Wednesday, May 17, 2017

මුදල් ඇමටිතුමාගේ අවධානය පිණිසයි


හිතාදර ඇමටිතුමනි,

අද දින මා සේවයට පැමිණෙන විට උදේ එෆ් එම් චැනල් එකක පත්තර කියවන වැඩසටහනක් ඇසීමි. එහි එක පත්තරේක ප්‍රවෘත්තියකට අනුව ඔබ තුමන්ලා සේවක අර්ථසාධකය අවුරුදු 55 පිරුණු පසුව ගන්නට යාමේදී 14%ක බද්දක් ගසන්නට සූදානම් වන බව සඳහන් විය.

මේ දවස්වල ආණ්ඩුවට සල්ලි නැති බව සකල සිරිලාංකිය මහජනයාට පෙනෙන්නට තිබේ. ආන්ඩුවට සල්ලි නැත්තේ අපට අහවල් කෙමනක් ලබාදීමට නොව ඔබ තුමාලට වාහන මිලදී ගැනීමට බව අපි දනිමු.

මා මේ කියන්න යන්නේ ඔය 14% බද්ද ගැසුවාට ඕකට අහුවෙන්නේ කීප දෙනෙක් විතරක් කියාය. මන්ද යත් දැන් තියන කොම්පැනි ගොඩක් EPF ETF ගෙවන්නේ නැති නිසාය. ඉතිං ඔබතුමන්ලා බදු ගසා අපෙන් ගන්න දෙයක් ඔබතුමාලට නැතිවෙනවාය. ඒක හන්දා EPF ETF නොගෙවන කොම්පැනි වලට අතිවිශාල බද්දක් ගැසීමෙන් ඔබ තුමන්ලාට තවත් ආදායම වැඩි වෙන්නාහුය.

මේ ආකාරයෙන් රටේ බදු ආදායම වැඩිකර ගැනීමට හා ඉන්පසු ඒ කොල්ලකාගත් සල්ලි වලින් තවත් අලුත්ම වාහන ගෙන්වා ලංකාව අමන්දානන්දයට පත්කිරීමට, රටේ වෙසෙන පුරවැසියෙක් හැටියට මගේ දැනුම ඔබතුමා සමග පොඩ්ඩක් සෙයා කරගැනීමට මම සිතුවෙමි.

මේවා ඉතාමත්ම කාලෝචිත, ප්‍රායෝගික යෝජනාය. එබැවින් කරුණාකර මේ වෙත ඔබගේ නොමසුරු අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

වාහන තෙල් බද්ද - කිසියම් වාහනයක් මසකට තෙල් ලීටර් 50කට වඩා පරිබෝජනය කරන්නේ නම් ඒ වාහනය ගෙදර තියන වාහනයක් නොවේ. එය දුවන වාහනයකි. දුවන්නේ සල්ලි පස්සේය. එබැවින් තෙල් ලීටර් 50ට වඩා ගසන ගෘහස්ථ වාහන වලට වෙනම බද්දක් අයකරගත හැක

ෆුල් ටෑන්ක් තෙල් බද්ද - ඔබ ආන්ඩුව විසින් සිගරට් ලූස් විකිනීම නතර කරන ලදී. ගන්නවා නම් පැකට් එක පිටින් ගත යුතුය. ඒ ආකාරයට වාහනේට සැෂේ ආකාරයෙන් තෙල් ගැසීම නතරකල යුතුය. රුපියල් 100ක තෙල් නොගසා එය ෆුල් ටෑන්ක් ම ගැසිය යුතුය. අඩු ගනන් ගහන වාහන හිමියන්ගෙන් දඩ අයකරගත යුතුය.

හෝටල් නේවාසික බද්ද - සෑම මාසයක් අවසානයේදීම ලංකාවේ සියලුම නිවාඩු නිකේතන වල පවුල් පිට්න් ලැගුම් ගත් සියලුම ශ්‍රීලාංකිකයන් සොයා ඔවුන්ට බද්දක් පැනවිය යුතුය. ඔවුන්ට හෝටල් වල ලැගුම් ගැනීමට සල්ලි තියෙනවානම් ඇමතිවරුන්ට වාහන ගැනීමටත් කීයක් හරි දිය හැකිවිය යුතුය.

ඕටී බද්ද - සෑම සේවකයෙකුම හවස හයෙන් පසුව ගෙදර යායුතුය. ඕටී යනු ඔහුගේ අකාර්යක්ෂම කම නිසා හිදීමට සිදුවන අමතර කාලයයි. ඔවුන් සිය පවුල් අඹුදරුවන් සමග සිටිය යුතුය. කිසියම් සේවකයෙකු හවස හයෙන් පසුව ආයතනයක සිටී නම් සේවකයාගෙන් ආදායම් බද්දක්ද ආයතනයෙන් තවත් බද්දක්ද අයකරගතයුතුය.

විරැකියා බද්ද - රස්සාවක් නොකරන හැමගෙන් බද්දක් ලබාගතයුතුය. මන්ද එවිට ඔවුන් උද්ඝෝශන කර කර ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගන්නා බැවින්

හිඟන බද්ද - මෙය ඇමතිවරුන් සම්බන්ධයෙන් පනවන බද්දක් යයි කියා බය වෙන්න ඕනේ නැත. රටේ බොහොමයක් පාර තොටේ සිටිනා බොරු හිඟන්නන් නැතිකිරීමේ අටියෙන් මේ බද්ද හිඟන්නන්ගෙන් අයකරගත යුතුය

ලොකු සීන් බද්ද - පොළවට අඩි ගානක් උඩින් යන ගැහැනුන් මිනිසුන් ඕනෑම කෙනෙකුට මේ බද්ද ගැසිය හැකිය. හුඟක් අය උඩින් යන නිසා පළමු කාර්තුවේදී ඉහල ආදායමක් ආණ්ඩුවට ලැබිය හැකිය. ඉන්පසු බද්ද නිසා හුගක් අය නැවත පොළව මට්ටමට එනු ඇත.

පර්මිට් විකිනීමේ බද්ද - පහුගිය කාලය පුරාම මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ට ලැබුනු පර්මිට් වික්කෝය. අපි අතින් සල්ලිවියදම් කර ඔවුන්ට පර්මිට් අරන්දෙන්නේ ලැජ්ජා නැතුව තමන්ගේ ආසනයට යාමටය. එය විකුනන මන්ත්‍රීන්ට බද්දක් ගැසිය යුතුය.


කුණු බද්ද - පාරවල් පුරා කුණු දමන්නන්ට අධික බදු ගැසිය යුතුය. එවිට අඩුම තරමේ පාරවල් හරි සුද්දවනු ඇත

වයසට යාමේ බද්ද - හැමෝම වයසට යනවාය. ඉතින් වයසට යන හැමගෙන් (ඇමතිවරු මන්ත්‍රීවරු හැර) වයසට සරිලන බද්දක් ගැසිය හැකිය.

මේ ආකාරයට හෝ බදු ගසා ඔබතුමන්ලා වාහන ගන්නේ නම් අපි ඉතා කැමැත්තෙමු. අපේ පාර්ලිමේන්තුව තරම් උත්කෘෂ්ට පාර්ලිමේන්තුවක් තවුතිසාවේවත් නැත.

No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...