Sunday, February 07, 2010

ඉස්පිරිතාල කතා

ඉස්පිරිතාලෙ කියන්නෙ අපි කවුරුත් එච්චර කැමති තැනක් නෙමෙයි. ඒත් අපේ මොකක්හරි අවුලක් හන්ද යන්න වෙන තැනක් තමයි එතන. ඒත් කවුරුත් කැමැත්තෙන් යන්නෙ නෑ. පහුගිය අවුරුදු ගානකට කලින් මමත් ඔය ඉස්පිරිතාලවල සෑහෙන කාලයක් හිටියා. මේ දවස් වල මල්ලි පොඩ්ඩත් ඉස්පිරිතාලෙ. මමත් එයාගෙ තනියට දවසක් විතර හිටියා. ඒකාලෙ ඉන්නකොට මම ලබපු අත්දැකීමුයි මේ දවස් වල ලබපු අත්දැකීම් ටිකකුයි එකතු කරල පෝස්ට් එකක් දාන්න හිතුනා.

හුගක් ඉස්පිරිතාලවල වාට්ටුවල තියනවා යෝජනා සහ පැමිණිලි කියල පෙට්ටියක්. සති ගානක් ඕක දිහා බලන් හිටියත් කවුරුත් ඕකට මුකුත් දාන්නෙ නෑ. දොස්තර මහත්තුරු නර්ස් නෝනල හිටියට කවුරුත් ඕක ඇරල බලන්නෙත් නෑ. පස්සෙ අපි තීරණයකට ආවා ඕක පිටිපස්සෙ මොකක්හරි මගඩියක් තියනවා කියල. ඔව්. යෝජනා කියන්නෙ සමහර විට ඔතන ඉන්න සමහර ලස්සන නර්ස් නෝනල‍ හරි දොස්තර නෝනලට හරි ලෙඩ්ඩු කටින් කරන්න බැරි යෝජනා වෙන්න ඕනෙ. එතකොට පැමිණිලි කියන්නෙ පමණ ඉක්මවා යෝජනා කරපුවහම ඒ නර්ස් නෝනල‍ හරි දොස්තර නෝනල දාන ඒවා වෙන්න ඕනෙ.

ලස්සන නර්ස්ල හරි දොස්තර නෝනල හරි කිව්වහම මතක් වෙන්නෙ ඒගොල්ලො ඇත්තටම ලස්සන කරුණාවන්තනම් ලෙඩ්ඩුන්ගෙ ලෙඩ ඉක්මනටම හොද වෙනවා. ඉස්සර (ඉස්පිරිතාලෙ නම කියන්නෙ නෑ) හිටියා කිසිම හැඩයක් නැති අවුරුදු 45ක් විතර වෙච්ච නර්ස් නෝනා කෙනෙක්. මගේ ජනප්‍රිය අර්ථ දැක්වීම් වලට අනුව එයා බැරල් බාගයක්. ඒ කියන්නෙ ඇගේ හැඩයක් නෑ නිකන් බැරල් එකක් වගේ. පෙරලි පෙරලි තමයි එන්නෙ. අවුරුදු 20ක් විතර හෙද සේවයේ හිටියත් කරුණාව කදුළක් නෑ එයාගෙ මුනෙයි වැඩ වලයි. එයාට බාර දිල තිබ්බ රාජකාරිය තමයි (ඒ දවස් වල) වාට්ටුවෙ ලේ වාර්තා වලට ලේ ‍එකතු කරන එක. ඉතින් මෙයා උදේ පාන්දර 4 ට විතර කටුත් අරගෙන එනවා නම් කෑ ගහ ගහ. එන වෙලාවෙ හැටියටයි කරන වැඩේ හැටියටයි තිබ්බ අනුකම්පාවෙ හැටියටයිග සිරින්ජියත් අරගෙන එන විදිහටයි ලෙඩ්ඩු මෙයාට කිව්වෙ “මදුරුවා” කියල. ඒත් මදුරුව වුනත් ලේ බොන්නෙ ඌට විදින්න පුළුවන් තැනකින් චුට්ටයි. ඒත් අපේ මිසීට නියපොත්තෙන් හරි කමක් නෑ ලේ ගන්න පුළුවන්නම්. ඉතින් මිසී ගියහම ලෙඩ්ඩු අතගගා ඉන්නවා දවස පුරාම.

කල් යනකොට කාගෙ වුනත් අත්දැකීම් වැඩිවෙනවනෙ. ඒක හන්ද ගොඩක් ලෙඩ්ඩු කැමතියි වයසක නර්ස් නෝනලට ඇවිත් කැනියුලා, ඉන්ජෙක්ෂන් එහෙම ගහනවනම්. එතකොට රිදෙන්නෙ නෑනෙ. එක පාරක් තරුණ මිසී කෙනෙක් ඇවිත් මගෙ අතට කැනියුලා එකක් සවිකලා. මං හිතන්නෙ ඒ මිසි ගොඩක් අත්දැකීම් ගන්න ඇති ඒකෙන්. මිසී කොච්චර හොදට ඒක හයි කලාද කියනවනම් අතේ නහරෙකට එක පැත්තකින් ගහපු කටුව මතු වුනේ අනිත් පැත්තෙන්. ඉතින් මිසීට හීන් දාඩිය මහ දාඩිය ඔක්කොම දාල. ටික වෙලාවකින් ඒ මිස්ගෙ උදව්වට ආපු අනිත් මිසිටත් එහෙමයි. මගෙ අතින් ලේ ගලන හැටි දැකල දෙන්නම බය වෙලා. ඊට පස්සෙ වයසක මිසී කෙනෙක් ඇවිත් ඒ දෙන්නට ඔරෝල අනිත් අතට කැනියුලා එක සවි කලා. ඒ බයවෙච්ච පාර දවස් ගානක් යනකන් ඒ මිසී මං ඉන්න හරියට ආවෙ නෑ. හැබැයි ඉතන් නර්ස් නෝන ලස්සන නම් ඒ තුවාල එච්චර රිදෙන්නෙ නෑ J. ඒක හන්ද මල්ලිට කැනියුලා එක හයි කරන්න කියල එක තරුණ මිස් කෙනෙකුට කිව්වම ඒ මිස් එතන එහායින් හිටපු තරුණ ලස්සන නර්ස් කෙනෙක් පෙන්නල එයාට කියල හයි කරගන්න කිව්වා. ( අන්න බලන්න තමන් ගැන නිවැරදි අවබෝධයක් තියන මිසීල)

තවත් ලෙඩ්ඩු ඉන්නවා තමන්ව බලන දොස්තර, දොස්තර නෝනා හො හෙදිය මත රුධිර පීඩනය වෙනස් වෙන. ඒක වුනෙත් එක ඉස්පිරිතාලෙකදි. ඒ වාට්ටුවෙ හිටියා සීමා වාසික පුහුණුව ලබන ලස්සන තරුණ දොස්තර නෝනා කෙනෙකුයි දොස්තර මහත්තයකුයි. ඊට අමතරව ලස්සන හෙදියන් කිහිප දෙනෙ‍කුත් හිටියා. වාට්ටුව බාරව හිටියෙ අඩි හයහමාරක් විතර උස කළු වයස 50ක් විතර වෙච්ච සැර විශේෂඥ වෛද්‍යවරයෙක්.

ලේසියට අපි ඒ ලෙඩාට නිමල් කියමු. නිමල් ඉස්පිරිතාලෙට ඇතුලුවුනේ වෙන ලෙඩකට. මට ලෙඩේ මතක නෑ. උදේ හවස ලෙඩ්ඩුන්ගෙ රුධිර පීඩනය බලන වෙලාවෙදි ඒකෙ අසාමාන්‍ය පාඨාංක තිබ්බා. උදේ බැළුවෙ දොස්තර නෝනා. ඒකෙ හැටියට නිමල්ට හොදටම ප්‍රෙෂර්. ඒක හන්ද නිමල්ට ඒ සදහා බේත් නියම වුනා. හවස බැලුවෙ දොස්තර මහත්තයා. එතකොට සාමාන්‍යයයි. දොස්තර නෝනා හරි නර්ස් නෝනල හරි බලන වෙලාවට නිමල්ගෙ ප්‍රෙෂර් වැඩියි. ලොකු දොස්තර මහත්තය මේක බලල බලල එක පාරක් නිමල් ගෙන් මේක ඇහැව්වා. නිමල් මුකුත් කිව්වෙ නෑ. බැරිම තැන නිමල්ට සැර කලා. බය වෙච්ච පාර මෙන්න නිමල්ගෙ ප්‍රෙෂර් හොදටම වැඩිවුනා. අන්තිමට ලොකු මහත්තයට මේක තේරුම් ගියා. පස්සෙ ප්‍රෙෂර් වලට නැතුව අදාල ලෙඩේට විතරක් බේත් කරල නිමල්ව ගෙදර යැව්වා.

මේ බ්ලොග් සටහනේ අන්තිමට කියන්න ඕනෙදෙයක් තියනවා. ඒ මම ආසාවෙන් කියවපු බ්ලොග් සටහනක් තමයි එකේ වාට්ටුව. ඒක දැන් නැවතිලා. මාස ගානකින් යාවත් කාලින වුනේ නෑ. ඇයි දන්නෙ නෑ?

No comments:

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...