
මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙනවා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි.
ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා.
මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි.
අවුරුදු දෙකක් ගෙවිල ගිහින් උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ.
(මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ)