Thursday, February 21, 2013

මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ




“නැවිගේෂන් සිස්ටම් එකක් කියන්නෙ මොකක්ද?”
වැඩ ඇරිලා ගෙදර එක්කගෙන අතරතුරදී තාත්තා මගෙන් අසයි. මම දන්නා විදිහ‍ට පිලිතුරු දීමි.
“මොකටද?” මම අසමි.
“නිකං” ඒ තාත්තාය.
තාත්තා එහෙම අහන්නේ “නිකං” නොවන බව ම‍ගේ හිත කියයි.
“ඇයි දැන් මොකක්ද කරන්න හදන්නේ”
“නෑ යාළුවෙක් කිව්වා. දුර වැඩක් කරනකොට පාරවල් හොයාගන්න ලේසියි කියල. මේකෙයි ෆෝන් එකේ තියන ගූගල් මැප් එකෙයි වෙනස මොකකද?”
තාත්තාගේ පිරිවිතර (සිංහලෙන් රික්වෙයාමන්ට් එක) මට ලැබුණි. ඒ මගේ තාත්තාය.
විශ්‍රාම යායුතු අවධියේ සිටියත් ඔහු කොළඹින් පිට ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වෙන්නේ අද ඔහුගේ උපන්දිනය කියලාවත් නොසිතා‍ය.

මට පරිගනකයක අවශ්‍යතාවය දැනුනේ මීට දශකයකටත් මද කාලයකට පෙරදීය. රටවටේ සැරිසරා පරිගනයක මිල අඩුතැනක් බැලුවෙමි. අවසානයේ තාත්තා සමග එය ගැනීමට ගියෙමි. සතියකට පසු පරිගකයේ ගනන් වැඩි වෙලාය. රස්සාවක් නොකරන මට ඒකාලයේ රුපියල් 63000 ක් යනු එතරම් මුදලක් නොවේ. ඒ ගෙදරින් ඔක්කොම වියදම් දරන නිසාය. එලෙස මම තාත්තා ඉතිරිකරගත් සියළු ධනය එක මොහොතින් ඉවරකලෙමි. ඒ ගැන අදටත් තාත්තා වචනයක්වත් නොකියනවා වුවත් රස්සාවක් කර එසේ සල්ලි ඉතිරි කරන රංගනය  මා දන්නා නිදා එදා කල දේ ගැන අදත් පසුතැවෙමි.

මගේ තාත්තා විශ්ව විද්‍යාල අධ්‍යාපනය එම් ඒ බී ඒ ඇම් බී බී ඇස් පාස් කල අයෙක් නොවීය. නමුත් ඒ සියල්ල කල අයට වඩා තාත්තා ලඟ දැනුම තිබේ. ඒවා කල අය ලඟ නැති ප්‍රායෝගික දැනුමක් තාත්තා සතුවේ. එහෙත් මා ලොක්කෙකු කරන්නට උසස් අධ්‍යාපනය ලබාදෙන්නට ඔහු ගත් වෙහෙස මා හොඳින් දනිමි.

තාත්තාට දැනුම ඇතත් ලංකාවේ වලංගු වන්නේ කරදාසියකින් ලබන සුදුසුකම් බැවින් තාත්තා දැනුමැත්තෙක් ලෙස ඉදිරියට යාමේ අපහසුකම් තිබුනි. තාත්තා ඉදිකිරීම් අංශයේ ව්‍යාපෘති කරන විට රස්සාවක් නැතුව ගෙදර හිටි මට ඒ අංශයෙන් ඉදිරියට යන්නැයි ඉල්ලුවද මම මගේ සුපුරුදු පරිගනක අංශයේම ගමන් කලෙමි. අවසානයේ තාත්තා හාඩ්වෙයා එකක් දමා ගත් අතර මම සොෆ්ට් වෙයා කලෙමි.

පරිගනකයට තාත්තා ඇළුම් කරන බව මා දනිමි.  මීට මාස කිහිපයකට කලින් මම කුඩා පරිගනකයක් ඔහුට තෑගි කලෙමි. තාත්තා පරිගකයේ දැනගෙන සිටියේ යතුරු පුවරුව, මොනිටරය, මව් පුවරුව, සී ඩී රොම් එක වැනි කුඩා අංගයන් කිහිපයකි. මා කියාදුන් කුඩා පාඩම් ඔස්සේ තාත්තා දැනුම වර්ධනය කරගෙන අද වන වි‍ට අන්තර්ජාල පහසුකම් පවා අත් විඳියි.

මොබිටෙල් ලාගේ ඇනලොග් දුරකතන තාත්තා එකල භාවිතා කරන ලදී. පසුව ජී එස් එම් තාක්ෂනයත් සමග තාත්තා කුඩා දුරකතන භාවිතයට හුරුවිය. මට නොකියා 1100 එකක් අරන් දුන් තාත්තා ඉන් පසු මා ගන්නා සෑම දුරකතනයකම දෙවන පාරි‍භෝගිකයා විය. මම ඇන්ඩ්‍රොයිඩ් වලට මාරුවුනු පසුව තාත්තාට ස්මාර්ට් ෆෝන් ගැන පැහැදිලි අදහසක් තිබුනේ නැත. ඒ ටච් ගැන තිබූ අනිසි බිය නිසාය. වරෙක ඒ ගැන පැහැදිලි කල විට තාත්තා ස්මාර්ට් ෆෝන් එකකට මාරුවිය. දැන් ඔහු ඉන් බොහෝ දේ කරයි. අන්තර්ජාලයේ සැරි සැරීම, ඉ මේල් බැලීම, වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් වැනි දේ බැලීම ගූගල් මැප් එකෙන් යන එන ගමන් ට්‍රැක් කිරීම ඉන් ස්වල්පයකි.

“මගේ ෆෝන් එකේ ජීමේල් එක රිෆ්‍රෙෂ් වෙන්නේ නෑ” තාත්තාගෙන් පැමිණිල්ලකි. මම තාත්තාගෙන් දුරකතනය ඉල්ලාගෙන අන්තර්ජාල සැකසුම් බැලුවෙමි.
“ඔතනට ඔහොම යන්න එපා. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියනවා” ඒ තාත්තාය. මමවත් නොදන්නා ඒ සැකසුම් තාත්තා හොයාගෙන. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි.
තාත්තා ඉපදුනේ තාක්ෂනික ලෝකයක නොවේ. මමද එසේමය. නමුත් මම ඒ ලෝකය හා වැඩකරන්නෙමි. තාත්තාද ඉතා හොඳන් ඒ ලොව ග්‍රහණය කරගන්නේ ඉගන ගන්න වයසක් නැති බව නැවතත් සපත කිරීමටයි.

ඒ මගේ තාත්තාය. මගේ ලෝකයේ රජ්ජුරුවෝ නුඹය. තාත්තේ මේ කුඩා සටහන නුඹ වෙනුවෙනි.

තාත්තේ ඔබට සුබ උපන්දිනයක්!