Thursday, June 03, 2010

මේ දවස් වල වෙච්ච දේවල් ටිකක්

මම මේ ලියන්න යන‍්නෙ පහුගිය දවස් වල සිද්ධ වෙච්ච දේවල් ටිකක්. සිදුවීම්. හිනා යන දේවල් මුකුත් නෑ. කලින්ම කිව්වා ඔන්න.

පළමු සිදුවීම

මගේ ඥාති සහෝදරයෙක්ගෙ මංගල්‍යය උත්සවය පැවැත්වුනේ වෙසක් දවසට කලින් දවසෙ. ඉතින් වෙසක් පෝය දවසෙ අපි ඒ ගෙදරට ගියා උදව්වෙන්න කියල. වෙසක් දවස හන්ද දන්සැල් වැහි වැහැල. ඉතින් කට්ටියටම ඕනෙ වුනා දවල්ට දන්සැලකින් කන්න. උදේ දහයට විතර නැන්දා ඇවිත් කිව්වා ගෙවල් ලග ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් තියන කතාවක්. ඔන්න ඊට පස්සෙ බත් කන්න හිටපු අපිට දැන් ෆ්‍රයිඩ් රයිස් ඕනෙ වෙලා. දැන් බලන් ඉන්නෙ රතිඤ්ඤා පත්තු කරනකන් පෝලිමට යන්න. දොලහ වෙනකොටත් රත්ඤ්ඤා පත්තු වුනේ නෑ. ඒ වුනාට බඩගින්න නම් පත්තුවෙලා තියනවා. මල්ලි ඉතින් ඉන්න බැරිම තැන බයිසිකලෙත් අරන් ගිහින් බලල ආවා. අයියෝ පස්සෙ බලනකොට දන්සැල හෙට. පස්සෙ සනාගෙ ත්‍රී විල් එකේ නැගල ගියා කිලෝමීටර් දහයක් විතර. ෆ්‍රයිඩ් රයිස් තියා බත් වත් නෑ. පස්සෙ පාන් එක්ක සීනි සම්බෝල දන්සැල් දෙකකටයි නුඩ්ල්ස් දන්සැල් එකකටයි, බෙලිමල් සිසිල් බීම දන්සැල් දෙක තුනකටයි ගිහින් බඩගින්න අඩුකරගත්තා. ආපහු එන්න එනකොට ගෙදරට කිලෝමීටර් දෙකක් විතර තියෙද්දී ත්‍රීවීල් එකේ පෙට්‍රල් ඉවර වුනා. ඒ කිලෝමීටර් දෙකත් තල්ලු කරගෙන ෂෙඩ් එකක් ගාවට එනකොට ආයි බඩගිනියි. ගෙදර ගිහින් ආයිත් නැනදගෙන් බත් පිගානක් ඉල්ලගෙන කෑවා.

දෙවන සිදුවීම

මගේ ඥාති සහෝදරය මධුසමය ගත කරල දවස් දෙකකට පස්සෙ ආයෙත් කොළඹ ආවා. ඇවිත් එදා රෑ නැවතුනේ ගාළු මුවදොර හෝටලයෙ. හවස 7ට විතර මගින් මාව වාහනේට දාගත්ත ආයි ඒක ගෙදර ගේන්න ඕනෙ හන්ද. තවත් අඩුම කුඩුම ටිකක් අරන් අපි වෙසක් ට්‍රැපික් එක අස්සෙ යන්තම් කොම්පඤ්ඤවීදියට එනකොට රෑ 10ට කිට්ටුයි. කොම්පඤ්ඤවීදියෙන් කෙලින්ම අපේ අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන් වුනත් එතන තිබුණ වෙසක් තොරණ හන්ද පොලිස් රාළහාමිල ඒ පාර වහල තිබ්බා. ඉතින් ආයෙත් හරවගෙන කොල්ලුපිටියට ගිහින් තදබදය අස්සෙ ගාළු මුවදොර වට රවුමට එනකොට රෑ 12.05. හෝටලය පැත්තට හරවනකොටම එතන හිටපු රාලහාමි කියපි ඒ පැත්තට හරවන්න බෑ කියල. මම කිව්වා රාලහාමිට අපිට යන්න ඕනෙ හෝටලයට කියල. රාලහාමි බෑම කියනවා. මම ඇහැව්වා එහෙනම් හෝටලයට යන්න වෙන පාරක් තියනවද කියල. වෙන පාරකුත් නැහැල්ලු. ඊට පස්සෙ රාලහාමි අහපි මොකටද හෝටලේට යන්නෙ කියල. මගේ හැටි දන්න හන්ද අයියා පැනල උත්තර දුන්නා හෙට මගෙ හෝම් කමින් එක ඒකටයි යන්නෙ කියල. හා එහෙනම් යන්න කියල රාලහාමි කිව්වා.

තුන්වෙනි සිදුවීම

මට තියෙන්නෙ පොඩි මරුටියක්. ඉන්ධන පිරිමැසුම් හන්දයි ගත්තෙ. වායුසමීකරණයෙ කාර්යක්ෂමතාවය වර්ධනය වෙන්න කියල හිතල වාහනේ වීදුරු ටිකක් අදුරු (ටින්ට්) කලා. ඔන්න පහු වෙනිද අයියගෙ හෝම් කමින් (මං හිතන්නෙ සිංහලෙනුත් හෝම් කමින් තමයි) යනකොට තවත් රාලහාමි කෙනෙක් වාහනේ නැවැත්තුවා. නවත්තල කියනවා මහත්තය ඔය ටින්ට් එක ගලවන්න. නැත්තම් 5000ක් දඩ ගහනවා කියල. මම ඇහැව්වා ඒ ඇයි කියල. පස්සෙ බලනකොට එහෙම නීතියක් දාලා. ඔක්කොම ඉතින් අපිට තමයි. අපරාදෙ. පස්සෙ මම ටින්ට් එක ගැලෙව්වා.

හතරවෙනි සිදුවීම

මම වාහනේ අරන් යන්තම් මාස 5යි. ගන්න පුළුවන් කමකට නෙමෙයි. ලීසිං වල ගනන් අඩුවෙච්ච හන්දයි ගත‍්තෙ. ආණ්ඩුවෙන් හුගක් බදු අඩුවුනා. දැන් මගෙ වාහනේ විකුණන්න එහෙම බෑ. මොකද තව ටික දවසකින් මම ගත්ත පාවිච්චි කරපු කාර් එකට වඩා අඩුවට අළුත් එකක් ගන්න පුළුවන්. දැන් ඉතින් ගත්ත එක පාවිච්චි කරනවා ඇරෙන්න මාරුකරන්න අදහසක් නෑ.

තව ඔය වාගේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුනා. කියල වැඩක් නෑ අප්පා. ඒක හන්ද කියන්නෙ නෑ.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි

Tuesday, June 01, 2010

සිංහල බ්ලොග් කෙරුවාවට අවුරුද්දයි


ඔන්න මමත් සිංහල බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් වුනා. කාලය ගෙවිල යනවා දැනුනෙම නැහැ. බ්ලොග් කරුවෙක් වෙලා අවුරුදු හතරකට කිට්ටුවෙන්න ආවත් සිංහල බ්ලොග් ලියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. මම ලියන මගේ බ්ලොග් පහක් තියෙනවා. නමුත් අවිවේකය හන්ද නිතරම යා‍වත්කාලීන වෙන්නෙ ඒවායින් කීපයක් පමණයි. අචිරගේ දිනපොත කියන්නෙ එහෙම යාවත්කාලීන වෙන එක බ්ලොග් පිටුවක් විතරයි. හැබැයි මම මගේ බ්ලොග් සින්ඩියක් තුලට ඇතුලත් කලේ ලගදි. සිංහල බ්ලොග් සංසදයෙ වගේම ලාංකීය සිතුවිලි තුලත් මගේ බ්ලොග් තියනවා.

මම බ්ලොග් ලියන්නෙ මට නිදහස තියන වෙලාවට මට වැදගත් කියල හිතෙන දේ ගැනයි. මමත් නිතර කියවන බ්ලොග් කීහිපයක් තියනවා. ඒවා ගැනත් පුංචි සදහනක් නොකර බෑ. හෙලයාගේ මියුsick විතරයි, ඉන්දිකගෙ එකේ වාට්ටුව, කස්සාගේ The Last Row, දොඩන් අයියගෙ හද ගී පොත, Taboo ගෙ Taboo Subject වගේම මාධවගෙ Photography Blog එකත් අනිවාරයයයෙන් කියවන ඒවට වැටෙනවා.

ඉතින් මගේ බ්ලොග් ඉස්සරහටත් කියවයි කියල බලාපොරොත්තු වෙනවා.

Wednesday, May 19, 2010

ප්‍රේමයේ අතුරු ඵල


මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙන‍වා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි.

ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා.

මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි.

අවුරුදු දෙකක් ගෙවිල ගිහින් ‍උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ.

(මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ)

ඡායාරූපය මෙම යොමුවෙනි

Thursday, May 13, 2010

ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ ඉරණම


මා මතු සදහන් තරනුයේ මා දන්නා හිත‍වතෙකු පිළිබද කතන්දරයයි. වර්තමාන සමාජය හා බලන කල ඔහු කළුත් නැති සුදුත් නැති අළු චරිතයකි. කිසියමු වු දෙයක අනන්තයට නොගිය හෙතෙම හැමදේම මධ්‍යස්ථව ඉවසයි.

විවාහකයෙකු වූ හෙතෙම විවාහයට වසර ගණනාවකට පෙර සිටම නිර්මාංශ පුද්ගලයෙකි. කිසිදා මත්පැන් නොබිව් ඔහු දුම්පානයද සූදුවද අතහැර ජීවත්වූවෙකි. අඩුම තරමේ උත්සව අවස්ථාවකදී වත්බියර් පානයෙන් වුවද බැහැරවූ ආදර්ශමත් චරිතයක් විය.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. විවාහයෙන් පසුවද හිතවතා ‍ප්‍රතිපත්ති රැක්කේය. ටික කලෙක පටන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ශරිරයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ශරීරය ක්ෂය විය. නිතරම අසනීප විය. සාමාන්‍ය බෙහෙත් සහ පරීක්ෂන වලින් සුවයක් නොවීය. අවසානයේදී සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරිනි. ඔහුගේ නියම තත්ත්වය අනාවරණය විය.

අද ඔහු දියවැඩියා රෝගියෙකි. කොලෙස්ටරෝල් අධිකව අඩංගුය. තවත් එකි මෙකී රෝග ගණනාවකට ඔහු හිමිකම් කියයි.

එකල ඹහුට මත්පැනට ඇරයුම් කල මිතුරෝඔහුට සරදම් කරති. මාංශ භක්ෂකයෝද එසේමය. ලෝ දහම සමානයයි කියුවත් මෙවැනි අසමානතා ලෝ දහම තුල ඇත. රැකි ප්‍රතිපත්ති කුමටදැයි අද හෙතෙම සිතයි.

ඡායාරූපය ලබා ගත්තේ මෙම යොමුවෙනි.

Wednesday, May 05, 2010

මල්ලිගේ කතා

මම පවුලේ එකම ලමයා. මට ඉතින් සහෝදර සහෝදරියො කවුරුත් නෑ. පොඩිකාලෙ ඉදන් මගෙ තනියට හිටියෙ මහප්පගෙ පොඩි එකා තමයි. අල්ලපු ගෙදර ඉන්න හන්ද මට කවදාවත් පාළුවක් දැනුනෙ නෑ. දැන් මිනිහා ගජ ඉලන්දාරියා. දැනුත් මල්ලිගෙ කතා හන්ද පාළුවක් නෑ. මේවා මල්ලිටයි මල්ලිගෙ සෙට් එකේ ඉන්න අයටයි වෙච්ච දේවල්. මම මේ දේවල් ලියන්න හිතාගෙන හිටියෙ බ්ලොග් මැරතන් එකට. නොදැනුවත්ව වෙච්ච වැරැද්දට මට අන්තර්ජාලෙට ඇතුල් වෙන්න බැරි වෙච්ච හන්දා මැරතන් එකට එන්න බැරිවුනා. දැන් ඒ කතා ටික එක එක වෙනසකටත් එක්ක ලියන්නම්. හිනා යයිද නම් මම දන්නෙ නෑ. හිනා යන ගතියක් තියන හන්ද පොඩි පොඩි කතා ටිකක් ලියන්නම්.මේක තමයි පළවෙනි කතාව.

මල්ලිත් මල්ලිගෙ යාළුවො සෙට් එකත් වැඩිපුර ඉන්නෙ පන්සලේ. පන්සලේ මොකක් හරි වැඩක් තියනවනම් කොල්ලො ටික මැරීගෙන වැඩ. ඕක හන්දම ගමේ පන්සලේ පොඩි හාමුදුරුවොත් මේ කට්ටිය එක්ක හරි හිතවත්. ඒකට තවත් හේතුවක් තිබුනා. ඒ පොඩිහාමුදුරුවොත් බොහොම තරුණ කෙනෙක් වීම. ඉතින් මේ සුහදත්වය දිගටම පැවතුනා. ඔන්න දවසක පන්සලේ උත්සවයක් තිබ්බා. කට්ටිය ගජරාමෙට වැඩ. පොඩි හාමුදුරුවොත් ඉතින් ඇවිත් උදව්වුනා. ටික වෙලාවකින් හාමුදුරුවො මේ ගොල්ලන්ට තේ එකක් බොන්න පන්සලට කතා කලා. කට්ටියට ඒකට වත් ඉස්පාසුවක් නෑ. හාමුදුරුවන්ගෙ ඇවිටිල්ලත් වැඩියි. ඉතින් එතන හිටපු මල්ලිගෙ යාළුවෙක් හාමුදුරුවන්ට “හාමුදුරුවො යන්න අපි වඩින්නම්” කියල කිව්වා. ඉතින් කතාව එතනින් ඉවරයි.

Thursday, April 29, 2010

ජීව්තය අතරමං කල මංගල්‍යය

ඇත්තම කියනවානම් පසුගිය දිනවල මේ ආකාරයට බ්ලොග් ලිවීමට තරම් ඉස්පාසුවක් නැතිවෙන්නට තිබුනි. ඒ මාගේ ඥාති සොයුරියගේ මංගල්‍යය උත්සවය නිසාවෙනි. සියල්ල මනා ලෙස සුදානම් වුවද අවසනදී මට බ්ලොග් ලිවීම සදහා අවකාශය පෑදුනි.

මා ඥාති සොයුරිය අගනුවර උසස් බාලිකාවකයට පිය මැන්නාය. විභාග කඩඉම් ජයගත් ඇය අවසානයේදී ජයවර්ධනපුර සරසවියේ කළමණාකරණ විශේෂ ගෞරව උපාධියෙන් තම දැනුම් සම්භාරය නතරකර නොගත්තිය. ලොව පිළිගත් කළමනාකරණ උපාධි රැසක් ඇය සමත් වූවාය. ඒ ඇය අධ්‍යාපනය කෙරෙහි සිතැත්තියක් වූ නිසාය. සරසවි බිමෙන් පිටවෙන විටද ඇය අයියා කෙනෙකු සොයා නොගත්තාය. පසුව ඇය ලංකාවේ ප්‍රකට බැංකු කිහිපයක සේවය කලාය. ඇය ක්‍රමයෙන් තිස් හැවිරිදි වියට කිට්ටුවන විට ඇයට සහකාර කළමණාකාර ධුරයකට උසස් වීමක් සමග දුෂ්කර පළාතකට මාරුවක් ලැබුණි. ඇය මේ වන විටත් තනිකඩය. දෙමාපියෝ ඇයට සුදුසු අයියෙක් වසර ගනණාවක් තිස්සේ සොයා බැලූ නමුත් නොයෙක් අඩුපාඩුකම් පෙන්වමින් ඇය ඒවා ප්‍රතික්ෂේප කලාය.

දුෂ්කර පළාතෙන් කළමණාකාර ධුරයකට උසස්වීමක් ලැබ අගනුවර ශාඛාවකට ඇයට පත්වීම ලැබෙන විට තවත් වසර කිහිපයක් ගතවී මැදිවයස් එළඹ තිබුනි. තවමත් ඇය තනිකඩය. දෙමවිපියන්ගේ දැඩි කැපවීම සහ සෙ‍වීම මත ඇයට ගැලපෙනම සහකරුවා අවසනදී ඇය තෝරාගන්නා ලදී. ඔවුන් අන්‍යනෝන්‍ය වශයෙන් ඉතා ඉක්මනින් හදුනාගෙන විශ්වාසය සහ ආදරය ගොඩනගාගෙන තිබුනි. පවුලේ සියල්ලෝම ඔවුන් දෙස සතුටු සිතින් බලා සිටියහ. සියල්ල මෙසේ සැරසෙද්දී විවාහයටද දින නියම කරගැනිනි.

සියල්ලෝ යුහුසුළුව ඒ හා සම්බන්ධ කටයුතු කලහ.

අක්කා අතිනත ගැනීමට සිටි අයයා විවාහයට සති තුනකට කලින් බයිසිකලයෙන් නගරයට එමින් සිටියේය. කිසිවක් සිතාගැනීමටත් පෙර වේගයෙන් පැමිණි මෝටර් රියක් අයියා පාරමැද අසරන කර දමා පළා ගියේය. අනතුරින් අයියාගේ හිසට බරපතල තුවාල සිදුවිය.

විවාහ දිනයද එලඹියේය. අයියා තවමත් දැඩි සත්කාර ඒකකයේය. හිසට සිදුවූ බරපතල සිදුවීම් නිසා සති තුනකටක් වඩා වැඩිකාලයක් ඔහු සිහි විසඥව සිටියේය. දැන් ඔහු යන්තමින් දෑස් විවර කරයි.

අක්කා හැඩුකදුලෙන්ය. අයියාගේ තත්ත්වය ගැන වෛද්‍යවරු විවිධ මත පලකරති. අයියාගේ අංශයක් තවමත් අකර්මන්‍යය. අක්කා ඉල්ලනුයේ “අයියාව කෙලින් කරලා දෙන්න” යන්න පමනකි. ඇය දැන් පන්සල් යයි. බෝධිපුජා තබයි. මහා හඩින් ගාථා කියයි. තනිවම කාමරයට වී අඩයි.

විවාහය වෙනුවෙන් වෙන්කල බොහෝ දෑ වියැකෙමින් පවතී. වැරදිකරුවන් තවමත් නිදැල්ලේය. නොකල වරදකට ජීවිත කීයක් නම් වන්දි ගෙවිය යුතුද?



ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...