Saturday, November 12, 2011

පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලි


ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.
මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි.
"ඇතුලෙ දියේ ගිලිච්ච එකක් කපනවා මාර සැරයි" 
ඔහු පිළිතුරු දුන්නේය.
නැවතත් ඔහු මිනී කාමරය වෙත ගියේය.

විනාඩි දහයක් පමන ගතවිනි. මම තවමත් එතැනය.ඔහු යලිත් දොර ඇර එලියට පැමිණියේය. මම නැවතත් මලානික සිනහවක් පෑවෙමි. මෙවර ඇයි කියා ඇසුවේ ඔහුය.

"අර පොඩි බබාගේ බොඩි එක කපන්න ගත්තද? " 

මම විමසීමි. මදක් වෙනස් මුහුනක් මවාගත් ඔහු
"දැන් ගත්තේ ඒක තමයි ඇයි?"

කියා නැවතත් මගෙන් විමසීය.


"මම බබාගෙ තාත්තා. කපන්න කලින් මට බබා බලන්න පුළුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මම දොස්තර මහත්තයාගෙන් අහල එන්නම්" 

කියු ඔහු දොර වසා නැවතත් මගේ දෑස් මානයෙන් නො‍පෙනී ගියේයෙ. මද වේලාවකට පසු ඔහු පැමිණියේ බලාපොරොත්තු සහිත මූණක් දල්වාගෙනය.

"ඔයාට විතරක් දොස්තර මහත්තයා එන්න කිව්වා"

මම ඔහු සමග පසු පසින් ගියෙමි. ජීවිතයේ පළමු වරට මිනී කාමරයක් නැත්තම් මෝචරියක් මැද්දෙන් ජීවිතයේ පළමු වතාවට ගමන් කරන්නේ පොඩි බබෙක්ගේ මිනියක් කපනවා බැලීමටයි. ඒ දරුවා මගේ ලෙයින් මසින් සෑදුනු අයෙකු වීම තවත් දරාගත හැකිද?

මම පශ්චාත් මරණ පරික්ෂණ කුටියට පැමිණියෙමි. විශාල මේසයක එක් කොනක නිරුවත් මළ සිරුරක බඩවැල් බොකු එලියට අදිමින් සිටින රෝහල් සේවකයන් දෙදෙනෙකි. ඒ මේසයේම කොනක කුඩා ඉඩක රෙදිකඩක එතූ මගේ කිරිකැටියා නිසොල්මන්ව සිටී.

දොස්තර මහත්තයා හැගීම් තොරවූ මුහුණකින් මා දෙස බලා සිටී.

"මේ ඉන්නෙ බබා"

ඔහු යන්තම් පැවසුවා මට මතකය. අනේ රෝස පාට අත පය. එක වරම මගේ මතකය මාස හත අටකට දිව ගියේය. පළමු ස්කෑන් පරීක්ෂණයේදී දොස්තර මහතා ඡායාරූපයක් පෙන්වා

"මේ දරුවාගේ තියෙන්නෙ තාත්තගෙ නහයමයි" 

පැවසූවා විගසින් මතකයට පැමිණියේය. ඔව්. ඒ නහයම තමයි. මේ මගේ කිරි කැටියාම තමයි සිතා ඒ මුදු මුහුණ ස්පර්ශ කලෙමි. ඊට කළින් දොස්තර ක්‍රියාත්මක වී මගේ අත අල්ලා ගත්තේය.

"බබාව අල්ලන්න එපා"

ඔහු කියයි. මේ මගේ ලමයා. එයා එපා කියන්නෙ කොහොමද?

"මම එහෙනම් බබාගෙ පොටෝ එකක් ගන්නද?"

වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවුනත් මට සිතුවිල්ලක් පැන නැගුනි.

"එපා පස්සෙ ඔයාටම දුකක් වේවි"

දොස්තර යලිත් පැවසීය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "

තවත් ගොඩක‍් දේවල් දොස්තර කිව්වද ‍කොහෙද?

තවත් එතන සිටීම පලක් නැති බැවින් මම පැත්තකට වූවෙමි.


"ඔයා දැන් බබාව බැලුවනෙ. දැන් එළියට යන්න. තාත්තල ලග ඉන්නකොට බබාලව කපන්නෙ නෑ"

දොස්තරගේ කරුණාවන්ත වදන් හමුවේ දිගු සුසුමක් හෙලා මෘත ශරීරාගාරයෙන් එළියට ආවෙමි.