Sunday, November 29, 2015

පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට නම්


පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ආයෙත් කතා බහක් ඇතිවෙලා තිබ්බා. ඒ ගැන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ගිය කීප දෙනෙක් පළකරල තිබ්බ අදහස් වගයක් දැකල මටත් හිතට ගොඩක් දේවල් ආවා. ඒත් ඉතිං පස්න ගොඩක් ආවානෙ. ඉතිං ලියන්න  වෙලාවක් තිබ්බෙ නෑ. දැන් පොඩි වෙලාවක් හම්බවෙච්ච හන්දා ලියන්න හිතුවා. හැබැයි මේක ටිකක් දිග කතාවක්. ඇත්ත කියවන කොට කොහොමත් නීරසයි. නීරස වුනත් කියවන්න කියල මම ආරාධනා කරනවා. (මේ කතාවෙ කියල තියන පුද්ගලික විශ්ව විද්‍යාල කියල කියන්නෙ දහයෙ දහයෙ බිල්ඩිමක් ඇතුලෙ හුලං වදින්නේ නැතුව - පිටරට ටියුෂන් පන්තියක ලංකාවෙ මධ්‍යස්ථානය කියල තියන තැන් නෙමෙයි කියල කියන්න කැමතියි)

අපේ කතාව (ඇත්තටම මේ මගේ කතාව වෙන්නත් පුළුවන්) මෙහෙම පටන් ගම්මු. මම යන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝලෙකට. මොකක් හරි හේතුවකට මට පළවෙනි වතාවෙ විශ්ව විද්‍යාලයේ යන්න ලකුණු ලැබෙන්නෙ නෑ. ඉතින් දෙවනි වාරය කරන්න පුද්ගලික ටියුෂන් යනවා. මේ ටියුෂන් පන්තියට තමන්ගෙ නෑ ගෙවල් වල ඉඳන් බදුල්ල, හම්බන්තොට, දඹුල්ල වගේ ඈත ඉඳන් ළමයි එනවා ඉගන ගන්න. කට්ටියම දෙවනි වාරෙ උසස් පෙළ කරනවා. මම කරන්නෙ විද්‍යා විශයයන්. මට සී සාමාර්ථ 3ක් තියනවා. දිස්ත්‍රක් කුසලතාවය 2000 විතර හම්බවෙනවා. (උපකල්පනයක් පමණයි). ඒ වගේම අර බදුල්ල, හම්බන්තොට, දඹුල්ල පැතිවල ඉඳන් ආපු යාළුවන්ටත් සී 1යි එස් 2, සී 2යි එස් 1යි වගේ ප්‍රථිපල තියනවා. හැබැයි දිස්ත්‍රික් කුසලතාවය 500 වගේ අගයක් (උපකල්පනයක් පමණයි).. මට වැඩ පුළුවන් වුනාට මට කැම්පස් යන්න හම්බවෙන්නෙ නෑ. හැබැයි එකම විභාගෙ ලිවපු මගෙ මිත්‍රයො ටික මටත් වඩා අඩු දක්ෂතාවයක් තියාගෙන කැම්පස් යනවා.

හැකියාව තියාගෙන බෝට්ටුවකින් වත් ආණ්ඩුවෙ කැම්පස් එකකට යන්න පිං මදි වුනත් මගේ අධ්‍යාපනය මෙතනින් ඉවර කරන්න මට හිතෙන්නෙ නෑ. මම SLIIT එක මගේ ඊලග වරණය හැටියට තෝරාගන්නවා. (තව කෙනෙක්ට NIBM, NSBM, SITAM ඕනෙ එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මගෙ කාලෙ තිබ්බෙ SLIIT, NIBM විතරයි). මගෙ අනිත් යාළුවො ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවලට යනකොට එයාලට වියදම් කලේ මහජනතාවගෙ සල්ලි. එයාලගෙ ෆෝන් බිල් ගෙවන්න මහපොළ දුන්නෙත් මහජනතාවගෙ බදු වලින් එකතු කරපුවා.

මට SLIIT එකට යන්න වියදම් කලේ මගේ තාත්ත අමාරුවෙන් හම්බකරපු සල්ලි. මට ආණ්ඩුවෙන් කිසිම සහනාධාරයක් ලැබුනෙ නෑ. අපිත් එක්ක ඉගන ගන්න සමෘද්ධි සහනාධාරය ලබන පවුල් වල සහෝදර සහෝදරියො වගයක් ආණ්ඩුවෙන් එවලා තිබ්බා. අපි කිසි වෙනසක් නැතුව ඉගන ගත්තා.

මගේ යාළුවෝ ආණ්ඩුවෙ කැම්පස් වලින් ඉගන ගන්නකොට නවතින්න තැනක් නැතුව නේවාසිකාගාර ලබාදියව් කිව්වා. මහජනතාවගෙ මුදලින් ඒ අයට නේවාසිකාගාර හම්බවුනා. අපේ දුර ඉඳන් ඉගන ගන්න ආපු යාළුවො හරියට බඩට කෑමක් නැතුව කියන කියන ගනන් වලට බෝඩිං වල හිටියා.

ආණ්ඩුවෙ කැම්පස් ගිය මගෙ යාළුවෝ කැම්පස් ඇතුලෙ තමන්ගෙ සීනියර් උත්තමයො එක්ක වලි දාගෙන මරාගන්න කොට අපි අපේ සිනියර් එවුන් එක්ක එක බත් එකේ කෑවා. සින්දු කිව්වා. ආණ්ඩුවෙ කැම්පස් වැහුනා. අපේ අධ්‍යයන කාලයන් හරියට ගියා.

ආණ්ඩුවෙ කැම්පස් යාළුවො එක එක ශිෂ්‍ය ව්‍යාපාර දේශපාලන ප්‍රවාහ එක්ක එකතුවෙලා පෝස්ටර් ගහන්න කැට වලට මහජනතාවගෙ සල්ලිම අරගෙන ඉගන ගන්න එක පැත්තක තියල දේශපාලනේ කලා. අපිට එහෙම කැට එකතු කරන්න වෙලාවක් නෑ. නිදි මරාගෙන වැඩකරල ඉගන ගත්තා මම මේ වියදම් කරන්නෙ මගෙ රත්තරං අම්මා තාත්තා නොකා නොබී හම්බකරපු සල්ලි නාස්ති කරන්න බැරි හන්දා. මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවන්ට තේරුනේ නැති වුනාට ඒ අයට දේශපාලනේ කරන්න වියදම් කලෙත් මගෙ අම්මා තාත්තගෙන් ආණ්ඩුව ගත්ත බදු සල්ලිම තමයි.

උසස් අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනයයි‍ කියල පෙළපාලි ගිහින් උද්ඝෝශනය කරල පොලිසියෙන් කදුළු ගෑස් රබර් උණ්ඩ බැටන් පොළු පාරවල් වතුර පාරවල් කාගෙන උසස් අධ්‍යාපනය නිදහසේ කරගන්න උත්සාහ නොකරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො හැම වෙලාවෙම ශිෂ්‍යය මර්ධනයක් ගැන කියෙවුවා. එයාල කාපු හැම කඳුළු ගෑස් පාරක් වතුර පාරක් පිටිපස්සෙම තිබ්බෙ මහජනයාගෙ බදුසල්ලි බව එයාලට මතක නැතුව ඇති. මේ වගේ ශිෂ්‍ය මර්ධනය බලන් ඉන්න බැරි දෙමව්පියො ආණ්ඩුවට බැන බැන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ලමයි දාල ඒවාගෙ ශිෂ්‍යන් වර්ධනය කලා.

අපි හැමදාම අළුත් වෙන ලෝකෙ දැක්කා. තාක්ෂණය කියන්නෙ ඉක්මනින් වෙනස් වෙන දෙයක්. එහෙම වෙනස් වෙනතොට අපේ සිලබස් වෙනස් කරන්න ගතවුනේ දවසකටත් අඩු කාලයක්. හැමදාම අළුත් දෙයක් අපි ඉගන ගත්තා.  අපි අළුත් දේවල් ඉගන ගන්නකොට පරණ සිලබස් හැමදාම කරපු අපේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො ගැන සමහර වෙලාවට අපිට දුක හිතුනා.

අපි අවුරුදු 4 ඉවර කරලා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව අනුමත කරපු උපාධියක් ලබාගත්තා. ඒ වෙනකොට සමහර මගෙ ආණ්ඩුවෙ කැම්පස් යාළුවෝ සම්පූර්ණ කරල හිටියෙ දෙවෙනි වසර විතරයි. උද්ඝෝෂන, දේශපාලනය වගේ දේවල් හන්දා එයාලගෙ සරසවි වහලා.

කැම්පස් අවුට් වෙච්ච ගමන් අපිට රස්සාවල් පුදන්න කිසිම ආයතනයක් පෙළ ගැහිලා හිටියෙ නෑ. අපිම සීවී හදාගෙන අපේම හැකියාවන් පෙන්නල පුද්ගලික අංශයේ රස්සාවල් අපි හොයාගත්තා. ආරම්භක පඩිය කොහොමත් හිතට හරියන ගානක් නෙමෙයි. පුද්ගලික අංශයේ වැඩ කරක කවුරුත් ඒ ගැන හොඳින් දන්නවා.
දැන් අපි කොහොමත් රටට බරක් නෙමෙයි කියල අපිට දැනෙනවා. අවුරුදු 13ක් නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න ඉගන ගත්ත අපි ඊටපස්සෙ අම්මා තාත්තගෙ පිහිටෙන් ඉතුරු ටික ගොඩ දාගත්තෙ. දැන් අපිට අම්මලා තාත්තලාට බලන්න පුළුවන්. ආණ්ඩුවෙන් අපි ලබාගත්ත අධ්‍යාපනේට පිහිටවෙන්න (හිලව්වට කියලත් ඕනෙ කෙනෙකුට හිතන්න පුළුවන්) ලංකාවෙ වැඩ කරල විදේශ විනිමය අපි ලංකාවට ගේනවා.

අපි වැඩකරන්න පටන් අරන් අවුරුදු දෙකක් තුනක් විතර යනකොට අපේ ආණ්ඩුවෙ විශ්ව විද්‍යාලවල සහෝදර සහෝදරියො ටික පාස් අවුට් වෙනවා. කැම්පස් එකෙන් එලියට එනකොටම ටික දෙනෙක්ට (ඒවායේ ඉන්න අති දක්ෂයෝ) රස්සාවල් ලැබෙනවා. හැමතැනම ඉන්ටර්විව් ගිහින් බැරිවෙන අය රැකියා විරහිත උපාධි ධාරීන් කියල ආණ්ඩුවේ රස්සාවල් ලබා දියවු කියල ආයෙත් උද්ඝෝෂන කරනවා. මෙයාල හිතන් ඉන්නෙ එයාලට ආණ්ඩුවෙ රස්සාවල්ම දෙන්න ඕනෙ කියලා.

මේ අය කවදාවත් පුද්ගලික අංශෙ රැකියාවලට ඉල්ලුම් කරන්නෙ නෑ. හේතු ගොඩක් තියනවා. එකක් අවුට් ඩේටඩ්. වෙනස්වෙන ලෝකයත් එක්ක වෙනස් වෙලා නෑ. පුද්ගලික අංශය කියන්නෙ තවත් තරඟකාරී අංශයක්. වැඩ බැරි අයට ඒවගේ තැන්වල වැඩ කරන්න ටිකක් අමාරුයි. ආකල්ප අතිනුත් පස්සෙන් ඉන්නෙ. එතකොට කොහොමත් තනතුරකට තරඟ කරන්න කිසි සූදානමක් නෑ. හුඟක් අය ඉගන ගන්න විශයයන් රස්සාවල් වලට අදාල දේවල් නෙමෙයි. මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරය විශයයක් හැටියට ඉගන ගන්න එක පුද්ගලික අංශයේ රස්සාවකට සුදුසු කමක් නෙමෙයි. (ඒවට ඉතිං ඒ සහෝදර සහෝදරියන්ට බැනල වැඩකුත් නෑ)

ආණ්ඩුවෙ රස්සාවල් ලබාගන්න තරඟ විභාගවලට ලියලා ප්‍රථිඵල එනකං ඉඳල බැරිම තැන සත්‍යග්‍රහ කරල ආණ්ඩුව බය කරල අන්තිමට ක්ලාක් කෙනෙක් හැටියට ආණ්ඩුවෙ රස්සාවක් කරන හුඟක් උපාධිධාරීන් පැන්ෂන් යන්නෙත් ඒ තනතුරේ ඉඳළම තමයි.

නිදහස් අධ්‍යාපනය, දේශපාලනය වගේ දේවල් ගැන කතා කරපු මගේ ආණ්ඩුවෙ කැම්පස් යාළුවො දැන් ජීවන බර කරට අරං. මම අවුරුදු 4කට විතර කලින් පුරුදු වෙච්ච ජීවිතයට එයාල දැන් හැඩගැහෙන්න පටන් අරං. දැං මොන නිදහස් අධ්‍යාපනේද? මොන පන්ති අරගලද?

දැන් අපි කතාව වෙන පැත්තකට ගෙනියමු. ඒත් පරණ කතාවම තමයි.

ටික කාලයක් පුද්ගලික අංශයෙ වැඩකරපු මට පශ්චාත් උපාධියක් කරන්න හිතෙනවා. ඒක ආණ්ඩුවෙ කැම්පස් එකක කරන්න ඕනෙ කියල මට හිතුනෙ ඒ කාලෙත් මේ වගේ පුද්ගලික රාජ්‍යය කියල බෙදීමක් ඇතිවෙලා තිබ්බ හන්දා. හැමදේම නිදහස් අධ්‍යාපනේ කියල කිව්වට පශ්චාත් උපාධිය කියන එකට ඉගන ගන්න ඕනෙ සල්ලි දීලා. මහන්සියෙන් ඉගන ගන්න ඒගොඩට වැටිච්ච වෙලාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් නිදහස් අධ්‍යාපනේ ඉල්ලුව සහෝදර සහෝදරියො සල්ලි දීලා පශ්චාත් උපාධිය කරන්න ඇවිල්ලා හිටියා.

තව සමහරු ආණ්ඩුවෙ කන්තෝරුවලන් ඇවිත් අපිත් එක්ක ඉගන ගත්තා. ඒ අයගෙ පශ්චාත් උපාධියට සල්ලි ගෙවන්නෙ ආණ්ඩුවෙන්. එයාලට ආණ්ඩුවත් එක්ක අවුරුදු 2-5 වෙනකම් ගිවිසුම් තිබ්බා. ආණ්ඩුව වියදම් කරන්නෙ ඒ කාලෙ ඇතුලෙ එයාල ලංකාවෙ ඉන්න ඕනෙ කියලා. ඒත් මාත් එක්කම ඉගන ගත්ත සමහර අයගෙ එකම පැතුම වුනේ ඒ කාලෙ ඉවරවෙච්ච ගමන් ඕස්ට්‍රේලියාවෙ හරි නවසීලන්තෙ හරි පී ආර් ඇප්ලයි කරන්න තව එක වටිනා සුදුසුකමක් සම්පූර්ණ කරගන්න එක.

ආණ්ඩුවෙ පරිවාස කාලෙ ඉවරකරපු සමහර යාළුවො ඒ පැතුම ඉෂ්ට කරගත්තා.

දොස්තර කෙනෙක් බිහිකරන්න නිදහස් අධ්‍යාපනේ කොච්චර වියදම් කරනවද? ඉතින් මේ නිදහස් අධ්‍යාපනේ බිහිකරන දොස්තර පුතා නැත්තම් දුව තමන්ගෙ උසස් අධ්‍යාපනේ වෙනුවෙන් පඩිසහිත නිවාඩු, තමන්ගෙ රිසර්ච් වලට ආණ්ඩුවෙ සල්ලි යොදවල තවත් යමක් ඉගනගෙන පිටරට වලට සේවය කරනවා.

ඇතැම් විශ්ව විද්‍යාල වල විශය නිර්දේශය යල්පැනපු ඒව වගේම තවත් සමහර විශ්ව විද්‍යාලවල උගන්වන විශයයන් ලංකාවෙදි වැඩක් ගන්න පුළුවන් මට්ටමක් නෑ. එහෙම අවස්ථාවල ඒ වගේ ශිෂ්‍යෙයා විශ්ව විද්‍යාලයෙන් එලියට එනකං පිටරටවල් බලාගෙන ඉන්නවා. නිකං නෙමෙයි. නිත්‍ය නේවාසික්ත්වය, රස්සාව වගේ හැම දේමත් එක්ක. ඉතිං අපේ අම්මා තාත්තගෙ සල්ලි වලින් උගන්වලා පිටරට දේවල් දියුණු කරන්න ලංකාවෙ ආණ්ඩුව සිලබස් හදන්නෙ ඇයි කියන එකත් හොයලා බලන්න ඕනෙ. මොනවා වුනත් ඒ හැම දෙයක්ම ලංකාවෙ විශේෂ සම්පත්.

අද තවමත් මම පුද්ගලිකයි කියන තැනක ඉගනගෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාඩිය අරගෙන ලංකාව වෙනුවෙන් විදේශ විනිමය ගේනවා. එත් මහජනයාගේ මුදල් වලින් ඉගනගෙන එයාලට සේවය කරන්න ඕනේ හුඟක් අය පිටරටවල නේවාසිකයො වෙලා ඉන්නවා.

හැමෝම කාලා ඇඳලා ඉන්න ඕනෙ. හැමෝම සැපවත් ජීවිත ගෙවන්න ඕනෙ. එහෙමයි කියල නිදහස් අධ්‍යාපනය ලබන කට්ටිය විතරක් ඉගන ගන්න ඕනෙ නෑ මං හිතන්නෙ. නිදහස් අධ්‍යාපනේ කියන්නෙ නිකං ඉගන ගන්න එකම නෙමෙයි. නිදහස් අධ්‍යාපනේ කියන එකට නිදහසේ අධ්‍යාපනය ලබන්න ඉඩසලසා දීම වගේ ගැඹුරු ප්‍රජාතාන්ත්‍රවාදී අදහසක් ඒ තුල ඇති කියල මට හිතෙනවා.

හැම මනුස්සයෙක් ඇතුලෙම විප්ලව කාරයෙක් ඉන්නවා කියල මමත් පිළිගන්නවා. හැබැයි ඒ විප්ලව කාරය එලියට එන්නෙ තමන්ගෙම පන්තියෙ එවුන්ගේ කෙලවීම උදෙසානම් මට ඒ විප්ලවකාරයා තවත් පොල් පිත්තක් විතරයි. නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරන සහෝදරවරුන්ගේ ලොකුම සහෝදරයත් ගියෙ රුසියාවෙ ලුමුම්බා සරසවියට. සමහරවිට ඒක හන්දා වෙන්න ඇති ඒ අයට පිටරට උපාධි තියන අය යටතේ කිසිම අපහසුවක් නැතුව වැඩකරන්න පුළුවන්.

පුද්ගලික විශ්ව විද්‍යාල වහන්න නොකියා (ඇතැම් ඒවායේ) විශය නිර්දේශ ඊට වඩා සංශෝධනය කරල දියුණු කරන්න කියලා කියන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නෙ නෑ. තමන්ගේ පන්තියෙ කෙනෙක් තමන්ට පහලින් ඉන්න ඕනෙ කියන සමාජවාදයේ ඉන්න ඇතැම් සොයුරන් මේවාට උත්තර බඳියි.

මුළු මහත් ආණ්ඩුව තමන්ගේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන්නේ නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සඳහායි. ඉතින් පුද්ගලික රෝහල් වලට විරුද්ධ නොවන සහෝදරවරු පුද්ගලික විශව විද්‍යාල ගැන දුක්වෙන එක ගැන මට නම් පොඩි දුකක් තියනවා.


මහජනනයාගේ මුදලින් ඉගනගෙන පිටරටට සේවය කරන එක නවත්වපුදාට, අසරන ලෙඩ්ඩු තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ මුළික පියවර නොවුනදාට, තමන් හදාපු රටට තමන්ගෙ ණය ගෙවන්න සේවයක් කරන දාට, පුද්ගලික සායනයන් පැත්තකට දාල තමන්ගේ වාට්ටුවේ ලෙඩ්ඩු බලල යන දාට, රටේ පුද්ගලික රෝහල් නැතිවෙච්ච දාකට අපි පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරමු. එදාට අපිත් එන්නම් ලිප්ටන් වටරවුමෙ බෝඩ් එල්ලගෙන. 

Sunday, October 25, 2015

ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර.....


අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඇති ඇල්පෙනෙත්තේ සිට වාහනයක් දක්වාවූ සියළුම දේත් ඇඳුම් කැඩුම් ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම උපත් පාලන කොපුවේ සිට රත්තරන් භාන්ඩ දක්වා එකී මෙකී නොකී සියළුම දේ පහසු මුදලට සොයාගත හැකි විද්‍යුත් වෙළඳපලක් බැවින් සියළුම දෙනා ඒකෙරෙහි බැඳී සිටී.

තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංකය කිසිවෙකු සතු නොකර පේපැල් සේවාව හරහා වියදම් කිරීමට හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂ පහසුකමකි. ලංකාවේ බොහෝ දෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නොමැති කමින් පසුව ඩෙබිට් කාඩ් ඒ සදහා යොදාගැනීමට හැකිවීම ඊබේ රටේ ප්‍රචලිත වීමට තවත් එක් රුකුලක් විය.

අදවන විට ඊබේ හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වා ව්‍යාපාර කරන පුද්ගලයන් බොහෝවෙයි. බොහෝ අයිතම වල මිළ අඩුවීමත් බොහෝවිට ගෙන ඒමේ ගාස්තු නොමැතිවීමත් (Shipping Charges) වැඩි ලාභයක් ලැබීමට හේතුවක් වෙයි.

අද මා කතා කරන්නේ ඊබේ ගැන නොවේ. ඊ බේ වෙලෙන්දන් නුදුරු අනාගතයේ ලංකාවට භාන්ඩ එවන්නේ නැති වීමට හේතු කතා කරන්නයි.

ඊ බේ වලින් ඕනෑම භාන්ඩයක් මිලදී ගත් පසු එය තැපැල් මගින් ලැබීමට කිසියම් කාලයක් ගතවේ. නමුත් එය දවස් 60කට නොඅඩු විය යුතුය. ඊබේ වලින් හඳුන්වාදී ඇති මිලදීගන්නා ආරක්ෂණය කරන පටිපාටියේදී (Buyer Protection) දවස් 45 ක් ඉකුත්වූ පසු ඒ සඳහා විමසීමක් කළ හැකිය. එය නැවත නැව්ගත කිරීමක් හෝ මුදල් නැවත ලබාගැනීමක් හෝ විය හැකිය.

ඊ බේ වලදී අතීතයේදී (2011ට විතර කලින්) ලංකාවට ඕනෑම දෙයක් නැව්ගත කරනු ලැබීය. ලංකාවේ ඊබේ පරිශීලකයන් ප්‍රමානය වැඩි වෙත්ම හදවතින්ම ශ්‍රී ලාංකික අපේ අය්යලා පිටරට වෙළෙන්දන්ට පොලු තැබීමට පටන්ගත්තේ ඉහත සඳහන් කල ක්‍රමවේදය අව භාවිතා කිරීමෙනි. ඇතැමුන් භාන්ඩය ලැබුනත් නැතත් වෙලෙන්දාගෙන් නැවත මුදල් ලබාගත්හ. (Refund) ඇතැමුන් භාන්ඩය නොලැබුන බව කියා දෙක දෙක ගෙන්වාගත්හ.

මෙය තව දුරටත් ඉවසා සිටිය නොහැකි සෙලර්ස්ලා ලංකාවට නැවුගත කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ භාන්ඩ වල විස්තරවල ඉතාමත් පැහැදිලිව Does Not Ship to Sri Lanka යනුවෙන් අදටත් දක්වා තිබේ.

කාලය මෙසේ ගෙවී යද්දී මීලඟට ඇතිවූයේ ලංකාවේ තැපැල් ප්‍රමාදයයි. වරෙක සිංගප්පූරුවෙන් ඇනවුම් කල භාණ්ඩයකට ශ්‍රී ලංකාවේ තැපෑලෙන් තැපැල් මුද්‍රාව වැදීතිබුනේ ඉන් හරියටම දින දෙකකට පසුවය. නමුත් එය නිවසට ලැබෙන විට මුද්‍රාවෙන් දින 5ක් ගෙවීගොස් තිබුනි. සිංගප්පූරුවේ සිට සැතපුම් දහස්ගනනක් ගෙවා දිනකින් ලංකාවට ආ භාන්ඩය කොළඹ සිට සැතපුම් 12ක් දුරින් ඇති නිවසට ඒමට දින 5ක් ගොස් තිබුනි.

ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ලියුම් ප්‍රමාදව බෙදා දීම හා ලියුම්/භාන්ඩ නැති කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ඊ බේ ලංකාවේ ජනප්‍රිය වීමත් සමගම නිවසට ගෙන එන ලියුම් වල වෙනසක් බොහෝ තැපැල් සේවකයන් අත් දකින්නට ඇත. කුඩා මුද්‍රා තැබූ ලියුම් කවර තුල කුමක් හෝ සුරුකුත්තමක් අඩංගු යයි ඔවුන් තීරණය කරන්නට ඇත. එක ගෙදරකට ඒ වාගේ ලියුම් 5-6ක් යන විට එකක් දෙකක් අඩුවුනාට එච්චර ගානක් නැතැයි ඔවුන් සිතන්නට ඇත.

මේ නිසා නොලැබෙන භාන්ඩ වෙනුවෙන් නැවත මුදල් ලබාගැනීම නිසාත් Seller ratings ලබා නොදීම නිසා අමාරුවේ වැටුනේ භාන්ඩය නැව්ගත කල වෙලෙන්දාමය. බඩුත් නැති කරගෙන අමතරව ලාභය මෙන්ම භාන්ඩ පිරිවැයද ආපසු ගැණුම් කරුට ගෙවන්නට සිදුවීමෙන් පාඩු විඳින්නේ ඔහුය. ඉතින් ඔවුන් නැවතත් ලංකාවට භාණ්ඩ එවන්නේ නැතිය.

තවමත් ලංකාවට නැව්ගත කරන වෙලෙන්දන් දැන් කරන්නේ Tracking Number එකක් ලබාදීමයි. මෙය ඇත්තෙන්ම සාර්ථක ක්‍රමයක් විය. (ඉස්සරත් තරමක් ගනන් භාන්ඩ වලට 20$< Tracking Number තිබූ නමුත් දැන් 1$ භාන්ඩ වලටත් මෙය ලබාගත හැකිය). භාණ්ඩය ඇත්තටම ඇත්තේ කොහිදැයි වෙළෙන්දාට මෙන්ම ගැනුම් කරුටද මෙමගින් බලාගත හැකිය.

මාස කිහිපයකට කලින් මම විසින් ඇනවුම් කල ප්ලාස්ටික් කෝප්පයක් ඉන් දවස් 45ක් ඉක්මගිය පසුත් මා හට නොලැබුනි. ඒ ගැන Tracking Number පරික්ෂාවක් සිදුකල පසු දැනගන්නට ලැබුනේ එම කෝප්පය ඉන් මසකට පෙර ලංකාවට එවා ඇති බවයි.

ලංකාවට පැමිනෙන තෙක් ඉතාම පැහැදිලිව Tracking Number එක යාවත්කාලීන වී තිබූ නමුත් ලංකාවට පැමිනි පසු එහි තවදුරටත් සටහනක් නැත. අපි අදීන ජාතියක් නිසා ඒවා යාවත්කාලීන කලයුතු නැත.

අවසානයේ මම Seller ratings ලබාදී පාඩුව මමම විඳගතිමි. ලංකාවට තවමත් භාන්ඩ එවන සෙලර්ස් ලාට ප්‍රශ්නයක් නොවන්නට Tracking Number එක ඉතාමත්ම වැදගත්වේ.

දැන් ප්‍රශ්නය ඇත්තේ ලංකාවට ගෙන ආ භාන්ඩය කෝ යන ප්‍රශ්නයයි. ඇතැම්විට අස්ථාන ගතවන්නට ඇත. නැත්තම් මේක බහිරවයාගේ වැඩකි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් නිසා දැන් නැවතත් ඊ බේ අර්බුධයක් හටගැනීමට පටන්ගෙන තිබේ.
කුමක් හෝ හේතුවක් නිසා ඊ බේ වෙලෙන්දන්ගෙන් ලාංකික ගැනුම්කරුවන් කොන්වේ. තවත් ටික කාලයක් මෙය මෙලෙසම සිදුවුවහොත් ඊ බේ ඉබේ නතරවනු ඇත.

Sunday, September 27, 2015

සී වී එක යනු හොර ගුහාවකි


අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවකි. ඒ මහප්‍රාන භාෂාවෙන් ජීව දත්ත පත්‍රය යනුවෙන් හඳුන්වන ලතින් භාෂාවෙන් Curriculum vitae නමින් හඳුවන්වන එහෙමත් නැත්තම් Resume වගේ නමකිනුත් හඳුන්වන තේරෙන සිංහලෙන් කියනවානම් සී වී (ලතින් වලින් කියන එක සිංහලෙන් කෙටිකලහම) යනුවෙන් හඳුන්වන මෙව්වා එක ගැනයි අද කතාව.

හුඟක් වෙලාවට සී වී එකක් හදන්නේ රස්සාවක් හොයාගැනීම උදෙසායි. ඉතින් රස්සාවල් හොයන්නේ ඒ ලෙවල් ඉවරකරපු ලමයි හරි රැකියා විරහිත උපාධි ධාරීන් තමයි. කොහොම වුනත් සීවී එක ලෙසටම හදන්න හැමෝම පොරකනවාය. (මමත් එහෙමය) ඒක එහෙම කියලා සී වී එකේ විශ්වාසනීයත්වය නැති කරන්න ඕනෙ නැතිය.

සී වී එකක් තැනීමෙන් තමන්ගේ රෙපියුටේෂන් එක පෙන්වීම බොහෝ විට සිදුවේ. උසස් පෙලින් පසු සීවී එකකට පිරවීමට ඇත්තේ පාසල් කාලයේ කල කී දෑය. මේ සඳහා හොඳ සීවී එකක් හොයන්නට ඉන්ටර්නෙට් එකේ සීවී කියලා සෙවුම් කලවිට ඇති තරම් ටෙම්ප්ලේට් හමුවේ. ඉතින් ටෙම්ප්ලේට් එකට අදාල දේවල් පිරවීම මහලොකු කජ්ජක් නොවේය.

 ඉතින් සාමාන්‍ය පෙළ ප්‍රතිපල දෙක වසර පන්තියේ පන්ති නායක බෞද්ධ සමිතියේ උපලේකම් ආදියෙන් පිටු 4ක් හෝ 5ක් සී වී එක පිරවිය හැකිය. එවන් දරුවෙකුගේ සම්මුඛ පරික්ෂනයකදී ඔහුට එවැනි දෑ පැවසිය හැක. නමුත් පාලනාධිකාරිය ගොස් දෙක වසර පන්ති භාර ගුරුතුමිය මුණ ගැසී ඔහු හෝ ඇය පන්ති නායකයා වී සිටියාදැයි අහන්නේ නැත. පාසලක ඇති සමිති සමාගම් ගැන ඉතාම හොඳ අවබෝධයක් පිරිස් පාලන කළමනාකරුවෙකුට තිබිය යුතුය. ඉතින් ඒ නිසා ඒ දරුවාට තමන් විදුහලේ ඕනෑම සමිතියක ඕනෑම තනතුරක් දැරුවා යයි කිව හැකිය.

වඩාත් වැදගත් වන්නේ තමන් සතුව ඇති කුසලතා සහතිකය. නමුත් අද කාලයේ කොමියනිකේෂන් එකකට ගියහම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ හිටියාය, තූර්ය වාදන කණ්ඩායමේ හිටියාය ආදී වශයෙන් සහතික සාදාගත හැක. ඉතින් ඒවාටද ඇති පදම් බොරු දැමිය හැකිය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ කතාවද මෙයම වුනත් ඇතැම් තැන් මදක් වෙනස්වේ. ඕව්හු සීවී සාදන්නේ Assignment කරන විදිහටය. එක්කෙනෙක් කොහෙන් හරි අටවා සාදාගත් සීවී එක අනිත් අය කොපි කරයි. ඉතින් සීවී එකේ කන්ටෙන්ට් එකේ වෙනසක් නැත. හැමෝම එකම ප්‍රොජෙක්ට් එකක් කර ඇත. හැමෝම එහි ලීඩර්ය. ඇතැම්විට ක්‍රිකට් කණ්ඩායමේ සිටිය යුත්තේ 11 දෙනෙක් වුවත් 35ක් පමණ එකම තරඟයට සෙල්ලම් කර ඇත.

ඇතැමුන්ගේ සීවී වල නම පමණක් වෙනස් වේ. (එහෙම ඒවා හම්බ වෙච්ච හන්දා ලියන්නේ). බැච් ටොප්ලා බර ගනනකි.

රැකියා විරහිත උපාධිධාරියෙක් සම්මුඛ පරීක්ෂණයේදි බොහෝ පරිස්සම් විය යුතුය. ඒ වෙනඑකක් නිසා නොව එම පරීක්ෂක මණ්ඩලයේ බොහෝ දෙනෙක්ට විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල සමග සමීප සම්බන්ධතා ඇති නිසාය. ඒක නිසා සම්මුඛ පරීක්ෂනයේදී බොරු හැකිපමණ අඩුවෙන් කියන්න.

බොහෝ සී වී වල නෑදෑයින් නොවන අයගේ නම් දෙකක් Non Related Referees  ඉල්ලනු ලබයි. නෑදෑයන්ට තමන්ගේ නෑදෑයින් වෙනුවෙන් බොරු රෙකමදාරු කල හැකිය. එම නිසා ඉල්ලන්නේ නෑදෑ නොවන තමන් ගැන දන්න අයයි. ඇතැම් අය පාසලේ විදුහල්පති තුමාගේ නම හෝ විශ්ව විද්‍යාලයේ උපකුලපති තුමාගේ නම දමයි. අපේක්ෂකයා ඔවුන් දන්නා නමුත් ඔවුන්ට ඔබ  වැනි බොහෝ දෙනෙක් සිටින නිසා අමාරුවේ වැටෙන්නේ ඔබ ගැන ඔවුන්ගෙන් විමසන පුද්ගලයාය.

බොහෝ නොනෑයෝතමන්ගේ හැටි හොඳින් දන්නා නිසාත් ඔවුන්ගෙන් රෙකමදාරු ලබාගතහොත් තවත් වසර ගනනකට රැකියා සිහිනය බොඳවන නිසාත් ඇතැම් අපේක්ෂකයෝ තමන්ගේ අක්කා බැඳපු අයියාගේ නම හෝ අයියා බැඳපු අක්කගේ නම රෙෆ්රීස්ලාට දමති. ඔවුන් සිතා සිටින්නේ Non Related Referees යනු ලේ නෑයෝ නොවන ඕනෑම කෙනෙක් කියාය.

රැකියා කරන ඇත්තෝ මීටත් වඩා බොරු සී වී වල දමති. ඇතැමුන්ගේ රැකියා අත්දැකීම් අවුරුදු ගනන මැන බැළු විට ඔවුන් සාමාන්‍ය පෙල අවධියේ සිට එම ආයතනයේ රැකියා කර ඇත. තවත් සමහරු දැනට කිසිවෙකු නොදන්නා ආයතනයක නම් දමති. සම්මුඛ පරීක්ෂනයේදී එම ආයතනය වසා දමා ඇති බව කියති.

වරෙක අයදුම් පත් තේරීමේදී එකම ආයතනයක ලොක්කා හා පොඩ්ඩෙකු තනතුරු දෙකකට තමන්ගේ සී වී දමා තිබුනේය.  දෙදෙනාම සුදුසු නිසා ඔවුන් දෙදෙනාම සී වී වලින් සුදුසු නිසා දින දෙකකදී  කැඳවූයෙමු. ලොක්කාගෙන් දැන් තැනින් ඉවත් වීමට හේතුව ඇහැව්වම ලොක්කා කිව්වේ එතැන සිටින පොඩ්ඩාගේ ක්‍රියා කලාපය තමන්ගේ තීරණයට හේතුව බවයි. පොඩ්ඩා කීවේ ලොක්කා පණ්ඩිත බවත් පොර සමග වැඩකල නොහැකි බවත්ය.

නමුත් සී වී දෙකේම ඔවුන් ටීම් ප්ලේයර්ස් ලාය. ඕනෑම දුෂ්කර කටයුත්තකදී එකට වැඩකරන අයය. ඊටත් වඩා ඉතාම හොඳ ආකල්ප ඇත්තෝය.

සී වී වල ඇති සුදුසුකම් ඇත්තෙන්ම ඔවුන්ට නැත. ඔවුන් බොරුකාරයෝය. නමුත් වැඩකාරයන් මෙන් පෙනී සිටිති.

සී වී එකෙන් දක්ෂයන් මැනිය නොහැක. නමුත් හොඳටම ඩිසයන් කරන්නා කොපි කරන්නා ආදීහු ද සොයාගත නොහැක.

සී වී වල ඇති බොහෝ දේවල් බොරුය. මගේ ඇතැම් නිගමනයන්ට අනුව සී වී වලින් නිවැරදිව ලබාගත හැක්කේ අයදුම් කරුගේ නමත් දුරකතන අංකයත් පමණි. ඇතැම් දුෂ්කර පලාත්වල අයදුම්කරුවන් තමන්ගේ ලිපිනයට පවා දෙන්නේ රැකියා ස්ථානයට කිට්ටු මිතුරෙකු හෝ ඥාතියෙකුගේ ලිපිනයකි..


ඉතින් මට නම් සී වී එක යනු තවත් එක හොර ලියවිල්ලක් පමණි. වැල යන අතට මැස්ස ගැසිය යුතු නිසා මමත් සී වී හදමි. 

Sunday, August 30, 2015

වැද්දන්ගෙන් ප්‍රවේසම් වෙනු


ලංකාවේ ආදි වාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මදක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදි වාසීන් සිටින්නේ ලංකාවේ පමණක් නොවේ. කොලොම්බස් අයියා ඇමරිකාව හොයා ගන්නා විට එහි රතු ඉන්දියානුවෝ සිටියහ. කොලොම්බස් මිනිසුන් ජීවත්වන රටක් හොයාගෙන උදම් අනා ලෝකයට දෙඩවීමෙන් පසුව මෙච්චරකල් එහි සිටි මිනිස්සු ආදි වාසීන් වූහ. කොලොම්බස් ලා නවීන ජනයා වූහ. නමුත් සියැටල් වැනි ගහකොල සතා සීපාවාට ආදරය කරන මිනිස්සු එක්ක බලද්දී කොලොම්බස් නොදියුණු ම්ලේච්ච ගෝත්‍රික වාදියෙකි.

පසුකාලීනව සියැටල්ලා සහ ඔහුගේ ජනයා ඇමරිකන් ඉංග්‍රීසි කතා කලහ. ඔවුන් ආදි වාසීන් වුවත් නවීනත්වයට හැඩගැසුනහ.

ඕස්ට්‍රේලියාවේද ඇබොරිජියන් වරු සිටී. ඔවුන්ද සාමාන්‍ය ඉංග්‍රීසි බස කතා කරයි. චාලීස් කන්ට්‍රි යනු ඇබොරිජියන් වරුන් ගැන ඇති සිනමා සිත්තමකි. මෙහි සිටින චාලිද හොඳින් ඉංග්‍රීසි වලට හුරුවී ඇත.
ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන් ලා මෙන් ඕස්ට්‍රේලියාවේ ඇබොරිජියන්ස් ලා මෙන් ඉතින් ලංකාවේ සිටින ආදිවාසීන් වැද්දාහ් යන නමින් ඉංග්‍රීසියෙන් අමතති. ඉංග්‍රීසියෙන් මොන මගුල වුනත් අපි ඔවුන් වැද්දෝ  යන ආදර නාමයෙන් අමතමු.

මේ වැද්දන්ගේ අවුල ඔවුන්ගේ භාෂාව අපිට ටිකක් දිරවාගත නොහැකිවීමයි. වසර 25කට පමන ප්‍රථම සුනිල් පෙරේරා ගැයූ ඔජායේ ගීතයෙන් වැදි බස්වහර ගැන යම් අවබෝධයක් නාගරිකයන් තුල විය. ඉන්පසු රැල්ලට තැනුනු වැදි ජනයා රඟන නාට්‍යය හා ගීත වලින් වැදි ජනයාට හානියක් වූවා මිස ඔවුන්ගේ භාෂාව අප අතර ප්‍රචලිත වීමක් සිදුවුනේ නැත.

කැකුලී, පොජ්ජ, මන්ද කරනවා, කොටා බානවා, ඇන්න යනවා, හදි කරනවා වැනි වචන පමණක් භාවිතා කර අපි වැද්දන් සමග කතා කරන්නට පටන් ගත් නමුත් ඒවා වැද්දන්ටත් ඔවුන් කියන දේ අපිටත් තේරුම් කරගැනීමට නොහැකිවිය.

මා මේ කියන්නේ අනිත් රටවල “වැද්දන්ට“ මෙන් අපේ වැද්දෝ සිංහල ඉගනගතයුතුය කියන එක නොවේය. නමුත් සිංහල මිනිසුන් එක්ක කතා කර අදහස් දැනගැනීමට මොඩර්න් වැද්දෝ සිංහල ඉගන ගෙන සිටිති. එහෙම බැරි වැද්දන් සමග කතා කරන්නට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් සිටිය යුතුය.

මේ විහිළු කතාව මට මතක හැටියට තිබ්බේ මහින්ද අබේසුන්දර මහතාගේ මහින්දගේ ආගිය කතා තීරු ලිපියකය. දඹානේ ඉස්කෝලෙකට අළුතෙන් පත්වී ආ ගුරුවරයෙක් පත්වීමට බාරගැනීමට පැමිණි දින රෑ විය. අන්තිම බසයෙන් බැස්ස පසු යන්න එළියක් නැති හන්දා ළග ඇති පැලකට ගිහින් කතා කලහම වැද්දෙක් මතු වුනාලු. ඉතින් මේ ගුරුවරයා දන්න කියන වැදි බාසාවෙන් කියල එලියක් ඉල්ලුවලු. ටිකක් වෙලා ගියාට පස්සෙ වැද්දට තේරුනාලු මේ ගුරුතුමා කිවුව එක. වැද්දා තමන්ගෙ දුවට කතා කලාලු.

“චූටි දූ මේ සර්ට යන්න ටෝච් එකක් ගෙනත් දෙන්න“

අපි පොෂ් වෙන්න වෙන්න වැද්දන් ඔවුන්ව මාකට් කරගැනීම ආරම්භ කලෝය. අපි කොළඹින් ගොස් දඹාන බලන විට ඔවුහු දුන්නෙන් ඊතලයක් මුදාහැරීමට මුදලක් අයකලෝය. පොටෝ ගැනීමට මුදල් අයකලෝය. දැන්නම් සෙල්පි වලට කොහොමද දන්නේ නැත.

මීට වසර කිහිපයකකට කලින් එක්තරා පලාතක (මෙව්වා හරියටම කියන්න බැරි හේතු තිබේ) තිබූ මියුසික් ෆෙස්ටිවල් එකකට වැදි ජනයා නියෝජනය කරමින් පිරිසක් සහභාගීවූහ. ඕවුහු ඒ සදහා අංගයක් ඉදිරිපත් කලෝය. ඊට අමතරව ඔවුන්ගෙන් අංගයක් අවශ්‍ය වූ නිසා සංවිධායක කෙනෙක් වූ මගේ මිත්‍රයෙක් භාෂා පරිවර්තකයෙකුගේ සහයෝගය ඇතුව ඔවුන්ගේ නායකයාට කතා කොට කිරිකොරහ නටන්නට පුළුවන් දැයි ඇසීය. ඔවුන් ඒ සදහා 6500/- (ඒ කාලයේ හැටියට) ඉල්ලූහ. විශාල මුදලක් බැවින් හෙට්ටු කිරීම් කේවල් කිරීම් බොහොමයක් සිදුවිය.

අවසානයේ මගේ මිත්‍රයා එය 3500/- කට කල හැකිදැයි විමසීය.

මෙතෙක් වෙලා භාෂා පරිවර්තකයෙක් සමග වැඩකල ආදි වාසියාට මළ පැන පැහැදිලි සිංහලෙන් මගේ මිත්‍රයාට බැන තිබේ

“ මේ මහත්තයා ඩීල් නම් ඩීල්. මේවා මෙහෙම කරන්න බෑ 5000 අඩුව මේ වැඩේ කෙරෙන්න නෑ“

ඒ ඔහුගේ අවසන් තීරණයයි. ඔය ටික කලින් කිව්වා නම්  ට්‍රාන්ස්ලේටර්ට ගෙවන ගාන නොගෙවා ඉන්න තිබ්බා.


ඔබත් මීලග වැදි හමුවේදී ප්‍රෙව්සම් වන්න :D

Thursday, July 16, 2015

බී එම් ඩබ්ලිව් “ළඳ“


මේ දවස්වල ඉඳලා හිටලා වහින හන්දා රස්නේ නැත. චාටර් ඡන්දයක් නිසා දේශපාලන කරලිය රත්වී ඇත. ඒ හැමටම වඩා දැන් රටේ ජනතාවට කතා කිරීමට මාතෘකාවක් ඇත. ඒ අර පොලිසියට සිංහයෙක් වගේ සද්දෙ දා අන්තිමේදී මී පැටියෙක් වගේ පොලිස් ජීප් එකේ ගිය බී එම් ඩබ්ලිව් “ළඳ“යි. ලංකාවේ කාලෙන් කාලෙට රැලි බිහිවේ. එහෙම රැල්ලක් හැදෙන්නේ නැත්තම් අර අජිත් මුතුකුමාරණගේ සින්දු වගේ බලෙන් හදන්න උත්සාහකරයි.

වාරියපොල (නංගී/අක්කා/කෑල්ල/වීර කාන්තාව/බ්ලා බ්ලා බ්ලා)ට පසුව ආ රත්නපුරේ බට්ටි (කෑල්ල/ අහින්සකාවිය/ බඩුව/ එක්සෙට්‍රා) මෙන්ම මේ දවස්වල හිට් වී ඇත්තේ බී එම් ඩබ්ලිව් (ඇන්ටි/ ළඳයි). සියල්ලෝම ගැහැණුය.  නමුත් වාරියපොළ/ රත්නපුර සිද්ධි දෙකේම සිටියේත් ගැහැණු නමුත් මාළබේ සිද්ධියේදී ආමන්ත්‍රනයේ වෙනසක් සිදුවී ඇත. ඒ වෙනසට හේතුව බී එම් ඩබ්ලිව් රථය විය හැකිය. අහින්සක (ද දන්නෙ නැති) කොල්ලෙක්ට එලව එලවා පහර දුන් වාරියපොල ගෑණු ලමයාට හා පොළිසියේ රාලහාමි මහත්තයෙක්ගෙන් අම්බානක ගුටිකෑ බට්ටිට වඩා චාටර් (කොල්ලන්ගේ බාසාව) විදිහට පොළිසියට කතා කල මේ ළඳ ගැන විශේෂ කැක්කුමක් ඇයි යන්න ප්‍රශ්නය තවමත් මට ඇත.

මේ අපි ජීවත්වන සිරි ලංකාවයි.

පොලිසිය නිවැරදි නොවිය හැක. බොහෝ විට කාන්තාව වැරදි විය හැකිය. දැනට ඇති කටකතා අනුව එය එසේ වාගේය.ළමයාට අසනීප නම් කළයුතුව තිබූ හොඳම දෙය විනාඩි 10ක් පොලිසිය සමග බැන ගැනීම නොව දඩකොලේ රැගෙන ගොස් ළමයාට බේත් අරන් දීමයි. දෙමව්පියන්ට තමන්ගේ ළමයින්ට වඩා තමන්ගේ ලොකුකම් ලොකුවිය නොහැක.

හැමෝටම ඇති ප්‍රශ්නය ඒ නෝනා වැරැද්දකට දඩකොළයක් ලියූ පොලිසියට එහෙම බණිනවානම් ගෙදර මහත්තයාට කොහොම බනිනවා ඇත්ද යන්නයි. ඒ බැණුමෙන් බේරෙන්න (ඇතැම්විට නීති උපදෙස් පිට) මහත්තයා පොලිසියට ගොස් නෝනාට මානසික ආබාධයක් ඇතැයි කීමෙන් තවත් ප්‍රශ්නය දුරදිග හැටි හැමෝම දක්න්න ඇති. මානසික ආබාධ ඇති අයට වාහන එලවන්න හොඳ නැත්තම් බොහෝ පුද්ගලික බස් රථ රියදුරන්ට තම බලපත්‍රය අහිමි වනු ඇත.

දැන් නැවතත් මාතෘකාවට එමු.

පොලිසියේ නිළධාරීන්ට අනුව ඔවුන්ට වඩා කවුරුත් නීතිය දන්නේ නැත. (ඇතැම්විට එය ඇත්තකි) නමුත් බොහෝ නිළධාරීන් හේතුවක් නැතුව නවත්තන්නේ නැත. හැම රාළහාමිම ජරාව කන්නේද නැත. මේ කියන හැම තැනකදීම පොලිසියේ වැරැද්දක් නැති තැනක්ද නැත.

අපේ අය හුඟක් වෙලාවට කියනනේ පොළිසිය සද්ද දාන්නේ බයිසිකල්වල සහ ත්‍රීවිල් අයට පමනක් කියාය. එහෙත් නිතියේ මකුළු දැලෙන් පලායන කුරුමිණියෝ වගේ අනිත් බී එම් ඩබ්ලිව් ගියද මේ තරුණ ලැජ්ජාශිලී රාලහාමිලා දෙන්නා මේ රථය නවතා ඇත. ඇතැම්විට බී එම් ඩබ්ලිව් කියා දැනගත්තේ නැවැත්තුවට පස්සේ විය හැකිය. (ඒත් උන් දෙදෙනා එය නැවැත්වීමද අතිමහත් වීරක්‍රීයාවකි.) අවසානයේ වැරැද්දක් තිබූ නිසා දඩ කොළයක් ද ලිව්වෝය. බී එම් ඩබ්ලිව් එකකින් ආ ළඳකට දඩකොළයක් ලිව්වත් එය මාර වීර ක්‍රියාවකි.

කරන වැරැද්ද වාහනය මත යැපෙන්නේ නැති නමුත් ලංකාවේ එසේ නොවන්නේ කලාතුරකිනි.

මීට අවුරුදු පහකට හයකට විතර කලින් බොරලැස්ගමුව හන්දියේ රෑ 8ට විතර වෙච්ච සිද්ධියක් මට අද වගේ මතකය.

එදාද මෙදා මෙන් වැරදියට පාරේ ඉස්සර කළ බී එම් ඩබ්ලිව් රථයක් හන්දියේදී රාළහාමි නැවැත්තුවේය. වෙනසකට තිබ්බේ එදා කාර් එකේ හිටියේ කලිසමක් ඇඳගත් මහත්මයෙකි. රාළහාමි අවුරුදු 30ක විතර කොල්ලෙකි. වෙන්නේ කුමක්දැයි බැලීමට අපිද නතර වුනෙමු. රාළහාමි ඔහුට කතා කොට ඔහුගෙන් ලයිසන් එක ඉල්ලා දඩ කොළයක් ලිව්වේය. අද මේ “ළඳ“ මෙන්ම අර මහත්තයාද වාහනයෙන් බැස රාළහාමිට පාට් දමන්නට පටන් ගත්තේය. සත පහකටවත් ගනන් නොගත් රාළහාමි දිගටම දඩ කොළය ලිව්වේය. මහත්තයා දිගටම බැන්නේය.

“තමුසෙ මතක තියාගන්නවා මට පුළුවන් හෙට තමුසෙව කිලිනොච්චියට මාරුකරන්න. මම ඒක කරනවා“ කියමින් වහසි බස් දෙඩුවේය.

දඩ කොළය ලියූ රාළහාමි මහත්තයාට දඩ කොළය අතට දී සිනාසී

“මහත්තයා මාව කිලිනොච්චි මාරු කලත් මාරු කරන්නෙ පොලිසියකටනෙ. තැපැල් කන්තෝරුවකට නෙමෙයිනෙ. මම බැඳල නෑ. මට හෙට ඕනෙම පොලිසියකට රිපෝට් කරන්න පුළුවන්. කරුණාකරල දඩකොලේ ගෙවලා හෙට පොලිසියට ඇවිත් ලයිසන් එක අරන් යන්න. බැරි නම් උසාවි දවසට එන්න“

කියලා කීවේය. අවසනදී මහත්තයා වටේ සිටි කොල්ලන්ගේ හූ සංග්‍රහයකට මැදිව රෙදි නැතුව එතනින් වාෂ්ප විය. අපිට ඕනෑ එහෙව් පොලිසියක්ය.

මේ රාළහාමිලා දෙදෙනාද කිසිම අවුලක් නැතුව තමන්ට බුරා පනින “ළඳ“ට හොඳින් කතා කලේය. කුණු හරපෙන් බැන්නේ නැත.

දැන් පොලිසිය බොහෝවිට වැරැද්දක් නැතුව දඩකොළ ලියන්නේ නැත. මානව හිමිකම් හා නීතිය ගැන සාමාන්‍ය ජනයා දැනුවත් බැවින් පොලිසිය තමන්ගේ ආරක්ෂාව ඔවුන් තමන් විසින්ම සලසා ගනු ලබයි.
අනික සමාජ ජාල හරහා හැමදේම ප්‍රචාරය වේ. ඉහත හැම සිද්ධියක්ම ප්‍රචලිත වූයේ සමාජ ජාල හරහාය. දඩ සෙල්ෆිය ලෝක ප්‍රසිද්ධවුයේ ද ඒ නිසාය.

ඇතැම් නිළධාරීන් දඩ කොළ ලියන්නේ නැතිව අවවාද කොට පිටත් කරන අවස්ථා එමට ඇත. මේ ළගදී මටත් එහෙම සිද්ධියක් සිද්ධවුනි.

පාරේ බස් රථයක් නවත්තා තිබූ නමුත් යාමට ඉඩක් නොමැති තැන මම කිහිපවරක් හෝන් ගසා බස්රථයට ඉස්සර කලෙමි. මා කැපුවේ තනි ඉර බව මම දැක්කේ නැතත් ඉස්සරහ සිටි පොලිසියේ ඇත්තෝ එය දුටුවහ. මා පසුපස රථයේ සිටි මල්ලීද මා අනුගමනය කල අතර දෙදෙනාම රාළහාමිලා දෙන්නා නතර කලහ.
එක රාළහාමි කෙනෙක් මගෙන් “මොකද මහත්තයෝ වුනේ“ කියලා ඇහුවහම මම “දැක්කෙ නෑ රාලහාමි“ කීවා මතකය.

“මොනවද දැක්කෙ නැත්තෙ“ කියල ඇහුවහම “රාලහාමිව“ කියල උත්තරත් මම දුන්නෙමි.

“ඔව් ඉතින් මාව දැක්කනම් එහෙම දාන්නෙ නෑනෙ“ කියා සිනාසී මල්ලි දෙසට හැරී “මොකද කලේ“ කියා ඇසුවේය.

“අයියා දැම්මා ඉතින් මාත් දැම්ම“ කියල ඌත් කටට ආපු දේ පොලිසියට පතබෑවේය.

අවසානයේ රාලහාමි සිනාසී මල්ලීට අවවාද කොට අපිට යන්නට දුන්හ. මල්ලිට දුන් අවවාදය වූයේ “අයියා යන පාරෙම යන්න එපා. සමහර වෙලාවට අමාරුවෙ වැටෙන්න පුළුවන්“

මාගේ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහතෙකුටද එලෙසම අවවාදයක් දී තිබුනේ තරමක් වයසක රාළහාමි කෙනෙකි. දවසක් හදිසියේ ද්විත්ව ඉරි කපා වාහනය හැරවීමේ වරදට ඔහුව නැවැත්තු රාලහාමි දඩකොලේ ලියන්නට පෙර ගුරුතුමාගෙන් වැඩ කරන්නේ කොහෙද කියලා අසා ඇත. ** විශ්ව විද්‍යාලයේ කියල කිව්වට පස්සෙ රාලහාමි කියා ඇත්තේ එක දෙයක් පමණි.

“මහත්තයෝ ඔයා වගේ හොඳ නරක කියල දෙන අයත් මෙහෙම වැරදි කරනකොට අපි කොහොමද නීතිය කරන්නෙ“

ගුරුතුමා කිව්වේ ඒ වැරැද්ද ආයි කවදාවත් වෙන එකක් නැති බවයි.

අපි වාහනේට නැග්ගහම සීට් බෙල්ට් දමන්නේ අපේ ආරක්ෂාවට නොව පොලිසියෙන් බේරීමටය. හෙල්මට් දමන්නේ පොලිසියට බයේ මිසක් ඔළුව බේරාගැනීමට නොවේ.

පොලිසිය නොහිටියා නම් අපි අර හින්දි හරි දෙමළ චිත්‍රපටිවල වගේ හෙල්මට් නැතුව කෙල්ලත් දාගෙන බයිසිකල් වල යා හැකිය. පොලිසිය නැත්තම් මෙහේ සුරපුරකි.

ඡායාරූපය Hiru News

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...