Monday, February 16, 2015

කියවගෙන යනකොට ඔයාටත් සමහරවිට දැනෙයි. ඒත් ගනන් ගන්න එපා. මේ අපි සිටින ලෝකයයි.


ටික කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ. ලියන්න ගොඩක් දේවල් හිතේ තියනවා. තියන වැඩත් එක්ක ඉතිං වෙලාවක් නැති වෙනවා.

අද ටිකක් වෙනස් දෙයක් ලියන්න හිතුවෙ. මගෙම අත්දැකීමක් නෙමෙයි. මේක සිද්ධවුනේ යාළුවෙක්ට. හැබැයි මගෙ ජීවිතේදිත් මේවගේ දේවල් වලට අනන්තවත් මූණ දීල තියනවා.
මේ කියන්න යන දේ මූලික වෙන්නෙ “ආකල්ප“ කියන ඒවත් එක්ක. මේක තේරුම්ගන්නත් ටිකක් හොඳ ආකල්ප තියෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.

මගෙ මිත්‍රයා ලංකාවෙ අළුතෙන්ම දාපු කම්පැනියක වැඩට ගියා. එයා ගියෙ ඒ කම්පැණියෙ පළවෙනි සේවකයා විදහට. පොඩියට පටන්ගත්ත ආයතනයක් වුනාට අවුරුද්දක් විතර වෙනකොට හොඳ තත්වෙකට ආවා. 

අවුරුද්දක් ගෙවෙන කොට මේ ආයතනයෙ සේවකයෝ හතර දෙනෙක් හිටියා. මේ අය බොහොම සමගියෙන් හිටියෙ. හුඟක් හොදින් වැඩ කරගෙන හිටියා. එක පවුලෙ අය වගේ. ආයතනය අතුගාන එකේ ඉඳන් ඩිස්පෙන්සරේට වතුර දාන එක කෝල්වලට උත්තර දෙන එක වගේ හැම පොඩි දෙයක්ම මේ අයම කරගත්තා.
හොඳම දේ මේ අය වැඩකරන අයගෙ අඩුපාඩු අවශ්‍යතා හොඳටම දැනගෙන තිබුන එක. හදිස්සියෙ කාට හරි නිවාඩුවක් ගන්න වුනොත් ඒවා මුදල් අවශ්‍යතාවක් වුනොත් ඒවා වගේම වැඩ කරන වෙලාවට හිර වෙච්ච හැම වෙලාවකම උදව් කරන්න මේ හතරදෙනා වග බලාගත්තා.

ඒ වගේම වැඩ කරන්න තිබ්බ වෙලාවල් වලත් දවස් ගනන් නිදි මරාගෙන මේ අය වැඩ කලා. මේ අයගෙ මේ කැපවීම හන්දා ආයතනය දියුණුවුනා.

පස්සෙ පාළනාධිකාරිය තීරණය කලා තවත් අය මේකෙ වැඩට ගන්න. මේ හතර දෙනා ආයතනයෙ ටිකක් ලොකු පුටු වලට පත් කරල තවත් දහ දෙනෙක් විතර අළුතින් අරන් මේ අය යටතට පත්කලා.
ඒ දහ දෙනත් අර හතරදෙනාටම හරියන අය. හුඟක් හොඳින් මහන්සි වෙලා වැඩ කලා. තවත් අවුරුද්දක් විතර යනකොට තවත් අය ගන්න අවශ්‍යතාවයක් මේ ආයතනයට ආවා. මොකද ආයතනය හුඟක් දියුණු වෙලා තිබ්බ හන්දා.

පස්සෙ මේ ආයතනේට පිරිස් පාලන කළමනාකාරකෙනෙකුත් අරගෙන තවත් 15ක් විතර ගත්තා. දැන් ආයතනය පිළීවලයි. තේ හදන්න අයත් ඉන්නවා. අතුගාන්න අයත් ඉන්නවා.

මෙහෙම ටික දවසක් යනකොට එක දවසක ඩිස්පෙන්සරේ වතුර බෝතලයක් නෑ. හැමෝම ගිහින් වතුර නැති හන්දා හැරිල එනවා මිසක් ඩිස්පෙන්සරේ ලඟ තියන බෝතලේ දාන්නෙ නෑ.

මේක එක පාරක් අර මගෙ යාළුව දැක්කා. එයා කිසිම පැකිලීමක් නැතුව ඩිස්පෙන්සරේට වතුර එක දැම්මා. දාල වතුර එක පුරවගන්න ටිකට පිටිපස්සෙ දිග පෝලිමක් වතුර පුරවන්න. ජිම් යන ලමයි ඔෆිස් එකේ හිටියට වතුර එකක් උස්සගන්න පණ නෑනෙ කියල විහිලුවක් කරල මෙයා ගිහින් තිබ්බා.

පහුවෙනිදා උදේ යාළුව ඔෆිස් ආපු ගමන් එච් ආර් මැනේජර් ගෙන් පණිවිඩයක් ආවා එන්න කියල.
චෝදනාව දරුණුයි. සේවකයන්ට අපහාස කිරීම. තමන්ගෙ ජේ ඩී එකේ නැති වැඩක් නොකල කියල අපහාස කලා කියලා කෙනෙක් චෝදනාවක් කරල.

ආයතනය දියුණු වෙන්න දියුණු වෙන්න තවත් අළුත් අය එකතු වෙන්න පටන් ගත්තා. ඒවගේම මේ වගේ දේවල් ඊට පස්සෙ දිගටම වෙන්න ගත්තා. මුලින්ම ආපු අය කල කිරෙන්න ගත්තා. ඒත් ඒ බව පෙන්නුවෙ නෑ. හුඟක් දේවල් ආයතනය වෙනුවෙන් ඉවසගෙන හිටියා.

තවත් ටික කාලෙකට පස්සෙ ආයතනයට ඕනෙ වුනා තතත්ව සහතිකයක් ගන්න. ඒ වෙලාවෙදි තත්ත්ව සහතික දෙන ආයතනයෙ රෙකමදාරුව වුනේ මේ ආයතනයෙ ව්‍යාපෘති කළමනාකරුවන් සිටිය යුතු බව.
මේ අවස්ථාවෙ ආයතනයේ පාළනාධිකාරියට කරන්න තිබ්බ හොඳම දේ තමයි අර මුළින්ම පටන් ගත්ත මගේ මිත්‍රයාගේ මට්ටමේ කට්ටිය ඒ තත්ත්වයට උසස් කරන එක. මොකද ඒ අයට ආයතනයෙ වෙන හැම දේ ගැනම දැනුමක් තිබ්බා. ආයතනය සමග පිටත ගණුදෙනු කරන හැම කෙනෙක් ගැනම අවබෝධයක් තිබ්බා විතරක් නෙමෙයි ආයතනයෙ නිෂ්පාදන ගැනත් ඒවායෙ නිපදවීම් ගැනත් ඉතාමත්ම හොඳ අවබෝධයක් තිබ්බා.
නමුත් පාලනාධිකාරිය තීරණය කලේ ව්‍යාපෘති කළමනාකරුවන් පිටතින් බඳවා ගැනීමටයි. මෙයින් මිතුරා ඇතුළු බොහෝ දෙනෙක් තවදුරටත් කලකිරුණා.

අළුතින් බඳවාගත් ව්‍යාපෘති කළමනාකරුවන් බොහෝ දෙනා පාළනාධිකාරියට කත් අදිමින් කේලාම් කියමින් දක්ෂයින් බිඳවීම සිද්ධකලා. පස්සෙ ආපු සේවකයන් බොහෝ දෙනෙක් කටින් බතල හිටවපු අය හන්දා ඇත්තම වැඩ කාරයෝ කවුද කියල ආයතනයට හොයාගන්න බැරිවුනා. ඒ වගේම වැඩකාරයො කරපු වැඩ තමන් කලාවගේ එක දාගත්තු අය හිටපු හන්දා වැඩකාරයෝ කොහොමත් එළියට පෙනුනෙ නෑ.
මුලින් කණට වඩා පස්සෙ ආ අඟ ලොකුවීම හන්දා මිතුරා ඇතුළු බොහෝ දෙනා තවත් කලකිරුණා. පස්සෙ ඒ අය එකා බැගින් ඉවත්වෙන්න පටන් ගත්තා.

අවසානයේ මගේ මිතුරාත් කළකිරීම නිසා අයින්වුනා. ඒ අයින් වෙන වෙලාවෙදි පාළනාධිකාරියේ කවුරුත් ඔහුට කතා කරන්න, ඔහුගේ සේවය අගය කරන්න හිටියෙත් නෑ.

අද වෙනකොට අර කටින් බතල හිටවන කණ්ඩායම එක්ක ආයතනය වැඩ. එත් නිෂ්පාදනයෙ කොහෙ හරි වෙනසක් කඩාවැටීමක් ඇතිවුනහම ඒක ගොඩදාන්න බතල හිටවපු කට්ටිය අදටත් පරණ අයට කතා කරනවා. මේ දේ දැන් පාළනාධිකාරියට තේරුනත් ඔවුන් හැමදාම ලෝකෙට කිව්වෙ එක දෙයයි.

“අපේ ආයතනය එක්කෙනෙක් දෙන්නෙක් මත රඳා පවතින්නෙ නෑ. එක්කෙනෙක්ට දෙන්නෙක්ට මේක කඩා බිඳ දාන්නත් බෑ“


මේ මගේ මිතුරෙකුගේ අත්දැකීමක්. හැබැයි මටත් මේ වගේ අත්දැකීම් තියනවා. කියවගෙන යනකොට ඔයාටත් සමහරවිට දැනෙයි. ඒත් ගනන් ගන්න එපා. මේ අපි සිටින ලෝකයයි.
Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...