Sunday, July 26, 2009

හැමවිටම ඉහල ඉඩ ඇත

මේ දවස් වල රතු පාටයි කළු පාටයි කළවමේ ගහපු පෝස්ටරයක් තියනවා තාප්පවල. තවත් එකක් කළුපාටින් ගහලා. පාට දෙකෙන් ගහල තියන එකේ තියෙන්නෙ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබා දෙන්න කියලා. ඒකෙම අනිත් පෝස්ටර් එක තමයි රැකියා ලබාදෙන්න නියමිත ක්‍රමවේදයක් හදන්න කියලා. තනි පාට පෝස්ටර් එකෙන් කියන්නෙ කැලණිය සරසවිය විවෘත කරන්න කියල. ( හැබැයි මේ එක පෝස්ටරයක් වත් මම මේ කියන සුමට භාෂාවෙන් නෙමෙයි තිබ්බෙ. කරපියව්, ලබාදියව් වගේ ආදරණිය වචන වලින් ). ඕනෑම රටක රැකියා විරහිත පිරිසක් ඉන්නවා. මම කියන්නෙ හන්දිවල කඩවල බෝක්කු උඩ අනිවාර්යෙන්ම කට්ටිය ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. නමුත් එහෙම ඉන්නෙ රටක ජීවනාලිය වගේ ඉන්න තරුණ උගත් පිරිස නම් එතන පොඩි ගැටළුවක් තියනවා.

්‍රී ලංකාව කියන්නෙ දියුණු වෙමින් පවතින රටක්. ඒක අපි විතරක් නෙමෙයි අපේ තාත්තල ඉගන ගන්න කාලෙත් එහෙමම තමයි. ඉතින් මේ දියුණු වෙමින් පවතින රටේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය. ඒ නිදහස් ්‍යාපනයේ කොතනකවත් නිදහස් අධ්‍යාපනය ලබන සිසුවන් සදහා ආණ්ඩුවේ රැකියා පිරිනැමේ කියල වගන්තියක් ලියවිලා නෑ. ළමයි කියන ජාතිය ඉගන ගන්නවනම් ඉගනගන්න ඕනෙ. තමන්ට අදාල නැති දේශපාලන අරගල කරන්න නැතුව.

දැන් හොදම උදාහරනය තමයි දෙවැනි පෝස්ටරය. කැලණිය සරසවිය විවෘත කරව්. කැළණිය වහන්න වුනේ ඇයි. ශිෂ්‍ය අරගල. ලංකාවෙ අනෙකුත් විශ්ව විද්‍යාල එක්ක සසදනකොට ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, රුහුණ වගේ විශ්ව විද්‍යාල ඇරල තියන ප්‍රමාණෙට වඩා වහල තියන කාළය වැඩියි. හුගක් වෙලාවට හේතුව වෙන්නෙ ශිෂ්‍යයය අරගල, ශිෂ්‍යය අයිතිවාසිකම් වගේ දේවල්. උසස් පෙළට ගිරව් වගේ පාඩම් කරල නිදහසේ හිතන්න චින්තනයක් නැතිවෙලා ජීවිතේ එක තැන පල්වෙන බව දැනුනහම කරන්න දෙයක් නැතිවුනහම තමයි අරගල කරන්න වෙලා තියෙන්නෙ. ( ඒ සදහා මිඩංගු කිරිමට කාළයද ඇති කරම් තිබේ) මෙයින් මා අදහස් කරන්නේ මා ශිෂ්‍යය අරගල වලට අකමැති බව හෝ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙන උපාධිධාරීන් වැඩකට නැති පිරිසක් ලෙස හංවඩු ගැසීම නොවේ.

මම උසස් පෙළ කරපු අවුරුද්දෙ ම‍ගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා. මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා. අද මගේ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ තෙවන වසර සිසුවියක්. ලබන අවුරුද්දෙ ඇය ඇගේ කලා උපාධිය නිම කරල රැකියා විරහිත උපාධිධාරීන්ගෙ ගොඩට එකතුවෙන කොට (අඩුම තරමෙ ගුරුවරියක් හැටියටවත් රැකියාවක් ලැබුනොත්...) මගේ මිතුරා ඒ අවුරුද්දෙම තමන්ගෙ ආචාර්ය උපාධිය නිම කරල ලංකාවෙ තියන බහුජාතික සමාගමක සියළු පහසුකම් යටතේ ඉලක්කම් හයක (ඉස්සර තමයි පහ) පඩියකට රැකියාවක් හම්බ‍වෙලා ජීවිතේ සාර්ථක කරගනියි. එකම අවුරුද්දෙ උසස්පෙළ කරපු දෙන්නෙක්ගෙ වෙනස තමයි ඒ. මෙහෙම වෙන්න හේතුව තමයි මොරටුව සිසුන් ඉක්මනින් තමන්ගෙ අධ්‍යයන කටයුතු කලටවෙලාවට ඉටු කිරීමයි. ලංකාවෙ ඉන්න දක්ෂම සිසුන් ඉන්නෙ මොරටුවෙ බව පොදුවේ පිළිගැනීමයි. ඔවුන් තම කාලය යොදවන්නෙ අධ්‍යාපන කටයුතු හොදින් කරන්නයි. දේශපාලනය කියන දේ ඔවුන් දකින්න කැමති දෙයක් නෙමෙයි. ඒ නිසා මොරටුවෙ ශිෂ්‍ය‍ය අරගල දේශපාලන අරගල අඩුයි. මගේ මතකෙ හැටියට ඔවුන් අරගලයක් කලේ මෑතදි එක වතාවයි. ඒ අර එන්.ඩී.ටී ප්‍රශ්නෙට. ඒකත් ඉතින් සාධාරනයි තමයි.

ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි කැළණිය, ජ’පුර, රුහුණ වගේ විශ්ව විද්‍යාල වල තියෙන්නෙ. විශේෂයෙන් කලා පීඨ වල වැඩ කෙරෙන්නෙ දේශපාලනයත් එක්කයි. අරගල වැඩිවෙන කොට පාලනාධිකාරිය විශ්ව විද්‍යාලය වහල දානවා. දින සති මාස ගිහින් නැවත විවෘත කරනවා.අවුරුදු තුනෙන් හතරෙන් ගන්න තියන උපාධිය අවුරුදු පහ හය සමහරවිට හත අටත් ඇදෙනවා. ඊට පස්සෙ අවුරුදු තුනෙන් හතරෙන් උපාධි ගන්න අයට වෛර කරනවා.

සමාජයත් එක්ක ගැටිලා (දේශපාලන වශයෙන් ‍විතරක් නෙමෙයි. වෘත්තීමය වශයෙන් දැනුමත් අත්‍යාවශ්‍යයි) යාවත්කාලීන වෙන අයට රස්සා හම්බවෙනවා. අනිත් අය රැකියා විරහිත උපාධිධාරීන් හැටියට ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා. මගේ දැණුමේ හැටියට ඒක ආණ්ඩුවෙ වැරැද්දක් නෙමෙයි. තමන් සතුව නිපුනතාවයක් තියනවානම් ඔවුන් අනිවාර්යයයෙන් තමන්ට අදාල හොද රැකියවක් සොයා ගන්නවා. හොදම උදාහරණෙ තමයි මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවෙන ඉංජිනේරු පීඨ සිසුන්. කවදාවත් අපිට රැකියා ලබාදියව් කියල බෝඩ් උස්සගෙන ඉන්නවා මම දැකල නෑ. අද ඔය කෑ ගහන පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් තමන්ම රැකියා සොයාගන්නවා විනා (දක්ෂතාවය මත) අරගල හෝ උද්ගෝෂණ මගින් ඒ දේවල් ලබාගන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ විදිහට ප්‍රශ්නෙ විසදුනොත් ඔබට රැකියාවක් වගේම පොඩිකාලෙ ඉදන් නිදහස් අධ්‍යාපනය ලබා දීල විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ මහපොලත් දීල නේවාසික පහසුකමුත් දීපු ආණ්ඩුවට බණින්න ඕනෙත් නෑ.

මම දන්නෙ නෑ දේශපාලනය කොච්චර දුරට සාධාරනද කියල. (මොකද මම දේශපාලනය කරපු / කරන හෝ කරන්න බලාපෙරොත්තු වෙන කෙනෙක් නෙමෙයි). මේ ලිපියෙ වැරදි ඇති. දන්න සහෝදරයෙක් හරි සහෝදරියක් හරි මා වැරදි නම් නිවැරදි කරත්වා. මම කියන්නෙ මට හිතුන දේ. මොකද ලිපියෙ මාතෘකාව වෙච්ච හැමවිටම ඉහල ඉඩ ඇත කියන ඉංග්‍රීසි කියමන මේ හැම දෙයක්ම විස්තර කරන නිසයි. කවදාවත් දුක් වෙන්න එපා. සුදුස්සෙක් වුනොත් හැමවිටම ඔබට ඉහල ඉඩ ඇත.

Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...