Sunday, August 30, 2009

ඉන්දියාව සහ ලංකාව

පසුගිය සතියක නැවත වරක් ඉන්දියාවට රාජකාරිමය චාරිකාවක් ලැබුණා. නවතින්න හම්බ වුනේ නවදිල්ලියෙ. ඒ කියන්නෙ ඉන්දියාවෙ අගනුවර. මම මේ හදන්නෙ ඉන්දියාවෙ ලස්සන වත් ඉන්දියාව එක්ක අපේ පුංචි රට සංසන්දනය කරන්නවත් නෙමෙයි. ඉන්දියාව කියන්නෙ ලංකාවය වඩා හැට ගුණයකටත් වඩා ලොකු රටක්. අනික ඉන්දියාව දකුණු ආසියාවෙ විතරක් නෙමෙයි ආසියාවෙත් බලවත් රාජ්‍යයක්. ඉතින් කොහාමද සංසන්දනය කරන්නෙ. මම කියන්න හදන්නෙ එච්චර බලවත් රාජ්‍යයක අපිත් එක්ක බලනකො‍ට තියන අඩුපාඩුත් අපේ රටේ සංවර්ධනයට ඒ රටින් ගන්න පුළුවන් දේවල් ගැන.

ඉන්දියාට ගොඩ බැස්ස හැටියෙම ඉන්දියානු ජාතිමාමකත්වය හොදින් දැනෙන්න ඒ ගොල්ලො Incredible India කියල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරල තියනවා. ඇත්තෙන්ම ඒක හදවතට දැනෙන විදිහට market කරල තියනවා. ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොලේ ඒ වගේ දේවල් තිබ්බට අනිත් අතින් ඒ දේවල් නම් මම දැක්කෙ නෑ. අපේ පුංචි රටේ ගුවන් තොටුපලේ ගුවන් සේවිකාවො (Cabin Crew) වගේම කාර්යාල සේවිකාවොත් (Ground Staff) ඉතාම ලස්සන විදිහට ඇග වැහෙන්න සාරියක් ඇදල දේශියත්වය රකිනවා. නමුත් සාරි අදින්න පටන්ගත්තු ඉන්දියාව අද තනිකරම බටහිර ආභාශයට නැඹුරු වෙලා. දණහිසට අගල් කිහිපයක් ඉහලින් අවසන් වන කෙටි සායකින් සහ පොළවෙන් අගල් කිහිපයක් ඉහලින්වු පාවහන් පැළදි ගුවන් සේවිකාවො ගුවන් තොටුපොල ආක්‍රමනය කරල තිබ්බා. දේශියත්වය පිළිබද දෙබිඩි පිළිවෙතක් මේ වෙනකම් ‍අපේ රටේ නැති එක ගැන මම නම් සන්තෝස වෙනවා.

ඊලග කරුණ සාක්ෂරතාවය අතින් අපේ රටේ ඇති දියුණුව. අපේ රටේ ඉන්න ත්‍රීවිල් මල්ලි කෙනෙක්ගෙන් විදේශිකයෙක් පාරක් ඇහැව්වොත් ගැටගහල හරි ඒක කියාගන්න තරම් අපේ අය දියුණුයි. අඩුම තරමෙ දන්න කෙනෙක් ගාවට හරි යවනවා. ඉන්දියාවෙ මේ තත්ත්වය හරිම වෙනස්. හයර් දුවන රියදුරෙක්ට (අඩුම තරමේ Air port taxi) වත් එහෙම දැනුමක් තියන අයෙක් ඉන්නෙ බොහොම අඩුවෙන්.

ආගන්තුක සත්කාරය අතින් අපේ රටත් එක්ක තරග කරන්න පුළුවන් රටක් මේ මුළු ලෝකෙවත් තියෙයිද දන්නෙ නෑ. අපේ ගෙදරකට එන ඕනැම අමුත්තෙකුට බලෙන් හරි තේ ටිකක් බොන්න නොදී යැව්වොත් ඒක අපේ හිතට හරි මදි. දානයක් මගුල් ගෙයක් පිරිත් ගෙයක් වගේ දේකදි අපි අපේ අසල්වාසීන් නෑදෑ හිත මිතුරන් එක්ක ඒ අවස්ථාව බෙදා ගන්නවා. ඉන්දියාවෙදි මේ තත්ත්වය බොහොම වෙනස්. කෙනෙක්ගෙ ගෙදරට ගියහම වාඩිවෙන්න කියල කියන්නෙත් නැති තරම්. ආගන්තුකයෙක් කියන්නෙ ඒ අයට වදකාරයෙක්. වතුර ටිකක් වුනත් බොන්න ඕනෙ ඉල්ලගෙන. අනෙක කිසිම උදව්වක් නොදෙන්න හුගක් වෙලාවට ඒ ගොල්ලො වගබලා ගන්නවා.

ඉන්දියානු ආහාරවලත් සෞඛ්‍යාරක්ෂිත බවක් නෑ. අපි මෙහෙ ඉදන් ජරාව කියල කන කෑම අඩුම තරමෙ හදන හැටි අපි දකින්නෙ නෑ. එහෙම වෙන්න ඇති කියල තමයි අපි හිතන්නෙ. ඒත් ඉන්දියාව ඒ අතින් ඉදිරියෙන්. අපි කන කෑම හදල දෙන්නෙ පාර අයිනෙ ඉදන්. ඉතින් අපි කන ජරාව අපිට පේනවා. එහෙ ආහාර ගැන මෙහෙම කතාවකුත් තියනවා. Dust is a part of Indian Food. වෙනස තියෙන්නෙ එහෙ ජාති කුල භේදයක් නැතුව සල්ලි ඇති නැති කියල නැතුව ඒ ආහාර ගන්නවා.

ඉන්දියාවෙ පාරකට බැස්සහම තියෙන ඔක්කොම වාහන ඉන්දියානු නිෂ්පාදන. මරුති තමයි වැඩිපුරම තියෙන්නෙ. තව ටාටා කාර් බස් එහෙම හරියට තියනවා. ඒ වගේම ටොයොටා හොන්ඩා වගේ කාර් ජීප් එහෙමත් තියනවා. නමුත් ඒ ඔක්කොම ඉන්දියන් වැඩපොළවල් වල නිපදවෙන ඒවා. පිටරටින් වාහන ගෙන්වන්නේ නැතුව තමන්ගෙ රටට අවශ්‍යය වාහන තමන්ම නිපදවාගෙන ‍රටේ මුදල් රට තුලම ඉතිරි කරගෙන ඒ ඔස්සේ විරැකියායට විසදුමක් හොයන්න ඔවුන් උත්සාහ ගෙන තියනවා. ඒ වගේම ඒ වාහන හරිම ලාබයි. ඒ රටේ තියෙන්නෙ ඉන්දියන් බයිසිකල් විතරමයි. අපේ රටේ නිපදවෙන මයික්‍රෝ රථයට අද වෙනකල් නිසි සැලකිල්ලක් ලැබිල නෑ. ඒ වෙනුවට අපේ පාලකයො කරන්නෙ මෙහෙ මරුති කොම්පැනි ඇති කරන එකයි. දේශිය නිෂ්පාදනයට ලංකාව මීට වඩා අතහිත දෙනවානම් කොච්චර දෙයක්ද?

මම තවත් දැක්ක එක දෙයක් තමයි ඉන්දියානු සුපිරි වෙළද පොළක පවා පිටිකිරි පැකට් එකක් හොයාගන්න බොහොම අමාරුයි. දේශිය කිරි ගොවියා නංවන්න ඔවුන් පියවර අරන්. ඕනැම පොඩි ටවුන් එකක ඔවුන් කිරි විකුනන පොඩි කඩයක් තියනවා. හරි ලාබෙට රසවත් ගුණවත් දියර කිරි පැකට්ටුවක් ලබාගත හැකියි. ඒ වගේම කිරි දවස පුරාම ගන්නත් පුළුවන්. මහින්ද චින්තකය යටතේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච කිරි ගොවියා නගා සිටවීමේ ව්‍යාපාරය තාම හරියටම ක්‍රියාත්මකද දන්නෙ නෑ. එහෙම වෙලා ලංකාවෙ පිටිකිරි භාවිතය අඩුවෙනව නම් මිනිස්සුන්ට හැදෙන ලෙඩරෝග ටිකක් හරි අඩුවෙයි.

ඔය මම දැකපු දේවල් වලින් ටිකක් විතරයි. තව කියන්න ගොඩක් දේවල් තියනවා. මොනව වුනත්, මොන දේ වුනත් ශ්‍රී ලංකාව තරම් හොද රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.

1 comment:

Deepika said...

ඉන්දියාව ලංකාවට වඩා ලොකු වුනාට ලංතාව හොදයි වගේ

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...