Monday, December 17, 2012

ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් කරපු හැටි

මේ කියන්න යන්නෙත් උසස් අධ්‍යාපනේ කාලෙ වෙච්ච දේවල් තමයි. ඒ දවස් වල අපි දෙවනි වසරෙ ඉන්නකොට තිබ්බ ලොකුම ඔළුව කැක්කුමක් තමයි කණ්ඩායම් ව්‍යාපෘතිය. (සිංහලෙන් ගෲප් ප්‍රොජෙක්ට්). ඒ අවුරුද්දෙ තිබ්බෙ ඊ-ජර්නලයක් හදන්න. (මට මතක විදිහට) මේ විෂයය භාර දීල තිබ්බෙ වඩුගේ සර්ට. (ඇත්ත නම දන්නා ඇත්තෝ මුවින් වදනක් නොපවසන සේක්වා) මෙතුමා මේ විෂයය හන්දම ලමයින් එක්ක මරාගෙන මැරෙන ආදරයෙක් තිබ්බ කෙනෙක්. ඉතින් ළමයින්ගෙත් මේ ආදරේ දෙගොඩ තලා ගිහින් වඩුගේ සර්ට ආදරෙන් කතා කලේ "ගල්වඩ්‍ඩා" කියල. ඒක සරුත් දැනගෙන හිටියා.

ඉතින් ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේෂන්  තිබ්බෙ මුළු පන්තිය ඉස්සරහම. ඔන්න එතින් අපේ ටීම් එක ගිහින් පටන් ගත්තා. වඩු‍ගේ සර් තමයි තව සර්ල දෙන්නෙකුත් එක්ක අපිව ඉවැලුවේට් කලේ. අපේ වැ‍ඩෙත් නැගල යනවා. ඊට පස්සෙ පෙන්නන්න කිව්වා යූසර් ලොගින් රිපෝට් එකක්. ඉතින් අපි එහෙම එකක් හදල තිබ්බා. අ‍පිත් ඉතින් පොරවල් වගේ රිපෝට් එක පෙන්නුවා.

User ID                User Name              Login Date      Login Time
1                          Gal Wadda              2003-8-1         4:23:36 pm
2                          Hora Gediya            2003-8-2         8:26:56 am
1                          Gal Wadda              2003-8-2         9:13:36 am
1                          Gal Wadda              2003-8-2       10:22:30 pm
1                          Gal Wadda              2003-8-3         3:14:11 pm
3                          admin                       2003-8-3         5:28:45 pm
1                          Gal Wadda              2003-8-3         9:23:39 am
1                          Gal Wadda              2003-8-3         12:25:37 pm

අපිත් ඉතින් මේ රිපෝට් එක බලයි කියල හිතුවෙත් නෑ. ඒ අපේ ප්‍රසන්ටේෂන් එකේ අවසාන ජවනිකාව.

ඊට පස්සෙ තවත් ටීම් එකක් ප්‍රසන්ටේෂන් පටන් ගත්තා. හැම අතුරු මුහුණතකම මල්, මල් වැල්, කොළ එහෙම. අපිත් හොල්මන්. පස්සෙ බලනකොට තමයි වැඩේ දන්නෙ. ඒ ටීම් එකේ ඉඳල තියනවා ප්‍රො‍ජෙක්ට් එක කොයි වගේද කියලවත් දන්නෙ නැති යාළුවෙක්. (එහෙම වුන් ඕනෙ තරම් ඉන්නවනෙ) . ඉතින් ප්‍රසන්ටේෂන් එකට කලින් දවසෙ පොර ඇවිත් මොනවද කරල තියෙන්නෙ බලන්න. ටීම් ලීඩ්ට මල පැනල උට අතුරු මුහුණත් ටික හදන්න දීල. (සිංහලෙන් යූසර් ඉන්ටර්ෆේස්). මූත් වැඩේ බාරගෙන. ඒත් ඌ දන්න විදිහට තමයි හදල තියෙන්නෙ. ලස්සන  කරන්න කිව්වහම කරල තියෙන්නෙ මල් වැල් එහෙම දාල කරන්න කියල හිතල. ඒ ටීම් එකෙත් වැඩ එතනින් ඉවරයි.

Friday, November 23, 2012

ස්ලිට් එකේ අළුත් නංගිලා මල්ලිලා වෙත ලියන වග නම්...


තවත් එක් දීර්ඝ සටහනක් කෙටියෙන් ලියමි. මේ ලිපිය ලිවීමට මට සිත්වූයේ පසුගිය ව‍සරේ මේ කාලයේ වුවද තිබූ වැඩ නිසා එය කල නොහැකිවිය. මේ ඒසඳහා සුදුසු කාලය බව මට වැටහුනේ සුදාරක මල්ලීගේ ට්වීට් කිහිපයක් දැකීමෙනි. මගේ මේ ලිපියේ අරමුණ ආයතනය විවේචනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යනු අපි කෙටියෙන් ස්ලිට් කියා හඳුන්වන ආයතනයයි. මේ ආයතනය හා මගේ බැදීම ආරම්භවන්නේ මා පාසල් ශිෂ්‍යයයෙක්ව සිටිනා සමයේ‍දී මේ ආයතනයට මුල් ගල් තැබුණු දා පටන්ය. මම පාසල් ගියේ ස්ලිට් එක ඉදිරියෙනි. මෙතන හැදෙන්නේ කුමක් දැයි නොදනිතත් මොනවාහෝ අමුතු දෙයක් සිදුවන බව නම් දැනී තිබුණි. අවසානයේදී මේ සෑදෙන්නේ තොරතුරු තාක්ෂණ ආයතනයක් බව මම දැනගතිමි.

ලංකාවේ කාලයෙන් කාලයට රැලි පැමිණේ. අපි සාමාන්‍ය පෙළ කල සමයේ අපිට තිබුණේ ඉංග්ලිෂ් කෝස් රැල්ල සහ කොම්පියුටර් කෝස් රැල්ලයි. මේ රැලි වලට හසුනොවී උඩුගම් බලා පිහිණුවෝ වෙත්නම් ඒ අතේ ඇඟිලිවලටත් වඩා අඩු පිරිසකි. එසේ ගිය කෝස් වලට සහ ඉසිපතනයේ එවකට විදුහල්පති උපාලි ගුණසේකර මහතාගේ පාසල් පරිඝනක විද්‍යාගාර සංකල්පයට  පිං සිදුවන්නට පරිඝනකයක් හැසිරවීමට මම දැනගෙන සිටියෙමි. රැකියාවන් වලදිද මෙවැනි රැලි බොහොමයක් ලංකාවේ විය. සිංහලෙන් ජොබ් ට්‍රෙන්ඩ් එක කියා තේරෙන බාසාවෙන් කියන්නේ එයයි. අයි ටී ජොබ් රැල්ල - එච් ආර් ජොබ් රැල්ල - සප්ලයි චේන් ජොබ් රැල්ල තුල අදටත් තම නම කැත නොකර තියාගත් රැල්ල වන්නේ අයි ටී රැල්ලයි.

තොරතුරු තාක්ෂණ ආයතනයේ ගොඩනැගීමත් සමගම මට එහි පළමු ශිෂ්‍යය කණ්ඩායමට ඇතුලත් වීමේ ආසාවක් පැන නැගුනි. තරමක් අසීරු අභි‍යෝගතා පරීක්ෂණයකට පසු මම එහි යාමට තෝරාගැනුනි. නමුත් පුද්ගලික හේතුවක් නිසාවෙන් එම ආසාව දෙවන ශිෂ්‍යය කණ්ඩායම දක්වා පහලට ගියේය. මගේ පියා මහාලොකු සල්ලි කාරයෙක් නොවුනත් ඔහු ඒ සඳහා කෙසේ හො මට මුදල් සපයා දුන්නේය.

අපි මාලඹේට දෙවැනි බැච් එක වීමු. අපේ සීනියර් බැච් එකේ හිටියේද අපි වැනිම අය විය. බොහෝ සල්ලිකාරයන්, ලොකු ලොක්කන්ගේ ඇමති මැති ගොල්ලන්ගේද පුතාලා දුවලා අපේ බැච්වල විය. කොළඹාසන්නයේ නොව හද්දා පිටිසර ගම් වලින් පැමිණියෝ අයි ටී ආරම්භ කළහ. උසස් පෙළ ගණිත විශයය මේ සඳහා පිටිවහලක් වූ නමුත් අනිවාර්යය නොවූ බැවින් අනෙකුත් විශයය ධාරාවන් කළ අයත් මෙයට පැමිණ සිටියහ.

ඉතාමත් ඉක්මණින් විශයය නිර්දේශ වෙනස් කිරීම, ගැලපෙන රටාවට අනුව ඒවා පවත්වාගෙන යාම මෙහි තිබූ සුවිශේෂම සිද්ධිය විය. ආරම්භයේ පටන්ම ඒ සඳහා නිදර්ශක සැපයූවෝ වූයේ අපිත් අපේ සීනියර් බැච් එකත්ය. ලැබ් රැට්ස්ලා වීම දරාගත නොහැකිවූ තැන ඇතැමුන් මෙම විශයය පථයෙන් ඈත් විය. වාසනාවකට මෙන් අපේ බැච් එකෙන් පසුව එවැනි නිදර්ශක සැපයීමක් නොවුනි. ඒ හේතුව නිසා අපෙන් පසුව එක්වුන බැච් වලට අපට වඩා හොඳ දැනුමක් විය. එම නිසා එකල ලංකාවේ කල හැකිව තිබූ ‍අනෙක් අයි ටී ඩිග්රිය වූ බිට් එකට වඩා සැතපුම් ගණනක් අපි ඉදිරියෙන් සිටියෙමු.

රැල්ලට අසුව පිස්සු කෙලින්නන් එහි සිටියේ අද ඊයෙක නොවේ. එකලද එවැනි පුද්ගලයෝ දෙමාපියන්ගේ මුදල් භක්ෂණය කරමින් සිටියහ. එහෙත් ඉන් බොහොමයක් අය අවසානයේ මහන්සිවී වැඩකර ගොඩගිය අතර ඉතාමත් සුළු පිරිසක් අතරමග නැවතුනි. ඒ නැවතුනේ දෙමාපියන්ගේ සල්ලිවලට කරන්න දෙයක් නැතුව කාලය කා දැමීම උදෙසාම මෙහි පැමිණි අයයි. දැන් වැඩිපුර ඇත්තේ එවැනි අයයි.රැල්ලට අසුව විනාශ මුඛයට ගිය ගැහැණු දරුවන් බොහොමයක් ඈත ගම් වලින් කොළොම් තොට පැමිණියෝ වෙති. ඕව්හු ගමට වඩා නගරයේ ඇති අරුමෝසම් වලට වශීවූවෝ වෙති. ඒ මාතෘකාව ඇතියයි හැ‍ඟේ.

අපිත් අපේ සීනියර් බැච් එකේ අයත් අතර තිබ්බේ බොක්කේ ෆිට් එකකි. ඒ නිසා අපිට රැග් තිබ්බේ නැත. රැග් අවශ්‍යය වුයේද නැත. සුළු සිද්ධියක් ඇරෙන්නට එවැනි දේ වාර්තාවූයේද නැත. ‍හැබැයි ඉතින් කෙල්ලෝ නිසා ඇතිවූ වලිද නැතිව නොවේ. අදටත් අපේ සීනියර් එකෙක් ඉන්න තැනක අපිට බය නැතුව හලෝ මචං යයි ඇමතිය හැකිය. කොච්චර ෆිට් එකක් තිබ්බත් උන් අපේ සීනියර් උන් හන්දා අපේ හිතේ ගෞරවයක් නිතරම තිබුණි. අවාසනාවට අපේ බැච් වලින් පසු එකී සුහදතාවය බැහැර වීමට පටන් ගැනුනි. ඒ නිසා අපේ ජූනියර් බැච් වල බොහෝ දෙනාට අපට එළියේදී මුහුණ දීමට අපහසුතාවයක් තිබේ.

අපිට මහා ශිෂ්‍යය සංගම් තිබුනේ නැත. තිබ්බේ  හැම බැච් එකක්ම නියෝජනය වන පරිදි සාදාගත් පොඩි ඇළුමිනි සොසයිටියක් පමණි. අවශ්‍යය ක්‍රීඩා පහසුකම් ලබාගැනීම, ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න කතා කිරීම, ඇනුවල් ට්‍රිප් එක, ගෙට් එක, පැදුර ඕගනයිස් කිරීම එහිදි සිදුවිනි. (දැන් නම් පැදුරක් තියනවාදැයි නොදනිමි.)

අපිට තිබ්බේ එක ගොඩනැගිල්ලක් පමණි. එක ඩිග්‍රියක් පමණි. අපට හොඳ දේශකයන් සිටියහ. නුවන් සර්, කෝලිය සර්, ප්‍රදාහිනි මැඩම්, චන්ද්‍රිකා මැඩම් වැනි ගුරුවරු අදටක් අප අතර ජනප්‍රිය අය වෙති. එකල වයසින් මුහුකුරා නොගිය අපි ඇතැම් විට ඔවුන්ගේ අවවාදයන් තුට්ටුවකට වත් මායිම් නොකලද කෙලවූ පසුව අපි ඒවා පිළිපැද්දෙමු. සමහර දේවල් අදටත් අපට ප්‍රයෝජනයට ගනිමු. පාරකදී ගුරුවරු දුටුවිට ගොස් කතා කරන්නෙමු.

අපිට බොහෝ පහසුකම් තිබුනේ නැත. පිට්ටනියේ ක්‍රිකට් ගැසීමට බැරි නම් අපි පා‍රේ ක්‍රිකට් ගැසුවෙමු. බේස්මන්ට් එකට කැරම් බෝඩ් ආවේ අපි අවුට් වීමට ආසන්න කාලයේය. අපිට හැටහුටාමාරක් ක්‍රීඩා තිබුනේ නැත. ඒවාට එවැනි පහසුකම් තිබුනේද නැත. අපි ඒවා ඉල්ලමින් පස්සෙන් නොගියෙමු. හැබැයි හැකි හැම දෙයක්ම ආයතනය අපිට ලබා දුන්නේය. අපිට හොඳ රගර් කණ්ඩායමක් තිබුණි. නවාස් අයියා සිටි කණ්ඩායම එකල බොහෝ ජයග්‍රහන ආයතනයට සපයා දුනි.

ඒ දවස් වල එන් අයි බී එම් එක ඇරුනහම මෙවැනි ආයතන තිබ්බෙ මේක විතරයි. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය  සම්බන්ධයෙන් ඉතාම හොඳ තරඟයක් දෙන්න මේ ආයතනයට හැකිවුනා. ටීවී එකේ පැය විසිහතරෙම ඇඩ් දාන්නෙ නැතුව ළමයි ගන්න දවස් වලට පත්තරේ දාන එක ඇඩ් එකකින් ළමයි දාහක් විතර ගන්න ස්ලිට් එකට හැකිවුනා. වෙළද පල ඒකාධිකාරය කියන කාරණේ මෙතනට අදාල නෑ. ඒත් මේ තත්ත්වය යටතෙදි හිටපු ළමයි එලියෙදි මුහුණ දුන්න සිද්ධි ගොඩක් තියනවා. මෙතන තියෙන්නෙ මම එහෙම පෞද්ගලිකව මුහුණ දුන්න එකක්. ඒ වගේ හුඟක් දෙනෙක් මුල කාලෙ අපි දිහා බැලුවෙ එහෙමයි. මම ඉස්සර වැඩකරපු නම් දරාපු ආයතකයක කළමනාකාර පුහුණුවන්නන් (සිංහලෙන් මැනේජ්මන්ට් ට්‍රේනීස්) ගන්න වෙලාවෙ ඒ ගොල්ලො කියපු දෙයක් තමයි ස්ලිට් ඩිග්‍රිය අපි සලකන්නෙ නෑ කියන එක. ඒ වෙලාවෙ මමත් ස්ලිට් එකේ ඉගනගන්න කොල්ලෙක්. ඉතින් මටත් ඒ ගැන තර්ක කරන්න අයිතියක් තිබ්බ හන්ද මම ඒ වෙලාවෙ කතා කලා. ඊට පස්සෙ ඒ අය ඒ දේ පිළිගත්තා. මේ වගේ දේවල් ඒ කාලෙ ඕන තරම් වුනා. (දැනුවත්ව).

ඒ දවස් වලත් ලංකාවෙ අයි ටී කරපු අය අතරෙ පොරවල් වෙලා හිටියෙ මොරටු විශ්ව විද්‍යාලය. තොරතුරු තාක්ෂණ ලොවේ පිළිගත් ආයතන හැම එකම වගේ තමන්ගෙ රැකියා විතරක් නෙමෙයි සීමාවාසික පුහුණුවට (සිංහලෙන් ඉන්ටර්න්) මොරටුවෙන් කට්ටිය තෝරාගෙන පස්සෙ කොළඹ ආදි විශ්ව විද්‍යාලවල සිසුන්ට පසුව ස්ලිට් එකේ අයගෙන් තමන්ගෙ අඩු පුටු පුරවගන්න. ඒකෙ වැරැද්දක් නෑ. මොකද ස්ලිට් එක ගැන හුගක් දෙනෙක් දන්නෙ නැති හන්දා. පස්සෙ ඒ අඩු පුටු පුරවන්න ගත්ත ස්ලිට් එකේ වැඩ්ඩො හන්ද ස්ලිට් එක ගැන තිබ්බ හුගක් අදහස් වෙනස් වුනා කියන්න පුළුවන්. අදටත් ඒ ආයතන වල ඒ අවස්ථා හුඟක් හම්බ වෙන්නෙ මුලින් ගිහින් නම හදාගත්ත අය හන්දා තමයි.

ස්ලිට් එකෙන් එලියට එන හැමෝම වැඩ්ඩො නෙමෙයි. ඒක කියන්නම ඕනෙ. එක එක මට්ටම් වල අය ඉන්නවා. හුඟක් අය මොරටුවෙ අයත් එක්ක සංසන්දනය කරන්න යනවා. (හැබැයි මොරටුවට වඩා වැඩකාරයෝ ඉන්නවා. ඒක ඔප්පු කරලත් තියනවා). මොරටුවෙ ඉන්නෙ උසස් පෙලින් ඉහලම ලකුණු ගත්ත අය. ඒත් එහෙම නොවුනා කියල ස්ලිට් එකෙත් වෙනසක් නෑ. මොරටුවෙන් 50ක් විතර එලියට එනකොට ස්ලිට් එකෙන් 600ක් විතර එනවා. ඉතින් එලියේ හොඳ තරඟයක් තියනවා. ඒ හන්දා හුඟක් අයට රස්සාවල් නැති වෙනවා. ස්ලිට් එක ගැන කවුරුත් නොදන්න කාලෙ සමහර උපාධිධාරීන්ට මොන්ටිසෝරි වල උගන්නනන්න වුනේ ඒකයි. ඒත් අද තත්ත්වෙ සෑහෙන්න වෙනස්. අපෙන් පස්සෙ සමහර බැච් වල සමහර අයට නෙට්වර්ක් ඩිග්‍රිය තියා‍ගෙන කිව් ඒ හැටියට වැඩකරන්නත් වුනා.

අපි ඉස්සර හිටිය වගේ සරල සුන්දර වටපිටාවක් දැන් නෑ.ඉස්සර අපි කවදාවත් කොට කලිසම් ඇඳගෙන හවසක වත් ඕක ඇතුලට ආවෙ නෑ. ඉගන ගත්ත තැන පූජනීයත්වයෙන් තියාගත්තා.   අපිට තිබ්බ එකම බිල්ඩිං එක‍වෙනුවට දැන් හුඟක් බිල්ඩිං සහ පහසුකම් තියනවා. අපිට තිබ්බ එකම ඩිග්‍රිය වෙනුවට හුඟක් තේරීම් තියනවා. ( එස් බී ඇමතිතුමාට අනුව නංගිලාට නම් තවත් තේරීම් තියනවා) අපිට රට යන්න වුනොත් ඒ දවස් වල තිබ්බෙ කර්ටින් එක විතරයි. ඒත් අද හුඟක් රටවල් එක්ක ස්ලිට් එක අත්වැල් බැඳන් ඉන්නවා. ඉතින් මේ දේවල් වලින් ප්‍රයෝජන ගන්න. ඒ කාලෙ ස්ලිට් එක ඇතුලෙ පොලිටික්ස් තිබ්බෙ නෑ. (දැන් කොහොමද දන්නෙ නෑ) අපිට ලැබ් වල හොඳ මැෂින් තිබ්බා. ඒවායෙන් උපරිම වැඩකලා. ඒ දවස් වල අපිට වෙන්කරල තිබ්බෙ මෙගාබයිට් 2ක් විතර පොඩි ඉඩක්. (දැන් ඇහුවහම නම් හිනා යනවත් ඇති).

අන්තිම වශයෙන් කියන්න ඕනෙ. මම මේ ලිපිය ලිව්වෙ මගේ අත්දැකීම් එක්ක. හැමෝගෙම අත්දැකීම් එක වගේ නෑ. වෙනස් වෙන්න පුළුවන්. සමහරු මට කෑගහයි මොරටුව උන් එක්ක තියන තරහ පිරිමහ ගන්න මම මේක ලිව්ව කියල. මට මොරටු උන් එක්ක කිසි තරහක් නෑ. මම අදටත් මොරටු උන් එක්ක වැඩකරනවා. මගේ ලිපියේ අරමුණ එදා සහ අද ගැන අදහසක් (මට හිතුන) ඉදිරිපත් කරන එක විතරයි. මේ ලිපියෙ තව ගොඩක් දේවල් ලියන්න පුළුවන්. ඒත් දිගවැඩි හන්දා ලියන්නෙ නෑ.

කොහොමත් ගිය වැ‍ඩේ කරගන්න එක තමන්ගෙ වැඩක්. විසිකරන්න සල්ලි තියනවනම් කිසි ප්‍රශ්නයක් නෑ. 

Monday, November 19, 2012

අයං රේසිං කාර් කාලෝ - (මේ රේසිං කාර් සමයයි)


අතීත කතා වස්තුව

මගේ ආතා (සීයා) මෙලොව ඉපදී සුළු කාලයකින් පළවෙනි ලෝක යුද්ධය ඇරඹිනි. සන්නිවේදන තාක්ෂණයේ ඇති නොදියුණු බව නිසාම ඔවුන් යුද්ධය ගැන දැනගත්තේ පසුව යයි මම අනුමාන කරමි. නමුත් ය‍ටත් විජිත වාදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් වලට වඩා ඉක්මනින් යුද්ධය ගැන ලාංකිකයන් දැනගන්නට ඇත. ලෝකයේ අනික් දේවල් ගැන මද දැනීමක් තිබුණු මගේ ආතාගේ උපන් දිනයවත් ආතාගේ තාත්තා හරි හැටි දැන නොසිටින්නට ඇත. එහෙයින් ආතාට ලැබුණු උපන්දින තෑගි ගැන වඩා හොඳ අදහසක් මෙය කියවන ඔබට ගත හැකිය.

මගේ තාත්තා මෙලොව ඉපදීමය වසර කිහිපයකට කලින් දෙවැනි ලෝක යුද්ධය නිමවී තිබුණි. තාත්තාට ඒ ගැන මතකයක් නැති අතර ඒ ගැන මගේ ආතලා හොඳින්ම දන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් ඇතිවූ ආර්ථික අහේනියත් ඉන් ලංකාවට බෝම්බ දැමීමත් නිසාය. ආතාටද දරුවන් හත් දෙනෙක් සිටි නිසා බඩපිස්සා වූ තාත්තාගේ උපන්දිනය මතක නොසිටින්නට ඇත. ආතාගේ අතෙහි දැවටෙමින් සිටි සමයේදී මා දැනගත් දෙයක් වූයේ ආතාගේ මතකයේ බොහෝ දුරට ඇත්තේ තම දරුවන්ගේ උපන් වර්ෂය පමණක් බවයි. ඉඳින් අපේ තාත්තාගේ උපන්දිනයටත් ලැබුණු තෑගි ගැන පෙර සේම අදහසක් ඔබට ජනිත වනු ඇත.

වර්තමාන කතා වස්තුව
පළමු ඊලාම් යුද්ධය ඇරඹිමට මද කලකට පෙර මම මෙලොව උපත ලද්දෙමි. ලෝකයේ තාක්ෂණික දියුණුවක්ද ඇතිවී තිබූ අතර ජේ ආර් සීයාගේ විවෘත ආර්ථික මෙව්වා එක හමුවේ අපේ රට සුරපුරයක් වීම ආරම්භ වී තිබුණි. තාත්තලාගේ කාගේ තිබුණු, තාත්තලාට ආතලගෙන් උපන් දින තෑගි වලට නොලැබුණු තාත්තලා සාදාගත් කොස් කොල තොප්පි, කුරුම්බැට්ටි මැෂින්, බට තුවක්කු වෙනුවට කැප්, සෙල්ලම් කාර්, සෙල්ලම් තුවක්කු එලිබැස තිබූ යුගයක, ඇතැම් එවැනි සෙල්ලම් බඩු උපන් දින තෑගි ලෙස තාත්තාගෙන් ලැබීමට මම වාසනා ලදිමි. මතක ඇති කාලෙක මම කටින් නොයිල්ලුව නමුදු තාත්තා මට අරන් දුන් සෙල්ලම් කාර් දෙකතුනක් සහ ජිරාෆියෙක් අදටත් මා පරිස්සම් කරන්නේ මැණිකක් රකිනා නයෙකු මෙනි.

දැන් ලංකාවේ යුද්ධයක් නැත. (තිබ්බා දැයි මතකද නැත). තොරතුරු තාක්ෂණය කෙළ පැමිණි යුගයකි. අපේ රටේ ජනාධිපති නොව ඇමරිකා ජනාධිපති පත් කිරීමද අපිට සජීවීම නැරඹිය හැකිය. පිටරට වාහනයක් සාදා නිම කල විට ලංකාවේ සිට එය ගෙන්වා ගත හැකිය. එය පැමිණෙන නැව සාගරයේ ඇති තැන නිච්චියටම කියන්න දැන් තාක්ෂණය දියුණුය.

අනාගත කතා වස්තුව
තවමත් මම තාත්තා කෙනෙකු නොවෙමි. එසේ වුවත් මට දරුවාගේ උපන්දිනය අමතක වීමට හේතුවක් නොමැත. මන්ද යත් ෆේස්බුක් එකෙන් හෝ ස්මාර්ට් පෝන් එකෙන් එන රිමයින්ඩර් එකකින් එය මට දන්වනු ඇත.

මගේ දරුවා පිය නගන්නේ අමුතු ලෝකයකටය. ලැජ්ජාව, බය, මිතුරු දම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, ඉතිරිකිරීම, අනාගත දැක්ම, අධ්‍යාපනය වැනිදෑ ඒ අමුතු ලෝකයේ සොයා ගැනීමට අපහසු වනු ඇත.මා ඉගනගන්නා සමයේ මම සයන්ටිෆික් කැල්කියුලේටරයක් භාවිතා කලේ (ඒකත් ඉල්ලගෙන)විශ්ව විද්‍යාලයේ පළමු වසර අවසානයේ වුවත් මගේ දරුවා ලැප්ටොප් එකක් (ඒ කාලෙට එහෙම එව්වා තියේද දන්නේ නැත) ඉල්ලනු ඇත්තේ මොන්ටිසෝරියේ මැද භාගයේදී විය හැක. (ඇතැම්විට ඊටත් කලින් වනු ඇත). මා ජංගම දුරකතයක් භාවිතා කලේ නොකරාම බැරි අවස්ථාවක ගෙදරට කතා කිරීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසර අග භාගයේ වුවත් මගේ ලමයා අයි ෆෝන් එකක් හෝ අයි පෑඩ් එකක් මගෙන් ඉල්ලනු ඇත්තේ පාසල් යාම ඇරඹීමත් සමගමය.

මා උපයන ධනය මගේ දරුවා සඳහා මදිවනු ඇත. මම මරුටියක් ගත්තේ ලීසින් එකක් දමා තවත් බොහෝ ජංජාල සිදුකර අවසානයේ දීය. නමුත් මගේ ලමයාගේ කාලය වන විට මරුටි ලංකාවෙන් අතුගෑවී ගොස් ඇත. තිබෙන බදු සහන සමග මගේ දරුවා රේසින් කාර් එකක් ඉල්ලන්නේ තම 16 වෙනි උපන් දිනයට පෙම්වතිය බැලීමට යාමට විය හැකිය. ඒ ඉල්ලීම් ලබා නොදුන හොත් මට විරුද්ධව උසාවි යාමට ඔහු පසු බට නොවනු  ඇත. ඇතැම් විට ඔහු එම රේසිං කාරය ඉල්ලනු ඇත්තේ තම පෙම්වතියටද විය හැකිය. එවිට මගේ ආතා මිය යනතුරුත් දෑසින් නොදැකි, මගේ තාත්තා රූපවාහිනියෙන් දැකි, කුඩා කල මම කෙළිබඩුවක් ලෙස සෙල්ලම් කල රේසින් කාරයක් මගේ දරුවාට ඇත්තටම අරන් ‍දෙන්නට වෙනු ඇත.

බුදුන් වහන්සේ පැවසුවේ "අප්පමාදෝ අමත පදං" යනුවෙනි. එනම් අප්‍රමාදව කුසල් රැස් කරන්න යනුවෙනි. මවිසින් දැන්ම තියා අප්‍රමාදීව මුදල් රැස් කල යුතුවන්නේ නූපන් දරුවාගේ  අනාගතයේ ඇතිවිය හැකි "අහිංසක" ආසාවල් වෙනුවෙනි.

මගේ උපන්දිනයකට මම තාත්තාගෙන් ලැබුණු ප්ලාස්ටික් කාරය තවමත් සුරතල් කරමින් සිටිමි.

Tuesday, November 13, 2012

ආයෙත් ඒ සුන්දර ට්‍රැෆික් රාලහාමිලා ගැන කියන වග නම්


කාලෙකට පස්සෙ ඊයෙ මල්ලිලා දෙන්න එක්ක කතා කරන්න සෙට් වුනා. ගෙදර එන්න පරක්කු වෙච්ච හන්ද මාතෘකාව වුනේ ට්‍රැෆික් එක.
"දැන් නම් ඉතින් ට්‍රැෆික් අඩු වෙන්න ඕනෙ. මොකද ට්‍රැෆික් ලයිට් එක ගාව හිටපු රාලහාමිල අයින් කරල"
එක මල්ලි කෙනෙක් කිව්වා.
"ට්‍රැෆික්  ලයිට් ගාව විතරක් නෙමෙයි ඉතුරු තැන් වල ඉන්න එවුන් ටිකත් අයින් කරන්න ඕනෙ ට්‍රැෆික්  හරියන්න"
ඒ අනිත් මල්ලි.
"ට්‍රැෆික් ලයිට් හදල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ ඉන්න මහාචාර්ය වරු එකතුවෙලා. අවුරුදු ගානක පරීක්ෂණ කරල. ඉතින් ඒ මිනිස්සු හදපුවා යට ඉඳන් අට පාස් රාලහාමිලා වාහන යවනවා"
ආයෙත් මල්ලි.

ඉතින් ඔන්න ආයෙත් පොලිස් කතා ඇදෙන්න පටන් ගත්තා. නිකන් පොලිස් නෙමෙයි ට්‍රැෆික් පොලිස්. ඉතින් මේ ඒ දෙක තුනක්.

දවසක් එක මල්ලි කෙනෙක්ගෙ ඔෆිස් එකේ ලොක්කෙක් වාහනේ එලවගෙන යන ගමන් කෝල් එකකට උත්තර දෙන්න පටන් අරන්. (වැඩේ වැරදියි තමයි) ඉතින් රාලහාමි කෙනෙක් දැකල නවත්තල. වාහනෙන් බැහැපු ලොක්කා රාලහාමි ගාවට ගිහින් මෙහෙම කිව්වලු.
"අනේ සර් වැරදි වැ‍ඩේ තමයි සර්. පොඩි හදිස්සි කෝල් එකක් ආවා සර්"
රාළහාමි බොහොම බැරෑරුම් කමට බලලා කිව්වලු
"මහත්තයා කතා කරන්න දන්නවා ඒක හන්දා යන්න" කියල.

තවත් දවසක් මල්ලිගෙ යාළුවෙක්  බයිසිකලේක යනකොට රාලහාමි කෙනෙක් නවත්තල ලයිෂන් එක ඉල්ලලා. යාළුවා නහයෙන් අඬනවලු.
"අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි"
රාළහාමිත් ගේම අතාරින්නෙ නැහැල්ලු.
"දෙනව ලයිසන් එක. මට නහයෙන් අඬ අඬ ඉන්න බෑ"
යාළුව කියන්නෙ එකම දෙයයි.
 "අනේ රාළහාමි ලියන්න එපා රාළහාමි. බෑ රාලහාමි ලයිසන් එක දෙන්න බෑ රාලහාමි"
මේ හෙට්ටු කෙරිල්ල හත් අට වතාවක් වුනාලු. අන්තිමට යාළුවගෙ කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන රාලහාමි "යනව යන්න" කියල යාළුවව එළව ගත්තලු. හැබැයි ඒ යාළුවට දෙන්න ලයිසන් එකක් තිබ්බෙ නෑ කියල රාළහාමි දන්නව නම්....

ළඟදි වෙච්ච සිද්ධියක් මම කලින් පෝස්ට් දෙක තුනක දාල තියනවා. අයියගෙ මගුල් දවසෙ වෙච්ච සිද්ධිය මෙතනිනුත්, වාහන ටින්ටඩ් කරපු සිද්ධිය මෙතනිනුත් අළුත්ම සිද්ධිය මෙතනිනුත් බලාගන්න.

මේ ශ්‍රී ලංකා පොලිසියයි. පොලිසිය මට නඩු දායිද දන්නෙ නෑ. මට නඩු දාල හරි පොලිසිය හැදෙනව නම්..

Tuesday, October 23, 2012

පොලිසිය ලංකාවේ පොලිසිය


ඇත්තම කිව්වොත් ලංකාවේ පොලිසියට හැදෙන තරම් කතා තොගයක් මේ ලෝකයේ කිසිම පොලිසියකට හැදී නැතුවාට කිසිම සැකයක් නැත. ඉරාජ් තම සින්දුවෙන් කියන්නෙත් එවැනි දෙයකි. මෙවැනි දේවල් වැලැක්වීමට පොලිසිය තුලින්ම පියවර නොගැනීම තුලින් අපිට දිගටම කතා කියන්න වාතාවරනක් සැකසී ඇතිබව අපි පවසන්නේ හද පිරි සතුටිනි.

පොලිසිය ගැන මට කියන්න තියන අළුත්ම කතාව සිද්ධ වුනේ මේ ළග‍දී දවසක මම නුවර යන අතරතුර දීය.එම කතාපුවත සැකෙවින් මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

මමත් යාළුවාත් කයියක් දා ගෙන පාරේ යන අතරතුර අව්කන්නාඩි දාගත් රාළහාමි කෙනෙක් මාගේ වාහනයට අත දැමුවාහුය. ඉදින් උදේ දහයටත් මේ සා අවුරශ්මියක් විද දරාගත නොහැකි සද මොවුන් කුමන තරම්වූ කාර්යය භාරයක් පොලිසිය වැනි ගාම්භීර ආයතනයක කරනු ලබත්හුදැයි මා හා මා මිතුරා සිතුවාහුය. මා ඉදිරිපසින් හා පසු පසින් නවත්වා ඇති රථ දැකුමෙන් එම පොළිස්  රාළහාමියෝ කුමන ආකාරයක වාහන භීතිකාවකින් පෙලෙන්නේදැයි මා සැක කලෙමිය. ඉදිරි පසැ රථය ඩීමෝ බට්ටෙක්යැ. මා සතුවන්නේ සුන්දර මරුටියැකි. මා පසුපස වන්නේ ටාටා නැනෝවකි. එමැ පොලිස් නිළධාරී තොමෝ කුඩා වාහන භීතිකාව නැමැති රෝගැයෙන් පෙලෙන්නේ යයි මට වැටහී ගියේ වාහන දුටු අවසැනය.පොලිස් තොමෝ මා අසැලට නොපැමිණියාහුය. 

ඉක්බිති අනෙක් රථාචාරීන් සිදුකලාක් මෙන් මම තොමෝ බලපත්‍ර කඩැදාසී අතැතිව රියෙන් බැසැ පොළිස් තොමෝ අසලැට ගෑටුවාහුය.

පොලිස් තොමෝ බලපත්‍ර කඩැදාසී දෙස ඇස් කොනකින් වත් නොබලා මහ හඩින් ගර්ජනා නොකැට මා ප්‍රශ්න කිරීමේ කටයුත්තේ යෙදුනහ.

"යුෂ්මත තමා රථයේ පැමිණියේ සීට් බෙල්ට් පැළදගෙනදැයි"පොලිස් තොමෝ මගෙන් ඇසුවාහුය
මම එසේයයි පිළිවදන් දු‍න්නෙමි.

එසේ නම් යුෂ්මතාට නැවත ගමන් ආරම්භ කල හැකියයි පොළිස් තොමෝ පැවසුවාහුය.

ඉදින් මම නුවර ගොස් සිරි නැරඹුයෙමි. මා සීට් බෙල්ට් පැළද සි‍ටියාදැයි ම මුඛයෙන් අල්ලාගනු රිසියෙන් ඔවුන් ප්‍රශ්න කලබව මා හට වැටහුනේ ප්‍රමාදවැයැ. මා‍ගේ ජන්ම පත්‍රයේ කාලය නිවැරදි වු නිසා ම මුඛයෙන් නිවැරදි පිළිවදන් පිටවිය.

අහෝ පොළිසියැ!.

Tuesday, October 09, 2012

ශ්‍රී ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුදුපිලිමය


කාලෙකට පස්සෙ ගෙදර අය චාරිකාවක් යන්න සූදානම් වුනා. ඒ සෝමාවති පුදබිමට. ඒ යන අතරතුරේ කුරුණෑගල ඉදිවෙන ලංකාවෙ විශාලම ශෛලමය සමාධි පිළිම වහන්සේ බලන්නත් අමතක කලේ නෑ.
මේ ශෛලමය පිළිමය තියෙන්නෙ කුරුණෑගල දඹුල්ල පාරෙ. රිදීවිහාරය පිහිටලා තියන ඉසව්වෙම තමයි. විහාරයේ නම රම්බඩගල්ල මොණරාගල විහාරය.





විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි හාමුදුරුවන්ගේ අදහසක් අනුව මේ පිළිමය 2002 වසරේ සැප්තැම්බර් 13 වෙනි දින ඉන්දියානු ශිල්පියෙක් වන පද්ම ශ්‍රී නාමයෙන් පිදුම්ලැබූ ඇම් ඇම් ස්තපති මහතා විසින් ආරම්භ කලා. දැන් අවුරුදු 10 ක් පුරාවටම මේ පිළිමයේ ඉදිකිරීම් සිද්ධ වෙනවා. පිළිමයේ උස අඩි 67.5ක්.  ඇෆ්ගනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශයෙන් පස්සෙ ඇතිවෙච්ච අදහසක් එක්ක මේ පිළිමය හසන්න පටන් අරන් තියනවා. දැනට වියදම ලක්ෂ 440ක්. දැන් නම් පිළිමයේ වැඩකටයුතු ‍හුඟක් අවසන්.
ඒත් පිළිමයේ වැඩ සම්පූර්ණ තරන්න තව අවුරුදු 1 1/2ක් විතර යනවලු.

පිළිමය ගැන නම් රසවත් කතා බොහොමයක් තියනවා. කුරුණෑගල පැත්තෙ යනව නම් මේ පන්සලට ගොඩවැදිලා ඒ කතාත් අහගෙනම යන්න. මේ විශාල නිර්මාණය කරන්න දැන් ඉන්දියානු ශිල්පීන් අට දෙනෙක් පමණ පැමින සිටිනවා. ඔවුනට ගෙවන වේතනයත් රැස්වෙන්නෙ පිළිමයට ලැබෙන ආධාර වලින් තමයි. මේ සුවිශේෂි නිර්මාණයෙ වැඩිවිස්තර දැනගන්න ඕනෙ නම්

වෙබ් පිටුව - http://samadhibuddhastatue.lk
දුරකතන අංකය - +94 372 252 018
ෆැක්ස් අංකය - +94 372 252 018
ජංගම දුරකතන අංකය - +94 712 282 003 (රත්නසිරි පියවංශ මහතා - මාධ්‍ය නිලධාරී)
විද්‍යුත් තැපෑල - info@samadhibuddhastatue.lk හෝ amaramoli@gmail.com

මෙම පිළිමයේ වර්ථමාන තත්ත්වය විදහා දැක්වෙන මගේ කැමරාවේ රැඳිච්ච ඡායාරූප පෙලක් මේ. 
 
 පන්සල පිහිටා ඇති උස් කඳුමුදුනට ගමන් කරන ගල් තලාව.


උත්තිටිඨේ නප්පමජ්ජෙය්‍ය



පිලිමයේ වර්ථමාන ස්වරූපය
 
පන්සල මළුවේ සිට ලබාගත් අසාර්ථක පැනෝරාමා උත්සාහයක්. (ඡායාරූප 04ක් එකතු කර සාදන ලදී)

Monday, September 24, 2012

ලංකාවේ ආගන්තුක සත්කාරය සහ බිස්කට්


ටික කාලෙකට කලින් ලබපු අත්දැකීමක්. ළගදි ඇදිච්ච කතාවක් හන්දා මතක් වුනේ.

රූපවාහිනියෙ බිස්ක‍ට් ගැන වෙළද දැන්වීමක් ගියා. එතන හිටපු කෙනෙක් කිව්වෙ ලංකාවෙ තරම් බිස්කට් විකුණන රටක් තව නැතුව ඇති කියල. ඒවගේම තව කෙනෙක් කිව්වා ලංකාවෙ තරම් රස බිස්කට් වෙන කොහෙවත් නැතුව ඇති කියල.

ඉතින් මේකට තමයි මගෙ අත්දැකීම සම්බන්ධ වෙන්නෙ.

ඇයි ලංකාවෙ බිස්කට් මෙච්චර ජනප්‍රිය. හැම මනුස්සයම කන හන්දද? ඇයි බිස්කට් වැඩිපුර පාවිච්චි වෙන්නෙ.

නෑදෑ ගෙදරකට අරන් යන්න.

නෑදෑ ගෙදර ගියහම‍ තේ බොන වෙලාවක නම් අපිට හම්බවෙන්නෙ මොනවද? ඒ වෙලාවට අහන්නෙ මොකක්ද? තේකක් බොනවද? නැත්තම් කූල් එකක් බොනවද? ඒ තේක හම්බවෙන්නෙ එක්කො බිස්කට් එකක් එක්ක. නැත්තම් කේක් කෑල්ලක් එක්ක.

ඉතින් ඔය ආගන්තුක සත්කාරෙ හම්බවෙන්නෙ ලංකාවෙන් විතරයි.
ලංකාවට එන හුඟක් විදේශිකයෝ හරිම කැමතියි අපේ රටේ ආගන්තුක සත්කාරෙට.

ලංකාවෙ හුගක් දෙනාට ඒකෙ තේරුමක් අගයක් නෑ. ඒකෙ අගේ තේරෙන්නෙ ආගන්තුක සත්කාර නොදන්නා රටකට ගිහින් අපහසුතාවය‍ට පත්වෙන වෙලාවට.

මම ටික කාලෙකට කලින් රාජකාරි කටයුත්තකට අපේ අල්ලපු රටට ගියා. ඒකෙදි මට වැඩකරන්න වුනේ මුළු රටම පිලිගත්ත රොකට් සයින්ස් වලින් වැඩ කරන කෙනෙක් එක්ක. වයසින් නම් මගෙ තාත්තගෙ වයසෙ විතර ඇති. ඉතින් දවසක් මම එයාගෙ ගෙදර ගියා. (යන්න වෙච්ච හන්දා) .

ගෙදර ගියහම වාඩිවෙන්න කියල කියන්නවත් ආගන්තුක සත්කාරයක් එතුමා දැනගෙන හිටියෙ නෑ. අපි නම් ගෙදරට කෙනෙක් ආවහම ඉස්සෙලම කියන්නෙ වාඩිවෙන්න කියලනෙ.

ඉතින් පැය දෙකක් විතර අපි වැඩකලා. නමුත් පොඩි බීම එකක්වත් නෑ. මම ඇහැව්වා වතුර ටිකක් ඕනෙ බොන්න කියල. මට හම්බවෙච්ච උත්තරේ තමයි මුළුතැන්ගෙට යන පාර පෙන්නලා එතන ඇති බොන්න කියපු එක. අපි තමයි වීදුරුවකට වතුර පුරවලා පීරිසියක තියලා අමුත්තන්ට සංග්‍රහ කරන්නේ.

එහෙම දවස් ගානක් අපි එකට වැඩ කරනකොට සුහදත්වයක් ඇතිවුනා. කොහොම හරි දවසක් මම දවල්ට කන වෙලාවෙ ඒ ගෙදර හිටියා. ඒ වෙලාවෙ මට ලැබිච්ච උපදේශය තමයි පාරෙන් එහා පැත්තෙ තියන කෑම කඩයට ගිහින් කෑම කන්න කියන එක. මම කිව්වා මම ඔබත් එක්ක කෑම ගන්න කැමතියි කියල.

ඒවෙලාවෙ කිව්වෙත් ඒක එච්චර අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඔබට අවශ්‍යය නම් කෑම එකක් අරන් එන්න කියන එක විතරයි.

එතුමා ආගන්තුක සත්කාරය කියන දේ ඉගන ගත්තෙ ඊට හය මාසෙකට විතර පස්සෙ ලංකාවට ආපු වෙලාවෙ. අපි ඒ මිනිස්සුන්ට අපිට පුළුවන් විදිහට සැලකුවා. අන්තිමට ඇහැව්වෙ ඇයි මෙහෙම සංග්‍රහ කරන්නෙ කියල විතරයි.

මට කියන්න ඉතුරුවෙලා තිබ්බෙ ඒ අපේ හැටි කියල විතරයි.

අපේ රටේ ආගන්තුක සත්කාරය ගැන මීටත් වඩා දිග සටහනක් තැබීම අවශ්‍යය නෑ කියල මට හිතෙනවා.

Thursday, September 13, 2012

කේ ෆෝ කැරට්

කාර්යාලෙ වාඩි වෙලා වැඩ කර කර ඉන්නකොට ළඟපාත ඉන්න යාළුවෙකුට දුරකතන ඇමතුමක් ආවා.
" හලෝ... යේස් ස්පීකිං"
දැන් එහාපැත්තෙ කෙනා නමක් අහනවා.
"යේස් යේස් හිස් නේම් ඉස් කනකරත්න"
එහාපැත්තෙන් ඉන්න සුද්දා (සුද්දද දන්නෙ නෑ. කඩ්ඩ වනන හන්දා සුද්දා වෙන්න ඇති කියල හිතුනා) ඒක ලියන්නෙ කොහොමද අහනවා.
"යේස් යේස් කනකරත්න. රයිට් ඉට් ඩවුන්. කනකරත්න."
සුද්දට තේරෙන්නෙ නැද්ද ඇහෙන්නෙ නැද්ද දන්නෙ නෑ. අපේ මිනිහ ආයි උත්තර දෙනවා.
"කනකරත්න යේස් යේස් කේ ෆෝ කැරට්"
 

Thursday, August 16, 2012

මා ඇසූ බණ - මට හිතුන දේ

ඊයෙ පාන්දර ගෙදර රූපවාහිනිය දාල. හාමුදුරුවන් වහන්සේ කෙනෙක් බණ කියනවා. ඉස්සරහ ඉඳන් අහන්න තරම් ඉස්පාසුවක් නැති හන්ද වැඩවලට යන එන ගමන් බණ ටික ඇහැව්වා.

හාමුදුරුවො කිව්වෙ දීඝායූ කුමාරයාගෙ කතාව. පොඩිකාලෙ අහල තිබ්බවුනත් ආයි අහන්න තරම් ලස්සනට හාමුදුරුවො බණ ටික කිව්වා. බණ ගැන ටිකක් හිතන්න වෙලාවක් ආවෙ උදේට කෑම කන අතරෙ.

ඒ බණ වලදි දැන් කාලෙ වෙන දේවලුත් මට හිතුනා. ඉතින් ලියන්න හිතුනෙ ඒවා.

දීඝායූ කුමාරයගෙ දෙමව්පියන් වධකයා රත්මල්මාලා දාලා මරණයට එක්ක යන මොහොතෙ දීඝායූ කුමාරයා ඔවුන් ඉදිරියට එනවා. මේ දේ දැක්ක කුමාරයගෙ තාත්තා තමන්ගෙ පුතාට අනර්ථයක් වෙයි කියල හිතල අර හැමෝම අහල තියන කතාව කියනවා.
"පුත දීඝායු! දුර බලන්න ලඟ නොබලන්න"
මෙන්න මේ කතාව ඇහෙනවා ලංකාවෙ ඉන්න ඇඩ්වර්ටයිසිං ඒජන්සියක ඉන්න, ආගම දහම, වටපිටාව, වගේ දේවල් දන්නෙ නැති "ක්‍රියේටිව් ඩිරෙක්ටර්" කෙනෙක්ට. (තරහ වෙන්න එපා එහෙම කිව්වට. හැම  ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්ම එහෙම නෙමෙයි. ඒත් සමහරු නම් ගන්න දෙයක් නෑ.)

ඉතින් මිනිහට අළුතෙන්ම ඇවිත් තියන ප්‍රොජෙක්ට් එක තමයි ඇස් කන්නාඩි වෙළඳ දැන්වීමක්. ඉතින් මිනිහා වැඩට බහිනවා.
දීඝායු ඔප්ටීෂන්ස්. - ඔබට පෙනෙන්නේ දුරද නැත්තම් ලඟද? තවත් දුර බැලීමට ඔබ ලතැවිය යුතු නොවේ.
දැන් දීඝායු කුමාරයා ඉතාමත් අමාරුවෙන් රජ වාසලේ රැකියාවක් හොයාගෙන රජතුමාගෙ විස්වාසවන්තම සේවකයා වෙනවා. ඔන්න දවසක් දෙන්නම කැලේ ගිහින් අතරමං වෙනවා. රජතුමාට මහන්සියට නින්ද යනවා. මේ වෙලාවෙ දීඝායු කුමාරයට පරණ කෝන්තර මතක් වෙනවා. රජතුමාගෙ මගුල් කඩුව (කැපෙන්නෙ නැති හන්ද මගුල් කඩුව කිව්වා නෙමෙයි ඔන්න. රජතුමාගෙ කඩුවට කියන්නෙ මගුල් කඩුව, රජතුමාගෙ ඇතා මගුල් ඇතා, රජතුමාගෙ අස්සයා මගුල් අස්සයා, රජතුමාගෙ මරණය - මළ මගුල) තියෙන්නෙ කුමාරය ගාව. කුමාරය කීප පාරක් රජතුමා ගෙ හිස සිඳින්න හදනවා. ඒත් මතකයට එන්නෙ තමන්ගෙ තාත්තා අවසානයට කියපු වචන ටික. ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට ගිහින් කුමාරයට රජකම දෙනවා. ඒ කතාව ඉවර වෙන්නෙ එහෙමයි. ඒත් මේකාලෙ අවසානය පොඩ්ඩක් වෙනස්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට එක්ක ගෙන යනවා. ගියපු ගමන් කරන්නෙ කුමාරයගෙ හිස ගසා දාලා කුමාරයාට පරලොව රජකම අරන් දෙන එක.

එහෙම නැත්තම් මෙහෙම වෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා කුමාරයාගෙන් වෙච්ච දේට සමාව අරගෙන රජ වාසලට යන අතරතුරදි "සුදු" අශ්ව රථයක් ඇවිත් දීඝායු කුමාරයා පැහැරගෙන යන්නත් පුළුවන්.

මේ ඉවර වෙන්න පුළුවන් තවත් විදිහක්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා.

ඒ කතාවෙ මෙහෙම අවසානයක් තියෙන්නත් පුළුවන්.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා ඒ කුමාරය කිව්වා රජතුමනි වැරැද්ද මගේ. ඒක හන්ද එකපාර මා මරන්න කියල. ඉතින් වැරදි කරපු මිනිස්සු දඬුවම් විඳින්න ඕනෙ. ඒක හන්ද මම ගස් බැන්ද ෂ් ෂ්... වැරදුනා ඒක හන්ද මම කුමාරයව මැරුව කියල.

කල්පනා කරල බලනකොට මෙහෙම අවසානයක් තියෙන්නත් බැරි නෑ.

ඉතින් රජතුමාව ඉවරයක් කරන්නෙ නැතුව ඉඳල රජතුමා නැගිට්ටහම මේ විස්තරේ කියනවා. රජතුමා කුමාරය ගැන පැහැදිලා රජවාසලට යන්න ලෑස්ති වෙන ගමන්  කුමාරයාගෙන් රජතුමාගෙ මගුල් කඩුව ඉල්ලගන්නවා. කුමාරය ඒක දුන්න ගමන් රජතුමා කුමාරයව කම්බස් කරනවා. ඊට පස්සෙ මාලිගාව ඇවිත් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. කුමාරය රටේ ප්‍රධාන චරිතයක් හන්ද ‍රටේ මාධ්‍යවේදියො ඒක ගැන ප්‍රශ්න කරනවා. රජතුමා  ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියනවා. තියල කියනවා මම ඒ වෙලාවෙ නිදාගෙන හිටියෙ. මට මුකුත් මතක නෑ ඕයි!

Wednesday, July 18, 2012

මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?

ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච තවත් පොඩි කතාවක් ලියන්න හිතුනා. මේක බාලිකා විද්‍යාලවලට ගිය අයට හොඳට තේරෙයි. (ඇරෙන වෙලාවට ලඟට යන අයට නෙමෙයි). පිරිමි ඉස්කෝල වලට යන අයට එච්චර විශේෂයක් වෙන එකක් නෑ. මිශ්‍ර පාසැල් වලට ගිය අයට කොහොම තේරෙයි ද දන්නෙ නෑ.

මේක වුනේ අපේ ඉස්කොලෙ උසස් පෙළ කරන දවස් වල. මේක තනිකරම කොල්ලො හිටපු ඉස්කෝලයක් හන්ද ගැහැණු ලමයි ගැන ඉතින් අපි දන්නෙ නෑ.

අපිට උසස්පෙළ උගන්නපු ගුරුවරු හරිම කැපවීමෙන් ඉගැන්නුවා. (අපේ කැපවීමක් තිබ්බෙ නැතිවුනාට) අපිට ශුද්ධ ගණිතය ඉගැන්නුවෙ හර්ෂණී මිස්. ටිකක් හෙමින් කතා කලත් මිස් හරි හොඳයි. මිස්ට හිටියෙ පොඩි දුවෙක්. දවසක් මිස් දුවව ඉස්කෝලෙ ඇරිල එක්කගෙන ආවා. (දුව ගියෙ විශාකා එකට. එක වස‍රට ඇතුලත් වුනේ ඒ අවුරුද්දෙ.) ඉතින් මිස් උගන්නන ගන්න කොට පන්තියෙ උන්ට හරි ප්‍රශ්න.

"මිස් මේ මිස්ගෙම දුවද?"
"ඔව් මගේ තමයි"
"ඒක තමයි. නංගී මිස් වගේමයි"
"මිස් ගෙ දුව මිස් වගේ වෙන්නෙ නැතුව උඹලගෙ නංගි වගේ වෙන්න කියලද කියන්නෙ"
පන්තියෙන් සිනා....
"මිස් දුව මේ අවුරුද්දෙද ඉස්කෝලෙ ගියෙ"
"ඔව් මේ අවුරුද්දෙ තමයි ඉස්කෝලෙ දැම්මෙ"
"කොහොමද මිස් විශාකා එකට දැම්මෙ"
"සල්ලි දුන්නද?"
"ලමයි අපි  පාඩම කරමුද?"
"මිස් සල්ලි දුන්නෙ නැත්තම් කොහොමද ඉස්කෝලෙට දැම්මෙ"
පන්තියෙ ඉන්න රොබට් ට මාරම ප්‍රශ්නයක් තමයි ඉස්කෝලෙට දාපු විදිහ. රොබා බැරිම තැන මිස්ගෙන් මෙහෙම ඇහැව්වා.
"මිස් විශාකා එකේ ඕ.බී.ඒ එකේ ඉන්නව නේද?"
මිස් ඇත්තටම ගිහින් තියෙන්න විශාකා වුනාට මිස් මේ ප්‍රශ්නෙන් ටිකක් අන්ද මන්ද වුනා.
"පුතා විශාකා එකේ ඕ බී ඒ එකක් නෑ. ඒකෙ තියෙන්නෙ ඕ ජී ඒ එකක්"
දන්න කාලෙ ඉඳන් කොල්ලො විතරක් ඉන්න ඉස්කෝල වලට ගියහම මෙහෙම දේවල් වෙනවා.

Tuesday, July 17, 2012

පාලිත ලොක්කට Wish කරපු හැටි


මේක සිද්දවුනේ මම කලින් වැඩ කරපු තැන. මේ සිද්ධිය වුන එක්කෙනාගෙ නියම නම කියන්න නම් බෑ. අපි එයාට පාලිත කියමු. පාලිත වැඩකලේ ඒ ආයතනයේ ලීගල් ඔෆිසර් හැටියට. පාලිත  අවුරුදු 45ක් විතර තරුණ කොල්ලෙක්. මොකද මිනිහා බැඳලා නෑ. (සිකුරු හතේ ෆිල්ම් එකේ හැටියට මිනිහා කොල්ලෙක්). අනික හැම වෙලාවෙම ඉන්නෙ "අම්මි" එක්ක. ඒතරම් පොඩි කොල්ලා.

පාලිත හරි ආසයි ලොක්කට ගොට්ට අල්ලන්න. වැඩ කරන වෙලාවට ඒතරම් යටහත් පහත් සේවකයෙක් හොයාගන්නත් නැති තරම්. ලොක්ක ගාවට යන්නෙ දෙකට තුනට නැමිලා.

පාලිතගෙ පොඩි පුරුද්දක් තිබ්බා වැඩට එන්නෙ විනාඩි 10ක් විතර පරක්කුවෙලා. විධායක ශ්‍රේණියෙ හන්ද එච්චර ප්‍රශ්නයකුත් නෑ.

අනික පාලිත එයාට වඩා පහල මට්ටමේ සේවකයන්ට සැලකුවේ හි‍ට්ලර් වගේ ආදරෙන්. පොටෝ කොපියක් ඔනෙ නම් ඒක පො‍ටෝ එකකම කොපියක් එන්න ඕනෙ. මැෂින් එකෙන් එලියට එන්න කලින් ඒක එයාගෙ අතේ තියෙන්න ඕනෙ. ඔය වගේ බ්‍රහ්ම නීති හන්ද සුළු සේවකයො ඔක්කොම හරි ආදරෙයි පාලිතට.

ඉතින් දැන් තමයි කතාව කියන්න යන්නෙ.

අපේ ලොක්කට ලොකු උසස් වීමක් හම්බවුනා. ඒක අපි දන්නෙ උදේ ආවහම. ඉතින් හැමෝම පේලියට ගිහින් ලොක්කට විෂ් කරන්න ගත්තා. පාලිත එන්නෙ විනාඩි 10 ක් පරක්කු වෙලානෙ. ඉතින් අන්තිම දෙතුන් දෙනා තමයි විෂ් කර කර හිටියෙ.

හැමෝම ලොක්කට විෂ් කරන වෙලාවෙ මිනිහ විතරක් විෂ් නොකර ඉන්න එක හරි ප්‍රශ්නයක්. ඉතින් ෂේප් එකේ පියන්ට කතා කලා.

"මොකද අයිසේ ලොක්කට හැමෝම විෂ් කරන්නෙ?"
මේ වෙලාවෙ තමයි පියන් අයියට ගණ දෙවි නුවන පහල වුනේ. මිනිහා ගත්ත කටටම කිව්වා
"ඇයි සර් දන්නෙ නැද්ද? අද බොස් ගෙ උපන් දිනේනෙ"
පාලිතට දැන් හරි. මිනිහ කලිසම ෂර්ට් එක එහෙම හදා ගෙන  විෂ් කරන්න යන්න හදනකොටම ලොක්කත් වීදුරු කාමරෙන් එලියට ආවා. අපේ මිනිහ පැන්න ගමන් අතට අත දීලා කියපි
"Many Happy returns of the day Mr.Perera"
ඔන්න ඉතින් ලොක්කා තුෂ්ණීම්භූත වෙලා බලන් ඉන්නවා. පාලිතටත් ටිකක් අප්සෙට් වගේ. අපේ සෙට් එකත් පැත්තකට වෙලා අතින් කට වහගෙන හිනාවෙවී බලන් ඉන්නවා.
"Why Mr. Perera?"
පොර ආයෙත් අහනවා. ඉතින් ලොක්ක උත්තර දුන්නා.
"No Palitha, today is not my birthday. Any way thanks for your wishes"
ඊට පස්සෙ ලොක්ක යන්න ගිය ගමන ගියා. පාලිතත් පාඩමක් ඉගන ගත්තා මං හිතන්නෙ. අපිත් ෆුල් ෆන් එකක් ගත්තා රතු වෙච්ච පාලිත‍‍ගෙ මූණ බලලා.

Friday, June 15, 2012

තවත් පොටෝ කතාවක්

මේක නම් මට වෙච්ච දෙයක් නෙමෙයි. මාත් අහපු කතාවක්. කියවන අයටත් නිකන් දැනගන්න වගේ දාන්නෙ. මේ කතාවට සම්බන්ධ වෙන්නෙ පත්තරේක දෙන්නෙක්. එක්කෙනෙක් ඡායාරෑප ශිල්පියෙක්. අනිත් එක්කෙනා රිපෝටර් කෙනෙක්. ඉතින් දවසක් මේගොල්ලන්ගෙ කතෘ තුමා මේ දෙන්නට කතා කරල කිව්වා දුරපලාතක මිනී මැරුමක් ගැන වාර්තාවක් හදන්න කියල. මේ දෙන්නට යන්න වෑන් එකකුත් හම්බවුනා. ඉතින් මේ දෙන්නා ගිහින් එනකොට රෑ වුනා. මගදි පොලිසියෙන් වාහනේ නැවැත්තුවා.

"කොහෙද තමුන්ල දෙන්න යන්නෙ?"
රාලහාමි ඇහැව්වා.
"මිනීමැරුමක් සම්බන්ධ වැඩකට ගියා රාළහාමි"
රිපෝටර් ඇත්තම කිව්වා. පොළිසියට දැන් තරමක් අවුල්. කොයිකටත් කියල මේ දෙන්නගෙ ලට්ට ලොට්ට එක්ක වාහනෙන් බැස්සුවා. ඊට පස්සෙ රාළහාමි කෙනෙක් වාහනේ පරික්ෂා කරන්න පටන් ගත්තා. වෑන් එක ඉස්සරහ මොනවද පොදියක්.
"මේ වාහනේ ඉස්සරහ තියන පාර්සලේ මොකක්ද?"
රාලහාමි ඇහැව්වා. එතකොට තමයි ඡායාරූප ශිල්පියට මතක් වුනේ කැමරා එකේ ෆ්ලෑෂ් ගන් එක ඉස්සරහ තිබ්බ කියල. ඔය ෆ්ලෑෂ් ගන් එකට කෙටියෙන් ගන් එක කියලත් කියනවනෙ. ඉතින් ඡායාරූප ශිල්පියා ඒ ගමන්ම රිපෝටර්ට කිව්වා
"මචං ඔය ගන් එක ගනින්. මට ඒක ගන්න අමතක වුනා"
කියල. ඊට පස්සෙ ඇහුනෙ දුවන සද්දයක්. ඒ රාළහාමිල බය වෙච්ච පාර.
 
 

Wednesday, June 13, 2012

අපේ සිංහල දැනුම


අපි හරියට සුද්දො වගේ. ඒත් ඉතින් නමට විතරයි. සමහර විට අපි කරන කියන දේවල් අපිම දන්නෙ නෑ. ඒකට ඉතින් කරන්න දෙයකුත් නෑ. පහුගිය දවසක අපේ මේ සුද්දො වෙන්න හදන සිංහල අය හන්දා වෙච්ච දෙයක් හන්ද පෝස්ට් එකක් දාන්න හිතුනා. එතකොට තව මම අහපු සිද්ධියකුත් මතක් වුනා. ඒකත් දාන්න කියල හිතුවා. මේවා දාන්නෙ ඉතින් හිනායන්න නෙමෙයි. අපේ භාෂා ප්‍රවීනතාවය ගැන අපිටම හිනාවෙන්න. ඔන්න පළවෙනි සිද්ධිය. මේක මට වෙච්ච එකක් නෙමෙයි. මම අහපු එකක්.

ස්ථානය - ළදරු පාසලක් (සිංහලෙන් කියනවනම් මොන්ටිසෝරියක්)
වේලාව - සිඟිත්තන් සෙට් එකක් තරුණ ගුරුතුමී එක්ක ළමා ගීයක් ගායනා කරන අවස්ථාව

"චුට්ටන් බට්ටිච්චා - දංගෙඩියක් දැක්කා - චූටි හොටෙන් ඇන්නා ....."
පොඩි එකෙක්ට ප්‍රශ්නයක්.
"ටීච, දංගෙඩිය කියන්නෙ මොකක්ද?"
ටීචර් ටක් ගාල උත්තර දුන්නා.
"දංගෙඩිය කියන්නෙ පුතා රජකාලෙ රාජ ද්‍රෝහින්ගෙ හිස ගසා දාන්න පාවිච්චි කරපු ලී කුට්ටිය"

දැන් දෙවනි කතාව.

හදිස්සි ඡායාරූප ගැනීමේ කටයුත්තකට පෞද්ගලික ආයතනයකට ගිය වෙලාවෙ සිද්දවෙච්ච දෙයක්. ආයතනයෙ උත්සවය තියෙන්නෙ පහුවෙනිදා. මම එතනට ගියෙ විස්තර දැනගන්න. එතන හිටියෙ අවුරුදු 45-50ක් වෙච්ච (නාකි ඒත් තරුණ වෙන්න හදන) ලේකම්වරියක්. ඉතින් මේ ගෑනි (ආහ් වැරදුනා) මේ මහත්මිය, නංගි, කෙල්ල ඕනෙ එකක් හිතාගන්න. මට හෙ‍ට එන්න පාස් එකක් දෙන්න මගෙ විස්තර අහගත්තා. ඊට පස්සෙ තොල් උල්කරල සුද්දියෙක් වගේ සිංහලෙන් මගෙන් අහනවා
"මිස්ටර් ලියනගේ, ඔයාත් එක්ක සපෝර්ට් එකට තව කවුරුහරි එනවද?"
මටත් ඉතින්  තනියම යන්න මොකකද වගේනෙ. ඉතින් මම කිව්වා
"ඔව් මිස්, බොහෝවිට එයි"
එතකොට මේ ඇන්ටි මගෙන් අහපි,
"අනේ මිස්ටර් ලියනගේ එහෙනම් මට මිස්ටර් බොහෝවිට ගෙ සම්පූර්ණ නම දෙන්න" 
 
 

Tuesday, May 29, 2012

ප්‍රේමයේ තරම

මේක මේ පොඩි කතාවක්. සමහරු අහලත් ඇති. ඊයෙ මොකක් හරි දේකදි මතක් වෙච්ච හන්ද දන්නෙ නැති අය වෙනුවෙන් ලියල දාන්න හිතුවා.

ඔන්න එක ටවුමක ඉස්කෝලෙක 11 වසරෙ විතර ලමයෙක් ඒ ඉස්කෝලෙම තවත් ගෑණු ළමයෙක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා. ඒ කියන්නෙ අර මෙව්ව සම්බන්ධයක්.

පටන් ගෙන ටික දවසක් යනකොට මේක ගුරුවරුන් අතරටත් ගියා. ඉස්කෝලෙ විදුහල්පති තුමාගෙ කණටත් මේක යන්න වැඩි දවසක් ගියෙ නෑ.

ඉස්කෝලෙ විනය තියාගන්නත් එපායැ. ඉතින් විදුහල්පති තුමා මේ ලමයව තමන්ගෙ කාමරයට කැ‍‍ඳෙව්වා. ඊට පස්සෙ ප්‍රශ්න කලා. ලමයා කියනවා එහෙම දෙයක් නෑමයි කියල.

එහෙනම් උඹල දෙන්න අතරෙ තියෙන්නෙ කොයි වගේ දුරදිග ගිය සම්බන්ධයක්ද? විදුහල්පති තුමා ඇහැව්වා.

මේ වෙලාවෙ දහයෙ පන්තියෙ පද්මා මිස් ආවා නාමලේඛනේ තියන්න විදුහල්පති කාමරයට.

කොල්ලට ඕනෙ වුනේ තමන්ගෙ සම්බන්දෙ යාළුකමක් සහෝදර කමක් කියල කියන්න. ඉතින් මූ විදුහල්පති තුමාට මෙහෙම කිව්වා.

"සර් ඒක හරියට සර්රුයි මේ පද්මා මිසුයි අතර තියන සම්බන්ධය වගේ එකක්"

"මොනව බොල තෝ ඒ තරම් වනචරයෙක්ද? කියල විදුහල්පති තුමා අර ලමයාට වේවැලෙන් ගහගෙන ‍ගහගෙන ගියාලු.

මොරාල් ඔෆ් ද ස්ටෝරි - උදාහරණ දීමට පෙර උදාහරණ සම්බන්ධ වටපිටාව හොඳින් හොයා බලන්න

Monday, May 07, 2012

වෙසක් සැරසිලි + බණ + RGB සහ තවත් කතා

පසුගිය සතියෙ වෙච්ච දේවල් සහ තවත් ටිකක් ලියන්නයි හදන්නෙ. ගිය ගමන පෝස්ට් එකෙන් පස්සෙ ඊට අදාල ලමයා ඒක කියවලා නෝක්කඩු ටිකක් කිව්වා. ඕවා පෝස්ට් වල දානවද කියල අහලා. අනේ මන්දා ඉතින් ඕවා.

ඒක කමක් නෑ ඉතින්. මේ ගමන ලියන්න යන පෝස්ට් එක පහුගිය ටිකේ වෙච්ච දේවල් සහ තවත් එහෙන් මෙහෙන් ආරංචි වෙච්ච ඒවත් එකක් ලියන්න යන්නෙ. හැබැයි මේවාගෙ ටිකක් තාක්ෂණික කතා තියෙන්නෙ. සිංහලෙන් ටෙක්නිකල් කියන්නෙ. නොතේරුනොත් තරහ වෙන්න එපා.  

වෙසක් උත්සවයට බණක් කියන්න කියලා කාර්යාලයේ සගයො ටික සූදානම් වුනා. ඉතින් කාර්යාලය සරසන්න ඉතින් කට්ටියම කතාවෙලා සල්ලි එකතු කරල එක්කෙනෙක්ව යැව්වා කඩේට සව්කොළ ගේන්න. ඉතින් ටික වෙලාවකින් සව්කොල ගොඩකුත් අරන් අපේ මිත්‍රයා ආවා. 

ඉතින් මේ සැරසිල්ලට අපි මුලින් හිතාගත්තෙ බෞද්ධ කොඩිය. ඉතින් ඒකට ගැලපෙන පාට අරන් මිත්‍රයා ආවා. 
සරසන්න පටන් ගත්තා.

"කෝ කොළ පාට ගෙනත් නෑනෙ"
අපි නොහිතපු ප්‍රශ්නයක් මතුවුනා. 
"කොළ පාට කොහෙද බෞද්ධ කොඩියෙ?" 
" ඇයි මොකද නැත්තෙ"
ඔන්න දැන් අපේ  බෞද්ධයන්ගෙ විවාදයක් මතුවේගෙන එනවා.
"කොළ පාට තියෙන්න ඕනෙ.  RGB (Red Green Blue) නැතුව කොහොමද අනිත් පාට තියෙන්නෙ"
අපේ බෞද්ධයො හුඟක් පරිගණක එක්ක කළවම් වෙලා ආගමික දේවල් හිතන්නෙත් ඒ විදිහට. පස්සෙ එලියෙ එල්ලල තිබ්බ  බෞද්ධ කොඩියක් පෙන්නල තමයි  RGB තිබ්බට කොළ පාට ඒකෙ නෑ කියල ඔප්පු කලේ.

දැන් දෙවෙනි කතාව. 

කාර්යාලෙ වැඩකරනවා සුද්දෙක්. කාලයක් තිස්සෙ වැඩ කරන හන්දා සිංහල එහෙන් මෙහෙන් පුළුවන්. ඒත් සමහර දේවල් තේරුම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනෙ. සුද්දා කරන්නෙ Cloud Computing. ඕක ඉතින් සිංහලෙන් හිතුවොත් කියන්න වෙන්නෙ වළාකුළු ආශ්‍රිත පරිගණක කරණය කියල. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි ඔන්න. 

ඉතින් දැන් හාමුදුරුවො බණ කියනවා. කට්ටිය එක්ක සුද්දා බණ අහණවා. හාමුදුරුවො බුද්ධ චරිතයෙ කතාවත් අරගෙන මෙහෙන කියනවා.

"එකල්හි අ‍ප බුදුරජානන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටින විට වලාකුලක් උඩ ඉඳගෙන දෙවියෙක් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා"
සුද්දා වලාකුල ගැන අහල තියෙනවා. ටිකක් සිංහල පුළුවන් හන්දා. සුද්දා මගෙන් අහනවා
"What he says?"
මම උට දන්න ඉංග්‍රීසියෙන් කිව්වා
"When Load Buddha Stays at Dewram Viharaya, One Angel Came to see him on Cloud"
කියල. සුද්දට මාර සතුටුයි. ඉතින් සුද්ද මට කියනවා,
"See men, in the Ancient time also the Cloud is in there. We are also using the same technology now. I don't know about the company who invent cloud at that time"

තේරුනාද මන්ද. කමක් නෑ. දැන් ඔන්න තුන් වෙනි කතාව.

හාමුදුරුවො දිගටම බණ කියනවා. දවස පුරාම වැඩකරමින් හිටපු අපේ සහෝදර වරු ටික වැඩ කරන ගමන්ම තමයි බණ අහන්න ආවෙ. හුඟක් අයට ඇඟටත් අමාරුයි. ඉතින් බුද්ධ චරිතයෙ බණ වලින් පස්සෙ හාමුදුරුවො පටන් ගත්තෙ ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන කියන්න. දීර්ඝ බණක් හන්දා අපේ අය නිදි කිරා වැටෙනවා. ඒත් සුද්දා කෙළන් ඉඳන් තේරෙන මිනිහා වගේ බණ අහනවා. දැන් හාමුදුරුවො ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන මෙහෙම කියනවා.
"පින්වත් හැම දෙනාම දන්නවා ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන. සම්මා දිට්ඨි..... සම්මා සංකප්ප.......සම්මා වාචා......"
ඉතින් සුද්දට ඕව තේරෙන එකක් යැ. ඒත් සුද්ද වටපිට බලල හයියෙන් මෙහෙම කියනවා.
"සාදු..Some Are Sleeping"
මමත් කොරවුනා මූ මොනවද මේ කියන්නෙ කියල. සුද්දා හිතල තියෙන්නෙ හාමුදුරුවො සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියනකොට සම්මා කියල කියන්නෙ Some Are කියල.

මම දන්නෙ නෑ ඕන් ඕවා. මම කියන්නෙ බෞද්ධයො හැටියට අපි මීට වඩා අදහන ආගම ගැන සැලකිල්ලක් දක්වන්න ඕනෙ කියල විතරයි. 
 
 
 
 

Thursday, May 03, 2012

බෙලිහුල්ඔය‍ට කොච්චර දුරද?


මේ ලඟදි දවසක හදිස්සි වැඩකට සබරගමුව විශ්ව විද්‍යාලෙ ලඟ වැඩකට යන්න මට ආරාධනාවක් ආවා. ඔය විශ්ව විද්‍යාලෙ තියෙන්නෙ බෙලිහුල් ඔය හරියෙ කියල මම දැනගෙන හිටියත් කොච්චර දුරක් මෙහෙ ඉඳන් තියනවද කියල දන්නෙ නෑ. ඉතින් ඔන්න කල්පනා කරනකොට මට මතක් වුනා ඉස්සර කැම්පස් ගෑණු ලමයෙක් ඔය කිට්ටුව ඉන්නවා කියල. ඉතින් ඔන්න ලේසියට චැ‍ට් එකෙන් විස්තර ටිකක් දැනගන්න කතා කලා.

මම - හායි
ළමයා - හායි
මම - ඔයා ඉන්නෙ සබරගමුවෙ කැම්පස් එක හරියෙ නේද?
ළමයා - ඔව්
මම - එහෙට කොළඹ ඉඳන් කොච්චර දුරද?
ළමයා - ම්ම්ම්ම්.... කොළඹ ඉඳන් පැය හතරක විතර දුර

!@$%^&*%^&

මම - අපි නම් දුර මනින්නෙ කිලෝ මීටර් වලින්. මම ඇහැව්වෙ කිලෝමීටර් කීයක් තියනවද කියල.
ළමයා - ඒක නම් හරියටම දන්නෙ නෑ. කාගෙන් හරි අහල කියන්නම්.

ටිකකින්

මම - ඔයාලගේ ගෙදර තියෙන්නෙ ඒ ලඟ කිව්ව නේද?
ළමයා - ඔව්. කැම්පස් එක පැත්තෙ ආවොත් එන්න ගෙදර.
මම - හා. ඉක්මනට වැඩ ඉවර වුනොත් එන්නම්. කැම්පස් එකේ ඉඳන් ගෙදරට කොච්චර දුරද?
ළමයා - රුපියල් 12ක දුර.
මම - !@$%^&*%^&  හා

Wednesday, April 25, 2012

පන්ති මාරුකරපු හැටි



මේකත් ඉතින් ඉස්කෝලෙ යන කා‍ලෙ කතාවක්. කලිනුත් අපේ විදුහල්පති තුමා ගැන මෙලෝ රහක් නැති කතාවක් කිව්වා මතක ඇති. මේත් ඒවගේ කතාවක්. මේක වුනේ අපි 12 පන්තියෙ ඉඳන් 13 පන්තියට යනකොට. 12 ඉන්නකොට අපි හිටියෙ ඉස්කෝලෙ ලස්සනම හරියෙ. එක තට්ටුවක ගොඩනැගිල්ලක. ඉස්සරහ තිබ්බෙ හරිතාගාර. ඒ දවස්වල ඒ හරියෙ ඉස්කෝලෙක හරිතාගාරයක් තිබ්බෙ අපේ ඉස්කෝලෙ විතරයි. ඉතින් අහල පහල ඉස්කෝලවල (ගෑණු) ළමයි එහෙම එනවා මේවා බලන්න. ඉතින් ඕක තමයි ඒ පන්තියට ළමයි ඔක්කොම කැමති.

ඉතින් 13 පන්තියට යන දවස ආවා. අපි ඔක්කොම හිතාගෙන හිටියෙ අපි දිගටම හිටපු පන්තියෙම ඉන්නවා කියල. පන්ති භාර ගුරුතුමී කිව්වා තට්ටු 2ක් උස එහා පැත්තෙ ගොඩනැගිල්ලකට අපේ 13 පන්තිය මාරු කලා කියල. අපේ ඔක්කොම සිහින බිඳවැටුනෙ ඊට පස්සෙ. ඒකට ගියහම කිසිම දෙයක් පේන්නෙ නෑ විතරක් නෙමෙයි විදුහල්පතිතුමාගෙ නිල නිවස තිබ්බෙත් ඒ ගොඩනැගිල්ලෙ.

කට්ටියම එකතුවෙලා පන්තිභාර ගුරුතුමියට කිව්වා අපිට මෙතන හොඳයි. යන්න එන්න ලේසියි කියල. මිස් කිව්වා ඕවා මට කියල වැඩක් නෑ මේවා ප්‍රින්සිපල් සර්ගෙ තීරන ගිහින් එයාට කියන්න කියල.
අපේ පැතුම් තවත් සුන්වෙන තැනට ආවා. කරන්න දෙයක් තිබුනෙ නෑ. කට්ටිම කතාවුනා ප්‍රින්සිපල් සර්ට කතා කරන්න. ඉතින් කියල කතාවෙලා තීරණය කලා චතුරත් මදූෂත් කතා කරනවා, අපි පස්සෙන් ගිහින් බලන් ඉන්නවා කියල.

ඉතින් මුළු පන්තියම ගියා විදුහල්පති තුමාගෙ කාමරේ ගාවට. සර් කොහෙද යන්න එලියට බහින ගමන්. කට්ටියව දැක්කහම ගමන පොඩ්ඩක් නතර කලා.

“ඇයි?”
චතුරත් ඇඟටයි හිතටයි හයිය අරන් කතා කරන්න පටන් ගත්තා.

“සර් අර 12 පන්තියෙ අය ඔක්කොම 13 පන්තියෙ උඩතට්ටුව‍ට යන්න ඕනෙද?”
හදිස්සියට චතුරට කියවුනේ එහෙමයි.

“ඔව් ඇයි ප්‍රශ්නයක් තියනවද?”
“නෑ සර්!”
ඒ මදූෂ.
“කවුරු හරි තමුසෙලාට යන්න එපා කිවුවද?”
“නෑ සර්!”
“එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ. අද ඉන්ටවල් එකට කලින් පන්තියට යනවා. මම යනවා”
කියපු ප්‍රින්සිපල් සර් යන්න ගියා. අපි 13 වසරට අපිට දුන්න පන්තියට ගියා. සිම්පල් ප්ලෑන්. එච්චරයි.

Friday, April 20, 2012

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ


මේක මට වෙච්ච වෙච්ච දෙයක් ටික කාලෙකට කලින්. නොදන්න කමටයි පුරුද්දට එන හැම මැසේජ් එකටම ok කියල ප්‍රෙස් කරන හන්දයි තමා මේ ඔක්කොම.

හැමෝම අහල ඇති දමිත් අසංක ගායනා කරන ඔය සින්දුව. මේ ඔය සින්දුව ආපු මුල් කාලෙ. දවසක් බස් එකක යනකොට ඔය සින්දුව මට ඇහුනා. (බස් වල යන හුගක් සින්දු අහන ඒවා නෙමෙයි ඇහෙන ඒවා) ටිකක් හොඳ හන්දා මම සින්දුවෙ ඉතුරු ටික ඇහැව්වා. සින්දුව සෑහෙන්න හිතට අල්ලපු හන්ද ගෙදර ආපු ගමන්ම අන්තර්ජංජාලෙ දමාගෙන හෙව්වා. කොහෙවත් තිබ්බෙ නෑ. ඉතින් ඒ ආසාව එදාට ඉවරවුනා.

දවස් කීපයක ඇවෑමෙන් ආයි සින්දුව මතකෙට ආවා. එදා හිටියෙ කාර්යාලෙ. ගූගල් දෙයියන්ට කතාකරල පොඩ්ඩක් හොයල බැලුවා. ඔන්න තියනවා. ගිහින් බැලුවහම ලංකාවෙ ජංගම දුරකතන  ෙස්වා  ෙවබ් අඩවියක තියනවා සින්දුව. ෙපාඩ්ඩක් ඒහා ෙමහා ෙවලා බැළුවහම  ෙමන්න තියනවා Download Icon ඒකක්. දැන් ඉතින් වැෙඩ් හරි. හැමදාමත් පුරුද්දට කරනවා වගේ එබුවා Download එක.

එතකොට කියනවා ඒකට ඒ ජංගම දුරකතන  ෙස්වා ජාලයේ දුරකතන අංකයක් ඇතුල් කරන්න කියල. ඉතින් මුළු කාර්යාලෙම ඒ ජංගම දුරකතන  ෙස්වාව පාවිච්චි ‍කලේ එකෙක් විතරයි.  (ඒත් මහ ගෙදරට සිග්නල් නෑ කියල). නම නම් කියන්න බෑ අයියෝ. ඉතින් ඌ ගාවට ගිහින් මගෙ අවශ්‍යතාවය කියල නොම්මරේ ඉල්ලගෙන ඇතුලත් කලා. ඒත් ඉතින් Download ලින්ක් එකක් හම්බවුනේ නෑ. ආයෙත් ඒ දේම කලා. කිසිම විදිහකින් මට ඕනෙ සින්දුව හම්බවුනේ නෑ. පස්සෙ මම වැඩේ අතහැරල දැම්මා.

පැය කාලකට විතර පස්සෙ රා බිපු නාලාගිරි වගේ යාළුව කඩාගෙන බිඳගෙන මගෙ පැත්තට එනවා.

උඹ මොකද්ද බං කරපු කැත වැඩේ?
කියල යාළුවා මට බැනගෙන බැනගෙන ගියා. මම අන්දුන් කුන්දුන් වෙලා අහගෙන හිටියා. පස්සෙ හෙමින් මම ඇහැව්වා මොකකද වුනේ කියල. එතකොටයි මට වැඩේ තේරුනේ. ඒ සින්දුව යාළුවගෙ රින්ගින් ටෝන් එකට සෙට් වෙලා. රුපියල් අසූවකුත් කැපිල. ඒ අස්සෙ යාළුවගෙ පවුලයි නැන්දම්මයි කතා කරල.

යාළුවට පවුල බැනල මොනවද මේ දාගෙන ඉන්න සින්දු? දැන් කාගෙ ආදරේද හීනයක් වෙලා තියෙන්නෙ කියල.

ඕන් ඔහොමයි නැති ප්‍රශ්න ඇතිවුනේ. ඒක විසඳුවෙ යාළුවට ගිය වියදම වෙන රුපියල් 80ත් දීල එයාගෙ නෝන මහත්තයට කතා කරල වෙච්ච විජ්ජුම්බරෙත් පැහැදිලි කලාට පස්සෙයි.

මගෙ ජීවිතේ පළවෙනි පාරට සල්ලිත් දීල සින්දුවක් ඇහැව්වෙ එදා තමයි ඔන්න.

Friday, February 24, 2012

මනුෂ්‍යත්වයෙන් යුතු අපේ විදුහල්පති තුමා


පොඩි වෙනසකුත් එක්ක මේ ගමන ‍පෝස්ට් එකක්  ලියන්න හිතුනා. පහුගිය කාලෙම ඉස්කෝලෙ ආදි ශිෂ්‍යය සංගමේ වැඩවලට ගියා. එතකොට අවුරුදු ගනන් පරන යාළුවො ආයි හම්බවුනා. එතකොට පරණ සිද්ධි ආයි ඇදිල ඇවිත් රසකතා ගොඩයි. මේ කතාවත් එහෙම එකක්. මේ කතාවෙ කතා නායකයා විදුහල්පතිතුමා.
ඔන්න අ‍පි උසස්පෙල කරන කාලෙ (අයියල කාලෙ) තිබ්බා ගුරු දෙගුරු රැස්වීමක්. මේකට හැමෝගෙම දෙමව්පියෝ එන්න ඕනෙ. අයියල කියල නෑ ඉතින්. කොහොම කොහොමහරි ඉතින් රැස්වීම තිබ්බා සිකුරාදා දවසක. සඳුද උදේම විදුහල්පතිතුමා එනව පන්තියක් පන්තියක් ගානෙ දෙමව්පියෝ ආවෙ නැති උසස් පෙළ ළමයි හොයාගෙන. 

විදුහල්පති තුමා හරි සැරයි. උසස්පෙළ අයියල වුනත් ඉතින් පණ බයයි එයාට. මොකද පොඩ්ඩ බැරි වෙනකොට සනීපෙට පිට පැලෙන්න හම්බවෙන නිසා. 

ඔන්න පන්තියෙන් පන්තියට ඇවිත් දෙමව්පියො ආපු නැති  ළමයි ටික එළියට අරන් ගිහින් කාර්යාලෙ ඉස්සරහ හිටවල තියල ආපු නැති හේතු අහගෙන ගියා. . මේ අස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න පන්තිවල ඉතුරුවුන අපිටිකත් එළියට පැන්නා. සාධාරණ හේතු කියපු අය ආයි පන්ත් වලට පිටත් කරල අනිත් අය‍ට ඉන්න කියල විදුහල්පති තුමා ඔරලෝසුව එහෙම ගැලෙව්වා ඉතින් දැන් වෙන දේ කට්ටියටම පැහැදිලියි. ඊට පස්සෙ හම්බවෙන්න ඕනෙ ටික ලබා දීල උසස් පෙළ ළමයි ටික ඉස්කෝලෙ ඉස්සරහට එක්ක ගියා. ඉස්කෝල මිදුලෙ අවුව තියන තැනක් බලලා තණකොළ ගොල්ලෙ දණ ගහන්න කියපි.
දැන් ඔක්කොම කට්ටියව පාරට පේනවා. දිග කලිසම් ඇඳගෙන උසස් පෙළ අයියල දහ පාලොස් දෙනෙක් ඉස්කෝලෙ පාර දිගට අව්වෙ. 

කට්ටියට ලැජ්ජාවෙ බෑ. දන්න කියන අය කීදෙනෙක්ද? එකෙක් එක්කවත් කතා කරන්නෙ නෑ කියල අපිටත් සද්දයක් දැම්මා ප්‍රින්සිපල්. 

ඔහොම ඉන්ටවල් එක වෙනකන් කට්ටිය දණ ගහගෙන. ඉන්ටවල් එකෙන් පස්සෙ ප්‍රින්සිපල් එනවා ඔය කිට්ටුවට. ඇවිත් ශිෂ්‍යය නායකයෙකුට කතා කලා. දැන් හැමෝම හිතන් ඉන්නෙ මේ කියන්නෙ නැගිටල යන්න කියන්න වෙන්න ඇති කියල බොහොම සන්තෝසෙන් හිටියා. ටික වෙලාවකින් ශිෂ්‍ය නායකයා වතුර බෝතලේකුත් අරන් එනවා. ඇවිත් හැමෝටම වතුර වීදුරුව ගානෙ දීල ගියා.
දණ ගහගෙන හිටපු අය ඉස්කෝලෙ ඉවරවෙනකන්ම දණ ගහගෙන හිටියා. ප්‍රින්සිපල් ඇවිත් කියල තියෙන්නෙ අව්වෙ දණ ගහගෙන ඉන්න කට්ටියට වතුර ටිකක් දෙන්න කියල. අපේ සර්ගෙ මණුස්සකම එහෙමයි.

Sunday, January 22, 2012

දුව වෙත ආදරයෙන් ලියමි


මගේ ආදරණිය දුවේ,
අදින් තුන් මසකට පෙර ඔබ අප කැදැල්ලට වඩිනවා යයි ඇසූ කල්හිම මා පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ ම‍ගේ ජීවිතයේ කවත් එක් වැදගත් කඩඉමක් ඔබ නිසා පසු කරන වග දැනුනු නිසාය. නමුත් දස මසක් තැබූ බලාපොරොත්තු සුන්වී ගියේ ඔබ මා තුරුලට පැමිණේයයි සිතාහුන් දිනයට පෙරදා අපෙන් සමුගත් මොහොතේදීය. ජීවිතය සහ බලාපොරොත්තු කෙතරම් අවිනිශ්චිතදැයි ඔබ මට කියා දුන්නෙහිය. ජීව්තය ගැන සිතා නොසැලී සිටීමට අවැසි ශක්තිය ලබාදුන්නේ ඔබය. නමුත් මේ ලොව ප්‍රීතිමත්ම සහ ආදරණියම පියා වීමේ ගෞරවය ඔබ විසින් මට අහිමි කලත් ඒ ගැන අබමල් රේණුවක් වත් තරහක් ඔබ ගැන මා තුල නැත. බොහෝ දෙනෙක්ට ඔබ අමතක වූවත් අම්මාත් මමත් තවමත් ඔබ ගැන දෙදෙනාට හොරෙන් වැලපෙන්නෙමු.

දුවේ,
කිසිදා ඔබව නුදුටු නුඹේ අම්මාටත් ම‍ගේ අම්මාටත් නුඹව සිහිනෙන් පෙනෙද්දී දෑසින් නුඹේ වත දුටු මට සිහිනෙන් නැතත් සැම විටම නු‍ඹව මැවි පෙනෙයි. නුඹව වළ දැමූ ඒ පාළු සුසානය පසුකරයන හැම මොහොතකම වාහනයේ ඇක්සලේටරය බුරුල් වී නැවත තද වෙන්නේ නුඹ නැති දුක නැවත ඇතිවීම වළක්වන්නටය.

දුවේ
නුඹ සිටියානම් මම දැන් තුන් මසක් වයසැති පියෙකි. නුඹේ මව ඇගේ ප්‍රසූති නිවාඩු අවසන් වී දුකින් වැඩට යාමට සැරසෙනු ඇත. අවාසනාවට දැන් ඒ කිසිවක් සිදු නොවේ.

දුවේ
මේ නුඹ ගැන ලියනා අවසාන වතාවයි. නැවතත් මෙවැනි අකල් වියෝවක් කිසිදා නුඔට නොලැබේවා!
මීට
නුඹේ තාත්තා

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...