Saturday, November 12, 2011

පියෙකු නොවූ තාත්තා කෙනෙකුගේ සිතුවිලි


ඔහු කහිමින් කාමරයෙන් මෘත ශරීරාගාරයෙන් එලියට ආවේය.
මම ඔහු සමග මදක් සිනා සී ඇයි දැයි ඇයි ඇසුවෙමි.
"ඇතුලෙ දියේ ගිලිච්ච එකක් කපනවා මාර සැරයි" 
ඔහු පිළිතුරු දුන්නේය.
නැවතත් ඔහු මිනී කාමරය වෙත ගියේය.

විනාඩි දහයක් පමන ගතවිනි. මම තවමත් එතැනය.ඔහු යලිත් දොර ඇර එලියට පැමිණියේය. මම නැවතත් මලානික සිනහවක් පෑවෙමි. මෙවර ඇයි කියා ඇසුවේ ඔහුය.

"අර පොඩි බබාගේ බොඩි එක කපන්න ගත්තද? " 

මම විමසීමි. මදක් වෙනස් මුහුනක් මවාගත් ඔහු
"දැන් ගත්තේ ඒක තමයි ඇයි?"

කියා නැවතත් මගෙන් විමසීය.


"මම බබාගෙ තාත්තා. කපන්න කලින් මට බබා බලන්න පුළුවන්ද?"

"පොඩ්ඩක් ඉන්න මම දොස්තර මහත්තයාගෙන් අහල එන්නම්" 

කියු ඔහු දොර වසා නැවතත් මගේ දෑස් මානයෙන් නො‍පෙනී ගියේයෙ. මද වේලාවකට පසු ඔහු පැමිණියේ බලාපොරොත්තු සහිත මූණක් දල්වාගෙනය.

"ඔයාට විතරක් දොස්තර මහත්තයා එන්න කිව්වා"

මම ඔහු සමග පසු පසින් ගියෙමි. ජීවිතයේ පළමු වරට මිනී කාමරයක් නැත්තම් මෝචරියක් මැද්දෙන් ජීවිතයේ පළමු වතාවට ගමන් කරන්නේ පොඩි බබෙක්ගේ මිනියක් කපනවා බැලීමටයි. ඒ දරුවා මගේ ලෙයින් මසින් සෑදුනු අයෙකු වීම තවත් දරාගත හැකිද?

මම පශ්චාත් මරණ පරික්ෂණ කුටියට පැමිණියෙමි. විශාල මේසයක එක් කොනක නිරුවත් මළ සිරුරක බඩවැල් බොකු එලියට අදිමින් සිටින රෝහල් සේවකයන් දෙදෙනෙකි. ඒ මේසයේම කොනක කුඩා ඉඩක රෙදිකඩක එතූ මගේ කිරිකැටියා නිසොල්මන්ව සිටී.

දොස්තර මහත්තයා හැගීම් තොරවූ මුහුණකින් මා දෙස බලා සිටී.

"මේ ඉන්නෙ බබා"

ඔහු යන්තම් පැවසුවා මට මතකය. අනේ රෝස පාට අත පය. එක වරම මගේ මතකය මාස හත අටකට දිව ගියේය. පළමු ස්කෑන් පරීක්ෂණයේදී දොස්තර මහතා ඡායාරූපයක් පෙන්වා

"මේ දරුවාගේ තියෙන්නෙ තාත්තගෙ නහයමයි" 

පැවසූවා විගසින් මතකයට පැමිණියේය. ඔව්. ඒ නහයම තමයි. මේ මගේ කිරි කැටියාම තමයි සිතා ඒ මුදු මුහුණ ස්පර්ශ කලෙමි. ඊට කළින් දොස්තර ක්‍රියාත්මක වී මගේ අත අල්ලා ගත්තේය.

"බබාව අල්ලන්න එපා"

ඔහු කියයි. මේ මගේ ලමයා. එයා එපා කියන්නෙ කොහොමද?

"මම එහෙනම් බබාගෙ පොටෝ එකක් ගන්නද?"

වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවුනත් මට සිතුවිල්ලක් පැන නැගුනි.

"එපා පස්සෙ ඔයාටම දුකක් වේවි"

දොස්තර යලිත් පැවසීය.

"ජීවිතේ හැටි ඔහොම තමයි !..... "

තවත් ගොඩක‍් දේවල් දොස්තර කිව්වද ‍කොහෙද?

තවත් එතන සිටීම පලක් නැති බැවින් මම පැත්තකට වූවෙමි.


"ඔයා දැන් බබාව බැලුවනෙ. දැන් එළියට යන්න. තාත්තල ලග ඉන්නකොට බබාලව කපන්නෙ නෑ"

දොස්තරගේ කරුණාවන්ත වදන් හමුවේ දිගු සුසුමක් හෙලා මෘත ශරීරාගාරයෙන් එළියට ආවෙමි.

Monday, October 10, 2011

අදත් පොලිසියෙන් කරදර

සල්ලි තියනවට ගත්තෙ නැතත් හදිස්සි වුවමනාවකට පාවිච්චියට ගන්න කියල ගත්ත වාහනේ ටින්ට් කරපු එක ගලවන්න වෙච්ච කතාව මම මීට අවුරුදු එකහමාරකට විතර කලින් කිව්ව මතක ඇති. නැත්තම් වෙලාවක් තිබ්බොත් මේ සබැඳියෙන් කියවන්න. ඊට සෑහෙන්න කාලෙකට පස්සෙ ආයෙත් මම වාහනේ වීදුරු අඳුරු කලා. ඒ දන්න කීපදෙනෙක් ගෙන් අහලා, කළාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද කියල බලන්න. ඒ නීතිය ලිහිල් වෙලා කියල තව දන්න අය කිව්වා.  ඉතින් මම කොයිකටත් කියල ආයෙත් ටින්‍ට් කලා. ඉස්සරහ වීදුරු නම් පොඩ්ඩක් වෙන්න තමයි කලේ.
ඉතින් අද හදිස්සියෙම මම ගමනක් යන්න කියල හිතල කන්තෝරුවෙන් එලියට බැස්ස වාහනේ නැගල. අතුරු පාරෙන් ගිහින් ප්‍රධාන පාරට දානකොටම රාළහාමි කෙනෙක් අත දැම්මා. වාහනේ හරවන්න කලින් සිග්නලුත් දැම්මා. ආසන පටිත් දාගෙන ඉන්නෙ.
"ඇයි රාළහාමි"
මම ඇහැව්වා.
"මහත්තයා වාහනේ බළපත්‍රය දෙන්න"
"ඇයි රාළහාමි" මම බලපත්‍රය දෙන ගමන් ආයෙත් ඇහැව්වා.
"මහත්තයට වාහන වීදුරු අදුරුකරන්න බලපත්‍රයක් නෑනෙ. මම දඩකොළයක් ලියන්නෙ නෑ. ඉස්සරහ විදුරුවල ටින්ට් එක ගලවල පොලිසියට ඇවිත් පෙන්නල ලයිසන් එක අරන් යන්න"
රාළහාමි එක හුස්මට කියාගෙන යන ගමන් කොළයත් ලියන්න පටන් ගත්තා.

මම රාළහාමි එක්ක ටිකක් වාද කලා. එහෙම කරන්න බෑ නේද ඒ නීතිය ලිහිලි කරල නේද කියල.
රාළහාමි කිව්වා
"මහත්තයො අපිට ඉහලින් නීතිය දන්නෙ කවුද?" කියලා
මට ඉතින් කටවහගන්න වෙච්ච හන්ද එහෙම හිතල පැත්තකට වෙන කොටම වීදුරු ඔක්කොම තද කළු කරපු ඉන්ටකූලර් රථයක් පාර අයිනෙ හිටපු මාවයි රාළහාමිවයි පහුකරගෙන ගියා. මම රාළහාමි ගෙන් ඇහැව්වා
"ඇයි රාළහාමි ඒක වාහනයක් නෙමෙයිද? කියල.
පිළිවෙලකට වැඩකරන රාළහාමි සරළ පිළිතුරක් මට දුන්නා.
"පොඩ්ඩක් ඉන්න එක වැඩක් ඉවර වෙනකන්"
ඉතින් රාළහාමි එයාගෙ පොඩි වැඩේ ඉවර කරල ලයිසන් එක සාක්කුවෙ දාගෙන ලියපු කොලේ මගේ අතේ තිබ්බා.
ඒකත් අරන් මගෙ හිතේ තිබ්බ තව දේවල් ටිකකුත් රාළහාමිගෙ මූණට කියල එන්න පුළුවන් හැකියාවක් තිබ්බ හන්ද මම ඒවායෙන් ටිකක් කියල එන්න හැරුණා. රාළහාමි ඒ දේවල් කිව්වෙ එයාට නෙමෙයි වගේ හිටියා.

හැමදාම තැලෙන්නෙත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් අපිවගේ පොඩි අයට තමයි.

Tuesday, September 27, 2011

මම ඒ බෝයිව දන්නවා


මේ සිද්දිය වුනේ අපේ කන්තෝරුවෙ ටික කාලෙකට කලින්. ළගදි සිද්ධිය ආයි මතක් වුන හන්ද ලියන්න හිතුනා. සිද්දිය වුනේ ලි‍ෆ්ට් එක ඇතුලෙ. අපේ කන්තෝරුවෙ ඉන්නවා අන්තෝනියෝ (නියම නම නෙමෙයි) කියල කෙනෙක්. එයාගෙ වැඩ රාජකාරි තියෙන්නෙ කන්තෝරුවෙ නඩත්තු වැඩත් එක්ක. මේ මනුස්සයා වයස 50 ක් විතර වුනාට 40ක විතර පෙනුම තියෙන්නෙ. ඒ වගේම කරමලෙත් ටිකක් විතර තියනවා.  ගෑණු පරාණයක් පේන්න ටිකක් අමාරුයි.

ඉතින් කන්තෝරුවට දවසක් ආවා අළුත් ගෑණු ලමයෙක් වැඩට. හරිම හැඩකාර දැරිවි. ඉස්කෝලෙන් අස්වෙච්ච ගමන්ද කොහෙද. වයස 20ක් විතර වුනාට 25ක විතර පෙනුම තියෙනවා. ආපු පළවෙනි දවසෙම මේ ළමයා දවල්ට කාල පල්ලෙහාට එන්න කියල ලිෆ්ට් එක ගාවට ඇවිත් ඉන්න කොට අන්තෝනියොත් කොහොම හරි පහලට යන්න ආවා. ලිෆ්ට් එක ළග ඉදන් ඉතින් ඒ ළම‍යගෙ පුද්ගලික විස්තර ටිකකුත් ඇහැව්වා. ගෙවල් කොහෙද මොන සෙක්ෂන් එකේද වැඩ කරන්නෙ අදද ආවෙ වගේ ප්‍රශ්න.

ඊට පස්සෙ ලිෆ්ට් එක ආවා. කට්ටියම ලිෆ්ට් එකට නැග්ගා.

අන්තෝනියෝ තවත් ප්‍රශ්නයක් අර ළමයගෙන් අහනවා.

"අර උදේ පහල ඔයත් එක්ක කතා කර කර හිටපු බෝයිව මම දන්නවා"

අර ළමයගෙ මූනෙ ප්‍රශ්නාර්ථයක්.

"අර පහල ග්ලාස් ඩෝ එක ගාව හිටියෙ"

දැන් හරි.

"ආ.... ඔයා කොහොමද දන්නෙ" ලමයත් ප්‍රශ්නයක් ඇහැව්වා.

"එයා ***** කොලේජ් එකේනෙ. අපේ පන්තියෙ හිටියෙ. මගෙ හොද යාළුවා"

"හානේ ඇත්තද? ඒ මගෙ තාත්තා"

කතාව එතනින් ඉවරවුනාද දන්නෙ නෑ. මොකද හිනාව තද කරගෙන ඉන්න බැරුව අපි ඊළග තට්ටුවෙන් බැස්සා.

Friday, September 09, 2011

ග්‍රීස් යකෙක්


වේලාව උදේ වරුවේ වැඩට යන්න පරක්කු වෙලා වාහනයෙන් ට්‍රැපික් අස්සෙන් රිංග රිංගා යන වෙලාව. ඔහොම යනකොට ජරාස් ගාල වාහනේ ඉස්සරහින් සද්දයක් ආවා. මොකක් හරි අකරතැබ්බයක්. වාහනේ කැඩිලා. අහල පහල දෙතුන් දෙනෙක් එක්කහු කරගෙන වාහනේ ලග තිබ්බ හදන තැනකට තල්ලු කලා. 

ඊට පස්සෙ හෙමින් හෙමින් කෑලි ගලවලා අඩුපාඩු ලිස්ට් එක බාස් උන්නැහේ දුන්නා. මමත් ඉතින් ලිස්ට් එක අරගෙන කිට්ටුවම තිබ්බ අමතරකොටස් කඩේට ගිහින් බර ගානක් වියදම් කරල ගත්තා. අරන් පයින්ම ගාටල ගරාජ් එකේ බාසුන්නැහේට දුන්නා. 

ටික වෙලාවකින් බාසුන්නැහැ කියපි මහත්තයෝ එක දෙයක් අමතක වුනා නෙව. මං ඇහැව්වා මොනවද කියල. මේක හයි කරන්න ග්‍රීස් ඕනෙ. ගිහින් අරන් එන්න. බාසුන්නැහැ උත්තර දුන්නා. මම ඉතින් ග්‍රීස් ගන්න පුළුවන් කඩයක් බාසුන්නැහැගෙන් අහගෙන ගියා. යනකොට ඒ කඩේ වහල. ඉතින් ඒ හරියෙ ත්‍රීවිල් වලින් අහ අහා ග්‍රීස් ගන්න පුළුවන් කඩයක් හෙව්වා. අන්තිම වෙනකොට ඇවිදලම මාව දාඩියෙන් පෙගිලා. අන්තිමේදි ග්‍රීස් කඩේ හම්බවුනා.

මම ඉතින් මුදලාලිගෙන් ගිය හදිස්සියෙම ග්‍රීස් ඉල්ලුවා. දාඩිය පෙරාගෙන ඉන්න මං දිහා මුදලාලි අමුතු බැල්මක් දැම්මා. මොකෝ මහත්තයො මහන්සි පාට?

කලින් ගිය කඩේ වහල මුදලාලි. ඉතින් මගෙ වැඩේට ග්‍රීස්ම ඕනෙ හන්දා කඩේ හොයාගෙන ආවා. මම කිව්වා.
ඊට පස්සෙ මුදලාලි කොච්චර ග්‍රීස් ඕනෙද කියල ඇහැව්වහම මම ඕන ප්‍රමාණෙත් කිව්වා.

මිනිහ ග්‍රීස් ටික ඔතන ගමන් මගෙ නම ගම විස්තරත් අහනවා. මොකටද කියලත් ඇහැවිවා. මම කිව්වා වාහනේ කැඩිල කියල. එතකොට වාහනේ විස්තරත් ඇහැව්වා.

ඉතින් සල්ලිත් ගෙවල ග්‍රීස් අරන් කඩෙන් එලියට බහින කොටම පොලිස් ජිප් එකක් ඇවිත් නවත්තල තුවක්කු දික් කරල මේ තියෙන්නෙ බඩුත් එක්කම කියල මාව අල්ලගෙන පොලිසියට අරන් ගිහින්  කූඩුවට දැම්මා. 

මම බල බල හිටපු හීනෙ ඉවරවුනේ උසාවියෙදි ගරාජ් එකේ බාසුන්නැහැ සාක්කි දීල  මාව බේරගත්ත එකෙන් පස්සෙ. හැබැයි ග්‍රීස් ගන්න තුන්ඩුවක් නිකුත් කලේ නෑ කියල බාසුන්නැහේට රුපියල් ලක්ෂයක ශරිර ඇප තියන්න වුනා.

උසාවියෙදි විනිශ්චයකාරයා මට කිව්වෙ දොස්තරගෙන් තුන්ඩුවක් නැතුව බේත් ගැනීමත්, අවසර පත්‍රයක් නැතුව තුවක්කුවක් ලග තබා ගැනීමත්, ප්‍රවේශ පත්‍රයක් නැතුව ප්‍රයිවෙට් බස්වල යාමත්, අවසරලත් ගරාජ් හිමියෙක්ගේ බලපත්‍රයක් නැතුව ග්‍රීස් ඉල්ලීමත් දඩුවම් ලැබිය හැකි වැරැද්දක් බවයි. එහෙම කියල පළවෙනි වතාව හන්දා දැඩි ලෙස අවවාද කරල මාව නිදහස් කලා.

හීනෙ ඉවර වුනත් ඇග‍ට දාඩිය දාපු ටික නිවෙන්න සෑහෙන වෙලාවක් ගියා.

Wednesday, August 17, 2011

ඇසල පෙරහැර ගැන කියපු කතා

මේ ගමනත් ඇසල පෙරහැර බොහොම උත්කර්ශවත් විදිහට ඉවර වුනා.ඇසල පෙරහැර කියන්නෙ ආසියාවෙ තියන ලොකුම සංස්කෘතික සන්දර්ශණය. ලංකාවෙ පවත්වන ලොකුම කළා මංගල්‍යය. මම මීට කලින් කවදාවත් ඒක සියැසින් දැකල තිබ්බෙ නෑ. හැමදාම බැළුවෙ රූපවාහිනියෙන්. ඒත් මේ ගමන වාසනාවක් තිබිල පෙරහැර බලන්න අවස්ථාවක් හම්බවුනා. පෙරහැර අතරතුරදි එක එක්කෙනා අහපු කියපු කතා ටිකක් ලියන්නයි හදන්නෙ.

ඉස්සෙල්ලම අපිත් එක්ක ගිය කෙනෙක් කිව්වා පහුගිය පාරවල් වලට වඩා මේ ගමන දළදා මාලිගාවෙ ආලෝක සැරසිලි මදි කියලා. ඒක ටිකක් පැහැදිලිව පෙනුනා තවත් විදේශිකයෙක් කියපු දේවල් එක්ක. ඔහුත් එක්ක කතාවට වැටුනෙ පෙරහැර ගැන ඔහුගෙ අදහස් දැනගන්නත් එක්ක. ඔහු ස්විස් ජාතිකයෙක්. දළදා පෙරහැරට පුදුම විදිහට ආදරය කරන්නෙ. එක පාරක් ලංකාවට අහම්බෙන් ආපු වෙලාවක ඇසළ පෙරහැර දැකලා. ඊට පස්සෙ ඒකට වහ වැටිලා හැම පාරම එන්න පටන් අරන්. මේ ඔහුගෙ පස් වෙනි වතාව කිව්වා. ඔහු කියන්නෙ ඡායාරූපයක් ගන්න තරම් වත් ඒ එලිය මදි කියලා. හැබැයි බෑ කියල නිකන් හිටියෙ නෑ. පුළුවන් විදිහට ඔහු ඡායාරූප ගත්තා.

ඊට පස්සෙ හම්බවුනේ ඕස්ට්‍රේලියානු යුවතියක්. මේ ඇගෙත් දෙවෙනි වතාව. ඇය කිව්වෙ මේවා විදේශිකයන්ට අගයවුනාට ලංකාවෙ අයට එච්චර වටින්නෙ නෑ කියල.

ඉන්දියාවෙන් ආපු මාධ්‍යවේදිනියක් එක්කත් කතා බහ කරන්න අවස්ථාවක් හම්බවුනා. ඇය ඒ අවස්ථාව වෙනකොට පුදුමයෙන්  ඇලලිලයි හිටියෙ.

පෙරහැර බලන්න ලක්ෂ ගානක් සෙනග ඇවිත් හිටියා. අපි උදේ යන කොටත් මිනිස්සු ඉටි රෙදි දාගෙන පාර අයිනෙ ඉන්නවා. වැස්සක් ‍එනකොට කුඩයක් ඉහල ගන්නවා විතරයි. අයින්‍ වෙන්නෙ නෑ. හිටපු තැන නැතිවෙයි කියල. පුළුවන් අය පුටු තියල රුපියල් දෙ‍දාහෙ ඉදන් දහදාහ විතරවෙනකන් වියදම් කරල පෙරහැර බලනවා. බැරි අහිංසක මිනිස්සු ඉටිරෙදි දාල බිම වාඩි වෙලා වැස්සට තෙමි තෙමි පෙරහැර බලනවා. ඒ අය නිසා තදබදය වැඩිවුනා. ඒත් දුප්පත් කමනෙ.

පෙරහැරේ අලි ඇත්තු අසූ ගානක් ගියාලු. පුංචිම අලි පැටියගෙ ඉදන් කරඩුව ගෙනියන ඇතා දක්වාම තමන්ගෙ රාජකාරිය ඉෂ්ට කලා. හැබැයි පෙරහැරේ තිබ්බ උද්යෝගය හොදින්ම ති‍බ්බෙ කරඩුව ගෙන යනකන් විතරක් වග මටත් දැනුනා.

පෙරහැරට අළුත් අංග එකතු කරල කියල කළින් බලලා තියන අය කිව්වා. හැබැයි ඒ අංග හන්දා පෙරහැරේ අගය අඩුවෙලා කියලත් කිව්වා. ඉස්සර පෙරහැරේ ගැහැණු නැටුම් කණ්ඩායම් තිබ්බෙ නැහැල්ලු. (ඇත්තද දන්නෙ නෑ) හැබැයි මේ ගමන පෙරහැරේ ඒ අංග තිබ්බා. එකම නැටුම තැන් කිහිපයකමත් තිබ්බා. බලපු හුගක් අයට ඒක ටිකක් අකමැති අත්දැකීමක් වුනා.

තවත් එක නැටුමක් අතරතුරදි මගේ එහා පැත්තෙ හි‍ටපු කෙනා තට්ටුවක් දාල ඇහැව්වා ඔය නටන්නෙ වන්නමකට නෙමෙයි නේද කියල. මමත් පොඩ්ඩක් අහල බැළුවා. හොදට දන්න සින්දුවක්. සුරේන්ද්‍ර පෙරේරගෙ "වැහි පබළු සැලී"... මෙහෙම යනකොට ලංකාවේ දේශිය නර්තනය කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නෑ කියල එතන හිටපු එක්කෙනෙක් කිව්වා.

තව නටපු හුගක් නැටුම් කණ්ඩායම් වලට නරබන්නන්ගෙ ප්‍රසාදයක් තිබ්බෙ නෑ. ඒත් සමස්ථයක් විදිහට පෙරහැර සාර්ථකයි කියල හුග දෙනෙක් කිව්වා. ඒ වගේම ආයෙත් ඒ දේවල් වෙන එකක් නෑ කියලත් ඒ අය හිතනවා.

අපේ සංස්කෘතික උරුමයන් අපි රැක ගන්න ඕනෙ.

Tuesday, August 16, 2011

නුපන් දරුවාගේ හැගීම්


නිදියහනේ මම ඒ මේ අත පෙරලෙමින් සිටියෙමි. සත් මස් ගැබිනි මා බිරිද නිසොල්මනේ නිදිසුව විදිමින් පසුවන්නීය. කාර්යාල වේලාවෙන් පසුව කාර්යාලය එහිම තබා ගෙදර පැමිණියද සිත තවමත් ඒ තුල සැරිසරයි. නින්ද මා කෙරේ එනු නොපෙනේ. 

එක්වරම මා බිරිද මා අත අල්ලා ගති. ඉන් පසුව මා අත ඇගේ කුස පැත්තකින් තබා නිශ්ශබ්ද වුවාය. සියුම් සෙලවීම් රැසක් අවසානයේදී මෘදු පාපහරක් කුසයෙන් නික්මුනි. 

මෙතෙක් කල් බලා සිටි මොහොතක් දැන් එලඹී තිබේ. නුපන් මා සිගිත්තා ඔහුගේ (සමහරවිට ඇයගේ) චලනයන් මගින් මගේ සිත පාලනය කිරීමට පටන් ගෙන ඇත. අනාගත පියෙකු වීමේ උණුසුම දැන් තියා දැනේ. මසිත සතුටින් පිරී ඇත.

Wednesday, July 20, 2011

පස්සට අලියා වැටුන හැටි

සෑහෙන්න කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ගොඩ වදින්න වුනේ නෑ. වැඩ වැඩි හන්දා ගෙදර ගියෙත් ඉදල හිටලද කොහෙද? (ඉතින් කොහෙද බ්ලොග් ලියන්නෙ?)

අද ඉතින් ලියන්නෙ පොඩි සිද්දි දෙකක්.

මේ කතාව නම් හුගක් අය අහල ඇති. ඉස්සර ලංකාවේ ටෙලිග්‍රෑම් යවන්නෙ සිංහලෙන් නෙමෙයිනෙ. ඒවා යවන්නෙ සුද්දගෙ බාසාවෙන්. ඉතින් තැපැල් කන්තෝරුවල ඒවා හරියට පරිවර්තනය කරල ලියා ගත්තෙ නැත්තම් හරි ජංජාල වෙනවා. ඔන්න ඉතින් ගමේ ඉදන් තරුණයෙක් කොළඹ වැඩට ආවා. ඉතින් ටික දවසකට පස්සෙ මේ ලමයට ටෙලිග්‍රෑම් එකක් එනවා තාත්තගෙන්  "අම්මට කෙළ වුනා වහාම එන්න" කියල. අයියෝ..

පුතා ඉතින් ටෙලිග්‍රෑම් එක හම්බවෙච්ච ගමන් හිත හදාගෙන යනවා අම්මගෙ මළ ගෙදර. ඇයි ඉතින් අම්මට කෙළ වෙලානෙ. ගමට යනකොට එහෙම සිද්ධියක් පේන්නවත් නෑ. පස්සෙ බලන කොට අම්මට කැලෑ උණ හැදිල. තාත්ත පණිවිඩේ යවල. ඒත් ඉතින් අර සිංහල ඉංග්‍රීසි කරන කොට වෙන සිද්ධිය තමයි වෙලා තියෙන්නෙ.
Ammata Kala Una. Wahama Enna

දැන් කියන්‍න යන්නෙ ඔය කතාව වගේ පරණ සිද්ධියක් නෙමෙයි. මොඩර්න් කතාවක්. මේ ‍අපේ නංගි කෙනෙකුට වෙච්ච දෙයක්. ඉස්සර ටෙලිග්‍රෑම් ගැහැව්වට දැන් ඉතින් එස්.එම්.එස් නෙ පාවිච්චිය. (මේ තත්ත්වය හන්දා තැපැල් දෙපාර්තමේන්තුව විදුලි පුවත් සේවාව නතර කරන්න යනවා කියල ආරංචියකුත් තිබ්බා)
දැන් ඉතින් මේකයි කතාව. සෙනසුරාද දවසක ඔය අපිත් එක්කම හිටපු මල්ලි කෙනෙක් අර නංගිට SMS එකක් යවලා මෙහෙම.
Koheda Inne? කොහෙද ඉන්නෙ.
ඉතින් සෙනසුරාද උදේ හන්ද මේ නංගි නිදා ගෙන ඉදල තියෙන්නෙ. ඉතින් ඇහැරිච්ච වෙලාවෙ (උදේ 11ට විතර) මේ  SMS එක දැකල ඒකට ප්‍රතිචාර දක්වල යවල තිබ්බා.
Nidagena Hitiye. Ei mokada? නිදාගෙන හිටියෙ. ඇයි මොකද?
ඉතින් මල්ලිටත් හරි සංතෝසයි. මොකද බයිට් එකට කියාපු කතාව. දීග දෙන වයසෙ ගෑණුලමයෙක් දවල් වෙනකන් නිදා ගන්න එකට. මූ ආයෙත් රිප්ලයි එකක් දානවා මෙහෙම.
Hoo hoo. passata aliya watenakan nidagannawa neda? හූ හූ පස්සට අලිය වැටෙන කන් නිදාගන්නවා නේද?
මොකක්. නංගි හොල්මන්. පස්සෙ කට්ටිය සෙට් වෙච්ච වෙලාවෙ කතා කරල බලනකොට තමයි දන්නෙ මොකක්ද මල්ලි එවල තියෙන්නෙ කියල.
සමහරු එලිය කියල Eliya මේ විදිහටත් ලියනවා. ඒත් තවත් සමහරු Aliya මේ විදිහටත් ලියනවා. ඉතින් මේ දෙක මාරු වුනහම හරි ජංජාල වෙනවා.

Tuesday, April 26, 2011

සුපි නූඩ්ල්ස්


මේ කියන්‍න යන්නෙ අවුරුදු කාලෙ මට වෙච්ච කතාවක්. අවුරුදු වලට නෑදෑයො ගෙදර එනවනෙ. ඉතින් ඔය වගේ නෑදෑයො කට්ටියක් අපේ ගෙදරත් ආවා. ඒ අය එක්ක තව අවුරුදු පහක විතර හුරුබුහුටි පොඩි එකෙකුත් හිටියා.  මේ අය කොළඹට කිට්ටුව ඉන්න අය. ඉතින් දවල්ට කන්න සෙට් වෙන වෙලාවත් ආවා. අර පොඩි එ‍කා ඉතින් අ‍ඩන්න ගත්තා බත් කන්න බෑ කියල.  වදෙන් පොරෙන් බත් කවන්න ගියත් මූ නෙමෙයි බත් කෑවෙ. ඊට පස්සෙ ළමයගෙ අම්ම අහනවා මොනවද කන්න පුළුවන් කියල. පොඩි එකා කිව්වා ගත් කටටම සුපි නූඩ්ල්ස් කියල. අයියෝ ඉතින් ලමයගෙ මාමාට (ඒ කියන්නෙ අහිංසක ම‍ට) තමයි සිද්ධවුනේ වහන්න ඔන්න මෙන්න තියල කඩේ දුවන්න. අපි ඉතින් ඉන්නෙ කොළඹින් ටිකක් දුර (කිලෝමීටර් 20ක් විතර) වුනත් වැඩ කරන්නෙ කොළඹ හන්ද ඔය කෑම ගැන පොඩ්ඩක් දන්නවා. 

ඉතින් මම පලවෙනි කඩේට ගියා. ඒ බට්ට මුදලාලිගෙ කඩේ. මම ඇහැව්වා මුදලාලි සුපි නූඩ්ල්ස් තියනවද කියල. එතකොට මුදලාලි කඩේ පෙරළගෙන හොයල කිව්වා සුපි කියල ජාතියක් නෑ හරිස්චන්ද්‍ර එක තියනවා දෙන්නද කියල. මුදලාලි හිතල තියල තියෙන්නෙ සුපි කියන්නෙ කොම්පැණියක් කියල.
තවත් ඉතින් කතා කරල වැඩක් නැති හන්දා මම ඊළග කඩේට ගියා. ඒ කඩේ අක්ක ගෙන් සුපි නූඩ්ල්ස් ගැන ඇහැව්වහම එයා කිව්වෙ එයාල ගාව තියෙන්නෙ ප්‍රීමා එක විතරයි කියල. අනේ ඉතින් ටවුමෙ තියන විච්චූර්න ගැන ගමේ අය දැනගන්නකොට පරක්කු වෙනවනෙ.

ඔය වගේම තව සිද්ධියක් කාලෙකට කලිනුත් මට වුනා. හැබැයි වුනේ සන්නිවේදන දොෂයක් හන්දා. මේ සිද්ධිය වෙච්ච කාලෙ තමයි අපි සීඩී රයිට් කරන්න පටන් අරන් තිබ්බෙ. අපි කිව්වෙ මමයි හේමාලුයි. සී ඩී එකක් රයිට් කරල නිකන් තිබ්බහම ලස්සන නැති ගතියක් අපි දෙන්නටම තිබ්බා. ඒක හන්දා සී ඩී එකක් රයිට් කරල ඒක උඩින් ලස්සන ස්ටිකර් එකක් අලවන්න අපි පුරුදු වෙලා හිටියා. ඒ වුනාට මේක මිල අධික වැඩක්. ඒ ස්ටිකර් ආපු මුල් දවස්ම හන්දා ස්ටිකර් එකක් රුපියල් 15ක් විතර වුනා. ඒක හන්දා ඔය ප්‍රශ්නෙට ආදේශක ‍හොය හොය හිටියෙ. හේමාල් දවසක් බත්තරමුල්ලෙදි A3 සයිස් එකේ සුදු (plain) ස්ටිකර් කොළයක් අරන් තිබ්බා. ඉතින් ඔය කොලෙන් අපේ වැඩේ රුපියල් 7කට විතර කරගන්න පුළුවන්. මම ඉතින් හේමාල් ගෙන් කොලේ ගැන විස්තර අහනකොට ටිකක් ගනන් උස්සලා තමයි කියන්නෙ. ගන්න ඕනෙ තැනත් කිව්වා.  ඊට පස්සෙ කියනවා ඕක තියෙන්නෙ ඒ කඩේ විතරයි වෙන කඩවල නෑ පුළුවන්නම් හොයල ගෙනෙන් කියල ලොකු කතාවකුත් කිව්වා.

මමත් ඉතින් ඒ කඩේට ගියහම ස්ටිකර් කොළ ටික ඉවරයි කියල කිව්වා. එත් මමත් අතඇරියෙ නෑ. ආවා කඩුවෙලට. ඇවිත් පොත් සාප්පුවකට ගිහින් ඇහැවිවා A3 සයිස් එකේPlain (ප්ලේන්) ස්ටිකර් කොළ තියනවද කියල. කඩෙන් කිව්වා ඔව් තියනවා කොච්චර ගන්නද කියල.

මට මාර සන්තෝසයක් දැනුනා. මොකද බත්තරමුල්ලෙ විතරක් තියන කොලේ මෙන්න බොලේ කඩුවෙලත් තියනවා. හේමාල්ට ඕක කියන විදිහත් මතක් කර කර මම කිව්වා මට කොළ 5ක් ගේන්න කියල. හදිස්සියට ගාන කීයද කියල අහන්නත් බැරිවුනා. 

ටික වෙලාවකින් අංකල් ලොකු ස්ටිකර් කොල 5ක් ගේනවා. දීල මට කියපි කොයි ජාතියෙ ප්ලේන් එකක්ද බලන්නෙ ? කැමති එකක් ‍ගන්න කොළයක් 35 කියල. 

ඊට පස්සෙයි මට වැඩේ තේරුනේ. අංකල් ගෙන් ප්ලේන් (Plain) ස්ටිකර් ඉල්ලුවහම එයා හිතල තියෙන්නෙ (Plane) ගුවන් යානා තියන ස්ටිකර් කොල කියල. ඉතින් මට එපා කියල අකුලන් ආවා. මොනව කරන්නද?



Sunday, April 10, 2011

දෑසත් පෙනේ නම්

දවස නම් ඊයෙ තමයි. වෙලාව දවල් දොලහට විතර ඇති. අළුත් අවුරුද්දට අළුත් ඇදුම් ගන්න මමත් බිරිදත් බත්තරමුල්ලෙ රෙදි සාප්පුවකට ගියා. බිල ගෙවන තැන දිග පෝලිමක්. එතන බිරිදව රදවල මම ටිකක් පිට වීමෙ දොර ලගට ආවා.

අනේ නෝනා අනේ මහත්තයා
පින් සිද්ධවෙයි
දවල්ට කෑම එකක් කන්න
කීයක් හරි දෙන්න

වයස අවුරුදු 65ක විතර තාත්ත කෙනෙක්. එයාගෙ බිරිදව අතේ එල්ලගෙන අනිත් අතින් සුදු සැරැයටියක් එක්ක. හිතට පොඩි තිගැස්මක් ඇතිවුනා ඒ ඉල්ලීමට. අන්ධ කෙනෙක් හව්හරනක් නැතුව වයසට ගියහම මොකද වෙන්නෙ කියල දැනෙන්න පටන් ගත්තා. මමත් කන්නඩි දානවා. ඒ දාන්නෙත් ස්ටයිල් එකට නෙමෙයි කියලත් මම දන්නවා. පොඩ්ඩක් පෙනීම දුර්වල වුනහම වෙන අපහසුතා ගැන මටත් අවබෝධයක් තියනවනෙ. ඉතින් ඇස් දෙකම පේන්නෙ නැති වුනහම!

එදා නාරාහේන්පිට බේස්ලයින් පාරෙ යනකොට තවත් සීයා කෙනෙක් පාර අයිනෙ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා.
Help for get a lens
කියල. එන වාහනයක් වාහනයක් ගානෙ තමන්ගෙ දුක කියන්න බැරිහන්දා දෑස් පෙනෙන අයට පේන්න ඒ සීයා බෝඩ් එකක් එල්ල ගෙන. ඒත් හුගක් දෙනෙකුට දෑස් පේන්නෙ නැති ගානට එතන පහු කරගෙන ගියා.

මම රස්සාව කරන්නෙ මෘදුකාංග සමාගමක. උදේ ඉදන් රෑ වෙනකන් ඇස්වලින් කදුළු එනකන් තිරය දිහා බලාගෙන කොටන එක තමයි රස්සාව. (ගෙදර ආව කියල ලොකු වෙනසක් වෙන්නෙත් නෑ) රස්සාවට අමතරව කරන හුගක් දේවල් ඇහැත් එක්කම බද්ධ වෙලා. චිත්‍රප‍ටි බැලිල්ල ඡායාරූපකරනය වාහන එලවිල්ල. බැරිවෙලා හරි අනාගතේ මේ හිගාකන්නෙ මම නම්!

මගේ හිත සෑහෙන්න දුරගියා. පසුම්බිය‍ට අත ගියෙ නිකන්ම. මේ සිදුවීම් අවසාන වෙනකොට බිරිදත් එලියට ආවා. එයත් දෙපාරක් හිතන්නෙ නැතුව අතේ තිබ්බ ඉතුරු සල්ලි ඔක්කොම ඒ යුවලට දුන්නා.

හවස් වරුවෙම මගෙ හිතේ තිබ්බෙ මගෙ ඇස් නොපෙනුනොත් මම මොකද කරන්නෙ කියල. මාලිංග මල්‍ලිගෙ ගෙදරදි කට්ටිය හම්බවෙච්ච වෙලාවෙත් අපි මේ ගැන කතා වුනා. සදරුවන් නම් කිව්වෙ ඇස් පේන්නෙ නැති මෘදුකාංග ශිල්පියො ඉන්නවා කියල.

ඒ කතා බහ අවසානයෙදි මාලිංග ඔය උඩ තියන වීඩියෝ එක මට දුන්නා බලන්න. හදවතට දැනෙන වීඩියෝ එකක්. අපිටත් අපේ ඇස් දෙක දෙන්න පුළුවන් නම් තවත් කෙනෙක් වෙනුවෙන්....

Tuesday, April 05, 2011

සෙවනැල්ල

අපි පොඩිකාලෙ අපේ වැඩිහිටියො කියල දුන්නෙ
"තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියල.
අපිත් ඒක හිස් මුදුනින්ම පිළි අරගෙන වැඩ කලා.
හැබැයි දවසක් මම පාරෙ යනකොට
ත්‍රීවීල් එකක පිටිපස්සෙ ගහල තිබුනා
"ආලෝකය නැතිවිටදී සෙවනැල්ලද තමාට පිටුපායි" කියල
අනේ මන්දා. හිතට දැනිච්ච හන්දා මාත් ඔහේ කුරුටුගාල දැම්මා.

Sunday, March 27, 2011

තරග ජයග්‍රහණය සහ සුද්දාගෙන් පාඩම්

අපේ ශ්‍රී ලංකාවේ කොල්ලො ටික‍ ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදි ලෝකෙට ක්‍රිකට් කියල දුන්න එංගලන්තෙ සුද්දන්ට ගෙදරයන්න කියල කිව්වා තමයි. ඒකට අපේ පිළට සුභ පතනවා. ඒත් මේ පෝස්ට් එක ලියන්නෙ සුභපතන එකටම නෙමෙයි.

සාමාන්‍යයයෙන් අපි කෙනෙක්ට සුද්දා වගේ කියල කියන්නෙ අවංක නිහතමානී නම් තමයි. ඉතින් මේ ලංකාවට ආපු ඔරිජිනල් සුද්දො ටිකට සුද්දො කියලම කියන්න පුළුවන් අවස්ථා ගොඩක් ඒ තරගයේදි තිබ්බා. ඒකට කියන්නෙ මහත්මා ගතිය කියල. මහත්මා ගතිය තියෙන්නෙ මහත්වරුන් ලග විතරයි නෙ. ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක්.

හැබැයි හම සුදුවුනු තරමින්ම ඒ මහත්මා ගතිය එන්නෙ නෑ. හොදම උදාහරණය තමයි ඕස්ට්‍රේලියාවෙ සුද්දො. පොඩ්ඩ බැරිවෙන්න බෑ. බනිනවා කෑගහනවා. පරාජය කවදාවත් දරාගන්න බෑ. තමන්ගෙ ඕවරේකට හතරේ පාරක් වැදිච්ච ගමන් අම්මා තාත්ත මත්ක් කරල බනින සුද්දො තමයි එහෙ ඉන්නෙ. මතකනෙ ෂෝන් ටේට්.  ඒ අය ස්ලෙජින් වලට ඉස්සර ඉදන්ම දස්සයි.

දැන් බලමු මේ සුද්දො මොකද කලේ කියල. හැම වෙලාකම දැවීයාමකදිම කිසිම හැගීම්බර ගතියක් නැතුව හිනාවෙ‍වී තමයි පිටියෙන් ඉවත්වුනේ. කරදරයක් නෑ කිසිම. මම දැක්ක ඩිල්ෂාන් පන්දුයවපු වෙලාවෙ පන්දුව රැක ගන්න ගිහින් පිතිකරුවව අවහිර වෙච්ච වෙලාවක කිසිම කතා බහක් නැතුව හිනාවෙලා ඊට සමාව දුන්නා.

අපේ අය බැට් කරපු වෙලාවෙදි හැම වෙලාවෙම ඔවුන් හිටියෙ සිනා මුසු මුහුණින්. තමන්ගෙ ඕවර වලට එලව එලව ගැහැව්ව කියල නිකන්වත් ගනන් ගත්තෙ නෑ (මං හිතන්නෙ)
එක වෙලාවකදී ඩිල්ෂාන් ඩිල්ස්කූප් එක ගහන්න ගියා. ඒක වැරදුනා. නමුත් පන්දුයවන්නා අත්පොලසන් දීල ඒ උත්සාහය අගය කලා. අන්තිම මොහොතෙදි උපුල් තරංගට 100 ගහන්න ඩිල්ෂාන් පන්දු දෙකක් අතහැරපු වෙලාවෙදි ඒ අවස්ථාව හිනා මුසු මුහුණින් බෙදා හදා ගත්තා. ඔනෙ තරම් වයිඩ් පන්දුවක් දාලා ඒ ලකුණු සීය නැතිකරන්න තිබ්බත් ඒවගේ දෙයක් එතන වුනේ නෑ.

පරාද වුනා කියල පසු තැවීමක් නැතුව ආපහු තමන්ගෙ රට බලා පිටත්වෙන්න ඇති. පාකිස්ථාන කන්ඩායමේ මහත්මා ක්‍රිඩාව ගැන යූටියුබ් එකේ තියනවා. හැබැයි එන්ගලන්තෙ තියන වීඩියෝ ප්‍රමානය අනිත් රට වලට වඩා අඩුයි.

Monday, March 14, 2011

ඔබ ගියේ ඇයි ආදරී.....



මේ ලගදී අර ලංකාවට ගෙන්නපු ලිමොසීන් වාහන ටික පෙන්නන්න කරපු ඔටෝ විෂන් ප්‍රදර්ශනේ බලන්න කට්ටිය ගියා. ඔය අතරමගදී තමයි ඒකෙ සංගීත ප්‍රසංගයකුත් තිබ්බෙ. පොඩ්ඩක් ඉතින් ඔළුව දාල බලන වෙලාවෙ තමයි භාතිය ඇවිත් අර සින්දුව කිව්වෙ. මම භාතිය සන්තුෂ් ලෝලියෙක් නොවුනත් ඒ වෙලාවෙ ඒ සින්දුව ඇහැව්වා.‍

හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
කිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා....

ලස්සන සින්දුව. ඒ සින්දුවත් එක්කම මම අතීතයට ගියා. මගේ යාළුවෙක්ට වෙච්ච දෙයක් ආයෙත් මතක් වුනා.
මාස ගානකින් මමත් පෝස්ට් එකක් දැම්මෙ නෑ. (ඒවට හේතු ඕනෙ තරම්) ඉතින් ඒ සිදුවීමත් මගේ බ්ලොග් අවකාශයේ ලියන්න හිතුනා.

යාළුවා කැම්පස් එකේ ඉන්න කාලෙ අවුරුදු ගානක් හිත ගත්ත කෙල්ලත් එක්ක බොහොම අමාරුවෙන් යාළුවුනා. ඒකට එයා කොච්චර මහන්සි වුනාද කියල දන්නෙ වටේ හිටපු අපි තමයි. කෙල්ලත් එක්ක යාළුවුනාට පස්සෙ ලව් කරන එක පැත්තක තියල මුන් දෙන්නා හොදින් ඉගනගෙන පාඩම් කරන්න ගත්තා. ඒ කාලෙ තමයි දෙන්නගෙ හොදම කාලෙ. ඔය අතරමගදි තමයි යාළුවගෙ කෙල්ලට විද්‍යාපීඨ හම්බවුනේ. කැම්පස් එකේ ආට් ඩිග්රිය ඉවර වුනත් කරන්න වෙන්නෙ ඕකනෙ කියල කෙල්ල විද්‍යාපීඨ ගියා. කොල්ලත් කමක් නෑ කියල හිටියා. හැබැයි මේ යාළුකම කොල්ලගෙ ගෙදරින් දැනගෙන හිටියෙ නෑ.
ඉතින් හදිස්සියෙම අවස්ථාවක යාළුවගෙ ගෙදරින් මේ සිද්ධිය දැනගෙන. එකී මෙකී නොකී ප්‍රශ්න ගොඩක් හන්ද ‍යාළුවගෙ ගෙදරින් මේ සම්බන්ධෙට විරුද්ධ වුනා. අන්තිමට ඒ‍ක නොකෙරෙන තැනටම ආවා. මොනව කරන්නද? ඒක උන්දෙන්නා කතාබහ කරල නැවැත්තුවා. ඒ දවස් වල යාළුවා පිස්සා වගේ. කෙල්ලටත් ඉතින් අවුල් නැතුවයැ. ඉතින් නැවතිලා මෙහෙම අවුරුද්දක් හමාරක් ගියා.
යාළුවට කැම්පස් ‍එකේ විභාගක් තිබුන දවසක්. ඉතින් මෙයා බස් එකේ නැගල කැම්පස් යනවා. මුළු බස් එකේම ඉඩ ති‍බිල තියෙන්නෙ ඩබල් සීට් දෙකක් විතරයි. ඒවගෙත් වාඩි වෙන්න පුළුවන් එක්කෙනයි. ඉතින් මූ එක සීට් එකක වාඩිවුනහම ඒ සීට් එකෙත් තව එක්කෙනෙකුට වාඩිවෙන්න පුළුවන්. එහා පැත්තෙ සීට් එකෙත් තව එක්කෙනෙකුට පුළුවන්. බස් එකේදීත් කොල්ලා පාඩම් කර කර තමයි යන්නෙ. ඔන්න ටිකක් දුර යනකොට කපල් එකක් නැගලා. අනේ ඉතින් උන් දෙන්නට එකට පලයන් කියල මූ ඉඩදීල එහා පැත්තෙ සීට් එකට ගිහින්. නැගිටල යනකොට කපල් එකේ කොල්ලා කිව්වලු "තැන්ක් යු මචන්" කියල. මූත් හිනාවෙලා වාඩිවෙලා පාඩම් කර කර ගියාලු. මගදී නිකමට කපල් එක දිහා බැළුවහම යාළුවා ඒ කවුද කියල අදුරගෙන. කලින් යාළුවෙලා හිටපු ගෑනු ලමයා. තමන්ට ගෙදරින් හොයල දීපු පුරුෂයා එක්ක යනවා. වෙලාවට කෙල්ල දැකලත් නෑ යාළුවව. දැක්කනම් මොනව හිතෙයිද? අපේ යාළුවගෙ පාඩම් කිරිල්ල එතනින් ඉවරයි. විභාගෙ ලියවිල්ලත් ඉවරයි.

ඊට පස්සෙ ආයෙත් අපිට ඒ ගෑනු ලමයා හම්බවුනේ බී එම් අයි සී එච් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශණයෙදී ඊට අවුරුදු හතරකට විතර පස්සෙ. තමන්ගෙ පුංචි එකාට කතන්දර පොත් ගන්න ඇවිත්. ඒ දවස් වල තිබ්බ අහිංසක ගතිය එහෙමම තිබ්බත් කාලයත් එකක ඒ ලමය වගේම අපිත් වයසට ගිහින් තිබ්බා.

නුරාව වෙනුවට ඉදුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
සිනා සුනෙමි මම
අවිහිංසක ඇය ‍
කෝල බැළුම් දෙනවා

පොඩි පොඩි සිද්ධි ‍ගොඩක් වුනත් තාමත් ඒ දේවල් මතක් වෙනකො‍ට යාළුවා විදින දුක අපිටත් දැනෙනවා.

Monday, January 10, 2011

ඔටු ෆාම් එක


ඔන්න ටික කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඒ කාලෙ අපිට වෙච්ච රසබර මතකයන් කීපයක් (එක පුද්ගලයෙක් ගැන) බෙදාගන්න හිතුවා.

මේ කතාවල කතා නායකයා වෙන්නෙ දමිත්. වාසගම කියන එක හරි නෑ නොවැ. මගෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම ෆිට් එකක්. ඉන්නෙ අගුලාන පැත්තෙ. කට්ටිය ඒ වුනාට කියන්නෙ කොළඹ දමිත් කියල.  හේතුව නම් හිතාගන්න පුළුවන් වෙන්න ඇති මගෙ හිතේ. කොයිකටත් කියන්නම්. තවත් අපේ යාළුවෙකුගෙ දාන ගෙයක් තිබ්බා ගාල්ලෙ. ඉතින් දමිතුත් එහෙ ගියා. දානෙ ඉවරවෙලා කට්ටිය කකා බිබී ඉන්න කොට ගාල්ලෙ යාළුවගෙ ඥාති අයියල ටිකක් දමිත් එක්ක චැට් එකක් දැම්මා.
"මල්ලී කොහෙද ගෙවල්?"
ගාල්ල කියන්නෙ ඉතින් කොළඹින් ඈතනෙ. ඉතින් දමිත් මෙහෙම උත්තර දුන්නා.
"කොළඹ අයියෙ"
ඉතින් අයියා අහනවා
"කොළඹ කොහෙද ?" කියලා.
මූ කියනවා දෙහිවල හරියෙ කියල.
ඊලගට අයියා අහනවා දෙහිවල කොහෙද කියල.
අයියා එන පොට හරි නැති හන්දා දමිත් අයියගෙන් අහනවා අයියා කොහෙද කියල. එතකොට අයියා කියනවා "මල්ලි මම මොරටුවෙ" කියලා. දමිත්ටත් මාර අප්සෙට්. ඌ කියනවා " අය්යෙ මම අගුලානෙ " කියල. අයියා ඉතින් හයියෙන් හිනා වෙලා කිව්වා මල්ලි කොළඹ කොහෙද අගුලාන කොහෙද කියලා. ඉතින් එදා ඉදන් මෙයා කොළඹ දමිත්.

ඉතින් මේ සිද්ධිය වුනෙත් කොළඹ දමිත්ටම තමයි. අපි කට්ටියම ඒ දවස් වල හිටියෙ මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයෙ. (සිංහලෙන් කියනවා නම් ස්ලිට් එකේ). ඕකෙ ලොක්කා තමයි මහාචාර්ය ලලිත් ගමගේ මහත්තයා. (ඒ දවස් වල ආචාර්ය) මම මේ කියන්නෙ මීට අවුරුදු 7 -8 කට කලින්. ඉතින් අපි තට්ටු වලට මාරුවෙන්නෙ සෝපානයෙ. දවසක් අපි පහලට යන්න ඉන්නකො‍ට සෝපානය ඇවිත් නතර වුනා.
ඉතින් නගින්න බලනකොට ඩොක්‍ට ලලිත් ගමගේ. ඉතින් අපේ සෙට් එක 4-5ක් විතර. (හැබැයි දමිත් හිටියෙ නෑ) නගිම්දෝ නැද්දෝ කියල ඉන්නකොට මේ මනුස්සයාගෙ යහපත් කමට come come කියල අපිට කතා කලා. ඉතින් ඇන්නෑවෙ කියල අපිත් නැග්ගා. ලිෆ්ට් එකේ දොර වැහෙන්න හම්බවුනේ නෑ ලලිත් ගමගේ මහත්තයට කෝල් එකක් ආවා. ඉතින් සාමාන්‍ය විදිහට ජංගම දුරකතනයට උත්තර දුන්නා. එහෙන් මෙහෙන් දැක්කෙ. ඒක O2 (ඕ ටූ) වර්ගයෙ පාම්ටොප් එකක්. අපිත් ඉතින් තාක්ෂනේ කරන ලමයි හන්දා ඒක දිහා ආසාවෙන් බලාගෙන හිටියා. අපිට පාම්ටොප් එකක් තියා කැල්කියුලේටරයක් වත් තිබ්බෙ නැති කාලෙ. ජංගම දුරකතනත් ලමයි අතර ප්‍රචලිත වෙන්න පටන් ගත්ත කාලෙ. ඉතින් කට්ටියගෙම හිතේ තිබ්බෙ ඔය පාම් ටොප් එක.
ලලිත් ගමගේ මහත්තයා බැහැල ගෙදර ගියා. අපි ලිෆ්ට් එකෙන් බැහැල කැන්ටිමට ගියා. ප්ලේන්ටිය ගහන ගමනුත් කතාව මේ පාම්ටොප් එක ගැනමයි. ටික වෙලාවකින් අපේ කතා නායකයා ආවා. කොළඹ දමිත්. කවුරුත් ඌව ගනන් ගන්නෙ නෑ. ටික වෙලාවක් බලන් ඉදල මූ ඇහැව්වා මොනවද බන් උඹලා කතා වෙන්නෙ කියල. ඉතින් අපේ එකෙක් කිව්වා
"මචං ලලිත් ගමගේට O2 (ඕ ටූ) පාම් එකක් තියෙන්නෙ" කියලා. පාම්ටොප් කියන එක කෙටි කරල පොෂ් විදිහට පාම් එක කියල කිව්වෙ.
දමිත් මෙහෙම කතාවක් කියපි.
"මමත් ඔය කතාව අහල තියනවා. ඒ කියන්නෙ ඩොක්ට ගමගේ කියන්නෙ පට්ට සල්ලිකාරයෙක් නෙ. කොහෙද බන් තියෙන්නෙ. මෙහෙද පිටරටද?"
දැන් ඔන්න අපි ෆුල් අවුල්.
අපි ඇහැව්වා "උඹ මොකක් ගැනද කියන්නෙ" කියලා. එතකොට දමිත් කියනවා
"ඇයි බන් උඹලා දැන් කිව්වෙ ලලිත් ගමගේට ඔටු ෆාම් එකක් තියනවා කියලා. ඒක ගැනයි මම කිව්වෙ. උට ඇහිච්ච එක හිතල තියන දුර. O2 (ඕ ටූ) පාම් ==> ඔටු ෆාම් (Camel Farm)

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...