Wednesday, September 23, 2009

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය



ආවා ආවා

ඔන්න ආවා බල බලා හිටපු සාහිත්‍යය මාසය සමග ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය . මම නම් ඇත්තටම මේ මාසෙ එනකං හිටියෙ හොද පොත් ටිකක් ගන්න තියන ආසාව හන්දම තමයි. ඉතින් ඔන්න හදිස්සි වැඩ ඉවර කරල නිවාඩු දවසෙ හවස පොඩ්ඩක් බී එම් අයි සී එච් එක පැත්තෙ යාළුවෙක් එක්ක පොඩ්ඩක් ඔළුව දාල බැලුවා. ප්‍රදර්ශනේ ලොකු වෙනස් කමක් නෑ. පහුගිය අවුරුදු වගේම තමයි. සෙනග නම් පහුගිය අවුරුදු එක්ක බලනකොට ටිකක් විතර අඩුයි වගේ. ඒත් එන අයගෙ උනන්දුව නම් අඩුවක් නෑ.

එක එක විදිහෙ පිරිස් මේ ගමනත් ඇවිත් හිටිය. පොත් බලන්න, පොත් ගන්න, ඉස්කෝල වලට පුස්තකාල වලට පොත් ගන්න, ගෑණු ලමයි බලන්න වගේම පොත් උස්සන්න (බර බලන්න නෙමෙයි) සහ එන ජනකාය අතර තෙරපෙන්න අයත් ඕන තරම්.

ගිය ගමනට වඩා පොත්වල ගානත් ටිකක් වැඩියි තමයි. එහෙම නැතුවත් ඉතින් බෑනෙ. ලෝක ආර්ථික අර්බුධය, කතෘ භාග, මුද්‍රණ වියදම්, ප්‍රචාරණ වියදම් ප්‍රවාහන වියදම් ආදී එකී මෙකී නොකී සියල්ලම බලන කොට ඉතින් ඩිංගක් වැඩි නොකර කොහොමද? ඒත් ගියපාර නැති හොදක් මම මේ ගමන දැක්කා. ඒ තමයි වට්ටම්. මේ ගමන 20% ඉදන් 30% වෙනකන් වට්ටම් දුන්නා. සමහර තැන්වල පරණ පොත් වලට 50% ‍ට වඩා වට්ටම් හම්බවෙනවා. ගිය ගමන හුගක් තැන්වල හම්බවුනේ 20% විතරයි.

මේ ගමන හොදම පොත හැටියට ස්වර්ණ පුස්තක වලට තේරුණේ සුනෙත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොදු පුරුශයා. ඒක හන්දා ගෙදර ඉදන්ම ලෑස්තිවෙලා ගියෙ ඒ පොත ගන්න. අමාරුවෙන් පොතේ ප්‍රකාශකයා සරසවි කියල හොයාගෙන ඒ කුටියෙ තෙරපිලා තෙරපිලා පොත හෙව්වා. තිබ්බෙ නෑ. ඉතින් එතන සාරියක් ඇදගෙන වැඩකරපු අක්ක කෙනෙක්ගෙන් මම ඇහැව්වා “ අක්කෙ පොදු පුරුෂයා කොහෙද?” කියල. අක්කා මගෙ දිහා අප්සෙට් බැල්මක් දැම්මා. පස්සෙ මට තේරුනා වැරදි දෙයක් කියවුනා තමයි කියල. ඊට පස්සෙ එයා කිව්වා “මල්ලී අද ඉවර වෙලා හෙට එයි” කියල. (චික් විතරක්!. පොතකට අහන්න පුළුවන් නමක් දාන්න ඕනෙ) ඒ හොදම පොත. දවස් තුනයි ප්‍රදර්ශනේට. පොත ස්ටොක් එකේ නෑ. අනේ මන්දා.

කොහොමත් හොද පොත් ගොඩක් තිබ්බා. පහුගිය වතාවෙ ගන්න බැරිවෙච්ච පොත් මේ ගමන ගන්න ගියහම ගනන් වෙනස් වෙලා. චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හොම්ස් පොතක් අළුතෙන් නිකුත් කරල. ගිය ගමන ගන්න බැරිවෙච්ච එයාගෙ ශ්‍රේෂ්ට ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා පොත වගේම මං ලග නැති ෂර්ලොක් හෝම්ස් පොත් වගයකුත් මේ ගමන ගත්තා. කුමාර සිරිවර්ධන අළුතෙන් පරිවර්තනය කරපු ජොආනා, රාජ්‍යය සාහිත්‍යය සම්මාන හම්බවුන පියල් කාරියවසම්ගෙ ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය වගේම කීර්ති වැලිසරගේ දෝනාවක් ඔස්සේ කෙටිකතා සංග්‍රහය, මේ ගමන ස්වර්ණන පුස්තක සදහා නිර්දේශිත කරුණාදාස සුරියාරච්චිගේ අන්ධකාර තාරකාව වාරිස් ඩයරි කියන මොස්තර නිරෑපිකාවගෙ ජීවිත කතාව රැගත් රංජිත්කුරුප්පුගේ කාන්තාරයේ කුසුම වගේ පොත් පත් මේ ගමන මගේ අවසාන ප්‍රතිපල වුනා. පොඩිකාලෙ ඉදන් ආසකරන රුසියානු පොත් දෙක තුනක් ගන්නත් මම අමතක කලේ නෑ. ඇලෙක්සැන්ඩර් පුෂ්කින‍්ගෙ ඉස්කෝප්ප රැජින වගේම මිහයිල් ෂෝල්හව් ගේ දොන් පෙදෙසේ කතාත් මේ ගමන ගත්තා.

පොඩිකාලෙ මගේ ආසම ලේඛකයා තමයි කුලසේන පොන්සේකා මහත්තයා. එතුමා ලියපු හැම පොතක්ම කියෙව්වා වගේම හුගක් පොත් මං ගාව තිබ්බා. ඒත් ඉතින් මගෙ ආදරණිය යාළුවො ඒ පොත් ඒ ගොල්ලන්ගෙ ගෙදර ගෙනිහිල්ල කියවල පරිස්සමට අරන් තියල ..... !@$%^&*(*&^% කොහොමහරි දැන් ඒ ආදරණිය යාළුවන්ට පින් සිද්ධ වෙන්න ඒ එක පොතක්වත් මං ගාව නෑ. ම‍ට ඒ පොත් ටික ගන්න ඕනෙ කම තිබ්බා. 2007 අවුරුද්දෙ තිබ්බ පොත් ප්‍රදර්ශනයෙ එතුමාගෙ කුටියක් තිබ්බා. අවාසනාවට මගෙ අතේ ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. හරිම ලාබෙට ඒ පොත් විකිණුනා. නමුත් ඊට පස්සෙ තිබ්බ එක ප්‍රදර්ශනේකවත් එතුමගෙ පොතක් ඇහැට දකින්න තිබ්බෙ නෑ. ‍

අතේ සල්ලි තිබ්බනම් තව පොත් ගන්නවා. ගන්න හිතන් ආපු පොත් ගන්න සල්ලි මදි. හිත දුකින් ‍පුරෝගෙන හවස් වෙනකන් ඉදල අයිස් ලෙමන් ටී එකක් බීල ගෙදර ආවා.




1 comment:

manjula said...

I missed it a lot. Really sad !

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...