෙ නැති හන්දා). ඒ වගේම පොඩි පඩියක් ගන්න කෙනෙක්ටත් මේවා දෙන්නෙ නෑ. (දැනට මං හිතන්නෙ අඩුම තරමෙ රුපියල් 20000ක් වත් පඩි තියෙන්න ඕනෙ)

ඊලඟට ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය වෙන්නෙ  තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. ඒ ගෙවාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියල සලකලා. මේ ප්‍රමාණය නම් හුඟක් බැංකු වෙනස් කරන්නෙ නෑ. ඉල්ලුවොත් ඇරෙන්න. මොකද ඒක බැංකුව පැත්තෙන් ආරක්ෂක උපක්‍රමයක් හන්දා. මේ ණය සීමාව වැඩි කරන්න ඒගොල්ලො අමතර මුදලකුත් අය කරනවා. ඒත් සමහර බැංකු නොකියම ප්‍රමාණය වැඩිකරනවා. ඒකත් එක උපක්‍රමයක් වියදම් කරන්න තියන ප්‍රමාණෙ වැඩිකරන්න.

තවත් අය අහුවෙන මාකටිං පොයින්ට් එකක් තමයි ගෙවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන එක. ඔව් එහෙම හම්බ වෙනවා තමයි. ඒත් මිලදී ගන්න හැම දේටම නෙමෙයි. ඒක තීරණය වෙන්නෙ අපි භාන්ඩයක් මිලදී ගන්න දවසයි, අපේ මාසික ප්‍රකාශනය නිකුත් කරන දවසයි අපිට ඒ ප්‍රකාශනයට මුදල් ගෙවන්න තියන දවයි එක්ක.

උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගෙ මාසික ගිණුම් ප්‍රකාශනය හදන්නෙ කිසියම් මාසෙක 25 වෙනිදාට කියල හිතමු(උදා. සැප්තැම්බර් 25). එයාට ඒකට මුදල් ගෙවන්න තියන අන්තිම දවස ඊලඟ මාසෙ 15 වෙනිදා කියල හිතමු (උදා. ඔක්තෝම්බර් 15). එතකොට එයා භාන්ඩය මිලට ගන්නෙ මේ මාසෙ 26 වෙනිදා (සැප්තැම්බර් 26) නම් ඒක මේ මාසෙ ප්‍රකාශනයට අදාල වෙන්නෙ නෑ. ඒක අයිති වෙන්නෙ ඊලඟ මාසෙ ප්‍රකාශනයට (ඔක්තෝම්බර් ප්‍රකාශනය). එතකොට එයාට ඒ සඳහා සල්ලි ගෙවන්න මාසෙකුත් දවස් 20ත් විතර හම්බ වෙනවා (නොවැම්බර් 15). සැප්තැම්බර් 26 ඉඳන් නොවැම්බර් 15 අතර කාලය තමයි දවස් 51 වෙන්නෙ.  ඒක ඉතින් උපරිම කාලය. එන්න එන්න කාලය අඩුවෙනවා.

අපි ලබාගන්න හැම  ක්‍රෙඩිට් කාඩ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් (Annual Fee) ගෙවන්න ඕනෙ. ඒක බැංකුව - කාඩ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 ඉඳල 5000ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවනි. ඒත් සමහර මාකටින් කැම්පේන් වලදි මේ සාමාජික ගාස්තුව නැතුව කාඩ් එක පිරිනමනවා. මතක තියාගන්න ඕනෙ මෙහෙම පිරි නමන කාඩ් එක වලංගු කරල දෙන්නෙ අවුරුද්දකට නොවන වග. පළවෙනි අවුරුද්ද නිකන් වුනාට දෙවනි අවුරුද්දෙ මේ ගාස්තුව කපා ගන්නෙ කියල නෙමෙයි. ඒ බව දන්නෙ ගිණුම් ප්‍රකාශනය ආවහම තමයි. 

ඊළඟට වෙන්නෙ ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න බැංකුව ඔබට අමතර කාඩ් පතක් පිරිනමනවා. ඒ ඔබේ සහකරුට හරි සහකාරියට හරි. හුඟක් වෙලාවට සාමාජික ගාස්තු නැතිවම. ඔබේ ණය සීමාවෙන් අඩක් පමණ. සාමාන්‍යෙයන් අපි නිකන් ලැබෙන ඕනෑම දෙයක් ගන්න සූදානම් නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මේ කාඩ් එක ගන්නවා.ඉතින් දෙවනි අවුරුද්දෙ ඉඳන් සාමාජික ගාස්තු එක්ක අමතර වියදම් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හිතන්න මට මගේ ගිණුම් ප්‍රකාශනයට අදාල මුදල් ගෙවන්න තියෙන්නෙ ‍මාසෙ 15 කියල. මට ගෙවන්න තියන අවම ප්‍රමාණය (සාමාන්‍යයයෙන් මුළු මුදලින් 5%ක් විතර) මම ගෙවනවා කියල. එතකොට මම 16 වෙනිදා මුළු මුදලම ගෙව්වත් ඒ මාසෙටම පොලිය (2%) හැදිල අවසන්. මේ දේ සිද්ධවෙන්නෙ මුළු මුදලටමයි. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය හැදෙන්නෙ දවසින් දවසට වුනාට ක්‍රෙඩිට් කාඩ් වල දවසක් ගියත් මාසෙකටම පොලිය හදනවා. (මේක හුඟක් බැංකු කරන දෙයක්. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන දෙයක් )

හැම ගිණුම් ප්‍රකාශනේම ගෙවිය යුතු අවම මුදලක් තියනවා. හැබැයි ඒක ගෙවන්න තියන දවසට ගෙව්වෙ නැත්තම් ප්‍රමාද ගාස්තු (Late Payment Fee) හැටියට අමතර ගාස්තුවක් ගන්නවා. මේක  මුළු මුදලින් 5%ක් හරි ස්ථීර ගාස්තුවක් හරි (දෙකෙන් ලොකු එක මිස පොඩි එක නෙමෙයි). ඒ වගේම තමන්ගෙ ණය සීමාව පැන්නහමත් මේ වගේ මුදලක් ගෙවන්න වෙනවා.

මාසයක් අවසානයෙදි තමන්ගෙ අතට එන ගිණුම් ප්‍රකාශනය බලන්න. තමන්ට අදාල නැති අයිතම කීයක් තියනවද? තැපැල් ගාස්තු, මේ මාසයට පොලිය, ලබන මාසයට පොලිය, ගැලපුම් ගාස්තු, බදු, ප්‍රමාද ගාස්තු... මේවා නම් ඉතින් දැනගන්න වෙන්නෙ බැංකුවෙ හොට් ලයින් එකට කතා කරල එතන ඉන්න අක්ක කෙනෙක් එක්ක වලියක් දාගෙන තමයි.

හුඟ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ ඒවාට හම්බවෙන ආකර්ශනීය ප්‍රවර්ධන ව්‍යාපාර හන්දයි. (Promotion) අපි මතක තියාගන්න ඕනෙ මේ ප්‍රමෝෂන් නැතිනම් බැංකු වලට පාඩු විඳින්න සිද්ධ වෙන බව. ඔවුන්ට අවශ්‍යය වෙන්නෙ කොහොම හරි අපේ කාඩ් එකෙන් සල්ලි වියදම් කරවන එකයි. නැත්තම් බැංකු වලට කෝ සල්ලි? ඒ සඳහා කරන්න තියන ලේසිම දේ තමයි බිස්නස් ප්‍රමෝෂන්.

ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්නෙ  ආවේගශීලී මිලට ගැනීම්. ඒ කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යය නැති දෙයක් වුනත් ගන්න හිතෙන එක. කෙනෙක් මුදල් වලින් ගෙවීම් කරනකොට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කරන කොට ඒ අවස්ථාවෙම මුදල් වියදම් වීමක් සිද්ධ නොවෙන නිසා කෙනෙක්ට මේ භාන්ඩය මිලදී ගන්න හිතක් පහල වෙනවා. (මනුස්ස සොබාවය නෙ)  හුඟක් වෙලාවට සුපිරි වෙළද සැල් වල සහ හෝටල් වෙන්නෙත් මේ දේම තමයි. ඉතින් මේ දෙකම එකතු වුනහම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හන්දා හුඟක් බැංකු අලෙවි ප්‍රවර්ධනයට යොදාගන්නෙ සුපිරි වෙළඳ සැල් සහ හෝටල්ම තමයි. 5% ඉඳන් 50% වෙනකන් දීමනා දුන්නත් හැම දීමනාවක්ම කොන්දේසිවලට යටත්ව තමයි හම්බවෙන්නෙ.

ඒවගේම හැම දීමනාවක්ම වගේ සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවන්න මිසක් සාමාන්‍යෙයන් එදිනෙදා මිලදී ගැනීම් වලට අදාල දීමනා අලෙවි ප්‍රවර්ධන සිද්ධවෙන්නෙ නැති බවත් මතක තියාගන්න ඕනෙ. තරු පන්තියේ හෝටලේකින් 50%ක් අඩුවට වේලක් කන්න මිසක් සුපර් මාකට් එකෙන් පරිප්පු 500ක් ගන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රමෝෂන් අදාල වෙන්නෙ නෑ. සුපිරි ඇඳුම් වෙලඳ සැලකින් 25%ක්  අඩුවට ඇඳුම් ලැබුනට පොඩි කඩේකින් චීත්ත රෙදි කෑල්ලක් ගන්න මේ ප්‍රමෝෂන් වලංගු නැත.

ඒ කියන්නෙ මේ ඔක්කොම ප්‍රමෝෂන් කාඩ් හිමියාගෙන් කුට්ටිය පිටින්ම වියදම් කිරීම උදෙසා පමණක් බව මතක තියාගන්න.

තවත් වෙළඳ ප්‍රවර්ධන අංගයක් වෙන්නෙ පොළී රහිත වාරික ගෙවීම් ක්‍රම. උඩින් බැළුවොත් මේකෙන් බැංකුවට කිසිම ලාබයක් නෑ වගේ. නමුත් මේකෙදි වෙන්නෙ මුලින්ම කිසියම් මුදලක් (මිලදී ගන්නා භාන්ඩය මත වෙනස්වෙන) ලියකියවිලි ගාස්තු / බැංකු ගාස්තු විදිහට බැංකුව අයකරගන්න එක. ඊට පස්සෙ භාන්ඩයේ වටිනාකම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවෙන් අඩු කරල මාසිකව ගෙවන ගානත් එක්ක ණය සීමාව වැඩි කරන එක. බැංකුවෙ ගාස්තුව භාන්ඩය මිලට ගන්න කොටම බැංකුව අයකරගෙන ඉවරයි. මේකෙන් බැංකුවට වෙන අමතර වාසියක් තියනවා. ඒ ණය සීමාවේ උපරිමේටම ආපු පාරිභෝගිකයට ණය සීමාව වැඩි කරල දීල තවත් ඔරොත්තු නොදෙන තරමේ වියදම් ඇතිකරන එක.

මේ ඔක්කොටම වඩා කරදරේ සල්ලි ගෙවන්නෙ නැතුව දවස් දෙක තුනක් ගියහම දවසට දෙතුන්වරක් කෝල් එකක් දීල අපිට ඒක මතක් කරල දෙන එක.

මම මෙතන සඳහන් කරල තියෙන්නෙ මතක් වෙච්ච ටිකක් විතරයි. මෙන්න මේ කරුණු ටික ටිකක් සිහියෙ තියාගත්තහම (මේවා මට හම්බවෙච්ච උපදෙස්) ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කරන ටිකක් ලේසි වෙයි.

ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුනාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. තව පුළුවන් නම් ණය සීමාව ටිකක් අඩුකරගත්තට කමක් නෑ.

ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැඳෙන දිනයකට යොදාගන්න. (25 පඩි හම්බ වෙනව නම් 28 විතර)
ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවානම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.

කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. අමතර පොලී වලින් වැලකෙන්න පුළුවන් එතකොට.

මිළදී ගැනීම් වලදී හැමවිටම උපරිම දින සීමාව ගැන මතක තබා ගන්න.


හැකි හැමවිටම මුදල් භාවිතා කරන්න.

Tuesday, June 11, 2013

ගුරුතුමානෙනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!


වරෙක මම මගේ කැමරාවට තවත් ලෙන්සයක් ගැනීමට රට වටා සෙව්වෙමි. ලෙන්ස් වර්ග බොහොමයක් තිබුනද මගේ අවශ්‍යයතාවට හරියන්නේ කුමක්දැයි තෝරාගැනීමට නොහැකිව ලතැවුනි. බොහෝදෙනා එම ලෙන්ස් වල විවිධ ගුණාගුණ කීහ. ගනන් සදා කියුහ. මමද අන්තර්ජාලයේ ඒ ගැන සෙව්වෙමි. එහෙත් තවමත් මා අතරමං වී ඇත. එකල මගේ මුහුණු පොතේ සිටි මිතුරන් අතර ඉන්ද්‍රනාථ තේනුවරයන්ද සිටියහ. එකල මා ඔහු දැන සිටියේ ඡායාරූපකරනයේ සහ පොටෝෂොප් මෘදුකාංගයේ හසල දැනුමක් ඇති යෝධයෙක් ලෙසය. මෙවන් කෙනෙක්ගෙන් මගේ ලෙන්ස් ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකියයි මට සිතුන නමුත් මෙවැනි කෙනෙක් මාවැනි ආධුනිකයෙක් හට උපකාර කරයි යැයි මට සිතුනේ නැත. නමුත් දුර ඇති ඉලක්කයකට ඊයක් යවන අටියෙන් මුහුණු පොතෙන් මගේ ප්‍රශ්නය පණිවිඩයක් ලෙස යැවීමි.
පැයකට පමණ පසු මා පුදුමයට පත්කරමින් ඔහු මට පිළිතුරක් එවා තිබුනි.

ලෙන්ස් ගැන ටයිප් කරනවාට වඩා කටින් කියන එක ලේසියි. ඒක හන්දා මේ නොම්මරේට කොල් එකක් දෙන්න

මම හැරෙන තැපෑලෙන් දුරකතන ඇමතුමක් ගතිමි. ජීවිතේට දැකලා නැතිවුවද මම ඔහුට සර් කියූවේ මා වැනි ආධුනිකයෙකුට එවැනි පිළිතුරක් එවීමත් මා මවිත කරන්නක් වූ නිසාය.

ඔහු මා ඇමතුවේ මල්ලී කියාය. කාච ගැන බොහෝ දේ කියාදුන් ඔහු ඒ ගැන ඔහුගේ අත්දැකීම් කිසිදු අහංකාර කමකින් තොරව මා හා බෙදා ගත්තේය. අවසනදී ඔහු මෙසේ පැවසීය.

මල්ලී, හුඟක් අයට ගනන් හදල පෙන්නන්න පුළුවන්. කරන විදිහ කියන්න පුළුවන්. ඒත් වැඩේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒක ගැන අවබෝධයක් තියන මිනිස්සුන්ට විතරයි. ඔයා බය නැතුව ඒ ලෙන්ස් එක ගන්න. මමත් ඒක පාවිච්චි කරල තියනවා. තියරි වලට වඩා මිනිස්සු ප්‍රැක්ට්කල් වෙන්න ඕනෙ.

ඉදින් මම ඒ ලෙන්ස් එක ගතිමි. අදටත් මා බොහෝ කැමති  ඡායාරූප වැඩි හරියක් අරගෙන ඇත්තේ ඒ කාචයෙනි.

ඉන්පසු නැවත වරක් මට තේනුවරයන් මුණ ගැසුනි. ඒ බොරලැස්ගමුව හන්දියේ අබාන්ස් උඩුමහලේ ඒ මහතාගේ පන්තියේ දීය. ඒ මීට වසර  දෙකහමාරකට තුනකට පමණ පෙරය. මම ඔහු දුටු මුල් අවස්ථාව එයවිය. ශරිරයෙන් කුඩා නමුත් දැනුමෙන් ඔහු පරිපූර්ණ බව මට කෙටි කලකින්ම වැටහි ගීයේය.

එතනට යාමට මට සිදුවූයේ එතුමාගේ අළුත් ඡායාරූපකරණය පිළිබඳ පන්තියේ ආරම්භයයි. එයට බොහෝ දුර බැහැරින් ළමුන් පැමිණියහ. ඡායාරූපකරණය ගැන උණක් ඇතිවූ කාලයේ මම ඡායාරූපකරණය ගැන හැදෑරීමි. නමුත් ඒ බොහෝ දේ න්‍යයායික කරුණුවිය. ඒවා ප්‍රායෝගිකව හසුරවන්නේ කෙසේදැයි මට තිබු දැනුම අල්ප විය. ඒ දැනුම වැඩිකරගැනීමට තේනුවරයන්ගේ පන්තියේ  පළමු දවසම මට ඇතිවිය. එතැන් පටන් දිගටම මම ඔහුගේ ගෝලයෙකුවීමි. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු නොවුනද වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩකිරීමට ඔහුගෙන් මා බොහෝ දැනුමක් ලබා ගතිමි. අපට ඇතිවන හැම ප්‍රශ්නයටම ඔහු තුල විසදුමක් විය.

සමුහයක් ලෙස අපි අපේ පන්ති නිමා කලෙමු. අධික රාජකාරීවැඩ සහ පුද්ගලික ප්‍රශ්න හමුවේ ඉන්පසු මට තේනුවරයන් මුණ ගැසීමට හැකිවූයේ පන්තියේ ඇගයීම බාරදීමට යාමේදී පමණි. ඉන්ඉක්බිති තේනුවරයෝ සහතික පත්‍රය ලබාගන්නැයි කෙටි පණිවුඩයක් මගින් දන්වන ලදී. නමුත් එම අවස්ථාවටද සහභාගීවිමට මට නොහැකිවිය.

ඉන්පසු මට ආදරණිය ගුරුතුමා මුණගැසුනේ එතුමාගේ පොතක් දොරට වැඩුමකදීය. ඒ මහවැලි කේන්ද්‍රෙය්දීය. ඒ සදහා කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ලබාගැනීමට මම වාසනාවන්ත වීමි. එම දොරට වැඩුමේදී තේනුවරයන් එතුමාගේ ගුරුතුමාට ගුරු ගෞරව දක්වන ලදී. දොරට වැඩුම අවසානයේදී ඒ පොතේ එතුමාගේ සමරු සටහනක් ලබාගැනීමට මම පෝලිමට සිටියෙමි.

 අචිර සෙටිෆිකට් එක ගත්තෙ නෑ නේද? ඒක තියනවා අරන් යන්න.
මගේ හිත පත්තු වී යනවා සේ මට දැනුනි. මට අමතක වුවත් ගුරුතුමාට මාගැන අමතක වී නැතිවා සේය. මම හැකි ඉක්මනින් එතුමා හමුවට ගොස් එතුමාගෙන් එය ලබාගතිමි. නැවතත් තේනුවරයන් සමග නිදහසේ කතා කලෙමි. සර් මට බොහෝ දේ පවසන ලදී. ඒ අදහස් තුල බොහෝ පිළියම් විය. ඇතැම් දේ ගැන හිතේ බර අඩුවී ගිය සෙයක් දැනුනි.

ගුරුවරයෙකු හැටියට එතුමා මට බොහෝ දේ කියා දුන්නේය. තවමත් මම බොහෝ දේ  ඉගන ගනිමි. මිතුරෙක් හැටියටද එසේමය. ගුරුවරයෙක් මිතුරෙකුවන්නේ කලාතුරකිනි. එසේම වටිනා ගුරුවරයෙක් හැටියට තවත් බොහෝදේ එතුමාගැන පැවසිය හැකිය. පැවසිය යුතුය. සටහන දිගවැඩිවන බැවින් එතුමා මට දැනුනු අවස්ථා කිහිපයක් මෙලෙස සටහන් කලෙමි.


මේ නිරහංකාර මිනිසාගේ උපන්දිනය වෙනුවෙන් මේ කුඩා සටහන තබමි. තේනුවරයානෙනි. ඔබට සුබ උපන්දිනයක් වේවා!. චිරාත් කාලයක් වැජඹේවා!

Thursday, June 06, 2013

නාමල් අයියා චීනයට යාමට හේතුව

එදා විවේකයෙන් ගෙදර සිටි දවසක් විය. පත්තරයත් අතට අරගෙන බැලීමට සැරසෙන විට රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති විකාශය වීමට පටන් ගැනුනි. ඒ අල්ල පනල්ලේම අල්ලපු ගෙදර පොඩි එකා අපේ ගෙදරට කඩා පාත් විය. මම ඉතින් ඌත් සමග ප්‍රවෘත්ති බැලීමි.

ජනාධිපති තුමාගේ චීන සංචාරය ප්‍රවෘත්ති මාතෘකාව විය.  ජනාධිපති පුත් නාමල් අයියාද චීනෙ ගිය බව එහි දැක්විනි. අල්ලපු ගෙදර පොඩි එකා ගේමට බැස්සේ එතනදීය.

“ මාමෙ කවුද මහින්ද මාමා එක්ක අර ඉන්නෙ“
“ඒ නාමල් අයියනෙ පුතේ“
“නාමල් අයිය කවුද?“
“ඒ මහින්ද මාමාගෙ පුතානෙ“
“එයා මොකටද චීනෙ ගියෙ“
මට දෙන්න උත්තර නැත. මම වැඩේ ගොඩින් බේරා ගැනීමට මාන බැලුවෙමි.
“ඒ අය රාජතාන්ත්‍රිකයොනෙ පුතේ“
“ඒ මොක්කුද මාමෙ?“
දීපල්ලකො උත්තර.
“රාජ තාන්ත්‍රිකයො කියන්නෙ පුතේ රට නියෝජනය කරන අය“
“ඉතින් නාමල් අයියා මොකටද රට නියෝජනය කරන්නෙ“
“එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ“
“නෑ මාමා වැරදියි“
පොඩි එකාගේ ස්වරයෙන් මම ගල් ගැසී ගියෙමි.
“ඇයි පුතේ වැරදි“
“එහෙනං මං මාමාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පස්සේ මාමාටම තේරෙයි“
කොල්ලා කතා කීමේ යන්ත්‍රයක් බැවින් උගෙන් කතාවක් අහගන්න මමත් ලෑස්ති වීමි.
“හා එහෙනං මාමා කියමු බලන්න අර මහින්ද මාමත් එක්ක ඉන්න ගෑණු කෙනා කවුද?“
ඔහු ජනාධිපති ආර්යයාව පෙන්වමින් අසයි.
“ඒ පුතේ ජනාධිපති ආර්යයාවනෙ“
“එතකොට නාමල් අයියා කියන්නෙ එයාගෙ පුතෙක්නෙ“
“ඔව්“
“නාමල් අයියාට සහෝදරයො කී දෙනෙක් ඉන්නවද?“
“දෙන්නයි“
“දැන් කෝ ඒ අය“
“එක්කෙනෙක් නාවික හමුදාවෙ, අනිත් එක්කෙනා අභ්‍යවකාශෙ“
“දැන් මහින්ද මාමායි ශිරන්ති නැන්දයි චීනෙ එන්න හදනකොට ගෙදර තනියම කවුද ඉන්නෙ“
“නාමල් අයියා“
“හරි අම්මෙක් තාත්තෙක් ගමනක් යනකොට එහෙම ලමයෙක් ගෙදර දාල යනවද මාමෙ“
මට ආයෙත් කට උත්තර නැත.
“ඒකත් හැබෑව පුතේ. එහෙනං ඒක වෙන්න ඇති නාමල් අයියව එකකං යන්න ඇත්තෙ“

අනේ මන්දා දැන් හැදෙන එවුන්. මට තාම මෝල් වගේය. මෙය මාගේ චිත්ත සන්තානය ආ කතාවක් නොව අල්ලපු ගෙදර පොඩි එකා විසින්ම කියපු කතාවකි. ඕං මං කියන්නේ බොරුනම් පාරක් පනින වෙලාවක කහ ඉරක් උඩදී සුදු වෑන් එකකට යටවී මිය යනු ඒකාන්තය. එවිට පාර අයිනේ හිටපු එකෙක් “දම්සාරී“ කියා කෑ ගසනු ඇත. අනේ මන්දා මොනව ලියනවද කියල.  සමාවෙන්න... 

Friday, March 22, 2013

මේ දවස් වල ලංකාව



ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවමින් සිටිමි. බොහෝවිට සතියේ දින හතේම වැඩය. කුඩා ඉස්පාසුවක් ලැබුණුවිට කොන්ඩය කපා ගැනීමට බාබර් සාප්පුවට ගියෙමි. ඒ අන්තිම වරට කොණ්ඩය කපා මාස 5කට පසුවය. මා යනවිට තවත් 4 දෙනෙක් පෝලිමේය. තවත් මාස 5කට පසුව පැමිණෙන්නටවත් හැකිවේදැයි නොදන්නා නිසා පෝලිමේ පස්වෙනියාට එක්වූයෙමි. කරන්නට වැඩක් නැති නිසා එතන තිබූ පත්තර කියවන්නට වීමි. මදක් පරණ නමුත් මට අළුත් තොරතුරු එහි අඩංගු විය.

තවත් දෙදෙනෙකු පෝලිමේ සිටී. දැන් ඉතිරිව ඇත්තේ කාන්තා පත්තරයකි. එයත් කියවීමට පටන් ගත්තෙමි. මුල පිටුව “චංගුමී“ ගේ වෛවර්න පින්තූරයකින් පුරවා ඇත.  දැන් දැකලා ඇති නිසා දෙවන පිටුවට හැරවීමි.

“පුංචි ඔබට පෙරපාසල් යනවිට චංගුමී ලෙස හැඩවෙන්න මේ මෝස්තර අම්මාට කියා මසා ගන්න“ ඒ පතරොම් සියල්ල පෙර පාසල් ලමුන්ට සහ ඹවුන්ගේ අම්මලාටය. මම වෙන පිටුවක් පෙරලීමි.
“තරුණ යුවතියකට සුජාත දියණියගෙන් ගත හැකි පාඩම්“
ලංකාවේ වියත් (ද කොහෙද) ලේඛිකාවක් (ලු) ලියනලද ලිපියකි. එයද මට නොවන බැවින් තවත් පිටුවක් පෙරලීමි.
“චංගුමීගේ ආහාර වට්ටෝරු“ අනේ මන්දාය.
ආහාර වට්ටෝරු බලා අන්තිම හරියේ පිටුවක් පෙරලීමි. 
“පසුගිය සතියේ අභීත දියණී කතාව නවකතාවක් ලෙස“.

අඩුවට තිබුණේ ඒක පමණි. පෝලිමේ මට කලින් හිටපු කෙනාට හදිස්සියේ ගෙදරින් කෝල් එකක් ආ නිසා ඊලඟට මම කොණ්ඩය කපා පරිස්සමින් ගෙදර ආවෙමි.

සතියේ දවසක ටිකක් කලින් ගෙදර ආවෙමි. යකෙක් කන්න බඩගිනි බැවින් කෑම එක බෙදාගෙන සාලයට ආවේ රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීමටයි. රසට අනා පළමු කට කෑවා පමණි.

“ඔයාගෙ වැසිකිලිය සෝදන්නෙ ඕකෙන්ද?“
“ඔව් ඒකෙන් පිරිසිදු වෙනවා ඔයාගෙ එකට වඩා“
“හා එහෙනං අම්මප කියන්න“ (වැරදුනා)
ඇය වැසිකිලිය සුද්ද කරයි. අනෙක් ගැහැණිය එය ඔප්පු කරන්න කියයි. වැසිකිලිය සුද්ද කල ගැහැනිය එක පාරක් ෆ්ලෂ් කර එය අතගා පෙන්වයි.
“නොදකිං විතරක් ගෙදර කන වෙලාවට පෙන්නන ඒවා“
බඩගින්න දැඩි නිසාම තවත් කටවල් දෙක තුනක් කා අත සෝදා ගතිමි.

Thursday, February 21, 2013

මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ




“නැවිගේෂන් සිස්ටම් එකක් කියන්නෙ මොකක්ද?”
වැඩ ඇරිලා ගෙදර එක්කගෙන අතරතුරදී තාත්තා මගෙන් අසයි. මම දන්නා විදිහ‍ට පිලිතුරු දීමි.
“මොකටද?” මම අසමි.
“නිකං” ඒ තාත්තාය.
තාත්තා එහෙම අහන්නේ “නිකං” නොවන බව ම‍ගේ හිත කියයි.
“ඇයි දැන් මොකක්ද කරන්න හදන්නේ”
“නෑ යාළුවෙක් කිව්වා. දුර වැඩක් කරනකොට පාරවල් හොයාගන්න ලේසියි කියල. මේකෙයි ෆෝන් එකේ තියන ගූගල් මැප් එකෙයි වෙනස මොකකද?”
තාත්තාගේ පිරිවිතර (සිංහලෙන් රික්වෙයාමන්ට් එක) මට ලැබුණි. ඒ මගේ තාත්තාය.
විශ්‍රාම යායුතු අවධියේ සිටියත් ඔහු කොළඹින් පිට ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වෙන්නේ අද ඔහුගේ උපන්දිනය කියලාවත් නොසිතා‍ය.

මට පරිගනකයක අවශ්‍යතාවය දැනුනේ මීට දශකයකටත් මද කාලයකට පෙරදීය. රටවටේ සැරිසරා පරිගනයක මිල අඩුතැනක් බැලුවෙමි. අවසානයේ තාත්තා සමග එය ගැනීමට ගියෙමි. සතියකට පසු පරිගකයේ ගනන් වැඩි වෙලාය. රස්සාවක් නොකරන මට ඒකාලයේ රුපියල් 63000 ක් යනු එතරම් මුදලක් නොවේ. ඒ ගෙදරින් ඔක්කොම වියදම් දරන නිසාය. එලෙස මම තාත්තා ඉතිරිකරගත් සියළු ධනය එක මොහොතින් ඉවරකලෙමි. ඒ ගැන අදටත් තාත්තා වචනයක්වත් නොකියනවා වුවත් රස්සාවක් කර එසේ සල්ලි ඉතිරි කරන රංගනය  මා දන්නා නිදා එදා කල දේ ගැන අදත් පසුතැවෙමි.

මගේ තාත්තා විශ්ව විද්‍යාල අධ්‍යාපනය එම් ඒ බී ඒ ඇම් බී බී ඇස් පාස් කල අයෙක් නොවීය. නමුත් ඒ සියල්ල කල අයට වඩා තාත්තා ලඟ දැනුම තිබේ. ඒවා කල අය ලඟ නැති ප්‍රායෝගික දැනුමක් තාත්තා සතුවේ. එහෙත් මා ලොක්කෙකු කරන්නට උසස් අධ්‍යාපනය ලබාදෙන්නට ඔහු ගත් වෙහෙස මා හොඳින් දනිමි.

තාත්තාට දැනුම ඇතත් ලංකාවේ වලංගු වන්නේ කරදාසියකින් ලබන සුදුසුකම් බැවින් තාත්තා දැනුමැත්තෙක් ලෙස ඉදිරියට යාමේ අපහසුකම් තිබුනි. තාත්තා ඉදිකිරීම් අංශයේ ව්‍යාපෘති කරන විට රස්සාවක් නැතුව ගෙදර හිටි මට ඒ අංශයෙන් ඉදිරියට යන්නැයි ඉල්ලුවද මම මගේ සුපුරුදු පරිගනක අංශයේම ගමන් කලෙමි. අවසානයේ තාත්තා හාඩ්වෙයා එකක් දමා ගත් අතර මම සොෆ්ට් වෙයා කලෙමි.

පරිගනකයට තාත්තා ඇළුම් කරන බව මා දනිමි.  මීට මාස කිහිපයකට කලින් මම කුඩා පරිගනකයක් ඔහුට තෑගි කලෙමි. තාත්තා පරිගකයේ දැනගෙන සිටියේ යතුරු පුවරුව, මොනිටරය, මව් පුවරුව, සී ඩී රොම් එක වැනි කුඩා අංගයන් කිහිපයකි. මා කියාදුන් කුඩා පාඩම් ඔස්සේ තාත්තා දැනුම වර්ධනය කරගෙන අද වන වි‍ට අන්තර්ජාල පහසුකම් පවා අත් විඳියි.

මොබිටෙල් ලාගේ ඇනලොග් දුරකතන තාත්තා එකල භාවිතා කරන ලදී. පසුව ජී එස් එම් තාක්ෂනයත් සමග තාත්තා කුඩා දුරකතන භාවිතයට හුරුවිය. මට නොකියා 1100 එකක් අරන් දුන් තාත්තා ඉන් පසු මා ගන්නා සෑම දුරකතනයකම දෙවන පාරි‍භෝගිකයා විය. මම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවුනු පසුව තාත්තාට ස්මාර්ට් ෆෝන් ගැන පැහැදිලි අදහසක් තිබුනේ නැත. ඒ ටච් ගැන තිබූ අනිසි බිය නිසාය. වරෙක ඒ ගැන පැහැදිලි කල විට තාත්තා ස්මාර්ට් ෆෝන් එකකට මාරුවිය. දැන් ඔහු ඉන් බොහෝ දේ කරයි. අන්තර්ජාලයේ සැරි සැරීම, ඉ මේල් බැලීම, වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් වැනි දේ බැලීම ගූගල් මැප් එකෙන් යන එන ගමන් ට්‍රැක් කිරීම ඉන් ස්වල්පයකි.

“මගේ ෆෝන් එකේ ජීමේල් එක රිෆ්‍රෙෂ් වෙන්නේ නෑ” තාත්තාගෙන් පැමිණිල්ලකි. මම තාත්තාගෙන් දුරකතනය ඉල්ලාගෙන අන්තර්ජාල සැකසුම් බැලුවෙමි.
“ඔතනට ඔහොම යන්න එපා. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියනවා” ඒ තාත්තාය. මමවත් නොදන්නා ඒ සැකසුම් තාත්තා හොයාගෙන. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.
තාත්තා ඉපදුනේ තාක්ෂනික ලෝකයක නොවේ. මමද එසේමය. නමුත් මම ඒ ලෝකය හා වැඩකරන්නෙමි. තාත්තාද ඉතා හොඳන් ඒ ලොව ග්‍රහණය කරගන්නේ ඉගන ගන්න වයසක් නැති බව නැවතත් සපත කිරීමටයි.

ඒ මගේ තාත්තාය. මගේ ලෝකයේ රජ්ජුරුවෝ නුඹය. තාත්තේ මේ කුඩා සටහන නුඹ වෙනුවෙනි.

තාත්තේ ඔබට සුබ උපන්දිනයක්!

Monday, January 28, 2013

අපෙන් ගිලිහෙන ලාංකීය උරුමය.


අපි ලෝකයේ අටවැනි පුදුමය නිමකලෙමු. එදා අපි එහෙව් ජාතියක් වීමු. ඒ ගැන අපි තවමත් පාරම් බාන්නෙමු. ඒ එදා සහ අද ඇති වෙනසයි.

ලොව ඇති හොඳම මිනිරන් ඇත්තේ ලංකාවේදීය. නමුත් ශ්‍රී ලාංකීය පැන්සලක් සොයා ගැනීම ඉතා අපහසු කාර්යයකි. අපෙන් ලබාගන්නා මිනිරන් වලින් සාදා පිටරටින් ගෙනවුත් අපටම විකුනන පැන්සල් වාහන වලට යොදන ලිහිසි කාරක දේශීය නිශ්පාදන වලට වඩා අඩුවෙන් වෙළඳ පොලෙන් ලබා ගන්නෙමු.

අපේ ඇත්තේ ලොකුම දේවල්ය. වෙසක් එකට දෙන පුංචි සිසිල් බීම දන්සැල් පවා මහා එව්වා වන්නේ එබැවිනි. අප සතු මහා දේවල් බොහොමයක් එක්කෝ ඈත අතීතයේ ඉදිකල නිර්මාණයක්ය. මෑත කා‍ලයේ නිර්මාණයක් නම් එය අපට පිටරටින් ලැබුනු දෙයක් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව, සෙවනගල සීනි කර්මාන්ත ශෘලාව, ඔරුවල වානේ සංස්ථාව වැනි බොහෝ දේ ගැන කිවහැකිය.


මේ ලඟදී දවසක මා දුටු සීගිරිය ගැන දුටු අත්දැකීමකි  Sigiriya Sri Lanka - Made in China. මින් පෙන්නුම් කරන්නේ සීගිරිය නිර්මානය කලේ චීනුන් යන්නද? සියල්ල චීනයට යට වෙන සමයේ සීගිරියද චීනයට යටවුනා විය යුතුය. නැතිනම් පවසන්නේ මෙවන් කුඩා සුරුකුත්තමක් වත් ලංකාවේ නිපදවිය නොහැකි බවද? අතීතයේ අපි සීගිරිය වැනි ලෝක පුදුමයක් නිපදවූ නමුත් අද එවැනනක ඡායාරූපයක්වත් චීනය නැතුව අපිට නිපදවා ගත නොහැකිය.

අපේ අනාගත පරම්පරාව දකින්නේ මේ ඡායාරූපයි. ඔවුන් ලංකාවේ දකින්නේ චීනුන් ඉදිකල ගොඩනැගිලි සහ අධිවේගී මාර්ගයි. ලංකාවේ අද වැඩියෙන්ම භාවිතාවන වචනය ද Made in China වේ. ඉදින් තවත් වසර 50කින් පසු මෙය දකින දරුවෙකු සීගිරිය නිම කලේද චීනුන් යයි විස්වාස කරනු ඇත.

ලංකාවට ආදරය කරන සැමගේ අවධානය පිණිස සටහන් කරමි.

Monday, December 17, 2012

ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් කරපු හැටි

මේ කියන්න යන්නෙත් උසස් අධ්‍යාපනේ කාලෙ වෙච්ච දේවල් තමයි. ඒ දවස් වල අපි දෙවනි වසරෙ ඉන්නකොට තිබ්බ ලොකුම ඔළුව කැක්කුමක් තමයි කණ්ඩායම් ව්‍යාපෘතිය. (සිංහලෙන් ගෲප් ප්‍රොජෙක්ට්). ඒ අවුරුද්දෙ තිබ්බෙ ඊ-ජර්නලයක් හදන්න. (මට මතක විදිහට) මේ විෂයය භාර දීල තිබ්බෙ වඩුගේ සර්ට. (ඇත්ත නම දන්නා ඇත්තෝ මුවින් වදනක් නොපවසන සේක්වා) මෙතුමා මේ විෂයය හන්දම ලමයින් එක්ක මරාගෙන මැරෙන ආදරයෙක් තිබ්බ කෙනෙක්. ඉතින් ළමයින්ගෙත් මේ ආදරේ දෙගොඩ තලා ගිහින් වඩුගේ සර්ට ආදරෙන් කතා කලේ "ගල්වඩ්‍ඩා" කියල. ඒක සරුත් දැනගෙන හිටියා.

ඉතින් ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේෂන්  තිබ්බෙ මුළු පන්තිය ඉස්සරහම. ඔන්න එතින් අපේ ටීම් එක ගිහින් පටන් ගත්තා. වඩු‍ගේ සර් තමයි තව සර්ල දෙන්නෙකුත් එක්ක අපිව ඉවැලුවේට් කලේ. අපේ වැ‍ඩෙත් නැගල යනවා. ඊට පස්සෙ පෙන්නන්න කිව්වා යූසර් ලොගින් රිපෝට් එකක්. ඉතින් අපි එහෙම එකක් හදල තිබ්බා. අ‍පිත් ඉතින් පොරවල් වගේ රිපෝට් එක පෙන්නුවා.

User ID                User Name              Login Date      Login Time
1                          Gal Wadda              2003-8-1         4:23:36 pm
2                          Hora Gediya            2003-8-2         8:26:56 am
1                          Gal Wadda              2003-8-2         9:13:36 am
1                          Gal Wadda              2003-8-2       10:22:30 pm
1                          Gal Wadda              2003-8-3         3:14:11 pm
3                          admin                       2003-8-3         5:28:45 pm
1                          Gal Wadda              2003-8-3         9:23:39 am
1                          Gal Wadda              2003-8-3         12:25:37 pm

අපිත් ඉතින් මේ රිපෝට් එක බලයි කියල හිතුවෙත් නෑ. ඒ අපේ ප්‍රසන්ටේෂන් එකේ අවසාන ජවනිකාව.

ඊට පස්සෙ තවත් ටීම් එකක් ප්‍රසන්ටේෂන් පටන් ගත්තා. හැම අතුරු මුහුණතකම මල්, මල් වැල්, කොළ එහෙම. අපිත් හොල්මන්. පස්සෙ බලනකොට තමයි වැඩේ දන්නෙ. ඒ ටීම් එකේ ඉඳල තියනවා ප්‍රො‍ජෙක්ට් එක කොයි වගේද කියලවත් දන්නෙ නැති යාළුවෙක්. (එහෙම වුන් ඕනෙ තරම් ඉන්නවනෙ) . ඉතින් ප්‍රසන්ටේෂන් එකට කලින් දවසෙ පොර ඇවිත් මොනවද කරල තියෙන්නෙ බලන්න. ටීම් ලීඩ්ට මල පැනල උට අතුරු මුහුණත් ටික හදන්න දීල. (සිංහලෙන් යූසර් ඉන්ටර්ෆේස්). මූත් වැඩේ බාරගෙන. ඒත් ඌ දන්න විදිහට තමයි හදල තියෙන්නෙ. ලස්සන  කරන්න කිව්වහම කරල තියෙන්නෙ මල් වැල් එහෙම දාල කරන්න කියල හිතල. ඒ ටීම් එකෙත් වැඩ එතනින් ඉවරයි.

Friday, November 23, 2012

ස්ලිට් එකේ අළුත් නංගිලා මල්ලිලා වෙත ලියන වග නම්...


තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය ව‍සරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුදුසු කාලය බව මට වැටහුනේ සුදාරක මල්ලීගේ ට්වීට් කිහිපයක් දැකීමෙනි. මගේ මේ ලිපියේ අරමුණ ආයතනය විවේචනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු අපි කෙටියෙන් ස්ලිට් කියා හඳුන්වන ආයතනයයි. මේ ආයතනය හා මගේ බැදීම ආරම්භවන්නේ මා පාසල් ශිෂ්‍යයයෙක්ව සිටිනා සමයේ‍දී මේ ආයතනයට මුල් ගල් තැබුණු දා පටන්ය. මම පාසල් ගියේ ස්ලිට් එක ඉදිරියෙනි. මෙතන හැදෙන්නේ කුමක් දැයි නොදනිතත් මොනවාහෝ අමුතු දෙයක් සිදුවන බව නම් දැනී තිබුණි. අවසානයේදී මේ සෑදෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයක් බව මම දැනගතිමි.

ලංකාවේ කාලයෙන් කාලයට රැලි පැමිණේ. අපි සාමාන්‍ය පෙළ කල සමයේ අපිට තිබුණේ ඉංග්ලිෂ් කෝස් රැල්ල සහ කොම්පියුටර් කෝස් රැල්ලයි. මේ රැලි වලට හසුනොවී උඩුගම් බලා පිහිණුවෝ වෙත්නම් ඒ අතේ ඇඟිලිවලටත් වඩා අඩු පිරිසකි. එසේ ගිය කෝස් වලට සහ ඉසිපතනයේ එවකට විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ පාසල් පරිඝනක විද්‍යාගාර සංකල්පයට  පිං සිදුවන්නට පරිඝනකයක් හැසිරවීමට මම දැනගෙන සිටියෙමි. රැකියාවන් වලදිද මෙවැනි රැලි බොහොමයක් ලංකාවේ විය. සිංහලෙන් ජොබ් ට්‍රෙන්ඩ් එක කියා තේරෙන බාසාවෙන් කියන්නේ එයයි. අයි ටී ජොබ් රැල්ල - එච් ආර් ජොබ් රැල්ල - සප්ලයි චේන් ජොබ් රැල්ල තුල අදටත් තම නම කැත නොකර තියාගත් රැල්ල වන්නේ අයි ටී රැල්ලයි.

තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගීමත් සමගම මට එහි පළමු ශිෂ්‍යය කණ්ඩායමට ඇතුලත් වීමේ ආසාවක් පැන නැගුනි. තරමක් අසීරු අභි‍යෝගතා පරීක්ෂණයකට පසු මම එහි යාමට තෝරාගැනුනි. නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් එම ආසාව දෙවන ශිෂ්‍යය කණ්ඩායම දක්වා පහලට ගියේය. මගේ පියා මහාලොකු සල්ලි කාරයෙක් නොවුනත් ඔහු ඒ සඳහා කෙසේ හො මට මුදල් සපයා දුන්නේය.

අපි මාලඹේට දෙවැනි බැච් එක වීමු. අපේ සීනියර් බැච් එකේ හිටියේද අපි වැනිම අය විය. බොහෝ සල්ලිකාරයන්, ලොකු ලොක්කන්ගේ ඇමති මැති ගොල්ලන්ගේද පුතාලා දුවලා අපේ බැච්වල විය. කොළඹාසන්නයේ නොව හද්දා පිටිසර ගම් වලින් පැමිණියෝ අයි ටී ආරම්භ කළහ. උසස් පෙළ ගණිත විශයය මේ සඳහා පිටිවහලක් වූ නමුත් අනිවාර්යය නොවූ බැවින් අනෙකුත් විශයය ධාරාවන් කළ අයත් මෙයට පැමිණ සිටියහ.

ඉතාමත් ඉක්මණින් විශයය නිර්දේශ වෙනස් කිරීම, ගැලපෙන රටාවට අනුව ඒවා පවත්වාගෙන යාම මෙහි තිබූ සුවිශේෂම සිද්ධිය විය. ආරම්භයේ පටන්ම ඒ සඳහා නිදර්ශක සැපයූවෝ වූයේ අපිත් අපේ සීනියර් බැච් එකත්ය. ලැබ් රැට්ස්ලා වීම දරාගත නොහැකිවූ තැන ඇතැමුන් මෙම විශයය පථයෙන් ඈත් විය. වාසනාවකට මෙන් අපේ බැච් එකෙන් පසුව එවැනි නිදර්ශක සැපයීමක් නොවුනි. ඒ හේතුව නිසා අපෙන් පසුව එක්වුන බැච් වලට අපට වඩා හොඳ දැනුමක් විය. එම නිසා එකල ලංකාවේ කල හැකිව තිබූ ‍අනෙක් අයි ටී ඩිග්රිය වූ බිට් එකට වඩා සැතපුම් ගණනක් අපි ඉදිරියෙන් සිටියෙමු.

රැල්ලට අසුව පිස්සු කෙලින්නන් එහි සිටියේ අද ඊයෙක නොවේ. එකලද එවැනි පුද්ගලයෝ දෙමාපියන්ගේ මුදල් භක්ෂණය කරමින් සිටියහ. එහෙත් ඉන් බොහොමයක් අය අවසානයේ මහන්සිවී වැඩකර ගොඩගිය අතර ඉතාමත් සුළු පිරිසක් අතරමග නැවතුනි. ඒ නැවතුනේ දෙමාපියන්ගේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කාලය කා දැමීම උදෙසාම මෙහි පැමිණි අයයි. දැන් වැඩිපුර ඇත්තේ එවැනි අයයි.රැල්ලට අසුව විනාශ මුඛයට ගිය ගැහැණු දරුවන් බොහොමයක් ඈත ගම් වලින් කොළොම් තොට පැමිණියෝ වෙති. ඕව්හු ගමට වඩා නගරයේ ඇති අරුමෝසම් වලට වශීවූවෝ වෙති. ඒ මාතෘකාව ඇතියයි හැ‍ඟේ.

අපිත් අපේ සීනියර් බැච් එකේ අයත් අතර තිබ්බේ බොක්කේ ෆිට් එකකි. ඒ නිසා අපිට රැග් තිබ්බේ නැත. රැග් අවශ්‍යය වුයේද නැත. සුළු සිද්ධියක් ඇරෙන්නට එවැනි දේ වාර්තාවූයේද නැත. ‍හැබැයි ඉතින් කෙල්ලෝ නිසා ඇතිවූ වලිද නැතිව නොවේ. අදටත් අපේ සීනියර් එකෙක් ඉන්න තැනක අපිට බය නැතුව හලෝ මචං යයි ඇමතිය හැකිය. කොච්චර ෆිට් එකක් තිබ්බත් උන් අපේ සීනියර් උන් හන්දා අපේ හිතේ ගෞරවයක් නිතරම තිබුණි. අවාසනාවට අපේ බැච් වලින් පසු එකී සුහදතාවය බැහැර වීමට පටන් ගැනුනි. ඒ නිසා අපේ ජූනියර් බැච් වල බොහෝ දෙනාට අපට එළියේදී මුහුණ දීමට අපහසුතාවයක් තිබේ.

අපිට මහා ශිෂ්‍යය සංගම් තිබුනේ නැත. තිබ්බේ  හැම බැච් එකක්ම නියෝජනය වන පරිදි සාදාගත් පොඩි ඇළුමිනි සොසයිටියක් පමණි. අවශ්‍යය ක්‍රීඩා පහසුකම් ලබාගැනීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න කතා කිරීම, ඇනුවල් ට්‍රිප් එක, ගෙට් එක, පැදුර ඕගනයිස් කිරීම එහිදි සිදුවිනි. (දැන් නම් පැදුරක් තියනවාදැයි නොදනිමි.)

අපිට තිබ්බේ එක ගොඩනැගිල්ලක් පමණි. එක ඩිග්‍රියක් පමණි. අපට හොඳ දේශකයන් සිටියහ. නුවන් සර්, කෝලිය සර්, ප්‍රදාහිනි මැඩම්, චන්ද්‍රිකා මැඩම් වැනි ගුරුවරු අදටක් අප අතර ජනප්‍රිය අය වෙති. එකල වයසින් මුහුකුරා නොගිය අපි ඇතැම් විට ඔවුන්ගේ අවවාදයන් තුට්ටුවකට වත් මායිම් නොකලද කෙලවූ පසුව අපි ඒවා පිළිපැද්දෙමු. සමහර දේවල් අදටත් අපට ප්‍රයෝජනයට ගනිමු. පාරකදී ගුරුවරු දුටුවිට ගොස් කතා කරන්නෙමු.

අපිට බොහෝ පහසුකම් තිබුනේ නැත. පිට්ටනියේ ක්‍රිකට් ගැසීමට බැරි නම් අපි පා‍රේ ක්‍රිකට් ගැසුවෙමු. බේස්මන්ට් එකට කැරම් බෝඩ් ආවේ අපි අවුට් වීමට ආසන්න කාලයේය. අපිට හැටහුටාමාරක් ක්‍රීඩා තිබුනේ නැත. ඒවාට එවැනි පහසුකම් තිබුනේද නැත. අපි ඒවා ඉල්ලමින් පස්සෙන් නොගියෙමු. හැබැයි හැකි හැම දෙයක්ම ආයතනය අපිට ලබා දුන්නේය. අපිට හොඳ රගර් කණ්ඩායමක් තිබුණි. නවාස් අයියා සිටි කණ්ඩායම එකල බොහෝ ජයග්‍රහන ආයතනයට සපයා දුනි.

ඒ දවස් වල එන් අයි බී එම් එක ඇරුනහම මෙවැනි ආයතන තිබ්බෙ මේක විතරයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය  සම්බන්ධයෙන් ඉතාම හොඳ තරඟයක් දෙන්න මේ ආයතනයට හැකිවුනා. ටීවී එකේ පැය විසිහතරෙම ඇඩ් දාන්නෙ නැතුව ළමයි ගන්න දවස් වලට පත්තරේ දාන එක ඇඩ් එකකින් ළමයි දාහක් විතර ගන්න ස්ලිට් එකට හැකිවුනා. වෙළද පල ඒකාධිකාරය කියන කාරණේ මෙතනට අදාල නෑ. ඒත් මේ තත්ත්වය යටතෙදි හිටපු ළමයි එලියෙදි මුහුණ දුන්න සිද්ධි ගොඩක් තියනවා. මෙතන තියෙන්නෙ මම එහෙම පෞද්ගලිකව මුහුණ දුන්න එකක්. ඒ වගේ හුඟක් දෙනෙක් මුල කාලෙ අපි දිහා බැලුවෙ එහෙමයි. මම ඉස්සර වැඩකරපු නම් දරාපු ආයතකයක කළමනාකාර පුහුණුවන්නන් (සිංහලෙන් මැනේජ්මන්ට් ට්‍රේනීස්) ගන්න වෙලාවෙ ඒ ගොල්ලො කියපු දෙයක් තමයි ස්ලිට් ඩිග්‍රිය අපි සලකන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ මමත් ස්ලිට් එකේ ඉගනගන්න කොල්ලෙක්. ඉතින් මටත් ඒ ගැන තර්ක කරන්න අයිතියක් තිබ්බ හන්ද මම ඒ වෙලාවෙ කතා කලා. ඊට පස්සෙ ඒ අය ඒ දේ පිළිගත්තා. මේ වගේ දේවල් ඒ කාලෙ ඕන තරම් වුනා. (දැනුවත්ව).

ඒ දවස් වලත් ලංකාවෙ අයි ටී කරපු අය අතරෙ පොරවල් වෙලා හිටියෙ මොරටු විශ්ව විද්‍යාලය. තොරතුරු තාක්ෂණ ලොවේ පිළිගත් ආයතන හැම එකම වගේ තමන්ගෙ රැකියා විතරක් නෙමෙයි සීමාවාසික පුහුණුවට (සිංහලෙන් ඉන්ටර්න්) මොරටුවෙන් කට්ටිය තෝරාගෙන පස්සෙ කොළඹ ආදි විශ්ව විද්‍යාලවල සිසුන්ට පසුව ස්ලිට් එකේ අයගෙන් තමන්ගෙ අඩු පුටු පුරවගන්න. ඒකෙ වැරැද්දක් නෑ. මොකද ස්ලිට් එක ගැන හුගක් දෙනෙක් දන්නෙ නැති හන්දා. පස්සෙ ඒ අඩු පුටු පුරවන්න ගත්ත ස්ලිට් එකේ වැඩ්ඩො හන්ද ස්ලිට් එක ගැන තිබ්බ හුගක් අදහස් වෙනස් වුනා කියන්න පුළුවන්. අදටත් ඒ ආයතන වල ඒ අවස්ථා හුඟක් හම්බ වෙන්නෙ මුලින් ගිහින් නම හදාගත්ත අය හන්දා තමයි.

ස්ලිට් එකෙන් එලියට එන හැමෝම වැඩ්ඩො නෙමෙයි. ඒක කියන්නම ඕනෙ. එක එක මට්ටම් වල අය ඉන්නවා. හුඟක් අය මොරටුවෙ අයත් එක්ක සංසන්දනය කරන්න යනවා. (හැබැයි මොරටුවට වඩා වැඩකාරයෝ ඉන්නවා. ඒක ඔප්පු කරලත් තියනවා). මොරටුවෙ ඉන්නෙ උසස් පෙලින් ඉහලම ලකුණු ගත්ත අය. ඒත් එහෙම නොවුනා කියල ස්ලිට් එකෙත් වෙනසක් නෑ. මොරටුවෙන් 50ක් විතර එලියට එනකොට ස්ලිට් එකෙන් 600ක් විතර එනවා. ඉතින් එලියේ හොඳ තරඟයක් තියනවා. ඒ හන්දා හුඟක් අයට රස්සාවල් නැති වෙනවා. ස්ලිට් එක ගැන කවුරුත් නොදන්න කාලෙ සමහර උපාධිධාරීන්ට මොන්ටිසෝරි වල උගන්නනන්න වුනේ ඒකයි. ඒත් අද තත්ත්වෙ සෑහෙන්න වෙනස්. අපෙන් පස්සෙ සමහර බැච් වල සමහර අයට නෙට්වර්ක් ඩිග්‍රිය තියා‍ගෙන කිව් ඒ හැටියට වැඩකරන්නත් වුනා.

අපි ඉස්සර හිටිය වගේ සරල සුන්දර වටපිටාවක් දැන් නෑ.ඉස්සර අපි කවදාවත් කොට කලිසම් ඇඳගෙන හවසක වත් ඕක ඇතුලට ආවෙ නෑ. ඉගන ගත්ත තැන පූජනීයත්වයෙන් තියාගත්තා.   අපිට තිබ්බ එකම බිල්ඩිං එක‍වෙනුවට දැන් හුඟක් බිල්ඩිං සහ පහසුකම් තියනවා. අපිට තිබ්බ එකම ඩිග්‍රිය වෙනුවට හුඟක් තේරීම් තියනවා. ( එස් බී ඇමතිතුමාට අනුව නංගිලාට නම් තවත් තේරීම් තියනවා) අපිට රට යන්න වුනොත් ඒ දවස් වල තිබ්බෙ කර්ටින් එක විතරයි. ඒත් අද හුඟක් රටවල් එක්ක ස්ලිට් එක අත්වැල් බැඳන් ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කාලෙ ස්ලිට් එක ඇතුලෙ පොලිටික්ස් තිබ්බෙ නෑ. (දැන් කොහොමද දන්නෙ නෑ) අපිට ලැබ් වල හොඳ මැෂින් තිබ්බා. ඒවායෙන් උපරිම වැඩකලා. ඒ දවස් වල අපිට වෙන්කරල තිබ්බෙ මෙගාබයිට් 2ක් විතර පොඩි ඉඩක්. (දැන් ඇහුවහම නම් හිනා යනවත් ඇති).

අන්තිම වශයෙන් කියන්න ඕනෙ. මම මේ ලිපිය ලිව්වෙ මගේ අත්දැකීම් එක්ක. හැමෝගෙම අත්දැකීම් එක වගේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. සමහරු මට කෑගහයි මොරටුව උන් එක්ක තියන තරහ පිරිමහ ගන්න මම මේක ලිව්ව කියල. මට මොරටු උන් එක්ක කිසි තරහක් නෑ. මම අදටත් මොරටු උන් එක්ක වැඩකරනවා. මගේ ලිපියේ අරමුණ එදා සහ අද ගැන අදහසක් (මට හිතුන) ඉදිරිපත් කරන එක විතරයි. මේ ලිපියෙ තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. ඒත් දිගවැඩි හන්දා ලියන්නෙ නෑ.

කොහොමත් ගිය වැ‍ඩේ කරගන්න එක තමන්ගෙ වැඩක්. විසිකරන්න සල්ලි තියනවනම් කිසි ප්‍රශ්නයක් නෑ. 

Monday, November 19, 2012

අයං රේසිං කාර් කාලෝ - (මේ රේසිං කාර් සමයයි)


අතීත කතා වස්තුව

මගේ ආතා (සීයා) මෙලොව ඉපදී සුළු කාලයකින් පළවෙනි ලෝක යුද්ධය ඇරඹිනි. සන්නිවේදන තාක්ෂණයේ ඇති නොදියුණු බව නිසාම ඔවුන් යුද්ධය ගැන දැනගත්තේ පසුව යයි මම අනුමාන කරමි. නමුත් ය‍ටත් විජිත වාදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ඉක්මනින් යුද්ධය ගැන ලාංකිකයන් දැනගන්නට ඇත. ලෝකයේ අනික් දේවල් ගැන මද දැනීමක් තිබුණු මගේ ආතාගේ උපන් දිනයවත් ආතාගේ තාත්තා හරි හැටි දැන නොසිටින්නට ඇත. එහෙයින් ආතාට ලැබුණු උපන්දින තෑගි ගැන වඩා හොඳ අදහසක් මෙය කියවන ඔබට ගත හැකිය.

මගේ තාත්තා මෙලොව ඉපදීමය වසර කිහිපයකට කලින් දෙවැනි ලෝක යුද්ධය නිමවී තිබුණි. තාත්තාට ඒ ගැන මතකයක් නැති අතර ඒ ගැන මගේ ආතලා හොඳින්ම දන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇතිවූ ආර්ථික අහේනියත් ඉන් ලංකාවට බෝම්බ දැමීමත් නිසාය. ආතාටද දරුවන් හත් දෙනෙක් සිටි නිසා බඩපිස්සා වූ තාත්තාගේ උපන්දිනය මතක නොසිටින්නට ඇත. ආතාගේ අතෙහි දැවටෙමින් සිටි සමයේදී මා දැනගත් දෙයක් වූයේ ආතාගේ මතකයේ බොහෝ දුරට ඇත්තේ තම දරුවන්ගේ උපන් වර්ෂය පමණක් බවයි. ඉඳින් අපේ තාත්තාගේ උපන්දිනයටත් ලැබුණු තෑගි ගැන පෙර සේම අදහසක් ඔබට ජනිත වනු ඇත.

වර්තමාන කතා වස්තුව
පළමු ඊලාම් යුද්ධය ඇරඹිමට මද කලකට පෙර මම මෙලොව උපත ලද්දෙමි. ලෝකයේ තාක්ෂණික දියුණුවක්ද ඇතිවී තිබූ අතර ජේ ආර් සීයාගේ විවෘත ආර්ථික මෙව්වා එක හමුවේ අපේ රට සුරපුරයක් වීම ආරම්භ වී තිබුණි. තාත්තලාගේ කාගේ තිබුණු, තාත්තලාට ආතලගෙන් උපන් දින තෑගි වලට නොලැබුණු තාත්තලා සාදාගත් කොස් කොල තොප්පි, කුරුම්බැට්ටි මැෂින්, බට තුවක්කු වෙනුවට කැප්, සෙල්ලම් කාර්, සෙල්ලම් තුවක්කු එලිබැස තිබූ යුගයක, ඇතැම් එවැනි සෙල්ලම් බඩු උපන් දින තෑගි ලෙස තාත්තාගෙන් ලැබීමට මම වාසනා ලදිමි. මතක ඇති කාලෙක මම කටින් නොයිල්ලුව නමුදු තාත්තා මට අරන් දුන් සෙල්ලම් කාර් දෙකතුනක් සහ ජිරාෆියෙක් අදටත් මා පරිස්සම් කරන්නේ මැණිකක් රකිනා නයෙකු මෙනි.

දැන් ලංකාවේ යුද්ධයක් නැත. (තිබ්බා දැයි මතකද නැත). තොරතුරු තාක්ෂණය කෙළ පැමිණි යුගයකි. අපේ රටේ ජනාධිපති නොව ඇමරිකා ජනාධිපති පත් කිරීමද අපිට සජීවීම නැරඹිය හැකිය. පිටරට වාහනයක් සාදා නිම කල විට ලංකාවේ සිට එය ගෙන්වා ගත හැකිය. එය පැමිණෙන නැව සාගරයේ ඇති තැන නිච්චියටම කියන්න දැන් තාක්ෂණය දියුණුය.

අනාගත කතා වස්තුව
තවමත් මම තාත්තා කෙනෙකු නොවෙමි. එසේ වුවත් මට දරුවාගේ උපන්දිනය අමතක වීමට හේතුවක් නොමැත. මන්ද යත් ෆේස්බුක් එකෙන් හෝ ස්මාර්ට් පෝන් එකෙන් එන රිමයින්ඩර් එකකින් එය මට දන්වනු ඇත.

මගේ දරුවා පිය නගන්නේ අමුතු ලෝකයකටය. ලැජ්ජාව, බය, මිතුරු දම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, ඉතිරිකිරීම, අනාගත දැක්ම, අධ්‍යාපනය වැනිදෑ ඒ අමුතු ලෝකයේ සොයා ගැනීමට අපහසු වනු ඇත.මා ඉගනගන්නා සමයේ මම සයන්ටිෆික් කැල්කියුලේටරයක් භාවිතා කලේ (ඒකත් ඉල්ලගෙන)විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේ වුවත් මගේ දරුවා ලැප්ටොප් එකක් (ඒ කාලෙට එහෙම එව්වා තියේද දන්නේ නැත) ඉල්ලනු ඇත්තේ මොන්ටිසෝරියේ මැද භාගයේදී විය හැක. (ඇතැම්විට ඊටත් කලින් වනු ඇත). මා ජංගම දුරකතයක් භාවිතා කලේ නොකරාම බැරි අවස්ථාවක ගෙදරට කතා කිරීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අග භාගයේ වුවත් මගේ ලමයා අයි ෆෝන් එකක් හෝ අයි පෑඩ් එකක් මගෙන් ඉල්ලනු ඇත්තේ පාසල් යාම ඇරඹීමත් සමගමය.

මා උපයන ධනය මගේ දරුවා සඳහා මදිවනු ඇත. මම මරුටියක් ගත්තේ ලීසින් එකක් දමා තවත් බොහෝ ජංජාල සිදුකර අවසානයේ දීය. නමුත් මගේ ලමයාගේ කාලය වන විට මරුටි ලංකාවෙන් අතුගෑවී ගොස් ඇත. තිබෙන බදු සහන සමග මගේ දරුවා රේසින් කාර් එකක් ඉල්ලන්නේ තම 16 වෙනි උපන් දිනයට පෙම්වතිය බැලීමට යාමට විය හැකිය. ඒ ඉල්ලීම් ලබා නොදුන හොත් මට විරුද්ධව උසාවි යාමට ඔහු පසු බට නොවනු  ඇත. ඇතැම් විට ඔහු එම රේසිං කාරය ඉල්ලනු ඇත්තේ තම පෙම්වතියටද විය හැකිය. එවිට මගේ ආතා මිය යනතුරුත් දෑසින් නොදැකි, මගේ තාත්තා රූපවාහිනියෙන් දැකි, කුඩා කල මම කෙළිබඩුවක් ලෙස සෙල්ලම් කල රේසින් කාරයක් මගේ දරුවාට ඇත්තටම අරන් ‍දෙන්නට වෙනු ඇත.

බුදුන් වහන්සේ පැවසුවේ "අප්පමාදෝ අමත පදං" යනුවෙනි. එනම් අප්‍රමාදව කුසල් රැස් කරන්න යනුවෙනි. මවිසින් දැන්ම තියා අප්‍රමාදීව මුදල් රැස් කල යුතුවන්නේ නූපන් දරුවාගේ  අනාගතයේ ඇතිවිය හැකි "අහිංසක" ආසාවල් වෙනුවෙනි.

මගේ උපන්දිනයකට මම තාත්තාගෙන් ලැබුණු ප්ලාස්ටික් කාරය තවමත් සුරතල් කරමින් සිටිමි.

Tuesday, November 13, 2012

ආයෙත් ඒ සුන්දර ට්‍රැෆික් රාලහාමිලා ගැන කියන වග නම්


කාලෙකට පස්සෙ ඊයෙ මල්ලිලා දෙන්න එක්ක කතා කරන්න සෙට් වුනා. ගෙදර එන්න පරක්කු වෙච්ච හන්ද මාතෘකාව වුනේ ට්‍රැෆික් එක.
"දැන් නම් ඉතින් ට්‍රැෆික් අඩු වෙන්න ඕනෙ. මොකද ට්‍රැෆික් ලයිට් එක ගාව හිටපු රාලහාමිල අයින් කරල"
එක මල්ලි කෙනෙක් කිව්වා.
"ට්‍රැෆික්  ලයිට් ගාව විතරක් නෙමෙයි ඉතුරු තැන් වල ඉන්න එවුන් ටිකත් අයින් කරන්න ඕනෙ ට්‍රැෆික්  හරියන්න"
ඒ අනිත් මල්ලි.
"ට්‍රැෆික් ලයිට් හදල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ ඉන්න මහාචාර්ය වරු එකතුවෙලා. අවුරුදු ගානක පරීක්ෂණ කරල. ඉතින් ඒ මිනිස්සු හදපුවා යට ඉඳන් අට පාස් රාලහාමිලා වාහන යවනවා"
ආයෙත් මල්ලි.

ඉතින් ඔන්න ආයෙත් පොලිස් කතා ඇදෙන්න පටන් ගත්තා. නිකන් පොලිස් නෙමෙයි ට්‍රැෆික් පොලිස්. ඉතින් මේ ඒ දෙක තුනක්.

දවසක් එක මල්ලි කෙනෙක්ගෙ ඔෆිස් එකේ ලොක්කෙක් වාහනේ එලවගෙන යන ගමන් කෝල් එකකට උත්තර දෙන්න පටන් අරන්. (වැඩේ වැරදියි තමයි) ඉතින් රාලහාමි කෙනෙක් දැකල නවත්තල. වාහනෙන් බැහැපු ලොක්කා රාලහාමි ගාවට ගිහින් මෙහෙම කිව්වලු.
"අනේ සර් වැරදි වැ‍ඩේ තමයි සර්. පොඩි හදිස්සි කෝල් එකක් ආවා සර්"
රාළහාමි බොහොම බැරෑරුම් කමට බලලා කිව්වලු
"මහත්තයා කතා කරන්න දන්නවා ඒක හන්දා යන්න" කියල.

තවත් දවසක් මල්ලිගෙ යාළුවෙක්  බයිසිකලේක යනකොට රාලහාමි කෙනෙක් නවත්තල ලයිෂන් එක ඉල්ලලා. යාළුවා නහයෙන් අඬනවලු.
"අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි"
රාළහාමිත් ගේම අතාරින්නෙ නැහැල්ලු.
"දෙනව ලයිසන් එක. මට නහයෙන් අඬ අඬ ඉන්න බෑ"
යාළුව කියන්නෙ එකම දෙයයි.
 "අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි. බෑ රාලහාමි ලයිසන් එක දෙන්න බෑ රාලහාමි"
මේ හෙට්ටු කෙරිල්ල හත් අට වතාවක් වුනාලු. අන්තිමට යාළුවගෙ කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන රාලහාමි "යනව යන්න" කියල යාළුවව එළව ගත්තලු. හැබැයි ඒ යාළුවට දෙන්න ලයිසන් එකක් තිබ්බෙ නෑ කියල රාළහාමි දන්නව නම්....

ළඟදි වෙච්ච සිද්ධියක් මම කලින් පෝස්ට් දෙක තුනක දාල තියනවා. අයියගෙ මගුල් දවසෙ වෙච්ච සිද්ධිය මෙතනිනුත්, වාහන ටින්ටඩ් කරපු සිද්ධිය මෙතනිනුත් අළුත්ම සිද්ධිය මෙතනිනුත් බලාගන්න.

මේ ශ්‍රී ලංකා පොලිසියයි. පොලිසිය මට නඩු දායිද දන්නෙ නෑ. මට නඩු දාල හරි පොලිසිය හැදෙනව නම්..

Tuesday, October 23, 2012

පොලිසිය ලංකාවේ පොලිසිය


ඇත්තම කිව්වොත් ලංකාවේ පොලිසියට හැදෙන තරම් කතා තොගයක් මේ ලෝකයේ කිසිම පොලිසියකට හැදී නැතුවාට කිසිම සැකයක් නැත. ඉරාජ් තම සින්දුවෙන් කියන්නෙත් එවැනි දෙයකි. මෙවැනි දේවල් වැලැක්වීමට පොලිසිය තුලින්ම පියවර නොගැනීම තුලින් අපිට දිගටම කතා කියන්න වාතාවරනක් සැකසී ඇතිබව අපි පවසන්නේ හද පිරි සතුටිනි.

පොලිසිය ගැන මට කියන්න තියන අළුත්ම කතාව සිද්ධ වුනේ මේ ළග‍දී දවසක මම නුවර යන අතරතුර දීය.එම කතාපුවත සැකෙවින් මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

මමත් යාළුවාත් කයියක් දා ගෙන පාරේ යන අතරතුර අව්කන්නාඩි දාගත් රාළහාමි කෙනෙක් මාගේ වාහනයට අත දැමුවාහුය. ඉදින් උදේ දහයටත් මේ සා අවුරශ්මියක් විද දරාගත නොහැකි සද මොවුන් කුමන තරම්වූ කාර්යය භාරයක් පොලිසිය වැනි ගාම්භීර ආයතනයක කරනු ලබත්හුදැයි මා හා මා මිතුරා සිතුවාහුය. මා ඉදිරිපසින් හා පසු පසින් නවත්වා ඇති රථ දැකුමෙන් එම පොළිස්  රාළහාමියෝ කුමන ආකාරයක වාහන භීතිකාවකින් පෙලෙන්නේදැයි මා සැක කලෙමිය. ඉදිරි පසැ රථය ඩීමෝ බට්ටෙක්යැ. මා සතුවන්නේ සුන්දර මරුටියැකි. මා පසුපස වන්නේ ටාටා නැනෝවකි. එමැ පොලිස් නිළධාරී තොමෝ කුඩා වාහන භීතිකාව නැමැති රෝගැයෙන් පෙලෙන්නේ යයි මට වැටහී ගියේ වාහන දුටු අවසැනය.පොලිස් තොමෝ මා අසැලට නොපැමිණියාහුය. 

ඉක්බිති අනෙක් රථාචාරීන් සිදුකලාක් මෙන් මම තොමෝ බලපත්‍ර කඩැදාසී අතැතිව රියෙන් බැසැ පොළිස් තොමෝ අසලැට ගෑටුවාහුය.

පොලිස් තොමෝ බලපත්‍ර කඩැදාසී දෙස ඇස් කොනකින් වත් නොබලා මහ හඩින් ගර්ජනා නොකැට මා ප්‍රශ්න කිරීමේ කටයුත්තේ යෙදුනහ.

"යුෂ්මත තමා රථයේ පැමිණියේ සීට් බෙල්ට් පැළදගෙනදැයි"පොලිස් තොමෝ මගෙන් ඇසුවාහුය
මම එසේයයි පිළිවදන් දු‍න්නෙමි.

එසේ නම් යුෂ්මතාට නැවත ගමන් ආරම්භ කල හැකියයි පොළිස් තොමෝ පැවසුවාහුය.

ඉදින් මම නුවර ගොස් සිරි නැරඹුයෙමි. මා සීට් බෙල්ට් පැළද සි‍ටියාදැයි ම මුඛයෙන් අල්ලාගනු රිසියෙන් ඔවුන් ප්‍රශ්න කලබව මා හට වැටහුනේ ප්‍රමාදවැයැ. මා‍ගේ ජන්ම පත්‍රයේ කාලය නිවැරදි වු නිසා ම මුඛයෙන් නිවැරදි පිළිවදන් පිටවිය.

අහෝ පොළිසියැ!.

Tuesday, October 09, 2012

ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුදුපිලිමය


කාලෙකට පස්සෙ ගෙදර අය චාරිකාවක් යන්න සූදානම් වුනා. ඒ සෝමාවති පුදබිමට. ඒ යන අතරතුරේ කුරුණෑගල ඉදිවෙන ලංකාවෙ විශාලම ශෛලමය සමාධි පිළිම වහන්සේ බලන්නත් අමතක කලේ නෑ.
මේ ශෛලමය පිළිමය තියෙන්නෙ කුරුණෑගල දඹුල්ල පාරෙ. රිදීවිහාරය පිහිටලා තියන ඉසව්වෙම තමයි. විහාරයේ නම රම්බඩගල්ල මොණරාගල විහාරය.





විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි හාමුදුරුවන්ගේ අදහසක් අනුව මේ පිළිමය 2002 වසරේ සැප්තැම්බර් 13 වෙනි දින ඉන්දියානු ශිල්පියෙක් වන පද්ම ශ්‍රී නාමයෙන් පිදුම්ලැබූ ඇම් ඇම් ස්තපති මහතා විසින් ආරම්භ කලා. දැන් අවුරුදු 10 ක් පුරාවටම මේ පිළිමයේ ඉදිකිරීම් සිද්ධ වෙනවා. පිළිමයේ උස අඩි 67.5ක්.  ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශයෙන් පස්සෙ ඇතිවෙච්ච අදහසක් එක්ක මේ පිළිමය හසන්න පටන් අරන් තියනවා. දැනට වියදම ලක්ෂ 440ක්. දැන් නම් පිළිමයේ වැඩකටයුතු ‍හුඟක් අවසන්.
ඒත් පිළිමයේ වැඩ සම්පූර්ණ තරන්න තව අවුරුදු 1 1/2ක් විතර යනවලු.

පිළිමය ගැන නම් රසවත් කතා බොහොමයක් තියනවා. කුරුණෑගල පැත්තෙ යනව නම් මේ පන්සලට ගොඩවැදිලා ඒ කතාත් අහගෙනම යන්න. මේ විශාල නිර්මාණය කරන්න දැන් ඉන්දියානු ශිල්පීන් අට දෙනෙක් පමණ පැමින සිටිනවා. ඔවුනට ගෙවන වේතනයත් රැස්වෙන්නෙ පිළිමයට ලැබෙන ආධාර වලින් තමයි. මේ සුවිශේෂි නිර්මාණයෙ වැඩිවිස්තර දැනගන්න ඕනෙ නම්

වෙබ් පිටුව - http://samadhibuddhastatue.lk
දුරකතන අංකය - +94 372 252 018
ෆැක්ස් අංකය - +94 372 252 018
ජංගම දුරකතන අංකය - +94 712 282 003 (රත්නසිරි පියවංශ මහතා - මාධ්‍ය නිලධාරී)
විද්‍යුත් තැපෑල - info@samadhibuddhastatue.lk හෝ amaramoli@gmail.com

මෙම පිළිමයේ වර්ථමාන තත්ත්වය විදහා දැක්වෙන මගේ කැමරාවේ රැඳිච්ච ඡායාරූප පෙලක් මේ. 
 
 පන්සල පිහිටා ඇති උස් කඳුමුදුනට ගමන් කරන ගල් තලාව.


උත්තිටිඨේ නප්පමජ්ජෙය්‍ය



පිලිමයේ වර්ථමාන ස්වරූපය
 
පන්සල මළුවේ සිට ලබාගත් අසාර්ථක පැනෝරාමා උත්සාහයක්. (ඡායාරූප 04ක් එකතු කර සාදන ලදී)

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...