Monday, March 14, 2011

ඔබ ගියේ ඇයි ආදරී.....



මේ ලගදී අර ලංකාවට ගෙන්නපු ලිමොසීන් වාහන ටික පෙන්නන්න කරපු ඔටෝ විෂන් ප්‍රදර්ශනේ බලන්න කට්ටිය ගියා. ඔය අතරමගදී තමයි ඒකෙ සංගීත ප්‍රසංගයකුත් තිබ්බෙ. පොඩ්ඩක් ඉතින් ඔළුව දාල බලන වෙලාවෙ තමයි භාතිය ඇවිත් අර සින්දුව කිව්වෙ. මම භාතිය සන්තුෂ් ලෝලියෙක් නොවුනත් ඒ වෙලාවෙ ඒ සින්දුව ඇහැව්වා.‍

හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
කිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා....

ලස්සන සින්දුව. ඒ සින්දුවත් එක්කම මම අතීතයට ගියා. මගේ යාළුවෙක්ට වෙච්ච දෙයක් ආයෙත් මතක් වුනා.
මාස ගානකින් මමත් පෝස්ට් එකක් දැම්මෙ නෑ. (ඒවට හේතු ඕනෙ තරම්) ඉතින් ඒ සිදුවීමත් මගේ බ්ලොග් අවකාශයේ ලියන්න හිතුනා.

යාළුවා කැම්පස් එකේ ඉන්න කාලෙ අවුරුදු ගානක් හිත ගත්ත කෙල්ලත් එක්ක බොහොම අමාරුවෙන් යාළුවුනා. ඒකට එයා කොච්චර මහන්සි වුනාද කියල දන්නෙ වටේ හිටපු අපි තමයි. කෙල්ලත් එක්ක යාළුවුනාට පස්සෙ ලව් කරන එක පැත්තක තියල මුන් දෙන්නා හොදින් ඉගනගෙන පාඩම් කරන්න ගත්තා. ඒ කාලෙ තමයි දෙන්නගෙ හොදම කාලෙ. ඔය අතරමගදි තමයි යාළුවගෙ කෙල්ලට විද්‍යාපීඨ හම්බවුනේ. කැම්පස් එකේ ආට් ඩිග්රිය ඉවර වුනත් කරන්න වෙන්නෙ ඕකනෙ කියල කෙල්ල විද්‍යාපීඨ ගියා. කොල්ලත් කමක් නෑ කියල හිටියා. හැබැයි මේ යාළුකම කොල්ලගෙ ගෙදරින් දැනගෙන හිටියෙ නෑ.
ඉතින් හදිස්සියෙම අවස්ථාවක යාළුවගෙ ගෙදරින් මේ සිද්ධිය දැනගෙන. එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩක් හන්ද ‍යාළුවගෙ ගෙදරින් මේ සම්බන්ධෙට විරුද්ධ වුනා. අන්තිමට ඒ‍ක නොකෙරෙන තැනටම ආවා. මොනව කරන්නද? ඒක උන්දෙන්නා කතාබහ කරල නැවැත්තුවා. ඒ දවස් වල යාළුවා පිස්සා වගේ. කෙල්ලටත් ඉතින් අවුල් නැතුවයැ. ඉතින් නැවතිලා මෙහෙම අවුරුද්දක් හමාරක් ගියා.
යාළුවට කැම්පස් ‍එකේ විභාගක් තිබුන දවසක්. ඉතින් මෙයා බස් එකේ නැගල කැම්පස් යනවා. මුළු බස් එකේම ඉඩ ති‍බිල තියෙන්නෙ ඩබල් සීට් දෙකක් විතරයි. ඒවගෙත් වාඩි වෙන්න පුළුවන් එක්කෙනයි. ඉතින් මූ එක සීට් එකක වාඩිවුනහම ඒ සීට් එකෙත් තව එක්කෙනෙකුට වාඩිවෙන්න පුළුවන්. එහා පැත්තෙ සීට් එකෙත් තව එක්කෙනෙකුට පුළුවන්. බස් එකේදීත් කොල්ලා පාඩම් කර කර තමයි යන්නෙ. ඔන්න ටිකක් දුර යනකොට කපල් එකක් නැගලා. අනේ ඉතින් උන් දෙන්නට එකට පලයන් කියල මූ ඉඩදීල එහා පැත්තෙ සීට් එකට ගිහින්. නැගිටල යනකොට කපල් එකේ කොල්ලා කිව්වලු "තැන්ක් යු මචන්" කියල. මූත් හිනාවෙලා වාඩිවෙලා පාඩම් කර කර ගියාලු. මගදී නිකමට කපල් එක දිහා බැළුවහම යාළුවා ඒ කවුද කියල අදුරගෙන. කලින් යාළුවෙලා හිටපු ගෑනු ලමයා. තමන්ට ගෙදරින් හොයල දීපු පුරුෂයා එක්ක යනවා. වෙලාවට කෙල්ල දැකලත් නෑ යාළුවව. දැක්කනම් මොනව හිතෙයිද? අපේ යාළුවගෙ පාඩම් කිරිල්ල එතනින් ඉවරයි. විභාගෙ ලියවිල්ලත් ඉවරයි.

ඊට පස්සෙ ආයෙත් අපිට ඒ ගෑනු ලමයා හම්බවුනේ බී එම් අයි සී එච් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශණයෙදී ඊට අවුරුදු හතරකට විතර පස්සෙ. තමන්ගෙ පුංචි එකාට කතන්දර පොත් ගන්න ඇවිත්. ඒ දවස් වල තිබ්බ අහිංසක ගතිය එහෙමම තිබ්බත් කාලයත් එකක ඒ ලමය වගේම අපිත් වයසට ගිහින් තිබ්බා.

නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
සිනා සුනෙමි මම
අවිහිංසක ඇය ‍
කෝල බැළුම් දෙනවා

පොඩි පොඩි සිද්ධි ‍ගොඩක් වුනත් තාමත් ඒ දේවල් මතක් වෙනකො‍ට යාළුවා විදින දුක අපිටත් දැනෙනවා.

4 comments:

කල්හාර දිසානායක said...

කොහොම කලත් ජීවිතේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැ...........

Achira said...

සහතික ඇත්ත සහෝදරයා. එහෙම වෙනස් කරන්න පුළුවන් කම තිබ්බනම් මේ ලෝකෙ ඉන්න හැමෝම වාසනාවන්‍තයෝ තමයි.

නිම්ශා said...

ජිවිතේ කියන්නේ කොච්චර හිමි අහිමි විම් වෙන තැනක්ද... ඔයාගේ යාලුවාට හොදම කෙනෙක් ලැබෙවි..

Hasitha said...

ඉස්සරහට මේ වගේ අත්දැකීම් මටත් තියේවි වගේ :D