අචිර‍‍ගේ දිනසටහන්

Thursday, July 16, 2015

බී එම් ඩබ්ලිව් “ළඳ“


මේ දවස්වල ඉඳලා හිටලා වහින හන්දා රස්නේ නැත. චාටර් ඡන්දයක් නිසා දේශපාලන කරලිය රත්වී ඇත. ඒ හැමටම වඩා දැන් රටේ ජනතාවට කතා කිරීමට මාතෘකාවක් ඇත. ඒ අර පොලිසියට සිංහයෙක් වගේ සද්දෙ දා අන්තිමේදී මී පැටියෙක් වගේ පොලිස් ජීප් එකේ ගිය බී එම් ඩබ්ලිව් “ළඳ“යි. ලංකාවේ කාලෙන් කාලෙට රැලි බිහිවේ. එහෙම රැල්ලක් හැදෙන්නේ නැත්තම් අර අජිත් මුතුකුමාරණගේ සින්දු වගේ බලෙන් හදන්න උත්සාහකරයි.

වාරියපොල (නංගී/අක්කා/කෑල්ල/වීර කාන්තාව/බ්ලා බ්ලා බ්ලා)ට පසුව ආ රත්නපුරේ බට්ටි (කෑල්ල/ අහින්සකාවිය/ බඩුව/ එක්සෙට්‍රා) මෙන්ම මේ දවස්වල හිට් වී ඇත්තේ බී එම් ඩබ්ලිව් (ඇන්ටි/ ළඳයි). සියල්ලෝම ගැහැණුය.  නමුත් වාරියපොළ/ රත්නපුර සිද්ධි දෙකේම සිටියේත් ගැහැණු නමුත් මාළබේ සිද්ධියේදී ආමන්ත්‍රනයේ වෙනසක් සිදුවී ඇත. ඒ වෙනසට හේතුව බී එම් ඩබ්ලිව් රථය විය හැකිය. අහින්සක (ද දන්නෙ නැති) කොල්ලෙක්ට එලව එලවා පහර දුන් වාරියපොල ගෑණු ලමයාට හා පොළිසියේ රාලහාමි මහත්තයෙක්ගෙන් අම්බානක ගුටිකෑ බට්ටිට වඩා චාටර් (කොල්ලන්ගේ බාසාව) විදිහට පොළිසියට කතා කල මේ ළඳ ගැන විශේෂ කැක්කුමක් ඇයි යන්න ප්‍රශ්නය තවමත් මට ඇත.

මේ අපි ජීවත්වන සිරි ලංකාවයි.

පොලිසිය නිවැරදි නොවිය හැක. බොහෝ විට කාන්තාව වැරදි විය හැකිය. දැනට ඇති කටකතා අනුව එය එසේ වාගේය.ළමයාට අසනීප නම් කළයුතුව තිබූ හොඳම දෙය විනාඩි 10ක් පොලිසිය සමග බැන ගැනීම නොව දඩකොලේ රැගෙන ගොස් ළමයාට බේත් අරන් දීමයි. දෙමව්පියන්ට තමන්ගේ ළමයින්ට වඩා තමන්ගේ ලොකුකම් ලොකුවිය නොහැක.

හැමෝටම ඇති ප්‍රශ්නය ඒ නෝනා වැරැද්දකට දඩකොළයක් ලියූ පොලිසියට එහෙම බණිනවානම් ගෙදර මහත්තයාට කොහොම බනිනවා ඇත්ද යන්නයි. ඒ බැණුමෙන් බේරෙන්න (ඇතැම්විට නීති උපදෙස් පිට) මහත්තයා පොලිසියට ගොස් නෝනාට මානසික ආබාධයක් ඇතැයි කීමෙන් තවත් ප්‍රශ්නය දුරදිග හැටි හැමෝම දක්න්න ඇති. මානසික ආබාධ ඇති අයට වාහන එලවන්න හොඳ නැත්තම් බොහෝ පුද්ගලික බස් රථ රියදුරන්ට තම බලපත්‍රය අහිමි වනු ඇත.

දැන් නැවතත් මාතෘකාවට එමු.

පොලිසියේ නිළධාරීන්ට අනුව ඔවුන්ට වඩා කවුරුත් නීතිය දන්නේ නැත. (ඇතැම්විට එය ඇත්තකි) නමුත් බොහෝ නිළධාරීන් හේතුවක් නැතුව නවත්තන්නේ නැත. හැම රාළහාමිම ජරාව කන්නේද නැත. මේ කියන හැම තැනකදීම පොලිසියේ වැරැද්දක් නැති තැනක්ද නැත.

අපේ අය හුඟක් වෙලාවට කියනනේ පොළිසිය සද්ද දාන්නේ බයිසිකල්වල සහ ත්‍රීවිල් අයට පමනක් කියාය. එහෙත් නිතියේ මකුළු දැලෙන් පලායන කුරුමිණියෝ වගේ අනිත් බී එම් ඩබ්ලිව් ගියද මේ තරුණ ලැජ්ජාශිලී රාලහාමිලා දෙන්නා මේ රථය නවතා ඇත. ඇතැම්විට බී එම් ඩබ්ලිව් කියා දැනගත්තේ නැවැත්තුවට පස්සේ විය හැකිය. (ඒත් උන් දෙදෙනා එය නැවැත්වීමද අතිමහත් වීරක්‍රීයාවකි.) අවසානයේ වැරැද්දක් තිබූ නිසා දඩ කොළයක් ද ලිව්වෝය. බී එම් ඩබ්ලිව් එකකින් ආ ළඳකට දඩකොළයක් ලිව්වත් එය මාර වීර ක්‍රියාවකි.

කරන වැරැද්ද වාහනය මත යැපෙන්නේ නැති නමුත් ලංකාවේ එසේ නොවන්නේ කලාතුරකිනි.

මීට අවුරුදු පහකට හයකට විතර කලින් බොරලැස්ගමුව හන්දියේ රෑ 8ට විතර වෙච්ච සිද්ධියක් මට අද වගේ මතකය.

එදාද මෙදා මෙන් වැරදියට පාරේ ඉස්සර කළ බී එම් ඩබ්ලිව් රථයක් හන්දියේදී රාළහාමි නැවැත්තුවේය. වෙනසකට තිබ්බේ එදා කාර් එකේ හිටියේ කලිසමක් ඇඳගත් මහත්මයෙකි. රාළහාමි අවුරුදු 30ක විතර කොල්ලෙකි. වෙන්නේ කුමක්දැයි බැලීමට අපිද නතර වුනෙමු. රාළහාමි ඔහුට කතා කොට ඔහුගෙන් ලයිසන් එක ඉල්ලා දඩ කොළයක් ලිව්වේය. අද මේ “ළඳ“ මෙන්ම අර මහත්තයාද වාහනයෙන් බැස රාළහාමිට පාට් දමන්නට පටන් ගත්තේය. සත පහකටවත් ගනන් නොගත් රාළහාමි දිගටම දඩ කොළය ලිව්වේය. මහත්තයා දිගටම බැන්නේය.

“තමුසෙ මතක තියාගන්නවා මට පුළුවන් හෙට තමුසෙව කිලිනොච්චියට මාරුකරන්න. මම ඒක කරනවා“ කියමින් වහසි බස් දෙඩුවේය.

දඩ කොළය ලියූ රාළහාමි මහත්තයාට දඩ කොළය අතට දී සිනාසී

“මහත්තයා මාව කිලිනොච්චි මාරු කලත් මාරු කරන්නෙ පොලිසියකටනෙ. තැපැල් කන්තෝරුවකට නෙමෙයිනෙ. මම බැඳල නෑ. මට හෙට ඕනෙම පොලිසියකට රිපෝට් කරන්න පුළුවන්. කරුණාකරල දඩකොලේ ගෙවලා හෙට පොලිසියට ඇවිත් ලයිසන් එක අරන් යන්න. බැරි නම් උසාවි දවසට එන්න“

කියලා කීවේය. අවසනදී මහත්තයා වටේ සිටි කොල්ලන්ගේ හූ සංග්‍රහයකට මැදිව රෙදි නැතුව එතනින් වාෂ්ප විය. අපිට ඕනෑ එහෙව් පොලිසියක්ය.

මේ රාළහාමිලා දෙදෙනාද කිසිම අවුලක් නැතුව තමන්ට බුරා පනින “ළඳ“ට හොඳින් කතා කලේය. කුණු හරපෙන් බැන්නේ නැත.

දැන් පොලිසිය බොහෝවිට වැරැද්දක් නැතුව දඩකොළ ලියන්නේ නැත. මානව හිමිකම් හා නීතිය ගැන සාමාන්‍ය ජනයා දැනුවත් බැවින් පොලිසිය තමන්ගේ ආරක්ෂාව ඔවුන් තමන් විසින්ම සලසා ගනු ලබයි.
අනික සමාජ ජාල හරහා හැමදේම ප්‍රචාරය වේ. ඉහත හැම සිද්ධියක්ම ප්‍රචලිත වූයේ සමාජ ජාල හරහාය. දඩ සෙල්ෆිය ලෝක ප්‍රසිද්ධවුයේ ද ඒ නිසාය.

ඇතැම් නිළධාරීන් දඩ කොළ ලියන්නේ නැතිව අවවාද කොට පිටත් කරන අවස්ථා එමට ඇත. මේ ළගදී මටත් එහෙම සිද්ධියක් සිද්ධවුනි.

පාරේ බස් රථයක් නවත්තා තිබූ නමුත් යාමට ඉඩක් නොමැති තැන මම කිහිපවරක් හෝන් ගසා බස්රථයට ඉස්සර කලෙමි. මා කැපුවේ තනි ඉර බව මම දැක්කේ නැතත් ඉස්සරහ සිටි පොලිසියේ ඇත්තෝ එය දුටුවහ. මා පසුපස රථයේ සිටි මල්ලීද මා අනුගමනය කල අතර දෙදෙනාම රාළහාමිලා දෙන්නා නතර කලහ.
එක රාළහාමි කෙනෙක් මගෙන් “මොකද මහත්තයෝ වුනේ“ කියලා ඇහුවහම මම “දැක්කෙ නෑ රාලහාමි“ කීවා මතකය.

“මොනවද දැක්කෙ නැත්තෙ“ කියල ඇහුවහම “රාලහාමිව“ කියල උත්තරත් මම දුන්නෙමි.

“ඔව් ඉතින් මාව දැක්කනම් එහෙම දාන්නෙ නෑනෙ“ කියා සිනාසී මල්ලි දෙසට හැරී “මොකද කලේ“ කියා ඇසුවේය.

“අයියා දැම්මා ඉතින් මාත් දැම්ම“ කියල ඌත් කටට ආපු දේ පොලිසියට පතබෑවේය.

අවසානයේ රාලහාමි සිනාසී මල්ලීට අවවාද කොට අපිට යන්නට දුන්හ. මල්ලිට දුන් අවවාදය වූයේ “අයියා යන පාරෙම යන්න එපා. සමහර වෙලාවට අමාරුවෙ වැටෙන්න පුළුවන්“

මාගේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහතෙකුටද එලෙසම අවවාදයක් දී තිබුනේ තරමක් වයසක රාළහාමි කෙනෙකි. දවසක් හදිසියේ ද්විත්ව ඉරි කපා වාහනය හැරවීමේ වරදට ඔහුව නැවැත්තු රාලහාමි දඩකොලේ ලියන්නට පෙර ගුරුතුමාගෙන් වැඩ කරන්නේ කොහෙද කියලා අසා ඇත. ** විශ්ව විද්‍යාලයේ කියල කිව්වට පස්සෙ රාලහාමි කියා ඇත්තේ එක දෙයක් පමණි.

“මහත්තයෝ ඔයා වගේ හොඳ නරක කියල දෙන අයත් මෙහෙම වැරදි කරනකොට අපි කොහොමද නීතිය කරන්නෙ“

ගුරුතුමා කිව්වේ ඒ වැරැද්ද ආයි කවදාවත් වෙන එකක් නැති බවයි.

අපි වාහනේට නැග්ගහම සීට් බෙල්ට් දමන්නේ අපේ ආරක්ෂාවට නොව පොලිසියෙන් බේරීමටය. හෙල්මට් දමන්නේ පොලිසියට බයේ මිසක් ඔළුව බේරාගැනීමට නොවේ.

පොලිසිය නොහිටියා නම් අපි අර හින්දි හරි දෙමළ චිත්‍රපටිවල වගේ හෙල්මට් නැතුව කෙල්ලත් දාගෙන බයිසිකල් වල යා හැකිය. පොලිසිය නැත්තම් මෙහේ සුරපුරකි.

ඡායාරූපය Hiru News

Labels: , , , , ,