Wednesday, August 17, 2011

ඇසල පෙරහැර ගැන කියපු කතා

මේ ගමනත් ඇසල පෙරහැර බොහොම උත්කර්ශවත් විදිහට ඉවර වුනා.ඇසල පෙරහැර කියන්නෙ ආසියාවෙ තියන ලොකුම සංස්කෘතික සන්දර්ශණය. ලංකාවෙ පවත්වන ලොකුම කළා මංගල්‍යය. මම මීට කලින් කවදාවත් ඒක සියැසින් දැකල තිබ්බෙ නෑ. හැමදාම බැළුවෙ රූපවාහිනියෙන්. ඒත් මේ ගමන වාසනාවක් තිබිල පෙරහැර බලන්න අවස්ථාවක් හම්බවුනා. පෙරහැර අතරතුරදි එක එක්කෙනා අහපු කියපු කතා ටිකක් ලියන්නයි හදන්නෙ.

ඉස්සෙල්ලම අපිත් එක්ක ගිය කෙනෙක් කිව්වා පහුගිය පාරවල් වලට වඩා මේ ගමන දළදා මාලිගාවෙ ආලෝක සැරසිලි මදි කියලා. ඒක ටිකක් පැහැදිලිව පෙනුනා තවත් විදේශිකයෙක් කියපු දේවල් එක්ක. ඔහුත් එක්ක කතාවට වැටුනෙ පෙරහැර ගැන ඔහුගෙ අදහස් දැනගන්නත් එක්ක. ඔහු ස්විස් ජාතිකයෙක්. දළදා පෙරහැරට පුදුම විදිහට ආදරය කරන්නෙ. එක පාරක් ලංකාවට අහම්බෙන් ආපු වෙලාවක ඇසළ පෙරහැර දැකලා. ඊට පස්සෙ ඒකට වහ වැටිලා හැම පාරම එන්න පටන් අරන්. මේ ඔහුගෙ පස් වෙනි වතාව කිව්වා. ඔහු කියන්නෙ ඡායාරූපයක් ගන්න තරම් වත් ඒ එලිය මදි කියලා. හැබැයි බෑ කියල නිකන් හිටියෙ නෑ. පුළුවන් විදිහට ඔහු ඡායාරූප ගත්තා.

ඊට පස්සෙ හම්බවුනේ ඕස්ට්‍රේලියානු යුවතියක්. මේ ඇගෙත් දෙවෙනි වතාව. ඇය කිව්වෙ මේවා විදේශිකයන්ට අගයවුනාට ලංකාවෙ අයට එච්චර වටින්නෙ නෑ කියල.

ඉන්දියාවෙන් ආපු මාධ්‍යවේදිනියක් එක්කත් කතා බහ කරන්න අවස්ථාවක් හම්බවුනා. ඇය ඒ අවස්ථාව වෙනකොට පුදුමයෙන්  ඇලලිලයි හිටියෙ.

පෙරහැර බලන්න ලක්ෂ ගානක් සෙනග ඇවිත් හිටියා. අපි උදේ යන කොටත් මිනිස්සු ඉටි රෙදි දාගෙන පාර අයිනෙ ඉන්නවා. වැස්සක් ‍එනකොට කුඩයක් ඉහල ගන්නවා විතරයි. අයින්‍ වෙන්නෙ නෑ. හිටපු තැන නැතිවෙයි කියල. පුළුවන් අය පුටු තියල රුපියල් දෙ‍දාහෙ ඉදන් දහදාහ විතරවෙනකන් වියදම් කරල පෙරහැර බලනවා. බැරි අහිංසක මිනිස්සු ඉටිරෙදි දාල බිම වාඩි වෙලා වැස්සට තෙමි තෙමි පෙරහැර බලනවා. ඒ අය නිසා තදබදය වැඩිවුනා. ඒත් දුප්පත් කමනෙ.

පෙරහැරේ අලි ඇත්තු අසූ ගානක් ගියාලු. පුංචිම අලි පැටියගෙ ඉදන් කරඩුව ගෙනියන ඇතා දක්වාම තමන්ගෙ රාජකාරිය ඉෂ්ට කලා. හැබැයි පෙරහැරේ තිබ්බ උද්යෝගය හොදින්ම ති‍බ්බෙ කරඩුව ගෙන යනකන් විතරක් වග මටත් දැනුනා.

පෙරහැරට අළුත් අංග එකතු කරල කියල කළින් බලලා තියන අය කිව්වා. හැබැයි ඒ අංග හන්දා පෙරහැරේ අගය අඩුවෙලා කියලත් කිව්වා. ඉස්සර පෙරහැරේ ගැහැණු නැටුම් කණ්ඩායම් තිබ්බෙ නැහැල්ලු. (ඇත්තද දන්නෙ නෑ) හැබැයි මේ ගමන පෙරහැරේ ඒ අංග තිබ්බා. එකම නැටුම තැන් කිහිපයකමත් තිබ්බා. බලපු හුගක් අයට ඒක ටිකක් අකමැති අත්දැකීමක් වුනා.

තවත් එක නැටුමක් අතරතුරදි මගේ එහා පැත්තෙ හි‍ටපු කෙනා තට්ටුවක් දාල ඇහැව්වා ඔය නටන්නෙ වන්නමකට නෙමෙයි නේද කියල. මමත් පොඩ්ඩක් අහල බැළුවා. හොදට දන්න සින්දුවක්. සුරේන්ද්‍ර පෙරේරගෙ "වැහි පබළු සැලී"... මෙහෙම යනකොට ලංකාවේ දේශිය නර්තනය කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ කියල එතන හිටපු එක්කෙනෙක් කිව්වා.

තව නටපු හුගක් නැටුම් කණ්ඩායම් වලට නරබන්නන්ගෙ ප්‍රසාදයක් තිබ්බෙ නෑ. ඒත් සමස්ථයක් විදිහට පෙරහැර සාර්ථකයි කියල හුග දෙනෙක් කිව්වා. ඒ වගේම ආයෙත් ඒ දේවල් වෙන එකක් නෑ කියලත් ඒ අය හිතනවා.

අපේ සංස්කෘතික උරුමයන් අපි රැක ගන්න ඕනෙ.

Tuesday, August 16, 2011

නුපන් දරුවාගේ හැගීම්


නිදියහනේ මම ඒ මේ අත පෙරලෙමින් සිටියෙමි. සත් මස් ගැබිනි මා බිරිද නිසොල්මනේ නිදිසුව විදිමින් පසුවන්නීය. කාර්යාල වේලාවෙන් පසුව කාර්යාලය එහිම තබා ගෙදර පැමිණියද සිත තවමත් ඒ තුල සැරිසරයි. නින්ද මා කෙරේ එනු නොපෙනේ. 

එක්වරම මා බිරිද මා අත අල්ලා ගති. ඉන් පසුව මා අත ඇගේ කුස පැත්තකින් තබා නිශ්ශබ්ද වුවාය. සියුම් සෙලවීම් රැසක් අවසානයේදී මෘදු පාපහරක් කුසයෙන් නික්මුනි. 

මෙතෙක් කල් බලා සිටි මොහොතක් දැන් එලඹී තිබේ. නුපන් මා සිගිත්තා ඔහුගේ (සමහරවිට ඇයගේ) චලනයන් මගින් මගේ සිත පාලනය කිරීමට පටන් ගෙන ඇත. අනාගත පියෙකු වීමේ උණුසුම දැන් තියා දැනේ. මසිත සතුටින් පිරී ඇත.