Tuesday, August 18, 2009

ප්‍රේමකීර්ති නම් ඔහු


එදා ඉරිදාද සදුදාද කියා මට හරියටම මතක නැත. මා පාසල් යන වයසේ කුඩා එකෙකි. උදෑසන ප්‍රවෘත්ති වලින් කී දේ හීනෙන් මෙන් ඇසුනු මම වේගයෙන් නිදිගැට කඩාදමා රූපවාහිනිය අසලට දිව්වෙමි. එදින උදෑසන පුවත් වල ඒ අදුරු මූසල ආරංචිය ප්‍රකාශ විය. ඒ මා ඉතා ඇළුම් කල නිවේදකයා එකල ක්‍රියාත්මකවූ දේශපාලන සංවිධානයක් විසින් ඝාතනය කර ඇති බවයි. ඒ වෙන කවුරුත් නොව විසි වසරකට පෙර අප අතරින් සමුගත් ප්‍රේමකීර්ති ද අල්විස් මහතායි. මේ සටහන තැබිය යුත්තේ මීට සති දෙකකට කලින් වුවද අතිශයින්ම රාජකාරි බහුලවූ බැවින් දැන් මේ සටහන තබමි.

එදා කුඩා එකෙකු වශයෙන් සිට මට දැනුන හැගීම මුළු රටටම දැනුනු බව මම‍ හොදින් දැන සිටියෙමි. එය ඒ තරම් ප්‍රබලය. ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීනයෙකුගේ නික්ම යාම මුළු රටටම ඉමහත් පාඩුවකි. නිවේදකයෙක්, ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, වැඩසටහන් සම්පාදකවරයෙක් මෙන්ම හිත හොද මිනිසෙකු ලෙස රටතුල ජනප්‍රිය වූ ඔහු කලාවට උපන් මිනිසෙකු විය.

මා එකල ඉතා ආසාවෙන් නැරඹු වැඩසටහනක් වුයේ ශනිදා සාදයයි. ඔහු වැඩසටහන මෙහෙය වන දින රස ගුලාවකි. විහිළු තහළු මෙන්ම දැනුම රසවින්දනව ඔහු බෙදයි. වර්ථමානයේ මිනිසුන් රූපවාහිනිය ඉදිරිපිටින් ඉවත්වන්නේ ඇයි දැයි යන පැණයට දිය හැකි එක පිළිතුරක් වන්නේ ප්‍රේමකීර්ති වැනි නිවේදකයන් නැති අඩුපාඩුවයි. ඔහු හදිසියේ පද බදින ගීත අපි තවත් රසවිදින්නෙමු. නිරංජලා සරෝජිනිගේ අත්දැකීමක් පදනම් කරගෙන ඉතාමත් කෙටිකලකින් නිමැවුනු “කෙදිනද කූඩු සදන්නට එන්නේ - කෙදිනද කූඩුවෙලා අප ඉන්නේ” ගීතය එවැන්නකි. නැසීගිය මර්වින් පෙරේරා ගයන “සද මිදුලට එනවා” ගීතයද ප්‍රේමකීර්ති විසින් ලියන ලද්දකි. ඔහු සම්මානනීය ගිත රචකයෙකි. මරුකතර චිත්‍රපටියට ඔහු ලියූ “වළාකුලක් ගෙන මුවා කරමු හිරු” ගීතයට එම වසරේ සරසවි සම්මානය හිමිවුනි. සුනිල් එදිරිසිංහ ගයන “මිනිසෙකු පිට නැගි අසරුවෙකි” ගීතයේ රචකයාද ඔහුය. වික්ටර් රත්නායක ගයන “ආදරයේ උල්පත වූ අම්මා” සහ “සිහින සතක් දුටුවෙමි මම” ගීත මෙන්ම අදත් අපි ආසාවෙන් නරඹන දොස්තර හොදහිත තේමා ගීතය වන “මුහුද මගේ ගොඩබිමයි” ගීතද ඔහුගේ නිමැවුම්ය. මෙලෙස ඔහු අසීමිත ගීත සංඛ්‍යාවක් සිංහල ගීත සාහිත්‍යයට එක්කලේය.

වසර ගණනාවක් ඔහු විසිතුර පුවත්පතේ විශේෂාංග ලේඛකයෙක් ලෙස විශාල සේවයක් කරන ලදි. ඔහු කුඩා දරුවන්ට ආදරය කලේය. කුඩා දරුවන් ඇතුළු මුළුමහත් සමාජයම ඔහුට අසීමිතව ආදරය කළෝය. ඔවුහු තවමත් ආදරය කරති. එදා ඔහුට ආදරය නොකල කිහිප දෙනෙක් ඔහුව ම‍රා දැමූහ. දැන් එයට වසර විස්සකි. සිදුවූයේ තවත් වසර ගනනාවකට අමතක නොවන චරිතයක් විනාශ වීම පමණි. අවසානයේ අපට කිවහැක්කේ එකම දෙයකි. ඒ ප්‍රේමකීර්ති මහතානෙණි ඔබට නිවන් සුව යන්නයි. අවසන් වශයෙන් කළයුතු ප්‍රාර්ථනාව නම් මෙවැනි කුරිරු මිනිසුන් නැති කලෙක ඔබ අප අතරම ඉපදේවා යන්නයි.


Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...