Sunday, April 05, 2015

මගේ සියවෙනි පෝස්ට් එක - අපි කොයිබටද?

මේ මෙම ලියන සියවෙනි පෝස්ට් එක. මට හම්බවෙන කාලය කළමණාකරනය කරගෙන ලියන හන්ද හෙමින් ලියන්නෙ. මේ පෝස්ට් 100ට හිනා යන කතා, හිනා නොයන කතා, වැදගැම්මක් නැති කතා, හිතන්න තියන කතා, ඇත්ත කතා, මඩ කතා, අත්දැකීම් ඔක්කොම තියනවා. ඒ අස්සේ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති මෙලෝ රහක් නැති පෝස්ටුත් නැතුවම නෙමෙයි.

මම ඉපදුනේ අසූව දශකයෙ මුලම. ලංකාව සිංගප්පූරුවක් වෙන්න අඩිතාලම දැම්ම විවෘත ආර්ථිකේ හඳුන්වලා දුන්න මුලම කාලෙ.ඒකත් එක්ක ගොඩක් අළුත් දේවල් අතපතගාන්න හම්බවුනා. ඒත් අපේ කාලෙ විද්‍යුත් යුගයක් නෙමෙයි. රූපවාහිනියවුනත් අපිට හුඟක් අළුත් දේවල්. මේ තත්ත්වෙ 1990න් පස්සෙ හුඟක් වෙනස් වෙනවා. ළමයින්ට ඉලෙක්ට්‍රොනික මෙවලම් හම්බවෙනවා. අද මගේ මේ පෝසට් එක වෙන් වෙන්නෙ මේ වෙනස්වීම ගැන මට දැනෙන කරුණු කියන්න.

මගෙ සීයයි තාත්තයි දෙන්නම ගනන් හදන්න පාවිච්චි කලේ පැන්සලකුයි කොලේකුයි. එහෙම ගනන් හදල පුරුදු වෙලා එයාලට මනෝමෙන් ගනණනක උත්තරය දෙන එක හුඟක් ඉහල අගයක තිබුනා. අපේ කාලෙත් අපි කොලෙන් ගනන් හදන්න පුරුදුවුනත් පහුකාලෙ ආපු කැල්කියුලේටරේ හන්දා තාත්තලගෙ තරම් අයි කිව් එකක් අපිට තිබ්බෙ නෑ. අපෙන් පස්සෙ පරම්පරාව (මම මෙහෙම විශේෂයෙන් කියන්නෙ 90න් පස්සෙ ඉපදිච්ච බහුතරය ගැන) පාවිච්චිකරන්නෙ කැල්කියුලේටර් විතරයි. එතකොට මනෝමෙ තාක්ෂනේ පැත්තට බර වෙනවා. නිවැරදි තාවය 100% වුනාට හිතාමතා වැඩ කරන්න ටිකක් අමාරුවෙනවා.

මෙතනින් එහාට මගෙ සීයාගෙ කාලෙ ගැන කතා කරන එක වැඩක් නෑ කියල හිතෙනවා. ඒ කාලෙ තාක්ෂනේ කියල දෙයක් තිබ්බෙ නැති හන්දා. ඒක හන්දා තාත්තගෙන් පස්සෙ පරම්පරාව ගැන කියන්නම්.

මගෙ තාත්තගෙ කාලෙ තාත්තල රටේ ලෝකෙ වෙන දේවල් ගැන දැනගත්තෙ රේඩියෝ එකේ කියන ප්‍රවෘත්තිවලින් එහෙමත් නැත්තම් පත්තර වලින්.  පස්සෙ කාලෙ වෙනකොට ටීවි එකෙනුත් ඒවා බලන්න පටන් ගත්තා. අපේ කාලෙත් මේ හැම දෙයක්ම තිබ්බා. අපිත් එ විදිහටම “නිවුස්“ ඇහැව්වා. මට අදටත් මතකයි විජය කුමාරතුංගට වෙඩි තිබ්බ වෙලාවෙ, ප්‍රේමකීර්ති මරපු වෙලාවෙ නිවුස් වලට කියනකොට අහල පහල මිනිස්සු ඇවිත් ඒවා ටීවි එකේ පෙන්නන කම් බලන් හිටපු හැටි. අපේ තරුණකාලෙ වෙනකොට අපිට ඉන්ටනෙට් හම්බවුනා. දැන් තියන අධිවේගෙ නෙමෙයි. 56kbps මොඩම් එකක් ගහල ඒකෙන් 30kbps වේගයක් වත් ඇවිත් 10 kb විතර ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් වෙන්න 3-4 පාරක් ඩිස්කනෙක්ට් වෙලා විනාඩි 5කින් ඒ දේ කරගන්න පුළුවන් කාලයක්. දැන් ලමයින්ට මේ කියන දේවල් තේරෙනවද මන්දා. දැන් හැම දේම ඉන්ටනෙට් නිවුස් වලින් තියන හන්දා අළුත් පරපුර හරිම අප්ඩේට්. ඒත් පත්තරයක් ගත්තහම මුල ඉඳන් අගටම පත්තරේ කියවපු පරම්පරාව අපි වෙන්න ඕනෙ. පත්තරේ තියන කෙටිකතාව කවි පිටුව චිත්‍රකතාව කියවපු අන්තිම පරපුරෙන් බිහිවෙච්ච අංකුර කවියො කෙටිකතා ලියපු අය නොවෙන්න මේ අළුත් පරම්පරාවෙන් බිහිවෙච්ච කවියො කතා කාරයො අතේ ඇඟිලි ගානට ඉන්නෙ.

කතාවක් කියවන්න කවියක් විඳින්න විතරක් නෙමෙයි සින්දුවක් රසවිඳින්න වත් අළුත් පරම්පරාවට ඉඩක් නෑ. හැමදේම රැල්ලට වෙනකොට මිනිස්සුන්ගෙ අදහස් මොට වෙනවා. ශාස්ත්‍රීය සංගීතය කියනදේ ගැන අළුත් පරම්පරාව දන්න ප්‍රමාණය හරිම අඩුයි. මහගමසේකරව දන්නවද කියල අහපුවහම එයාගෙ සයිට් එක මොකක්ද කියල අහපු පොඩි එකෙක්ටත් මම කාලයක් ඉගැන්නුවා.

ඒකාලෙ අපි චිත්‍ර ඇන්දා. ඒ ඇන්දෙ චිත්‍රෙපාත් වල. එම් එස් පේන්ට් වල වත් පොටෝෂොප් වලවත් නෙමෙයි. අපි අකුරු ලිව්වෙ මුලින් වැලිපිල්ලෙ. ඊලඟට ඩබල් රූල් පොත්වල. ඉස්සර නම් අපිටත් අකුරු හැඩයට ලියන්න පුළුවන්. ඒත අද කී බෝඩ් ටයිප් කරන හන්දා හරිම අමාරුයි. මුතුවගේ අකුරු ලියාගන්න බැරිවුනත් තාම මොකක් කරල හරි චිත්‍රයක් ඇඳගන්න පුළුවන්. පස්සෙ පරම්පරාවල අයට ඒ හැමදේම අමාරුයි. ඒක හන්දා ඒවා වර්ක්ෂොප් දාල උගන්නන්න වෙලා

අපි අපේ දෙමව්පියන් එක්ක තියන සම්බන්ධය අපෙන් පස්සෙ පරම්පරාවල මම දකින්නෙ හුඟක් අඩුවෙන්. දැන්කාලෙ ලමයිනට අම්මල තාත්තල ඕනෙ වෙන්නෙ පන්තියන්න සල්ලි ඉල්ලගන්න විතරයි. සමහර ලමයි සල්ලි දුන්නොත් ඉගනගන්නවා කියලත් කියනවා. ඒ තරම් ඒ සම්බන්ධය “බිස්නස්“ එකක් වෙලා.
ඉස්සරට සාපේක්ෂව ලමයින්ගෙ කලා හැකියාවන් මොට වෙලා. පොඩි ළමයින්ට තියන රියැලිටි තරඟවලින් කලාත්මක හැකියාවෙන් පිරිච්ච දරුවො හදන්න පුළුවන් කියන අයත් ඉන්නවා. එත් තරඟයක් හන්දා ලමයි අතර තරඟය වැඩි වෙලා ඉරිසියාව වෛරය වගේ දේවල් ඇතිවෙන එක නවත්තන්න බෑ

මම මේ පෝස්ට් එක ලියන්නේ අපේ පරම්පරාවෙ තමයි අන්තිමටම පොරවල් ඉන්නෙ කියන එක කියන්න නෙමෙයි. ඒත් දැන් තියෙන්නෙ සල්ලි හොයන්න හැල්මේ දුවන සංස්කෘතියක්. මේ සංස්කෘතියත් එක්ක මිනිස්සුන්ගෙ සිතුවිලි ගොඩක් ආත්මාර්තකාමී වෙලා. මිනිස්සු (විශේෂයෙන් දැන් කාලෙ ලමයි) සමාජයත් එක්ක තියන සහසම්බන්දෙ අඩුවෙලා. යාන්ත්‍රිකව හිතන්න පුරුදු වෙලා. අපේ කාලවලත් විදුහල්පති තුමාට පිනා කිවුව අය හිටියා. ඒත් අද බහුතරේ කියන්නෙ එහෙම. අපි වැඩිහිටියන්ට ගෞරවයෙන් කතාකලාට අද ඒක ඌ මූ අරූ වගේ විශේෂන වලට බැහැල.

මේක ගොඩක් දිග වෙන්න තියන පෝස්ට් එකක්. කියවන එක නීරස වෙන්න පුළුවන් හන්දා මම තවමත් අත් දකින පොඩි කතාවක් කියල නවතින්නම්.

අපි හැමදාම කලේ අපිට පට්ට සංස්කෘතියක් තිබ්බා, අපි විජයගෙන් පැවතගෙන එන්නෙ, ඉස්සර අපේ රජවරු රුවන්වැලි සෑය හැදුවා වගේ කතා කිය කිය වංශෙ කබල් ගෑව මිසක් ඒක පවත්වාගෙන යන එක නෙමෙයි. ඒ කාලෙ සීගිරියෙ චිත්‍ර අඳින කාලෙ යුරෝපෙ හරි ජනාවාසයක් වත් තිබ්බද දන්නෙ නෑ. අපිට වැරදුනේ සුද්දා ඇවිත් අපේ ඔක්කොම හූරන් ගිය හන්දා කියල සුද්දා පිටින් දාල බේරෙන්න අපි තාමත් හිතනවා.

මගෙ ඥාතියො දෙන්නෙක්ගෙ එකම වයස් කාන්ඩෙ දරුවො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නෙ ලංකාවෙ. අනිත් එක්කෙනා ඉන්නෙ ස්විට්සර්ලන්තෙ. නිදහස් අධ්‍යාපනය නැතත් ඉගනීම කියන දේට ස්විට්සර්ලන්තෙ හුඟක් පහසුකම් තියනවා.

ලමයි දෙන්නටම ඉන්ටර්නෙට් භාවිතය ගැන හොඳ දැනුමක් තියනවා. හැබැයි ස්විට්සර්ලන්තෙ දෙමාපියන්ට තමන්ගෙ ලමය මොනවද කරන්නෙ කියල ඕනෙම වෙලාවක බලන්න පුළුවන්. ලංකාවෙ එහෙම අමාරුයි. ස්විට්සර්ලන්තෙ ලමයට මොනවද බලන්න හොඳ දේවල් කියල දෙමාපියන්ට තීරණය කරන්න පුළුවන්.
ස්විට්සර්ලන්තෙ ලමයාට තාක්ෂනික දැනුම ලංකාවට සාපේක්ෂව අඩුයි. ඒත් අයි පෑඩ් එකක් කොහොමද වැඩ කරන්නෙ කියල තේරුම් ගන්න පුළුවන්. ඒක ගැන එයාට වැඩි වගක් නෑ. මොකද ජීවිතේට අත්‍යාවශය දෙයක් නොවෙන හන්දා. හැබැයි ලංකාවෙ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්. එයාට අයිපෑඩ් නෙමෙයි ඕනෑම ටැබි එකක් වැඩ කරන්න පුළුවන්. කෑලි ගලවන්න බැටරි දාන්න ඕනෙ එකක්. ගනන් හදන්න සින්දු අහන්න ගේම්ස් ගහන්න ටැබ් නැතුවම බෑ.

ස්විට්සර්ලන්තෙ දරුවා ඉස්කෝලෙ යන්නෙ කකුලෙන් තල්ලු කරන් යන රෝලර් එකේ. අපේ ලමයින්ට වෑන් එක ඕනෙ. නැත්තම් කාර් එක ඕනෙ. (මම වැරැද්දක් දකින්නෙ නෑ. ලංකාවෙ සිද්ධවෙන අනිත් දේවල් නිසා මේවා මෙහෙම වෙන්න ඕනෙ)

ස්විට්සර්ලන්තෙ දරුවට අමතර පන්ති නෑ.ඒ වෙනුවට එයා කරන්නෙ චෙස් ඉගන ගන්න යනවා. නැත්තම් ෆුට් බෝල් හරි පිහිනුම් පන්තිවලට යනවා.

ස්විට්සර්ලන්තෙ පොඩි එකා කාටූන් බලනවා. හැබැයි ඒ ඩෝරා වගේ ලමයින්ගෙ දැනුම වැඩිකරන ඒවා. ලංකාවෙ දරුවා බලන්නෙ බෙන් ටෙන් සුපර් මෑන් වගේ යුධමය මානසිකත්වයක් තියන ඒවා.

අපේ ලමයාට අකුරු ලියන්න චිත්‍ර අඳිනවා වගේ කලාත්මක වැඩ කරන්න අමාරුයි. කරනවා නම් ඒකය ගයිඩ් එකක් ඕනෙ. හැබැයි අනිත් දරුවගෙ ක්‍රියේටිව් පැත්ත හරිම වැඩියි. ආත්ම ප්‍රකාශනය හැටියට චිත්‍රය භාවිතා කරනවා විතරක් නෙමෙයි ඒකෙ සියුම් තැන් හුඟක් වැඩියි. අනික බැරොක් මියුසික් වගේ දේවල් වලට ඒ ලමයට තියන දැනුම කියල නිමකරන්න බෑ.

කවද හරි අනාගතේ දවසක ඒ ලමයි ඉගනගෙන තමන්ගෙ හැකියාවන් දියුණු කරගෙන මොලය වෙහෙසවලා නිර්මානාත්මක හැකියාවෙන් හුඟක් නිර්මාන කරයි. ඒ නිර්මාන වල පේටන්ට් අයිතිය තියාගනී. ඒ රටවල පුරවැසිභාවය ලබාගෙන ඒ රටවලටම සේවය කරයි.

අපේ ලමයි ඒ ලමයි හදන නිර්මාන පාවිච්චියට ගනියි. ඉස්සර තිබ්බ දේවල් ගැන කියවයි. නිර්මාණාත්මක දෙයක් ගැන හිතන්නවත් බැරිවෙයි.

වෙනසක් සිදුවිය යුතු නමුත් වෙනස සිදුවිය තැන තීරණය කිරීම ඔබට බාරයි.



2 comments:

manjula said...

Very true.. Good post.. I too think about these things - but dont know how to do the change..

dsk said...

growing up in the same time period as you I can relate to almost all what you have said. But this generation gap has always been there. I remember people complaining about it when we were small, just like today
either way, good post
dulanka