Tuesday, December 15, 2009

මීලග නොබෙල් සාම ත්‍යාගය ශ්‍රී ලංකාවට

ඔන්න කියන්න ‍ගොඩක් සන්තෝස හිතෙන කාරණාවක් ගැන තමයි මම කියන්න අර අදින්නෙ. වෙන මුකුත් නෙමෙයි. ඊළග නොබෙල් සාම ත්‍යාගය ගැන. ඒක ගැන අනාවැකි කියනව නෙමෙයි. අනිවාරයයෙන්ම ලැබෙන්න තියන දෙයක් වලක්වන්න කාටවත් බෑනෙ. සීන් එක මෙහෙමයි. ලබන අවුරුද්දෙ ඒ කියන්නෙ 2010 දි නොබෙල් සාම ත්‍යාගය හම්බවෙන්නෙ ලංකාවට. කාටද කියනවනම්... අයියෝ කියන්න ලැජ්ජයි. ඒ තමයි මට. බරක් ඔබාමාටත් ඒක කරන්න පුළුවන් නම් ඇයි මට බැරි? ඔබාමා සාමය වෙනුවෙන් කරපු දේවල් වගේ සිය ගුණයක් දේවල් මට පුළුවන් මට්ටමෙන් මම කරල ඇති. එයා ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න ඒව බැලුවම මං කොච්චර දේවල් හිතාගෙන ඉන්නවද කරන්න. එයාට පුළුවන් වුනාද ඇෆ්ගනිස්ථානෙ ඉන්න එයාගෙ හමුදාව අයින් කරගන්න? අඩුම තරමෙ අර ග්වන්ටානා බොක්කෙ තියන දේශපාලන සිර කදවුර වහල දාන්න බැරිවුනානෙ. එහෙව් මනුස්සයටනෙ නොබෙල් සාම තෑග්ග හම්බ වුනේ. මං හිතන්නෙ ඉස්සරහ‍ට කරයි.

මම මේ කියන්න හදන්නෙ නොබෙල් සාම ත්‍යාගයට මගේ නම යෝජනා කරන්න මට තියන සුදුසුකම්. ඔයාලම තීරණය කරල බලන්න මම ඒකට කොච්චර සුදුසුද කියල.

· පහුගිය අවුරුද්ද පුරාවටම මම කා එක්කවත් රන්ඩුවුනේ නෑ. කාටවත් බැන්නෙ ඇද කිව්වෙ නෑ.

· ගෙවල් කිට්ටුව ඉන්න සෝමවතියි ගුණපාලයි රණ්ඩුවෙච්ච අවස්ථා තුනකදි මං ඒ අයව නවත්තල තියනවා. පේනවනෙ සාමයට මගෙ තියන උනන්දුව.

· ටී වී එකේ මොකක්හරි නාට්‍යයකදි දෙන්නෙක් රණ්ඩු වෙන කොට එහෙම වෙන්න එපා කියල දෙවියන්ට කියනවා.

· හතර වතාවක් පාරෙ රණ්ඩුවෙච්ච බල්ලන්ට ගල් ගහල එලවල රණ්ඩුව සමාදාන කරල තියනවා.

· මකන කෑල්ලකට රණ්ඩු වෙච්ච බාලාංශෙ පොඩි එවුන් දෙන්නෙක්ගෙ කන් දෙක හිල් වෙන කන් මිරිකගෙන ඉදල ඒ අයගෙ දෙමව්පියන්ගෙන් බැණුම් අහල තියනවා.

· ගුවන් විදුලියෙ ගිය වාද බයිලා වැඩසටහනක් අහන්නෙ නැතුව වර්ජනය කරල තියනවා.

මේ වෙනකොට මේ ආදි කටයුතුත් මම කරගෙන යනවා.

· චටාස් කියල මදුරුවෙක් මරල සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියල හිතනවා.

· කවුරු හරි රණ්ඩුවකට ආවොත් ගල් ආදෙක් වගේ ලිස්සල යනවා. ( බයට නෙමෙයි. සාමය ආරක්ෂා කරන්න)

· අද වෙනකන් නීතිය සහ සාමය රකින කිසිම පොලිස් රාළහාමි කෙනෙකුට හූ කියල දුවල නෑ.

මම මේ කියන්න යන්නෙ අනාගතයේ සාමය වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්න දේවල්.

· ආයි ලෝක යුද්ධයක් ඇතිවෙන්න තියන්නෙ නෑ. ඇති වුනොත් බෝඩ් එකක් එල්ලගෙන තනියම ලිප්ටන් වටරවුමෙ පිකටින් එකක් කරනවා.

· ඇෆ්ගනිස්ථානෙ ඉන්න ඇමරිකානු සෙබළු අයින් කරන්න කියල ඔබාමට ඊ මේල් එකක් දානවා. (හිලරි ක්ලින්ටන්ට සී සී කරල)

· ඝාසා තීරය සංවර්ධනය කරල විකුනන්න දානවා

· හමාස් අන්තවාදීන් හම ගහනවා.

· රටේ ගුටි ඇණ ගන්න මඩ ගහ ගන්න දේශපාලනේ නවත්තන්න කියල දෙයියන්ගෙන් ඉල්ලනවා.

· රණ්ඩුවෙන බල්ලන්ට බනිස් අරන්දෙනවා.

මට කරන්න පුළුවන් වුනත් බැරිවුනත් මේ වැඩ ටික ඔක්කොම ඔබාමට කරන්න බෑ. ඒක හන්ද මීලග නොබෙල් සාම ත්‍යාගයෙ හිමිකරුවා මම වෙන්න ඕනෙ.

මේ අදහස ගෙදරදි ප්‍රකාශ කරපුවහම අම්ම කියනවා ඕකට උඹට වඩා සුදුස්සෙක් මේ ගෙදරම ඉන්නවලු. මම ඇහුව කවුද කියල. වෙන බල්ලෙක් දැක්කහම නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන පලාතෙම සාමය ආරක්ෂා කරන අපේ ටොමියා. ඌ තමයිලු නියම සුදුස්සා. කමක් නෑ. නොබෙල් සාම ත්‍යාගයත් බල්ලට ගිය එකේ ටොමියට තමයි ඒක හොදටම ගැලපෙන්නෙ.


Pic Resource :


No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...