Friday, December 05, 2014

ගූගල් සර්වර් එක ඩවුන්වෙන වෙලාව

පොඩි කතාවක් මතක් වෙච්ච හන්දා ලියන්න ගත්තෙ. ඉස්සර අපේ ඔෆිස් එකේ හිටියා ටිකක් මහත සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් වුනාට ඉතින් වැඩිපුර හදන්න තියෙන්නෙ නෙට්වර්ක් ෆේලියර්ස් තමයි. මෙයා මහත හන්දා කට්ටිය ආදරේට කිව්වෙ බඩා කියල. නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් වුනාට මෙයා සබ්නෙට් මාස්ක් ගැන දැනගත්තෙ පස්සෙ. ඒක හන්දා එයාට සබ්නෙට් බඩා කියලත් කිව්වා.

ඉතින් බඩා හුඟක් වෙලාවට නෙට්වර්ක් ෆේල් වෙන තැන් හදනවා. ඉතින් සමහර ඒවා ෆේල් වෙන්නෙ කොහොමද කියල ටෙස්ට් කරන්න ගිහිනුත් නෙට්වර්ක් එකට කෙලවෙනවා. නෙට්වර්ක් වලට කෙලවුනාට කමක් නෑ. ඉන්ටර්නෙට් නැතිවෙන එකනෙ අවුල.

ඉතින් නෙට්වර්ක් ගිය ගමන් කට්ටිය පේලියට බඩාට කෝල් කරනවා. දෙවනි තට්ටුවෙ ඉඳන් පස්වෙනි තට්ටුවට සෝපානයෙ වුනත් ඒ චූටි සරීරය හොල්ල හොල්ල එන්න වෙලායන හන්දා මූ කියනවා

“මොනවා නෙට්වර්ක් නෑ. ඉන්න මං එනකං. ටක් ගාල ගූගල් ගිහින් බලන්න“ කියලා.
ඉතින් කට්ටිය දාගෙන ගූගල් යනවා. පේජ් එක ලෝඩ් වෙන්නෙ නෑ.
ආයි කොල් කරල කියනකොට කියනවා

“ෂුවර් එකටම ගූගල් සර්වර් එක ෆේල් වෙන්න ඇති. අපි බලමු“ කියලා.

ටිකකින් මූ ඇවිත් ස්විච් එක රීස්ටාර්ට් කරල දැන් බලන්න කියනවා.
“දැන් බලන්න“ කියලා.
අපි බලනකොට දැන් වැඩ.
“ඒක තමයි මම කිව්වෙ. ගූගල් ඩවුන් කියලා. දැන් තමයි හරිගියෙ“ කියලා බඩා පණ එපෝ කියල දුවනවා.
අපි පස්සෙන් එලවල ගිහින් අහනවා ගූගල් සර්වර් එකේ ස්විච් එක තියෙන්නෙ අපේ තට්ටුවෙද කියල.

අපිට එහෙමත් කාලයක් තිබ්බා. J

Tuesday, October 07, 2014

පහුගිය දවස් වල සිදුවීම්

කාටවත් වැඩක් නැති, මෙලෝ රහක් නැති පහුගිය ටිකේ සිද්දවෙච්ච සිදුවීම් ටිකක් ලියන්න හිතුනා.

ඉස්සර මගේ හොඳම යාළුවෙක් හිටියා වරකාපොල පැත්තෙ. ඔන්න කාලෙකින් කතා කරල දවසක එයාගෙ මගුල් ගෙදර ගැන කිව්වා. නිවාඩු දවසක් හන්දා මමත් එන්නම් කිව්වා. ඉතින් කොහොම හරි මමත් කොළඹ ඉඳන් වරකාපොල ගියා. අමාරුවෙන් හෝල් එක හොයාගෙන ට්‍රැෆික් වල ඉඳලා මගුල් ගෙදර යනකොට පොඩ්ඩක් රෑ වෙලා. යාළුවා කන්න ගිහින්. මමත් වට පිට බැලුවා අඳුරන එකෙක් ඉන්නවද කියල. පේන්න නෑ. පස්සෙ පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බැලුවා. ඒත් නෑ. ඒ වෙලාවෙ යාළුවගෙ නැන්ද කියල කෙනෙක් ඇවිත් මම කවුද කියල ඇහැව්වා. මනමාලයගෙ යාළුවෙක් කිව්වහම මනමාලයගෙ යාළුවො ඉන්නෙ මෙතන කියල තැනකින් වාඩි කලා. අයියෝ මම එකෙක්  වත් දන්නෙ නෑ. මුළු මගුල් ගෙදරම පීරල බැලුවහම මම අදුරන්නෙ මනමාලය විතරයි. පස්සෙ මනමාලයගෙ යාළුවො ටික මගෙ යාළුවො ටිකක් වුනා. මම පස්සෙ යාළුවට කතා කරල ආවා. මගුල් ගෙදරක අඳුරන්නෙ මනමාලය විතරක් වුනහම යන්නෙත් තනියම නම් ආයෙත් ටිකක් හිතන්න වෙනවා.

ලඟදි දවසක කාර්යාලෙ ඉඳන් රෑවෙලා වැඩ ඇරිල යනගමන් මගට යන්න මෙහෙම වැඩකරන දෙමළ යාළුවෙකුත් දාගෙන ගියා. යාළුවට සිංහල පුළුවන් වුනාට අපිට වගේ බෑ. සාමාන්‍යය බස්වහරට ටිකක් වෙනස්  වචනයක් කිව්වොත් අමාරුවෙ වැටෙනවා.

ඉතින් යන ගමන් ඇහැව්වා මගෙන් “අයියා ඔයා බදුල්ල පැත්තෙ යන්න අදහසක් නැද්ද කියල“
මම ඇඟට නොදැනි  කිව්වා “යන්න ඕනෙ ෆිල්ම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා“ කියල.
එතකොට මෙයා කියනවා “අනේ අයියා මාව නලුවෙකුට ගන්නකෝ!!“
මම ආයි නිකන්ම කිව්වා “ඒ ෆිල්ම් එකේ ගං කබරයො නෑ බං“ කියල.
එතකොට මෙයා අහනවා “අයියා ගං කබරයා කියන්නෙ සුපිරි නළුවෙක්ද?“ කියල

දැන් අන්තිම කතාව

කාර්යාලෙන් එලියට යන්න කියල හිතාගෙන පහලට බැහැල යනකොට යාලුවෙක් කතා කරල කොහෙද තිබ්බ සේල්ස් ප්‍රෙමෝෂන් එකක් ගැන කිව්වා. ඔෆිස් එකෙන් එලියට යන්න ගේට්ටුව ඇරගෙන යන්න ඕනෙ. ඒ ගේට්ටුව විවෘත කරන්න වෙනම ගෑණු කෙනෙක් ඉන්නවා. ඉතින් පේන්න හිටියෙ නැත්තම් අපිම යතුර අරගෙන ගේට්ටුව ඇරගෙන යනවා. ඉතින් මේ කෝල් එක ආවෙත් මේ අතරමග. ගෑනු කෙනා පේන්න හිටියෙ නැති හන්දා මම යතුර ගත්තා. ඒ එක්කම මේ ගෑණු මනුස්සය කඩාගෙන බිඳගෙන ආවා. මම කෝල් එකේ. ඒක මේ මනුස්සයා දැක්කෙ නෑ. දැන් වෙච්ච සිද්දිය මෙහෙමයි.

“ඇයි මහත්තයා ගේට්ටුව ඇරගෙන යන්න හදන්නෙ. වෙනදට හැමදාම කරන්නෙ මමනෙ“
මම - කෝල් එකට උත්තර දෙමින්
“ඔව්! කවද ඉදන්ද?“
ගෑනු කෙනා
“කවද ඉදන්ද කියන්නෙ. දැන් මාස එකහමාරක් වෙනවා වැඩට ඇවිල්ලා“
මම - කෝල් එකට උත්තර දෙමින්
“හරි දැන් කවද වෙනකන් ඕක තියනවද?“
ගෑනු කෙනා

“මම රස්සාව කරනකං ඉතින් මම තමයි ඕක කරන්නෙ. ලොකු මහත්තය එපා කියනකං ඉතිං මේක කරන්න එපායැ“

Sunday, August 24, 2014

වර්තමාන ලෝකයේ නොබිඳෙන ව්‍යාපාර

අවුරුද්දකට විතර පස්සෙ වෙනස්ම මාතෘකාවක් කතා කරන්නයි සූදානම. මේක ව්‍යාපාරික ලෝකයත් එක්ක බැඳිච්ච කතාවක්. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මුකුත් හදාරල නෑ. හැබැයි නිකං ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්.

බුදුන්වහන්සේගේ කාලයෙත් නොකලයුතු ව්‍යාපාර කියල කොටසක් තිබ්බා. හැබැයි දැන් මේ කියන්න යන ව්‍යාපාර එකක්වත් එහෙම නොකලයුතු ඒවා නෙමෙයි. කෝටිගානක ප්‍රාග්ධනයක් යොදවන්න ඕනෙ ඒවත් නෙමෙයි. හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක හන්ද සමූහ ව්‍යාපාරයක් විදිහටත් කරන්න පුළුවන්.  මේවා නරකම නෑ. ඒත් ඉතින් නොකරත් බෑ. ඒකයි මේකෙ තියන වෙනස.

දැන් අපි ව්‍යාපාර එක එක අරන් බලමු.

ව්‍යාපාර 1 - කෙටි කෑම කඩයක්
දැන් මිනිසුන් ඉතාම කාර්ය බහුලය. හුස්ම ගන්න පමණක් වේලාව ඇත. අනිත් හැම වෙලාවම හම්බ කිරීම පිණිස යොදාගනී. ඉතින් කෑම පිසීම ගැන වගක් නැත. ඔවුන් කඩ වලින් කෑම කති. නමුත් හැම කඩයෙන්ම කෑම නොකති. රසවත් කෑම ඇති කඩවලින් කෑම කති. ඉතින් කෑම රසවත් වීමට අජිනමොටෝ, අහිතකර තෙල් වර්ග දැමිය යුතුය. කෑම රසවත් වීමත් කඩේ ඉදිරිපස පිරිසිදු වීමත් හැර වෙන යමක් නැති නිසා ව්‍යාපාරය සාර්ථක වේ.

ව්‍යාපාර 2 - රූපලාවන්‍යාගාරයක්
මිනිසුන්ට (ගැහැණුන්ට) ලස්සන වීමට අවශ්‍යය. මගුල් ගෙදරකට කාර්යාලයට දමන මේකප් දැමිය නොහැක. ඒකට බියුටීෂන් කෙනෙක් ඕනෑය. යසට තියන ඇහිබැම ත්‍රෙඩින් කලයුතුය. වැක්ස් කල යුතුය. ෆේෂල් කල යුතුය. රීබොන්ඩ් කල යුතුය. මෙසේ අසූ කෙලක් දෑ කල යුතුය. (සමහරුන්ට ඩයි කරන්නද ඕනෑය). මේවා ගෙදර ඉන්න මනුස්සයාට කල නොහැක. එබැවින් රූපලාවන්‍යාගාරයක පිහිට පැතිය යුතුය. මේ ව්‍යාපාරයද කිසිදා කඩා නොවැටෙන්නක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාර 3 - ඖෂධ ශාලාවක් හෝ පුද්ගලික රෝහලක්
මෙම ඖෂධ ශාලාව ආයුර්වේද එකක් නම් තවත් හොඳය. ඉහත සඳහන් ව්‍යාපාර දෙකේ සේවා ලාභියෝ මෙහි අනිවාර්ය සේවය ලබන්නෝ වෙති. කෙටි කෑම කඩයෙන් වස විස කා, රූපලාවන්‍යාගාරයෙන් වැරැද්දක් වූ පසු ඔවුන්ට මෙම ව්‍යාපාරය හැර අන් ව්‍යාපාරයක පිහිටක් නොමැත. වර්තමානයේ වෛද්‍යවරයාට සුදුසුකම් ඇතිවුවත් නැතිවුවත් ලෙඩ්ඩු ඕනෑතරම් සිටිති. අනික දැන් පුද්ගලික රෝහලකට බිල මුද්‍රනය කරන මැෂින් එකක් පමණක් සෑහේ. (අනෙකුත් වෛද්‍ය උපකරණ අත්‍යාවශ්‍යය නැත)

ව්‍යාපාර 5 - ඖෂධ හලක්
තේරෙන සිංහලෙන් කියනවා නම් ෆාමසියක්. ඉහත ඔක්කොම ලෙඩවලට බෙහෙත් ගත යුතුය. ඒ සඳහා විකුණුම් සේවාවක් තිබිය යුතුය. මේ සඳහා සේවා ලාභීන් නොමැති වීමට ලෙඩ නැති මිනිස්සු සිටිය යුතුය. ඉහත ව්‍යාපාර වල සේවා දායකයන්ගේ හිඟයක් නොමැති නිසා මෙම ආයතයද දිගුකල් වැජබෙන ව්‍යාපාරයකි.

ව්‍යාපාර 4 - ජෝතිශ විද්‍යාව පිළිබඳ ආයතනයක්
ව්‍යාපාර අංක 1-2න් සේවා ලබාගන්නා සේවා දායකයා ව්‍යාපාර අංක 3 වෙත එන්නේ සුවකල නොහැකි පිළිකා බඳු ලෙඩ සාදාගෙනය. ඉතින් බෙහෙත් ගත් පසු සුව නොවන තැන්වලදී ඔවුන් සොයන්නේ තමන්ගේ ග්‍රහචාරයයි. ඉතින් මීලඟ හොඳම ව්‍යාපාරය වන්නේ මෙයයි.

ව්‍යාපාර  5 - මල් ශාලාවක්
සේවා ලාභීන් අවසානයේ පැමිණිය යුත්තේ මෙම ස්ථානයටයි. හැම දේටම සෝබන ඇති නිසා මෙම ව්‍යාපාරයද යහතින් කරගෙන යා හැකිය.


ව්‍යාපාර ගැන කිසිම අවබෝධයක් නැති මම නිකන හිතට ආවට ලියන දේ ඔබගේ විචාර බුද්ධියෙන් සිතා දියුණුව ලඟා කරගන්නේ නම් මැනවි.

Monday, October 14, 2013

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී හිතන්න යමක්...


එදිනෙදා ජීවිතයේ මුදල් ගණුදෙනු වලට ඉතාම පහසුවක් වෙලා තියන එක හේතුවක් තමයි ණය පත. අපි සිංහලෙන් ලේසියට “ක්‍රෙඩිට් කාඩ්“ කියල කියන එක ගැන තමයි මම කතා කරන්නේ. අපි වගේ තුන්වෙනි ලෝකෙ දියුණු වෙමින් පවතින රටවල් වල මේක සුලබ දෙයක් වුනාට හුගක් බටහිර රටවල් වල මිනිස්සු මේවා පාවිච්චි කරන්නේම නැති තරම්. වොරන් බුෆේ තරුණයන්ට දෙන්න කියල දීපු උපදෙස් වලත් මේ ගැන කියල තියනවා. ඒත් මුලින්ම කියන්න ඕනෙ ක්‍රෙඩිට් කාඩ් කියන්නෙ යකෙක් නෙමෙයි කියන එක. ඒකත් දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ දෙයක්.

ක්‍රෙඩිට් කාඩ් වලට මිනිස්සු ඇදිල යන්න හේතු ගොඩක් තියනවා. ආරක්ෂාව සහ පහසුව ඉන් ප්‍රධානයි.

ඉතින් මම මේ කතා කරන්නෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට අපි සැලකිය යුතු කරුණු ටිකක් ගැනයි. හුඟක් දෙනා දන්නවා ඇති. ඒත් නොදන්න අයට දැනගන්නත් ක්‍රෙඩිට් කාඩ් එකක් අළුතින් ගන්න අයට උදව්වක් වෙන්නත් හිතාගෙන තමයි මම මේ  පෝස්ට් එක සෑහෙන කාලෙකට පස්සෙ ලියන්නෙ.

ඉස්සෙල්ලම මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ගියහම මට වෙච්ච අතීත සිදුවීමක් එක්කම මම කතාව පටන් ගන්නම්.

ඒකාලෙ මම වැඩකලේ ලංකාවෙ ප්‍රසිද්ධ බැංකුවක මානව සම්පත් කලමනාකරන දෙපාර්තමේන්තුවෙ. (තේරෙන සිංහලෙන් කියන්නෙ එච්. ආර් ඩිපාර්ට්මන්ට්). මේ මම කියන්නෙ 2005 විතර සිද්ධියක්. නමුත් ඒ කාලෙ දැන් තරම් ක්‍රෙඩිටි කාඩ්වලට ප්‍රසිද්ධ නෑ.බැංකුවෙ වැඩ කලත් මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හය මාසයක් වැඩකරන්න වුනා. ඉතින් අවසානයේ මම කාඩ් සෙන්ටර් එකේ ඉන්න මගෙ යාළුවෙකුට කියල කාඩ් එකක් හදාගත්තා. නමුත් මේ කාඩ් එක එන්නෙ මගෙ කළමනාකාරතුමිය හරහා. ඒක මම දැනගෙන හිටියෙ නෑ. කාඩ් එක ආවට පස්සෙ කාඩ් එක මට දෙන්න කලින් කළමනාකාරතුමිය පැය බාගෙක විතර දේශනයක් දීල ඒ කොන්දේසිවලට එකඟ වුනාට පස්සෙ තමයි මට කාඩ් එක හම්බවුනේ.

ඒ කියා දුන්න දේවල් අදටත් මම පිළිපදිනවා. ඒක අතඇරිච්ච වෙලාවල් වල මම සෑහෙන්න දුක් විඳල තියනවා. ඒ කියා දුන්න දේවලුත් ඔයාල එක්ක බෙදාගන්නම්.

මුලින්ම කියන්න ඕනෙ බැංකුවකින් අපිට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ අපිට තියන ආදරේට නොවෙන බව. කාඩ් එකක් දෙනකොට අපිට හිතෙනවා ණයට දෙන විදිහට බැංකුවට ආදායමක් නෑනෙ කියලා. ඒත් ක්‍රෙඩිට් කාඩ් එකකින් තරම් බැංකුවට ලාබ එන්නෙ නෑ වෙන කොහෙන්වත් (මම හිතන්නෙ) . සාමාන්‍යය බැංකු ණයක් ගන්න ගියොත් බැංකුවෙන් අපිට හම්බ වෙන්නෙ සාමාන්‍යයෙන් 20% කට අඩු පොලී අනුපාතයක්. ඒත්  ක්‍රෙඩිට් කාඩ් එකක වාර්ෂික අනුපාතය 24%ක් විතර වෙනවා. (ඉස්සර මේක තිබ්බෙ 28%ට. පස්සෙ අඩුවුනා) ඒත් මාකටිං පැත්තෙන් පෙන්නන්නෙ මාසෙට 2%ක් තරම් අඩු මුදලක් කියල. මිනිස්සු ක්‍රෙඩිට් කාඩ් වලට අහුවෙන තැනක් මේක. මාසෙට 2% ගානෙ අවුරුද්දට 24% බව මතක තියාගන්න.

බැංකුවකින් කෙනෙක්ට ආවට ගියාට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නෙ නෑ. දෙන්න කලින් පස්මහ බැළුම් බලනවා. මාස 3 පඩි වාර්තා, බැංකු ප්‍රකාශන, නිවැරදි ලිපිනයන්, රෙකමදාරු කරන්න තවත් අය ආදී වශයෙන්. හේතුව තමයි මේ ණය ගෙවන්න පුළුවන්ද කියල බලන එක. (ඇපේට කිසිම දෙයක් ලඟ තියා ගන්නෙ නැති හන්දා). ඒ වගේම පොඩි පඩියක් ගන්න කෙනෙක්ටත් මේවා දෙන්නෙ නෑ. (දැනට මං හිතන්නෙ අඩුම තරමෙ රුපියල් 20000ක් වත් පඩි තියෙන්න ඕනෙ)

ඊලඟට ගත්තහම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ප්‍රමාණය වෙන්නෙ  තමන්ගෙ පඩිය වගේ දෙගුණයක්. ඒ ගෙවාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියල සලකලා. මේ ප්‍රමාණය නම් හුඟක් බැංකු වෙනස් කරන්නෙ නෑ. ඉල්ලුවොත් ඇරෙන්න. මොකද ඒක බැංකුව පැත්තෙන් ආරක්ෂක උපක්‍රමයක් හන්දා. මේ ණය සීමාව වැඩි කරන්න ඒගොල්ලො අමතර මුදලකුත් අය කරනවා. ඒත් සමහර බැංකු නොකියම ප්‍රමාණය වැඩිකරනවා. ඒකත් එක උපක්‍රමයක් වියදම් කරන්න තියන ප්‍රමාණෙ වැඩිකරන්න.

තවත් අය අහුවෙන මාකටිං පොයින්ට් එකක් තමයි ගෙවන්න දවස් 51ක් හම්බ වෙනවා කියන එක. ඔව් එහෙම හම්බ වෙනවා තමයි. ඒත් මිලදී ගන්න හැම දේටම නෙමෙයි. ඒක තීරණය වෙන්නෙ අපි භාන්ඩයක් මිලදී ගන්න දවසයි, අපේ මාසික ප්‍රකාශනය නිකුත් කරන දවසයි අපිට ඒ ප්‍රකාශනයට මුදල් ගෙවන්න තියන දවයි එක්ක.

උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙක්ගෙ මාසික ගිණුම් ප්‍රකාශනය හදන්නෙ කිසියම් මාසෙක 25 වෙනිදාට කියල හිතමු(උදා. සැප්තැම්බර් 25). එයාට ඒකට මුදල් ගෙවන්න තියන අන්තිම දවස ඊලඟ මාසෙ 15 වෙනිදා කියල හිතමු (උදා. ඔක්තෝම්බර් 15). එතකොට එයා භාන්ඩය මිලට ගන්නෙ මේ මාසෙ 26 වෙනිදා (සැප්තැම්බර් 26) නම් ඒක මේ මාසෙ ප්‍රකාශනයට අදාල වෙන්නෙ නෑ. ඒක අයිති වෙන්නෙ ඊලඟ මාසෙ ප්‍රකාශනයට (ඔක්තෝම්බර් ප්‍රකාශනය). එතකොට එයාට ඒ සඳහා සල්ලි ගෙවන්න මාසෙකුත් දවස් 20ත් විතර හම්බ වෙනවා (නොවැම්බර් 15). සැප්තැම්බර් 26 ඉඳන් නොවැම්බර් 15 අතර කාලය තමයි දවස් 51 වෙන්නෙ.  ඒක ඉතින් උපරිම කාලය. එන්න එන්න කාලය අඩුවෙනවා.

අපි ලබාගන්න හැම  ක්‍රෙඩිට් කාඩ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් (Annual Fee) ගෙවන්න ඕනෙ. ඒක බැංකුව - කාඩ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 ඉඳල 5000ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවනි. ඒත් සමහර මාකටින් කැම්පේන් වලදි මේ සාමාජික ගාස්තුව නැතුව කාඩ් එක පිරිනමනවා. මතක තියාගන්න ඕනෙ මෙහෙම පිරි නමන කාඩ් එක වලංගු කරල දෙන්නෙ අවුරුද්දකට නොවන වග. පළවෙනි අවුරුද්ද නිකන් වුනාට දෙවනි අවුරුද්දෙ මේ ගාස්තුව කපා ගන්නෙ කියල නෙමෙයි. ඒ බව දන්නෙ ගිණුම් ප්‍රකාශනය ආවහම තමයි. 

ඊළඟට වෙන්නෙ ඔබ ගැන විමසිල්ලෙන් ඉන්න බැංකුව ඔබට අමතර කාඩ් පතක් පිරිනමනවා. ඒ ඔබේ සහකරුට හරි සහකාරියට හරි. හුඟක් වෙලාවට සාමාජික ගාස්තු නැතිවම. ඔබේ ණය සීමාවෙන් අඩක් පමණ. සාමාන්‍යෙයන් අපි නිකන් ලැබෙන ඕනෑම දෙයක් ගන්න සූදානම් නිසා දෙපාරක් හිතන්නෙ නැතුව මේ කාඩ් එක ගන්නවා.ඉතින් දෙවනි අවුරුද්දෙ ඉඳන් සාමාජික ගාස්තු එක්ක අමතර වියදම් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

හිතන්න මට මගේ ගිණුම් ප්‍රකාශනයට අදාල මුදල් ගෙවන්න තියෙන්නෙ ‍මාසෙ 15 කියල. මට ගෙවන්න තියන අවම ප්‍රමාණය (සාමාන්‍යයයෙන් මුළු මුදලින් 5%ක් විතර) මම ගෙවනවා කියල. එතකොට මම 16 වෙනිදා මුළු මුදලම ගෙව්වත් ඒ මාසෙටම පොලිය (2%) හැදිල අවසන්. මේ දේ සිද්ධවෙන්නෙ මුළු මුදලටමයි. ඉතිරි කිරීමේ ගිණුමක පොලිය හැදෙන්නෙ දවසින් දවසට වුනාට ක්‍රෙඩිට් කාඩ් වල දවසක් ගියත් මාසෙකටම පොලිය හදනවා. (මේක හුඟක් බැංකු කරන දෙයක්. බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන දෙයක් )

හැම ගිණුම් ප්‍රකාශනේම ගෙවිය යුතු අවම මුදලක් තියනවා. හැබැයි ඒක ගෙවන්න තියන දවසට ගෙව්වෙ නැත්තම් ප්‍රමාද ගාස්තු (Late Payment Fee) හැටියට අමතර ගාස්තුවක් ගන්නවා. මේක  මුළු මුදලින් 5%ක් හරි ස්ථීර ගාස්තුවක් හරි (දෙකෙන් ලොකු එක මිස පොඩි එක නෙමෙයි). ඒ වගේම තමන්ගෙ ණය සීමාව පැන්නහමත් මේ වගේ මුදලක් ගෙවන්න වෙනවා.

මාසයක් අවසානයෙදි තමන්ගෙ අතට එන ගිණුම් ප්‍රකාශනය බලන්න. තමන්ට අදාල නැති අයිතම කීයක් තියනවද? තැපැල් ගාස්තු, මේ මාසයට පොලිය, ලබන මාසයට පොලිය, ගැලපුම් ගාස්තු, බදු, ප්‍රමාද ගාස්තු... මේවා නම් ඉතින් දැනගන්න වෙන්නෙ බැංකුවෙ හොට් ලයින් එකට කතා කරල එතන ඉන්න අක්ක කෙනෙක් එක්ක වලියක් දාගෙන තමයි.

හුඟ දෙනෙක් ක්‍රෙඩිට් කාඩ් ගන්නෙ ඒවාට හම්බවෙන ආකර්ශනීය ප්‍රවර්ධන ව්‍යාපාර හන්දයි. (Promotion) අපි මතක තියාගන්න ඕනෙ මේ ප්‍රමෝෂන් නැතිනම් බැංකු වලට පාඩු විඳින්න සිද්ධ වෙන බව. ඔවුන්ට අවශ්‍යය වෙන්නෙ කොහොම හරි අපේ කාඩ් එකෙන් සල්ලි වියදම් කරවන එකයි. නැත්තම් බැංකු වලට කෝ සල්ලි? ඒ සඳහා කරන්න තියන ලේසිම දේ තමයි බිස්නස් ප්‍රමෝෂන්.

ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්නෙ  ආවේගශීලී මිලට ගැනීම්. ඒ කියන්නෙ මිනිස්සුන්ට අවශ්‍යය නැති දෙයක් වුනත් ගන්න හිතෙන එක. කෙනෙක් මුදල් වලින් ගෙවීම් කරනකොට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. ක්‍රෙඩිට් කාඩ් මගින් ගණුදෙනු කරන කොට ඒ අවස්ථාවෙම මුදල් වියදම් වීමක් සිද්ධ නොවෙන නිසා කෙනෙක්ට මේ භාන්ඩය මිලදී ගන්න හිතක් පහල වෙනවා. (මනුස්ස සොබාවය නෙ)  හුඟක් වෙලාවට සුපිරි වෙළද සැල් වල සහ හෝටල් වෙන්නෙත් මේ දේම තමයි. ඉතින් මේ දෙකම එකතු වුනහම ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් හන්දා හුඟක් බැංකු අලෙවි ප්‍රවර්ධනයට යොදාගන්නෙ සුපිරි වෙළඳ සැල් සහ හෝටල්ම තමයි. 5% ඉඳන් 50% වෙනකන් දීමනා දුන්නත් හැම දීමනාවක්ම කොන්දේසිවලට යටත්ව තමයි හම්බවෙන්නෙ.

ඒවගේම හැම දීමනාවක්ම වගේ සුපිරි සුඛෝපභෝගී ජීවිත ගෙවන්න මිසක් සාමාන්‍යෙයන් එදිනෙදා මිලදී ගැනීම් වලට අදාල දීමනා අලෙවි ප්‍රවර්ධන සිද්ධවෙන්නෙ නැති බවත් මතක තියාගන්න ඕනෙ. තරු පන්තියේ හෝටලේකින් 50%ක් අඩුවට වේලක් කන්න මිසක් සුපර් මාකට් එකෙන් පරිප්පු 500ක් ගන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රමෝෂන් අදාල වෙන්නෙ නෑ. සුපිරි ඇඳුම් වෙලඳ සැලකින් 25%ක්  අඩුවට ඇඳුම් ලැබුනට පොඩි කඩේකින් චීත්ත රෙදි කෑල්ලක් ගන්න මේ ප්‍රමෝෂන් වලංගු නැත.

ඒ කියන්නෙ මේ ඔක්කොම ප්‍රමෝෂන් කාඩ් හිමියාගෙන් කුට්ටිය පිටින්ම වියදම් කිරීම උදෙසා පමණක් බව මතක තියාගන්න.

තවත් වෙළඳ ප්‍රවර්ධන අංගයක් වෙන්නෙ පොළී රහිත වාරික ගෙවීම් ක්‍රම. උඩින් බැළුවොත් මේකෙන් බැංකුවට කිසිම ලාබයක් නෑ වගේ. නමුත් මේකෙදි වෙන්නෙ මුලින්ම කිසියම් මුදලක් (මිලදී ගන්නා භාන්ඩය මත වෙනස්වෙන) ලියකියවිලි ගාස්තු / බැංකු ගාස්තු විදිහට බැංකුව අයකරගන්න එක. ඊට පස්සෙ භාන්ඩයේ වටිනාකම ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවෙන් අඩු කරල මාසිකව ගෙවන ගානත් එක්ක ණය සීමාව වැඩි කරන එක. බැංකුවෙ ගාස්තුව භාන්ඩය මිලට ගන්න කොටම බැංකුව අයකරගෙන ඉවරයි. මේකෙන් බැංකුවට වෙන අමතර වාසියක් තියනවා. ඒ ණය සීමාවේ උපරිමේටම ආපු පාරිභෝගිකයට ණය සීමාව වැඩි කරල දීල තවත් ඔරොත්තු නොදෙන තරමේ වියදම් ඇතිකරන එක.

මේ ඔක්කොටම වඩා කරදරේ සල්ලි ගෙවන්නෙ නැතුව දවස් දෙක තුනක් ගියහම දවසට දෙතුන්වරක් කෝල් එකක් දීල අපිට ඒක මතක් කරල දෙන එක.

මම මෙතන සඳහන් කරල තියෙන්නෙ මතක් වෙච්ච ටිකක් විතරයි. මෙන්න මේ කරුණු ටික ටිකක් සිහියෙ තියාගත්තහම (මේවා මට හම්බවෙච්ච උපදෙස්) ක්‍රෙඩිට් කාඩ් වලින් ගණුදෙනු කරන ටිකක් ලේසි වෙයි.

ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුනාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. තව පුළුවන් නම් ණය සීමාව ටිකක් අඩුකරගත්තට කමක් නෑ.

ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැඳෙන දිනයකට යොදාගන්න. (25 පඩි හම්බ වෙනව නම් 28 විතර)
ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවානම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.

කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. අමතර පොලී වලින් වැලකෙන්න පුළුවන් එතකොට.

මිළදී ගැනීම් වලදී හැමවිටම උපරිම දින සීමාව ගැන මතක තබා ගන්න.


හැකි හැමවිටම මුදල් භාවිතා කරන්න.

Tuesday, June 11, 2013

ගුරුතුමානෙනි, ඔබට සුභ උපන්දිනයක් වේවා!


වරෙක මම මගේ කැමරාවට තවත් ලෙන්සයක් ගැනීමට රට වටා සෙව්වෙමි. ලෙන්ස් වර්ග බොහොමයක් තිබුනද මගේ අවශ්‍යයතාවට හරියන්නේ කුමක්දැයි තෝරාගැනීමට නොහැකිව ලතැවුනි. බොහෝදෙනා එම ලෙන්ස් වල විවිධ ගුණාගුණ කීහ. ගනන් සදා කියුහ. මමද අන්තර්ජාලයේ ඒ ගැන සෙව්වෙමි. එහෙත් තවමත් මා අතරමං වී ඇත. එකල මගේ මුහුණු පොතේ සිටි මිතුරන් අතර ඉන්ද්‍රනාථ තේනුවරයන්ද සිටියහ. එකල මා ඔහු දැන සිටියේ ඡායාරූපකරනයේ සහ පොටෝෂොප් මෘදුකාංගයේ හසල දැනුමක් ඇති යෝධයෙක් ලෙසය. මෙවන් කෙනෙක්ගෙන් මගේ ලෙන්ස් ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකියයි මට සිතුන නමුත් මෙවැනි කෙනෙක් මාවැනි ආධුනිකයෙක් හට උපකාර කරයි යැයි මට සිතුනේ නැත. නමුත් දුර ඇති ඉලක්කයකට ඊයක් යවන අටියෙන් මුහුණු පොතෙන් මගේ ප්‍රශ්නය පණිවිඩයක් ලෙස යැවීමි.
පැයකට පමණ පසු මා පුදුමයට පත්කරමින් ඔහු මට පිළිතුරක් එවා තිබුනි.

ලෙන්ස් ගැන ටයිප් කරනවාට වඩා කටින් කියන එක ලේසියි. ඒක හන්දා මේ නොම්මරේට කොල් එකක් දෙන්න

මම හැරෙන තැපෑලෙන් දුරකතන ඇමතුමක් ගතිමි. ජීවිතේට දැකලා නැතිවුවද මම ඔහුට සර් කියූවේ මා වැනි ආධුනිකයෙකුට එවැනි පිළිතුරක් එවීමත් මා මවිත කරන්නක් වූ නිසාය.

ඔහු මා ඇමතුවේ මල්ලී කියාය. කාච ගැන බොහෝ දේ කියාදුන් ඔහු ඒ ගැන ඔහුගේ අත්දැකීම් කිසිදු අහංකාර කමකින් තොරව මා හා බෙදා ගත්තේය. අවසනදී ඔහු මෙසේ පැවසීය.

මල්ලී, හුඟක් අයට ගනන් හදල පෙන්නන්න පුළුවන්. කරන විදිහ කියන්න පුළුවන්. ඒත් වැඩේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඒක ගැන අවබෝධයක් තියන මිනිස්සුන්ට විතරයි. ඔයා බය නැතුව ඒ ලෙන්ස් එක ගන්න. මමත් ඒක පාවිච්චි කරල තියනවා. තියරි වලට වඩා මිනිස්සු ප්‍රැක්ට්කල් වෙන්න ඕනෙ.

ඉදින් මම ඒ ලෙන්ස් එක ගතිමි. අදටත් මා බොහෝ කැමති  ඡායාරූප වැඩි හරියක් අරගෙන ඇත්තේ ඒ කාචයෙනි.

ඉන්පසු නැවත වරක් මට තේනුවරයන් මුණ ගැසුනි. ඒ බොරලැස්ගමුව හන්දියේ අබාන්ස් උඩුමහලේ ඒ මහතාගේ පන්තියේ දීය. ඒ මීට වසර  දෙකහමාරකට තුනකට පමණ පෙරය. මම ඔහු දුටු මුල් අවස්ථාව එයවිය. ශරිරයෙන් කුඩා නමුත් දැනුමෙන් ඔහු පරිපූර්ණ බව මට කෙටි කලකින්ම වැටහි ගීයේය.

එතනට යාමට මට සිදුවූයේ එතුමාගේ අළුත් ඡායාරූපකරණය පිළිබඳ පන්තියේ ආරම්භයයි. එයට බොහෝ දුර බැහැරින් ළමුන් පැමිණියහ. ඡායාරූපකරණය ගැන උණක් ඇතිවූ කාලයේ මම ඡායාරූපකරණය ගැන හැදෑරීමි. නමුත් ඒ බොහෝ දේ න්‍යයායික කරුණුවිය. ඒවා ප්‍රායෝගිකව හසුරවන්නේ කෙසේදැයි මට තිබු දැනුම අල්ප විය. ඒ දැනුම වැඩිකරගැනීමට තේනුවරයන්ගේ පන්තියේ  පළමු දවසම මට ඇතිවිය. එතැන් පටන් දිගටම මම ඔහුගේ ගෝලයෙකුවීමි. වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු නොවුනද වෘත්තිමය ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩකිරීමට ඔහුගෙන් මා බොහෝ දැනුමක් ලබා ගතිමි. අපට ඇතිවන හැම ප්‍රශ්නයටම ඔහු තුල විසදුමක් විය.

සමුහයක් ලෙස අපි අපේ පන්ති නිමා කලෙමු. අධික රාජකාරීවැඩ සහ පුද්ගලික ප්‍රශ්න හමුවේ ඉන්පසු මට තේනුවරයන් මුණ ගැසීමට හැකිවූයේ පන්තියේ ඇගයීම බාරදීමට යාමේදී පමණි. ඉන්ඉක්බිති තේනුවරයෝ සහතික පත්‍රය ලබාගන්නැයි කෙටි පණිවුඩයක් මගින් දන්වන ලදී. නමුත් එම අවස්ථාවටද සහභාගීවිමට මට නොහැකිවිය.

ඉන්පසු මට ආදරණිය ගුරුතුමා මුණගැසුනේ එතුමාගේ පොතක් දොරට වැඩුමකදීය. ඒ මහවැලි කේන්ද්‍රෙය්දීය. ඒ සදහා කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ලබාගැනීමට මම වාසනාවන්ත වීමි. එම දොරට වැඩුමේදී තේනුවරයන් එතුමාගේ ගුරුතුමාට ගුරු ගෞරව දක්වන ලදී. දොරට වැඩුම අවසානයේදී ඒ පොතේ එතුමාගේ සමරු සටහනක් ලබාගැනීමට මම පෝලිමට සිටියෙමි.

 අචිර සෙටිෆිකට් එක ගත්තෙ නෑ නේද? ඒක තියනවා අරන් යන්න.
මගේ හිත පත්තු වී යනවා සේ මට දැනුනි. මට අමතක වුවත් ගුරුතුමාට මාගැන අමතක වී නැතිවා සේය. මම හැකි ඉක්මනින් එතුමා හමුවට ගොස් එතුමාගෙන් එය ලබාගතිමි. නැවතත් තේනුවරයන් සමග නිදහසේ කතා කලෙමි. සර් මට බොහෝ දේ පවසන ලදී. ඒ අදහස් තුල බොහෝ පිළියම් විය. ඇතැම් දේ ගැන හිතේ බර අඩුවී ගිය සෙයක් දැනුනි.

ගුරුවරයෙකු හැටියට එතුමා මට බොහෝ දේ කියා දුන්නේය. තවමත් මම බොහෝ දේ  ඉගන ගනිමි. මිතුරෙක් හැටියටද එසේමය. ගුරුවරයෙක් මිතුරෙකුවන්නේ කලාතුරකිනි. එසේම වටිනා ගුරුවරයෙක් හැටියට තවත් බොහෝදේ එතුමාගැන පැවසිය හැකිය. පැවසිය යුතුය. සටහන දිගවැඩිවන බැවින් එතුමා මට දැනුනු අවස්ථා කිහිපයක් මෙලෙස සටහන් කලෙමි.


මේ නිරහංකාර මිනිසාගේ උපන්දිනය වෙනුවෙන් මේ කුඩා සටහන තබමි. තේනුවරයානෙනි. ඔබට සුබ උපන්දිනයක් වේවා!. චිරාත් කාලයක් වැජඹේවා!

Thursday, June 06, 2013

නාමල් අයියා චීනයට යාමට හේතුව

එදා විවේකයෙන් ගෙදර සිටි දවසක් විය. පත්තරයත් අතට අරගෙන බැලීමට සැරසෙන විට රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති විකාශය වීමට පටන් ගැනුනි. ඒ අල්ල පනල්ලේම අල්ලපු ගෙදර පොඩි එකා අපේ ගෙදරට කඩා පාත් විය. මම ඉතින් ඌත් සමග ප්‍රවෘත්ති බැලීමි.

ජනාධිපති තුමාගේ චීන සංචාරය ප්‍රවෘත්ති මාතෘකාව විය.  ජනාධිපති පුත් නාමල් අයියාද චීනෙ ගිය බව එහි දැක්විනි. අල්ලපු ගෙදර පොඩි එකා ගේමට බැස්සේ එතනදීය.

“ මාමෙ කවුද මහින්ද මාමා එක්ක අර ඉන්නෙ“
“ඒ නාමල් අයියනෙ පුතේ“
“නාමල් අයිය කවුද?“
“ඒ මහින්ද මාමාගෙ පුතානෙ“
“එයා මොකටද චීනෙ ගියෙ“
මට දෙන්න උත්තර නැත. මම වැඩේ ගොඩින් බේරා ගැනීමට මාන බැලුවෙමි.
“ඒ අය රාජතාන්ත්‍රිකයොනෙ පුතේ“
“ඒ මොක්කුද මාමෙ?“
දීපල්ලකො උත්තර.
“රාජ තාන්ත්‍රිකයො කියන්නෙ පුතේ රට නියෝජනය කරන අය“
“ඉතින් නාමල් අයියා මොකටද රට නියෝජනය කරන්නෙ“
“එයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ“
“නෑ මාමා වැරදියි“
පොඩි එකාගේ ස්වරයෙන් මම ගල් ගැසී ගියෙමි.
“ඇයි පුතේ වැරදි“
“එහෙනං මං මාමාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. පස්සේ මාමාටම තේරෙයි“
කොල්ලා කතා කීමේ යන්ත්‍රයක් බැවින් උගෙන් කතාවක් අහගන්න මමත් ලෑස්ති වීමි.
“හා එහෙනං මාමා කියමු බලන්න අර මහින්ද මාමත් එක්ක ඉන්න ගෑණු කෙනා කවුද?“
ඔහු ජනාධිපති ආර්යයාව පෙන්වමින් අසයි.
“ඒ පුතේ ජනාධිපති ආර්යයාවනෙ“
“එතකොට නාමල් අයියා කියන්නෙ එයාගෙ පුතෙක්නෙ“
“ඔව්“
“නාමල් අයියාට සහෝදරයො කී දෙනෙක් ඉන්නවද?“
“දෙන්නයි“
“දැන් කෝ ඒ අය“
“එක්කෙනෙක් නාවික හමුදාවෙ, අනිත් එක්කෙනා අභ්‍යවකාශෙ“
“දැන් මහින්ද මාමායි ශිරන්ති නැන්දයි චීනෙ එන්න හදනකොට ගෙදර තනියම කවුද ඉන්නෙ“
“නාමල් අයියා“
“හරි අම්මෙක් තාත්තෙක් ගමනක් යනකොට එහෙම ලමයෙක් ගෙදර දාල යනවද මාමෙ“
මට ආයෙත් කට උත්තර නැත.
“ඒකත් හැබෑව පුතේ. එහෙනං ඒක වෙන්න ඇති නාමල් අයියව එකකං යන්න ඇත්තෙ“

අනේ මන්දා දැන් හැදෙන එවුන්. මට තාම මෝල් වගේය. මෙය මාගේ චිත්ත සන්තානය ආ කතාවක් නොව අල්ලපු ගෙදර පොඩි එකා විසින්ම කියපු කතාවකි. ඕං මං කියන්නේ බොරුනම් පාරක් පනින වෙලාවක කහ ඉරක් උඩදී සුදු වෑන් එකකට යටවී මිය යනු ඒකාන්තය. එවිට පාර අයිනේ හිටපු එකෙක් “දම්සාරී“ කියා කෑ ගසනු ඇත. අනේ මන්දා මොනව ලියනවද කියල.  සමාවෙන්න... 

Friday, March 22, 2013

මේ දවස් වල ලංකාව



ඉතාම කාර්ය බහුල කාලයක් ගෙවමින් සිටිමි. බොහෝවිට සතියේ දින හතේම වැඩය. කුඩා ඉස්පාසුවක් ලැබුණුවිට කොන්ඩය කපා ගැනීමට බාබර් සාප්පුවට ගියෙමි. ඒ අන්තිම වරට කොණ්ඩය කපා මාස 5කට පසුවය. මා යනවිට තවත් 4 දෙනෙක් පෝලිමේය. තවත් මාස 5කට පසුව පැමිණෙන්නටවත් හැකිවේදැයි නොදන්නා නිසා පෝලිමේ පස්වෙනියාට එක්වූයෙමි. කරන්නට වැඩක් නැති නිසා එතන තිබූ පත්තර කියවන්නට වීමි. මදක් පරණ නමුත් මට අළුත් තොරතුරු එහි අඩංගු විය.

තවත් දෙදෙනෙකු පෝලිමේ සිටී. දැන් ඉතිරිව ඇත්තේ කාන්තා පත්තරයකි. එයත් කියවීමට පටන් ගත්තෙමි. මුල පිටුව “චංගුමී“ ගේ වෛවර්න පින්තූරයකින් පුරවා ඇත.  දැන් දැකලා ඇති නිසා දෙවන පිටුවට හැරවීමි.

“පුංචි ඔබට පෙරපාසල් යනවිට චංගුමී ලෙස හැඩවෙන්න මේ මෝස්තර අම්මාට කියා මසා ගන්න“ ඒ පතරොම් සියල්ල පෙර පාසල් ලමුන්ට සහ ඹවුන්ගේ අම්මලාටය. මම වෙන පිටුවක් පෙරලීමි.
“තරුණ යුවතියකට සුජාත දියණියගෙන් ගත හැකි පාඩම්“
ලංකාවේ වියත් (ද කොහෙද) ලේඛිකාවක් (ලු) ලියනලද ලිපියකි. එයද මට නොවන බැවින් තවත් පිටුවක් පෙරලීමි.
“චංගුමීගේ ආහාර වට්ටෝරු“ අනේ මන්දාය.
ආහාර වට්ටෝරු බලා අන්තිම හරියේ පිටුවක් පෙරලීමි. 
“පසුගිය සතියේ අභීත දියණී කතාව නවකතාවක් ලෙස“.

අඩුවට තිබුණේ ඒක පමණි. පෝලිමේ මට කලින් හිටපු කෙනාට හදිස්සියේ ගෙදරින් කෝල් එකක් ආ නිසා ඊලඟට මම කොණ්ඩය කපා පරිස්සමින් ගෙදර ආවෙමි.

සතියේ දවසක ටිකක් කලින් ගෙදර ආවෙමි. යකෙක් කන්න බඩගිනි බැවින් කෑම එක බෙදාගෙන සාලයට ආවේ රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීමටයි. රසට අනා පළමු කට කෑවා පමණි.

“ඔයාගෙ වැසිකිලිය සෝදන්නෙ ඕකෙන්ද?“
“ඔව් ඒකෙන් පිරිසිදු වෙනවා ඔයාගෙ එකට වඩා“
“හා එහෙනං අම්මප කියන්න“ (වැරදුනා)
ඇය වැසිකිලිය සුද්ද කරයි. අනෙක් ගැහැණිය එය ඔප්පු කරන්න කියයි. වැසිකිලිය සුද්ද කල ගැහැනිය එක පාරක් ෆ්ලෂ් කර එය අතගා පෙන්වයි.
“නොදකිං විතරක් ගෙදර කන වෙලාවට පෙන්නන ඒවා“
බඩගින්න දැඩි නිසාම තවත් කටවල් දෙක තුනක් කා අත සෝදා ගතිමි.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...