Sunday, April 10, 2011

දෑසත් පෙනේ නම්

දවස නම් ඊයෙ තමයි. වෙලාව දවල් දොලහට විතර ඇති. අළුත් අවුරුද්දට අළුත් ඇදුම් ගන්න මමත් බිරිදත් බත්තරමුල්ලෙ රෙදි සාප්පුවකට ගියා. බිල ගෙවන තැන දිග පෝලිමක්. එතන බිරිදව රදවල මම ටිකක් පිට වීමෙ දොර ලගට ආවා.

අනේ නෝනා අනේ මහත්තයා
පින් සිද්ධවෙයි
දවල්ට කෑම එකක් කන්න
කීයක් හරි දෙන්න

වයස අවුරුදු 65ක විතර තාත්ත කෙනෙක්. එයාගෙ බිරිදව අතේ එල්ලගෙන අනිත් අතින් සුදු සැරැයටියක් එක්ක. හිතට පොඩි තිගැස්මක් ඇතිවුනා ඒ ඉල්ලීමට. අන්ධ කෙනෙක් හව්හරනක් නැතුව වයසට ගියහම මොකද වෙන්නෙ කියල දැනෙන්න පටන් ගත්තා. මමත් කන්නඩි දානවා. ඒ දාන්නෙත් ස්ටයිල් එකට නෙමෙයි කියලත් මම දන්නවා. පොඩ්ඩක් පෙනීම දුර්වල වුනහම වෙන අපහසුතා ගැන මටත් අවබෝධයක් තියනවනෙ. ඉතින් ඇස් දෙකම පේන්නෙ නැති වුනහම!

එදා නාරාහේන්පිට බේස්ලයින් පාරෙ යනකොට තවත් සීයා කෙනෙක් පාර අයිනෙ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා.
Help for get a lens
කියල. එන වාහනයක් වාහනයක් ගානෙ තමන්ගෙ දුක කියන්න බැරිහන්දා දෑස් පෙනෙන අයට පේන්න ඒ සීයා බෝඩ් එකක් එල්ල ගෙන. ඒත් හුගක් දෙනෙකුට දෑස් පේන්නෙ නැති ගානට එතන පහු කරගෙන ගියා.

මම රස්සාව කරන්නෙ මෘදුකාංග සමාගමක. උදේ ඉදන් රෑ වෙනකන් ඇස්වලින් කදුළු එනකන් තිරය දිහා බලාගෙන කොටන එක තමයි රස්සාව. (ගෙදර ආව කියල ලොකු වෙනසක් වෙන්නෙත් නෑ) රස්සාවට අමතරව කරන හුගක් දේවල් ඇහැත් එක්කම බද්ධ වෙලා. චිත්‍රප‍ටි බැලිල්ල ඡායාරූපකරනය වාහන එලවිල්ල. බැරිවෙලා හරි අනාගතේ මේ හිගාකන්නෙ මම නම්!

මගේ හිත සෑහෙන්න දුරගියා. පසුම්බිය‍ට අත ගියෙ නිකන්ම. මේ සිදුවීම් අවසාන වෙනකොට බිරිදත් එලියට ආවා. එයත් දෙපාරක් හිතන්නෙ නැතුව අතේ තිබ්බ ඉතුරු සල්ලි ඔක්කොම ඒ යුවලට දුන්නා.

හවස් වරුවෙම මගෙ හිතේ තිබ්බෙ මගෙ ඇස් නොපෙනුනොත් මම මොකද කරන්නෙ කියල. මාලිංග මල්‍ලිගෙ ගෙදරදි කට්ටිය හම්බවෙච්ච වෙලාවෙත් අපි මේ ගැන කතා වුනා. සදරුවන් නම් කිව්වෙ ඇස් පේන්නෙ නැති මෘදුකාංග ශිල්පියො ඉන්නවා කියල.

ඒ කතා බහ අවසානයෙදි මාලිංග ඔය උඩ තියන වීඩියෝ එක මට දුන්නා බලන්න. හදවතට දැනෙන වීඩියෝ එකක්. අපිටත් අපේ ඇස් දෙක දෙන්න පුළුවන් නම් තවත් කෙනෙක් වෙනුවෙන්....
Post a Comment

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...