Thursday, October 20, 2016

කළු බදාදා - මොකද වුනේ


එක්ටා ගිවිසුමට විරුද්ධව ඒකාබද්ධ වෘතිය වේදියන් වරෙක පාරට බැස්සෝය. දැනුවත් කිරීමේ සම්මන්ත්‍රන පැවැත්වූහ. දේශපාලනික වශයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ස්ථාවරයේ තවමත් වෙනසක් නැත.

එතුමාගේ ස්ථාවරයෙන් අපට කමක් නැත.

ආණ්ඩුවට ඡන්දේ දුන්න මිනිස්සු පවා එක්ටා වලට විරුද්ධය. ඉඳින් ඊලඟ ඡන්දය තීරණාත්මකය.

ඒවාද අපට කමක් නැත. මේ ජනවාරි මාසයේ මම එක්ටා එක සම්බන්ධයෙන් තැබූ සටහනකි.

තවමත් වෘතිකයන්ගේ විරෝධය එලෙසමය. ගිවිසුම අත්සන් කිරීමට ඇත්තේ තවත් දවස් ගනනකි. ඊයේ දිනයේ බොහොමයක් වෘතිකයන් ෆේස් බුක්වල (සහ අනෙකුත් සමාජ ජාල වල) තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක සහ කවර් ෆොටෝ එක කළු පැහැයෙන් දමා කළු බදාදා ලෙස විරෝධයක් පැවැත්වූහ. මමද එම විරෝධතාවයට එක් වූයෙමි. මේ ඒ විරෝධය ගැන මගේ අදහසයි.

කෙටියෙන්ම පවසනවානම් මට හැඟෙන ආකාරයට මේ විරෝධය තරමක් අසාර්ථකය. ඒකට හේතු බොහොමයකි

තොරතුරු තාක්ෂන වේදීන් අතර අසමගිය මින් එකකි. එකම කාර්යාලයේ වැඩකරන විවිධ අදහස් ඇත්තවුන් මෙය බොහෝවිට “ පර්සනල් “ ගනිති. අරූ දැම්ම හන්දා මම දාන්නේ නැත.

තවත් පසුගාමී අදහස් බොහොමයක් මුහුණු පොත හරහා මම දැක්කෙමි.

තවත් අය මේක අපිට ආදාල නෑනේ යන ලේබලයෙන් සිටියහ. තමන්ට දැනෙන්නනම් තමන්ට කෙළවෙන්නම ඕනෑය. අනිත් අයගේ වෘත්තීන්ට මේවා අදාලවනවිට පෙරහැර ගොස් අහවරය

තවත් අය එක්ටා එකේ ඇති කරුණු විමසති. එක්ටා එකේ ඇති අන්තර්ගතය නොදැන විරුද්ධවීමට නොහැකියයි පවසති. මට දැනෙන විට අන්තර්ගතය දැනගන්නාවිට ගිවිසුම අත්සන් කොට හමාරය. අන්තර්ගතය වසන් වන්නේ ඇයිද යන්න තවමත් මට ප්‍රශනයකි.

තවත් සමහරු දැන් ප්‍රොෆයිල් එක මාරු කලහම මොකද වුනේ යයි විමසති. ඇත්ත තමාය. මුකුත් වෙලා නැතිය. ප්‍රොෆයිල් පික්චර් එකක් මාරු කල පමනින් රාජතාන්ත්‍රික ගිවිසුමක් අවලංගු නොවේ. පැරීසියට ISIS ගහපු වෙලාවේ ප්‍රේ ෆෝ පැරිස් යයි ප්‍රොෆයිල් පික්චර් මාරු කරපු අය ලංකාවට හොඳක් වේ යයි හීනෙන් වත් නොසිතන ගිවිසුමකට විරුද්දව ප්‍රොෆයිල් පික්චර්ස් මාරු නොකලහ. ඇත්තටම පැරීසියට ගහපු වෙලාවෙ ප්‍රොෆයිල් එක මාරු කලහම මොකද වුනේ?

ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතැම්විට කළු පටි බැඳගෙන ක්‍රීඩා කරති. පාර්ලිමේන්තු මන්ත්‍රීලාද සමහර විට එසේය. ඉතින් පටියක් බැන්දා කියල මොකද වෙන්නෙ කියලා කවුරුත් අසන්නේ නැතිය.

FB එකේ අය තරමක් දැනුවත් වී සිටියහ. නමුත් ටුවිටරේ එවැන්නක් මා දුටුවේ නැත. සාපේක්ෂව බොහෝ දෙනෙක් මේ ගැන නොදැන සිටි බව නම් මට පුද්ගලිකව හැඟුනි.


මෙය ඉතා සාමකාමී, නිවාඩු දැමිය යුතු නැති, අතින් වියදම් නොවන, කාළය ඉතුරුවුන විරෝධතාවයකි. මෙවැනි විරෝධතාවයකටවත් සහයෝගය නොදක්වන වෘත්තිකයින් ගැන කවරකතාද?

Wednesday, October 05, 2016

බුක් ෆෙයා - මගේ ඇසින්


දස ලක්ෂයක් දෙනා නැරඹූ (නැරඹූ කියන්නෙ ඉතිං බලන්න ආපු කියන එක තමයි) මහා බුක් ෆෙයා එකට මමත් දවසක් ගියෙමි.  එහි ගොස් සිදුවූ රස්තියාදු ඇතුළු තවත් මට හිතෙන දේ වාර්තාවක් මෙන් සටහන් කරමි.ටිකක් පරණ සිදුවීම් වුවත් අමාරුවෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි.
කියවීම සිතීම විචෑරීම ඔබට බාරය.
  • -          මෙවර බුක් ෆෙයා එක සැනකෙලියක් මෙන් විය. පසුගිය වසර ගනනක් එක දිගටම ගිය නිසා මෙවරද මම ඒ දෙසට ගියෙමි
  • -          වෙනදාට බී එම් අයි සී එච් එක ඇතුලේ වාහන ගාල් කළ හැකි නමුත් මෙවර ගාල් කල යුත්තේ එලියේය. උදේම ගිය නිසා යන්තම් පාර අයිනක වාහනය නවතා ගත හැකි විය. පහුවෙලා පැමිනුන අය කොහේ නවතාගත්තාදැයි මම නොදනිමි
  • -          මෙවර ටිකට් එකක් වෙනුවට දුන්නේ බුක් මාක් එකක් බැවින් වැඩේ හොඳ යයි  මට සිතුනි. එය බුක් මාක් එකක් බැවින්ද ටිකට් එකක් බැවින්ද මිනිස්සු එය විසි කරපු බවක් මම දැක්කේ නැත.
  • -          ටිකට් එකක් නමුත් අතර මගදී ටික්කෝ නැති නිසා ටිකට් නැතුවද ඇතුල් විය හැකිව තිබුණි. උදාහරණයක් ලෙස තුන්වන ගේට්ටුවෙන් ඇතුල් වන ඕනෑම කෙනෙකුට ටිකට් පතක් නොමැතිව ප්‍රදර්ශනයට ඇතුල්වීමේ හැකියාව තිබුනි.
  • -          මාතෘකාව පොත් ප්‍රදර්ශනය නමුත් ඒ හා සමාන ප්‍රමානයක් තේ කඩ, මැගී කඩ, හෝටල්, හොට් ඩෝග් කඩ තිබුණි. පොත් ගන්න ආ බොහොමයක් ඒ කඩ වල ගිමන් හරිමින් සිටියහ. පොෂ් ඈයෝ පොත් නොගෙන මැගී කෑහ, කෝක් බිව්වහ.
  • -          ටිකට් පතක මිල රුපියල් විස්සක් නිසා (ජෝන් ඇමති තුමාට අනුව) අනවශ්‍ය අය බොහොමයක් දවස ගෙවා ගැනීමට මෙහි රස්තියාදු වීමට පැමිණියහ. එය ඇත්තට පොත් ගන්න ආ අයට ඉමහත් වදයක් විය.
  • -          මෝටර් ෂෝ විවාහ වැනි ප්‍රදර්ශන වලට කාලය කා දමනන්නන් පැමිණේ. නමුත් ටිකට් එකක් 100-150ත් අතර වන නිසා එයිනුත් සමහරක් පැමිණෙන්නේ නැත. පොත් ප්‍රදර්ශනයේද ටිකට් පතක් 150ක් 200ක් කලහොත් එයට පැමිණෙන්නේද අවශ්‍යම අය පමණක් විය හැකිය. තවත් අවශ්‍ය නම් එම ටිකට් පතෙන් රුපියල් 150ක පොත් ලබාගැනීමට හැකියාව ලබාදිය යුතුය.
  • -          ප්‍රදර්ශනයේ නිල බැංකු කරුවූයේ සම්පත් බැංකුවයි. නමුත් එහි ඇති ඒ ටී එම් යන්ත්‍රය ඇතැම් තැන් හීදි ලංකා පේ සේවාව අත්හිටුවා තිබුනි.
  • -          ඉන්පසු එකම විකල්පය වූ ලංකා බැංකුවද වරුවක් තිස්සේ ඒ ටී එම් යන්ත්‍රයට මුදල් දමමින් දිගු පෝලිම් ඇති කර තිබුණි.
  • -          මෙවර බොහෝ කුටි වල කාඩ් මගින් ගණුදෙනු කල හැකිවූ බැවින් ඒ ටී එම් විකල්පය වෙනුවට කුඩා අවස්ථාවක් තිබුණි.
  • -          බොහෝ කුටි 20%ක හෝ වැඩි වට්ටම් ලබා දී තිබුණි. එය ඉතාම හොඳ දෙයකි.
  • -          ඇතුල් වන විටම ස්වර්ණ පුස්ථක වල අවසන් වටයට නිර්දේශිත පොත් පත්වල නම් ගසා තිබුණි. නමුත් ප්‍රකාශකයා සඳහන් නොවූ නිසා පොත් සොයා යාමේදී අපහසුතාවය මෙහිදී නොකියාම බැරිය.
  • -          පැය දෙක තුනක් කරක් ගැසූ නමුත් අවශ්‍ය ඇතැම් පොත් සොයාගත නොහැකිවූ නිසාත් පොත් කර ගසා සිටීමත් අපහසු වූ නිසාත්, නැවත පසුදා පැමිණෙන්නැයි සිතා බී එම් අයි සී එච් එකෙන් එලියට බැස්සෙමි.
  • -          මා සමගම එලියට බට බොහෝ තරුණ ළමයි පොත් ප්‍රදර්ශනයට පැමින රංචු ගැසී අඩුම තරමේ රුපියල් විස්සට තිබූ අබලි පොතක් වත් නොගෙන කෑ ගසමින් එළියට ආහ.
  • -          පසුදාත් යාමට අවශ්‍යතාවය තිබුනත් එදින අනුභව කල කට්ට මතක් වී සිතමින් සිටින විට එකවරම ගණ දෙවියන් වැඩම කළහ.
  • -          අන්තර් ජාලයට ගොස් සරසවි පොත් හල, විජිත යාපා පොත් හළ ගුණසේන ගොඩගේ වැනි පොත් හල් වල වෙබ් පිටු වලට ගියෙමි. එහි ගොස් අවශ්‍ය පොත් වල කතෘ සමග නම් ලියාගතිමි.
  • -       පසුදා උදයම මම ළගම ඇති නුගේගොඩ සරසවියට ගියෙමි. උදේම නිසා කවුරුත් නැත. නිවිහැනහිල්ලේ වාහනය නවතා ඇතුල් වනවිටම ස්වර්ණ පුස්තක සියළුම පොත් දොර ලග කබඩ් එකේ විය. ඉන්නා සේවිකාවන්ගේ උදව්ගෙන ඉතා ඉක්මනින් (විනාඩි 20ක් විතර ඇතුලත) ගැනීමට අවශ්‍ය සියළුම පොත් එකම වහලක් යටින් 20%ක වට්ටමකට ලබාගතිමි.
  • -          ලබන අවුරුද්දේත් හිරවී තදවී මහන්සිවී පොත් ගැනීමට අවශ්‍යයයි සිතුනහොත් පමණක් මම බී එම් අයි සී එච් යමි.

Tuesday, August 09, 2016

චීනාට තෑග්ගක් ගතිමි


මාස අටකට විතර පස්සෙ මගෙ යාළුවෙක් වෙච්ච චීනා ආයෙත් ලංකාවට ආවා. ඒ කාර්යාලයේ තිබ්බ වැඩමුළුවක් පවත්වන්න. එයා ලංකාවට ආපු තුන්වෙනි වතාව. කළිං පාරක ආපු වෙලාවෙ අපි ගංගාරාමෙ වෙසක් බලන්න ගියා. ඒ විස්තරෙත් ඕනෙ නම් මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. මේ ගමන මම එනකොට එයාට කිව්වා මට ෆෝන් එකක් ගේන්න කියලා චීනෙන්. යුවාන් 1300 කට එයා අළුත්ම හුවාවි ෆෝන් එකක් ගෙනත් දුන්නා බැක් කවර්, ටෙම්පර්ඩ් ග්ලාස්, සෙල්ෆි ස්ටික්, බ්ලුටූත් ස්පීකර් එක්ක වයර්ලස් හෙඩ්සෙට් එකකුත් එකක. ගානට නම් ඉතිං පට්ටම ලාබයි මොකද 2GB රැම් එක වෙනුවට 3GB කරල 16GB Internal වෙනුවට 32gb කරලත් හම්බවෙච්ච හන්දා.

දැන් ආයෙත් ට්‍රැක් එකට.

ඉතිං සති දෙකක් ඉඳල මෙයා යන දවසත් ආවා. මටත් ඕනෙ වුනා මොකක් හරි සිහිවටනයක් දෙන්න. ලක්සලේ ගනන් ගැන මම දන්න හන්දා වෙන කොහෙන් හරි බලන්න කියල බොරැල්ල පැත්තෙ නම් දරාපු කඩයකට ගියා. යාළුවා කිසිම ආගමක් අදහන්නෙ නෑ. එයා ෆ්‍රී තින්කර් කෙනෙක්. ඉතිං බුදුපිළිම දෙන්න බෑනෙ. වෙන පිළිම බැලුවා. අතට අහුවුන ඔක්කොම පිළිම made in China. හරිම සන්තෝසයි. මුළු කඩේම පෙරලගෙන බැලුවා. මේඩ් ඉන් සිරි ලංකා දෙයක් තිබ්බෙ නෑ. ඇඳුම් දීල වැඩක් නෑනෙ. ඉතිං එතනින් හැරිල ආවා.

ඊට පස්සෙ ගියෙ මරදාන පැත්තෙ නම් දරාපු කඩයකට. ඒකෙත් වෙනසක් නෑ. හොයනකොට හොයනකොට හම්බවුනා බිත්ති සැරසිල්ලක්. ඒක අනිත් අය ගත්ත හන්දා මම ගත්තෙ නෑ. නාගරාක්ෂ ගුරුලාක්ෂ ජසයා ලෙන්චිනා වගේ මූණු තිබ්බා. අපි වගේ සාමාන්‍යය පඩියක් ගන්න මනුස්සයෙක් 2500ක් 3500ක් දීල තෑග්ගක් ගන්නෙ කොහොමද? තියන ඔක්කොම  Made in China’ ලංකාවද චීනෙද කියල හිතුනා. හිතට හරියනනම Made in China කියල ගහල නැති ටේබල් ලෑම්ප් එකක් හම්බවුනා. එතන ඉන්න සහයකයෙකුට කියල ලෑම්ප් එක ටෙස්ට් කරන්න කරන්ට් එකට ගැහැව්වා.  ටේබල් ලෑම්ප් එකේ ෂේඩ් එක පත්තුවෙන්නෙ I Love China කියල.

අම්මෝ වෙලාවට ගහල ටෙස්ට් කලේ කියල හිතුනා.

එක පාරක් මම සීගිරි ගියපු වෙලාවක මේ වගේසිද්ධියක් වුනා. ඉතිං ලංකාව එහෙම තමයි.

තෑග්ගක් දෙනවද නැද්ද කියල හිත හිත ඉන්නකොට අන්තිමට හම්බවුනා පොල්කටුවලින් හදපු ඉබ්බෙක්. ඒකත් 350ක් ද කොහෙද?

බජට් එකට හරියන ඒවා චීනෙ හදන්නෙ. අපේ දේවල් අපේ බජට් එකට හරියන්නෙ නෑ.
ඉතිං හිත සනසාගෙන ඉබ්බව තෑග්ගට දුන්නා. 


Friday, June 10, 2016

ඉගනගත්ත දේවල් ටිකක්


පහුගිය ටිකේ වැඩ අතරේ පොඩි විවේකයක් ලැබුනා. ඉතිං ඉන්න ගමං කියවන්න තේරුම් ගන්න වෙලාවක් හම්බවුනා. මේ දවස් වල වැඩයෙම කියෙව්වෙ ජීවිතේට වටින දේවල්. මම මේ කියන හුඟක් දේවල් හැමෝම අහල තියන දේවල්. හැබැයි කවුරුත් කරන්නෙ නෑ. ඉතිං මම හිතුවෙ ඇයි ඒවා කරන්න බැරි කියලා. එක එක්කෙනාට ඒ දේවල් දැනෙන විදිහ වෙනස්.

අනික ලෝකෙ පොරවල් වෙච්ච හැමෝම තම තමන්ගෙ ස්ටයිල් වලට හැදුන අය. ඒ අයට හරිගියාට පස්සෙ එයාල කරපු දේවල් කියනවා. මිනිස්සු ඉතිං ඒ කියපුව හදල පෝස්ට් හදනවා. ඒ පෝස්ට් කියවල අපේ අය ගොඩ යන්න හදනවා. එත් ඉතිං එක එක අයට ඒවා ගැලපෙන්නෙ අඩුවෙන්. තව සමහර ඒකාලෙ කරපුවා ප්‍රායෝගික නෑ වගේ.

දැන් උදාහරනෙකට කියනවානම් වොරන් බුෆේ මහත්තයා කියනවා ණය පත් පාවිච්චි කරන්න එපා කියලා. ඒකට පුරුදු වෙන්න එපාලු. වර්ථමානෙ ණය පතක් නැතුව ජීවත්වෙන්න අමාරුයි. මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් තියන යුගය. එයා ලෝකෙ දෙවනි පෝසතා. ඉතිං එයාට ඕනෙ නැතුව ඇති. ඒත් ඉතිං අපි එච්චර පෝසත් නැති හන්දා අපිට ඒක ගැලපෙන්නෙ නෑ.

දැන් මං කියන්න යන්නෙ මගෙ හිතට වැදිච්ච කරන්න පුළුවන් කියල හිතිච්ච ඒවා දෙක තුනක්.

පළවෙනි එක - අපි කොච්චර නෑ කිව්වත් ඉස්ඉස්සෙල්ලාම මනුස්සයෙක් මනින්නෙ ඇඳුමෙන්. ඉතිං කවදාවත් ඇඳුමකට වියදම් කරන එක වියදමක් වෙන්නෙ නෑ කියන එක. කවුරුත් කැමතියි ප්‍රියමනාපව ඉන්න. ඉතිං ඇඳුම කියන්නෙ එහෙම ඉන්න පුලුවන් එක විදිහක්. අනික විශේෂයෙන්ම සපත්තු දෙක. ඕනෙම කෙනෙක්ගෙ දැක්ක ගමන් ඇහැයන්නෙ එතනට කියල කියවපු එක තැනක තිබ්බා.

දෙවනි එක - වොරන් බුෆේ කියල තියනවා මෙහෙම කතාවක්. හැබැයි ඊට කලින් බුදුහාමුදුරුවොත් කියල තියනවා කියල යාලුවෙක්ගෙ අම්මා කෙනෙක් කිව්වා. ඒ තමයි “වියදම් කරල ඉතුරුවෙන ටිකෙන් ඉතුරු කරන්න එපා. ඉතුරුකරල ඉතුරුවෙන ටිකෙන් වියදම් කරන්න“ කියලා. තේරෙන සිංහලෙන් කියනවානම් ඔයාගෙ පඩිය 10000 නම් එකෙන් 8000 ක් වියදම් කරල ඉතුරු 2000 ඉතුරු කරන්න ඉන්න එපා. ඉස්සෙල්ල 2000 ඉතුරු කරලා අර 8000 පස්සෙ වියදම් කරන්න කියන එක. මුලින් 2000 ඉතුරු කලොත් යන්තම් ඒක ඉතුරුවෙයි. මොකද වියදම් කරන්න යනකොට අපිට 8000ට සීමා වෙන්න බැරිවුනොත් ඉතුරු කරන්න 2000ක් නැතිවෙනවා.

අන්තිම එක තමයි - හම්බවෙන පුංචිම විවේක කාලෙත් යමක් ඉගන ගන්න යොදවන්න කියන එක. නැත්තම් මේ දේවල් මටත් තේරුම් ගන්න වෙන්නෙ නෑ.


හැමෝටම පොඩි දෙයක්. එත් තේරුම් ගත්තද මන්දා.

Thursday, May 05, 2016

නිවසේ සිට අවුරුදු කුමාරිලා නැරඹුවෙමි


මේ පෝස්ට් එක ලියන්න හිටියෙ අවුරුද්ද ඉවරවෙච්ච ගමන්. අනේ අපිට කොයින්ද ඉතිං ඒකට ඉස්පාසුවක්. වෙසක් පෝයට කලින් දවසෙත් මහා බක්මහ උළෙලවල් තියන එකේ මං හිතුවා මේ පෝස්ට් එක ලියන්න එච්චරම පරක්කු නෑ කියලා. ඔන්න එහෙනම් පෝස්ට් එක

සුබ අළුත් අවුරුද්දක් වේවා!!

අළුත් අවුරුද්දේ නිවාඩු ටිකක් තිබ්බ හන්දා යාන්තම් කාලෙකට පස්සෙ ටී වී එක බලන්න පුළුවන් වුනා. හැම චැනල් එකේම ජයටම අවුරුදු විකුණනවා. ඒ අස්සෙ අවුරුදු උත්සව වැහි වැහැලා. කළාකරුවන්ගේ දේශපාලඥයන්ගේ හැමෝගෙම ඒවා. මොකේ මොන ජාතියෙ ඒවා තිබ්බත් ඉතිං හිතයන්නෙ අවුරුදු කුමාරි තෝරන එකට තමයි. ඉතිං මේ චැනල්වල තිබ්බ අවුරුදු කුමාරි තරඟ ගැන මම දැකපු දේවල් ටිකක් තමයි ලියන්න හදන්නෙ.

එක චැනල් එකක අවුරුදු කුමාරි වේදිකාවට එනවා. එන්නෙ රෙද්ද හැට්ටෙ ඇඳලා. බොහෝම විනීතව. රෙද්ද හැට්ටෙ පුරුදු නෑ කියල හොඳටම තේරෙනවා. ඔන්න එයා ඇවිත් තමාව අඳුන්වල දෙනවා.

“මම ස්ටෙෆ්නි ඩි සිල්වා. මම ආවෙ මවුන්ට් ලැවීනියාවල ඉඳන්“

හරීම ස්වීට් වොයිස් එක. ඉතිං ඔක්කොම ඉංගිරිස් වෙච්ච කොට රෙද්ද හැට්ටෙ සෙට් වෙන්නෙ කොහොමද? පස්සෙ තමයි ඉතිං දැක්කෙ ඉතුරු ටික ඇවිදං යනකොට හීනියට ටයිට් ජීන්ස් එකකුත් ඇඳං හිටියා කියලා.
මේ වගේ අය ඕනෙ තරම් ඒ චැනල් එකේ හිටියා.

ඉස්සර අවුරුදු කුමාරි තෝරනකොට කියන්නෙ පංචකල්‍යාණිය තෝරනවා කියලා. ඒකියන්නෙ

1. දන්ත කළ්‍යාණය. ( දත් ටික ලස්සනට පිළිවෙලට තිබීම )
2. ඡවි කළ්‍යාණය (සම පැහැපත් වීම. සමේ ලප කැළැල්    නොතිබීම )
3. කේශ කළ්‍යාණය (කොණ්ඩය නිරෝගීව , ප්‍රමාණවත් තරමට දිගට තිබීම )
4. මාංශ කළ්‍යාණය (ඇඟපත පිරිපුන්ව තිබීම. වෙනත් වචන වලින් කීවොත් කටු ගොඩක්    නොවීම )
5. වයඃ කළ්‍යාණය (කොපමණ වයසට ගියත් ලාබාල පෙනුම තිබීම )

හැබැයි දැන් මේ එකක් වත් නැති අයත් එනවා. මොකද හැම දේම වෙනස් කරගන්න එක හරිම ලේසියි. දන්ත කළ්‍යාණය දත් දොස්තර කෙනෙක් ගාවට ගියහම හදා ගන්න පුළුවන්. මොකද මේ වගේ තරඟ වල දත් ඔක්කොම නිවැරදිව තියනවද දත් පණුවො කාලද කියලා බලන්නෙ නෑ. ඉතිං පොඩ්ඩක් තරඟෙට කළින් සුද්ධ කරගත්තහම ඇති.

තරඟෙ මොනව වුනත් ඉතිං ඡවි කල්‍යානය තමයි ගෑණු ලමයින්ට වැදගත්. ඉස්සර කිව්වෙ පැහැපත් සමක් කියල. ලප කැලැල්නම් ඉතින් කොහොමත් මේකප් එකෙන් වැහෙනවානෙ. ඉතිං ඒකත් ගොඩ.

කේෂ කල්‍යානය ලස්සනට තියෙන්න ඕනෙ. ඒත් ඉස්සර දිගගගගගග කොණ්ඩ තිබ්බ ගෑණු ලමයි හිටියා. දැන් හිටපු අය ඔක්කොම වගේ ස්ට්‍රේට් රිලැක්ස් කරල ලේයර් කරල ටින්ට් කරපු අය. ඔළුවෙ මලක් ගහල පැද්දි පැද්දි එනකොට ඉතිං අනිත් අය හිතං ඉන්නෙ ඒක තමයි කේෂ කල්‍යානෙ කියල.

පිරිපුන් ඇඟක් නම් ඉතින් හැමෝටම වගේ තිබ්බා. ඒ අස්සෙ කෙට්ටු ලමයි මහත ලමයි හිටියෙ නැතුවමත් නෙමෙයි. රෙද්ද හැට්ටෙ කියන්නෙ සාපේක්ෂව ඇඟ වැහෙන ඇඳුමක්. ඉතිං වැඩි හරියක් පේන්නෙ නෑ. එත් ඉතිං මොනව කලත් ආපු හැම ළමයටම වාගේ සාපේක්ෂව ලොකු බඩක් තිබ්බා.

අවුරුදු කුමාරි තරගෙට එන්න කියන්නෙ 18-27 වගේ වයස් වල අයට. ඉතිං වයං කල්‍යාෙනත් අවුලක් නෑ. ඒ අස්සෙත් ඇන්ටිලා වගේ තරුණ ළමයි නොහිටියාම නෙමෙයි.

මේ තරඟ වල තීරනය කරන්නේ මාරම අයය. එක චැනල් එකක නිළියක්ද නළුවෙක් ද දොස්තර කෙනෙක්ද සිටියහ. තවත් එකක සූප වේදී මහතෙකි. මෝස්තර නිරූපිකාවකි. අඩුපාඩුවට සමාගම් අධ්‍යක්ෂක කෙනෙක්ද සිටියහ. සූප වේදී මහතා අවුරුදු කුමාරියන් තෝරන්නට ආවේ ඇයිදැයි මට අදටත් ප්‍රෙහේලිකාවකි.

දැන් ආයි මාතෘකාවට එමු.

තවත් එක චැනල් එකකට කැරකුවෙමි. ඒ වන විට යුවතියන් වේදිකාවට පැමිණෙමින් සිටියහ. නිවේදකයන්ට අනුව ඔවුන් ඇඳ  සිටියේ මොලේ කචල් වෙන වර්ණයන්ගේ ඇඳුම්ය.

කාලි මෑනියන්ගේ ශාන්තිය විදහාලන අළු පාට, ජම්බු ගහක වහපු පලා කොට්ටෝරුවෙකුගේ හොටයේ රතුපාට, මධ්‍යම රාත්‍රියේ උදාවූ හිරුගේ කහපාට වැනි වර්ණයන්ගෙන් යුතු ඇඳුම් ඔවුන් ඇඳගෙන විත් තිබුනි. වෙලාවට එහෙම වර්ණ දැක්කේ එදාම බැවින් මම කට ඇරගෙන එය නැරඹීමි.

බලා සිටිය නොහැකි තැන මම තවත් චැනල් එකකට මාරු කලෙමි. එහිද හදිසියේ සංවිධානය කල අවුරුදු උත්සවයකි. නිරූපිකාවන් (හුටා සොරි අවුරුදු කුමාරියන්) පැමිණෙන ආකාරය දුටු විට මගේ මතකයට ආවේ වෙසක් එකට සාදන දෙපැත්තට කැරකෙන වෙසක් කූඩුවකි. අවුරුදු කුමාරිගේ ඉනෙන් උඩ කොටස වාමාවර්තව කැරකෙන විට ඉනෙන් පහළ කොටස දක්ෂිනාවර්තව කැරකේ. ඉංගිරීසියෙන් කියන කැට් වෝක් වගේ දෙයක් ඔවුන් නිරූපනය කලහ. බොහෝ අවුරුදු කුමාරියෝ දිවයිනේ දුෂ්කර පලාත්වලින් පැමින සිටිය නිසාත් උත්සවය හදිසියේ සංවිධානය කල නිසාත් ඔවුන්ට කැට් වෝක් ඉගැන්වීමට වෙලාවක් නොතිබෙන්නට ඇත.

ඊලග චැනල් එකේ අවුරුදු කුමාරි තෝරන්නට ඔවුන් අළුත් අංගයක් ඉදිරිපත්කොට තිබුනි. ඒ ඔවුන්ගේ බුද්ධිය විචාරීමට ඔවුන් අංගයක් ඇතුලත් කර තිබීමයි. පංචතන්ත්‍රය ලීවේ කවුද? කළා වැව ඉදිකලේ කවුද? වැනි බරසාර ප්‍රශ්න මම ඔවුන්ගෙන් බලා පොරොත්තු වුනෙම්.

“ඔබට නිළියක් වීමට ලැබුනොත් ඔබ වන්නේ හොඳම නිලියද? ජනප්‍රිය නිලියද?“
මට තරු විසිවුනේය. මෙන්න ප්‍රශ්න.

ඇය හොඳම නිලිය යන්න පිළිතුර ලබාදී එය නිවැරදි කරගත්තාය.
ඊලග ප්‍රශ්නය තවත් රසවත්ය.

“ඔබට ලෝකයේ ධනවත්ම පුද්ගලයා  ඔබට මුණ ගැසුනොත් ඔබ ඔහුගෙන් ඉල්ලන්නේ කුමක්ද?“

අනේ මට හම්බවුනා නම් අහන්නේ එයාට ළමයි නැත්තං, (ඉන්නවානම් බරක් නැත්තං) මාව දරුකමට හදාගන්න කියල. එත් මේ සුරූපිණියට ප්‍රශ්නය තේරුම් ගත නොහැකිව මාර ප්‍රශ්නයක් විය.

තවත් ඒ චැනල් එකකට මාරු කලෙමි. එහිද ප්‍රශ්න විචාරාත්මක මෙව්වා එකකි. එහි අසන්නේ ජනප්‍රිය සාමාන්‍ය දැනීමේ ප්‍රශනය.

“ලංකාවට නිදහස ලැබුනේ කවදාද?“
“ලංකාවේ අගනුවර කුමක්ද?“
හැබැයි අවුරුදු කුමාරියෝ සියළු දෙනා ඒ ප්‍රශ්න වලට උත්තර දන්නවාය. සමහර විට උත්තර කලින් දෙන්නට ඇත. කිසිම ත්‍රිල් එකක් නැති තැන මම වෙන චැනල් එකකට දැමුවෙමි.

ඒකේ අවුරුදු කුමාරවරුද තෝරනවාය. සියළුම අවුරුදු කුමාරයෝ එකම උසින් එකම ඡවි වර්ණයෙන් එකම ජාතියේ සරම් කමිස ඇඳ එක මවකගේ දරුවන් විලස සිටියහ. ඇතැම්හු රැවුල් වවා විච්චූර්ණ කර සිටියහ. තවත් සමහරුන්ට රැවුල වත් තිබ්බේ නැත. ඔවුන් සියළුම දෙනා ජිමි යන සිරා කොල්ලෝ ටිකක් වූහ. එකම කට් එක සැමටම තිබූ අතර වෙනසක් තිබුනේ ඇඳපු සරමේ පාටින් පමණි.

ෆ්ලැට් බඩවල් සහ අයෝමය හස්තයන්ගෙන් යුතු ඔවුන්ව මම දැක්කේ තෑගි බෙදන අවස්ථාවේය. තෝරන ලද හැම අවුරුදු කුමාරිටම පංච කල්‍යාණය නොමැතිවූ අතර තෝරපු වුන්‍ට වඩා හොඳ එවුන් නොතේරුණු ගොඩේ විය.


අන්තිමට තඩි බඩවල් ඇති අවුරුදු කුමාරියන් සහ ලෑලි බඩවල් (සික්ස් පැක්) ඇති අවුරුදු කුමාරවරුන් තෑගි දිනන ලදී. 

පින්තූරය ලබාගත්තේ මෙතැනිනි

Thursday, March 17, 2016

ඩාර්ලි පාර යනු මහදවල් මංකොල්ල කන්නන්ගෙන් පිරුණු පාරකි.


“බලන්න සේර් මේ බීඩිම මෙහෙම ගැහැව්වහම කොච්චර ලස්සනද කියලා“
“හරි දැං ඇයි ඕක මට කියන්නෙ. මට ඕක වැඩක් නෑ. මට ආපු වැඩේ කරල දෙන්න“
“වාහනේකට ඕනෙ හන්දනෙ සේර් අපි කියන්නෙ. මෙව්ව දැම්මහම වාහනේ ආරක්සා වෙනවා. මේ බලන්න දැනුත් මේ දොර අයින හීරිලා,
“ඔය බීඩිමේ අඩිය කීයද?“
“ගාන වැඩක් නෑනෙ සේර්. වාහනේ ආරස්සාවනෙ වැදගත්වෙන්නෙ“
කතාව ඇරඹෙන්නේ මේ ආකාරයටය. නමුත් කතාවේ මූලාරම්භය මෙය නොවේ. මූලාරම්භය කොළඔ ඩාලි පාරේ වාහනයක් අයින් කර නැවතීමෙන් ආරම්භවේ. බොහෝ දෙනා අළුත් වාහනයක් හෝ පරන වාහනයක් ගත් විට වාහනයකට කුමක් හෝ අමතර යමක්‍ ගැනීමට යන්නේ කොළඹ ඩාලි පාර නොහොත් ටී බී ජයා මාවතටයි.

ඩාර්ලි පාරේ වාහනයකට අවශ්‍ය සෑම සුරුකුත්තමක්ම ඇත. ඔබට අවශ්‍යය වන්නේ සීට් කවරයක් නම් මේ ලෝකේ සාදා ඇති හැම වාහනයකම සීට් කවර එහි ඇති ඕනෑම කඩයකින් මිලට ගත හැකිය. වාහනයට අවශ්‍ය කරන ටින්ටඩ්, මඩ කවර, වීල් කවර, හුඩ් මේ ඕනෑම දෙයක් මෙහි ඇති කඩවල ඇත.

මේ පාරේ බිස්නස් මොඩල් දෙකක් තිබේ. ඒ කඩ තුල සහ කඩයෙන් පිටතය. මෙහි සාමාන්‍ය බිස්නස් මොඩලය අපට කඩයට ගොස් මිලදී ගන්නා බඩුවල ගනන් කතා කරගෙන අවශ්‍ය නම් බොහෝ විට කඩය ඉදිරිපස වාහනය නවත්වා ඒ වෙලාවෙම සවිකරගෙන (සවිකරන්නාට රුපියල් සියයක දෙසීයක සන්තෝසමක් ලබාදී) පැමිණිය හැකිය.

නමුත් මා කතා කරන්න යන මාතෘකාව ඇත්තේ අනිත් බිස්නස් මොඩලයේය. (මෙහි සඳහන් සියළු කරණු මගේත් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගේත් අත්දැකීම් මත පමණක්  ලියැවී ඇත).

ඔබ පළමු මොඩලයේ පාරිභෝගිකයෙක් විය හැකිය. නමුත් පහත සඳහන් කිසියම් කරුණක් නිසා ඔබට අවශ්‍යය කාරණාව ඉටුකරගත නොහැකි වුවහොත් බොහෝවිට දෙවන බිස්නස් මොඩලයේ තැරැව්කරුවෙකුට ඔබ හසුවීමේ අවදානමක් ඇතිවේ.

- ඔබ ගිය වෙළඳ සැලේ ඔබට අවශ්‍යම කරන සේවාව නොමැතිවී ඔබ නැවත හැරී එනවිට
- ඔබ පාරේ වාහනය නවතා ඒ වෙළඳ සැලට යන අතරතුර
- ඔබ ඩාර්ලි පාරේ සෙමෙන් වාහනය පදවන විට
- ඔබ වාහනයේ වීදුරුව පහත් කොට පාරේ කිසිවෙකුගෙන් යමක් විමසන විට
- ඔබ වෙළඳ සැලට ගොස් අවශ්‍යය සේවාව පිළිබඳ කතා කොට එම වෙළඳ සල අසලට වාහනය ගෙන ඒමට යන අවස්ථාවේදී
- ඩාර්ලි පාරේ කඩ වසා ඇති නිවාඩු දිනයකදී (පෝය ඉරිදා)
- කෙටියෙන් කියනවානම් ඔබ සිටින්නේ ඩාර්ලි පාරේ නම් ඕනෑම මොහොතකදී මෙම තැරැව් කරුවෙකුට හසුවිය හැකිය.

එම අවස්ථාවේදී මුලින්ම ඔහු විසින් ඔබේ අවශ්‍යයතාවය විමසනු ලබයි. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍යයවන්නේ වාහනය ටින්ටඩ් කරගැනීමට යයි සිතමු. ඔබ පැමිණියේ කඩයක් තුල සිටනම් ඔහු ඔබගෙන් පොරොන්දුවූ මුදල විමසයි. නැතිනම් ඔහු ඔබට ටින්ටඩ් සම්බන්ධයෙන් විස්තරයක් කියයි. කඩයේ මුදලට අඩුවෙන් වැඩය කරන හැටි  කතාකරයි. වැදගත්ම කරුණ වන්නේ ඔබ කැමතිවුවත් අකමැති වුවත් අවසානයේ ඔහු ඔබගේ වාහනයට නගී. ඉන්පසු ඔබට යාමට සිදුවන්නේ බොහෝවිට දේවානම්පියතිස්ස මාවත පැත්තටය. එහි දවසේ ඕනෑම වෙලාවක මේ ආකාරයෙන් “මංකොල්ලකෑමට“ බඳුන්වූ වාහන දක්නට ඇත.

වාහනය නැවැත්තුව පසුව තවත් ගෝලයන් දෙදෙනෙකු පමණ උදව්වට පැමිනේ.

“මෙන්න මේ සේර් මම කියපු හන්දා අපේ ලේන් එකට ආවා. මේ සේර්ගෙ වැඩේ හරියටම කරල දෙන්න ඕනෙ“
ඒ ගෝලයන් දෙදෙනාට සේවාදායකයා හඳුන්වා දෙන අයුරුය. ඉන්පසුව ඔවුන් බීඩිමක් ගෙනෙයි.
“මේ සේර්ට අළුත්ම බීඩිමක් දාපල්ලා“
“මට බීඩිං එපා ටින්ටඩ් කරන්නයි මම ආවෙ“ ඒ ඔබේ හඬ විය හැකිය.
“බලන්න සේර් මේක දැම්මහම කොච්චර ලස්සනද කියලා. වාහනේට ආරක්ෂාවත් තියනවා“
ඔවුන් මෙලෙස ආරම්භකරන්නේ ඔබට අවශ්‍ය ටින්ටඩ් එක නොවිය හැක. වාහනේට කිසිත් අවශ්‍යය නොමැති දෙයකින් ඔබේ වාහනය “ලස්සන“ කිරීම ඔවුන් අරඹති.

ඇතැම්විට ඔබ එයට කැමති වනු ඇත.

“දැන් මේකෙ අඩියක් කීයද?“
“ගාන වැඩක් නෑනෙ සර් වැඩේනෙ ඕනෙ. කොහොමත් සර්ට කරන්න පුළුවන් අඩුවෙන්ම මම කරන්නම්“
ඒ ඔවුන්ය. ඇතැම් විට ඔබ එයට අකමැතිව එපා කියා රන්ඩු කර එල්ලපු බීඩිම ගලවනු ඇත. නමුත් ඉන්පසු ඔබේ වාහනයේ දොරවල් වේගයෙන් ඇර අසල බිත්ති, කණුවල වැදී සීරෙන ඒවාට ඔවුන් වග නොකියනු ඇත. ඒවාට

“මේක ගැහැව්වනම් මෙහෙම වෙන්නෙ නෑනෙ. සර් ගැහැව්වෙ නෑ. අපිට කරන්න දෙයක් නෑ“ වැනි උත්තරයක් ලැබෙනු ඇත.
බීඩින් ගසා අවසානයේදී ඔවුන් ඔබේ වාහනයේ බැජ් ගලවා පෙන්වනු ඇත.

“මේ බලන්න සේර් බැජ් නිකං ගැලවෙනවා. මේවට රිවට් ගහන්න ඕනෙ“ 
කියමින් පොප් රිවට් සමග ඩ්‍ර්ල් එකක් ගෙනෙනු ඇත. ඔබ එපා කියන්නත් කලින් ඔබේ වාහනයේ සියළුම බැජ්වලට පොප් රිවට් වැදෙනු ඇත. (පොප් රිවට් ගැසුවාට පසු වාහනයේ බොඩිය හිල්වෙන එක, වතුර ලීක් වෙන එක වැනි දේවලට හෝ තුවාල වෙන සෙන්සර් එකකට වත් ඔවුන් වග නොකියන ඇත)

ඔබ ආවේ වාහනය ටින්ටඩ් කරන්නය. දැන් බීඩිං ගසා බැජ් රිවට් කර ඇත. තවත් අටමගලක් පටලවන්න කලින් ඔබ ඒක කිව යුතුය. නමුත් ඔබ ප්‍රමාද වූවා වැඩිවිය හැකිය. වාහනයේ තවත් බුරුල් වූ තැනකට 3එම් ටේප් ගසා

“බලන්න සේර් දැං මේක ගැලවෙන්නෙත් නෑ“ කියනු ඇත.
දැන් ඔවුන් වාහනය ටින්ටඩ් කරන්න සූදානම් කරනු ඇත. වෙළද සැලේ ඔවුන් ඒ සඳහා රුපියල් 5000ක් කිව්වේ යයි සිතන්න. මොවුන් ඔබට පොරොන්දුවෙන්නේ 4000කට පමණ විය හැක. ඉන්පසු ඔවුන් ඔබෙන් විමසා ටින්ටඩ් කරන කොළ උස්සාගෙන එයි. ඔබ එක කොලයක් තෝරයි. ඉන්පසු මද වේලාවකට පසු ඔවුන් තවත් කොළයක් ඔසවාගෙන එති.

“සේර් කලින් ගෙනාපු කොලේ හරි නෑ. ඒක චයිනීස් කොළයක් මේක තමයි ඔරිජිනල් තායිවාන් කොලේ. පාට පිච්චෙන්න නෑ. ගැරන්ටියක් දෙන්න පුළුවන්. අරකට ගැරන්ටි නෑ. මේක දාමු නේද සේර්“

ඔබ වාහනයට බාල බඩුදැමීමට කැමති නැත. ඔබ ඒ සඳහා හා කියයි. මිලද විමසයි.

“කොලේනම් ටිකක් මිලයි සර්. මේ හොඳ කොලේ දාල සේර්ට 6000කට කරල දෙන්නම්“
වෙළද සැලෙන් ගත්තත් 5000ට කරන්නේ බාල කොලයෙන් යයි සිතා ඔබ හිත හදා ගනී.

“කොල්ලනේ මේ සේර්ට හොඳට වැඩේ කරන්න ඕනෙ. කෝ ඔය හීට් ගන් එක ගෙනෙන්“
ඔවුන් කොළ හොඳින් හීට් කොට වැඩේ ලස්සනට කරති. ඒ අතර තුර තවත් වාහනයේ වෙනස්කම් වලට රුකුල් දෙති.

“සේර් මේකට මඩ්ගාඩ් ගහන්න. අපි ගාව තියනවා ඔරිජිනල් මඩ්ගාඩ්“ ආදී වශයෙන් ඔවුන් විවිධ විච්චූර්න ගැන පාරම්බාති.

වාහනයේ පිටිපස්සෙ දොර ඔවුන් ටින්ට් නොකරති. බොහෝවිට අර කියූ ගානට පිටිපස්සේ දොර අයිති නොවේ. ඒ සඳහා අමතරගානක් වැයවේ.

දැන් තවදුරටත් ඔවුන්ට ඔබව සූරා කෑමට අවශ්‍ය නොවේ. ඉතින් හෙමින් හෙමින් මුදල් ගැන ඔවුන් කියවති.

“අතේ සල්ලි නැතිවුනාට කමක් නෑ සේර් මම කොල්ලෙක් එවන්නම් සේර් එක්ක බැංකුවෙන් සල්ලි අරන් දෙන්න. අපිත් එදා වේල හොයන් කන මිනිස්සුනෙ සේර්. අපිටත් දරුපවුල් ඉන්නවා. අපි ගැනත් බලන්න. අපි මිනිස්සු හූරං කන්නෙ නෑ සේර්. අපිට මිනිස්සුන්ගෙ දුක තේරෙනවා“ 
ආදී වශයෙන් බොහෝ මැසිවිලි කියවති.
දැන් වැඩේ අවසන්ය. දැන් අවසන් මිල ගනන් එකතු වෙන තැනය. මෙච්චර වෙලා අඩියට නොකියූ ගනන් කියන වෙලාවය.

“සේර් බීඩිමට මම අනිත් අයට කියන්නෙ 185 සේර්ට 175ට කරන්නම්“
“මීටරේද?“
“නෑ සේර් අඩිය“
ඉන්පසු මීටර් ගාන මනිති. වැඩි කරති. එකතු කරති. (සැලකිය යුතුයි - මේ ගනන් නිවාඩු දිනවලට වෙනස්වේ.) අන්තිමට දේවානම්පියතිස්ස මාවතට හැරෙන තැන කඩෙන් අඩිය 30-50 අතර ගනනකට කරගතහැකි බීඩිම කඩේ වසා ඇති දිනට දේවානම්පියතිස්ස මාවතෙන් 175ට කරගත හැකිය.

ඉන්පසු පොප් රිවට් සඳහා ගනන් සාදනු ලබයි. සාමාන්‍ය කඩයෙන් රුපියල් 10-20ත් අතර ගසා ගත හැකි පොප් රිවට් එකක් ඉස්තරම් විදිහට රුපියල් 50කට කරගත හැකිය. ඇතැම් විට මේ සඳහා ඩ්‍රිල් එකට සහ රිවට් මැෂින් එකට වෙන වෙනම ගෙවන්නට සිදුවේ.

ඔවුන් ඇලවූ 3 එම් ටේප් එකේ කැබැල්ලට අඩියක් 175-200ක් තරම් ඉහල ගනනක් ඔබට ගෙවීමට සිදුවේ. ටේප් එකේ අඩි 4ක පමන කැබැල්ලකින් ඔබට මුලු ටේප් එකක්ම ගැනීමට හැකියාවඇත.

ටින්ට් කරන්න 6000ක් වන අතර (ඉස්තරම් කොළයෙන්) මෙයට හීට් ගන් එකේ කුලිය වන 1500 අදාල නොවේ.

දැන් අතේ මුදල් නැතිබව ඔවුන් දනී. ඔබගේ වාහනට නැග ඔවුන් සමග ඔබ ඒ ටී එම් එකකට යා යුතුය. ඔවුන්ට ලොකු ගානක් දුන්පසු වැඩ කරපු තුන්දෙනාගේ සන්තෝසම හැටියට තවත් 1500ක් 2000ක් ඔවුන් ඔබගෙන් මංකොල්ල කති.

වැරදිලාවත් මේ කිසිම තැනකින් ඔබට ඔන් ඇපෘවල් බිලක්වත් නොලැබෙන ඇත. ගැරන්ටි ලබාගැනීමට අදහස් කරන ඔබට තවත් හිතන්න අවස්ථාවකි.

ඔබ අත මුදල් නැතිවුවහොත් ඒ සඳහා සිදුකලයුතු වත් පිළිවෙත් ද ඔවුන් හොඳින් දනී.

ඔබ ඔවුනට සාප කරනු ඇත. දේවානම් පියතිස්ස පාරට ආ දන්නා කිසිම කෙනෙකු සන්තෝසයෙන් පිටවී ගිය වගක් අසන්නට නැත.

දන්නා බොහෝ දෙනෙකුගේ අත්දැකීම් ඔස්සේ අනාගතයේ ඩාර්ලි පාරේ පියමන්නට සිතා සිටින ඔබට කෙරෙන දැනුවත් කිරීමකි.


මෙය ඩාර්ලි පාරේ වෙළද සැල් හිමියන් විසින් මුදල් ගෙවා සම්පාදනය කල පෝස්ටුවක් නොවන බව කරුනාවෙන් සැලකුව මනාය

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...