Thursday, March 17, 2016

ඩාර්ලි පාර යනු මහදවල් මංකොල්ල කන්නන්ගෙන් පිරුණු පාරකි.


“බලන්න සේර් මේ බීඩිම මෙහෙම ගැහැව්වහම කොච්චර ලස්සනද කියලා“
“හරි දැං ඇයි ඕක මට කියන්නෙ. මට ඕක වැඩක් නෑ. මට ආපු වැඩේ කරල දෙන්න“
“වාහනේකට ඕනෙ හන්දනෙ සේර් අපි කියන්නෙ. මෙව්ව දැම්මහම වාහනේ ආරක්සා වෙනවා. මේ බලන්න දැනුත් මේ දොර අයින හීරිලා,
“ඔය බීඩිමේ අඩිය කීයද?“
“ගාන වැඩක් නෑනෙ සේර්. වාහනේ ආරස්සාවනෙ වැදගත්වෙන්නෙ“
කතාව ඇරඹෙන්නේ මේ ආකාරයටය. නමුත් කතාවේ මූලාරම්භය මෙය නොවේ. මූලාරම්භය කොළඔ ඩාලි පාරේ වාහනයක් අයින් කර නැවතීමෙන් ආරම්භවේ. බොහෝ දෙනා අළුත් වාහනයක් හෝ පරන වාහනයක් ගත් විට වාහනයකට කුමක් හෝ අමතර යමක්‍ ගැනීමට යන්නේ කොළඹ ඩාලි පාර නොහොත් ටී බී ජයා මාවතටයි.

ඩාර්ලි පාරේ වාහනයකට අවශ්‍ය සෑම සුරුකුත්තමක්ම ඇත. ඔබට අවශ්‍යය වන්නේ සීට් කවරයක් නම් මේ ලෝකේ සාදා ඇති හැම වාහනයකම සීට් කවර එහි ඇති ඕනෑම කඩයකින් මිලට ගත හැකිය. වාහනයට අවශ්‍ය කරන ටින්ටඩ්, මඩ කවර, වීල් කවර, හුඩ් මේ ඕනෑම දෙයක් මෙහි ඇති කඩවල ඇත.

මේ පාරේ බිස්නස් මොඩල් දෙකක් තිබේ. ඒ කඩ තුල සහ කඩයෙන් පිටතය. මෙහි සාමාන්‍ය බිස්නස් මොඩලය අපට කඩයට ගොස් මිලදී ගන්නා බඩුවල ගනන් කතා කරගෙන අවශ්‍ය නම් බොහෝ විට කඩය ඉදිරිපස වාහනය නවත්වා ඒ වෙලාවෙම සවිකරගෙන (සවිකරන්නාට රුපියල් සියයක දෙසීයක සන්තෝසමක් ලබාදී) පැමිණිය හැකිය.

නමුත් මා කතා කරන්න යන මාතෘකාව ඇත්තේ අනිත් බිස්නස් මොඩලයේය. (මෙහි සඳහන් සියළු කරණු මගේත් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගේත් අත්දැකීම් මත පමණක්  ලියැවී ඇත).

ඔබ පළමු මොඩලයේ පාරිභෝගිකයෙක් විය හැකිය. නමුත් පහත සඳහන් කිසියම් කරුණක් නිසා ඔබට අවශ්‍යය කාරණාව ඉටුකරගත නොහැකි වුවහොත් බොහෝවිට දෙවන බිස්නස් මොඩලයේ තැරැව්කරුවෙකුට ඔබ හසුවීමේ අවදානමක් ඇතිවේ.

- ඔබ ගිය වෙළඳ සැලේ ඔබට අවශ්‍යම කරන සේවාව නොමැතිවී ඔබ නැවත හැරී එනවිට
- ඔබ පාරේ වාහනය නවතා ඒ වෙළඳ සැලට යන අතරතුර
- ඔබ ඩාර්ලි පාරේ සෙමෙන් වාහනය පදවන විට
- ඔබ වාහනයේ වීදුරුව පහත් කොට පාරේ කිසිවෙකුගෙන් යමක් විමසන විට
- ඔබ වෙළඳ සැලට ගොස් අවශ්‍යය සේවාව පිළිබඳ කතා කොට එම වෙළඳ සල අසලට වාහනය ගෙන ඒමට යන අවස්ථාවේදී
- ඩාර්ලි පාරේ කඩ වසා ඇති නිවාඩු දිනයකදී (පෝය ඉරිදා)
- කෙටියෙන් කියනවානම් ඔබ සිටින්නේ ඩාර්ලි පාරේ නම් ඕනෑම මොහොතකදී මෙම තැරැව් කරුවෙකුට හසුවිය හැකිය.

එම අවස්ථාවේදී මුලින්ම ඔහු විසින් ඔබේ අවශ්‍යයතාවය විමසනු ලබයි. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යයවන්නේ වාහනය ටින්ටඩ් කරගැනීමට යයි සිතමු. ඔබ පැමිණියේ කඩයක් තුල සිටනම් ඔහු ඔබගෙන් පොරොන්දුවූ මුදල විමසයි. නැතිනම් ඔහු ඔබට ටින්ටඩ් සම්බන්ධයෙන් විස්තරයක් කියයි. කඩයේ මුදලට අඩුවෙන් වැඩය කරන හැටි  කතාකරයි. වැදගත්ම කරුණ වන්නේ ඔබ කැමතිවුවත් අකමැති වුවත් අවසානයේ ඔහු ඔබගේ වාහනයට නගී. ඉන්පසු ඔබට යාමට සිදුවන්නේ බොහෝවිට දේවානම්පියතිස්ස මාවත පැත්තටය. එහි දවසේ ඕනෑම වෙලාවක මේ ආකාරයෙන් “මංකොල්ලකෑමට“ බඳුන්වූ වාහන දක්නට ඇත.

වාහනය නැවැත්තුව පසුව තවත් ගෝලයන් දෙදෙනෙකු පමණ උදව්වට පැමිනේ.

“මෙන්න මේ සේර් මම කියපු හන්දා අපේ ලේන් එකට ආවා. මේ සේර්ගෙ වැඩේ හරියටම කරල දෙන්න ඕනෙ“
ඒ ගෝලයන් දෙදෙනාට සේවාදායකයා හඳුන්වා දෙන අයුරුය. ඉන්පසුව ඔවුන් බීඩිමක් ගෙනෙයි.
“මේ සේර්ට අළුත්ම බීඩිමක් දාපල්ලා“
“මට බීඩිං එපා ටින්ටඩ් කරන්නයි මම ආවෙ“ ඒ ඔබේ හඬ විය හැකිය.
“බලන්න සේර් මේක දැම්මහම කොච්චර ලස්සනද කියලා. වාහනේට ආරක්ෂාවත් තියනවා“
ඔවුන් මෙලෙස ආරම්භකරන්නේ ඔබට අවශ්‍ය ටින්ටඩ් එක නොවිය හැක. වාහනේට කිසිත් අවශ්‍යය නොමැති දෙයකින් ඔබේ වාහනය “ලස්සන“ කිරීම ඔවුන් අරඹති.

ඇතැම්විට ඔබ එයට කැමති වනු ඇත.

“දැන් මේකෙ අඩියක් කීයද?“
“ගාන වැඩක් නෑනෙ සර් වැඩේනෙ ඕනෙ. කොහොමත් සර්ට කරන්න පුළුවන් අඩුවෙන්ම මම කරන්නම්“
ඒ ඔවුන්ය. ඇතැම් විට ඔබ එයට අකමැතිව එපා කියා රන්ඩු කර එල්ලපු බීඩිම ගලවනු ඇත. නමුත් ඉන්පසු ඔබේ වාහනයේ දොරවල් වේගයෙන් ඇර අසල බිත්ති, කණුවල වැදී සීරෙන ඒවාට ඔවුන් වග නොකියනු ඇත. ඒවාට

“මේක ගැහැව්වනම් මෙහෙම වෙන්නෙ නෑනෙ. සර් ගැහැව්වෙ නෑ. අපිට කරන්න දෙයක් නෑ“ වැනි උත්තරයක් ලැබෙනු ඇත.
බීඩින් ගසා අවසානයේදී ඔවුන් ඔබේ වාහනයේ බැජ් ගලවා පෙන්වනු ඇත.

“මේ බලන්න සේර් බැජ් නිකං ගැලවෙනවා. මේවට රිවට් ගහන්න ඕනෙ“ 
කියමින් පොප් රිවට් සමග ඩ්‍ර්ල් එකක් ගෙනෙනු ඇත. ඔබ එපා කියන්නත් කලින් ඔබේ වාහනයේ සියළුම බැජ්වලට පොප් රිවට් වැදෙනු ඇත. (පොප් රිවට් ගැසුවාට පසු වාහනයේ බොඩිය හිල්වෙන එක, වතුර ලීක් වෙන එක වැනි දේවලට හෝ තුවාල වෙන සෙන්සර් එකකට වත් ඔවුන් වග නොකියන ඇත)

ඔබ ආවේ වාහනය ටින්ටඩ් කරන්නය. දැන් බීඩිං ගසා බැජ් රිවට් කර ඇත. තවත් අටමගලක් පටලවන්න කලින් ඔබ ඒක කිව යුතුය. නමුත් ඔබ ප්‍රමාද වූවා වැඩිවිය හැකිය. වාහනයේ තවත් බුරුල් වූ තැනකට 3එම් ටේප් ගසා

“බලන්න සේර් දැං මේක ගැලවෙන්නෙත් නෑ“ කියනු ඇත.
දැන් ඔවුන් වාහනය ටින්ටඩ් කරන්න සූදානම් කරනු ඇත. වෙළද සැලේ ඔවුන් ඒ සඳහා රුපියල් 5000ක් කිව්වේ යයි සිතන්න. මොවුන් ඔබට පොරොන්දුවෙන්නේ 4000කට පමණ විය හැක. ඉන්පසු ඔවුන් ඔබෙන් විමසා ටින්ටඩ් කරන කොළ උස්සාගෙන එයි. ඔබ එක කොලයක් තෝරයි. ඉන්පසු මද වේලාවකට පසු ඔවුන් තවත් කොළයක් ඔසවාගෙන එති.

“සේර් කලින් ගෙනාපු කොලේ හරි නෑ. ඒක චයිනීස් කොළයක් මේක තමයි ඔරිජිනල් තායිවාන් කොලේ. පාට පිච්චෙන්න නෑ. ගැරන්ටියක් දෙන්න පුළුවන්. අරකට ගැරන්ටි නෑ. මේක දාමු නේද සේර්“

ඔබ වාහනයට බාල බඩුදැමීමට කැමති නැත. ඔබ ඒ සඳහා හා කියයි. මිලද විමසයි.

“කොලේනම් ටිකක් මිලයි සර්. මේ හොඳ කොලේ දාල සේර්ට 6000කට කරල දෙන්නම්“
වෙළද සැලෙන් ගත්තත් 5000ට කරන්නේ බාල කොලයෙන් යයි සිතා ඔබ හිත හදා ගනී.

“කොල්ලනේ මේ සේර්ට හොඳට වැඩේ කරන්න ඕනෙ. කෝ ඔය හීට් ගන් එක ගෙනෙන්“
ඔවුන් කොළ හොඳින් හීට් කොට වැඩේ ලස්සනට කරති. ඒ අතර තුර තවත් වාහනයේ වෙනස්කම් වලට රුකුල් දෙති.

“සේර් මේකට මඩ්ගාඩ් ගහන්න. අපි ගාව තියනවා ඔරිජිනල් මඩ්ගාඩ්“ ආදී වශයෙන් ඔවුන් විවිධ විච්චූර්න ගැන පාරම්බාති.

වාහනයේ පිටිපස්සෙ දොර ඔවුන් ටින්ට් නොකරති. බොහෝවිට අර කියූ ගානට පිටිපස්සේ දොර අයිති නොවේ. ඒ සඳහා අමතරගානක් වැයවේ.

දැන් තවදුරටත් ඔවුන්ට ඔබව සූරා කෑමට අවශ්‍ය නොවේ. ඉතින් හෙමින් හෙමින් මුදල් ගැන ඔවුන් කියවති.

“අතේ සල්ලි නැතිවුනාට කමක් නෑ සේර් මම කොල්ලෙක් එවන්නම් සේර් එක්ක බැංකුවෙන් සල්ලි අරන් දෙන්න. අපිත් එදා වේල හොයන් කන මිනිස්සුනෙ සේර්. අපිටත් දරුපවුල් ඉන්නවා. අපි ගැනත් බලන්න. අපි මිනිස්සු හූරං කන්නෙ නෑ සේර්. අපිට මිනිස්සුන්ගෙ දුක තේරෙනවා“ 
ආදී වශයෙන් බොහෝ මැසිවිලි කියවති.
දැන් වැඩේ අවසන්ය. දැන් අවසන් මිල ගනන් එකතු වෙන තැනය. මෙච්චර වෙලා අඩියට නොකියූ ගනන් කියන වෙලාවය.

“සේර් බීඩිමට මම අනිත් අයට කියන්නෙ 185 සේර්ට 175ට කරන්නම්“
“මීටරේද?“
“නෑ සේර් අඩිය“
ඉන්පසු මීටර් ගාන මනිති. වැඩි කරති. එකතු කරති. (සැලකිය යුතුයි - මේ ගනන් නිවාඩු දිනවලට වෙනස්වේ.) අන්තිමට දේවානම්පියතිස්ස මාවතට හැරෙන තැන කඩෙන් අඩිය 30-50 අතර ගනනකට කරගතහැකි බීඩිම කඩේ වසා ඇති දිනට දේවානම්පියතිස්ස මාවතෙන් 175ට කරගත හැකිය.

ඉන්පසු පොප් රිවට් සඳහා ගනන් සාදනු ලබයි. සාමාන්‍ය කඩයෙන් රුපියල් 10-20ත් අතර ගසා ගත හැකි පොප් රිවට් එකක් ඉස්තරම් විදිහට රුපියල් 50කට කරගත හැකිය. ඇතැම් විට මේ සඳහා ඩ්‍රිල් එකට සහ රිවට් මැෂින් එකට වෙන වෙනම ගෙවන්නට සිදුවේ.

ඔවුන් ඇලවූ 3 එම් ටේප් එකේ කැබැල්ලට අඩියක් 175-200ක් තරම් ඉහල ගනනක් ඔබට ගෙවීමට සිදුවේ. ටේප් එකේ අඩි 4ක පමන කැබැල්ලකින් ඔබට මුලු ටේප් එකක්ම ගැනීමට හැකියාවඇත.

ටින්ට් කරන්න 6000ක් වන අතර (ඉස්තරම් කොළයෙන්) මෙයට හීට් ගන් එකේ කුලිය වන 1500 අදාල නොවේ.

දැන් අතේ මුදල් නැතිබව ඔවුන් දනී. ඔබගේ වාහනට නැග ඔවුන් සමග ඔබ ඒ ටී එම් එකකට යා යුතුය. ඔවුන්ට ලොකු ගානක් දුන්පසු වැඩ කරපු තුන්දෙනාගේ සන්තෝසම හැටියට තවත් 1500ක් 2000ක් ඔවුන් ඔබගෙන් මංකොල්ල කති.

වැරදිලාවත් මේ කිසිම තැනකින් ඔබට ඔන් ඇපෘවල් බිලක්වත් නොලැබෙන ඇත. ගැරන්ටි ලබාගැනීමට අදහස් කරන ඔබට තවත් හිතන්න අවස්ථාවකි.

ඔබ අත මුදල් නැතිවුවහොත් ඒ සඳහා සිදුකලයුතු වත් පිළිවෙත් ද ඔවුන් හොඳින් දනී.

ඔබ ඔවුනට සාප කරනු ඇත. දේවානම් පියතිස්ස පාරට ආ දන්නා කිසිම කෙනෙකු සන්තෝසයෙන් පිටවී ගිය වගක් අසන්නට නැත.

දන්නා බොහෝ දෙනෙකුගේ අත්දැකීම් ඔස්සේ අනාගතයේ ඩාර්ලි පාරේ පියමන්නට සිතා සිටින ඔබට කෙරෙන දැනුවත් කිරීමකි.


මෙය ඩාර්ලි පාරේ වෙළද සැල් හිමියන් විසින් මුදල් ගෙවා සම්පාදනය කල පෝස්ටුවක් නොවන බව කරුනාවෙන් සැලකුව මනාය

3 comments:

බිඟුන් said...

පට්ට කතාවක්.. සිරා...

ඉන්දික උපශාන්ත said...

මට පේන්නෙ ඉස්සර වර්ල්ඩ් මාකට් එක දැන් ඩාලි පාරට ඇවිත් වගේ. මුන් බිත්තර දාන කිකිලි මරන් කන උන් ජාතියක්. ඒකනෙ රටට කෙලවෙලා තීන්බෙ.

Johnty said...

Absolute Truth ! This has happened to some of my friends too. Please ensure to take their photos and make a complaint to the nearest police station.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...