Friday, March 10, 2017

වීනස්.... ඔයා


පහුගිය ටිකේම මම හිටියෙ ගෙදර. ඉතිං මෙහෙම ඉන්නකොට තාත්තගෙ යාළුවෙක් ගෙදර ආවා. ඒ අන්කල්ට එයාගෙ ගෙදර මිදුලෙ වෙනස්කම් වගයක් කරගන්න ඕනෙ කියල කිව්වා. මම ගෘහ නිර්මාන ශිල්පියෙක් නොවෙන බව කිව්වත් අන්කල්ගෙ පේරැත්තය නම් අඩුවුනේ නෑ. අන්තිමට මට ඒ ගෙදර මිදුල බලන්න යන්න වුනා. ඒ අන්කල්ලට සල්ලි තිබ්බට ඒවගේ දේවල් ගැන එච්චර අවබෝධයක් තිබ්බෙ නෑ.

ඒ ගෙදර මිදුල හරිම ලස්සනට හදලා තිබ්බා.  මල් වවලා කරන්න ඕනෙ හැමදේම වගේ කරල තිබ්බා. ටික වෙලාවක් යනකොට අන්කල් පික්චර් පෝස්කාඩ් එකක් ගෙනල්ලා මට ඕනෙ මේ වගේ මිදුලක් කියල මට පෙන්නුවා. පෝස්කාඩ් එකේ තිබ්බෙ යුරෝපෙ කොහෙ හරි මාලිගාවක මිදුලක්. පෝස් කාඩ් එකේ තිබ්බ එකයි තියන මිදුලයි හරියට ගල් බනිසුයි කිඹුලා බනිසුයි වගේ වෙනස්.

ඉතිං මම අන්කල්ට කිව්වා මෙහෙම බෑ මේක අපිට පුළුවන් විදිහ මේකයි මෙහෙම කරමු කියල අදහසක් දුන්නා. අන්කලුත් පැණි බූන්දි හම්බවෙච්ච පොඩි එකෙක් වාගෙ ඒකට කැමතිවුනා.

මිදුලෙ එක තැනකට ගැහැණු කෙනෙක් ගෙ පිළිමයක් හොඳයි කියල මම යෝජනා කලා. අන්කලුත් කැමති වුනා. පස්සෙ ඒ වෙලාවෙම පිළිමයක් හොයන්න අපි පිටත්වුනා.

අපිට පිළිම කඩයක් හම්බවුනා. අපි පිළිම බලනකොට වීනස් දෙව්දුවගෙ පිළිමයක් හම්බවුනා. මම ඒක හොඳයි කියල තීරනය කරල ඒකේ ගාන ඇහැව්වා. ඩිස්කවුන්ට් ඔක්කොම දාලා දහඅටදාහකට ඒක දෙන්නම් කිව්වා. 
ඒත් අන්කල්ගෙ මූන ටිකක් හොඳමදි.

එහායින් හිටපු වතුර ගෙනියන කාන්තාවගේ පිළිමයක් පෙන්නලා කීයද කියල අන්කල් ඇහැව්වා. ඒක රුපියල් විසිදාහක් කියල කඩේ කෙල්ල කිව්වා.

පස්සෙ අන්කල් මාව පැත්තකට අඬගහගෙන ගියා. ඊට පස්සෙ ඇතිවෙච්ච කතාව මෙහෙමයි.
අන්කල් - පුතා අපි මේ විසිදාහෙ එක ගම්මු.

මම - ඇයි අන්කල් වීනස් පිළිමෙ ලාබනෙ. ඒක ලස්සනයිත් එක්ක.අන්කල් - මේ කඩේ කෙල්ල හරි කපටියි.
මම - ඒ මොකෝ අන්කල්අන්කල් - මම බලාගෙන අර අතුත් නැති බාගෙට අන්දවපු පිළිමෙ කොහොම හරි පුතාගෙ කරේ ගහන්න හදනවා. තව දෙදාහයිනෙ වැඩි වෙන්නෙ. අත පය තියන සම්පූර්ණ පිළිමයක් අරං යං පුතා.


ඊට පස්සෙ ඉතිං මම ලෝකෙ කොයි වීනස් පිළිමෙත් අත් නෑ ඒක එහෙම තමයි කියල අන්කල්ට කියල දුන්නා.