Sunday, November 29, 2015

පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට නම්


පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල මටත් හිතට ගොඩක් දේවල් ආවා. ඒත් ඉතිං පස්න ගොඩක් ආවානෙ. ඉතිං ලියන්න  වෙලාවක් තිබ්බෙ නෑ. දැන් පොඩි වෙලාවක් හම්බවෙච්ච හන්දා ලියන්න හිතුවා. හැබැයි මේක ටිකක් දිග කතාවක්. ඇත්ත කියවන කොට කොහොමත් නීරසයි. නීරස වුනත් කියවන්න කියල මම ආරාධනා කරනවා. (මේ කතාවෙ කියල තියන පුද්ගලික විශ්ව විද්‍යාල කියල කියන්නෙ දහයෙ දහයෙ බිල්ඩිමක් ඇතුලෙ හුලං වදින්නේ නැතුව - පිටරට ටියුෂන් පන්තියක ලංකාවෙ මධ්‍යස්ථානය කියල තියන තැන් නෙමෙයි කියල කියන්න කැමතියි)

අපේ කතාව (ඇත්තටම මේ මගේ කතාව වෙන්නත් පුළුවන්) මෙහෙම පටන් ගම්මු. මම යන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝලෙකට. මොකක් හරි හේතුවකට මට පළවෙනි වතාවෙ විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු ලැබෙන්නෙ නෑ. ඉතින් දෙවනි වාරය කරන්න පුද්ගලික ටියුෂන් යනවා. මේ ටියුෂන් පන්තියට තමන්ගෙ නෑ ගෙවල් වල ඉඳන් බදුල්ල, හම්බන්තොට, දඹුල්ල වගේ ඈත ඉඳන් ළමයි එනවා ඉගන ගන්න. කට්ටියම දෙවනි වාරෙ උසස් පෙළ කරනවා. මම කරන්නෙ විද්‍යා විශයයන්. මට සී සාමාර්ථ 3ක් තියනවා. දිස්ත්‍රක් කුසලතාවය 2000 විතර හම්බවෙනවා. (උපකල්පනයක් පමණයි). ඒ වගේම අර බදුල්ල, හම්බන්තොට, දඹුල්ල පැතිවල ඉඳන් ආපු යාළුවන්ටත් සී 1යි එස් 2, සී 2යි එස් 1යි වගේ ප්‍රථිපල තියනවා. හැබැයි දිස්ත්‍රික් කුසලතාවය 500 වගේ අගයක් (උපකල්පනයක් පමණයි).. මට වැඩ පුළුවන් වුනාට මට කැම්පස් යන්න හම්බවෙන්නෙ නෑ. හැබැයි එකම විභාගෙ ලිවපු මගෙ මිත්‍රයො ටික මටත් වඩා අඩු දක්ෂතාවයක් තියාගෙන කැම්පස් යනවා.

හැකියාව තියාගෙන බෝට්ටුවකින් වත් ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්න පිං මදි වුනත් මගේ අධ්‍යාපනය මෙතනින් ඉවර කරන්න මට හිතෙන්නෙ නෑ. මම SLIIT එක මගේ ඊලග වරණය හැටියට තෝරාගන්නවා. (තව කෙනෙක්ට NIBM, NSBM, SITAM ඕනෙ එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මගෙ කාලෙ තිබ්බෙ SLIIT, NIBM විතරයි). මගෙ අනිත් යාළුවො ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවලට යනකොට එයාලට වියදම් කලේ මහජනතාවගෙ සල්ලි. එයාලගෙ ෆෝන් බිල් ගෙවන්න මහපොළ දුන්නෙත් මහජනතාවගෙ බදු වලින් එකතු කරපුවා.

මට SLIIT එකට යන්න වියදම් කලේ මගේ තාත්ත අමාරුවෙන් හම්බකරපු සල්ලි. මට ආණ්ඩුවෙන් කිසිම සහනාධාරයක් ලැබුනෙ නෑ. අපිත් එක්ක ඉගන ගන්න සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වල සහෝදර සහෝදරියො වගයක් ආණ්ඩුවෙන් එවලා තිබ්බා. අපි කිසි වෙනසක් නැතුව ඉගන ගත්තා.

මගේ යාළුවෝ ආණ්ඩුවෙ කැම්පස් වලින් ඉගන ගන්නකොට නවතින්න තැනක් නැතුව නේවාසිකාගාර ලබාදියව් කිව්වා. මහජනතාවගෙ මුදලින් ඒ අයට නේවාසිකාගාර හම්බවුනා. අපේ දුර ඉඳන් ඉගන ගන්න ආපු යාළුවො හරියට බඩට කෑමක් නැතුව කියන කියන ගනන් වලට බෝඩිං වල හිටියා.

ආණ්ඩුවෙ කැම්පස් ගිය මගෙ යාළුවෝ කැම්පස් ඇතුලෙ තමන්ගෙ සීනියර් උත්තමයො එක්ක වලි දාගෙන මරාගන්න කොට අපි අපේ සිනියර් එවුන් එක්ක එක බත් එකේ කෑවා. සින්දු කිව්වා. ආණ්ඩුවෙ කැම්පස් වැහුනා. අපේ අධ්‍යයන කාලයන් හරියට ගියා.

ආණ්ඩුවෙ කැම්පස් යාළුවො එක එක ශිෂ්‍ය ව්‍යාපාර දේශපාලන ප්‍රවාහ එක්ක එකතුවෙලා පෝස්ටර් ගහන්න කැට වලට මහජනතාවගෙ සල්ලිම අරගෙන ඉගන ගන්න එක පැත්තක තියල දේශපාලනේ කලා. අපිට එහෙම කැට එකතු කරන්න වෙලාවක් නෑ. නිදි මරාගෙන වැඩකරල ඉගන ගත්තා මම මේ වියදම් කරන්නෙ මගෙ රත්තරං අම්මා තාත්තා නොකා නොබී හම්බකරපු සල්ලි නාස්ති කරන්න බැරි හන්දා. මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවන්ට තේරුනේ නැති වුනාට ඒ අයට දේශපාලනේ කරන්න වියදම් කලෙත් මගෙ අම්මා තාත්තගෙන් ආණ්ඩුව ගත්ත බදු සල්ලිම තමයි.

උසස් අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි‍ කියල පෙළපාලි ගිහින් උද්ඝෝශනය කරල පොලිසියෙන් කදුළු ගෑස් රබර් උණ්ඩ බැටන් පොළු පාරවල් වතුර පාරවල් කාගෙන උසස් අධ්‍යාපනය නිදහසේ කරගන්න උත්සාහ නොකරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො හැම වෙලාවෙම ශිෂ්‍යය මර්ධනයක් ගැන කියෙවුවා. එයාල කාපු හැම කඳුළු ගෑස් පාරක් වතුර පාරක් පිටිපස්සෙම තිබ්බෙ මහජනයාගෙ බදුසල්ලි බව එයාලට මතක නැතුව ඇති. මේ වගේ ශිෂ්‍ය මර්ධනය බලන් ඉන්න බැරි දෙමව්පියො ආණ්ඩුවට බැන බැන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලමයි දාල ඒවාගෙ ශිෂ්‍යන් වර්ධනය කලා.

අපි හැමදාම අළුත් වෙන ලෝකෙ දැක්කා. තාක්ෂණය කියන්නෙ ඉක්මනින් වෙනස් වෙන දෙයක්. එහෙම වෙනස් වෙනතොට අපේ සිලබස් වෙනස් කරන්න ගතවුනේ දවසකටත් අඩු කාලයක්. හැමදාම අළුත් දෙයක් අපි ඉගන ගත්තා.  අපි අළුත් දේවල් ඉගන ගන්නකොට පරණ සිලබස් හැමදාම කරපු අපේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො ගැන සමහර වෙලාවට අපිට දුක හිතුනා.

අපි අවුරුදු 4 ඉවර කරලා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අනුමත කරපු උපාධියක් ලබාගත්තා. ඒ වෙනකොට සමහර මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවෝ සම්පූර්ණ කරල හිටියෙ දෙවෙනි වසර විතරයි. උද්ඝෝෂන, දේශපාලනය වගේ දේවල් හන්දා එයාලගෙ සරසවි වහලා.

කැම්පස් අවුට් වෙච්ච ගමන් අපිට රස්සාවල් පුදන්න කිසිම ආයතනයක් පෙළ ගැහිලා හිටියෙ නෑ. අපිම සීවී හදාගෙන අපේම හැකියාවන් පෙන්නල පුද්ගලික අංශයේ රස්සාවල් අපි හොයාගත්තා. ආරම්භක පඩිය කොහොමත් හිතට හරියන ගානක් නෙමෙයි. පුද්ගලික අංශයේ වැඩ කරක කවුරුත් ඒ ගැන හොඳින් දන්නවා.
දැන් අපි කොහොමත් රටට බරක් නෙමෙයි කියල අපිට දැනෙනවා. අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න ඉගන ගත්ත අපි ඊටපස්සෙ අම්මා තාත්තගෙ පිහිටෙන් ඉතුරු ටික ගොඩ දාගත්තෙ. දැන් අපිට අම්මලා තාත්තලාට බලන්න පුළුවන්. ආණ්ඩුවෙන් අපි ලබාගත්ත අධ්‍යාපනේට පිහිටවෙන්න (හිලව්වට කියලත් ඕනෙ කෙනෙකුට හිතන්න පුළුවන්) ලංකාවෙ වැඩ කරල විදේශ විනිමය අපි ලංකාවට ගේනවා.

අපි වැඩකරන්න පටන් අරන් අවුරුදු දෙකක් තුනක් විතර යනකොට අපේ ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවල සහෝදර සහෝදරියො ටික පාස් අවුට් වෙනවා. කැම්පස් එකෙන් එලියට එනකොටම ටික දෙනෙක්ට (ඒවායේ ඉන්න අති දක්ෂයෝ) රස්සාවල් ලැබෙනවා. හැමතැනම ඉන්ටර්විව් ගිහින් බැරිවෙන අය රැකියා විරහිත උපාධි ධාරීන් කියල ආණ්ඩුවේ රස්සාවල් ලබා දියවු කියල ආයෙත් උද්ඝෝෂන කරනවා. මෙයාල හිතන් ඉන්නෙ එයාලට ආණ්ඩුවෙ රස්සාවල්ම දෙන්න ඕනෙ කියලා.

මේ අය කවදාවත් පුද්ගලික අංශෙ රැකියාවලට ඉල්ලුම් කරන්නෙ නෑ. හේතු ගොඩක් තියනවා. එකක් අවුට් ඩේටඩ්. වෙනස්වෙන ලෝකයත් එක්ක වෙනස් වෙලා නෑ. පුද්ගලික අංශය කියන්නෙ තවත් තරඟකාරී අංශයක්. වැඩ බැරි අයට ඒවගේ තැන්වල වැඩ කරන්න ටිකක් අමාරුයි. ආකල්ප අතිනුත් පස්සෙන් ඉන්නෙ. එතකොට කොහොමත් තනතුරකට තරඟ කරන්න කිසි සූදානමක් නෑ. හුඟක් අය ඉගන ගන්න විශයයන් රස්සාවල් වලට අදාල දේවල් නෙමෙයි. මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරය විශයයක් හැටියට ඉගන ගන්න එක පුද්ගලික අංශයේ රස්සාවකට සුදුසු කමක් නෙමෙයි. (ඒවට ඉතිං ඒ සහෝදර සහෝදරියන්ට බැනල වැඩකුත් නෑ)

ආණ්ඩුවෙ රස්සාවල් ලබාගන්න තරඟ විභාගවලට ලියලා ප්‍රථිඵල එනකං ඉඳල බැරිම තැන සත්‍යග්‍රහ කරල ආණ්ඩුව බය කරල අන්තිමට ක්ලාක් කෙනෙක් හැටියට ආණ්ඩුවෙ රස්සාවක් කරන හුඟක් උපාධිධාරීන් පැන්ෂන් යන්නෙත් ඒ තනතුරේ ඉඳළම තමයි.

නිදහස් අධ්‍යාපනය, දේශපාලනය වගේ දේවල් ගැන කතා කරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො දැන් ජීවන බර කරට අරං. මම අවුරුදු 4කට විතර කලින් පුරුදු වෙච්ච ජීවිතයට එයාල දැන් හැඩගැහෙන්න පටන් අරං. දැං මොන නිදහස් අධ්‍යාපනේද? මොන පන්ති අරගලද?

දැන් අපි කතාව වෙන පැත්තකට ගෙනියමු. ඒත් පරණ කතාවම තමයි.

ටික කාලයක් පුද්ගලික අංශයෙ වැඩකරපු මට පශ්චාත් උපාධියක් කරන්න හිතෙනවා. ඒක ආණ්ඩුවෙ කැම්පස් එකක කරන්න ඕනෙ කියල මට හිතුනෙ ඒ කාලෙත් මේ වගේ පුද්ගලික රාජ්‍යය කියල බෙදීමක් ඇතිවෙලා තිබ්බ හන්දා. හැමදේම නිදහස් අධ්‍යාපනේ කියල කිව්වට පශ්චාත් උපාධිය කියන එකට ඉගන ගන්න ඕනෙ සල්ලි දීලා. මහන්සියෙන් ඉගන ගන්න ඒගොඩට වැටිච්ච වෙලාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් නිදහස් අධ්‍යාපනේ ඉල්ලුව සහෝදර සහෝදරියො සල්ලි දීලා පශ්චාත් උපාධිය කරන්න ඇවිල්ලා හිටියා.

තව සමහරු ආණ්ඩුවෙ කන්තෝරුවලන් ඇවිත් අපිත් එක්ක ඉගන ගත්තා. ඒ අයගෙ පශ්චාත් උපාධියට සල්ලි ගෙවන්නෙ ආණ්ඩුවෙන්. එයාලට ආණ්ඩුවත් එක්ක අවුරුදු 2-5 වෙනකම් ගිවිසුම් තිබ්බා. ආණ්ඩුව වියදම් කරන්නෙ ඒ කාලෙ ඇතුලෙ එයාල ලංකාවෙ ඉන්න ඕනෙ කියලා. ඒත් මාත් එක්කම ඉගන ගත්ත සමහර අයගෙ එකම පැතුම වුනේ ඒ කාලෙ ඉවරවෙච්ච ගමන් ඕස්ට්‍රේලියාවෙ හරි නවසීලන්තෙ හරි පී ආර් ඇප්ලයි කරන්න තව එක වටිනා සුදුසුකමක් සම්පූර්ණ කරගන්න එක.

ආණ්ඩුවෙ පරිවාස කාලෙ ඉවරකරපු සමහර යාළුවො ඒ පැතුම ඉෂ්ට කරගත්තා.

දොස්තර කෙනෙක් බිහිකරන්න නිදහස් අධ්‍යාපනේ කොච්චර වියදම් කරනවද? ඉතින් මේ නිදහස් අධ්‍යාපනේ බිහිකරන දොස්තර පුතා නැත්තම් දුව තමන්ගෙ උසස් අධ්‍යාපනේ වෙනුවෙන් පඩිසහිත නිවාඩු, තමන්ගෙ රිසර්ච් වලට ආණ්ඩුවෙ සල්ලි යොදවල තවත් යමක් ඉගනගෙන පිටරට වලට සේවය කරනවා.

ඇතැම් විශ්ව විද්‍යාල වල විශය නිර්දේශය යල්පැනපු ඒව වගේම තවත් සමහර විශ්ව විද්‍යාලවල උගන්වන විශයයන් ලංකාවෙදි වැඩක් ගන්න පුළුවන් මට්ටමක් නෑ. එහෙම අවස්ථාවල ඒ වගේ ශිෂ්‍යෙයා විශ්ව විද්‍යාලයෙන් එලියට එනකං පිටරටවල් බලාගෙන ඉන්නවා. නිකං නෙමෙයි. නිත්‍ය නේවාසික්ත්වය, රස්සාව වගේ හැම දේමත් එක්ක. ඉතිං අපේ අම්මා තාත්තගෙ සල්ලි වලින් උගන්වලා පිටරට දේවල් දියුණු කරන්න ලංකාවෙ ආණ්ඩුව සිලබස් හදන්නෙ ඇයි කියන එකත් හොයලා බලන්න ඕනෙ. මොනවා වුනත් ඒ හැම දෙයක්ම ලංකාවෙ විශේෂ සම්පත්.

අද තවමත් මම පුද්ගලිකයි කියන තැනක ඉගනගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාඩිය අරගෙන ලංකාව වෙනුවෙන් විදේශ විනිමය ගේනවා. එත් මහජනයාගේ මුදල් වලින් ඉගනගෙන එයාලට සේවය කරන්න ඕනේ හුඟක් අය පිටරටවල නේවාසිකයො වෙලා ඉන්නවා.

හැමෝම කාලා ඇඳලා ඉන්න ඕනෙ. හැමෝම සැපවත් ජීවිත ගෙවන්න ඕනෙ. එහෙමයි කියල නිදහස් අධ්‍යාපනය ලබන කට්ටිය විතරක් ඉගන ගන්න ඕනෙ නෑ මං හිතන්නෙ. නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නිකං ඉගන ගන්න එකම නෙමෙයි. නිදහස් අධ්‍යාපනේ කියන එකට නිදහසේ අධ්‍යාපනය ලබන්න ඉඩසලසා දීම වගේ ගැඹුරු ප්‍රජාතාන්ත්‍රවාදී අදහසක් ඒ තුල ඇති කියල මට හිතෙනවා.

හැම මනුස්සයෙක් ඇතුලෙම විප්ලව කාරයෙක් ඉන්නවා කියල මමත් පිළිගන්නවා. හැබැයි ඒ විප්ලව කාරය එලියට එන්නෙ තමන්ගෙම පන්තියෙ එවුන්ගේ කෙලවීම උදෙසානම් මට ඒ විප්ලවකාරයා තවත් පොල් පිත්තක් විතරයි. නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරන සහෝදරවරුන්ගේ ලොකුම සහෝදරයත් ගියෙ රුසියාවෙ ලුමුම්බා සරසවියට. සමහරවිට ඒක හන්දා වෙන්න ඇති ඒ අයට පිටරට උපාධි තියන අය යටතේ කිසිම අපහසුවක් නැතුව වැඩකරන්න පුළුවන්.

පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න නොකියා (ඇතැම් ඒවායේ) විශය නිර්දේශ ඊට වඩා සංශෝධනය කරල දියුණු කරන්න කියලා කියන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නෙ නෑ. තමන්ගේ පන්තියෙ කෙනෙක් තමන්ට පහලින් ඉන්න ඕනෙ කියන සමාජවාදයේ ඉන්න ඇතැම් සොයුරන් මේවාට උත්තර බඳියි.

මුළු මහත් ආණ්ඩුව තමන්ගේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සඳහායි. ඉතින් පුද්ගලික රෝහල් වලට විරුද්ධ නොවන සහෝදරවරු පුද්ගලික විශව විද්‍යාල ගැන දුක්වෙන එක ගැන මට නම් පොඩි දුකක් තියනවා.


මහජනනයාගේ මුදලින් ඉගනගෙන පිටරටට සේවය කරන එක නවත්වපුදාට, අසරන ලෙඩ්ඩු තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ මුළික පියවර නොවුනදාට, තමන් හදාපු රටට තමන්ගෙ ණය ගෙවන්න සේවයක් කරන දාට, පුද්ගලික සායනයන් පැත්තකට දාල තමන්ගේ වාට්ටුවේ ලෙඩ්ඩු බලල යන දාට, රටේ පුද්ගලික රෝහල් නැතිවෙච්ච දාකට අපි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරමු. එදාට අපිත් එන්නම් ලිප්ටන් වටරවුමෙ බෝඩ් එල්ලගෙන.