Friday, December 05, 2014

ගූගල් සර්වර් එක ඩවුන්වෙන වෙලාව

පොඩි කතාවක් මතක් වෙච්ච හන්දා ලියන්න ගත්තෙ. ඉස්සර අපේ ඔෆිස් එකේ හිටියා ටිකක් මහත සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් වුනාට ඉතින් වැඩිපුර හදන්න තියෙන්නෙ නෙට්වර්ක් ෆේලියර්ස් තමයි. මෙයා මහත හන්දා කට්ටිය ආදරේට කිව්වෙ බඩා කියල. නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් වුනාට මෙයා සබ්නෙට් මාස්ක් ගැන දැනගත්තෙ පස්සෙ. ඒක හන්දා එයාට සබ්නෙට් බඩා කියලත් කිව්වා.

ඉතින් බඩා හුඟක් වෙලාවට නෙට්වර්ක් ෆේල් වෙන තැන් හදනවා. ඉතින් සමහර ඒවා ෆේල් වෙන්නෙ කොහොමද කියල ටෙස්ට් කරන්න ගිහිනුත් නෙට්වර්ක් එකට කෙලවෙනවා. නෙට්වර්ක් වලට කෙලවුනාට කමක් නෑ. ඉන්ටර්නෙට් නැතිවෙන එකනෙ අවුල.

ඉතින් නෙට්වර්ක් ගිය ගමන් කට්ටිය පේලියට බඩාට කෝල් කරනවා. දෙවනි තට්ටුවෙ ඉඳන් පස්වෙනි තට්ටුවට සෝපානයෙ වුනත් ඒ චූටි සරීරය හොල්ල හොල්ල එන්න වෙලායන හන්දා මූ කියනවා

“මොනවා නෙට්වර්ක් නෑ. ඉන්න මං එනකං. ටක් ගාල ගූගල් ගිහින් බලන්න“ කියලා.
ඉතින් කට්ටිය දාගෙන ගූගල් යනවා. පේජ් එක ලෝඩ් වෙන්නෙ නෑ.
ආයි කොල් කරල කියනකොට කියනවා

“ෂුවර් එකටම ගූගල් සර්වර් එක ෆේල් වෙන්න ඇති. අපි බලමු“ කියලා.

ටිකකින් මූ ඇවිත් ස්විච් එක රීස්ටාර්ට් කරල දැන් බලන්න කියනවා.
“දැන් බලන්න“ කියලා.
අපි බලනකොට දැන් වැඩ.
“ඒක තමයි මම කිව්වෙ. ගූගල් ඩවුන් කියලා. දැන් තමයි හරිගියෙ“ කියලා බඩා පණ එපෝ කියල දුවනවා.
අපි පස්සෙන් එලවල ගිහින් අහනවා ගූගල් සර්වර් එකේ ස්විච් එක තියෙන්නෙ අපේ තට්ටුවෙද කියල.

අපිට එහෙමත් කාලයක් තිබ්බා. J

Tuesday, October 07, 2014

පහුගිය දවස් වල සිදුවීම්

කාටවත් වැඩක් නැති, මෙලෝ රහක් නැති පහුගිය ටිකේ සිද්දවෙච්ච සිදුවීම් ටිකක් ලියන්න හිතුනා.

ඉස්සර මගේ හොඳම යාළුවෙක් හිටියා වරකාපොල පැත්තෙ. ඔන්න කාලෙකින් කතා කරල දවසක එයාගෙ මගුල් ගෙදර ගැන කිව්වා. නිවාඩු දවසක් හන්දා මමත් එන්නම් කිව්වා. ඉතින් කොහොම හරි මමත් කොළඹ ඉඳන් වරකාපොල ගියා. අමාරුවෙන් හෝල් එක හොයාගෙන ට්‍රැෆික් වල ඉඳලා මගුල් ගෙදර යනකොට පොඩ්ඩක් රෑ වෙලා. යාළුවා කන්න ගිහින්. මමත් වට පිට බැලුවා අඳුරන එකෙක් ඉන්නවද කියල. පේන්න නෑ. පස්සෙ පොඩ්ඩක් පිටිපස්සට ගිහින් බැලුවා. ඒත් නෑ. ඒ වෙලාවෙ යාළුවගෙ නැන්ද කියල කෙනෙක් ඇවිත් මම කවුද කියල ඇහැව්වා. මනමාලයගෙ යාළුවෙක් කිව්වහම මනමාලයගෙ යාළුවො ඉන්නෙ මෙතන කියල තැනකින් වාඩි කලා. අයියෝ මම එකෙක්  වත් දන්නෙ නෑ. මුළු මගුල් ගෙදරම පීරල බැලුවහම මම අදුරන්නෙ මනමාලය විතරයි. පස්සෙ මනමාලයගෙ යාළුවො ටික මගෙ යාළුවො ටිකක් වුනා. මම පස්සෙ යාළුවට කතා කරල ආවා. මගුල් ගෙදරක අඳුරන්නෙ මනමාලය විතරක් වුනහම යන්නෙත් තනියම නම් ආයෙත් ටිකක් හිතන්න වෙනවා.

ලඟදි දවසක කාර්යාලෙ ඉඳන් රෑවෙලා වැඩ ඇරිල යනගමන් මගට යන්න මෙහෙම වැඩකරන දෙමළ යාළුවෙකුත් දාගෙන ගියා. යාළුවට සිංහල පුළුවන් වුනාට අපිට වගේ බෑ. සාමාන්‍යය බස්වහරට ටිකක් වෙනස්  වචනයක් කිව්වොත් අමාරුවෙ වැටෙනවා.

ඉතින් යන ගමන් ඇහැව්වා මගෙන් “අයියා ඔයා බදුල්ල පැත්තෙ යන්න අදහසක් නැද්ද කියල“
මම ඇඟට නොදැනි  කිව්වා “යන්න ඕනෙ ෆිල්ම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා“ කියල.
එතකොට මෙයා කියනවා “අනේ අයියා මාව නලුවෙකුට ගන්නකෝ!!“
මම ආයි නිකන්ම කිව්වා “ඒ ෆිල්ම් එකේ ගං කබරයො නෑ බං“ කියල.
එතකොට මෙයා අහනවා “අයියා ගං කබරයා කියන්නෙ සුපිරි නළුවෙක්ද?“ කියල

දැන් අන්තිම කතාව

කාර්යාලෙන් එලියට යන්න කියල හිතාගෙන පහලට බැහැල යනකොට යාලුවෙක් කතා කරල කොහෙද තිබ්බ සේල්ස් ප්‍රෙමෝෂන් එකක් ගැන කිව්වා. ඔෆිස් එකෙන් එලියට යන්න ගේට්ටුව ඇරගෙන යන්න ඕනෙ. ඒ ගේට්ටුව විවෘත කරන්න වෙනම ගෑණු කෙනෙක් ඉන්නවා. ඉතින් පේන්න හිටියෙ නැත්තම් අපිම යතුර අරගෙන ගේට්ටුව ඇරගෙන යනවා. ඉතින් මේ කෝල් එක ආවෙත් මේ අතරමග. ගෑනු කෙනා පේන්න හිටියෙ නැති හන්දා මම යතුර ගත්තා. ඒ එක්කම මේ ගෑණු මනුස්සය කඩාගෙන බිඳගෙන ආවා. මම කෝල් එකේ. ඒක මේ මනුස්සයා දැක්කෙ නෑ. දැන් වෙච්ච සිද්දිය මෙහෙමයි.

“ඇයි මහත්තයා ගේට්ටුව ඇරගෙන යන්න හදන්නෙ. වෙනදට හැමදාම කරන්නෙ මමනෙ“
මම - කෝල් එකට උත්තර දෙමින්
“ඔව්! කවද ඉදන්ද?“
ගෑනු කෙනා
“කවද ඉදන්ද කියන්නෙ. දැන් මාස එකහමාරක් වෙනවා වැඩට ඇවිල්ලා“
මම - කෝල් එකට උත්තර දෙමින්
“හරි දැන් කවද වෙනකන් ඕක තියනවද?“
ගෑනු කෙනා

“මම රස්සාව කරනකං ඉතින් මම තමයි ඕක කරන්නෙ. ලොකු මහත්තය එපා කියනකං ඉතිං මේක කරන්න එපායැ“

Sunday, August 24, 2014

වර්තමාන ලෝකයේ නොබිඳෙන ව්‍යාපාර

අවුරුද්දකට විතර පස්සෙ වෙනස්ම මාතෘකාවක් කතා කරන්නයි සූදානම. මේක ව්‍යාපාරික ලෝකයත් එක්ක බැඳිච්ච කතාවක්. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මුකුත් හදාරල නෑ. හැබැයි නිකං ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්.

බුදුන්වහන්සේගේ කාලයෙත් නොකලයුතු ව්‍යාපාර කියල කොටසක් තිබ්බා. හැබැයි දැන් මේ කියන්න යන ව්‍යාපාර එකක්වත් එහෙම නොකලයුතු ඒවා නෙමෙයි. කෝටිගානක ප්‍රාග්ධනයක් යොදවන්න ඕනෙ ඒවත් නෙමෙයි. හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක හන්ද සමූහ ව්‍යාපාරයක් විදිහටත් කරන්න පුළුවන්.  මේවා නරකම නෑ. ඒත් ඉතින් නොකරත් බෑ. ඒකයි මේකෙ තියන වෙනස.

දැන් අපි ව්‍යාපාර එක එක අරන් බලමු.

ව්‍යාපාර 1 - කෙටි කෑම කඩයක්
දැන් මිනිසුන් ඉතාම කාර්ය බහුලය. හුස්ම ගන්න පමණක් වේලාව ඇත. අනිත් හැම වෙලාවම හම්බ කිරීම පිණිස යොදාගනී. ඉතින් කෑම පිසීම ගැන වගක් නැත. ඔවුන් කඩ වලින් කෑම කති. නමුත් හැම කඩයෙන්ම කෑම නොකති. රසවත් කෑම ඇති කඩවලින් කෑම කති. ඉතින් කෑම රසවත් වීමට අජිනමොටෝ, අහිතකර තෙල් වර්ග දැමිය යුතුය. කෑම රසවත් වීමත් කඩේ ඉදිරිපස පිරිසිදු වීමත් හැර වෙන යමක් නැති නිසා ව්‍යාපාරය සාර්ථක වේ.

ව්‍යාපාර 2 - රූපලාවන්‍යාගාරයක්
මිනිසුන්ට (ගැහැණුන්ට) ලස්සන වීමට අවශ්‍යය. මගුල් ගෙදරකට කාර්යාලයට දමන මේකප් දැමිය නොහැක. ඒකට බියුටීෂන් කෙනෙක් ඕනෑය. යසට තියන ඇහිබැම ත්‍රෙඩින් කලයුතුය. වැක්ස් කල යුතුය. ෆේෂල් කල යුතුය. රීබොන්ඩ් කල යුතුය. මෙසේ අසූ කෙලක් දෑ කල යුතුය. (සමහරුන්ට ඩයි කරන්නද ඕනෑය). මේවා ගෙදර ඉන්න මනුස්සයාට කල නොහැක. එබැවින් රූපලාවන්‍යාගාරයක පිහිට පැතිය යුතුය. මේ ව්‍යාපාරයද කිසිදා කඩා නොවැටෙන්නක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාර 3 - ඖෂධ ශාලාවක් හෝ පුද්ගලික රෝහලක්
මෙම ඖෂධ ශාලාව ආයුර්වේද එකක් නම් තවත් හොඳය. ඉහත සඳහන් ව්‍යාපාර දෙකේ සේවා ලාභියෝ මෙහි අනිවාර්ය සේවය ලබන්නෝ වෙති. කෙටි කෑම කඩයෙන් වස විස කා, රූපලාවන්‍යාගාරයෙන් වැරැද්දක් වූ පසු ඔවුන්ට මෙම ව්‍යාපාරය හැර අන් ව්‍යාපාරයක පිහිටක් නොමැත. වර්තමානයේ වෛද්‍යවරයාට සුදුසුකම් ඇතිවුවත් නැතිවුවත් ලෙඩ්ඩු ඕනෑතරම් සිටිති. අනික දැන් පුද්ගලික රෝහලකට බිල මුද්‍රනය කරන මැෂින් එකක් පමණක් සෑහේ. (අනෙකුත් වෛද්‍ය උපකරණ අත්‍යාවශ්‍යය නැත)

ව්‍යාපාර 5 - ඖෂධ හලක්
තේරෙන සිංහලෙන් කියනවා නම් ෆාමසියක්. ඉහත ඔක්කොම ලෙඩවලට බෙහෙත් ගත යුතුය. ඒ සඳහා විකුණුම් සේවාවක් තිබිය යුතුය. මේ සඳහා සේවා ලාභීන් නොමැති වීමට ලෙඩ නැති මිනිස්සු සිටිය යුතුය. ඉහත ව්‍යාපාර වල සේවා දායකයන්ගේ හිඟයක් නොමැති නිසා මෙම ආයතයද දිගුකල් වැජබෙන ව්‍යාපාරයකි.

ව්‍යාපාර 4 - ජෝතිශ විද්‍යාව පිළිබඳ ආයතනයක්
ව්‍යාපාර අංක 1-2න් සේවා ලබාගන්නා සේවා දායකයා ව්‍යාපාර අංක 3 වෙත එන්නේ සුවකල නොහැකි පිළිකා බඳු ලෙඩ සාදාගෙනය. ඉතින් බෙහෙත් ගත් පසු සුව නොවන තැන්වලදී ඔවුන් සොයන්නේ තමන්ගේ ග්‍රහචාරයයි. ඉතින් මීලඟ හොඳම ව්‍යාපාරය වන්නේ මෙයයි.

ව්‍යාපාර  5 - මල් ශාලාවක්
සේවා ලාභීන් අවසානයේ පැමිණිය යුත්තේ මෙම ස්ථානයටයි. හැම දේටම සෝබන ඇති නිසා මෙම ව්‍යාපාරයද යහතින් කරගෙන යා හැකිය.


ව්‍යාපාර ගැන කිසිම අවබෝධයක් නැති මම නිකන හිතට ආවට ලියන දේ ඔබගේ විචාර බුද්ධියෙන් සිතා දියුණුව ලඟා කරගන්නේ නම් මැනවි.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...