Saturday, July 11, 2009

බස් කතා බස්

ඊයෙ හ‍වස 177 බස් එකක නැග්ගෙ වැඩ ඇරිලා ගෙදර යන්න කියල. මුළදි හීනි නින්දක ආවත් රාජගිරිය හරියෙදි එක පාරට ඇහැරුනේ බස් එක ඇතුලෙ ගැහැණු කෙනෙක් කෑගහන ශබ්දයක් ඇහිල. ඊටත් අමතරව බස් එක කඩුවෙලට එනකොට වෙච්ච තවත් සිද්ධි කිහිපයකට මම සවන් දුන්නා. අපේ රටේ වෙන සමහර දේවල් වල නොපෙනෙන පැත්තක් ඒ තුල මම දැක්කා. ඒකයි ලියන්න හිතුවෙ.

“වනචරයා! කෙල්ලෙකුට තියා ගෑනියෙකුටවත් මුන වගේ එවුන් එක්ක බස් වල යන්න පුළුවන්ද? බහිනවා බස් එකෙන්” රාජගිරිය හරියෙදි මාව නින්දෙන් ඇහැරවන්න සිද්ධ වෙච්ච කෑගැහිල්ල තමයි ඒ. වයස 35ක් විතර වෙච්ච මැදිවියේ නෝනා කෙනෙක් තමයි එහෙම කෑගැහැව්වෙ. මුළු බස් එකම බැලුවෙ චූදිතයා දිහා නෙමෙයි. කවුද මේ කෑගහපු නෝනා කියල. මුළු බස් එකම තමන් දිහා බලපු බව තේරුම් ගත්ත නෝනා තවත් මොන මොනවද කියල කෑ ගහනවා. ඒ නෝනව දැක්කහම වුනේ මොකක්ද කියල බස් එකේ හිටපු අයට හොදටම තේරුම් ගියෙ සෙනග පිරිල හිටිය බස් එකේ නෝනා ඇදගෙන හිටපු ඇදුමත්, රාජගිරියෙන් බහින්න දොර ළගට ආපු පස්සෙ චූදිතයා වෙච්ච අවුරුදු 60 ක විතර හම් බෑග් එකක් ගත්ත මහත්තයත් දැක්කහම. ඒ මනුස්සයා දැනුවත්ව කිසිම වරදක් කලේ නැති බව කාටත් තේරුනා. මොකද ඒ නෝනා ඇදන් හිටපු සාය තව අඩියක් වත් දිග වුනා නම් සෙනග අස්සෙන් තෙරපිලා බස් එකෙන් බහින්න ආපු අර මහත්තයගෙ බෑග් එක කෑගහපු නෝනාගෙ දෙපා අතරින් නොගෑවෙන්න තිබ්බා. තමන්ගෙ දුවෙක් වගේ හිටපු ඒ නෝනගෙ කෑගැහිල්ලෙන් ඒ මහත්තය අන්දමන්ද වුනා කියල අපි හැමෝම දැක්ක. පවු. තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ පේන්නෙ නැති මේවාගෙ උදවිය හන්ද ලැජ්ජාව විදින්නෙ අහක ඉන්න අහිංසක අය. (හැබැයි මම ඒකෙන් කියන්නෙ ඔක්කොම පිරිමි හොදයි කියල නෙමෙයි)

බස් එක ඔය විදිහට බත්තරමුල්ල හරියට ආවා. ඒ හරියෙ හැම තැනම බැනර් වගයකුයි පෝස්ටර් වගයකුයි ගහල. රටේ වීරයෙක් වෙච්ච මේජර් ජගත් ඩයස් මහත්තය‍ට ගමෙන් උපහාර පිදීමේ උත්සවයක් ගැන කියල. අවුරුදු 30 ක් රටට පිළිලයක් වෙලා තිබ්බ යුද්ධෙ ඉවර කරන්න නායකත්වය දුන්න ඒ වගේ වීරයන් හැමදාම උපහාර ලැබිය යුතු මිනිසුන්. බස් එකේ වාඩිවෙලා ආපු ගොඩදෙනෙක් ඒ පෝස්ටර් බැනර් දැක්ක. ගොඩ දෙනෙක් ඒක දැකල පහන් සිත් ඇතිකරගන්න ඇති. එත් මගෙ ලග හිටපු මනුස්සයා මගෙන් අහපි කවුද ජගත් ඩයස් කියන්නෙ කියල. මට පොලව පලාගෙන යන්න හිතුනා. ප්‍රභාකරන් කියපු දේ හරි. සිංහලයාට ඕනම දෙයක් මතක තියෙන්නෙ සති දෙකක් විතරයි කියන එක ආයෙත් ඔප්පු වුනා.

මාලඹේ හරියෙදි සෙනග ටික දෙනෙක් බස් එකෙන් බැහැල ගියහම ඉස්සරහ සීට් එකේ එක ආසනයක් ඉතුරු වුනා. යටි රැවුල තරමක් සුදු උස මහත මහත්තයෙක්. ඌරාපොළ හේමාලෝක හාමුදුරුවන් පරිවර්තනය කරපු පොතක් අරගෙන තමයි ඒ මහත්තයා වාඩිවුනේ. එතකොටම ‍මාලබේ හන්දියෙන් නැග්ගා වයස 40 ක් විතර‍ වෙච්ච කලිසමක් ඇදගත්තු අම්ම කෙනෙකුයි ඉස්කෝලෙ ඇදුමක් ඇදගත්තු දුවෙකුයි. පස්සෙ බලනකොට අර දුවට කලින් ඉස්කෝලෙ (ඉස්කෝලෙ මොකක්ද කියල කතා බහේදි කියවුනත් ඒක මෙතනදි කියන එ‍ක හරි මදි) සිංහල කියාදුන්න ගුරුවරයා තමයි අර මහත්තයා. දැන් ඒ ළමයා කොළඹ ලොකු ඉස්කෝලෙකට තමයි යන්නෙ. ඒ ගුරු දෙගුරු කතා බහේදි ගුරුවරයා ළමයාගේ අළුත් තත්ත්වය ගැන අම්මාගෙන් ඇහුවා. එතකොට ඒ අම්මා (සොරි වෙන්න ඕනෙ ඒ අම්මා නෙමෙයි මමී) කිව්වා “Sir Science තමයි මෙයාට ටිකක් අමාරු, මම ඒකට මෙයාව Science Classes දෙකකට දැම්මා. දැන් අළුතෙන් Syllabus එකට add කරපු history ටිකක් අමාරුයි. Sunday classes තියන හන්දා Sunday school යවන්නත් බෑ. ඒක හන්ද Buddhism වලටත් Tution දෙන්න වෙනවා. Sir දන්න කවුරුත් Sir කෙනෙක් නැද්ද Buddhism වලට Tution දෙන”. අනේ මන්ද ඒ ගුරුවරය වචනයක් වත් කිව්වෙ නෑ. කියල වැඩක් නෑ කියල හිතුනද එහෙම නැත්තම් රටකට ගිය කළ කියල හිතුනද දන්නෙ නෑ. ඒත් වෙනසක් නොපෙන්වා ගුරුවරයා මෙහෙම ඇහැව්වා. “ දුව අද මොනවද පන්ති ?”. ආයෙත් අර මමි පැනල උත්තර දුන්නා. “Sir අද මෙයාට Elocution Classes”

සාමාන්‍යයෙන් හවස 7න් පස්සෙ 177 පාරෙ බස් කඩුවෙල හන්දියෙන් හරවලා ගෙදර යනවා මිසක් බස් නැවතුම්පොළට යන සිරිතක් නෑ. ගියොත් ඉතින් එහෙමත් එකක් තමයි. හැමදාම විජයන්ති හෝල් එක පහුවෙන කොටම කොන්දොස්තර (අයියා / මල්ලී) කෑගහනවා ස්ටෑන්ඩ් යන්නෑ මෙතනින් බහින්න කියල. ( සමහරු ඒක කියන්නෙත් නෑ. ) ඉතින් ඊයෙත් කොන්දොස්තර එහෙමම කෑ ගැහැව්වා. මමත් ඉතින් ඉස්සරහ දොරෙන් බහින්න ගියා. එක පාරටම ඩ්‍රයිවර් මහත්තයා (මම මහත්තයා කිව්වෙ හේතුවක් ඇතුව) කියපි “ස්ටෑන්ඩ් යනවා බහින්න එපා බහින්න එපා” කියල. ඒකට කේන්තිගිය කොන්දොස්තර අහනවා “ඇයි යකෝ අද ගෙදර යන්නෙ නැද්ද?” කියල. එතකොට ඩ්‍රයිවර් මහත්තයා කියනවා “මම මේ ආමි එකේ මල්ලිව දැක්කෙ අන්තිම මොහොතෙ. එයාගෙ කකුලක් නෑ. මේ මනුස්සයා මෙච්චර දුරක් පයින් යවන්නෙ කොහොමද?” කියල කිහිලි කරු දෙකකින් යන හමුදාවෙ හිටපු සහෝදරයෙක්ව පෙන්නුවා. කොන්දොස්තර මහත්තයත් ඒ දේ තේරුම් අරගෙන ස්ටෑන්ඩ් යන අයට ආයෙත් නගින්න කිව්වා. සමහරු නැග්ගා. ස්ටෑන්ඩ් එකට ගිහින් ආමි එකේ සහෝදරයව බස්සලා ඊලගට යන බස් එකේ නග්ගන්න තරම් කොන්දොස්තර මහත්තයා කාරුනික වුනා.

177 බස් එකේ විස්තරේ ඔන්න ඔහොමයි.

Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...