Wednesday, November 24, 2010

අම්මේ .... මං ආදරෙයි

මම අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉදන් ඇවිත් මාසයයි. තාමත් වැඩට ගියෙ නෑ. යන්න තරම් හයියකුත් තාම නෑ. ඒ අස්සෙ විශ්ව විද්‍යාලෙ අන්තිම වාර විභාගෙ.කලිනුත් කරන්න බැරිවුන විෂයයන් දෙක තුනකුත් තියන හින්ද මේ ගමන වැඩිපුර මහන්සි වෙන්නත් ඕනෙ. අනික අසනීපයි කියල හැමදාමත් ගෙදර ඉන්න බෑනෙ. ලබන සතියෙ වත් වැඩට යන්න ඕනෙ. විභාගෙත් හැමවෙලාවෙම මගෙ හිතේ. හෙ‍ට වරුණලගෙ බෝඩිම පැත්තෙවත් ගියොත් මොනවහරි ඔළුවට දාගත්තැහැකි කියල මට හිතුනා. මාසයක් විතර තිස්සෙ අල‍ ගෙඩිය වගේ ගෙදරටම වෙලානෙ හිටියෙ. ඉතින් හෙට යන එක ගැන අම්මට දැනුම් දෙන්න ඕනෙ.


"අම්මේ...."


රෑ නාට්ටිය බල බල ඉන්න අම්මාට මම ඇමතුවා.


"ඇයි පුතේ...."


හැමදාම ඇහෙන ලයාන්විත ස්වරයෙ කිසි වෙනසක් නෑ.


"අම්මෙ මම හෙට වරුණලගෙ බෝඩිමට යනවා පාඩම් කරන්න"
" ඒ කියන්නෙ බත් එකක් බදින්න ඕනෙද?" ඒ අම්මා.
"ඔව් හවස් වෙනකන් පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ"
"හා පුතේ"
අම්මගෙ ස්වරයෙ පොඩි හැඩුම්බර ගතියක්.
"ඇයි අම්මේ"
"කොහොමත් මම ආයෙමත් තනිකමට හුරුවෙන්න එපායැ. මයෙ පුතා ලබන සතියෙ ඉදන් ආයෙ වැඩට යනවනෙ."


අම්මගෙ ඒ වචන ටික මාව ලෝකෙ අතරමං කරල දැම්මා.

මං අපේ අම්මගෙ එකම පුතා. පුංචි කාලෙ ඉදන් අම්මා මගෙ සෙවනැල්ල වගේ හිටියා. අම්මාගෙ තනියට හිටියෙ මං වගේම මගෙ තනියට හිටියෙත් අම්මා විතරයි. තාත්තා හුගක් වෙලාවට වැඩට ගියත් හැම විනාඩියකම හැම තත්පරයකම අපේ පුංචි පවු‍ලෙ උණුහුම රැදිල තිබ්බා. පවුලෙ සාමාජිකයො වෙච්ච ආතා, ආච්චි අපෙන් වියෝ වෙලා ගියහම මමත් ඉස්කෝලෙ ගියහම වැඩට ගිය තාත්තත් නැතුව ගෙදර නැවතුනේ අම්මා විතරයි. සමාජයේ එක එක තල වල ගැටිල හිටපු මට ඒ තනිකම ගැන නිනව්වක් තිබ්බෙ නෑ. මං හිතන්නෙ තාත්තටත් එහෙමයි.


ඕලෙවල් ඒ ලෙවල් ඉවරවෙලා කැම්පස් කාලෙ වෙනකොට මට නොදැනිච්ච තනිකම ගෙදරට වෙලා හිටපු අම්මාට දැනෙන්න ඇති. බැංකුවෙ රස්සාව කරපු කාලෙත් ඊට පස්සෙ රස්සා වලදිත් රෑ දොලහට පාන්දර එකට දෙකට ගෙදර එනකොටත් දවල් දවසම අම්මා තට්ට තනියම ගෙදරට වෙලා මං  එනකන් බලන් ඉන්න ඇති.


මං දැන් කසාද බැදපු මිනිහෙක්. පොඩිකාලෙ ඉදන් හදපු පුතා තමන්ගෙන් ඈත් වෙද්දිත් අම්මා දරාගෙන ඉන්න ඇති.අවුරුදු ගානක‍ට පස්සෙ මම අසනීප වෙලා ගෙදර නැවතුනේ. කරන්න තියන හැම උවැටනක්ම කරමින් මගෙ අම්මා නෙමෙයි මේ සති ගානටම මගේ ලගින් හෙලවුනේ. මේ මුළු කාලෙම අම්මගෙ තනිය පාළුව මම මතන්න ඇති. ඒත් දැන් ආයෙමත් ඒ තනිකම පාළුව අම්මට දැනෙන්න පටන් අරන්. ඒ තනිකම පාළුව මටත් හොදටම දැනෙනවා. ජීවිත කාලයම රස්සාවල් පස්සෙයි අධ්‍යාපනය පස්සෙයි සල්ලි පස්සෙයි ඇවිදින අපිට අම්මා තාත්තගෙ හැගීම් දැනීම් දැනෙනවා අඩුවෙලා. මං හිතන්නෙ මේ අපේ කාලකන්නි කම වෙන්න ඕනෙ.


අම්මගෙ ඒ තනිකම පාළුව මේ ලෝකෙ කිසිම දෙයකින් මකන්න බැරිබව මට තේරෙනවා. ඒත් මම අසරණයි.


උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් සිටියත් මා
මා ඔබ ළග අම්මේ

1 comment:

Waruna said...

very sensitive post.. good mucho...
yeah.. with our jobs we dont have such time to be with them...

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...