Wednesday, July 26, 2017

පොලිතින් තහනම මගේ ඇසින්

සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් ලන්ච් ෂීට්, ෂොපින් උර වගේම රෙජිෆෝම් පෙට්ටිත් තහනම් කරල. ඉතාමත්ම හොඳ දෙයක්. කොච්චර හොඳ දෙයක් වුනත් හැම එකකම පොඩි පරහක් හිටිනවා.

ඕනෑම ආණ්ඩුවකට කිසියම් දෙයක් තහනම් කරන්න එක රැයකින් පුළුවන්. ඒත් ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ විකල්ප දෙන එක. දැන් මේ ප්‍රශ්නෙදි වුනත් තහනම ගෙනාවට ඒ වෙනුවට විකල්පයක් තවමත් නෑ.

ශොපින් උර වෙනුවට අපිට පුළුවන් රෙදි බෑග් පාවිච්චි කරන්න. ඒක තවත් ඉතාම පරිසර හිතකාමී අදහසක්. ලස්සන පාට පාට රෙදි බෑග් ගත්ත අය පාර පුරා ෂොපින් යනවා අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මේකෙන් තවත් පිරිසකට ස්වයං රැකියා බිහිවෙනවා. බෑග් හදන අයට විතරක්ම නෙමෙයි ඩිසයින් කරන අයටත්. සුපිරි වෙළඳ සැල් නම් මේ ක්‍රමය මුල ඉඳළම පාවිච්චි කලා. අළුත් විදිහට එයාලා ඒ බෑග් නැවත පාවිච්චි කරනවා නම් පොයින්ට්ස් එකතු කරන්නත් උත්සාහ කලා. මේ මගින් පොලිතීන් බෑග් පරිහරනය යම්තාක් දුරකට අඩුවුනා. ඒත් පොළකට එහෙම යනවනම් ටිකක් ලොකු බෑග් අරන් යන්න ඕනෙ. පොළක් ගත්තොත් ලොකු මල්ලක එලවළු දාගෙන එන්න ලොකු මුදලක් ඕනෙ. දැන් තියන සාමාන්‍ය පවුලකට සතියකට කන්න ගේන්න පොඩි ෂොපින් උරයක් ඇති. ඒත් එයාලත් කවදහරි පුරුදු වෙයි කල් පවතින රෙදි බෑග් එකකට.

නමුත් මෙතනදි මට එන ගැටළුව තමයි මෙච්චරකල් ෂොපින් උර හදපු විකුණපු අයගෙ රස්සාවල් වලට මොකද වෙන්නෙ. ඒ කර්මාන්තශාලා වහල දාන්න වෙනවද? ඒ කර්මාන්ත ශාලා වලින් වෙන ව්‍යුත්පන්න හදන්න පුළුවන්ද? ෂොපින් උර කර්මාන්තය කියන්නෙත් ලොකු Supply Chain එකක්. මේ දාමයෙ එක තැනක් බිඳෙනවා කියන්නෙ මුළු දාමයම බිඳෙනවා කියන එක. ෂොපින් උර හදන්න ඕනෙ අමුද්‍රව්‍ය ගේන්න කට්ටියක් ඉන්නවා. පිරිපහදු කරන්න කට්ටියක් ඉන්නවා. හදන්න කට්ටියක් ඉන්නවා. බෙදාහරින්න කට්ටියක් ඉන්නවා. තව පාවිච්චි කරපු උර ප්‍රතිචක්‍රී කරනය කරන කට්ටියකුත් ඉන්නවා.  ගමේ සිල්ලර කඩේ තියෙන්නෙත් ෂොපින් උර. කර්මාන්ත ශාලාවෙ ඉඳන් ගමේ සිල්ලර කඩේට ෂොපින් උර එන තැනට එනකං කී දෙනෙක් ජීවත් වෙනවද? කඩදාසි උර එහෙමත් නැත්තම් රෙදි බෑග් හදල මේ දාමයෙ ඉන්න අයට ජීවත් වෙන්න පුළුවන්ද?

හවසට ගන්න කොත්තුවක් ගෙදරට ගේන්න රෙජිෆෝම් පෙට්ටි ඕනෙම නෑ. ඒක හන්දා වතුර  රැදෙනවා. මදුරුවො බෝවෙන්න පුළුවන්. රෙජිෆෝම් පුච්චන කොට පිටවෙන වායුව විෂ සහිතයි කියල මම කියවපු ලිපියක තිබ්බා. ඉතිං අපිට රෙජිෆෝම් භාවිතය ලේසියෙන් නැතිකරන්න පුළුවන්. ඒත් මම උඩ කතා කරපු ප්‍රශ්නය එහෙම්මම රෙජිෆෝම් වලටත් බලපානවා.

අන්තිමට අපි එමු ලන්ච් ෂීට්. කොච්චර නෑ බෑ කිව්වත් මේක නම් එදිනෙදා ජීවිතේට නැතිවම බැරිවෙනවා. මොකද හැමෝම බත් බෙදාගෙන වැඩට ගේන්න විදිහක් තියෙන්න ඕනෙ. ප්ලාස්ටික් කෑම පෙට්ටිය මේකට හොඳ ආදේශකයක්. නැවත භාවිතයත් පහසු හන්දා මේක ජනප්‍රිය වෙයි. ඒත් කෑම පෙට්ටියකට බෑග් එකක් ඇතුලෙ ලොකු ඉඩක් යනවා. පොඩි හෑන්ඩ් බෑග් එකක් ඇතුලෙ පර්ස් එකකුයි කුඩෙයි මේකප් සෙට් එකයි අරකය් මේකයි ඔක්කොම දාගෙන යන ගැහැනු කෙනෙකුට කෑම පෙට්ටියකුත් දාන්න ඉඩක් තියෙයි කියල හිතන්න අමාරුයි. පිරිමි අපි හුඟක් වෙලාවට බත් එක බැඳගෙන අරන් එන්නෙ අතේ. ඉතිං ඒක කෑම පෙට්ටියක් වුනොත් දැන්ම ඉඳන්ම විකල්පයක් හොයන්න වෙනවා.

ලන්ච් ෂීට් එකට හොඳම විකල්පෙ තමයි කෙසෙල් කොලේ. එහෙමත් නැත්තම් නෙළුම් කොලේ. හබරල කොලේ කියලත් අවුලක්ම නෑ. පරිසර හිතකාමී දේවල්. නමුත් හොයන්න හරිම අමාරුයි. කොළඹ අවට ඉන්න හුඟක් අය ජීවත් වෙන්නෙ තට්ටු ගෙවල් වල. ඉතිං කොහොමද කෙහෙල් ගස් වවන්නෙ. මේකට තමයි විසඳුමක් ඕනෙ.

අපේ තාත්තලා කියපු කතාවක් මට මතක් වෙනවා. මං හිතන්නෙ මේව සිද්ධවුනේ සමගි පෙරමුණු ආණ්ඩුකාලෙ. ඒ කාලෙ නීතියක් තිබිල තියනවා පොලොස් විකුනන්න බැරි. පොලොස් වික්කොත් පොලිසියෙන් අල්ලනවා. හේතුව පොලොස් වල අවසාන ප්‍රතිපලේ කොස්. කොස් තම්බනකොට හුඟක් දෙනාගෙ බඩ පිරෙනවා. ඒක හන්දා පොලොස් කාලෙ කැඩුවොත් ඒ දේ සිද්ධවෙන්නෙ නෑ. ඒක හන්දා ඒක තහනම් කියලා. ඒ වගේම කුරුම්බා වලටත් ඒ නීතියම තිබිල තියනවා. අවසාන පළය වෙන පොල් වෙනකං ඒවා තියන්න ඕනෙ වෑවර බීලා පොල් වෙන්න තියන ඒවා කලින් විනාස කරන්න ඔට්ටු නෑ වගේ.

මට හිතෙන්නෙ මේ ෂොපින් බෑග් නීතියත් එක්ක කෙසෙල් ගස් වලට මේවගේම අළුත් අගයක් උදාකරයි. කෙසෙල් ගසේ අවසාන ඵලය වෙන්නෙ කෙසෙල් කැන නෙමෙයි කෙසෙල් කොලේ. කැන් සඳහා නොව අතු සඳහා කෙසෙල් වවයි. ඕනෙ නං කෙහෙල් අතු විනාශ කරන කට්ටියට විරුද්දව නඩු දායි. තෛපොන්ගල් වගේ උත්සව වලට කෙසෙල් ගස් පිටින් හිටවන එකට අතුරු තහනම් නියෝග දායි. අන්තිමට නිකං පරඬැල් වෙලා යන කෙහෙල් කොලේට අපමණ අගයක් ලැබෙයි.

නෑ මං නිකං විහිළුවට කිව්වෙ.

ඉස්සර විහිළු කතාවක් තිබ්බා සිරිකොතේ තිබ්බ කෙහෙල් මලක් ඉදිලා ඒක කපනවා පෙන්නන්න රනිල් මහත්තයව එක්කං ගියපු කතාවක්. කෙහෙල් කැන කපන්න ආපු මිනිහා ඉස්සෙල්ලම ගහේ කඳට පිහි පාරක් ගහල පාත් කරල කැන කපපුවම රනිල් මහත්තයා කිව්වලු අපරාදෙ ගහ කැපුවෙ තිබ්බනං තව කැනක් හැදෙනවනෙ කියල. මෙව්වා තනිකරම මඩ ගහන්න හදපු විහිළු කතා. හැබැයි කෙහෙල් කොල සීන් එක නැගල ගියොත් වඳ පීදෙන්න හරි ආයි කෙහෙල් ගස් වවන්න පුළුවන්.

මීට වඩා කෑම ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් අවශ්‍යය වෙයි ඉස්සරහට. මොකද රුපියල් සීයක් එකසිය පනහක් දීල කන බත් එකට කවුරුවත් කෙහෙල් කොලේට විතරක් තව රුපියල් 20ක් 30ක් වියදම් කරන්න මිනිස්සු සූදානම් වෙන එකක් නෑ.

ඕනෑම දෙයකට සූදානම් වෙන්න කාලයක් ඕනෙ (මේ දීල තියෙන්නෙ ඒ මාස දෙක. කැමතිනං කෙහෙල් ගස් හිටවගන්න කියන්න එපා). ඒ වගේම මිනිස්සු ඒකට මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නත් කල් යන්න ඕනෙ. උදාහරණයක් විදිහට පාරවල් අයිනෙ කුණු දැම්ම එක. ඒක එක කාලයකදි අවම වුනා. මොකද හැම තැනම ලස්සනට තිබ්බ හන්දා. ඒ ආකල්පෙ දිගටම තිබ්බනං අපිට සිංගප්පූරුව වගේ ක්ලීන් එකට කොළඹ තියන්න තිබ්බා. ඒත් අපිරිසිදු තැන් වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ ආකල්පත් ඒවගේම වෙනස් වෙලා තැන තැන කුණු දාන්න පටන් ගන්නවා.

කෙසෙල් කොලේ බත් රහයි කියල මිනිස්සු දන්නවා. ඒකම මාකටින් පොයින්ට් එකක් කරගන්න පුළුවන්. හැබැයි කෙසෙල් කොලේ එකම පොයින්ට් එක විය යුතු නෑ. ලඟදි ලිපියක දැක්කා කෙසෙල් කොළයක් දවස් ගානක් තියාගන්න හදන්න පුළුවන් කියල නව නිර්මානයක් කල කෙනෙක්.

මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනෙ. ඒ වගේම මෙතන ලොකු වෙළදපලක් තියනවා. පොඩ්ඩක් හිතන කෙනෙක්ට හොඳ අවස්ථාවක් වෙයි.


මේක දේශපාලන පෝස්ට් එකක් නෙමෙයි. දේශපාලන වශයෙන් බලන්නත් එපා. මෙතන තියෙන්නෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක ගැන කතා කරන එක විතරයි. 
Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...