Wednesday, November 04, 2009

සීයාගේ සෙනෙහස

කාලෙකට පස්සෙ අපේ පවුලෙ සහෝදරයො ටික එක්කහුවෙච්ච වෙලාවක එක එක මාතෘකා කතා කර කර හිටියා. ඇත්තටම ඒක බොහොම සුන්දර හැන්දෑවක්. මොකද අවුරුදු ගානකට පස්සෙ තමයි එහෙම අවස්ථාවක් ආවෙ. ඔය වෙලාවෙ අපේ චතු අයිය තමයි අපිට මේ කතාව කිව්වෙ. බ්ලොග් සටහනකට වැදගත්වෙයි කියල. ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්ත පලාත බලන්න බැරිවුන හන්ද මටත් හිතුනා ඒ විස්තරේ කියන්න. මේක අයියගෙ යාළුවෙක් ගෙ අත්දැකීමක්.

සිද්ධිය වෙලා තියෙන්නෙ රාජගිරියෙ බස් රථයකදි. මේ කියන දවසෙදි බස් එකේ සෙනග ටිකක් ඉදල තියනවා. රාජගිරියෙ බස් නැවතුම්පොලෙන් බස් එක අද්දනකොටම කුඩයක් අරගෙන සුදු සරමකුයි සුදු ෂර්ට් එකකුයි ඇදගත්ත වයස අවුරුදු 80ක විතර සීයා කෙනෙක් හෙමින් ඇවිත් බස් එකේ එල්ලෙන්න හදල. ඔන්න ඉතින් මේ බස් එක නවත්තල පාපුවරුවෙ අය බැහැල මේ සීයාව නග්ග ගත්තා කියමුකො. එතන සීට් එකේ හිටපු තරුණයෙක් ඒ සීයට නැගිටල ඉඩක් දීල. සීයා නැගිටගෙනම ඉදල සීට් එක අල්ලගෙනම. ඔන්න ඊට පස්සෙ බස් එක යන්න හදනකොටම මේ සියා කිව්වලු පොඩ්ඩක් ඉන්න කියල.

ඔන්න එතකොට බස් එකේ කට්ටිය දැක්කලු ටිකක් එහායින් වයස 70ක 75ක විතර ආච්චි කෙනෙක් හෙමින් බස් එක දිහාවට එනවා. ඉතින් අන්තිමට මේ ආච්චි හෙමින් ඇවිත් බස් එකට ගොඩවෙලා. ගොඩවෙච්ච ගමන් අර සීයා අල්ලගෙන හිටපු සීට් එක ආච්චිට දුන්නා. ගොඩත් සංවේදී අත්දැකීමක්. විවාහවෙලා අවුරුදු 40ක් 50ක් ගිහිල්ලත් ඒ අය අතර තියන සමගිය සමාදානය. අන්‍යෝන්‍ය අවබෝධය ආදරය එකිනෙකාට තියන ගරුකිරීම කොච්චරද. අද කාලෙ බැදල මාස කිපයකින් වෙන් වෙන ‍ජෝඩු ඕන තරම්. ප්‍රශ්න නම් නැත්තෙ කාටද? මේ සීයටයි ආච්චිටයිත් ඒ කාලෙ ප්‍රශ්න තියෙන්න ඇති. අදත් තියනවා ඇති. ඒත් ඒවා ඒ අයගෙ ජීවිතවලට ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න ඇති.

No comments: