ඉදින් අපි ඩෙල්ෆ්ටි ගියෙමු. ඩෙල්ෆ්ටි යනු ඩොයිෂ් භාෂාවෙන් මෙම දූපත හදුන්වන නමයි. එය දෙමල භාෂාවෙන් නෙදුන්තිවු යනුවෙන් හදුන්වයි. මෙම දූපත යාපනය අර්ධද්වීපයට මදක් බටහිරින් වන්නට පිහිටි ඕවලාකාර හැඩයෙන් යුතු ලංකාවට අයිත් විශාලම දූපතකි. මෙම දූපතේ වර්ග ප්‍රමානය වර්ග කිලෝමිටර 50ක් පමණ වන අතර දිගින් කිලෝමිටර 8 ක් හා පළලින් කිලෝමීටර 6ක් පමණ වෙයි. මුළු දූපතම තැනිතලා වියලි ස්වභාවයක් ගනියි. ඩෙල්ෆ්ට් යනු අතිසුන්දර වෙරල තිරයක් මෙන්ම ශුෂ්ක දේශගුණයක් ඇති හිරිගල් රාජ්‍යයකි.
ඩෙල්ෆ්ට් යාමට සිදුවන්නේ නාගදිපයට බෝට්ටුවෙන් යාමට ගොඩවන කරිකට්ටුවාන් ජැටියෙනි. නාගදීපයට යාමට විනාඩි 20ක් පමණ ගතවුවත් ඩෙල්ෆ්ට් යාමට පැයක පමණ කාලයක් ගතවේ. කලින් මාර්ග සංවර්ධන අධිකාරියේ බෝට්ටුවකින් දුපතට ලගා වීමට හැකිවුවත් එම බෝට්ටුව අබලන් වීම නිසා අපට ගමන් කිරිමට සිදුවූයේ බඩු ප්‍රවාහනය කරන බෝට්ටුවකිනි. ගාස්තුව ලෙස රුපියල් 40ක් එක් අයකුගෙන් අයකෙරේ. නාවුක හමුදාවට අයත් නාවුක බෝට්ටුවකින් මෙම ගමන විනාඩි 15 කින් නිම කරගත හැකිය. දිනකට එක් වතාවත් මෙම බෝට්ටුව යාපනය හා ඩෙල්ෆ්ට් අතර ගමන් කරයි.
කරිකට්ටුවාන් ජැටියෙන් මගීන් 150 පමණ සමග පිටත්වු අපි පැයකට පමණ පසු ඩෙල්ෆ්ට් දුපතට ලගා වීමු. ඩෙල්ෆ්ට් ජැටියද ඉතාමත් සුන්දරය. පළමු දිනයේ ඩෙල්ෆ්ට් වලට ගොඩබසින විට මදක් සවස් වී තිබුන බැවින් ගමන් සියල්ල පසු දිනට කල් තැබුවෙමු. එදින රාත්‍රියේ අපගේ නවාතැන් පොල වුයේ ඩෙල්ෆ්ට් දුපතේ තිබු පල්ලියයි. වර්ෂ 1848 සාදන ලද මෙම පල්ලිය තුල පෙර පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. තවමත් හෝටල් හෝ නවාතැන් පහසුකම් නැති ඩෙල්ෆ්ට් දුපතේ නවාතැන් ගතයුතුවන්නේ පල්ලිය වැනි ස්ථානයකයි.
එදින රාත්‍රියේ සුරම්‍ය වෙරල තිරයේ ගිණි මැලයක් අටවා මාළු සමග පිට්ටු රාත්‍රි ආහාර ලෙස ගතිමු. සියළු තාරුකා පන්ති සහිත දර්ශණිය අහස්තලයන් එදින රාත්‍රියේ අපි දුටිමු. වෙරලේ රාත්‍රිය ගතකිරිමේදි හමුදාවේ සොයුරන්ගෙන් ලැබුණු සහයෝගයද අගය කළ යුතුයි.
පසුදා උදෑසනම වෙරල තීරයට අපි ගියෙමු. මිනිස් පහසින් නොයිදුල් සුරම්‍ය වෙරල තීරයක් ඩෙල්ෆ්ට් දුපත සතුය. ඒ මා මෙතුවක් දුටු සුන්දරතම වෙරලයි. රාත්‍රියේ මුහුදු ගිය බෝට්ටුද පැමිනෙමින් තිබුනි. ඉතාම හුරුබුහුටි අයුරින් මාළුවෙකු කරවල සදහා හමගසන අයුරු අපි දුටිමු. පණ ඇති මට්ටයින්, තාරුකා මාළුන්, මඩුවන් ගෙන් ගහන මෙම වෙරළ තීරයේ සිප්පි කටු, බෙල්ලන්, හක්ගෙඩි, වාලම්පුරි වැනි මුහුදු සම්පත් මේ වෙරලේ බහුලයි.
ඩෙල්ෆ්ට් වල කුඩා වෙළදපොලක්,තැපැල් කන්තෝරුවක්, පොලිසියක්, පාසලක්, රෝහලක් සහ පල්ලියක් තිබේ. මුළු දිවයිනටම ඇත්තේ වාහන කිහිපයක් පමණි. එයට ලංගම බස් රථයක්, මෝටර් බයිසිකල් කිහිපයක්, පොලිසියට අයත් ඩබල් කැබ් රථයක් හා ලෑන්ඩ් මාස්ටර් කීපයක් මෙහි තිබේ. බහුලවම භාවිතාවන ප්‍රවාහන මාධ්‍යය වන්නේ පාපැදියයි.
ඩෙල්ෆ්ට් දුපතේ විශේසත්වය වන්නේ සියළුම නිවාස සහ තාප්ප හිරිගල් වලින් තනා තිබීමයි. එය ඉතාම චමත්කාර දර්ශණයකි. ඩෙල්ෆ්ට් දුපතේ අනන්‍යතාවය කියාපාන ලක්ෂණයක් වන්නේ මේ හිරිගල් තාප්පයි.
ඩෙල්ෆ්ට්වල නැරඹීමට ඇතිදේ බොහෝය. නොයිදුල් වෙරල තීරය, ස්වභාවික හිරිගල් වලින් තැනුනු කොටුව, ලංකාවේ ලොකුම ගසවන යෝධ බයෝබැබ් ගස (දුපත් වැසියන් මෙම ගස මහ ගහ ලෙස හදුන්වයි), ලන්දේස් සමයේ දි තැනුන පරවියන්ට රැදි සිටිමට සාදන ලද කූඩු ද ඒ අතරින් විශේෂයි.
ඩෙල්ෆ්ට් දුපතේ බීමට ජලය ඇත. නමුත් ඒවා කිවුල්ය. ආහාරයට එළවළු හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය ගෙනෙන්නේ යාපනයෙනි. එම නිසා එම ද්‍රව්‍ය වල මිල මදක් අධිකය. නැවුම් මුහුදු මාළු සැමවිටම දුපත තුළ විකිනීමට ඇත. තල් රා අවශ්‍ය ප්‍රමාණයට මෙම දිවයින තුල ලබාගත හැක. දුරකථන පහසුකම් දූපත තුල ඇත. නමුත් තරමක් මිල අධිකය. ජංගම දුරකතන වලින් ඩයලොග් සංඥා වෙරළාසන්නයේ පවතී. යුද්ධයෙන් එතරම් පීඩාවට පත්වු සළකුණු දුපත තුල දක්නට නොමැත. අප යන දින වල දූපත තුල අධික උෂ්ණත්වයක් තිබුණි. දූපතේ පැත්තක් කාන්තාරයක් මෙන් විය. එම පෙදෙසේ මිනිස් වාසයෙන් තොරය. එම ප්‍රදේශයේ පෝනියන් ඇතිකරනු ලබයි. දූපත තුල අභ්‍යන්තර ජලාශයන් දෙකක් තිබුණු නමුත් ඒවා බොහෝදුරට සිදී ගොස් තිබුණි.
ඩෙල්ෆ්ට් දූපතේ දවසක් ගතකල අපි පාසටහන් සහ මතකය පමණක් ඉතිරිකර නැවත පැමිනියෙමු. නමුත් තව ඉදිරියේදි මෙහි නවාතැන් පහසුකම් ඇතිවු දිනක මේ සුන්දරත්වය මෙළෙසම පවතීද?
3 comments:
එල මචං අපිත් ඩෙල්ෆ්ට් එකක් ගියා වගේ.යන්න නම් ආසයි හැබැයි කවද ඔවා දකින්න වෙයිද දන්නැහැ.බලමු බලමු...බොහොම ස්තුතියි ගිහින් ඇවිත් අපිවත් සිතින් හරි එකක් ගියාට.
නියම චායාරූප එකතුවක්
මම ඡායාරූප ශීල්පියෙක් නෙමෙයි. දන්න දන්න විදිහට ගත්තා. ලියන්න අමතක වෙච්ච දෙයක් තියනවා. ඔය බයෝ බැබ් ගහේ පින්තූරය මම ගත්ත එකක් නෙමෙයි. එතනට යනකොට මගෙ බැටරි ඉවරවෙලා තිබ්බා. ඒක විතරක් අන්තර්ජාලයෙන් ගත්ත එකක්. ඩෙල්ෆ්ට් යනවනම් කැමරාවත් එක්ක අමතර බැටරි ගොඩක් අරන් යන්න. සුන්දර දර්ශණ ඕනැතරම්.
Post a Comment