අචිර‍‍ගේ දිනසටහන්

Thursday, June 25, 2015

සාරිය


අද වෙනස්ම මාතෘකාවක් කතා කරන්න හිතුවෙ. සාරිය කියන්නෙ සිංහල ඇඳුමක් කියල  මේ ලින්ක් එකේ තියනවා. ඇත්තටම සාරිය කියන්නෙ සිංහල ඇඳුමක් නෙමෙයි. මේ ඇඳුමත් අපිට ඉන්දියාවෙන් ලැබුන දෙයක්. සාරියේම තවත් වර්ශන් එකක් වෙච්චි ඔසරිය නම් අඳින්නෙ සිංහල අපේ රටේ විතරයි.

සාරිය කියන එක සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ ගලවන්න බැරි වෙන්න. ඉස්සරම ළමයෙක් ඉපදිලා ඒ ළමයට නිදාගන්න අම්මල කරන්නෙ සාරියක් බාල්කෙක ගැටගහල ඒක පැද්දෙන තොටිල්ලක් කරල ලමයා නිදිකරවන එක. (සමාවෙන්න ඕනෙ. මම මේ කතා කරන්නෙ අනූව දශකයට කලින්. දැන් වුනත් ගම් වල මේ දේවල් වෙනවා). ඊට පස්සෙ තමයි ළමයි ඉස්කෝලෙ යන්නෙ. සාරිය කියන ඇඳුම ඉතාම සුවිශේෂී ඇඳුමක් හැටියට කුඩා කාලෙ ඉදන්ම ඔළුවට යන තැනක් තමයි ඉස්කෝලෙ කියන්නෙ. ඒ වගේම සාරියට විශාල ගරුත්වයක් ඒ කාලෙ ඉස්කෝලෙදි ළමයින්ට ඇතිවුනා. (ඒ කාලෙ කිව්වෙ දැන් කාලෙ ඉන්න බහුතරයක් සෙක්සි ටීචර් ල හන්දා). එහෙම ලමයි තමයි බස් එකකදි හරි සාරියක් ඇඳගත්ත කෙනෙකුට සීට් එකක් හරි දුන්නෙ. වෙන එකක් තියා පොඩි ලමයි සෙල්ලම් කරන කොට සෙල්ලම් ඉස්කෝල දැම්මහම ඒ ඉස්කෝලෙ ඉස්කෝලයක් වෙන්නෙ සාරි ඇඳගත්ත ටීච කෙනෙක් ආවට පස්සෙ විතරයි. පස්සෙ සාරිය කාර්යාල වලටත් ඇන්දා. බහුතරයක් රජයේ ආයතන වල අදටත් අඳින්නෙ සාරි. ඒ වගේම බොහොමයක් බැංකු වගේ තැන් පුද්ගලික අංශයෙ සමහර ආයතන අදටත් සාරිය අඳිනවා. මෙවගේ තැන්වලට සාරියක් ඇන්දහම හරිම සුවි‍ශේෂයි.


එතනින් පස්සෙ ජීවිතයේ එන හැම විශේෂ අවස්ථාවක සාරිය කියන ඇඳුමට මාර තැනක් තියනවා.විශ්ව විද්‍යාලයට ගිහින් තමන්ගෙ බැච් පොටෝ එක ගන්නෙත් සුදු සාරියක් ඇඳගෙන. මෙච්චර කාලයක් තමන්ගෙ බැච් එකේ යක්කු, හඩ්ඩියෝ හැලපියෝ වගේ ආදරණීය නම් වලින් හඳුන්වපු කෙල්ලන් කොල්ලන්ට දිව්‍යාංගනාවියෝ වගේ පේන පළවෙනි දවස තමයි බැච් පොටෝ එක ගන්න දවස. මෙ තත්ත්වය තවත් හුඟක් දරුණු වෙන්නෙ උපාධි ප්‍රදානෝත්සවය වෙලාවෙ. කාලෙත් එක්ක ලස්සන වෙච්ච ළමයි තව මේකප් දාගෙන දිළිසෙන සාරි ඇඳගෙන ඕකට ආවහම තමයි සමහර කොල්ලන්ට අපරාදෙ කියල හිතෙන්නෙ. යහමින සල්ලි තියන කෙල්ලෝ ඉන්දියාවෙ යනවා ග්‍රැජුවේෂන් එකට සාරි ගේන්න. ඊට පස්සෙ ඉතින් රස්සාවක් හොයාගන්න ඉන්ටර්විව් යනකොටත් සාරි අඳින්න වෙනවා. දැන් කාලෙ නම් මේක අත්‍යාවශ්‍ය නැතිවුනත් රජයේ රස්සාවකට යන්න සම්මුඛ පරීක්ෂනයෙදි විශේෂයෙන්ම බලන දෙයක් තමයි සාරිය.


ඊටත් පස්සෙ තමන්ගෙ දුවට මගුලක් හොයන්න මහන්සි වෙන දෙමව්පියො කපුවට දෙන්නෙ දුව සාරියක් ඇඳගෙන ඉන්න පොටෝ එකක්. ඊට පස්සෙ කපුවා මගුලක් හොයාගෙන ඒක බලන්න එන දවසටත් අම්මලා තාත්තල දුවව සාලෙට එක්ක ගෙන එන්නෙත් සාරියක් අන්දවාගෙන. දෙපැත්ත කැමති වෙලා මගුල ගන්න කලින් මගුල් සාරියට දාස් ගනන් වියදම් කරන්නත් ඒ අයට වෙනවා. මගුල් ගෙදර පෝරුව උඩ ඉන්නකොටත් තැලි පිළි අන්දන වෙලාවෙ ඉතින් ඇඟට දාන්නෙත් සාරියක්ම තමයි. ට්‍රෙන්ඩ් එක ටිකක් විතර වෙනස් වුනාට අදටත් සිංහල දෙමල මගුල්වලදී තාමත් මුල් තැන තියෙන්නෙ සාරියට තමයි.


බැන්දට පස්සෙ තියන හැම විශේෂ කටයුත්තකදිත් සාරිය වැදගත් වෙනවා. රස්සාවට යන්න - මගුල් වගේ තැන් වලට යන්න - ළමයින්ගෙ ඉස්කෝලෙ ගුරු දෙගුරු සමිතියට යන්න - පන්සලේ පිංකම් වලට යන්න - සිල්ගන්න වගේ එකී මෙකී නොකී හැම අවස්ථාවටම සාරිය වැදගත්.


මෑත කාලෙක ට්‍රෙන්ඩ් එකක් තිබ්බා සාරියක් බාල්කෙක එල්ලලා අනිත් අගට තද වෙන ගැටයක් ගහල බෙල්ලට දාගෙන මැරෙන. ඒ කියන්නෙ ජීවිතය අවසාන කරගන්න හිතුනොත් එකටත් සාරිය ඕනෙ වෙනවා. (මේ ප්‍රශ්න ගොඩක් එන්නෙත් සාරියක් හන්දම තමයි). පස්සෙ අවමගුලෙ පෙට්ටියෙ තියන්න අන්දන්නෙත් සාරියක්. බලන්න මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සාරියෙ තියන බැඳීම.


මම මුලිනුත් කිව්වා සාරිය අඳින්නෙ අපේ රටේ විතරක් නෙමෙයි කියල. ඉන්දියාව නේපාලය වගේ හැම රටේමත් සාරි අඳිනවා. අනික සාරිය ජාත්‍යන්තර ඇදුමක්. හැම රටේම සාරි තියනවා. හුඟක් අය කැමැත්තෙන් අඳිනවා. ලංකාවට එන හුඟක විදේශික කාන්තාවන් සාරියක් පටලවා ගන්න ඉන්නෙ හරිම කැමැත්තෙන්.
මම මෙහෙම කිව්වට සාරිය විශ්වීය ඇඳුමක්. මේ ලෝකෙ අය විතරක් නෙමෙයි සාරි අඳින්නෙ. නිකමට බලන්න සරස්වතී දේවී, පත්තිනි දේවී ධන ලක්ෂ්මිය අන්ජනම් දේවිය. මේ අය ඔක්කොම අඳින්නෙ සාරි. ඒ වගේම කාලි යක්ෂණී වගේ එකී මෙකී නොකී සියළුම දෙවියන් හා යක්ෂයනියන් අඳින්නෙත් සාරිය. දේව සභාව සහතික කරල තියෙන්නෙ සාරිය තමයි. ඒ විතරක් නම් තව කමක් නෑ. ටිකක් රෑ වෙලා පාරෙ යනකොට අර ළමයෙක් අරං එන ලස්සන නංගි ඇඳන් එන්නෙත් සුදු සාරියක් තමයි.


තවත් අපේ පුරාණ කතා ගොඩක සාරිය හම්බ වෙනවා. රාවණා රජ්ජුරුවො සීතාව ‍හොයන්න ගියහමත් සීතා ඉඳලා තියෙන්නෙ සාරියක් ඇඳගෙන. ඉතින් සාරියෙ ඉතිහාසෙ ගැන තවත් කතා කරල වැඩක් නෑ.
දැන් සාරියත් එක්ක වර්තමානෙට එමු. සාරිය කියන්නෙ අමුතුම ජාතියෙ ඇඳුමක්. සාරිය කියන්නෙ යාර හයක් දිග රෙදිකෑල්ලක් විතරක්ම නෙමෙයි. කාන්තාවකගෙ ශරීරයේ හැඩය හොඳටම පේන ඇඳුමක්.  සාමාන්‍ය ඇඳුමක් මහන්න රෙදි යාර හයක් යන්නෙ නෑ. ඒත් සාරියකට රෙදි යාර හයක් විතර ඕනෙ වෙනවා. ඒ  කියන්නෙ සාරියක් ඇන්දහම ගැහැණියකගෙ ඇඟ සම්පූර්ණයෙන් වැහෙන්න ඕනෙ. ඒත් එහෙම වෙන්නෙත් නෑ. ටයිඩ් ජීන්ස් ලෙගින්ස් වගේ මොන ඇඟට ඇලිච්ච ඇඳුම් තිබ්බත් සාරියකින් තරම් ශෘංගාරාත්මක රසයක් ඒ එක ඇඳුමකින් වත් පේන්නෙ නෑ. ඒකට මට හිතෙන හේතු තියනවා. අපේ රටවල් වල ගැහැණු අය දහ දෙනෙක් ගත්තොත් ඒකෙන් නව දෙනෙක්ම වෙල් මේන්ටේන් ෆිගර් ඇති අය නෙමෙයි. එක්කො ටයර් තියනවා නැත්තම් කකුල් බකලයි නැත්තම් තඩි බඩවල් තියනවා නැත්තම් ස්කින් කලර් එක මෙව්ව වෙලා එහෙමත් නැත්තම් රිටක් වගේ. මේ මොන විදිහට ආවත් හොඳම ඇඳුම සාරිය තමයි. මොකද ඇඟේ සෑහෙන්න කොටසක් ඉතාමත්ම පොදු ආකාරයෙන් හැඩයක් ඇතුව වැහෙන හොඳම ආකාරය සාරිය වෙන හන්දා. ඒ කියන්නෙ බැරල් එකකට සාරියක් ඇන්දුවත් මෝල් ගහකට සාරියක් ඇන්දුවත් හොඳට තියෙන්න ඕනෙ.
ඒ වගේම තමන්ගෙ අවුල් වෙච්ච තැන් වැහෙන්න සාරිය අඳින්නත් පුළුවන්. තඩි බඩක් තියන ගෑණු කෙනෙක්ට පුළුවන් තමන්ගෙ බඩ වැහෙන්න සාරිය අඳින්න. නැත්තම් සාරි පොටින් හරි වහගන්න. පිට කචල් වගේ හිතෙනවා නම් පුළුවන් පිට වැහෙන හැට්ටයක් අඳින්න.


මේ සංසිද්ධියෙම අනිත් පැත්තත් පුළුවන් කරන්න. ඒකියන්නෙ තමන්ට ලස්සන ඇඟක් තියනවා නම් බඩක් එහෙම නැත්තම් සාරිය බඩට පහලින් අඳින්න පුළුවන්. තමන්ට ලස්සන ඉඟක් (හිප් එකක්) තියනවා නම් සාරිය ඒ හරියෙනුත් අඳින අය ඉන්නවා. තවත් අය පපුව ඉලක්ක කරලත් හැට්ට මහනවා. පෙන්නන්න පිටක් තියනවා නම් ආයි මුකුත් නෑ මුළු හැට්ටෙටම පිටක් නෑ කියල හිතෙන තරමට හැට්ටෙ මහලා තව පොඩි සමනලයෙක්ගෙ පච්චයක් ගහනවා හයිලයිට් වෙන්න.


බලන අයට සාරි එපා වෙන්නෙ මේ සිද්ධි දෙක පටලගෙන සාරි අඳින නැන්දලා හන්දයි. කොහොමත් ශරීරයෙ අවුල් තැන් හුඟක් සාරියෙන් වැහෙන හන්දා පොදුවේ සාරිය කියන්නෙ ඉතාම වැදගත් ඇඳුමක් ගැහැණු අයට.
ඉස්සර මගුල් සාරියක්වුනත් මැහැව්වෙ ඉතාමත්ම ලස්සන විදිහට. මනාලියගෙ හැඩතල කැපිල පේන්න මිසක් මනාලියගෙ ඇඟ පේන්න නෙමෙයි. මොකද සාරිය කියන්නෙ වැදගත් ඇඳුමක් කියල පොඩි කාලෙ ඉඳන් ඔළුවෙ තියන දෙයක් හන්දා. ඒත් දැන්නම් මගුල් සාරිය මහන්නෙ මධුසමයට යන්න කරදර නොවෙන්න. ටික ටික ඒකෙ වැදගත් කම නැතිවේගෙන යන්නෙ. ඉස්සර මගුල් සාරිය ඇන්දෙ කැන්ඩියන් හරි ඉන්ඩියන් හරි විදිහට විතරයි. ඒත් දැන් ලෝකයේ ගෝලාකාර බව අඩුවෙලා හන්දා ඉන්ටනැෂනල් විදිහට මගුල් සාරි අඳිනවා. ගුජරාටි මරාටි ඇෆ්ගනිස්ථාන් ඇෆ්රිකන් වගේ සිස්ටම් වලට.


මේ මොනවා කිව්වත් ලංකාවෙ කාන්තාවන් සාරිය ගැන දක්වන ආකල්ප විවිධාකාරයි. සාරිය කියන්නෙ ඩෙනිමක් ටී ෂර්ට් එකක් අඳිනවා වගේ ඇඳුමක් නෙමෙයි. අඳින්න වෙලා යනවා. ඒ වගේම මූලික පිරිවැය ඉහලයි. පාරෙ රුපියල් 1000ට සාරි දෙකක් දුන්නත් ඒවා හොඳ සාරි නෙමෙයි. ඉස්සර ඔෆිස් අඳින සාරියක් 1500ට ගන්න පුළුවන්. මගුල් ගෙදරක අඳින සාරියක් 3500-5000 විතර වෙද්දි මගුල් සාරියත් 10000-25000 ක් විතර වුනා. දැන් ඔෆිස් අඳින සාරි කියල ජාතියක් නෑ. හැම එක්කෙනාම ඔෆිස් අඳින්නෙ මගුල් ගේකට අඳින සාරි වගේ ඒවා. මගුල් ගෙදර අඳින්න 10000-15000ක් විතර කුඩු වෙනවා. එහෙම වුනහම මගුල් සාරියක් මිලියනයක් විතර වෙන වෙලාවල් තියනවා.


අමාරුවෙන් සාරියක් ගත්තහම ඒක ගත්ත ගමන් අඳින්න බෑ. ඒකට හැට්ට (ජැකට්) මහන්න ඕනෙ. හැට්ටයක් මහන්න ලයිනින් ඕන. හැට්ටෙ මහන්න තව 1000ක් 1500ක් යනවා. තව ඉතින් සාරි කටු හෑන්ඩ් බෑග් ආදී එකී මෙකී නොකී හුඟක් දේවල් මේකට ඇතුලත් කරන්න ඕනෙ.


ඔක්කොම කරල ගත්තත් එකපාර සාරිය අඳින්න බෑ. සාරිය නවලා කටු ගහල රැලි තියලා සාරිය මදින්න ඕනෙ. හැට්ටයත් යට සායත් ඒ ගමන්ම මදින්න ඕනෙ. පුරුදු කාරයෙක්ට සාරිය විනාඩි 10න් ඇඳගන්න පුළුවන් වුනත් පුරුදු වෙන කෙනෙක්ට ඒකට පැයක් විතර යනවා. කොහොම ඇන්දත් රැලි ගානට එනකන් සාරිය සුසර (ටියුන්) කරන්න ඕනෙ. තරුණ ගෑණු ලමයින්ට සාරිය අඳින්න සැලොන් යන්න ඕනෙ. ඒකට තවත් අමතර ගානක් වියදම් වෙනවා.


සාරියක් ඇන්දහම ටිකක් උස අඩියක් තියන සෙරෙප්පුවක් දැම්මොත් මහ අමුතු ලස්සනක් තියනවා. අළුතෙන්ම ඒකත් ගන්න වෙන වෙලාවල් එන හන්ද වියදම තවත් සැර වෙනවා. සාරිය සම්පූර්ණ වෙන්න වලල්ලක් මාලයක් කරාබු දෙකක් වගේ ආයිත්තමක් ඕනෙ වෙනවා. එකටම තව පොඩි මේකප් එකක් දැම්මහම නම් සාරිය සම්පූර්ණයි. මේ විදිහට සාරියක් අන්දල ගත්තහම ඒ ගෑනු ලමයාගෙ අගය තවත් දාස් ගානකින් වැඩි වෙනවා.


සාරියක් ඇඳගෙන හරියට සැලකිල්ලෙන් ගියෙ නැත්තම් අනතුරු වෙනවා වැඩියි.මේකත් ඇන්දහම අර නිලමේ ඇඳුම ඇන්දා වගේ මහන්සි දැනෙනවා කියල ඇඳපු අය කියනවා. හැබැයි සාරි අඳින අය නිලමේ ඇඳුම් අඳින්නෙ නෑ. නිලමෙ ඇඳුම් අඳින අය සාරි අඳින්නෙ නෑ.


මේ වගේ හේතු හන්දා අද කාලෙ ගෑණු ලමයි සාරි අඳින එකෙන් ටික ටික ඈත් වෙන්න පටන් අරන්. ඒත් තාමත් ලංකාවෙ පිරිමි හුඟක් දෙනෙක් ගෑණු සාරි අඳිනවට කැමතියි.


ජීවිතේ ඉස් ඉස්සෙල්ලම සරම ඇන්ද පිරිමි ලමයාත් ඉස් ඉස්සෙල්ලම සාරි ඇන්ද ගෑණු ලමයාත් ටක් ගාල හොයා ගන්න පුළුවන්. මොකද හරිම පරිස්සමෙන් ඇවිදින හන්දා.


සාරි අඳින 100ක් ගත්තොත් 95ක්ම සාරිය අඳින්නෙ අඳින්න ඕනෙ හන්ද මිසක් කැමැත්තකින් නෙමෙයි. ඒ අයගෙනුත් හරි විදිහට සාරි අඳින්නෙ කීයෙන් කී දෙනාද? නාභිය නොපෙනෙන්න, පපුව පිට ඉන වැඩිපුර නොපෙනෙන්න සාරිය ඇඳල මලක් වගේ හිනාවකින් මූන සරස ගත්ත ගෑණු අය හම්බවෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.


පිරිමි දන්නවැයැ සාරි අඳින්න තියන අමාරුව කියල ඕනෙ ගෑනු කෙනෙකුට කියන්න පුළුවන්. ඒකත් ඉතින් ඇත්ත. මම කියන්න හැදුවෙ අමාරුවෙන් කරන දේ ලස්සනට කරපුවහම ඒකෙ අගේ වැඩි වෙනවා කියන එක.
නිකන් කට කහනවට කියපු කියමනක් තිබ්බා සාරි බලන්න ඕනෙ නම් හවස 5ට විතර බත්තරමුල්ලටයි මොඩ් කෙල්ලො බලන්න ඕනෙ නම් හවස 5ට විතර බම්බලපිටියටයි යන්න කියල. ඉස්සර සොෆ්ට්වෙයා කොම්පැනිවල වැඩ කරන කොට සාරියක් ඇන්ද කෙල්ලෙක් මගුල් ගෙදරකවත් දකින්නෙ නෑ. ඒ තරම්  අපිට සාරියක් දුර්ලබ දර්ශනයක් වුනා. දැන් වැඩකරන තැන සාරි ඇඳපු අය ඕනෙ තරම්. හරි ලස්සනට සාරියක් ඇඳපු කවුරුහරි ඉන්නව නම් කැමති අය හොරෙන් බලනවා. හැබැයි ටයිඩ් ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි ඇඳගෙන ගෑණු කෙනෙක් ආවොත් හැමෝම බලනවා. රාජ්‍ය ආයතනවල ඒ තරම් සාරිය කොමන්.

Labels: , ,

2 Comments:

Post a Comment

Links to this post:

Create a Link

<< Home